
තමන්ගෙ නමට එන ලියුං තවමත් ගෙදය අය කඩල බලනව කියල පිළිගන්න අය ඉන්නවනං ඒ අය කරුණාකරල අත උස්සන්න!
අපි පොඩි කාලෙ නං අපිට බර්ත් ඩේ කාඩ් එකක් ආවත් ආවෙ තාත්ත හරි අම්ම හරි බාරේ මෙන්න මෙහෙම ඇඩ්රස් එක ලියලයි.
කතන්දර කුමාර
කතන්දර කුමාරගේ තාත්තා බාරේ
101, පරකන්දෙනිය
ඉඹුල්ගොඩ.
ඉංගිරිසියෙන් ලියනව නං ලියන්නෙ Care of එහෙම නැත්තං c/o කියලයි.
ඔය මොන විදියට ලිව්වත් තාත්ත හෝ අම්ම බාරේ ලියුමක ඇඩ්රස් ලියන එක තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සලකන කොට නං කිසිම තේරුමක් ඇති දෙයක් නෙමේ. ඒ ගොල්ලන්ට ඕනැ ගෙදර තියෙන තැන හොයා ගන්න හැටි විතරනෙ! ගමේ නම, පාරෙ නම, ගෙදර අංකය විතරක් තිබුනම හොඳටෝම ඇති.
හැබැයි ගෙදර අයට නං මේ බාරේ කියල ලියන එකෙන් තේරෙන්නෙ ලියුමට බාරකාරයෙක් ඉන්නව කියන එකයි. ඒකනෙ ඒ ගොල්ලො ලියුම කඩල බලන්නෙ!
ඔන්න අපි ටිකක් ලොකු උනාම වෙසක් කාඩ් යවන කාලෙ ආව. දැන් යාළුවො එවන කාඩ් වල අර බාරේ කෑල්ල නෑ. හැබැයි අපේ කාලෙ මේ වෙසක් කාඩ් බොහෝ විට පෝස්ට් කාඩ් වර්ගයක් නිසා ඒවයෙ කොහොමටත් කඩල බලන්න ඕනැ කමක් තිබුනෙ නෑ. මුළු අන්තර්ගතයම එලියෙනෙ තියෙන්නේ!
ඒ ලෙවල් විභාගෙ කරල ගෙදර ඉන්න "ගන්ධබ්බ කාලෙ" තමයි ඉස්සෙල්ලාම ඉස්කොලෙ යාළුවන් ගෙන් ගොඩක් ලියුම් එන්න පටන් ගත්තෙ. අපේ හොඳම මිතුරන් පස් හය දෙනෙකුගෙ ක්ලික් එකක් තිබුන. ඉතිං ඒ කාලෙ සිතයකට ලියුං තුන හතරක් එනව.
මගෙත් වැඩේ දවල් කාලෙ පොත් බලනව, රෑට ලියුම් ලියනව. ඒවත් මාගල් වගේ දිග ලියුං. ඒ දවස්වල ඔය අද කොල්ලො කුරුට්ටන්ට වගේ අපිට Land Phone, Mobile Phone, SMS, MSN, eMail, Facebook යනාදිය තිබුනෙ නෑනෙ.
මං ගෙදර හිටියොත් කෙලින්ම මගෙ නමට එන ලියුං ටික මං ගන්නව පියුං කාරය එනකං මග බලාගෙන ඉඳල. මං පුස්තකාලෙට ගිහින් හෙම හිටි දවසක තාත්ත ගෙදර හිටියොත් කාගෙ නම තිබුනත් එයා ලියුං කඩනවාමයි.
මේ විදියට තාත්ත අන්තිමට කැඩුව මගේ නමට ආපු ලියමන එවල තිබුනෙ ජයන්ත කියන මගේ හිතවතායි.
ජයන්තය ඒ වෙනකොටත් පොරක්. කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුද්දක් විතර.
රිසල්ට්ස් එනකං ගෙදර අපි ගතකළ ඒ අසහනකාරී කාලය ගැන මගේ ලියුමක තිබුණු ආඩපාලි වලට උත්තර විදියට ජයන්තය ඒ තාත්ත කාඩපු ලියුමෙ ලියල තිබුණ මෙන්න මෙහෙම.
"මචං, කතන්දරේ, උඹට තියෙන්නෙ හරිම ලෙඩක්. ඕකට කියන්නෙ අසහනය කියලයි. උඹට තියෙන්නෙ ඉක්මනටම බඩුවක් දාගන්න එකයි."
"හොඳ බඩුවක් දාගනිං!"
එදායිං පස්සෙ තාත්ත කවදාක්වත් මගේ ලියුං කැඩුවෙ නෑ!!!
කතන්දරකාරයා
ප/ලි: හා, දැන් ඔය අත් උස්සගෙන ඉන්න ළමයි අත් පාත දාන්නකෝ.