ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 29 September 2009
ලංකාණ්ඩුවේ අටපට්ටම් පැන්සල
සියඹලාංඩුව කියන ගම දන්නව නේද? ඒක තියෙන්නෙ අම්පාරෙ ඉඳල පහලට එනකොට රත්නපුර පාරෙ. මුලින්ම මං මේ ගමේ නම ඇහුව දා මට හිතුනෙ ඒ, අපි අහල පුරුදු ලංකාණ්ඩුව වගේ, තවත් ආංඩුවක් කියලයි.
ලංකාණ්ඩුව කියන්නෙ ලංකා ආංඩුව කියන වචන දෙකේ සන්ධි වීමෙන් හැදුන වචනයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මේක ඒ දවස්වල ලිව්වෙ ලඬ්කාණ්ඩුව කියලයි. මේ වචනෙ මූලිකවම දකින්න ලැබුණෙ ආංඩුවෙ ලියකියවිලි වලයි, ෆෝර්ම් කොල වලයි. ඒ එක්කම, ඒ දවස්වල ආංඩුවෙ ඔෆිස් වල භාවිතා කරපු නිල් පාට සහ රතු පාට පැන්සල් වලත් ඒක සුදු පාටින් කොටවල තිබුණ මට මතකයි.
මේ නිල් පාට, රතු පාට පැන්සල් හැඩයෙන් අටපට්ටම්. වට ප්‍රමාණයෙන් සාමාන්‍ය පැන්සල් වලට වඩා මහතයි. ආණ්ඩුවෙ කාර්යාල වල මේව පාවිච්චි කරන්න ඇත්තෙ, 8:00 ට නිල් ඉර ගහන්න යි 8:05 ට රතු ඉර ගහන්නයි වෙන්න ඕනැ. පාට පැන්සල් වලින් ලියන්න බෑනෙ.
ඉස්කෝලවලටත් මේව දීල තිබුණ, ඒ ළමයින් ගෙ අභ්‍යාස ලකුණු කරන්න වෙන්න ඕනැ.
අපිට ඒ දවස්වල මේ පැන්සල් හරිම අගේ ඇති වස්තු. හැමෝටම නැති බඩුනෙ. අර කූරු හතරක් තියෙන කාබන් පෑන් වගේ.
ඉතිං අද කතාව මේකයි.
මං පහේ පන්තියෙදි එක වාර විභාගයක් ඉවර වෙලා (ඒ දවස්වල වාර විභාග තුනක් තිබුණ) රිපෝට් කාඩ් දෙන දවසෙ ලොකු මහත්තය, ඒ කියන්නෙ ප්‍රින්සිපල්, අපේ පන්තියට ආව. "කවුද මේ පන්තියෙ පලමුවෙනිය?" මෑන් ඈහුව අපේ පන්ති බාර මුණසිංහ ටීචර් ගෙන්.
මේ කතන්දරකාරය තමයි ඒ අවුරුද්ද පුරාම පලමුවෙනිය. ඒ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ?
ටීචර් මාව පෙන්නුව. "බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය මට සාක්කුවෙන් අරං දුන්න අර සුවිශේෂී අටපට්ටම් ලඬ්කාණ්ඩුව පැන්සලක්, තෑග්ගක් විදියට.
අපේ ටීචර් ට හිතෙන්න ඇති ඒ තෑග්ග පොඩි වැඩිය කියල. මගේ අගය තවත් වැඩි කරන්නද කොහෙද ටීචර් කිව්ව "කතන්දරකාරයා ගේ මුළු ලකුණු පන්තියෙ දෙවෙනියා වුන ළමයට වැඩිය එකසිය පණහක් වැඩියි!" කියල. පහේ පන්තියෙ පොඩි උන් උනාට අපිට සබ්ජෙක්ට්ස් දහයක් තිබුණ. එකසිය පණහක් වැඩි ලකුණු කියන්නේ මගේ ඇවරේජ් එක පන්තියෙ දෙවෙනියට වඩා පහලොවකින් වැඩියි.
"ංආ! ඇත්තද?" ලොකු මහත්තය ඇහැව්ව "කව්ද දෙවෙනිය වුනේ?" ඉතිං අපේ ටීචර් පෙන්නුව පුෂ්පිකාව.
"බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය සාක්කුවෙන් තවත් ලඬ්කාණ්ඩුව පැන්සලක් අරගෙන පුෂ්පිකාට දුන්න.
ඒ තෑග්ග දුන්නෙ පුෂ්පිකා පන්තියෙ දෙවෙනිය වුනාට ද නැතිනම් මට වඩා ලකුණු එකසිය පණහක් අඩුවෙන් ගත්තට ද කියල මට හිතාගන්න බැරිවුනා.
එකේ පන්තියෙ ඉඳල දහය පන්තිය වෙනකං තිබුණු වාර විභාග විසිපහකින් මං විස්සකින් ම පලමුවෙනිය උනා.
ඒ කොහොම වුනත්, එදා පහේ පන්තියෙදි ලැබුණ ලඬ්කාණ්ඩුව පැන්සල තමයි පන්තියෙ පලමුවෙනිය වුනාට ඉස්කෝලෙකින් මට හම්බවෙච්ච එකම තෑග්ග.
දුකයි නේද?
කතන්දර කාරයා (I am in Facebook now)
පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/
Subscribe to:
Post Comments (Atom)
ela . . . පුෂ්පිකා ta pansala dhunne ieaga vibhagen ubawa paradhdhanna kiyala . .. hikz
ReplyDeleteටීචර් අරෙහෙම කිවුවම දෙවෙනියාට දුක/ඉරිසියා හිතෙයි කියලා වෙන්න ඇති ලොකු මහත්තයා එයාටත් පැන්සලක් දෙන්න ඇත්තෙ. මමනම් හිතන්නෙ ලොකු මහත්තයා එහෙම කරපු එක මෝඩ වැඩක් නෙවෙයි , බොහොම ඥානවන්ත වැඩක් කියලයි
ReplyDeleteChanaka Aruna Munasinghe කියන කතාව ඇත්ත. ළමා මනස ගැන කිසිම අවබෝධයක් නැති උගන්වන්නෙක් - ගුරුවරයෙක් නොවේ - වගේ!
ReplyDeleteසිරා කතාව :) අර චානක කියලා තියෙනවා වගේ ඒ කතාවට එකඟයි. ඔය වගේ ගුරුවරුත් ඉන්න නිසාත්. ඔය වගේ විදුහල්පතිවරු නොඉන්න නිසාත් තමයි වෙනද සියදිවි නසාගන්න ගොවි පරපුරේ තරමටම සිසුපරපුරත් වැඩි වෙන්නෙ.
ReplyDeleteමට මතකයි ඔය කියන කාලේ තව පැන්සල් ජාතියක් තිබ්බා කටේ දාලා කෙල පොඩ්ඩක් පෙඟවුවම කාබන් වගේ ලියන්න පුළුවන් එකක්. මේ කියන පැන්සලම ද කියන්නත් මට මතකයක් නැහැ.
ReplyDeleteඒ දවස් වල මගේ කට දම් පාට වෙන අවස්ථා දෙකක් තිබ්බා. එකක් තමයි දම් කන්න ගිහින් මුළු කටම දම් පාට වෙන එක.
අනිත් අවස්ථාව තමයි ඔය කටේ දම දම ලියන පැන්සලෙන් ලියන්න ගියාම...
මම නම් එක දිගට පන්තියේ පළවෙනියා වෙන්න ගත්තේ හයේ පන්තියෙන් පස්සේ...
ඊට පහල පන්ති වලදි පන්තියේ පළවෙනියා වුනේ කවුරැ හරි ටීචර් කෙනෙක් ගේ පුතෙක්...
මම සැලුනේ නැහැ.
:)
අපේ සීයා ලඟත් තිබුණා මතකයි එය පැන්සල් එකතුවක්, මම පුංචි සන්දියේදි ඔය එකක් අහු වෙලා කට පුරාම කළු/දම් පාට වෙච්චි පින්තුරයක් කියෙනවා.
ReplyDeleteඉස්කෝල ගැන කථා කරපු නිසා කියන්න හිතුණා.
ReplyDeleteහැමෝම තමන් ඉගෙන ගත්ත ඉස්කෝලෙට තාමත් ආදරෙයි... ඒත් මම වෛර කරනවා...
අර කිව්වා වගේ පැන්සලක් විතරක් හම්බවුණ සීන් එකක් වගේ සහ ටීචර් කෙනෙක්ගේ නෑදෑයෙක්ට මුල් පුටුව ගිය සීන් නිසා...
මටනම් ඇත්තටම වුණේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසාත් ඒ දුන්න එකාට වැරදුණාට පස්සේ මුළු ඉස්කෝලයක්ම මගෙන් ඒ දේවල් කරලා දෙන්න කියලා පිංසෙන්ඩු වුණ නිසාත්....
අන්තිමට නම ගියේ උගේ... හම ගියේ මගේ...
සැලුනේ නෑ... අද ඉන්න තත්වේ ගැන බලපුවහම මං ගැන මට පට්ට හැපී...
ඒ කාලෙ තිබුණ තුඩ මාරු කරන පැන්සල් ජාතියක් (දැනුත් තියෙද මන්ද ). තුඩ අරන් පිටිපස්සෙන් එබුවම ඉස්සරහින් අලුත් තුඩක් එනවා. ඒ කාලෙ ඔය පැන්සලක් රු:12.50 යි. මගේ අතින් ඕකක් නැති වුනා කියල ගෙදරින් මම හොඳටම ගුටි කෑව, දවසක් යනකන් බ්‍රහ්ම දණ්ඩනයත් (ගෙදර අය මාත් එක්ක කතා නොකිරීම ) පැනෙව්ව. 12.50/= ක් කියන්නෙ කොච්චර ලොකු ගානක් වෙන්න ඇද්ද ඒ කාලෙ.
ReplyDeleteඅපේ තාත්තා තැපැල් මහත්තයා නෙවැ. ඉතින් ඔය පැන්සල් වලින් මට නං අඩුවක් තිබුනේ නෑ...... ඩෝසන් මහත්තයා කියනවා වගේ කෙල ගාලා ලියන පැන්සල් ජාතියතුක් තිබුනා තමා!
ReplyDelete