
සියඹලාංඩුව කියන ගම දන්නව නේද? ඒක තියෙන්නෙ අම්පාරෙ ඉඳල පහලට එනකොට රත්නපුර පාරෙ. මුලින්ම මං මේ ගමේ නම ඇහුව දා මට හිතුනෙ ඒ, අපි අහල පුරුදු ලංකාණ්ඩුව වගේ, තවත් ආංඩුවක් කියලයි.
ලංකාණ්ඩුව කියන්නෙ ලංකා ආංඩුව කියන වචන දෙකේ සන්ධි වීමෙන් හැදුන වචනයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මේක ඒ දවස්වල ලිව්වෙ ලඬ්කාණ්ඩුව කියලයි. මේ වචනෙ මූලිකවම දකින්න ලැබුණෙ ආංඩුවෙ ලියකියවිලි වලයි, ෆෝර්ම් කොල වලයි. ඒ එක්කම, ඒ දවස්වල ආංඩුවෙ ඔෆිස් වල භාවිතා කරපු නිල් පාට සහ රතු පාට පැන්සල් වලත් ඒක සුදු පාටින් කොටවල තිබුණ මට මතකයි.
මේ නිල් පාට, රතු පාට පැන්සල් හැඩයෙන් අටපට්ටම්. වට ප්‍රමාණයෙන් සාමාන්‍ය පැන්සල් වලට වඩා මහතයි. ආණ්ඩුවෙ කාර්යාල වල මේව පාවිච්චි කරන්න ඇත්තෙ, 8:00 ට නිල් ඉර ගහන්න යි 8:05 ට රතු ඉර ගහන්නයි වෙන්න ඕනැ. පාට පැන්සල් වලින් ලියන්න බෑනෙ.
ඉස්කෝලවලටත් මේව දීල තිබුණ, ඒ ළමයින් ගෙ අභ්‍යාස ලකුණු කරන්න වෙන්න ඕනැ.
අපිට ඒ දවස්වල මේ පැන්සල් හරිම අගේ ඇති වස්තු. හැමෝටම නැති බඩුනෙ. අර කූරු හතරක් තියෙන කාබන් පෑන් වගේ.
ඉතිං අද කතාව මේකයි.
මං පහේ පන්තියෙදි එක වාර විභාගයක් ඉවර වෙලා (ඒ දවස්වල වාර විභාග තුනක් තිබුණ) රිපෝට් කාඩ් දෙන දවසෙ ලොකු මහත්තය, ඒ කියන්නෙ ප්‍රින්සිපල්, අපේ පන්තියට ආව. "කවුද මේ පන්තියෙ පලමුවෙනිය?" මෑන් ඈහුව අපේ පන්ති බාර මුණසිංහ ටීචර් ගෙන්.
මේ කතන්දරකාරය තමයි ඒ අවුරුද්ද පුරාම පලමුවෙනිය. ඒ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ?
ටීචර් මාව පෙන්නුව. "බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය මට සාක්කුවෙන් අරං දුන්න අර සුවිශේෂී අටපට්ටම් ලඬ්කාණ්ඩුව පැන්සලක්, තෑග්ගක් විදියට.
අපේ ටීචර් ට හිතෙන්න ඇති ඒ තෑග්ග පොඩි වැඩිය කියල. මගේ අගය තවත් වැඩි කරන්නද කොහෙද ටීචර් කිව්ව "කතන්දරකාරයා ගේ මුළු ලකුණු පන්තියෙ දෙවෙනියා වුන ළමයට වැඩිය එකසිය පණහක් වැඩියි!" කියල. පහේ පන්තියෙ පොඩි උන් උනාට අපිට සබ්ජෙක්ට්ස් දහයක් තිබුණ. එකසිය පණහක් වැඩි ලකුණු කියන්නේ මගේ ඇවරේජ් එක පන්තියෙ දෙවෙනියට වඩා පහලොවකින් වැඩියි.
"ංආ! ඇත්තද?" ලොකු මහත්තය ඇහැව්ව "කව්ද දෙවෙනිය වුනේ?" ඉතිං අපේ ටීචර් පෙන්නුව පුෂ්පිකාව.
"බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය සාක්කුවෙන් තවත් ලඬ්කාණ්ඩුව පැන්සලක් අරගෙන පුෂ්පිකාට දුන්න.
ඒ තෑග්ග දුන්නෙ පුෂ්පිකා පන්තියෙ දෙවෙනිය වුනාට ද නැතිනම් මට වඩා ලකුණු එකසිය පණහක් අඩුවෙන් ගත්තට ද කියල මට හිතාගන්න බැරිවුනා.
එකේ පන්තියෙ ඉඳල දහය පන්තිය වෙනකං තිබුණු වාර විභාග විසිපහකින් මං විස්සකින් ම පලමුවෙනිය උනා.
ඒ කොහොම වුනත්, එදා පහේ පන්තියෙදි ලැබුණ ලඬ්කාණ්ඩුව පැන්සල තමයි පන්තියෙ පලමුවෙනිය වුනාට ඉස්කෝලෙකින් මට හම්බවෙච්ච එකම තෑග්ග.
දුකයි නේද?
කතන්දර කාරයා (I am in Facebook now)
පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/