Saturday 15 October 2011

පේරාදෙනිය ගැන ප්‍රීතිමත් කවි ඇත්තෙම නැද්ද? : Self-deception


බලන්න ඒකෙත් හැටි!

මං ඉස්කෝලේ ටීචර් කෙනෙක් කොල්ලෙකුට බැනපු එක ගැන ලිපියක් ලිව්ව කියල ඉස්කෝලේ අයිතිකාරයෙකුට තද වුණා මතකනේ.

පහුගිය සාහිත්‍ය මාසේ කයි-කතන්දර කියල පටන් අරං දැන් මං සෑහෙන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැන ලියපු කවි පල කරලා තියෙනවා මේ බ්ලොග් එකේ. ඒ ලියපු තරමක් ලිව්වේ පේරාදෙනිය ගැන දුක්බර කවි. කොටින්ම කියනවනං පේරාදෙනියේ යන්න බැරි වුණාය කියල හිතේ දුකෙන් ඉඳල තියෙන සෑහෙන පිරිසක ගේ හිත හැදෙන තරමටම නෙගටිව් කවි ඒවා.

හැබැයි අද වෙනතුරු කවුරුවත් ම වලියට ආවේ නෑ මා එක්ක, අඩෝව්, කවුද ඩෝව්, අපේ කැම්පස් එකට කතන්දර හදන්නේ, ඩෝ! කියාගෙන.

බලන්න ඒකෙත් හැටි!

වලි නැති වුනත් මට හිතුනා පේරාදෙනයි ගැන ප්‍රීතිමත් කවියක් දාන්න. ගෑල්ලමයි ඉල්ලීමක් කළාම නොකර ඉන්න එක හරි නෑනේ. අනික, එක්කෙනෙක් ද, දෙන්නෙක් ද?

එහෙනං මෙන්න ඒක.

සරසවි බිමට වසන්තය එළැඹෙයි

සරසවිය වසාගෙන තිබුණු වියළුණු පෙනුම
මදින් මද ඇද හැලෙන සිරි පොදින් නැතිවෙලා
අවට සිසිලස රැගෙන ලපටි තණපත් පිබිද
බැලු බැලූ හැම අතම පලා පැහැ විසිරිලා

වියලි පරඬැල් පතින් පිරි තිබුණු තුරු ලතා
කහ පැහැති රත් පැහැති මල්වලින් බරවෙලා
රුදුරු ගිම්හානයේ කුරිරු බව නසාගෙන
හන්තාන නිම්නයට වසන්තය එළැඹිලා

සැඳෑ කල හමායන සිසිල් වූ මදනලින්
මහවැලිය ඉවුරු බඩ උණපඳුරු සෙලවෙතේ
සනාතන මැදුරු බද පිපුණු අරලිය පඳුරු
සුවඳ කැන් දස අතේ විසිරමින් හිනැහෙතේ

නෙක පැහැති සළු පැලැඳ තුටුව ගිය සිත් ඇතිව
කලාගාරයෙ වලේ මහ පිරිස් පොදි කතේ
සොඳුරු පෙම් ලොවේ තතු සවන්වෙත මුමුණමින්
උනුන් අත් පටලාන පෙම්වතුන් ඇවිදිතේ

කොයි අතක බැලූවද සිනහවෙන් පිරි මුහුණු
හැම සිතම හැම හදම සන්තොසින් පිරිලාය
වසන්තයෙ කුමාරිය සරසවිය පුරා අද
අඩු නැතුව සොඳුරු බව එක ලෙසට බෙදලාය෴


කවිය නං ඔහොමයි. ඒත් ඇත්තටම කියනව නං, මට නං මේ ප්‍රීතිමත් කවිවලට වැඩිය කොච්චරකළත් වටින්නේ දුක්බර කවිම තමයි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
කියවන අයට පේරාදෙනිය එපාවෙන විදියේ කවි ලිව්වට මට තාමත් වලියක් ඇදුනේ නැත්තේ ඉස්කොලේට වඩා විශ්ව විද්‍යාලේ ලොකු හින්දද? ඊට වඩා අයිතිකාරයෝ ඉන්න හින්ද ද? නැත්තං, ඒ ඉන්න අයිතිකාරයින්ට මොලේ උණ නැති හින්ද ද? අනේ මන්දා?

හැබැයි, ලංකාවේ අඳුරු සත්‍යය ගැන කියවෙන වචනයක් ලිව්වොත් නං ඒ සෙල්ලං නැතිවෙයි.

පොරවල් එයි සරොං වලාපොට ගහගෙන මා එක්ක වලියට!

(image: http://www.amazingonly.com/amazing/university-of-peradeniya-greenery-photography/)

18 comments:

  1. jeppan arunama Engo goda denekuta..onema deka depaththak thiyena bava thrum ganna molayal thiyenawa

    ReplyDelete
  2. @"ලංකාවේ අඳුරු සත්‍යය ගැන කියවෙන වචනයක් ලිව්වොත්"

    මොකක්ද ඔබතුමා ඔය කියන "අඳුරු සත්‍යය"? ලියන්න බලන්න.සත්‍යය නම් අඳුරු වෙන්න බෑ-ආලෝකමත්.දකුණු කුරු දිවයිනේ සත්‍යය අඳුරු ද?

    (ප/ලි මම නම් අඳින්නේ කලිසම)

    ReplyDelete
  3. //සනාතන මැදුරු බද පිපුණු අරලිය පඳුරු
    සුවඳ කැන් දස අතේ විසිරමින් හිනැහෙතේ//

    බ්ලොග් එකේ අනිත් කරුණු කෙසේ වෙතත් කාලෙකින් ලියපු වෙනස් විදිහේ කවිය නම් ලස්සනයි.
    මේ අරලිය පඳුරුවල ලස්සන උඩ පින්තූරවල පේන කහපාට මල්වල ලස්සනෙන් වැහිලා තිබුන නිසා උඩ පේලි දෙක ගොඩක් රසවත්.

    ReplyDelete
  4. අඩෝවු . . . කවුද ඩෝ මේ පේරෙ ගැන බොරු කවි ලියන එකා . . . .????

    (කකා . . මේ සද්දෙ හොඳයි නේද ??? බය හිතෙනවද ???)

    ReplyDelete
  5. අඩෝව්, කවුද ඩෝව්, අපේ කැම්පස් එකට කතන්දර හදන්නේ, ඩෝ!? ඔන්න මම කිව්වා,මේක දැක්කොත් රත්ගමයත් බහී සරම උස්සගන(මම දකිනකොටනම් කකුල් දෙකටම කලිසම ඇඳලා හිටියෙ) :D
    හාවි එහෙම බැස්සොත් ලේසි වෙන්නෙ නෑ හැබැයි :P
    කවි ටික මරු.. :D

    ReplyDelete
  6. කසු, පොලොන්නරුව හරියේ පින්තුරයක් නේද.. මල් පිපෙන කාලෙට ඔය හරියේ ඉඳල kissing bend පහුකරන් හිල්ඩා ශාලාව ලඟට යනකම් මුළු area එකම කහ පාට හරි රෝස පාට හරි මල් වලින් පිරිලා..
    අර පළමු කොමෙන්ට් එකේ කියල තියෙන දේ ඇත්ත. අපිට කොහොමත් පේරා වල (වගේම ලංකාවේ උනත්) සුන්දර අසුන්දර හැම දේම ඒ විදිහටම දකින්න තරම් නිරවුල් මානසිකත්වයක් තියෙනවා.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මූණු පොතෙන් උපුටා ගන්නා ලදී......

    ReplyDelete
  9. https://www.facebook.com/photo.php?v=2493645299244

    ReplyDelete
  10. බලන්ට ස්වභාවධර්මයා කියන කෙනා ලස්සන ගෑනු ලමයි දැක්කාම වෙනස් වෙන හැටි. ඉතින් පිරිමි ලමයි ගැන කුමන කතාද?

    ඔය තියෙන්නේ හිත පිබිදිලා එන කවි. එකම දේ අද නිවාඩු දවස හන්දා මේක බලන ගොඩාක් ගෑනු ලමයි බිසී. අපරාදේ.....:)

    ReplyDelete
  11. කසු,
    පේරා එපාවෙන කවි ලිව්වට අපි කොක්කට ආවෙ නැති වීමට හේතු,
    1. ඔය කොයි කැම්පස් එකෙත් බුවාලා කන කට්ට එකම බව දැන සිටීම.
    2. කසු ඒ කලේ පට්ට ආතල් අරගෙන දැන් බොරුවට පොඩි එවුන් බය කරන බව තේරීම.
    3. කසු කොච්චර බය කරත් පේරා යන්න select වෙච්ච එකා නොගිහින් ඉන්නේ නැති බව දැනීම (කොච්චර lovers ලා බූට් කෑවත් කොල්ලෝ කෙල්ලෝ love කරන එක නවත්තන්නේ නැහැ නේ. අන්න ඒ වගේ).
    4. ගොඩක් ය කියනවා වගේ කසුගේ විරහ/දුක් කවි වලත් පොඩි ගතියක් තිබීම.
    තව හේතු තියෙනවනම් අපේ පේරා බුවාලා (බුවීලත් ඇතුළුව) මතක් කරමුකෝ බලන්න...

    ReplyDelete
  12. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මරුමුස් දාපු වීඩියෝ ලින්ක් එකටත් ස්තුතියි. (ලින්කස් දාන කොට ටැග් දාන්න)

    කවි ගැන කියනවානම් දැන් තමයි සෙකන්ඩ් ඉයර් එකේ කවි දාන්නේ. තව බඩු හෑව්!

    ReplyDelete
  13. කවිය ලස්සනය.තව තවත් ලස්සන කවි පලකරන්න කාකාට හැකිවේවා!
    කතන්දරට ජය!
    *වසිලිස්සා*

    ReplyDelete
  14. අප්පේ ඇති යන්තං!

    ReplyDelete
  15. කලක් ලගින විට
    මඩින් පිරි පල් වලක් වුව
    මලින් පිරි පොකුණක්
    සේ පෙනේ

    සුන්දරත්වය මැවෙන තුරු
    කනීනිකාව
    ලොකු පුංචි වෙමින්
    දඟලන නිසාවෙනි

    ReplyDelete
  16. මරුමුස් දක්වා ඇති හේතු වලට අමතරව, කොන්තනෝනා ගේ පශ්චාත් භාගය පිළිබඳ කොන්තනෝනාට ඇති අයිතියට සමාන අයිතියක්, කකාගේ බ්ලොගය පිළිබඳව කකා ට ඇති බව, පේරා ගිය එවුන්ට අවබෝධයක් තිබීම..

    ReplyDelete
  17. මරුමුස් දක්වා ඇති හේතු වලට අමතරව, පොන්තනෝනා ගේ පශ්චාත් භාගය පිළිබඳ පොන්තනෝනාට ඇති අයිතියට සමාන අයිතියක්, කකාගේ බ්ලොගය පිළිබඳව කකා ට ඇති බව, පේරා ගිය එවුන්ට අවබෝධයක් තිබීම

    ReplyDelete
  18. // පොරවල් එයි සරොං වලාපොට ගහගෙන මා එක්ක වලියට! //

    පේරාදෙණියේ ඇත්තම ඇත්ත කතා ලියලා එකියකට එහෙම වුනා නේද

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.