
"ලොකු පුතා ලැහැස්ති වෙන්න"
මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!"
තුන් වසරැති
බාල සොයුරා සමග මා මිදුලේ සෙල්ලම් කරමින් සිටි ස්ථානයට දිව එන ඇය ඔහු රැගෙන නිවස තුලට යයි. ඒ
මල්ලීව ගමනට සූදානම් කිරීමට බව මට හැෙඟ්. මගේ වාරයට තව කල් ඇත.
එක් වසරැති බිළිඳා නිවස තුල තද නින්දේය. ටික වේලාවකින් ඔහු හඬන මිහිරි නාදය නොඇසුණි.
මල්ලී සමග සෙල්ලමේ යෙදීමට මා කැමතිම ස්ථානය වූයේ ගල් බොරලූ වැලි පිරුණු මිදුලේ කොණක තිබූ කිසි දිනක පල දරා නොමැති රඹුටන් ගස යට සෙවණයි. අප දෙදෙනා අතර වයස පරතරය යාන්තමින් මාස දහතුනක් විය. අපේ සෙල්ලම් කිරීම සමහර විටෙක අවසාන වූයේ දබරයෙනි.
අම්මා අකමැති වූයේ ද ඒ අවසානයටයි.
තව වසරකින් පමණ බිළිඳා ද ලොකු මහත් වී අප හා එක්වණු ඇති බව මම දනිමි.
මුහුණ කට සෝදවා අළුත් ඇඳුමින් සරසවන ලද
මල්ලී නිවසින් එළියට එයි. නිවස පිටුපස පිහිටි ලිඳ අසල සිට අම්මා නැවත මට අඬ ගසයි. බිළිඳා නෑවීම සඳහා ඇය ලිඳෙන් ඇද ගන්නා වතුරින් බේසමක් පුරවනු මට යාන්තමට පෙනේ.
"ලොකු පුතා එන්න, මූණ හෝදන්න!"
අම්මා නැවතත් මට කතා කරයි. මෙවර ඇගේ කට හෙඬ් ඇත්තේ මද කෝපයකි. එය මා ගැන ඇතිවුණු කෝපයක්ම පමණක්ද?
මම කිඹුලා දෙස නැවත බලමි. මේ අම්මා මාස කිහිපයක කලින් දිනයක මාබිම පොලෙන් මට මිළදී ගෙන දුන් කොල පැහැති ප්ලාස්ටික් කිඹුලාය.
කිඹුලා ගේ ගෙල වටා බැඳ ඇති පරණ ඉලාස්ටික් පටියද එහි අනෙක් කෙළවර ගැට ගැසුණු ගල් කැටයද මට පෙනේ. ඒ මගේ ශූර ක‍්‍රියාවක ප‍්‍රතිඵලයකි. ඇත්තම කිවහොත්
මල්ලී ද මේ ගැට දැමීම සඳහා මට උදව් කළේය.
මම කිඹුලා ද, ඉලාස්ටික් පටිය සහ ගල් කැටය ද අතට ගෙන හැකි වෙර දමා නැවතත් රඹුටන් ගසේ අතු දෙසට ඉහලට විසි කරමි. මල්ලී සමග මා කලින් උත්සාහ කළ කිහිප වතාවේම සිදුවූවාක් මෙන් ඒ සියල්ල මෙවරද බිම පතිත වෙයි.
මම උත්සාහය අත නොහරිමි. උත්සාහවන්තයා තනිවම උත්සාහ කළ තෙවන වතාවේ ජය ගනී. මගේ කුඩා සිතට ඇති වන්නේ මහා ප‍්‍රීතියකි.
මම ඒ ප‍්‍රීතිමත් සිතෙන් යුතුව ලිඳ දෙසට දිවයමි. තව දුරටත් පමා වූවොත් අම්මාගෙන් තට්ටමට පොඩි පහරක් ලැබෙන්නටද ඉඩ ඇත.
ඇඟ සෝදාගෙන නිවස තුලට ගොස් අළුත් ඇඳුමින් සැරසෙන මට දක්නට ලැබෙන්නේ අපේ අනෙක් ඇඳුම් සියල්ලම සූට්කේස් තුල අසුරා ඇති බවයි. කුස්සියද අස්කර එහි තිබූ බඩුමුට්ටු විවිධ කූඩා සහ මළු තුල බහා ඇත.
"අපි අද ඉඳලා ඔයාගේ ආච්චිලා ගේ ගෙදර පදිංචියට යනවා" අම්මා කියයි. "අපි ආයේ මේ ගෙදරට එන්නේ නෑ!" ඇගේ කටහෙඬ් ඇත්තේ ශෝකයකි.
ඒ මේ කුලී නිවස හැරයාම ගැන ඇති වුණු දුකක් ද නැතිනම් පියාගේ මහගෙදර ඥාතීන් හා ජීවත්වීමට යාම පිළිබඳව ඇතිවූ දුකක් ද යැයි මට නොතේරේ. එය ඒ දෙකෙහි සම්මිශ‍්‍රනයක් වෙන්නට ඇත.
මා පසුව දැනගත් පරිදි අප ඒ දිනවල සිටි කුලී නිවස පිහිටා තිබුණේ පියාගේ සේවා ස්ථානය අසල අක්කර දෙකක පමණ පොල්වත්තක් මැදය. මේ සිදුවීමට කීප දිනකට කලියෙන් එක්තරා රාත‍්‍රියක පොල්වත්තට පැමිණි හොරු කීප දෙනක් ගස්වලින් පොල් කඩා ඇත. ඔවුන් එය කර ඇත්තේ නිහඬව හොරුන් මෙන් නොව මහ හඬින් කතාවේ යෙදෙමිනි. කුඩා ළමුන් තිදෙනෙක් සහ බිරිඳ සමග මේ නිවසේ සිටීම ආරක්‍ෂාකාරී නොවන බව මගේ පියාට වැටහෙන්නට ඇත.
ඔහු මේ ප‍්‍රදේශයේ පදිංචිව සිටියේ සේවා ස්ථානය ආසන්න නිසා වුවද පියාගේ මහ ගෙදර පිහිටියේ ද සැතපුම් දහයක් පමණ නුදුරිනි. හැකි විගස මහ ගෙදර ගොස් පදිංචි වීමට පියා තීරණය කර ඇත්තේ එහෙයිනි.
කුඩා ලොරියක් ද ඒ පසුපස කාරයක්ද මිදුළට එයි. මේ හන්දියේ කඬේ කුලී රථයයි. මගේ පියා ඉන් බසින අතර තරුණයෝ දෙදෙනෙක් ලොරිය පසුපස සිට බිමට පණිති. පැය භාගයක් පමණ කාලයක් ඇතුලත අපේ සියළු චංචල දේපල, එනම් ඇඳන් දෙකක්, අල්මාරියක්, ලියන මේසයක්, කෑම මේසයක් සහ පුටු කිපයක්, කුස්සියේ බඩු සහ සූට්කේස් කීපයක් ලොරිය තුලට ද, කුලී රථයේ ඩිකිය තුලට ද පැටවේ.
අපේ පවුල රැගත් කාරය පොල්වත්ත මැදින් කෙමෙන් කෙමෙන් මහාමාර්ගය දෙසට ඇදේ. ලොරියද අප පිටුපසය.
අම්මා ඇගේ තෙත්වුණු ඇස් කුඩා ලේන්සුවකින් පිස දමයි. මම පිටුපස හැරී පොල්වත්ත මැද පිහිටි අපේ කුලී නිවස දෙස බලමි. මිදුලේ කෙළවර ඇති රඹුටන් ගස මගේ නෙත ගැටේ.
"මගේ කිඹුලා! මගේ කොලපාට ප්ලාස්ටික් කිඹුලා!!" මම කෑ ගසමි. "අනේ ඌ රඹුටන් ගහ උඩ, අයියෝ!"
කිසිවෙකුට මගේ කෑ ගැසීම නොඇසේ.
කුලී රථය පොල්වත්තෙන් නික්ම මහාමාර්ගයට පිවිසෙයි. මට තව දුරටත් රඹුටන් ගස නොපෙනේ.
ඇත්තටම මට කිසිවක් පැහැදිලිව නොපෙනේ. මා වටා ඇති සියලූ දේ ම බොඳවී ඇත.
කතන්දරකාරයා
ප/ලි
ඔරිජිනල් කතන්දරය සඳහා මෙතන බලන්න.
http://kathandara.blogspot.com.au/2012/11/there-is-crocodile-up-in-tree.html
>(image: http://www2.crayola.com/educators/lesson_plans/printer.cfm?id=1276)