
මං පෙරේද පෝස්ට් කරපු මැදපු කමිස මොකුත් නැත කියන කතන්දරේ නැගල ගියා. එදා පොරොන්දු වුණු විදියට මං මේ ලියන්න යන්නේ මගේ ඇඳුම් ගොඩේ මැදපු කමිස මොකුත් නැති එකේ රහස මොකක්ද කියලයි.
එදා කිව්ව වගේ මම් තුමාවත්, කතන්දර හාමිනේවත් සාමාන්‍යයෙන් ඇඳුම් මදින්නේ නෑ. මං හිතන්නේ මං තුමා නං අවුරුද්දකට එක දවසක්වත් මැදපු කමිසයක් ඔෆිස් ඇඳන් ගිහින් නෑ.
ඇත්තම කියනවා නං මේකේ ඇති රහසක් නෑ. ඇඳුම් මැද්දොත් තමයි ආපහු මදින්න වෙන්නේ. මදින්නේ නැති ඇඳුම් ආපහු මදින්න ඕනෑ වෙන්නේ නෑ.
මං කරන්නේ වැඩ ඇරිලා ගෙදර ආපුහාම එදා ඇඳපු කමිසය උංඩි කරලා හෝදන්න තියෙන ඇඳුම් ගොඩට විසිකරන්නේ නැතුව රැක් එකේ ඉල්ලන එකයි. සති අන්තයේ කරන්නේ මායි හාමිනේයි වැඩට ඇන්ද කමිස කලිසම් වගේ හොඳ ඇඳුම් ටික වොෂින් මැෂිමේ අඩුම තීව්‍රතාවයක් තියෙන සයිකල් එකේ දාලා, හේදිලා අහවර වෙච්ච සුනංගුවෙන් ප්ලාස්ටික් හැඟර්ස්වල දාලා අව්වේ වේලා ගන්න එකයි. මේ හැඟර්ස් ගන්න පුළුවනි ආර්පිකෝ වගේ තැනකින්.
සිරස් අතට එල්ලලා තියෙන කමිස, කලිසම්වලින් වතුර බේරිලා, ඒවා වේලිලා අහවර වෙන කොට ආයේ මදින්න ඕනැ වෙන්නේ නෑ.
තවත් ඉම්පොර්ටන්ට් කරුණු දෙක තුනක් තියෙනවා.
එක: හේදිලා ඉවර වුණු ගමන් රෙදි වනන්න ඕනෑ. පරක්කු වුනොත් ඇඳුම් පොඩි වෙනවා.
දෙක: මැදපු ඇඳුම් ඉක්මනින් පොඩි වෙනවා. කවදාකවත් මැදපු නැති ඇඳුම්, සෑහෙන කාලයක් පොඩි නොවී තියාගන්න පුළුවනි.
තුන: අතින් හෝදන ඇඳුම්, මිරිකලා වතුර යවන්නේ නැතුවම හැඟර්ස්වල දාලා එල්ලලා ඩ්‍රිප් ඩ්‍රයි වෙන්න ඉඩහැරියොත් වඩාත් හොඳයි. කතන්දර හාමිනේ ගේ ඉස්තරම් වර්ගයේ බ්ලවුස් රාජිණියන්ට සලකන්නේ එහෙමයි.
ඔය දෙවෙනි කාරණයට, ඒ කියන්නේ මැදපු ඇඳුම් ඉක්මණට පොඩි වෙන්න, හේතුව මට හිතෙන විදියට ෆයිබර්ස්වල තියෙන මෙමොරි ප්‍රොපටියක් වෙන්න ඇති. එක පාරක් මැද්දොත්, ඒක මතක තියාගෙන ඉඳලා ආයෙත් මදිනකං කීකරු වෙන්නේ නෑ.
-කතන්දරකාරයා
ප/ලි
දැං ඔය මකරගේ මොලේ නිකං මාකොෆ් චේන් එකක් කියනවනේ. මගේ මොලේ නං පොයිසොන් ප්‍රොසෙස් එකකයි තියෙන්නේ.
කොටන්-පොලියෙස්ටර් ෆයිබර්ස් මොන මොන ජංජාලවල පැටලිලා ද කියලා කවුද දන්නේ?