
පේරාදෙනියේ සිටි අවසන් වසරේ එක් දිනයක මම විශ්ව විද්‍යාලයට නුදුරින් විසූ මිතුරෙකු ගේ නිවසින් දිවා ආහාරය ගත්තෙමි.
අප බත් කෑමෙන් පසුව මේසයට ආවේ පිඟානක් පුරා වරකා මදුළු මෙන් දිස්වූ නමුත් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල කහ පැහැති පලතුරකි.
"මේවා දූරියන්. කාලා තියෙනවාද?" මා මිතුරා පැවසීය.
"දැකලා තියෙනවා. අහලා තියෙනවා රහයි කියලා. හැබැයි කවදාකවත් කාලා නං නෑ!" මම කීවෙමි.
"කාලා බලපං මචං, මාර රහයි!"
"කෝ බලමු!" මම එක් දූරියන් මදුලක් අතින් ගෙන කටට ලං කළෙමි.
අමුතුම ආකාරයේ ගඳක් මගේ නැහැය සිසාරා ගියේය.
එයින් කලබල නොවූ මම දූරියන් මදුලෙන් කොටසක් මුව තුලට ඔබා හැපුවෙමි.
"ඕක්!"
ඒ මාගේ ක්‍ෂණික ප්‍රතිචාරය විය.
මම වහා දූරියන් කැබැල්ල මුව තුලින් ගෙන අසල වූ කුණු බක්කියට දැමූවෙමි. අතේ තිබූ දූරියන් මදුලේ ඉතුරු කොටසටත් අත් වූයේ ඒ ඉරණමයි.
මා මිතුරා මට සරදම් සිනාවක් පාමින් දූරියන් ගෙඩියේ ඉතුරු කොටසට සතොසේ වැඩ සටහන දුන්නේය.
"මූ කොහොම මේ මල ජහදරාව කනවද මන්දා?" එදා මගේ හිතේ ඇතිවුණු සිතුවිල්ල එලෙස විය.
ඉන්පසු වසර කිහිපයක් යනතුරුම විටින් විට දුරියන් දුටුවද ඒ දෙස ඇස ඇර බැලුවේ මා නම් නොවේ!
එහෙත් මින් දශකයයකට පමණ පෙර දිනක ඒ සියල්ල වෙනස් විය. එදා වදෙන් පොරෙන් දූරියන් මදුලකින් ඉතා කුඩා කොටසක් පිහියකින් කපා (එලෙස කෙරුවේ මුලු දූරියන් මදුලම නාස්ති නොවනු පිණිසය.) කෑ මම, ඉන් දූරියන් රසයට කොතරම් ඇදී ගියාද කියනවා නම්, දැන් දූරියන් ගෙඩියක් ලඟින් මා ඉවතට ඇද ගැනීම අසීරු කාර්යයකි.
මේ සියල්ල මට සිහිවූයේ සති දෙකකට පෙර මා ලද එක්තරා ත්‍යාගයක් නිසාය.
ඒ දූරියන් චෙකලට් පෙට්ටියකි.
පසුගිය දිනයක රාජකාරියේ කොටසක් ලෙස සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නට මැලේසියාව බලා ගිය කතන්දර හාමිනේ අපාසු එන විට මා වෙනුවෙන් ගෙනවිත් තිබූ එක් ත්‍යාගයක් වූයේ මෙකී දූරියන් චොකලට් පොට්ටියකි.
මේ තුල තිබෙන කුඩා බිම්මල් හැඩයේ චොකලට්ටු ඇතුලේ සැබෑ දූරියන් පලතුරු කොටසක් ඇතුලත්ය.

දූරියන් සහ චොකලට් මිශ්‍ර වූ විට ලැබෙන්නේ අපූරු රසයකි.
දැන් මෙන්න මගෙන් ගුටි කන ප්‍රකාශ දෙකක්.
1. දූරියන් කා රස විඳීමේ වාසනාව ලැබීමට පින් කර තිබිය යුතුය.
2. දූරියන් නො කෑ යම් කටක් වෙත් ද, එය පව් කළ කටක් යැයි සිතමි.
-කතන්දරකාරයා
ප/ලි:
දූරියන් චොකලට් ලැබුණද, ගිය වසරේ මෙන් "අරවා" නම් නොලැබුණු බව කණගාටුවෙන් යුතුව සඳහන් කරමි.