
ලෝකේ කොයි හතර දිග්බාගේ හිටියත් පිරිමින්ට පොදු එක්තරා ප්‍රශ්නයක් තියෙනවා.
මේක සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රශ්නයක්.
මං මේ කියන්නේ අර පත්තරවල තෙල් බේත් කාරයෝ දැන්වීම් දාලා පෙති, කරල්, ක්‍රීම් ජාති විකුණාගන්න බලන අප්‍රාණිකත්වය, නෂ්ටකාමය හෝ ක්‍ෂණික මෝචනය වගේ කේස් ගැන නොවෙයි.
මේක ඊට වඩා ජෙනරික් ප්‍රශ්නයක්.
මේ පොදු පිරිමි ප්‍රශ්නය තමයි පිරිමි තමන් ගේ සෞඛ්‍යය ගැන නිසි අවධානය යොමු නොකිරීම.
කඩේට ඇවිදලා යන කොට පොඩි මහන්සි ගතියක් එනවා. කෝච්චියට දුවන කොට පොඩ්ඩක් හති එනවා.
ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී හාට් ඇටෑක් එකක් එනකං දන්නේ නෑ.
ටොයිලට් ගියාම ටිකක් වෙලා යනවා. ඒ හින්දා තේ එකක් නොවෙයි දෙකක්ම බීලා යනවා. නිතරම අජීර්ණ ගතියක් දැනෙනවා.
ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී බවල් කැන්සර් එකක් එනකං දන්නේ නෑ.
ඒ විතරක් නොවෙයි.
චූ කරන්න ගියාම වෙනදාට වඩා වෙලාව යනවා. ඒ ගිහින් තව ටික වෙලාවකින් ආපහු යන්න ඕනෑ වගේ දැනෙනවා.
ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී ඒක ප්‍රොස්ටේට් කේස් එකක් වෙනකං දන්නේ නෑ.
ඔය වගේ තව නොයෙකුත් උදාහරණ දෙන්න පුළුවනි!
පිරිමි හොරයි තමන් ගේ ලෙඩ ගැන අනුං එක්ක කියන්න, කොටින්ම දොස්තර කෙනෙක් එක්කවත්. ඉතිං මුලදී හඳුනාගෙන ඉක්මනින්ම සුව කරගන්න පුළුවන් දේවල් අන්තිමේදී මහා ප්‍රශ්න වෙනවා.
ඔය සේරම මතක් වුණේ පොඩි කේස් දෙකක් හින්දයි.
එකක් දන්නා කියන හිතවතෙක් ගැන ලැබුණු ආරංචියක්. ඔහුට කාලෙක ඉඳලා ඇවිදින කොට මහන්සිය, ටිකක් හයියෙන් යන කොට හතිය වගේ දැනුනට ගාණකට ගන්නේ නැතුව ඉඳලා. පස්සේ බිරිඳගේ බවලත් (බලවත්) ඉල්ලීම පිට ගිහින් දොස්තර ළඟට ගිහින් බැලින්නම් හාට් කේස් එකක්. වැඩේ ඉස්පිරිතාලෙනුයි නතර වුණේ.
දෙවෙනි කේස් එක මට මේ ඊයේ වෙච්ච වැඩක්.
සයිබරයෙන් අඳුනා ගත්තු හිතවතෙකු ගේ ගෙවල් මාරු කරන වැඩේට උදව් කරන්න ගිහින් දණහිස වැදුණා ඇඳක විට්ටමේ. කේස් එක වුණේ උදේ එකොළහට විතර. එවෙලේ පොඩ්ඩක් විතර රිදුණත් ගණං ගන්නේ නැතුව හිටියා පොර සේ.
පස්සේ හවස් වෙන කොට දණහිස හොඳටෝම ඉදිමිලා අඩිය තියලා ඇවිදින්න බැරිවුණා. හාමිනේ ගේ උපදෙස් පිට අයිස් පැක් තියලා, පැය ගාණක් ඇඳට වෙලා ඉඳලා තමයි යන්තං වැඩේ ගොඩ ගියේ.
මේ හයිබ්‍රිඩ් ආදර්ශ පාඨය අහලා තියෙනවද?
පුංචි පැලේ ගස වෙන නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන්න වෙනකං ඉන්න එපා!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න අණ්ඩක් කැඩී දණහිස නැමීමට බැරි වියක තර්ප්පුවකින් ඉහලට පහලට යෑමේ ක්‍රමවේදය.
නගින කොට ඉස්සෙල්ලා හොඳ කකුල තියන්න. අනික පසුව ගන්න.
බහින කොට ඉස්සෙල්ලා කැඩුණු කකුල තියන්න, අනික පසුව ගන්න.
(image: http://en.wikipedia.org/wiki/File:International_Men%27s_Day_Symbol.png)