
මං මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 ජූලි මාසයේදී යි.
එදා ඉඳන්ම වගේ මං කළ දෙයක් තමයි බ්ලොග් ගැනත් මගේ බ්ලොග් එක ගැනත් මට හමුවන දන්න, නොදන්න හැම දෙනාටම ඉඩ ලැබෙන පරිදි කියලා දෙන එක.
මේ සඳහා මං "බිස්නස් කාඩ්" එකකුත් ගැහැව්වා. මට මතකයි 2009 දෙසැම්බර්වල තිබුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පළමු රැස්වීමට ඇවිත් මං මගේ කාඩ් බෙදපු හැටි.
හැබැයි, බ්ලොග් ලියන අයට විතරක් කාඩ් බෙදලා තේරුමක් නෑ. අපි කියවන්න උනන්දුවක් ඇති, පරිඝණක භාවිතා කරන සියළු දෙනාම අතර බ්ලොග් ගැන ප්‍රචාරය කරන්න ඕනෑ.
මට මතකයි සිහි සටහන් ලියපු චානුක වත්තේගම මේ ගැන හිතලා සති කිහිපයක් පුරා බ්ලොග් ගැනත්, සිංහල බ්ලොග් අවකාශයේ තියෙන විවිධ බ්ලොග් ලිපි ගැන උදාහරණත් එක්ක ලිපි පෙලක් ලිව්වා ඉරිදා ලක්බිම පත්තරේට. ඒ ලිපි පෙල කියවලා සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් ගැන දැනගත්තා.
කොහොම හරි මං මුලින් ගහපු බිස්නස් කාඩ් 250 අවුරුද්දක් එකහමාරකින් විතර ඉවර වුණා. ඊට පස්සේ මං කාඩ් 500 ක් මුද්‍රණය කළා. ඒකේ අන්තිම සීයක් විතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.
මං හිතන්නේ මගේ බිස්නස් කාඩ් එක ලැබුණු කීප දෙනෙක් හරි ඒ නිසා කතන්දර බ්ලොග් එක කියවන්නත්, ඒකේ තියෙන බ්ලොග් ලයිස්තු හරහා අනිකුත් බ්ලොග් කියවන්නත් පටන් අරගෙන ඒක දැන් ජයටම කරගෙන යනවා.
දැන් සාර්ථක හතරවෙනි අවුරුද්දේ බ්ලොග් ලියමින් හිටයත් මං තාම බ්ලොග් එක ප්‍රචාරය කරන වැඩ පිළිවෙල නවත්වලා නෑ!
මේ සේරම කිව්වේ මෙන්න මේකටයි.
මං 2008 අවුරුද්දේ විතර ඉඳලා දන්න ලිහිණි හෙවත් සංජීවිකා මනෝහරී ත් බ්ලොග් එකක් ලියනවා.
ලිහිණි කියන්නේ කිවිඳියක්, ගීත රචිකාවයික්, ලේඛිකාවක් බව මං ඊටත් කලින් ඉඳලා දැනගෙන හිටියා බූන්දිය හරහා. බස් රේඩියෝවේ වැඩ සටහනේදීත් මං තෝරපු සින්දු අතරට ලිහිණි ලියූ, කුමාරි මුණසිංහ ගායනා කළ සිහින කළාලේ සින්දුව ඇතුළත් කළා මට මතකයි. ලිහිණි ලියපු "නිරුවත් සිතුවිලි" කියන තීරු ලිපියේ කොටසුත් මං කියවලා තිබුණා.
ඒත් මං මේ ඊයේ-පෙරේදා වෙනකං දැන ගෙන හිටියේ නෑ, ලිහිණි, "ලිහිණිසර" නමින් බ්ලොග් එකක් ලියන බව.
මෙන්න ලිහිණිසර ලිපිනය: http://lihinisara.blogspot.com/
ලිහිණිසරේ මං මුලින්ම කියෙව්වේ ලිහිණි තමන් ඉගෙන ගත්තු එක්තරා විශ්ව විද්‍යාලයකට මේ ළඟදී දවසක ගිහින් අත්විඳපු සිදුවීමක් ගැන කතාවක්.
http://lihinisara.blogspot.com/2013/01/blog-post_8791.html
අපි ආපහු ගල් යුගයට යනවාද කියලයි මට ඒක කියොපු වෙලාවේ හිතුනේ.
පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද පියතිලකගේ සිංහල බෞද්ධ තලේබාන් අවවාදය මීට දශක කිහිපයකට කලින් ලැබිලා තිබුණත්, මේ කියන විශ්ව විද්‍යාලයේ කුමරි බඹසර හොයන කේස් එකක් ගැන අහලා තිබුණත්, ත්‍රී-ක්වාටර් කලිසම් ගැන සිංහල බෞද්ධ තලේබාන් නීතිය මං දැනගත්තේ ලිහිණි ගේ කතාවෙනුයි.
අනේ කාලේ, වනේ වාසේ...!!!
මට මතක් වුනේ මේ ඊයේද කොහෙද බ්ලොග් ලිපියක හරි කමෙන්ටුවක හරි කියෝපු වැකියක්.
"අපි මේ යන්නේ සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබියක් කරා ය!"
-කතන්දරකාරයා
(image: http://idaspoetics.com.au/2012/07/who-is-the-wind-or-are-you-the-wind/)