Sunday 8 August 2010

බයිලා සහ වාද බයිලා


මේ ලඟදි දවසක මං ගියා ජාතික රූපවාහිනියේ පොඩි වැඩකට උදේ රැයින්ම. මුලින්ම සෙට් වුනේ උදේට කන්නයි. කෑව කියන්නේ, දීල ඇද්ද පාන් බාගෙකුයි, මාළු හොදි එකකුයි නිකං උස්මුරුත්තාවට එනකං.

ඊට පස්සෙ ටිකක් ඔතන කැරකි කැරකි ඉන්න කොට මෙතනට යන එන විවිධ ග්‍රහයෝ ඇස ගැටුණා. ඔන්න බන්ධුල ගුණවර්ධන ආව එයාගේ ඔන්ටරාජ් එක එක්ක. විජේරත්න වරකගොඩයි, චිත්‍රයි, ජයනාතුයි ඇවිල්ල ගියා.

තවත් ටිකකින් ඔතනට ආව දැකල පුරුදු මූණු ටිකක්. බැලින්නම් මේ වාද බයිලා කණ්ඩායමනේ. ඒ ගොල්ලොත් ඇවිත් රෙකෝඩින් එකකට.

ඔය වැඩසටහන කලින් ගියේ ටී.එන්.එල්. එකෙයි මට මතක හැටියට. ඒ දවස්වල හිටිය අයගෙන් දැන් නැත්තෙ අර තොටලඟ කුසුමපාල විතරයිද කොහෙද.

පස්සෙ මං යූ ටියුබ් එකේවත් බැලුව තියෙනවද කියල මේ වාද බයිලා රෙකෝඩින් හෙම. තිබුනෙ නං එකම එකයි. දන්නවනේ අර "අනර්ඝ" කෙල්ලෙකුට "රමේෂ් අයිය දැම්මෙ නැද්ද රී-ලෝඩ් එක?" කියන බයිලා කෑල්ල.

බයිල කියන එකයි, බයිල ගහන එකයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක් නේ. අපේ හුඟ දෙනෙක් වගේ මාත් වැඩියෙන් දන්නේ නං බයිල ගහන්නයි.

ඒ මොනව වුනත් මේ අව් අස්සෙ මට මතක් වුනා අපි පුංචි කාලෙ කියපු බයිලා.

මෙන්න ඒවයින් කීපයක්. මේව බහුතරය පොලිටිකලි ඉන්කරෙක්ට් ඒව බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

"රේල් පාරෙ මං යන කොට කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලුවාම දෙමලි බනිනවා"

"රේල් පාරෙ මං යන කොට දිග දිග කම්බී
උඹලෑ තාත්තට මං කියන්නෙ පු* දිග තම්බී"

"උඹලෑ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
උඹලෑ තාත්තගෙ සරම කැඩුන සබාව මැද්දේ"

ලංකාවෙ බයිල චක්‍රවර්ති කියන්නෙ වොලී බැස්ටියන් ට ලු නේ. හැබැයි ඉස්සර හිටිය ගායකයෙක් වෙන එම්.එස්. ප්‍රනාන්දුත් බයිල චැම්පියන් කෙනෙක් කියලයි කියන්නේ.

ඔන්න මං එක දවසක් එම්.එස් ව රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකින් ඉන්ටර්වීව් කරනව අහං හිටියා. මේක ටෝක් බැක් කාලෙට කලින්. ඒ දවස්වල ශ්‍රාවකයින්ට ගායකයාගෙන් ප්‍රශ්ණ අහන්න නම් පෝස්ට් කාඩ් එකක් ප්‍රශ්ණය ලියලා එවන්න ඕනැ නියමිත දිනයට කලින්.

ඔන්න එදා ඇවිල්ල තිබුණු එක ප්‍රශ්ණයක්.

"එම්.එස්. අයියේ, ඔබ හිටිවන බයිලා කියන්න ශූරයෙක් බව අපි දන්නවා. අපි වෙනුවෙන් කරුණාකර හිටිවන බයිලාවක් කියන්න."

මෙන්න එම්.එස්.

"මං ලැහැත්ති වෙලා නං නෙමේ ආවෙ හිටිවන බයිලා කියන්න. හොඳයි ඉතිං මේ ඉල්ලීම අහක නොදා මං එක බයිලාවක් කියන්නම් කෝ."

"හිතාලා නොවේ මල්ලී ආවෙ කියන්න
ගොතාලා එකක් දෙන්නම් එය අරගන්න
ගොතාලා එකක් දෙන්නම් එය අරගන්න
හිතාලා නොවේ මල්ලී ආවෙ කියන්න!"

එක් බයිල කිවිල්ලකට වැඩිය බයිල ගැහිල්ලක් කියලයි මට නං හිතුනේ.

-කතන්දරකාරයා

22 comments:

  1. හපෙ අප්පේ......බයිලා ගැහිල්ලක් නේන්නම්....

    ReplyDelete
  2. කසූත් දැන් බයිලා ගහන්න පටන් ගත්තද ?

    ReplyDelete
  3. ඕක ඉතිං මොකක්ද.. අපි ඔක්කොම (මම ඇතුළුව) හැම වෙලාවෙම බයිලා ගහන අයනේ....
    වාක්‍ය 10ක් කතා කළොත් ඒකෙන් 8 ක්ම හිටිවන බයිලා ගහලා තියෙන්නේ....
    මේ උදේ පාන්දර බයිලා ගැහිල්ල පැත්තක තියලා මම දැන් වැඩට යනවා. අද දවස පුරාම කොච්චර බයිලා ගහන්ඩ තියෙනවද? හවසට ඇවිත් කියන බයිලා ගැන කතා කරමු.
    (විද්‍යුත් ලිපිනය පොඩ්ඩක් දාලා තියන්ඩ.ඊයේ තිබුණු වාසනාව/අවාසනාව ගැන දෙයක් එවන්ඩ)

    ReplyDelete
  4. අප්පේ උදේම බයිල කියන්න පටන් අරන් තියෙන්නේ.
    කිව්වත් වගේ දැන් හැම තැනම තියෙන්නේ බයිල ගැහිලි නොවැ..

    ReplyDelete
  5. ඔය බයිලා වල තාලය හුඟාක් දුරට සමානයිනෙ. ඉතින් මගේ මිත්‍රයෙක් හිටියා මේ කාරණය මත බයිලා සිංදු කීපයක වචන රී-මික්ස් කරලා අමුතුම නිර්මාණ කරපු. පොලිටිකල් කරෙක්ට්නස් එක නම් බින්දුවයි. හැබැයි රසවත්. මෙන්න එකක්. (කරුමෙට හොඳ ඒවා මතක නැහැ.)

    එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ
    ශාන්ත අන්තෝනි පියතුමා...
    යළි නොම එන්නට ගිය ගමනයි...

    (මේකෙ රසය එන්න තාලෙට ගායනා කරන්නම ඕනැ.)

    - Taboo

    ReplyDelete
  6. බයිලා ගැහිල්ල නේන්නම් ගැලවීමට කවදත් තියෙන්නෙ අපිට.
    :)

    ReplyDelete
  7. බොහෝදෙනකු නොදන්නවාට අපෙ රටේ ජනාදිපතිලත් බයිල ලියල තියෙනවා.(ඒ කිව්වෙ බයිල කියනවාට අමතරව)

    මේ ආර්. ප්‍රේමදාස "උණට කොත්තමල්ලි දුන්න රෝසා, රෝසා..." බයිලාවේ තාලයටම ලියපු, එම්. එස් ප්‍රනාන්දුම 1977 මැතිවරණ වේදිකාවේ ගායනා කළ, අතිශයින් ජනප්‍රිය වූ බයිලාවක්.

    කිරිපිටි මිළ අඩු කරන්න - බස් ගාස්තු අඩු කරන්න
    මැතිවරණයක් අපට ඕනෑ, ඕනෑ...
    එක්සත් ජාතික පක්සේ නා......යක
    ජේ. ආර්. රට බාර ගන්න ඕනෑ

    මේක මට කියපු මනුස්සයට ඉතුරු ටික මතක තිබුණේ නැහැ.

    - Taboo

    ReplyDelete
  8. මාත් අර අනර්ඝ කෑල්ලට කියන බයිල කෑල්ලනම බලලා තියෙනවා ‍යු ටියුබ් එකෙන්.... ඒකනම් බයිල කෑල්ලක්ම තමයි නේ...
    ටැබූ ගහපු අර බයිලා කෑල්ල මම අහල තියෙන්නේ මෙහෙම...
    එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ...
    මාතර ගං කොමලි නිල්වලා....

    ReplyDelete
  9. චුඩා මාණිකේ බලලා යනව මේ අපි ///
    රේල් පාරෙ මං යනකොට ටෙනිස් ගහනවා //
    ටෙනිස් ගහන කෙල්ලන්ගේ ..... පේනවා.

    ReplyDelete
  10. අපිත් බලන් ගිහාම බයිල නෙ ගහන්නෙ..
    මෙහෙ සැට ලයිට් ටිවි 1ක නම් බයිල වැඩසටහනක් දැක්ක..
    හොද භාශා දැනුමක් තියනව එ උදවියට...

    ReplyDelete
  11. "මං ලැහැත්ති වෙලා නං නෙමේ ආවෙ හිටිවන බයිලා කියන්න"....
    ඒක තමයි දවසේ කියමන,,,, :D

    ReplyDelete
  12. පුතා : ඇයි බන් ඉතිරිය " පතිවත කෙලසලා ඇගේ මැරුවෙ තිරිසනෙක් වගේ මාතර ගං කොමලි නිලවලා..." හික් හික්..

    බයිල නම් ඉතින් ලංකාවෙ හැමදාම යනවනේ. අනර්ග කෑල්ලට කියන බයිල එක නම් හපොයි... හික් හික්... ඉස්සර ටී න් ල් එකේ ගියපු වැඩසටහන නම් ලාවට මතකයි.වාද බයිල

    ReplyDelete
  13. කතන්දරේ බයිල කියන හැටි අහගන්න
    ආව මෙමට වුනේ බයිල කෑලි බලන්න

    බයිල වුනත් තේරුම නම් හිත අර ගත්ත
    නිකම් වචන නෙමෙයි නේද හිත හිතකියන
    නිකම් වචන නෙමෙයි නේද හිත හිතකියන
    වචන වුනත් තේරුම දැන ගෙන අහගන්න

    බයිල කියන බයිල අහන අය දැක ගත්තා
    බයිල ලියන කොමෙන්ට් කරන අය දැක ගත්ත

    ReplyDelete
  14. @ Jeew
    මගේ ඊ-මේල් එක ඔය තියෙන්නේ දකුණු අත පැත්තේ කොලමේ!

    ReplyDelete
  15. ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්.. බයිල වලින් රට හොල්ලපු බයිල චැම්පියන්

    ReplyDelete
  16. වාද බයිලා රිදම් එකට මේං මගෙනුත්...

    අඩේ.. උඹෙ අක්කයි අපෙ අක්කයි තර‍ඟෙට පොල් ගෑව..
    නුඹෙ අක්කට බොක බරවෙල පොල් කට්ටට බෑව...
    නුඹෙ අක්කට බොක බරවෙල පොල් කට්ටට බෑව...
    අඩේ.. උඹෙ අක්කයි අපෙ අක්කයි තර‍ඟෙට පොල් ගෑව..

    උඩ කරණං බිම කරණං ගහන පරෙයියා..
    උඹෙ බාප්පට අපි කියන්නෙ හම්පඩ **යා..
    උඹෙ බාප්පට අපි කියන්නෙ හම්පඩ **යා..
    උඩ කරණං බිම කරණං ගහන පරෙයියා..

    අටකොන බයිල ගැන අහල තියෙනවද?

    වොලී බැස්ටියන් නං මේං ඉන්නව...


    http://blogvampa.blogspot.com/2010/07/wally-bastian.html

    ReplyDelete
  17. මම බයිලා ලෝලියෙක් නෙමේ. ඒත් එම්. එස්. ගැන මට පොඩි ගෞරවයක් තියෙනවා. අපේ ගමේ තිබිච්ච සංගීත සන්දර්ශනයකට ඇවිල්ලා පොර බයිලා 10ක් කීවා. ඒත් පොරට තිබුනේ බයිල 3ක් කියන්න විතරයි. පොර සල්ලි ගැන හිතන්නේ නැතුව එතන හිටපු අය වෙනුවෙන් කරපු වැඩේ අගෙයි. සමහර ප්‍රබුද්ද අයනම් එලිමහන් ප්‍රසංග වලට එන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ සල්ලි අරගෙන ලොකු අයට පීඩිත පන්තිය ගැන සින්දු කියනවා ඇතුලේ ඉඳන්. ඒක හරියට සමහර දේශපාලන බ්ලොග් ලියන අය වගෙයි. අනිත් එක තමයි එම්. එස්. මැරුනෙ ස්ටේජ් එක උඩ බයිලා කිය කියා නටද්දි.

    ReplyDelete
  18. මාත් එම්.එස්. ප්‍රනාන්දු ගෙ බයිලාවක් අහල තියෙනවා ඒක නම් මොකක්ද මැක්කෙක් ගැන කියපු එකක්.(දේශපාලන වේදිකාවකද කොහෙද) මාත් එතකොට පොඩි එකා නිසා වෙන මතකයක් නෑ.

    ReplyDelete
  19. ෆන් එකෙ ඉන්න ඔනා කියලා හිතුනු වෙලාවට කරන්නෙ. එම් එස් ගෙ රස ආහාර කවලා රන් කුඩුවෙ දමලා දාගෙන හයියෙන් , කාමරෙ දොරත් වහගෙන නටන එක.. කවුරු හරි දැක්කොත් ඉතින් ඉවරයිනෙ, කතන්දරෙ මමගෙත් තියනවා පොඩි බයිලා එකතුවක්. හැබැයි පරණම රෙකොඩින් නෙමෙ.

    ReplyDelete
  20. @ All
    ලොකු පොඩි කවුරුත් බයිලා වලට කැමති බව කමෙන්ට්ස් වලින් පෙනේ.
    සියලු දෙනාටම ස්තුතියි.

    හෙට උදේ කතන්දරේ - මන්තර ගුරුකම් ගැනයි.

    ReplyDelete
  21. මගේ හෝම් කමින් එක දවසෙ මගේ තාත්තගෙ යාළුවෙකුයි මගේ යාළුවෙකුයි ( සංගීත කණ්ඩායමක ගායකයෙක් ) වාද බයිල සටනක පැටළුනා. හැමෝටම ලොකු විනෝදයක් උන ඒක ඉතින් පැයක් හමාරක් ඇදිල ගියත් තාත්තාගේ යාළුවා බයිල ඉවර වෙලා අන්තිමට හිර උනා. අවාසනාවකට ඊට සතියකට දෙකකට පස්සෙ ඔහු හෘදයාබාධයකින් නැති උනා. පස්සෙ මගේ යාළුවා හම්බ වෙච්ච වෙලාවෙ ඌ අහනවා "මචං කවුරු හරි ඉන්නවනන් කියපන් බයිල කියල මරල දාන්න " කියලා.

    ReplyDelete
  22. ඔය එම්.එස්. මහත්තයට බයිලා චක්රවර්ති පට්ටම සුනිල් ආරියරත්න මහත්තයා දුන්නෙ එක බයිලා තරගයකදී ටොනික් මූඩියේ ගැට්ටවල් ගාන බයිලාවෙන් කිව්ව හින්දලු!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.