
කසාඳ බඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් දවසක මං බස් එකක යද්දී හරීම නෝටි හස්බන්ඩෙක්ය කියලා මගේ හිතවතුගේ අක්කා කෙනෙක් මංතුමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගත්තු කතන්දරේ මේ ලඟදී දවසක ආපහු කියවපු වෙලාවේ මට මතක්වුණා, මාව හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලාත් නිවරදි ලෙසින් අගැයීමකට ලක්වෙලා තියෙන බව.
මෙන්න අද ඒ කතන්දරේ!
හැබැයි මේ කතන්දරේ අද කියන්නේ, එදා කතන්දරකාරයා හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලා පැහැදිලිවම වටහාගෙන, ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරළා, විස්සෝප වෙලා, හූල්ලලා, කතන්දර හාමිනේ ගැනත් පොඩි පහේ ඉරිසියාවක් ඇතිකර ගත්තු දේවිකා වගේ අද මේ කතාව අහලා කිසිම ගෑල්ළමයෙක් තමන්ගේ මහත්තයා හෝ වෙන්ඩ මහත්තයා ගැන අහිතක් ඇතිකර නොගනීවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.
දේවිකා කියන්නේ ඒ දවස්වල අපේ අසල්වැසියෙක්. දැන් නං ඒ ගොල්ලෝ ඉන්නේ වෙන පලාතක, මාළඹෙන් හැරිලා යන පාරක.
දේවිකා ගේ හස්බන්ඩා, සුනිල්, මගේ යාළු මිත්තරයෙක්. ඒ හින්දා කතන්දර හාමිනේත් දේවිකා ගේ හිතවතියක් වුණා.
එදා දේවිකා අපේ ගෙදර ආවේ හාමිනේ ට පොඩි ආරාධනාවක් කරන්නයි.
"මං බියුටි කෝස් එකක් කරන්න පටන් ගත්තා මෙයා දේවිකා කිව්වා. ඒකේ ඉගෙනගත්තු ෆේෂල් කරන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕනෑ. ඒවා ඉතිං මට මගේ මූණටම කරගන්න බෑනේ. ඔයාට එන්න පුළුවනිද කියලා අහන්නයි මං ආවේ."
"ඇයි ඉතිං සුනිල්ට කතාකරගන්න තිබුණානේ?" මාත් කතාබහට එකතු වුණා.
"අනේ ඉන්න මෙයා විහිළු නොකර, සුනිල් ට කරන ෆේෂල්. එයා මේවට හිනා වෙනවා විතරයි මෙයා!"
"ආ ඕක මොකක්ද, මං එන්නංකෝ!" හාමිනේ කිව්වා.
"ඔව්, ඔයා යන්න, මං බබාව බලා ගන්නං" මං වීරයා සේ ඉදිරිපත්වුණා.
"කතන්දර නං හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් අනේ." ඒ දේවිකා ගේ පලමු නිබ්බුත පදය.
දේවිකා එදා අපේ ගෙදර ඇවිත් තිබුණේ කේක් ගෙඩියකින් බාගෙකුත් අරගෙනයි. ඒක එයාම ගෙදර බේක් කරපු බටර් කේක් එකක්.
"මං ඕගොල්ලන්ට හෝම් බේක් කේක් අරං ආවා මෙයා. මං කිලෝ දෙකක කේක් එකක් හැදුවා, ඒත් අපේ සුනිල් කන්නේ නෑනේ අනේ කේක්."
ඔන්න අපි තුන්දෙනාම කේක් කෑල්ල ගානේ කපාගෙන කෑවා.
"ඔයා හදන්නේ නැද්ද මෙයා කේක් වගේ ජාති?" දේවිකා ඇහැව්වා හාමිනේගෙන්.
"කේක් නං හදන්නේ නෑ දේවිකා, කඩෙන් ගන්න එක ලේසියනේ. හැබැයි මං ඉඳලා හිටලා එක එක කුකරි පොත්වල තියෙන රෙසිපි බලාගෙන කෑම නං හදන්න ට්‍රයි කරලා බලනවා. මේ ඊයේත් හැදුවා චිකන් ස්ටර් ෆ්‍රයි."
"ඔයා ගාව කුකරි පොත් ගොඩක් තියෙනවාද මෙයා?"
"ඔව් කීපයක් තියෙනවා, අර තියෙන්නේ. ඔය සේරම මෙයා තමයි ගෙනත් දුන්නේ මගේ උපන්දිනවලට" හාමිනේ කිව්වා.
"හානේ.. ..!!!" දේවිකා කුකරි පොත් ටික අරගෙන පෙරලලා බලන ගමන් කිව්වා "කතන්දර නං හරිම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් මෙයා. ඔයා නං හරීම ලකී අනේ!"
දේවිකා ගේ ඒ කතාව විස්තර කරන්න තමයි මං අර මුලින් විස්සෝප වුණා, හීල්ලුවා වගේ වචන පාවිච්චි කළේ.
ඔතන තිබුණු එක කුකරි පොතක් ගැන කතන්දරේ මං කලින් දවසක කියලා තියෙනවා බැඳපු මිනිස්සුන්ට උපදේශයක් හැටියට.
අනිත් පොත් කීපය ගත්තේත් සේල් එකක ලාබෙට දාලා තියෙනවා දැකලයි. (ප්‍රයිස් ටැග් එකෙන් කියවෙන තෑග්ගට ගිය වියදම අනුව නෙමේ තෑග්ගේ ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. තෑග්ග දීමේ චේතනාව සහ තෑග්ගෙන් ලැබෙන ප්‍රයෝජනේ මත තමයි ඇත්ත වටිනාකම තීරණය වෙන්නේ. මෙන්න මං හාමිනේට අරං දීපු වෙනත් තෑග්ගක් ගැන විස්තරයක් තියෙන කතන්දරයක්. http://kathandara.blogspot.com.au/2011/09/irony-of-domestic-violence-but-not.html)
-කතන්දරකාරයා
ප/ලි:
අපේ ගෙවල් පැත්තේ ඉන්න ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ පහේ ශිෂ්‍යත්ව පන්තියට ළමයින්ව ගන්නේ පරීක්‍ෂණයක් තියලා ඒකෙන් පාස් වුණාම විතරයි. ඒ හින්දා මේ ටියුෂන් සර්ගේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයි 100% කටම තමන් ඉල්ලන හොඳ ඉස්කෝලේ ලැබෙනවා.
තමන් ඉගෙන ගත්තු ෆේෂල් කිරීම පුරුදු වෙන්න දේවිකා නෝනා, කතන්දර හාමිනේට අඬ ගැහැව්වේ ඇයි කියලා මට තේරුණේ ඒ ටියුෂන් සර්ගේ වැඩ පිළිවෙල මතක් වුණාමයි.
(image: http://www.gumtree.com.au/s-ad/ardross/other-books-games/old-cook-books-and-magazines/1000593275)