ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 13 November 2011
මැන්චෝසන් චාරිකා - Baron Munchausen and Kathandara Karaya
අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුනේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කලේ අපූරු චමත්කාරයකි.
පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුණු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහල පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප‍්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.
ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප‍්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. "ටිකිරි" නමින් ද ළමා පුවත් පතක් ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය වූ බවක් මතකයේ ඇති නමුත් අප මිළදී ගත්තේ මිහිර පත්තරයයි. මා ප‍්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පලවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.
මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්‍ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි.
මම මිහිරෙන් මිහිරට පත්වූයෙමි.
"අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.
ද්විතීයික අධ්‍යාපනය සඳහා මධ්‍ය මහා විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප‍්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පොත් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. නමුත්, මේ කර්තව්‍යය සිදුවුනේ අප අද පුස්තකාලයකින් පොත් ලබා ගන්නා ආකාරයෙන් නම් නොවේ.
මේ වැඩ පිළිවෙල පටන් ගත් දිනයේ දී පුස්තකාලයට ගිය අපේ පන්තිය භාර ගුරු ගුණරත්න පන්තියේ සිටි සිසුන් ගණනට සමාන පොත් සංඛ්‍යාවක් ඔහු විසින් තෝරා ගෙන එන ලදී. මේ පොත් සිසුන් අතර බෙදා දුන් ඔහු ඒ විස්තර පන්ති නායකයා වූ මා ලවා අභ්‍යාස පොතක ඇතුලත් කළේය. අපට උපදෙස් ලැබුනේ තමන් ගේ පොත කියවා ඊලඟ සතියේ නියමිත දිනට පාසලට රැගෙන එන ලෙසයි. එදින තමා ලඟ තිබෙන පොත වෙනත් සිසුවෙකු සමග හුවමාරු කර ගත යුතුය. පොත නියමිත දින පන්තියට නොගෙනාවොත් ශත දහයක දඩයක් හිමිවේ.
මේ වැඩ පිළිවෙල නිසා අපේ පන්තියේ සිසුවන් කියවීමට හුරු වන්නට ඇත. මගේ ප‍්‍රශ්ණය වුයේ, ලැබෙන පොත එදිනම කියවූ පසු, සතියේ ඉතිරි දින හය තුල කුමක් කියවන්නද යන්නයි. පාසල් පුස්තකාලය අප වැනි සිසුන් ට යා හැකි තැනක් නොවුණි. ඒ සඳහා නිර්දේශිත කාල පරිච්ඡේදයක් ද කාල සටහනේ නොවීය.
මගේ කියවීමේ රුචිය වැඩිකර, ලේඛණ කටයුතු කෙරෙහි ඇල්මක් ඇති කිරීමට සමත් වූ එක්තරා සුවිශේෂී සිදුවීමක් වූයේ "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳීමයි. මේ වනාහී තැපැල් මගින් පොත් ගෙන්වා ගන්නා සේවයක් මිස අන් කිසිවක් නොවේ. අපට එවන පොත් ලයිස්තුවලින් අප කැමති පොත් තෝරා, නියමිත මුදලට මුදල් ඇනවුමක් සමග යැවීමෙන් මේ ආකාරයට පොත් ලබා ගත හැකිවිය. මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි. මෙනිසා දෝ මා මෙලෙස තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගෙන කියවූ එකදු පොතක් පිළිබදව වත් මගේ මතකය අවදිකරගත නොහැක.
මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු සැප්තැම්බරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි.
මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නවදැළි හේනත්, රුපියල් 100 කට වඩා වටිනා පාසල් පොත් මිලදී ගතහොත් පාසල් කාල සටහනක් නොමිලේ දෙන "මහජන පොත්හල" නමැති වැඳිරියත් වහා සිහිවිය.
මගේ ආදරණීය පුංචි අම්මා ගේ අනුග‍්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙකම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පලමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප‍්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට කි‍්‍රස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මෙය, තරමක් කටුක බසකින් යුක්ත වූවද, එහි අන්තර්ගතයේ ඇති රසවත් කම නිසාම, දෙතුන්වරක් කියවා රස විඳීමට තරම් මා සිත ගත් කෘතියක් විය.
මුදල් බලයෙන් මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන්ම මා සිතට වික‍්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප‍්‍රයිසින් ඇඞ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" කෘතියේ සිංහල පරිවර්තනය වූ මැංචෝසන් චාරිකා නමැති කෘතියයි.
කතාවේ අන්තර්ගතයටම නිවරුදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය අද ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඞී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.
මැංචෝසන් සාමි ගේ වික‍්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාශය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප‍්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.
මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර කීමේ ශෛලියෙන් ම ලියා ඇත්තේ ද මේ මැන්චෝසන් චාරිකා කියවා එදා මා වින්දනය නිසා යැයි මට සිතේ.
වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියෙන් ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.
මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ ඞී.බී. කුරුප්පු ලේඛකයාට මේ ලිපිය උපහාරයක් ම වේවා!
-කතන්දරකාරයා
ප/ලි
මෙය මා මාසික සඟරාවක් සඳහා ලියූ තීරු ලිපියකි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා වෙනුවෙන් පළ කෙරේ!
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
ටිකිරි පත්තරය පළ කළෙ දවස නිවසින් වගේ මතකයක් තිබේ.
ReplyDeleteමැංචෝසන් චාරිකා නම් නියම පොත. මම ගොඩක් පුංචි කාලෙ ඕක කියෙව්වෙ. හැබැයි මට මුලින් ඒකෙ තියෙන බේගල් දිරවගන්න බැරි උනා :D තාත්තා තමයි පැහැදිලි කරලා දුන්නේ “ඕවා කතන්දර මිසක් හැබෑවට වෙන්න පුලුවන් දේවල් නෙමේ“ කියලා :D :D
ReplyDeleteමැන්චෝසන් චාරිකා නම් මමත් ආසම පොතක්.
ReplyDeleteමමත් කතා කීපයක්ම ලිව්වා.
මෙතන
සහ මෙතන
කියවලාම බලන්න ඕනේ...
ReplyDeleteමැන්චොසන් චාරිකා ඇත්තටම මාත් අතිශයින් රසවින්ද පොතක්... Jerome k Jerome "Three Men in a Boat" කියවල තියෙනවද....අපිට අපි ගැන බඩ පැලෙනකන් හිනවෙන්න පුළුවන් පොතක්...:P....
ReplyDeleteමම මුලින්ම කියවපු කතා පොත කර්නෙයි චුකොවුස්කි ගේ අපූරු කතා...මැන්චෝසන් නම් කියවලා නැහැ...මොන්ත ක්‍රිස්තෝ කේ. ජි. කරුණාතිලකගේ පරිවර්තන මාත් ආසාවෙන් කියෙව්වා...ඔබ කිව්වා වගේ අවසානයට නම් මම ආස උනේ නැහැ...අන්තිමේදී හරිම හිස බවක් තමයි දැනුනේ....
ReplyDeleteකේ.ජී. කරුණාතිලක ශූරීන් විසින් අසංක්ශිප්තව පරිවර්තනක කළ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා නම් වූ කෘතිය පිටු 300 ක් පමණ වන පොත් 6කින් සමන්විත (වෙලුම් 6ක්) විශාල කෘතියකි.ඔබ කියනවා ඇත්තේ එහි සංක්ශිප්ත සංස්කරනයක් වන දේවතාපය ගැන යයි සිතමි (ප්‍රංශ එඩ්මන් දාන්තේ එහිදී එද්මොන් දනතිස්ස ලෙස අනුවර්තනය කර තිබිණී).
ReplyDeleteකෙසේ වුවද මේ පරිවර්තන දෙකම මාගේ ප්‍රියතම නවකතා බව කිවයුතුය.
Trafic Ano.
ReplyDeleteමැන්චෝසන් චාරිකා නම් වූ අපූරු පොත වගේම මගෙ මතකයේ තියන, අදටත් මතක් වෙන පොතක්, ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් සහ එහි සිංහල පරිවර්තනය.
ඇලිස් ගිහින් දොරට තට්ටු කරනවා. එතකොට එතන ඉන්න මිනිහෙක් (මාළුවෙක් වගේ මුහුණක් තියෙන) කියනව මෙහෙම අදහසක්. “ඔය දොරට තට්ටු කරන එක තේරුමක් නෑ. හේතු දෙකක්. එකක් අපි දෙන්නම ඉන්නෙ මේ පැත්තෙ. අනිත් එක, ඇතුළෙ තියන ඝෝෂාව නිසා තට්ටු කරන සද්දෙ ඇහෙන්නේ නෑ”. රාජකාරි කරද්දි මගේ සබෝර්ඩිනේට් කෙනෙක් ඇවිත් මට වෙනස් කළ යුතු සමහර කළමනාකරණ තීන්දු ගැන කතා කරද්දි මට ඕක මතක් වෙනව. එම සබෝර්ඩිනේට්වරයාත් මමත් එකම මතයක ඉන්නැද්දි සහ අධ්යක්ෂ මණ්ඩලය ඒකට ඇහුම්කන් නොදෙන අවස්ථාවලදි.
එතකොට අර රැජිණ එන වෙලාවට පොරක් ගිහින් සුදු පාට රෝසමල් රතුපාට ගාන්නෙ. ප්රේ මදාස කාලෙ එහෙම ඒ වගේ වැඩ හුඟක් වුනා.
මගේ මතකයේ තියෙන තවත් එකක් තමයි, පොත් පරිවර්තනයේදී ඇතිවන්නට පුළුවන් බරපතල ගැටළුවක් ගැන.
ඉංග්රිසි පොතේ තියනව, මේ වගේ කෑල්ලක්.
If he was not a tortise why did you call his as tortise?
We called his tortise because he taught us.
ඉංග්රිසි පොතේ "ටෝට්" කියන එක "ටෝටිස්" බවට පත්වුනාට සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ, “අපි එයාට ඉබ්බ කිව්වෙ අපිට ඉගැන්නුව හින්ද” කියලයි.
"දේවතාපය" කියන්නෙ The Last Days of Pompey නෙවෙයිද......මට එහෙම එකක් මතක තියෙනවා..ඒ කොහොම වුනත් මොන්ත ක්‍රිස්තො සිටුවරය කියන්නෙ මම ආසම පොතක්....:)...
ReplyDelete@ජයශ්‍රී,
ReplyDelete"දේවතාපය" (ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ) කියන්නෙ "ද ලාස්ට් ඩය්ස් ඔෆ් පොම්පෙයි" (Edward Bulwer-Lytton) කියන පොතේ සිංහල පරිවර්තනයයි.
- සනාත
සිටුවර මොන්ත ක්‍රිස්තෝ (වෙලුම් 6ක්) කියන්නෙ මම පලවෙනි වතාවට පුස්තකාලයකින් (තෝරවතුරගම උදාකල ගම්මානයේ පුස්තකාලයෙන්) කියවපු පොත. පලවෙනි වතාවට තෑග්ගක් හැටියටමටම කියල පොතක් ලැබිල කියෙවෙ ඇලෙක්සැන්ඩ්‍රා එකේ වඩූඩ් ටීච (ලොකු ටීච) මට තෑගි දුන්න "වෙස්සන්තර ජාතකය" පොත.
ReplyDeleteඒ ඇරුනාම අහුලගෙන කියවපු පොත් ගාන හරියටම මතක නැත්තෙ අතට අහුවෙන ගෙදරට සීනි ඔතාගෙන ආපු පත්තර කොලෙත් කියවපු නිසා.
විජය පත්තරේ මැදපිටුවෙ තිබුනෙ පිලිවෙලකට නමල තැනින් තැනින් කපල හදාගන්න කතන්දර පොත් ඒවටත් මම පට්ටම ආසයි. 3 වසරෙදි අපේ පංතියෙ හදපු පුස්තකාලෙට මම ඒ පොත් ඔක්කොම දුන්න.
//මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර //
මේ සීන් එකත් ලිවුවද අප්ප ඔය කියන තීරු ලිපියෙ . . .
@ජයශ්‍රී:
දේවතාපය . . අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහත්තය පරිවර්තනය කරපු "ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි" නේද ???
ස්තුතියි කතන්දර
ReplyDeleteමැoචෝසන් චාරිකා කියන පොත මුලින්ම කියෙව්වේ මම පහේ පන්තියේදී විතර.හරි හතරැස් ගජ බින්න උනත් ඒවා ඒ දවස් වල අපේ ගම වල ඕනේ තරඟ හිටපු “බේගල්” ලාගේ කතන්දර එක්ක සංසන්දනය කරන්න පුළුවන් කමක් තිබුනා.කොහොම උනත් පසු කාලයකදී පාසලේ ඉංග්රී සි සාහිත්ය සඳහා රුඩොල්ෆ් රාස්ප්ගේ මුල් කෘතිය කියවනකොට අර කුරුප්පු මහතාගේ පරිවර්තනයෙන් ලබපු වින්දන ලබන්න බැරි උනා. මම හිතන්නේ එක පරිවර්තනයේ සාර්ථකත්වය. සිංහල පොතේ කතාව කියන්නේ තනිකරම ගමේ ගොඩේ කයිවාරු කාරයෙකුගේ වචනවලින්.
එයිටත් පස්සේ කාලෙක මගේ තාත්තා හොරණ නගරයේදී මට අමුත්තෙක් හදුන්ව දුන්නා. " මේ තමයි අර ඔයා අසාවෙන් කියවපු මැoචෝසන් චාරිකා පරිවර්තනය කරපු බෝල්ඩ්වින් මාමා" . එදා යි මම දැනගත්තේ ඔහු අපේ ගමට අල්ලපු ගමේ කෙනෙක් කියලා. හැබැයි ඒ වනවිට ඔහු පදිංචිව සිටියේ කොළඹ ඔස්ට්රේිලියාවට යන්න සුදානම් වන කාලෙ.
පසුව එතුමා ලංකාවට ආපු වෙලාවට තාත්තව බලන්න අවා. නැතිනම් තාත්තා ඔහුගේ ගෙදර ගියා. ඔය අතරතුරේ තමයි දැනගත්තේ සුප්රලසිද්ද ගොළුහදවත නවකතාවේ චරිත මාත්රියකට ඔහුත් සම්බන්ද බව. ඒ බව ඔහුගේ චරිතාපදානයේ මුල කොටසේ කියා තිබුනා . මෙම අදහස් දැක්වීමට ආසන්නතම හේතුව තමා එතුමා සිය චරිතාපදානයේ දෙවන කොටස " මග හොඳට තිබුනත් " නමින් ප්ර්කාශයට පත් කිරීම. ලංකාවේ පළවූ එම පොතෙහි දොරට වැඩුමට එතුමා ඇවිත් තිබුනේ නැහැ අසනිප තත්වයන් නිසා . එහෙත් පැරණි හිතවතුන්ට පොතෙහි පිටපත් තෑගි කිරිමටත් අමතක කරලා නැහැ. මගේ තාත්තා වෙනුවෙන් එක පිටපතක් මටත් ලැබුණා එය කියවා අවසන් කොට එතුමාගේ ඕස්ට්රේාලියාවේ දුරකථන අංකය සොයාගෙන ඇමතුමක් දුන් අද උදැසනම ඔබගේ මෙම සටහන කියවන්න ලැබීම ඇත්තටම සතුටක් .
මට මතක ඇති කාලයේ දී මා කියවූ පළමු පොත ලෙස මතකයේ රැඳී ඇත්තේ “වඳුරු පාලම“ පොතයි.
ReplyDeleteඉන්පසු පොත් පත්තර අතර ගතවුන ජීවිතය නම් හරිම සුන්දරයි. සුරතලා, විජය, මිහිර, විදුසර පත්තර වගේම අද වෙනකම් කියවපු පොත් බැලුවොත් පිස්සුවෙන් වගේ ඒ පොත් කියෙවුවෙ මොකටද කියලත් හිතෙනවා.
කතන්දර , ඔයා ලියපු පොත් නැද්ද කියවන්න හිත උනන්දුවෙන.මේ කතන්දර ටිකත් මුද්‍රණය කරන්න තියෙනම් හොඳ නැද්ද?
කමෙන්ට්ස් කියවන කොට මට තේරුණේ.... ගොඩක් අය පරිවර්තන වලට කැමතියි වගේ.... මට මතකයි මමත් ආසාවෙන් ඉලියඩ්.. ඔඩිසි එහෙම කියෙව්වා... අපේ අම්මා නිතරම කියනවා එයාලාගෙ පෙළපොත් අතරෙ උම්මග්ග ජාතකය තිබ්බලු 6 වසරෙදි විතර... මමත් 3පාරකට වැඩිය කියවපු පොතක් තමයි ඒක..... කොහොම උණතත් කණගාටුව... දැං උම්මග්ග ජාතකේ පවා සිංහලට පෙරළන්න වෙලානේ තියෙන්නෙ....
ReplyDeleteමැංචෝසන් චාරිකා මමත් ආසාවෙන් කියවූ පොතක්... දෙකට කැපුණ නිසා ගගෙන් දිගටම වතුර බොන අශ්වයාගේ ඉදිරි කෑල්ල... ආපහු යද්දි තව තුන් හතරදෙනෙකුටම කකුල්දෙකෙන් පහර දෙමින් වගකියලා තිවුණු පිටුපස කෑල්ල.. අන්තිමට ඒ දෙක යාකලාම වියනක් වගේ උඩින් වැවෙන මල් වැට මේ සේරම මට අදටත් මතකයි... :)
ReplyDeleteමෙච්චර කාලයක් මේවා මතක හිටින්න හේතුව ඒ පරිවර්තකයාගේ තිබුණ සාර්ථකත්වයත් විය යුතුයි...
කාලෙකට පස්සේ ඇඩ් එකකුත් දාන්නම්... ඔබ මෙවැනි කතා ප්‍රියකරන්නෙක් නම් මේ කතාවත් රසවිදින්න බොහෝදුරට ඉඩ තියෙනවා...
කපිතාන් රුංගල්ගේ වීරක්‍රියා කියවලා තියෙනවාද? ඒකත් ඔය වගේම ලස්සන රුසියන් කතන්දරයක්...
ReplyDeleteකතන්දර සඳහන් කරපු පොත මම කියවලා නෑ. හොයලා බලන්න ඕනා!
ප්‍රාථමිකයේ ඉඳිද්දී ගත්ත මැන්චෝසන් චාරිකා පොත අදත් මං ලඟ තියනවා. ඒක අපේ පොඩි කොලූට යනවා තව අවුරුදු කීපයකින්. ඒ වගේ එකතු කරපු සෙට් එකක් තමයි 'ටින්ටින්'. එකේ සිංහල පරිවර්ථනයක් පත්තරේක ගියා හැබැයි ඒක මගදි නතර උනා. අලුත් ටින්ටින් ෆිල්ම් එක නම් ලඟදී බැලුවා හැබැයි පොත වගේ ආතල් නෑ.
ReplyDelete'මැංචෝසන් චාරිකා' නං මට කියවන්න ලැබිලා නෑ...
ReplyDeleteහැබැයි 'මොන්ට ක්‍රිස්ටෝ' නං මගේ ප්‍රියතම කතාවක් තමා :) මුලින්ම කියවන්න ලැබුනෙ කකා කියෙව්වා කියපු, කේ. බී. සුගතදාසගේ අනුවර්තනය. ඒක පරිවර්තනයක් නෙවෙයි, කතාව ගොඩක් කෙටි කරලා තියෙන්නේ. ජයශ්‍රී කියලා තියෙනව වගේ ඒකෙ නම 'දේවතාපය' නෙවෙයි... ඒක 'දේව හස්තය'!
නමුත් කතාවෙ නියම රසය ලැබුනේ පස්සෙ කාලේක බණ්ඩාරවෙල මහජන පුස්තකාලෙන් කේ. ජී. කරුණාතිලකගෙ අසංක්ෂිප්ත පරිවර්තන ගෙනත් කියෙව්වමයි. පොත් 6 ය පිලිවෙලට කියවන්න ලැබුනෙ නෑ, මට හොඳට මතකයි... :)
@සනාත,ඕනයා,ගීතක, සමාවෙන්න ඇත්ත මට පොඩි වරදීමක් වුණේ.ගීතක කිව්ව හරි.පොතේ නම දේවහස්තය.කේ.බී සුගතදාස මහතා පොතේ පෙරවදනේ සඳහන් කරල තිබ්බා එඩ්මන් දනතිස්ස තම සතුරන්ගෙන් පළිගැනීම සඳහා දෙවියන්ගේ හස්තය මෙන් ක්‍රියා කල නිසා ඔහු තම පරිවර්තනයට "දේවහස්තය" යන නම තැබුවා කියා.
ReplyDeleteමා නිවැරදි කළාට ස්තුතියි!
එහෙම පොතක් ගැන මම නම් අහලා වත් තිබුනේ නෑ . මම කෝමත් පොත් කියවන්න ඒතරම් ලැදි කමක් නොදක්වාපු කෙනෙක් නිසා වෙන්නැති . දැන් නම් ටිකක් පොත් කියවන්න ආසාව ඇති වෙලා තියෙන්නේ ..
ReplyDeleteපෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවලා බැලුවාම මට ආසා හිතුනා නෙව ඒ පොත කියෝලා බලන්න . තීර්ථ යාත්‍රිකයා ගේ ගෙවල් පැත්තේ යන්නයි ඉතින් මේ සූදානම ..
මම කියවාපු තරමක් කියෙවුවේ ශර්ලොක් හෝම්ස් පොත් විතරමයි ..ඒකත් චන්දන මෙන්ඩිස් මහත්තයාගේ ඒවා
මිහිර පත්තරේ මගෙත් කවි පල වෙලා තියනවා දහයකට වඩා විජය පත්තරෙත් මම පුරුවාපු ප්‍රෙහේලිකාවක් එක වෙලා තියනවා .. හැබැයි ඒවා ලීවේ පිරෙවුවේ යැවුවේ මම නම් නෙවේ .. මගේ සීයා ..
ReplyDeleteඒත් ඉතින් මගේ නමින් තමා එවුවා පල වුණේ .. :)
Ape thatha මැංචා්සන් චාකා kiya kiya bath kawwa mathakayi. Mama nam hithuwe thatha bath kawanna boru kiyanawa kiyala. passe kaleka kathapotha kiyewwama thamayi thatha kiwwe eththa kiyala therune.
ReplyDelete(hebeyi thaththa kiwwa katha pothata wada rasawath.
මං නං ඉස්සෙල්ලම කියෙව්වෙ ගම්පෙරලිය. ඒ වෙනකොට මගේ වයස 7-8ක් විතර උනත් ගම පිලිබද විස්තර කියෙව්වෙ හරිම ආසාවෙන්.(කතාවෙ මූලික හරය නොතේරුනත්)
ReplyDelete@Shadow ඔබත් නිවැරදියි.ස්තුතියි!
ReplyDeleteමැංචෝසන් සාමිගෙ කතා නම් ඕනම වයසක කෙනෙකුට කියවල ලේ පිරිසිදු කරගන්න පුලුවන් කතා.
ReplyDeleteමමත් ඉස්සර මිහිර පත්තරෙන් තමා කියවීම පටන් ගත්තෙ. ඉස්සරෝම හිත ගියෙ එහි අග පිටුවෙ ගිය ''බූ'' සහ ''බබා'' හිටපු චිත්‍ර කතාවට.
This comment has been removed by the author.
ReplyDeleteඅද කතන්දරේනම් පට්ටපල් ඇත්තක් :)
ReplyDeleteපොත් පත් වල නැති අපූරු සාහිත්‍යයකුත් සිංහල
බ්ලොග් අවකාශයේ බිහි වෙලා.
බලන්න මේක හෙම දැක්කද ?
මහා නරි දැක්ම
http://ranrandil.blogspot.com/2011/11/88.html
මේ පොත මම කියවපු බවක් මතකයේ නෑ කකා . .
ReplyDeleteබොහෝම ස්තූතියි . .
මගේ ළමය වෙනුවෙන් වත් ලබන නිවාඩුවේදී මේ පොත අරන් තියන්න ඕන . .
ටික කාලෙකට ඉස්සෙල්ල මන්චෝසන් චාරිකා කතාවක් "මගේ ලෝකය" සයිට් එකේ කෙටියෙන් කොමෙන්ට් එකක් හැටියට දැම්ම. එතැනදි කතාව කොහෙන්ද කියන එකත් සඳහන් කළා. ඇනෝ කෙනෙකුට කේන්ති ගිහින්, පොත් කියෝල තියෙනව කියල පෙන්නන්නද ඒ කොමෙන්ට් එක දැම්මෙ කියල දොස් කිව්ව.
ReplyDeleteඩී. බී. කුරුප්පු මහත්මයගෙ පොත් ටික ඔක්කොම මා ලඟ තිබුන. පර්ත් පන්සලේ වැඩ සිටි ස්වාමීන් වහන්සෙ කෙනෙකුට ඒ ටික කියවන්න දුන්න. කාලයක් ගිහිල්ල පොත් ටික ආපහු ලැබුනෙ නැති නිසා අහල බලපුවම 'ඒ පොත් කව්ද ඉල්ලගෙන ගියා, කෙනා මතක නැහැ' කිව්ව.
ඩී. බී. කුරුප්පු මහත්මයගෙ 'පර්ත් ගමන' කියන කෙටි කතා පොත ක.ශු. කියවල ඇති නේද?
කව්රු හරි ඉන්නවද "දත්තා සහ යාලුවන්ගේ හපන්කම්" කියන පොත් කියවපු කෙනෙක්. කර්තෘ හෝ පරිවර්තක මතක නැතිවුනත් පහේ පන්තියේ ඉඳිද්දී කියවපු ඒ කතන්දර ඉතා රසවත් බවනම් හොඳටම මතකයි. පරිවර්තනයේ භාෂාවත් " මන්චෝසන් චාරිකා " ශෛලියට කිට්ටුයි.
ReplyDeleteගෙදර එකතු කරලා තිබුන පරණ මිහිර පත්තර වල තිබිල කියවපු 'බූ බබා','ඕලු' 'රාලහාමි සහ යෝධයා' වැනි S A දිසානායකගේ චිත්‍ර කතාත් අදත් රසවත් මතකන් හැටියට පවතිනවා.
දැන් ලංකාවේ පාසල් ළමයි පොත් කියවීම/රසවිඳීම කරනවද කියල දැනගන්න කැමතියි. අපි පොඩිකාලේ TV නොතිබුන නිසාත් ටියුෂන් ප්‍රශ්නයක් නොතිබුන නිසාත් අපට කියවීමට වැඩි අවස්ථා තිබුන කියල හිතෙනවා.
මම මුලින්ම කියවපු කතා පොතේ නම "කුංචනාද". ඒකෙන් පුදුම රසයක් මම වින්දෙ. සමහර විට නන් ස්ටොප් පොත් කියවන්නෙක් වෙන්න ඒ අත්දැකීමත් හේතු පාදක වෙන්න ඇති මට හිතන්නෙ. සර්කස් කන්ඩායමක අලියෙක් හදිසි අනතුරකින් මොලය වැඩ කරන්නෙ නැතුව යනවා. ඒ අතරෙ මරනාසන්නව සිටි ප්‍රොපෙක්ගෙ මොලයක් මේ අලියට බද්ධ කරනවා. ඊට පස්සෙ අලියගෙ හැසිරීමේ කතාව තමයි පොතේ ලස්සනට තියෙන්නෙ. පුදුම රසවත් කතාවක්. කවුරුහරි දන්නවද ඒ පොතේ ඔරිජිනල් (ඉංග්‍රීසි? ) කතුවරයා සහ පොතේ නම?
ReplyDeleteමම කියවපු අනික් රසවත් පොත් දෙකක් තමයි ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගෙ "අපූරු යාලුවෝ" - මේකෙ තියෙන්නෙ නිවාඩු කාලෙට ගමේ යන යාලුවො දෙන්නෙක් එහෙදි සෙට් වෙන තව යාලුවෙක් එක්ක ගිං ගඟේ ඔරිජින් එක හොයාගෙන ගිහින් තමන්ට රිසි ලෙස ගඟේ පාත් එක වෙනස් කරල ගමේ මිනිස්සුන්ට අන්ඩර දෙන එකක් ගැන. මාර චමත්කාරජනකයි. අර කරෝල වාඩිවලින් පැනල එන කතා කියවලා එපාවෙලා තිබ්බ කාලේ...
අනික තමයි එතුමගෙම පරිවර්තනයක් "වන දරුවෝ". පොඩි රොමැන්ටික් ගතියක් තිබුන එකක් වගෙයි මතක. එංගලන්තෙ ආක්‍රමනයකට මුහුන දීල වන වැදුනු රජෙක්ගෙ ලමයි ගැන කතාවක්. කවුරුහරි දන්නවද ඔරිජිනල් පොත සහ කතුවරයා ගැන?
මේ පොත් තුනම ඕනම පොඩි ලමයෙක්ගෙ කියවීමේ රුචිය වැඩි කරන්න කියාපු පොත්.. නව මුද්‍රන තියෙනවද කියලා නම් මම දන්නෑ...
- සනාත
කල්ලන්දූවේ මුතු කොල්ලය තමයි මම ආසම පොත...
ReplyDelete@සනාත:"වන දරුවෝ" කියන්නේ කැප්ටන් මැරියට් ගේ "චිල්ඩ්‍රන්ස් ඔෆ් ද නිව් ෆොරස්ට්" නේද? චන්ද්‍ර අනගිරත්න මහතාත් පසු කලෙක මෙය සිංහලට නැගුවා.
ReplyDelete"වනදරුවෝ","කුංචනාද" මමත් ආසාවෙන් කියැවූ පොත්.
"කුංචනාද" ලියූ ලේඛකයාම ලියූ එහි පරිවර්තකයාම සිංහලට පරිවර්තනය කළ "උභය ජීව" ඒ වගේම රසවත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්.(අවාසනාවට දෙදෙනාගෙම නම් මතක නෑ).එහි විද්‍යාඥයෙකු (ජීවත් කළ නොහැකි යයි නිගමනය කරන)රෝගී දරුවෙකුට පෙනහලු වෙනුවට කරමලයක් බද්ධ කර උභය ජීවියෙක් නිර්මාණය කරනවා.අවසානය හරිම සංවේදීයි
@සනාත සහ ජයශ්‍රී:
ReplyDeleteකුංචනාද
මුල් කෘතිය රුසියාවේ ජූල්ස් වර්න් ලෙස සඳහන් කරන A. Belyaev ගෙ Hoity-Toity කියන විද්්‍යා ප්‍රබන්ධය. මෙතන බලන්න
උභය ජීව
A. Belyaev ගෙම තවත් කතාවක්. Amphibian Man මුල් පොතේ නම. මේ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිශ්පාදනය වෙනව 1962දි . . ඒ චිත්‍රපටයෙ නමත් Amphibian Man
හොයාගෙන කියවන්න ආසයි මේ පොත!!
ReplyDeleteදත්තා සහ යාළුවන් ගේ හපන්කම් පොත පරිවර්තනයත් ඩීබී කුරුප්පු ගේ ම යි.
ReplyDeleteඔහු ලියු ස්වතන්ත්‍ර පොත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා.
සියළු දෙනාටම ස්තුතියි.
මැන්චෝසන් චාරිකා....
ReplyDeleteමේ වචනය මා මුලින් ඇසුවේ පොඩ්ඩිගේ බ්ලොග් එකෙන්. මෙය පොතක් බව මා දැනගත්තේ අදයි. ටිකක් ලැජ්ජාවකුත් ඇති උනා මේක කියවා නැති එක ගැන. මට කියවීමේ ආසාව ඇති උනේ අර්නස්ට් හෙමිංවේගේ The old man & the sea පොතේ සිංහල අනුවාදය වූ මහල්ලා සහ මුහුද කෘතියෙන්. ඒ ආසාව තවමත් එලෙසමයි. පාසල් පුස්ථකාලයෙන් ගෙන කියවූ මේ පොතට මගේ බැඳීම කොතරම්ද කියනවානම් පසු කාලයකදී මේ පොත මා මිළදී ගත්තා.
ගොඩක් ස්තූතියි කතන්දරට මේ මතක් කිරීමට..:DDD
@ඕනයා, ජයශ්‍රී
ReplyDeleteස්තුති වේවා ඔබලාට! බලාගෙන යනකොට ඒ කාලෙ හුඟ දෙනෙකුට සමාන රසිකත්වයක් වගේ තිබිල තියෙන්නෙ..
"අපූරු යාලුවෝ" කියවලා නැද්ද? මට "උභයජීව" කියවන්න හම්බවුනේ නැහැ.
තව මතකද අර හෙන නයි අරින අබරංගෙ (සේතං?) කතාවයි, සපත්තු නැතුව සර්කිට් මීට් දුවපු මුදලිහාමිගෙ කතාවයි? මේවා තිබුනෙ 5 හරි 4 හරි සිංහල පොත් වල..
- සනාත
@ All
ReplyDeleteපොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.
හුඟ දෙනෙක් පොඩි කාලයේ එකම පොත් කියවා කැමති වී ඇත්තේ එකම රුචිකත්වයක් නිසාම නොවේ. කියවන්නට තිබුණේ පොත් කිහිපයක් පමණක් නිසාය.
ඒ කතාව මගේ ලිපියේ මුල හරියේද සඳහන් කළෙමි.
මඩොල්දූව සහ අඹ යහළුවෝ කාලෙන් පස්සේ වනගත දරුවෝ, තුන් යහළු වික්‍රමය, රන්සිරි ගේ වික්‍රමය, කලන්ලන්දුවේ මූතු කොල්ලය ආදී තරුණ ළමා පොත් තිබුණේ අතේ ඇඟිලිවලට අඩුවෙනි.
අද වුවද ජනගහනයේ තරමට වැඩි වී නැත!
"රන්සිරි ගේ වික්‍රමය" > Ransirige Sangramaya
ReplyDeleteකසූ කිව්ව පොත නම් කියවලා නැහැ. පොත් කිව්වාම මතක් වුණේ මම පොඩි කාලේ කියෙව්ව ටිකක් බරසාර පොතක් විදිහට මුලින්ම මතක් වෙන්නේ "ටාසන්ගේ වන සිවුපාවෝ" කියන පොත. ඒක කියෙව්වේ 3 වසරෙදි එදා ඉදන් අද වෙනකම් පොත් කියෝනවා. කසූ කිව්ව පොතත් හොයාගෙන බලන්න ඕනේ
ReplyDeleteකතන්දර කඩවතද? මහජන පොත්හල තවම තියනවද? එකට අල්ලපු රොස්ක සැලූන් එකෙන් කොන්ඩේ කපල තියනවද?
ReplyDelete@ Ano November 28 3:18AM
ReplyDeleteකඩවත පැත්තේ හිටියා පොඩි කාලේ.
රොස්කා මතකයි වගේ ඔස්ක කියලත් එකක් තිබුණ නේද?
මහජන පොත්හලක් තිබුණා තොරණ හන්දියෙත්.
බොහොම කාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩවුනේ,කකාගේ කොපිය නම් සුරැකිව තියෙනවා වගේ, මගේ කොපියේ නම් දැන් පිටකවරයක් හොයන්නත් නැ, පොත නම් තියෙනවා,ඇඟේ රස්නෙන් ඉටි උණු කරලා වෘකයෙක්ගෙන් ගැලවෙන්න පිහියේ මිටේ ඉටි අලවල ළඟට ගත්තු හැටි , සති දෙකක් කුරුළු රංචුව මුර කරපු බල්ලා මමත් ආසාවෙන් මතක තියන් හිටපු දේවල්..පස්සේ කාලෙක මමත් ඔය ඉහත කමෙන්ටු වල කියලා තියෙන හැම එකක්ම වගේ කියෙව්වා ඒත් නම නම් මතක නැ පරිවර්තනයක් තිබුනා සහෝදර ගීතය හරි පාසල් ගීතය හරි තමයි නම , දුර්වල ශිෂ්‍යයෙක් ක්‍රමයෙන් වැඩි ලකුණු ගත්ත හැටි, මගේ මතකයේ තියෙනවා, මතක විදියට රුසියානු පරිවර්තනයක්, මම නම් කියවන්න හුරු වුනේ අකුරු කියවන්න පටන් ගත්ත දා ඉඳන්ම අම්මා ගෙනත් දීපු සිබිල් වෙත්තසිංහ මහත්මිය ඩ්බ් .ඕ .ටී ප්‍රනාන්දු මහත්මයා යන අයගේ කෘතීන් කියවලා, මතක විදියට මුලින්ම කියවපු පොත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ කුඩ හොරා , ඊට පස්සේ වීදිය බණ්ඩාර වගේ පොත් පී බී සේනානයකයන්ගේ පරිවර්තන කපිතාන් බිගල්ස්ගේ වික්‍රම වගේ කෘතින්ද ,පස්සේ කාලෙක කුලසේන පොන්සේකා ඉලංගරත්නයන් වික්‍රමසිංහයන්ගේ වගේ කර්තෘන්ගේ ඒවට යොමු වුනා.. පස්සේ කියවපු තවත් රස්වත් පරිවර්තනයක් තමයි චිත්‍රා අයි පෙරෙරා මහත්මියගේ පරිවර්තන කෘතියක් වන පාෂාණය හා බට නළාව ..පැරණි මතකයක් මතක් කෙරුවට තුති..
ReplyDeleteමැංචෝසන් චාරිකා පොත මම චුට්ටි කාලෙ දෙතුන්වතාවක්ම කියවල තියෙනව. අවුරුදු ගානකට පස්සෙත් තවමත් ඒකෙ කෑලි මතකයි. සුපිරිම කතාවක්. මම ඒක පොත් කඩවල හොයල තිබෙනව හම්බෙලා නෑ. :( සොෆ්ට්කොපියක්වත් හොයාගන්න තියේ නම් හොඳයි. :) කවුරුහරි ගාව තිබෙනවා නම් ඒ වගේ සත්ක්‍රියාවක් කරන්න මම ආරාධනා කරනවා. :)
ReplyDeleteman asama pothak thama montha ctistho,eka 4 parakata wada kiyawanna athi man,man kiyopu lassanama vihilu kathandara sahitha potha thama oya JEROM K. JEROM three men in the boat pariwarthane "bottu sawariya",eka nam 6 7 sarekata wada kiyewwa,aththatama marama vihilu dala thibba kathawak,potha pusthakalen genalla kiyewwe,oka gannath man hewwa,hambue nam na,a potha vihilu vala lassana gala yamak thibba,manchosan charika lassanata boru adabala geniyapu kathawak.mara lokayak mawala pennuwa.dan nam godak hoyanne charitha katha,vdiyenma baya unu kathawa thama brame strokerge dracula potha kiyawala,eka kiyawaddi aththatama dawal thaniyen kammare inna hitan baya hithuna.
ReplyDelete-Ruchira-
http://en.wikipedia.org/wiki/Baron_M%C3%BCnchhausen
ReplyDeleteread this to know who Munchausen is