Thursday 12 August 2010

අපි වෙලාවට වැඩ, හරිය?


වෙලාවට වැඩ කරන එක ලංකාවේ අයට හුරු පුරුදු දෙයක් නෙමේ.

මං හිතන්නේ පියවර මැනලා වෙලාව බලපු කාලේ ඉඳලා දැන් වෙබ් සරවරයක් හරහා ක්‍ෂණයකින් යාවත්කාලීන වෙන ඩිජිටල් ඔරලෝසුවලින් වෙලාව බලන්න අපි දියුණු වෙලා තිබුණත් අපේ ඇඟ ඇතුලේ තියෙන ඔරලෝසුව නං තාමත් වැඩ කරන්නේ අපේ මී මුත්තලා ඉන්දියාවේ ඉඳලා මෙහෙට පාත් වුණු කාලේ තිබුණු ක්‍රමයටමයි.

උදේ අටට කියන්නේ එයිටිෂ්.

උදේ නමේට කියන්නේ නයිනිෂ්.

සඳුදා කවුරු හරි වැඩක් ඉක්මනට කරල දෙන්නං කියන්නේ සිකුරාදාට විතර කරන්න පටන් ගන්නං කියන එකයි.

කොටින්ම වෙලාවට වැඩ කරන අය තාමත් හඳුන්වන්නේ සුද්ද වගෙයි, හරි වෙලාවට වැඩ කියලනේ.

හැබැයි මං නං ඔන්න හරි වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒකෙ රහස මෙන්න මේකයි.

අපේ ගෙදර බිත්තිවලයි, අත්වලයි, කාර්වලයි තියෙන හැම ඔරලෝසුවක්ම විනාඩි දහයක් වැඩියෙන් සෙට් කරලායි තියෙන්නේ. උදේ හතට නැගිටින්න මං සෙට් කරලනේ තියෙන්නේ. ඒක ඇත්තටම වදින්නේ හයයි පනහටයි.

කොහොමද ටිකිරි මොලේ?

ඉතිං, ඔය වැඩිපුර විනාඩි දහය තියෙන නිසා පුළුවනි බය නැතුව අර ප්‍රධාන කර්තව්‍යය කරල හොඳට ඇඟ පත හෝදගෙන ලැහැත්තිවෙලා වැඩට යන්න.

ලඟදි නියම වැඩක් වුනා. ඔන්න කතන්දර හාමිනේයි මායි ගියා යාළුවෙකු ගේ ගෙදර ඩිනර් එකකට. ආපහු එන්න වෙලාව ඒ ගොල්ලන්ගේ බිත්ති ඔරලෝසුවේ බැලින්නම් රෑ දොලහයි.

අපි මෙන්න බොලේ අපේ යාළුවා කියනවා මෙහෙම.

"ආ, ගනං ගන්න එපා. අපි ඒකෙ පොඩ්ඩක් වැඩියෙන් වෙලාව තියලා තියෙන්නේ."

බැලින්නම්, නිකං නෙමේ විනාඩි විස්සක්ම වැඩියෙන් වෙලාව සෙට් කරලා පොර.

අපේ යාළුවෝ අපිටම හොඳට මැච් වෙන අය.

-කතන්දරකාරයා
ප/ලි:
දැං කාලයක් තිස්සේ මං මේ කතන්දර හරියට උදේ අටට පෝස්ට් කරනවා දකින්න ඇති නේද? කොහොමද මගේ ටයිම් මැනේජ්මන්ට්?

20 comments:

  1. මමත් වෙලාව වැඩිපුර තියලා තියෙන්නෙ. ඒත් වෙලාව වැඩිපුර තියලා තියෙන්නේ කියලා දන්න නිසාම එලාම් එකට ඇහැරෙන්නේ නැහැ. 6ට තිබ්බොත් දන්නවා තාම 5.50 යි තව වෙලා තියෙනවා කියලා. අන්තිමට නැඟිටින්නේ හොඳටම පරක්කු වෙලා.
    :D

    ReplyDelete
  2. "සඳුදා කවුරු හරි වැඩක් ඉක්මනට කරල දෙන්නං කියන්නේ සිකුරාදාට විතර කරන්න පටන් ගන්නං කියන එකයි"
    නියම කතාව.

    ReplyDelete
  3. මටත් නම් වෙන්නෙ Ansh Lucky Sri Jay ට වුණු දේම තමයි.

    ReplyDelete
  4. වෙලාවට වැඩ කරනඑක ඇත්තටම හොද ගුණාංගයක්.මමත් අපේ ගෙදර මි.15ක් වැඩිපුර තියලා තියෙන්නේ.ඒ හන්ද අපේ ගෙදර අයත් වෙලාවට කලාවට වැඩ.හික්ස්.

    ReplyDelete
  5. මමත් ඔය වැඩේම තමා කරන්නේ අර කතාවටත් කියන්නේ එක ජාතියෙ කුරුල්ලන් වහන්නේ එකම අතිතේ කියල ඒ හින්ද වෙන්න ඇති අපි ඔක්කොම හැමදාම උදේට මෙතෙන්ට එන්නේ.
    @Hero
    උඹට කියන්න තියෙන්නේ උඹ අපේ ජතියේ එකෙක් නෙවේ. අර දවසක් කතන්දර කිව්ව කතාව කියන්න ඇත්තේ උඹටයි මතකද http://kathandara.blogspot.com/2010/05/blog-post_25.html
    සුභ දවසක්

    ReplyDelete
  6. උදේ පාන්දර අපි දවස පටන් ගන්න කතන්දර ඇතුළු මේ බ්ලොග් එකක් දෙකක් කියවන්නේ එයින් ලැබෙන මානසික සුවයෙන් දවසේ වැඩ අවුලකින් තොරව කරගෙන යන්නයි. කිසිවෙකු මෙතැනට පැමිණ මළපහ කර යනවා නම් එයිය පෙනෙන්නේ ඔහුගේ හො ඇයගේ පහත් ජන්මය විනා මේ බ්ලොග් වල දුර්වල කමක් නොවේ. ඕනෑම කෙනෙක් ලොකය දකින්නේ තමන්ගේ පරිසරය, තම දෙමාපියන් තමන්ට පෙන්නා දුන් ලොකය අනුවයි.
    අප කළ හොඳ කරක එන්නේ අප පසු පස මයි. වීරයෙකු වන්න තම පහත් කම පෙන්වන්නා මෝඩයෙකි.

    ReplyDelete
  7. මටත් වෙන්නෙ Ansh Lucky Sri Jay ට වුණු දේම තමයි . . . siraawatama . ..

    ReplyDelete
  8. මම නම් උදේට එලාර්ම් 4ක් වත් තියනවා අනිවා....තුන් වෙනි පාරට විතර ඕෆ් කොරන කොට එපා වෙලාම නැගිටිනවා....නැත්නම් ඉතින් සොරිම තමා.....:)..

    ReplyDelete
  9. කතන්දරට සෑහෙන නැගිටින්න අමාරුයි වගේ උදේට... හි හි මටත් එහෙමයි.

    මම නම් එලාර්ම් 3 යි... වෙලාව විනාඩි 5ක් කලින්. ගානකුත් නෑ... විදල ඒදල පිබල ගියත් වැඩට යද්දි විනඩි 5 ක් පරක්කුයි හි හි

    ReplyDelete
  10. මාත් විනාඩි 10 ක් වැඩියෙන් සෙටි කරලයි තියෙන්නෙ.. කතන්දරට කියන්න.. මාත් ඔය වැඩේට පුරුදු වුණේ රස්සාවට ගිය අළුත.. හැබැයි ඒ මගේ ෆෝන් එකේ විතරයි... මොකද මං අත්ඔරලෝසු පාවිච්චියක් නෑ... ඒවගේම මගේ එලාම් එකත් ෆෝන් එකම තමා.. ඒකේ ඉන්න ඩිජිටල් කුකුළට පින්සිද්ධ වෙන්න පහුගිය අවුරුදු හතරෙම මං වෙලාවටත් කලින් වැඩට ගියා... එකම දේ දවල් වරුවට කාගෙ හරි ෆෝන් එකකින් ඔය ඩිජිටල් කුකුළු නද ඇහෙන කොට ඉතින් ඇඟෙ මයිල් ස්මයිල් වෙනව... ඒ වෙලාවට තමා ඇඟේ මාළු ගඟේ නටන්න ගන්නෙ... @#%!%#
    :D :D

    ReplyDelete
  11. මම නම් හිතන්නේ ගොඩ දෙනෙක් වෙලාව ගැන සැලකිලිමත් වීම මදිකම නිසයි වෙලාවට වැඩ කරන්න බැරි. මම නම් ගොඩක් වෙලාවට උත්සාහ කරනව වෙලාවට වැඩ කරන්න කසාද බඳින්න කලින් නම් මම තිතට වෙලාවට වැඩ කරා. දැන් නම් අපේ හාමිනේ නිසා කිසිම දෙයක් වෙලාවට කරන්න බැහැ. හැබයි ඒකටත් මට පිලියමක් තියෙනවා මන් කොහෙට හරි යන්න තියෙනවා නම් මන් දැන් කියන්නෙ පැය 1/2 වැඩි කරල. කොහොම උනත් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනෙ ඒකට වෙන විකල්පයක් නැහැ.

    ReplyDelete
  12. මම නම් වෙලාවට වැඩ කරන්නෙ නැහැ වගේ. වෙලාවට කලින් තමයි වැඩ.. හැබැයි මගේ බ්ලොග් එකේ නම් " වෙලාවට වැඩ " කියල ලොකු ඔරලෝසුවකුත් දැලයි තියෙන්නේ...

    අතේ ඔරලෝසු බදින්නෙ නැති නිසා බිත්තියේ වෙලාව බලල වේලාසන යන තැනක යනව...

    ReplyDelete
  13. කසූගේ කතාව සහතික ඇත්ත...
    ඒකේ කියලා තියෙන හැම වාක්කියක්ම මම ඇතුළු අපි හැමෝටම පොදුයි... මගෙ ඔරලෝසුවලත් ඔය කියන විනාඩි 10 ‍යේ කතන්දරේ අනිවාර්යයයි...
    හේමලයා කියන එලාම් කතාවත් මම ඇතුළු ගොඩ දෙනෙක්ට පොදුයි...
    සමහර දවස්වලට නං ඉතිං ඔය පොඩි පොඩි අකරතැබ්බ වෙන වෙලාවල් තියෙනවා... (පාන්දර වෙනකල් ජාලේ සැරිසරලා 2,3 විතර වෙලා නිදාගත්තහම)
    මම හිතන්නේ හැමෝම බලලා ඇති Mr. Been ගේ කතාවක් තියෙනවා එලාම් ඔරලෝසුව වතුර එකට දාන එක.
    (ජාලේ පොඩ්ඩක් කරක් ගැහුවා ඒක හොයා ගන්ඩ. තාම හමුබවුණේ නැහැ.)

    ReplyDelete
  14. කසූගේ තකාවට මමත් 100%ක් එකඟයි. මගෙත් ඔරලෝසුවේ ඔය කියන විනාඩි 10 ඒ විදිහටම තියෙනවා. ඒ වගේම හේමලයාගේ එලාම් කතාවත් මට වගේම අපි ගොඩ දෙනෙකුට පොදුයි.
    හැබැයි ඉතිං සමහර වෙලාවල් වලට පොඩි අකරතැබ්බත් වෙනවා. පාන්දර 2,3 වෙනකල් ජාලේ සැරිසරලා නිදාගත්තහම එලාම් එකත් පිස්සු කෙලිනවා.
    Mr. Been ගේ කතාවකුත් තියෙනවනේ ඔය එලාම් ඔරලෝසුවට නැඟිටින එක ගැන.
    (ජාලේ හෙව්වා. හොයාගන්න හම්බවුණේ නැහැ)

    ReplyDelete
  15. මං දන්න ගෙයක් තියෙනවා. අර චන්ද්‍රිකා නෝනෙ වෙලාව වෙනස් කරපු දවස්වල අපි ටක් ගාල හදාගත්තනේ. ඒගොල්ලො වෙනස් කලේ නෑ.
    ඕය අලුත් වෙලාව ටිකක් පුරුදු උනාම හදනවා කියල තමා කිව්වෙ.
    මේ ළඟදි මං එහේ ගිය වෙලාවෙ බැලින්නං තිබ්බ ඔරලෝසුව නෑ. (අවුරුදු කීයක්ද?) හැබැයි අලුත් ඔරලෝසුවෙත් පරණ වෙලාවමයි. අහද්දි කිව්වෙ ඕක ඉතිං මහ වෙනසක් නෑනෙ කියලා. අන්න ප්‍රතිපත්තිගරුක මිනිස්සු.

    ReplyDelete
  16. මගේ යාලුවෙකුට උනා මරු වැඩක්.....මෑනුයි වයිෆුයි දෙන්නම එකට ඔ‍ෆිස් යන්නෙ.... වයිෆ් හැමදාම ලෑස්ති වෙනකොට පරක්කු වෙනව....යාලුව තිබ්බ එලාම් එක විනාඩි 10ක් කලින්......ටික දවසක් ගියා.....දැන් වයිෆ් එලාම් එකට නැගිටල කලින්ම රෙඩි වෙනව....අපේ බුවා සීන් එක දන්න නිසා විනාඩි 10කට පස්සෙ නැගිටින්න ඉඳල ආපහු නින්ද ගිහින් හැමදාම පරක්කුයි....ඒ පාර වයිෆ් මොකද කරල තියෙන්නෙ එයත් තව විනාඩි 10ක් කලින් තියල.....ඊට පස්සෙ ඉඳන් එලාම් එක වැදුනට දෙන්නම ගනන් ගන්නෙ නැහැලු.....මෙහෙම දවස් දෙක තුනක් දෙන්නටම හොඳටම පරක්කු වෙනකම් නින්ද ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු උනේ.....

    ReplyDelete
  17. ඒ කියන්නෙ කා ලගවත් හරි වේලාව නෑද්ද?
    sure එකටම අපෙ තාත්තාත් ඔය වෑඩේ කරන්න ඈති. ඒක තමා මම දෑන් class යන්න පරක්කු නෑත්තෙ. Hiks

    ReplyDelete
  18. මේ පෝස්ට් එක දාපු දවසේ කවුදෝ කෙනෙක් කුණුහරුප ලියන්න පටන් ගත්ත නිසා - මට ප්‍රතිචාර දක්වපු අයට ස්තුති කරන්නත් බැරිවුණා!

    සියළු දෙනාටම ස්තූතියි.

    මගේ ඔරලෝසුව නං තාමත් විනාඩි දහයයි වැඩි.

    ReplyDelete
  19. මමත් උදේට නැගිටින්නේ එලාම් 3ක් තියල "ස්ටෙප්-බයි-ස්ටෙප්" !!!!

    ReplyDelete
  20. Normally what i'm doing, i'm keeping 3 alarms in 3 different times.
    Ex 4.45,4.47, 4.49

    when 4.49 Alarm rings blood pressure gone up & no sleepy mood :-)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.