Monday 1 March 2010

නෙළුම් අක්කගෙ ටයිම් ටේබල් එක


මං පොඩි කාලෙ අපි පදිංචි වෙලා හිටිය ගෙදරට අල්ලපු ගෙදරක හිටිය ඒ ලෙවල්ස් කරන කෙල්ලෙක්. අපි එයාට කිව්වෙ නෙළුම් අක්ක කියලයි. ඒ ගෙදර ළමයෙක් නෙමේ. දුර පලාතක ඉඳල, මං හිතන්නෙ පොලොන්නරුවෙද කොහෙද, අපේ ගෙවල් හරියෙ තිබුන ලොකු ඉස්කෝලෙ ඉගෙන ගන්න ඇවිත් බෝඩ් වෙච්ච ළමයෙක්.

නෙළුම් ඉගෙනීමට හරි දස්සයි කියල තමයි අපේ අම්මල, අල්ලපු ගෙදර නැන්දල හෙම කතාවුනේ. එයා ඕ ලෙවල් හෙම හොඳට පාස් වෙලා තියෙන්න ඇතිනෙ.

ඉතිං මේ කාලෙ නෙළුම් අක්ක හිටු කියල පාඩම් කරනව ඒ ලෙවල් විභාගෙට. හැබැයි තව අවුරුද්දක් විතර තිබුන මගෙ හිතේ.

එයා පාඩම් කරන්න ටයිම් ටේබල් එකකුත් හදල තිබුණ. මෙන්න මේ වගේ එකක්.

පූ.භා.5:006:30රසායන විද්‍යාව
6:307:00පාසැල් යෑමට ලැහැත්ති වීම
7:002:00පාසැල් කාලය
අ.භා.2:304:00උද්භිද විද්‍යාව
4:006:30සත්ව විද්‍යාව
6:308:00කෘෂි විද්‍යාව

මට ඕක දැකල නිකං කහනව කහනව වගේ ගතියක් දැනුණ.

පහුවදා නෙළුම් අක්ක එයාගෙ ටයිම් ටේබල් එක බලනකොට ඕකට අමතර දේවල් එකතුවෙලා තිබුණ ලු!

අ.භා.2:002:30ඕපා දූප කීම
10:0011:00නිදි කිරීම
11:0012:00හීන බැලීම

මොන හේතුවකටද මන්ද එදා ඉඳල නෙළුම් අක්ක මා එක්ක තරහයි.

දෙපාරක්ම ඒ ලෙවල් විභාගෙ ෆේල් වෙලා එයාගෙ ගමට යනතුරුම මාත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.

කතන්දරකාරයා

14 comments:

  1. මුලදි එයාගේ කාලසටහනට වැඩ කරලා අන්තිමේ උඹේ කාල සටහනට වැඩ කලාද දන්නේ නැහැ

    ReplyDelete
  2. මොන හේතුවක් නිසාද මන්ද මටත් මේ හැම එකකටම කියන්න සමාන්තර කතාවක් තියෙනවා. මෙන්න මේ සිද්ධියට සමාන කතාව.

    A/L කරන කාලෙ අපට රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වලට සාමාන්‍ය කාල පරිච්ඡේද දෙකක් එකතු කරලයි දීල තිබුණෙ. (මොකද නැත්නම් කල් මදි සමහර පරීක්ෂණ වලට.) අපට මේක තිබුණෙ, මතක හැටියට, අඟහරුවාදා විවේකයට කලින් පරිච්ඡේද දෙක එකතු කරලා. කාලසටහනේ මේක සටහන් වෙලා තිබුණෙ මෙහෙමයි. (වෙලාවන් හරියටම මතක නෑ. හිතලා දැම්මේ.)

    9.30 - 11.00: Chem Lab

    අපට ප්‍රායෝගික පරීක්ෂණ කරන්න කලින් සර්ට වෙන තියරි පන්තියක් තිබුණ. පොර ඒක ඉවරකරල යනව කැන්ටිමට. තේ එකක් හෙම බීල, ඕපාදූප, දේශපාලනේ හෙම කතා කරල එනකොට හැමදාම විනාඩි තිහක් හතළිස්පහක් පරක්කුයි. ඉතින් අපි පරීක්ෂණ කරන්න පටන් ගත්තාම ඉවර කරන්නේ විවේක කාලෙන් බාගයක් ගිහින්. සමහරදාට විවේකයක් ඇත්තෙම නෑ.

    ඉවසගෙන ඉන්නම බැරි තැන පන්තියෙ පැත්තකින් එල්ලා තියෙන කාලසටහනේ මෙහෙම සංශෝධනයක් උනා.

    9.30 - 10.00: TEA
    10.00 - 11.30: Chem Lab

    මේක දැකපුදායින් පස්සෙ නම් සර් තේ බොන්න ගියේ අපේ කාල පරිච්ඡේද දෙක ඉවර වෙලා තමයි.

    ReplyDelete
  3. එහෙම තමයි කාලසටහන්...;)

    නියම වැඩේ....

    ReplyDelete
  4. කතන්දරේ නම් ෂෝක්.... :-) ඔය ගොඩක් කට්ටිය හදන කාලසටහන් බොහොමයක ඇතුලේ තියෙන්නේ ඔය වාගේ සැගවුනු දේවල් තමයි....

    ReplyDelete
  5. කාල සටහනට වැඩ කරල
    කාටද මලේ හරි ගියේ
    හිතුන දේ හිතුන විට
    කරල අපි ගොඩගියේ

    ReplyDelete
  6. හොඳ කතාව.අපෝ කාලසටහන් ගහගත්තට කවදාවත් ඒකට අනුවනම් වැඩ කරන්න බැරි වුනා. අන්තිමට රෑ වෙනකොට අර නොකරපු වැඩ කොටස ගැන පසු තැවීම් විතරක් ඉතුරු වුනා. ඊට වඩා හොඳයි හිතෙන හිතෙන වෙලාවට කල යුතු වැඩේ ඉවර කරන එක. හැබැයි ඉතින් අපි වගේ කාලෙ කන අයටනම් හොඳයි. නැත්නම් වෙන්නේ ටයිම් ටේබලේ දිහා බලාගෙන හූල්ලන්න... මම කමෙන්ට් කරන පළමු සැරේ වෙන්න ඕනෙ. සින්ඩිය හරහා ආවට ඔයාගේ කතා හමුවෙන කීප සැරයක්ම කියවලා තියෙනවා. ඇත්තටම අර සම්මානේ කියනවා වගේම විනෝදාත්මක වෙබ් අඩවියක් තමයි මේක. සුභ පැතුම් කතන්දර සහෝදරයා

    ReplyDelete
  7. ඔය ගොඩක් කට්ටිය හදන කාලසටහන් බොහොමයක ඇතුලේ තියෙන්නේ ඔය වාගේ සැගවුනු දේවල් තමයි....

    ReplyDelete
  8. කාල සටහන් හදන එකෙන් නම් සත5ක වැඩක් නෑ.ඒත් කරන්න ඉතුරු වෙලා තියෙන වැඩ ලිස්ට් එකක් සහ ඒ සඳහා ඉතිරි කාලය පේන තැනකින් එල්ල ගන්න එකෙන් නම් සැලකිය යුතු ප්‍රතිථලයක් ලැබෙනව.බයටම වැඩ ටික කෙරෙනව මට නම්

    ReplyDelete
  9. මගේ යාලුවෙකුටත් ඔහොම වැඩක් කලා අපි. එකේ ලියපුවනම් කියන්න බෑ :P :P :D

    ReplyDelete
  10. ගොඩක් අයට ඇත්ත කිවුවම රිදෙනවනෙ. නෙලුම්ටත් ඒකම තමයි වෙන්න ඇත්තෙ. අනික ඕනාවට වඩා TEACHERල කියන බයිල අහන්නයි, කරනවට වැඩිය කරන බව පෙන්නන්නයි ගියාම ඔහොම වෙනව.අපේ පන්තියෙත් හිටිය ඔහොම පොරක්. CR පොත්වල විතරමයි සටහන් ලියන්නෙ ගනන් හදන්නෙ, HOME WORK වෙලාවටම කරගෙන එනව, ඉස්සරහ පේලියෙ ඉන්ද්ගෙන ඉන්නෙ, කවදාවත් SCHOOL CUT කරල නෑ FILMS බලන්න ගිහිල්ලත් නෑ, TEACHERS ලගෙ ප්‍රියතම ශිශ්යා, අන්තිමට දැන් නිකන් DRAFTSMEN කෙනෙක් හැටියට ARCHITECT කෙනෙක් ගාව වැඩ. UNIVERSITY එකේ EXHIBITION බලන්න විතරයි එන්න පුලුවන් උනේ.

    ReplyDelete
  11. How about this time table? (One of my childhood buddy's brother created this for his daily work)

    Ude negiteema
    Nikan indeema
    Padam kirima
    Nikan indeema
    Ge athugema
    Nikan indeema
    Ude kema ganeema
    Nikan indeema
    ...
    ...

    ReplyDelete
  12. මම නම් ඕන තරම් කාලසටහන් හදල තියෙනවා. ඒත් ඒවා අනුව වැඩ කරේ නැති එක තමයි අවුල. :)

    ReplyDelete
  13. බිපෙසි. මාත් කාලසටහනක් හදාගෙන තියෙනව පාඩම් කරන්න එහෙම. කොහෙද ඉතින් කාලසටහනකට වැඩකරන්න වෙලාවක් මට! :D

    ReplyDelete
  14. OOOPS!! Math echcharama thamai. Aye kisima wenasak ne.
    Wenasakata thiyenne mata kala sataha hadala dunne mage appachchi.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.