
පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.
ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.
පුක යනු කුණුහරුපයක් නොවන බව බ්ලොග් ලෝකයේ දී මා කලකට ඉහත කළ ප්‍රකාශය අද පවා උපුටා දැක්වේ. ඒ ලෙසින්ම මේ පුකත්වය යන පදයත් සිංහල බ්ලොග් බස්වහරට අද සිට එක්වේවා යන්න මගේ පරම පැතුමයි.
පුකත්වය යනු ඉංගිලිසි පදයක තේරුම දෙන්නට නිර්මාණය කරගත්
මැවිසුරුවා, පිරිවිතර, කොන්දොස්තර, මියැසිය, රිද්මය වැනි වදනක් නොවේ යැයි මම සිතමි. මා දන්නා පරිදි පුකත්වය යනු හුදු හෙළ නිපයුමක් ම වේ. මක් නිසාද යත් පුකත්වය පෙන්වන්නට, පුකත්වය එළිදරව්වෙන ආකාරයේ කටයුතු කරන්නට අපට පර සුද්දා ගේ වැඩ කිඩ හෝ වචන හෝ අවශ්‍ය නැති නිසාය.
පුකත්වය යන්නට ඉංගිලිසි වදනක් අවැසිම නම් ඒ සඳහා ආර්ස්හෝල්ඩ්නස් (Arseholedness) යන්න ගැලපේ යැයි මම සිතමි.
කෙටියෙන් නිර්වචනය කළහොත් පුකත්වය යනු නිරුවතයි.
නමුත් එක් වැදගත් වෙනසක් ඇත.
නිරුවත බොහෝ විට සුන්දර, සෞන්දර්යාත්මක, රාගය වඩවන, කලාත්මක, ආහ්ලාදය ගෙන දෙන දෙයකි. නිරුවත දැකීමෙන් බොහෝ විට සිත පිබිදේ. කුල්මත් වේ. ප්‍රීති ප්‍රමෝදයට පත්වේ. ඔකඳ වේ.
පුකත්වය එසේ නොවේ. පුකත්වය පිළිකුල් සහගතය. අප්‍රසන්නය. අපුලය. ඔක්කාරය ඇති කරයි.
නිරුවත හෙලිදරව් වීම තරමක් හෝ ඉවසිය හැකි වුවත් පුකත්වය හෙලිදරව් වීම ඉවසිය නොහැකි වන්නේ එනිසාය.
පුකත්වය එලිදරව් වූ විට මුළු පරිසරයම ගන්දස්කාර වේ!
පුකත්වය සඳහා මගේ දීර්ඝ නිර්වචනය එසේය.
දැන් පුකත්වය යන වචනය පහදා දීම සඳහා මේ අතීත කතාව ගෙන හැර දක්වමි.
මා පෙරේදා ලියූ
නිරුවත හෙලිවීම නම් වූ කයි-කතන්දරය මතකද? ඒ කවිය ලියවුණු වකවානුවේ මා ප්‍රධාන වශයෙන් කල් ගෙවුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේ ය.
අක්බාරයේ විසූ අප කෑම ගත්තේ එහි තිබුණු කැෆටේරියාව නොහොත් භෝජනාගරයෙනි. මෙහිදී මා රසවිඳි ගෙඩි
ගෝවා මැල්ලුම සහ මූං ඇට හොඳි යනාදිය ගැනද,
ටෙකිෆන්කන්ට් රූපවාහිනිය ගැන ද මා කලින් ලියා ඇත.
අක්බාර් කැෆටේරියාවේ කොන්ත්‍රාන්තුව මේ කාලය වන විට අප ප්‍රිය නරියා මුදළාලිගෙන් වෙනත් අයෙකුට පැවරී තිබුණි.
කවරෙකු කළා වුවද මෙය මහා ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් නොවේ. රුපියක් තුනයි පනහකට මිල නියමව තිබුණු කෑම පිඟානකින් කවර නම් ලාභයක් ගන්නද?
සතියේ දිනවල ලැබෙන පැයේදී දවල් කෑම අපි කෙසේ හෝ රස නොබලා ගිල දැම්මෙමු. රාත්‍රී කෑම ගැන තත්වය නම් එසේ නොවීය. අත ලඟ නොවූවද, වූස් එක, සංඝමිත්තාව, නාදන් එක යනාදී විකල්ප කිහිපයක් ද අක්බාර් වැසියන් සතුව තිබුණි.
මේ අතර මුදළාලිගේ තිබුණේ වෙනත් අරමුණකි. එය නම් ලාභාංශය අඩු බත් නොව ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදී වැඩි ලාබයක් ගෙන දෙන රාත්‍රී කැම වර්ග අපට කැවීමයි.
මේ හේතුව නිසා යාන්තම් හවස හත පමණ වෙන විට කැෆටේරියාවේ බත් අවසන් විය. එතැන් සිට අපට කන්නට තිබුණේ තවත් රුපියල් කීපයක් වැඩියෙන් වැය වෙන ඉඳිආප්ප හෝ ගෝදම්බ රොටිය.
ගෙදරින් ලැබෙන සොච්චමකින් ජීවිතය ගෙවන අප බොහෝ දෙනෙකුට මෙය දරාගත නොහැකි තත්වයක් විය.
අක්බාර් ශාලාවේ ශාලා කමිටු රැස්වීමට මුදළාලි කැඳවනු ලැබුවේ මේ ගැන විමසීමටයි.
"සර්, මං කීප දවසක්ම සෑහෙන පිරිසකට බත් උයලා සර්ලා පිටින් කාපු හින්දා ඒවා විසි කරන්න වුණා. ඒ හින්දායි මං බත් උයන ගාන අඩු කෙරුවේ" මුදලාලි නිදහසට කරුණු දැක්වීය.
"එහෙම රිස්ක් එකක් ගන්න මේ වගේ බිස්නස් එකක් කරන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ!" කවුදෝ කොල්ලෙක් සභාවේ සිට කීවේය.
"අනේ සර් එහෙම ලිස්ට් එකක් ගන්න පුළුවනි නම් කොච්චර හොඳද? එහෙම නම් මට ඒ ලිස්ට් එකේ ගාණට හරියට උයන්න පුළුවනි!"
සභාවේ සිනා මැද මුදළාලි පොරොන්දු වූයේ ආයේ දිනයක එළෙස සවස 7:30 ට කලින් බත් අවසාන නොවෙන පරිදි වග බලාගන්නා බවත්, ඉන් පසු කෑම සඳහා ඉඳිආප්ප යනාදිය සපයන බවත්ය.
ඉන් සති දෙකක්වත් ගත වෙන්නට පෙර සිදුවූයේ මුදළාලි නොසිතු දෙයකි.
සාමාන්‍යයෙන් සති අන්තයට අක්බාරයේ ජනගහනය අඩුවේ. ඒ කොල්ලන් කොටසක් ගෙදර යන නිසාය. මේ සති අන්තයේ කුමක්දෝ සර්වේයින් ව්‍යපෘතියක් වැනි දෙයක් යෙදී තිබුණු නිසාදෝ තත්වය වෙනස් විය.
එහි ප්‍රතිඵලය වූයේ හවස වැඩි වේලාවක් යන්නට කලින් බත් පමණක් නොව, මුදළාලිට වැඩි ලාභයක් ගෙනදුන් ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදිය සියල්ල විකිණී අවසාන වීමයි.
තවත් විසි තිස් ගණනක් රෑට කන්නට බලා සිටිති. කැෆටේරියාවේ කුස්සිය හිස්ය. බතුත් නැත. ඉඳිආප්පත් නැත. රොටීත් නැත. මුදළාලි ට තරු පෙනේ.
"ඔන්න මුදළාලියා ගේ පුකත්වය එළිදරව් වුණා!" මා මිතුරු ජෝෂප් මොරවැව ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණු තත්වය සංක්‍ෂිප්තව විස්තර කළේ එලෙසය.
ඒ මා පුකත්වය යන වචනය මුලින්ම ඇසූ දිනයයි. ඒ උදාහරණයෙන්ම වචනයේ අරුත පැහැදිලි විය.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතන්දරය මා ලියා ඇති අනෙක් කතන්දර මෙන්ම සත්‍ය සිදුවීමකි. මෙය මගේ සිහියට ආවේ පෙරකී "නිරුවත හෙලිවීම" කතන්දරය ලියන අතරතුර ය. මේ ගැන අනවශ්‍ය පරිදි දිගට සිතා කොකු/තොප්පි දමානොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි.
(image: http://www.sodahead.com/fun/arsehole-of-the-week-6/question-2460005/?page=2)