
කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.
හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.
වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද?
කාලෙකට ඉස්සර ටීඑන්එල් චැනල් එකේ වාද බයිලා සීරීස් එකක්ම ගියා මට මතකයි. ඒක ඒ දවස්වල මං කැමතිම වැඩ සටහනක්.
ඊට පසු කාලෙක රූපවාහිනීයේත් විටින් විට වාද බයිලා ෂෝ ප්‍රචාරය වුනා. නමුත් මේ කිසිම දෙයක ඩීවීඩී එකක් තාම මට හොයා ගන්න බැරි වුණා. යු ටියුබයේත් වාද බයිලා ෂෝ කීපයක්ම තිබුණත් ඊට වඩා ඉස්තරම් කොලිටියේ වාද බයිලා තිබුණු බවයි මගේ මතකය.
වාද බයිලාකාරයෝ එකිනෙකා ගේ මිතුරෝ, මිතුරියෝ වුණත්, වාද කරගන්න ගියාම නං ඒ මිතුරුකම් කැලේ! එකිනෙකාට උපහාස, අපහාස කරගන්නේ කටේ නොගෑවී නිකං උපන් ගෙයි හතුරෝ වගේ!
ඒ වගේම, බයිලා වාදේ ඉවර වුණාම, මං හිතන විදියට ඒ හතුරුකම් එතැනින්ම ඉවරයි.
ඔය වාද බයිලා වගේම, හිටු කියලා එකිනෙකාට උපහාස අපහාස කරගන්න තවත් තැනක් තමයි, කවි මඩු.
වාද බයිලා වගේ විවිධ තාල නැති වුණාට, සංගීතය නැති වුණාට, එක වගේ පද හතරක්ම රයිම් වෙන්න කියන්න ඕනෑ හින්දා වැඩේ ලේසි නැති වුණාට, කවි මඩුත් හරිම ජොලි වැඩ සටහන්. කාලෙකට ඉස්සර අයිටීඑන් එකේ හොඳ උසස් ගණයේ කවි මඩු සෑහෙන ගාණක් ප්‍රචාරය වුණා.
"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට!" කියන කවි වාදය තමයි මං හිතන්නේ දැනට යූ ටියුබයේ තියෙන වැඩියෙන්ම හිට් වෙච්ච කවි මඩු වාදය!
කවි මඩුවලදීත් කොච්චර උපහාස, අපහාස කරගත්තත් ඒවා කවි මඩුවේ විතරයි! එතැනින් එළියට බැස්සාම ඒ සේරම ඉවරයි.
අන්න ඒ වගේ තමයි, මේ සිංහල බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, කචල්, ගාල ගෝට්ටි තියෙන්නත් ඕනෑ.
මොකක් හරි දේශපාලන, සමාජ ආර්ථික කේස් එකක් ගැන විවිධ මත බ්ලෝවලදී හප්පා ගත්තාට, විවිධ උපහාස බස් හුවමාරු කර ගත්තාට, ඒ සියල්ල මේ අතත්‍ය ලෝකයේ දීම අවසාන විය යුතුයි.
තත්‍ය ලෝකයට පිවිසෙන කොට ඒ වලි, කචල්, ගාල ගෝට්ටි සියල්ලම අතත්‍ය ලෝකයේ ඒ ඒ තැන්වලට තියලා තමයි යන්න ඕනෑ. මොකද බ්ලොග්කාරයෝ වෙන්න කලින් අපි සේරම මිනිස්සු!
හැබැයි, ආපහු නැවතත් බ්ලොග් ලෝකාර්ධයට ආපු දවසක අර කලින් වලි නවත්තපු තැන ඉඳලා කරගෙන යන්නත්, ආපහු වලිවලට පැටලෙන්නත් දෙපාරක් හිතන්න ඕනෑ නෑ! මොකද අපි කවුරුත් පොලිටිකල් සත්වයෝ නිසා.
හති අරින බ්ලොග් නිවාඩුවේ මැද හරියට එන්නත් කලින් මට ආපසු සිතුවිල්ල තමයි ඒ.
-කතන්දරකාරයා
ප/ලි:
සයිබර් අවරුදු උත්සවයට වැඩ සේරම ලැහැත්තියි ලු!
(image: http://www.canamdvd.com/CyberFights-1-4-CYBER1-4DVD.htm)