අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.
ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!
ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.
පස්සේ ටික ටික තත්වය වෙනස් වුණා. මට මතකයි පිරවී කියන ඉන්දියානු චිත්‍රපටිය, පුරහඳ කළුවර වගේ එකක්, බලන කොට මට කඳුළු ආපු හැටි. ඒ තාත්තා කෙනෙක් පුතෙක් ගැණ දුක් වෙන හැටි දැකලයි!
දැන් නම් තත්වය ඊටත් වඩා දරුණුයි. හිත සංවේදී වුණාම ඇහැට කඳුළු එනවා. ඇඬෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ ගැන සඳහන්වෙන කතන්දර අහන කොට, චිත්‍රපටි බලනකොට. ඒ එක්කම දරුවෝ ගැන, යුද්ධවලින් මිය යන අය ගැන විස්තර ආරංචි වෙන කොට තමයි මේ සිදුවීම වැඩියෙන්ම වෙන්නේ.
හිතේ කේන්තිය, වේදනවා හිරකරගෙන ඉන්නවාට වඩා දුක් වී කඳුලක් හෙලා ඒ පීඩනය මුදා හැරීම මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික සෞඛ්‍යටත් හොඳ බව මා අසා තියෙනවා.
ඔය සේරම මතක් වුනේ මෙන්න මේ හින්දායි.
තිලක සිත කියන බ්ලොග් එක කියවලා තියෙනවාද?
මේ බ්ලොග් එක ගැන දැන් සතියකට දෙකකට කලින් කවුදෝ මට කියා තිබුණාට නිදහසේ කියවන්න ලැබුණේ ඊයේයි.
තිලකසිරි ඒකනායක ලියන ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන "දයාබර මාරේ!" කියන කතාව කියවන විට මගේ දෙනෙත් තෙත් වුණා.
හරිම සංවේදී කතාවක්. සමහර විට ලංකාවේ ලක්‍ෂ ගණනාවක මේ වගේ කතන්දර අතරේ මේක තවත් එක් කතන්දරයක් පමණයි, සරල අත්දැකීමක් පමණයි කියලා කෙනෙකුට පේන්නත් පුළුවන්. ඒත් ඒ කතාව ලියා තිබුණු විලාශය අපූරුයි. හරියට අපේ ම අත්දැකීමක් ඒ මොහොතේම අත්විඳිනවා වගෙයි මට නම් දැණුනේ. සමහර විට ඒ පරිසරය මටත් හුරුපුරුදු එකක් නිසා සංවේදීබව වැඩි වෙන්නත් ඇති.
තිලකසිරි ලියා පලකර තියෙන "භීෂණයේ මල් පෝච්චි" කියන කෙටිකතාවත් ඉතා හොඳ නිර්මාණයක්. හරියටම ලියනගේ අමරකීර්ති ලියූ "අර මිහිරි සීනු නාදය" කියන කෙටිකතාව කියවීමෙන් මා ලැබූ කම්පනයට ඉතා සමීප හැඟීමක් තමයි මට මේ නිර්මාණය කියවීමෙන් ලැබුණේ.
තිලක සිත බ්ලොගයේ තියෙන අනිත් කතා විසි ගණන අතරත් ඉතා සංවේදී මෙන්ම හොඳ වින්දනයක් ගෙන දෙන කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. බාබර් උන්නැහේ ගේ කතාව, ගුරු තරුව, යවුල ගස සත්‍ය අත්දැකීම් මත තිලකසිරි ලියූ මා සිත් ගත් තවත් කතා කීපයක්.
වෘත්තියෙන් මැවිසුරුවෙක් වුණාට තිලකසිරි කාලයක් පත්තරේකත් වැඩ කළාය කියා මා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ලියා තිබුණා. මං හිතන්නේ විදුසරේ විය යුතුයි.
මේ බ්ලොග්කරුවා ගේ සිතේ තවත් මේ වැනි කතා රාශියක්ම සිරවී තියෙන බව පැහැදිලියි. ඒ සියල්ල අනාගතයේ දී කියවීමටයි මා හිතාගෙන ඉන්නේ.
මෙන්න තිලක සිත බ්ලොගයට පාර නැවතත්.
http://thilakasitha.blogspot.com/
-කතන්දරකාරයා