Monday 25 January 2010

නොදන්න දෙමලේ - නැවත කියවීම


ඉස්සර මං පොඩි කාලෙ අම්ම මොකක් හරි ගෙදර වැඩකට උදව්වක් ඉල්ලුවහම අපි නෑහුනා වගේ ඉන්න කොට, දෙතුන් පාරකට පස්සෙ, අම්ම අපෙන් අහනවඃ

"සිංහල තෙරිය ඉල්ලෙ?" කියල.

මේකෙ තේරුම මයෙ හිතේ - සිංහල තේරෙන්නෙ නැද්ද කියන එකයි. ඒකනෙ දෙමළෙන් අහන්නෙත්!

පසුකාලෙක මං මේ කතාව කිව්ව මගෙ රූම් මෙට් වුනු මඩකලපුවෙ කොල්ලෙකුට. පොර කිව්ව දෙමල අය අතරෙත් මේ හා සමාන පුරුද්දක් තියෙනව කියල. දෙතුන් පාරක් කියල ඇහෙන්නෙ නැතුව හිටියහම අහනවළුඃ

"සිංහලෙන් කියන්න ඕනිද?" කියල.

ඒක අහන්නෙ සිංහලෙන්. ඇයි එච්චර වෙලා දෙමලෙන් කියපු දේ තේරිලා නෑනෙ!

සුද්දන්ට තේරෙන්නෙ නැති දේවල් Greek. සිංහල අපිට තේරෙන්නෙ නැති දේවල් දෙමල. කොහෙත්ම මීටරේට වැටෙන්නෙ නැති දේවල් අන්ඩර දෙමල. ඒ කියන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙ කතා කරන දෙමල. ඒව, තමිල්නාඩුවෙ දෙමල අයටත් තෙරෙන්නෙ නැතුව ඇති!

"නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත්න එපා" කියල කියමනක් තියෙනව. මේකෙ නිධාන කතාව නම් මං සහසුද්දෙන් දන්නෙ නෑ. ඒත් මේකෙන් අදහස් කරන්නෙ නම් තමන් ට නුහුරු නුපුරුදු දේවල් කරල පොර වෙන්න ගිහින් නිකං පීචං වෙන්න එපා කියන එකයි.

මේ කියමන මට මතක් වුනේ ලඟදී අරුණි ශපීරෝ ගේ බ්ලොග් අඩවියේ තිබුණු පෝස්ට් එකකට පාඨකයෙක් දාල තිබුණු කොමෙන්ටුවක් දැකලයි. අරුණිගෙ අදහස තේරුම් ගියේ නැති ළමයෙක් සිනා උපදවන වගන්තියක් ලියල තිබුණ.

මේක දැකල මට මතක් වුනේ අවුරුදු ගණනකට කලින් මගේ කණ වැටුණු දෙබසක්.

ඔන්න හොඳ පොරවල් දෙකක් හිටිය. අපි කියමු විජය සහ රනුක කියල. මුං දෙන්න හොඳ යාළුවො. හැබැයි විජේ කාරයට ඉක්මනිං තරහ යනව. මොකක් හරි එකකට රනුකය එක්ක කේන්ති ගිය විජේ මෙහෙම කියපි.

"අඩෝ. උඹ ආනන්දෙන් කැම්පස් ආව කියල උඹට තියෙනව ලොකු හීනමානයක්. අන්න ඒක නැතිකරගනිං මං උඹේ හොම්බ සමතලා කරන්න කලිං."

රනුකය කිව්වෙ මෙච්චරයි.

"මචං, මං ආනන්දෙ ඉගෙන ගත්ත කියල හරි, කැම්පස් ආව කියල හරි මට තියෙනවනං තියෙන්න ඕනැ හීනමානයක් යැ, අධිමානයක් මිස. හැබැයි උඹට නං මොකක් තියෙනවද මන්ද?"

මේක අහල අපිට හිනා මල පනින්න!

ප/ලිඃ
මේ කතාව දවස් දෙකකට කලින් දැම්ම ගෙඩිය පිටින්ම මේ බ්ලොග් එකේ. සතියක් තිස්සෙ අසනීප වෙලා හිටිය හින්ද හොඳට ලෙලි ඇරල, පෙති කපල, තම්බල, තුනපහ දාල, තෙම්පරාදු කරල කතන්දරේ ලියන්න එදා හිතුනෙ නෑ.

නමුත් අද හිතුන කතන්දරේ නැවත ලියන්න.

"සිංහල බ්ලොග්කරණ ඉතිහාසයේ කතන්දරකාරයා ගේ කාර්යභාරය" කියල කවුරු හරි පශ්චාත් උපාධියක් කරන කාලෙට මේ පොස්ට් දෙකම ප්‍රයෝජනයට ගත්තැහැකි – - ඒ උපාධි නිබන්ධනයේ "කතන්දරකාරයාගේ කතන්දර කීමේ රටාව" කියන පරිච්ඡේදය සඳහා.

ප/ප/ලිඃ
මේ එක්කම කියන්න ඕනැ, අද දවසේ ලියවෙන ඉතාම බුද්ධිමත් කතිකාවතක් සහිත ජාල සටහනක් තමයි අරුණි ශපීරෝ ගෙ බ්ලොග් එක. තවම කියවල නැත්තං ගිහිං බලන්න. හැබැයි නොදන්න දෙමලෙට ගිහිල්ල වරිගෙ නහගන්න නං එපා!

කතන්දරකාරයා

3 comments:

  1. කොපිකඩේ ඩිංගි වගේ ඩයල් එකක් නේ!
    ඔව්..සමහරු ඉන්නවා වැදගත් කාලීන මතෘකාවක කොමෙන්ට් විදියට එල එල...මරු මරු...සිරා..පට්ට!වගේ ඒවා ලියල යන..ඒවා දැක්ක ගමන් තේරෙනවා මූට මුකුත් තේරිලා නෑ කියල!

    ReplyDelete
  2. අනේ ඇත්තටම මට නම් මේ මොනවත් තේරෙන්නේ නෑ. ඔබ තුමන්ලා වගේ උගත්තු තමා මේ රටේ ඉන්න ඕන.බලන්න ඔබ තුමන්ලා කියන දේවල්.ඒවා ඇත්තටම අපිට තේරෙන්නේ නෑ. ඇත්තටම අන්ඩර දෙමල වෙන්නේ ඒවා තේරෙන්නේ නැත්තං.එතකොට කියපු කෙනා උගත් අහපු කෙනා මෝඩයි. නියම තියරිය. දිගටම ලියන් තේරෙන්නේ නැති දේවල්.එතකොට අපි මෝඩයි නේ.

    ReplyDelete
  3. කතන්දරගේ බ්ලොග් අවකාශය කියවන්න ලැබුණේ අහම්බෙන්. සෙන්කොට්ටන් හොයන්න ගූගල් අඩවියේ කරක්ගහද්දී. හරිම සරල, සුගම බාසාවකින් ලියල තියෙන නිසා කිසිම අපහසුවක් නැතුව කියවගෙන ගියා.

    එකමත් ඒක රටක, මයෙ හිතේ ලංකාවේ වෙන්ට ඕනෑ. එක කම්මල් කාරයෙක් හිටියලු. මේ කම්මල් කාරයාගේ පරම්පරාව ගෙනියන්න එකම එක පුතෙක් විතරයි ඉඳල තියෙන්නේ. කොල්ලා ඉලන්දාරියා. තාත්තගේ කරුමාන්තෙත් ඉගෙන ගනිමින් තමා හිටියෙ.

    ඉතින්, දවසක් දා., කම්මල් කාරයා කම්මලේ නැති වෙලාවක එක දෙමළ මනුස්සයෙක් ආවලු කම්මලට. තමන්ගේ හේනට එන සත්තු එළවන්න පාවිච්චි කරන තුවක්කු බටෙත් අරං. ඒකෙ හිරවෙලා තිබුණු මූනිස්සම අරං දාගන්ට කියලා. මේ මනුස්සයට සිංහල වචනයක්වත් බෑ. ඉතිං., කම්මලේ හිටපු පුතාට දෙමලෙන් ම කිව්වලු තමන්ට කරගන්ට ඕන දේ. මේ කොල්ලට දෙමළ වචනයක්වත් තේරෙන්නේ නැහැ. ඒත්., ඒකා ඒ බව පෙන්නන්න්ට කැමතිත් නැහැ. අර මිනිහ කිව්ව දේ තේරුණා වගේ ඔලුව වනල., හ්ම්ම්.. කියල තුවක්කු බටේ අරං ගිණි අඟුරු ගොඩේ ඔබල මයින හම අදින්න පටන් ගත්තලු.

    ටික වෙලාවක් යනකොට අනේ., අර තුවක්කු බටේ අස්සෙ හිරවෙලා තිබ්බ මූනිස්සම රත් වෙලා එක පාරටම තුවක්කුව පත්තු උනා. පත්තුවෙලා ගිහින් වැදුනේ අර කොල්ලගේ පපුවට. කොල්ල එතනම සෙත්තපෝච්චි.

    කම්මල් කාරය අපහු ඇවිල්ලා වෙලා තියෙන සංගෙදිය දැකල කිව්වලු., අනේ., පුතේ උඹ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙත් නහගත්ත නේද කියල.


    කතන්දරේ නිධාන කතාව සහසුද්දෙන් දන්නේ නැතෙයි කිව්ව නිසා මම අහල තියෙන නිධාන කතාව තමා ඔය කිව්වේ. තවත් කවුරු හරි ඔයිට වැඩියේ යමක් දන්නවනම් නොදන්න අපිට කියා දෙන ඒක තමා හොඳ.!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.