
අවංකවම කියනවා නං සිංහල සංගීත ක්ෂේත්රයට මගෙන් වුණු සේවය කියලා නිම කරන්න බැරි තරමට විශාල එකක්.
ඒ සේවය මං කෙරුවේ ඉඳලා හිටලා ආධුනික ගායකයෙකුගේ සින්දුවකට පදමාලාවක් ලියලා දීම හරහා නොවෙයි. ඒ ආකාරයේ කිසිදු මහන්සිවීමකින් තොරවයි.
ඒ කතාව මෙහෙමයි.
ඔන්න මං හයේ පන්තියට ලොකු ඉස්කෝළෙට ගියාම අපිට කිව්වා එක්කෝ සංගීතය, නැත්තං චිත්‍ර නැත්තං නැටුම් තෝරාගන්න කියලා සෞන්දර්ය විෂය විදියට.
මට ඕනැ වුනේ සංගීතය කරන්න.
මං ගෙදර ගිහින් තාත්තාට කිව්වා.
"උඹ චිත්‍ර කරපං!" තාත්තා කිව්වා.
මං අම්මට කිව්වා.
"ඔයා නැටුම් කරන්න!" අම්මා කිව්වා.
ඉතිං මං සංගීතය තෝරා ගත්තා.
ඒ වැඩේ ලේසි වුනේ නෑ. මොකද සංගීතයට ඩිමාන්ඩ් එක වැඩියි පන්තියේ තිබුණු ඉඩ ප්‍රමාණයට වඩා. සංගීත සර් අපිට සින්දුවක් කියන්න කියලා ඒ ප්‍රායෝගික පරීක්ෂණය මගිනුයි ළමයින්ව තෝරා ගත්තේ.
කොහොම හරි ඔන්න මාත් අවුරුදු ගණනාවක්ම සංගීතය ඉගෙන ගත්තා.
ජන ගී
රාග
සරිගම පධනිස
ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත
අරවද මේවද? වැඩ කෝටියයි.
අන්තිමේදී විභාගේ ආවා. තියරි පේපර් එකයි. ප්‍රායෝගික පරීක්ෂණයයි.
ප්‍රායෝගික පරීක්ෂණයට තිබුනේ, පරීක්ෂිකාව සෘති පෙට්ටියෙන් ස්වර කණ්ඩයක් වාදනය කළාම ඒක මොකක්ද කියලා හඳුණාගෙන ලියන්නයි.
තව ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත වගේ සරල කරුණු ගැන ප්‍රශ්නයක් දෙකක් තිබුණා.
අර ස්වර කණ්ඩය හඳුණාගන්න වැඩේ තියෙනවා නේද?
මට ඒක නං මෙලෝ හසරක් තේරුණේ නෑ.
ඉතිං ප්‍රායෝගික කොටසට තිබුණු ලකුණු හැටෙන් ඔන්නං මට තිහක් ලැබෙන්න ඇති. බහුවරණ තියරි පේපර් එක තිබුණු නිසා ඩිෂ්ටින්ෂන් එක මිස් වුණත් ජාම් බේරාගත්තා ක්‍රෙඩිට් එකක් අරගෙන.
එදා සංගීතයට ඩිෂ්ටින්ෂන් එක මිස් වෙච්ච දවසේ මට හිතුණා අපරාදේ නේ මේ තේරුමක් ණැති විදියට සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයක් තියන්නේ කියලා. නිකං තියරි පේපර් එකක් විතරක් දුන්නා නම් මාත් අද හොඳ සංගීතඥයෙක්.
කොහොම හරි මං තේරුම් ගත්තා ඔය සංගීතය කියන වැඩේ මං වගේ පොරකට නොගැලපෙන සත පහේ වැඩක් බව.
ආයේ මුළු ජීවිතේටම සංගීතය ඉගෙන නොගන්න මං තීරණය කළේ ඒ නිසයි.
ඒ තීරණය එදා ගත්තු සරල එකක් වුණත්, ඒ නිසා මං සිංහල සංගීත ක්ෂේතයට නොදැණුවත්වම කරලා තියෙන්නේ අප්‍රමාණ සේවයක්.
-කතන්දරකාරයා
(image: http://www.sitarsencat.com/cat-sitars-tabla-india/211/tabla-sets)