Thursday 17 April 2014

බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakaraya


කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.

හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.

වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද?

කාලෙකට ඉස්සර ටීඑන්එල් චැනල් එකේ වාද බයිලා සීරීස් එකක්ම ගියා මට මතකයි. ඒක ඒ දවස්වල මං කැමතිම වැඩ සටහනක්.

ඊට පසු කාලෙක රූපවාහිනීයේත් විටින් විට වාද බයිලා ෂෝ ප්‍රචාරය වුනා. නමුත් මේ කිසිම දෙයක ඩීවීඩී එකක් තාම මට හොයා ගන්න බැරි වුණා. යු ටියුබයේත් වාද බයිලා ෂෝ කීපයක්ම තිබුණත් ඊට වඩා ඉස්තරම් කොලිටියේ වාද බයිලා තිබුණු බවයි මගේ මතකය.

වාද බයිලාකාරයෝ එකිනෙකා ගේ මිතුරෝ, මිතුරියෝ වුණත්, වාද කරගන්න ගියාම නං ඒ මිතුරුකම් කැලේ! එකිනෙකාට උපහාස, අපහාස කරගන්නේ කටේ නොගෑවී නිකං උපන් ගෙයි හතුරෝ වගේ!

ඒ වගේම, බයිලා වාදේ ඉවර වුණාම, මං හිතන විදියට ඒ හතුරුකම් එතැනින්ම ඉවරයි.

ඔය වාද බයිලා වගේම, හිටු කියලා එකිනෙකාට උපහාස අපහාස කරගන්න තවත් තැනක් තමයි, කවි මඩු.

වාද බයිලා වගේ විවිධ තාල නැති වුණාට, සංගීතය නැති වුණාට, එක වගේ පද හතරක්ම රයිම් වෙන්න කියන්න ඕනෑ හින්දා වැඩේ ලේසි නැති වුණාට, කවි මඩුත් හරිම ජොලි වැඩ සටහන්. කාලෙකට ඉස්සර අයිටීඑන් එකේ හොඳ උසස් ගණයේ කවි මඩු සෑහෙන ගාණක් ප්‍රචාරය වුණා.

"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට!" කියන කවි වාදය තමයි මං හිතන්නේ දැනට යූ ටියුබයේ තියෙන වැඩියෙන්ම හිට් වෙච්ච කවි මඩු වාදය!



කවි මඩුවලදීත් කොච්චර උපහාස, අපහාස කරගත්තත් ඒවා කවි මඩුවේ විතරයි! එතැනින් එළියට බැස්සාම ඒ සේරම ඉවරයි.

අන්න ඒ වගේ තමයි, මේ සිංහල බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, කචල්, ගාල ගෝට්ටි තියෙන්නත් ඕනෑ.

මොකක් හරි දේශපාලන, සමාජ ආර්ථික කේස් එකක් ගැන විවිධ මත බ්ලෝවලදී හප්පා ගත්තාට, විවිධ උපහාස බස් හුවමාරු කර ගත්තාට, ඒ සියල්ල මේ අතත්‍ය ලෝකයේ දීම අවසාන විය යුතුයි.

තත්‍ය ලෝකයට පිවිසෙන කොට ඒ වලි, කචල්, ගාල ගෝට්ටි සියල්ලම අතත්‍ය ලෝකයේ ඒ ඒ තැන්වලට තියලා තමයි යන්න ඕනෑ. මොකද බ්ලොග්කාරයෝ වෙන්න කලින් අපි සේරම මිනිස්සු!

හැබැයි, ආපහු නැවතත් බ්ලොග් ලෝකාර්ධයට ආපු දවසක අර කලින් වලි නවත්තපු තැන ඉඳලා කරගෙන යන්නත්, ආපහු වලිවලට පැටලෙන්නත් දෙපාරක් හිතන්න ඕනෑ නෑ! මොකද අපි කවුරුත් පොලිටිකල් සත්වයෝ නිසා.

හති අරින බ්ලොග් නිවාඩුවේ මැද හරියට එන්නත් කලින් මට ආපසු සිතුවිල්ල තමයි ඒ.

-කතන්දරකාරයා

ප/ලි:
සයිබර් අවරුදු උත්සවයට වැඩ සේරම ලැහැත්තියි ලු!

(image: http://www.canamdvd.com/CyberFights-1-4-CYBER1-4DVD.htm)

Monday 14 April 2014

කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone!


මං මේ කතන්දර බ්ලොග් එක ලියන්න 2009 ජූලි මාසේ පටන් ගත්තේ මුලින්ම කතන්දර දහතුනක් ඩ්‍රාෆ්ට් කරලා ඉවර කරලායි. මගේ ප්ලෑන් එක වුනේ සතියකට එකක් ගානේ කතන්දර පළකරන්නයි. එතකොට මාස තුනකට බ්ලොග් එක රන් වෙනවා අවුලක් නැතුව.

නමුත් ප්‍රායෝගිකව ඒ විදියට නොවෙයි වැඩ සිද්ධ වුනේ.

ලියපු කතන්දරත් දැම්මා, අතුරු කතන්දරත් ලියවුණා. අළුතින් ඒවාත් එකතු වුණා. ඒ එක්කම සතියකට එකකට වඩා කතන්දර පළ කිරීමත් සිදුවුණා.

ඒ අතරතුරේ මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවත් එන්න එන්නම දිග් වුණා මිස කවදාකවත් හිඳුණේ නෑ, වරින්වර ආපු කම්මැලිකම් මිස!

කොහොමින්, කොහොමින් හරි පෙරේදා, ඒ කියන්නේ අප්‍රියෙල් 12 සෙනසුරාදා, මට හැකි වුණා මේ බ්ලොගයේ දහස් වෙනි කතන්දරය පළ කරන්න.

මං සඟරාවකට ලියපු ලිපියක් පොඩ්ඩක් වෙනස් කරළා පළ කරපු ඒ කතාවේ මං මේ දාහේ සීමාව පසු කිරීම ගැන පොඩි ඉඟියක් දෙකක් දුන්නත් ඒවා මටම විතරක් තේරෙන ඉඟි වුණා!

මං හිතන්නේ අද එක්දහස් එක්වෙනි පෝස්ටුවත් සමගින් මේ පසුවෙන්නේ මගේ බ්ලොග්කරණ ප්‍රයත්නයේ ඉතා වැදගත් අවස්ථාවක් කියලයි.

බ්ලොග් එකක් කරනවා කියන්නේ ඩයරියක් ලියනවා වගේ හිතේ ජොලියට කරන දෙයක් වුණාට, ඩයරි වගේ නොවෙයි, ලියන ඒවා කවුරුවත් කියවන්නේ නැති නම් බලොග් එකෙන් පලක් නෑ නේ.

ඉතිං, මා මේ දක්වා ලියා පළ කළ කතන්දර දහසෙන් එකක් හෝ කියවු, කියවා ප්‍රතිචාර දැක්වූ සැමටම ස්තුති කරන්න මට අවශ්‍යයි.

අන්න ඒ නිසා මං තීරණය කළා මේ අවස්ථාව සමරන්න ලොකු උත්සවයක් පවත්වන්න!

නිකං නොවෙයි, මේ අවුරුදු කාලෙත් හින්දා, අවුරුදු උත්සවයක්ම පවත්වන්න.

ඒ තමයි සයිබර් සිහින 2014 සිංහල අලුත් අවුරුදු උත්සවය!



මේ උත්සවය තියෙන්නේ අප්‍රියෙල් 20 වෙනි ඉරිදා පැලවත්තේ බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී උදේ 9:00 සිට හවස 4:00 දක්වායි.

මං හිතන විදියට අවුරුදු උත්සවයේ සංවිධායකයෙක් වෙන නලීන් දිල්රුක්‍ෂගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව මං ගිය සතියේ දවසක මේ උත්සවය ගැන කියවෙන ප්‍රචාරක දැන්වීමත් කතන්දර බ්ලොගයේ උඩින්ම එල්ලුවා.

සයිබර් සිහින 2014 උත්සවය ගැන විස්තර මෙන්න මෙතනින් බලා ගන්න පුළුවනි.
http://cyberfestival.blogspot.com/2014/04/blog-post.html

උත්සවයට සහභාගීවෙන්න අපේක්‍ෂාකරන අයට මෙන්න මේ ෆෝර්මය පුරවලා එවන්න කියලාත් සංවිධායකයෝ ඉල්ලනවා.

එහෙනං එදාට පැලවත්තට ගිහින් අවුරුදු අසිරිය සමරන ගමන් කතන්දර බ්ලොගයේ දහස්වෙනි සැතපුම් කණුව පසු කිරීමත් සමරන්න කියලා මං ඉල්ලා සිටිනවා.

කඹ ඇදීම, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම යන අතරේ අතරේ ඔය පැත්තේ එනවාය කියන නොයෙකුත් අමුත්තෝ අතර "සැඟවුණු අමුත්තෝ" හෙමත් එයිද දන්නේත් නෑ, තෑගිත් අරගෙන!

-කතන්දරකාරයා

ප/ලි:
අවුරුද්ද සමරන්නයි, කතන්දර දාහ ලියපු මහන්සියේ හති අරින්නයි, මාත් අඩු ගානේ සතියක විතරවත් නිවාඩුවක් ගන්නයි ඉන්නේ!

මෙන්න මං කතන්දර 500 මඟ සලකුණ තැබූ අවස්ථාව.
http://kathandara.blogspot.com/2011/10/five-hundred-posts-as-bday-present.html

(image: )

Saturday 12 April 2014

මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා! - In another 1000 years!


මේ කතන්දරය කියනව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ සිනමා ශාලාවක නොවෙතත් අඩුවශයෙන් මැතිවරණ චන්ද ප්‍රතිපල විකාශනය කෙරෙන දිනක දී වත් "ලොකුම හිනාව" නම් වූ සිනමා පටය නරඹා ඇතැයි මම සිතමි.

මා මේ ප්‍රහසනය නරඹා දැන් දිගු කලෙකි. එහි ආ දර්ශණවලින් මගේ මතකයේ රැඳී ඇති කරුණු අතර මිනිසුන් දෙදෙනෙක් පාන් සාදන බේකරියක් ඇතුලේ පාන් පිටි මිශ්‍රණය ඇඟ පුරා ගා ගනිමින් සටන් වැදුණු අයුරු ද, ප්‍රෙඩී සිල්වා ගේ "පරණ කෝට්, පරණ කෝට්" නම් අද ද ජනප්‍රිය විකට ගීතය ගයමින් කවුදෝ පාරක් දිගේ ගමන් කරනවා ද වේ.

ඒ සියල්ලටම වඩා මගේ සිත් ගත් දර්ශනය වූයේ මේ සිනමාපටයේ ආ පෙම් ගීතයකි. එහි ස්ථායි කොටසේ අවසාන පදය වූයේ මේ කතන්දරයේ මාතෘකාව ලෙස මා යොදා ඇති "මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා" යන්නයි.

සිනමාපටයේ ඒ දර්ශනයේදී පෙම්වතා "මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා!" යනුවෙන් ගයද්දී පෙම්වතිය සිතන්නේ ඒ ඇය පිළිබඳ ගැයෙන ගීතයක් ම ය කියා බව නරඹන අපට පෙනුණද, පෙම්වතා ඇත්තටම ඉන් අදහස් කරන්නේ ඔහු සොරා ගන්නට ආ මැණිකකි.

මෙන්න ඒ දර්ශණය සහිත යූ ටියුබ් වීඩියෝව. මෙහි මිනිත්තු 8:05 සිට නරඹන්න.



පොළොව යට තිබී හමුවෙන මැණික් සෑදෙන්නේ කෙසේදැයි අපට කියා දුන්නේ තාත්තා ය. ඒ වසර මිලියන ගණනාවක් තිස්සේ පොළොවේ යට ඇති විවිධ පාෂාණ අධික උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක්වීමෙනි.

ලංකාවේ හමුවෙන මැණික්වලටත් වඩා වටිනා වෙනත් පාෂාණ වර්ගයක් වන දියමන්ති ගැන ද ඔහු අපට කියා දුන්නේය. එකල පැවති පොදු මතය වූයේ පොළොවට යටවෙන ගස්කොලන්වලින් ගල් අඟුරු සෑදෙන ක්‍රියාවලියේම දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් ලෙස දියමන්ති සෑදෙන බවයි. (අද ඇත්තේ තරමක් වෙනත් මතයකි!)

ඒ අසන ජීවිතයේ දහවෙනි වසර ගෙවන දරුවෙකු ගේ සිතේ තමන්ට ම දියමන්ති සාදා ගන්නට බැරිදැයි යන සිතුවිල්ල ඇතිවීම පුදුමයක් නොවේ යැයි මම සිතමි.

එලෙස ඉපදුණු ඒ සිතුවිල්ල ක්‍රියාවට නැංවීම ද ඉතා ලේසි කටයුත්තක් විය.

මල්ලී සමග එකතුවුණු මා කළේ, අප එවකට වාසය කළ පියා ගේ මහ ගෙදර මිදුලේ එක් පසෙක පිහිටි ලොවි ගහ යට කුඩා වලක් හාරා, හොඳ සවිමත් ලී ඉන්නකින් අඩියක පමණ කොටසක් කපා වල දැමීමයි.

වලට උඩින් හෙඳින් පස් දමා හැකි තරම් තැලීමටද අපි අමතක නොකළෙමු. ඒ උපරිම පීඩනය ලබා දෙනු පිණිසය.

කෙදිනක හෝ අනාගතයේ දිනක මේ වල හාරා අපේ පරීක්ෂණයේ ප්‍රථිපලය ලෙස එහි දියමන්තියක් සෑදී තිබේදැයි සොයා බැලීමට අපි එදින සිතා ගත්තෙමු.

කාලය ගලා ගියේය.

එයින් වසර පහලොවක් පමණ ගතවන විට අප ඒ පෙදෙසින් නික්ම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචියට ගියෙමු. දියමන්ති නිපදවීමේ පරීක්ෂණය ගැන මතකය කෙමෙන් අපේ සිත්වලින් ගිලිහී ගියේය.

දැන් ඒ මහ ගෙදර තිබූ වත්ත කැබලිවලට බෙදී විකිණී ගොස් ඇත. නිවස ද කැඩී බිදී ගොස් තිබී අවසානයේ ලී වලට විකිණී ගොස් ය. මින් වසර කිහිපයකට පෙර ඒ පෙදෙසට ගිය මා දුටුවේ නිවස තිබූ තැන දැන් ඇත්තේ පස් කන්දක් පමණක් බවත්, මා පෙර කී ලොවි ගහ තිබුණු ස්ථානයක්වත් අවට වැවී ඇති පඳුරු යනාදිය නිසා සොයා ගත නොහැකි බවත් ය.

ඒ කෙසේ වෙතත්, එදා ඒ මොහොතේ පෙර දිනයක අප කළ මේ දියමන්ති නිෂ්පාදන පරීක්ෂණය පිළිබඳව මට සිහිපත් වූයේ ද නැත.

යළි කෙදිනක හෝ ඒ ප්‍රදේශයට ගොස් හොඳින් ස්ථානය සොයා බලා හාරා ගොඩ ගන්නාක් තෙක් මගේ පිනට ඒ ස්ථානයේ දියමන්තියක් සැඟවී ඇති බවට විශ්වාසයක් මගේ සිතේ දැන් ගොඩනැගෙමින් පවතී!

-කතන්දරකාරයා

ප/ලි:
අපේ ආච්චිලා ගේ කාලයේ ගමේ සිටි පොහොසත්ම පුද්ගලයා හැඳින්වී ඇති අන්වර්ථ නාමය දාස් මහත්තයා ය. ඒ ඔහු ගේ පොහොසත්කම ඔහු ගේ හෝ ඔහු ගැන කතා බහේ දී නිතර යෙදී ඇති රුපියල් දාහේ ඒවා ගැන සඳහන් කිරීම්වලින් මතුවූ නිසා වෙන්නට ඇත.

දාහක් යනු ආච්චිලා ගේ කාලයේ නම් ලොකු ගණනකි. අද නම් වැඩි වටිනාකමක් නැත. මල්ලී ගේ සහ මගේ දියමන්ති ආකර හාරා ගොඩ ගත්තා නම් ඔන්න අපට අද කාලේ හැටියට බිලියනයර්ස් ලා වෙන්නට හැකිය!

(image: http://www.contactmusic.com/photo/james-bond-and-m-appear-in-new-007-setting-at-madame-tussauds_4152157)

Thursday 10 April 2014

පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්‍ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement!


පුක යනු කුණුහරුපයක් නොවන්නේ ඇයිදැයි පහදමින් මා ලිපියක් ලියා පළ කර වසර තුනක් සපිරෙන්නට තව ඇත්තේ දින දෙකකි.

ඊයේ පෙරේදා උසාවියක ද මේ ප්‍රශ්ණයම සාකච්චා වී ඇති බව විවිධ මූලාශ්‍ර මගින් මට දැන ගන්නට ලැබුණි.

පුක යනු කුණුහරුපයක් නොවන බව නැවත නැවතත් කියන්නට මට අවශ්‍යතාවයක් නැත.

එය එසේම ය.

නමුත් මේ සිද්ධියට සම්බන්ධව උසාවියේ දී කියවී ඇති වෙනත් කරුණක් ගැන කිව යුතුය.

එනම් පුක යනු ශරීරයේ අවයවයක් සඳහා භාවිතා වෙන ඉතාම සරල සිංහල වචනයක් මිස කුණුහරුපයක් නොවෙන බව සත්‍යයක් වුවද, එම මූලික වචනයෙන් වර නගමින් විශේෂණ පද, ක්‍රියාපද එකතුකරමින් විවිධාකාරයේ කුණුහරුප සාදාගන්නට ඉඩ ඇති බවයි.

මා ඒ ප්‍රකාශය සමග එකඟ වෙමි.

ඇත්තටම කියනවා නම්, පුක පමණක් නොව කට වැනි වචනයක් ආශ්‍රිතව වුවද, විවිධ විශේෂණ පද, ක්‍රියාපද එකතු කරගනිමින් අසැබි වදන් නිර්මාණය කර ගැනීමට ඉඩ ඇත.

මේ සමගම මගේ මතකයට ආවේ පොඩි කාලේ කතන්දරයකි.

මා පසුව අසා දැනගත් පරිදි, කලකට පෙර අපේ ඥාතියෙකුගේ කටේ නිතරම කුණුහරුපයක් දෙකක් ගැවසුණා ලු. මේවා නොකිව යුතු වචන බව නැවත නැවත මතක් කර දුන්නද "ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු නිසා" එය නිතර නිතර කියවුණා ලු.

අන්තිමේදී වෙනත් ඥාතියෙක් උපදෙස් දි ඇත්තේ ඒ වචන දෙක වෙනුවට නෑඹිලිය හෝ හැරමිටිය හෝ එවැනි සාමාන්‍ය වචනයක් භාවිතා කරන්නට හුරුවෙන ලෙසටයි.

මුලින් මුලින් පැටලුනද, දින කිහිපයකට පසු වැඩේ සාර්ථක වුණා ලු!

අපේ ඥාතියා නිතරම නෑඹිලිය, හැරමිටිය වැනි බචන නිකරුණේ කියන්නේ ඇයි දැයි මට තේරුණේ ඔය කාලයෙන් දස වසරකට පමණ පසු මේ විස්තර කිරීම ඇසූ වෙලාවේයි!

මෙයින් හැඟෙන්නේ සම්මත කුණුහරුප වුවද, නිකම්ම නිකං සම්මතයන් පමණක් බවයි. සියළුම සම්මතයන්ට කල් ඉකුත්වීමේ දින ඇත.

අද සම්මතය කල් ඉකුත් වී හෙට වෙනස් වූ විට අද කුණුහරුපය හෙට සුචරිත වදනක් වෙන්නට ද, අද බණ පදය හෙට කුණුහරුපයක් වෙන්නට ද ඉඩ ඇත!

අනේ මේ සම්මතයන් කියන්නේ මොන නෑඹිලියක් ද මන්දා? නැතිනම් ඒක හැරමිටියක් ද?

-කතන්දරකාරයා

ප/ලි:
පුකත්වය සහ පුකත්වය හෙළිවීම ගැන කියවා තිබේද?
http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html


(image: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/12/131202_lanka_farmers_video.shtml)

Tuesday 8 April 2014

පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්වලට තමන්ට වඩා බාල පරම්පරාව එක්ක ඇති අවුල මොකක්ද? : Grumpy old bigoted men - for no reason!


බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.

"නාකි විසේ ගෙටත් උසේ!" වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ වගේ කෙනෙකුගෙන් ඊට වඩා බාල අය බලාපොරොත්තුවෙන්නේ ජීවිතයට ආදර්ශයක්, නිවරදිව හිතන්න, ජීවත්වෙන්න අවවාද වගේ දේවල්.

අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අපට ඒ උදව් නිරතුරු ලැබුණා.

අපිට වඩා එක්කෝ වයසෙන් අඩු, නැතිනම් අත්දැකීමෙන් අඩු අය දැක්කාම අපි කරන්න ඕනෑ, "මුං මේකවත් දන්නේ නැති මැටි මෝල්ලු ටිකක්!" කියලා අවඥාවෙන්, අපහාසයෙන් කියන එක නොවේ.

ඉතිං අපට වඩා වැඩිහිටි නිසා දැනුම් තේරුම්, අත්දැකීම් තියෙන කෙනෙක්ය කියා අපිට හිතෙන කෙනෙක් තමන්ට වඩා බාල අට ගැන දක්වන්නේ ඒ ආකාරයේ ආකල්පයක් නම්, අපි මොකද කරන්නේ?

තව දුරටත් අනේ අසරණ පව් වයසක මනුස්සයා කියලා ඉවසාගෙන ඉන්නවාද, නැතිනම් කෙලින්ම ඒ වරද පෙන්නලා දෙනවාද?

මං ඔය කතාව කියන්න පසුබිම් හේතුව වුනේ පසුගිය දවසක ගීතයක පසුබිම සහ විවිධ නිර්වචන ගැන අස්වැන්න බ්ලොගයේ ගිය අදහස් දැක්වීමක් නිසයි.

එතැනදී තමන්ට වඩා වයසෙන් අඩු අය ගැන වැඩිහිටියෙක් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
...සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරට නූතනයේ ඉන්න අබ්බ ගොබ්බ එස් එම් එස් සින්දු කාරයන්ගේ...
ඒ වැඩිහිටියා ඒ කියන ආකාරයට සාහිත්‍යය දන්නේත් (ඒ තර්කයට අනුව යමින් ගීත විචාර කළ යුත්තේත්, පොත් පත් ලිවිය යුත්තේත්) ඕලෙවල්වලට සිංහල සාහිත්‍ය නම් විෂය උගත් අය පමණයි ලු.

මොකක්ද මේ සිංහල සාහිත්‍ය කතාවේ පසුබිම් කතන්දරය?

අපිට කලින් පරම්පරාවේ පාසල් අධ්‍යාපන රටාව අදට වඩා බොහෝ වෙනස් එකක්. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගය තිබුණේ හතේ පන්තියේ. ඊට අමතරව අටේ පන්තියේ දී දීප ව්‍යාප්ත මහා විභාගයක් පැවැත්වුණා. ඒ අටේ විභාගයේ එක් අරමුණක් වූණේ විද්‍යා, වාණිජ, කලා යනාදී ආකාරයට අපොස සාමාන්‍ය පෙල විභාගයට වසර දෙකක් තුල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් තේරීමයි.

සමහර විට අද ද "අට සමතුන්" යැයි කියවෙන වර්ගීකරණයට පදනම වූනේත් මෙන්න මේ විභාගයයි.

සාමාන්‍ය තදාසන්න පාසලක නම් මේ අටේ විභාගයෙන් ඉහල ලකුණු ලබා ගන්න අය විද්‍යා විෂයන් හැදෑරීමටත්, ඊලඟ මට්ටමේ ලකුණු ගන්න අය වාණිජ විෂයන් හැදෑරීමත්, විභාගය සමත් අනිත් පිරිස කලා විෂයන් හැදෑරීමට ගියා. (ඒ සාමාන්‍ය ක්‍රමය. අද මෙන් එදා ද එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති. ගම්බද පාසල්වල වැඩි පිරිසක් කලා විෂයන් හදාරන්නට යන්නට ද ඇති.)

ඒ විදියට කලාව හදාරන්නට ගිය සිසුන් බහුතරයක් හදාරපු විෂයක් තමයි සිංහල සාහිත්‍යය කියන්නේ. මෙහිදීත් එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති.

මේ විදියට සාමාන්‍ය පෙලට සිංහල සාහිත්‍යය හදාරන්නට තෝරාගත් අවසන් කණ්ඩායම සිටියේ මං දන්න විදියට 1973 වසරේ දී යි. ඒ පිරිසේ අයගේ අද වයස අවුරුදු 54 ක්. තව ටික දිනකින් ඔවුනුත් පැන්ෂන් ගිය සාහිත්‍යය පොලිස්කාරයින් ගේ ගොඩට එකතු වෙනු ඇති!

දැන් ඒ 1973 වසරේ දී හතේ පන්තියේ සිටි අය සහ ඉන් පසුව උපන් අය ඔය කියන අටේ පන්තියේ විභාගයට පෙනී සිටියේ හෝ සිංහල සාහිත්‍යය සමග සාමාන්‍ය පෙළ විභාගයට උගත්තේ හෝ නෑ.

වසර 1970 දී බලයට පත්වූ නව රජය විසින් 1972 දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණවලට යටත් වූ මේ පිරිසට ඒ වෙනුවට සිංහල භාෂාව, සමාජ අධ්‍යයනය වැනි විෂයන් ඉගෙන ගන්නට සිදුවුණා. ඊට කලින් කලා ධාරාවේ සිසුන් උගත් වීජ ගණිතය, අංක ගණිතය වැනි ප්‍රාඨමික විෂයන් වෙනුවට අළුත් විෂය නිර්දේශයේ ජාල, න්‍යාස වැනි ඉහල ගණිත සංකල්ප ඉගෙන ගන්නට මේ අයට ඉඩ ලැබුණා. පසුව ඒ විෂය නිර්දේශ පවා ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. අද ද තව දුරටත් වෙනස් වෙමින් පවතිනවා!

අධ්‍යාපන ක්‍ෂේතයයේ මේ සියළු වෙනස්කම් සිදුවුණේ සහ සිදුවෙන්නේ වරින්වර මහජන ඡන්දයෙන් බලයට පත්වෙන ලංකාණ්ඩුවල අභිමතය පරිදි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ.

එහෙම නැතුව, මේ ඉහත මා උපුටා දැක්වූ ප්‍රතිචාරයේ සාවඥ ස්වරයෙන් ඉඟිකරලා තියෙන විදියට පසු පරම්පරාවේ සිසුන් සිය කැමැත්තෙන් සිංහල සාහිත්‍යය ඉගෙනීම අතහැර දැම්මේ නෑ!

දැන් පැන්ෂන් ගිය වැඩිහිටියෙකුගෙන් පහල පරම්පරාවේ අය බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ සාහිත්‍යය නූගත් අබ්බ ගොබ්බ පරපුර වැනි, එසේත් නොමැතිනම් අටසමතුන් වැනි නව නින්දා නොවේ.

ඇත්තටම එසේ කියන්නන් ඒ අපහාස කරගන්නේ ඔවුන්ටමයි!

හැබැයි මේ එක පුද්ගලයෙකුගේ අණුවන කතා ඔහු අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කරලා ඒ සියළු දෙනා "ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල්" යැයි සාධාරණීකරණය කරන්නටත් අප ඉක්මන් විය යුතු නෑ.

නමුත්, ඔවුන් කරන වරද ඔවුන්ට තේරෙන්නට ඇතැයි මා සිතනවා.

එසේ නොමැති නම් මට ඊලඟට සිතන්නට වෙන්නේ ඒ ආකරයට බාල පරම්පරාවට කතාකරන්නට තරම් මොළය කොලොප්පම් වෙන්නට හේතුව කුමක් ද කියායි.

දරදඬු රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ පීඩන තත්වයන්ට මුහුණ දුන්නාම එහෙම වෙනවා මන්දා?

මදක් හිතා බලමු.

කෙසේ වෙතත් මගේ අනුකම්පාව ඒ අයට හිමිවෙනවා!

-කතන්දරකාරයා

(image: http://beckymallia1996.blogspot.com.au/)

Sunday 6 April 2014

බැන්දට පස්සේ අසරණ කොල්ලන්ට වෙන දේවල් - You figure it out!


මැරෙන එකත් පණ යන වැඩක් ය කියන කතාව අහලා ඇතිනේ? ඒ වගේම කතාවක් තමයි බඳින එකත් පණ යන වැඩක් ය කියන එක. හැබැයි ඒ කොයි පණ ද කියලා නම් අහන්න එපා!

අපේ බැච් එකේ අවුට් වුණාට පස්සේ ඉස්සෙල්ලාම බැන්ද පොරව (අවුට් වෙන්න කලින්ම බැඳපු එකෙකුත් හිටියා!) මට උගේ වෙඩිමෙන් පස්සේ මුණ ගැසුනේ සෑහෙන කාලෙකට පස්සෙයි. ඊලඟට බැඳපු එකාව නම් උගේ හෝම් කමින් එක දවසේ මුණ ගැසුණා. එදා පොර කීවේ "මචං, දන්නවා නම් මීට කලින් බඳින්නේ!" කියලායි.

නමුත් ඉතිං බැන්ඳායින් පස්සේ ජීවිතය කොහොමද කියලා හරිහැටිම දැන ගන්න නම් බැඳලා බලන්නම ඕනෑ.

කොහොම නමුත් මං බඳින්න කලින් බැන්දායින් පස්සේ ජීවිතය ගැන පේන්න තිබුණේ නම් එච්චර හොඳ පෙර නිමිති නොවෙයි.

මේ ඒ වගේ කේස් එකක් ගැන හින්නිකිත්තර කතාවක්.

ඔන්න යුනිවසිටියෙන් අවුට් වෙලා, මගේ තුන්වෙනි ජොබ් එක බොසී යටතේ කරමින් ඉන්න කාලේ තමයි මං සෙට් වුනේ පස්තාච්චි කුපාඩි එකට තායිලන්තයේ ඒඅයිටී (AIT) කියන ආයතනයේ.

ඔතන වැඩි හරියක් හිටියේ තනිකඩ කොල්ලෝ කෙල්ලෝ. නමුත් ලංකාවෙන් ගිය අය අතර කීප දෙනෙක් හිටියා බැඳපු අයත් දෙපාර්ශවයේම. ඒ සමහරුන්ගේ කලත්‍රයෝත් හිටියා කැම්පස් එකේම නතරවෙලා. නමුත් ලංකාවේ වැඩ කරන බොහෝ දෙනෙක් කෙරුවේ විටින් විට ආව-ගිය එකයි.

මං කලින් දවසක කියපු අර "විජේකෝන් නාන්න යයි" කතාවේ ප්‍රධාන චරිතය ඒ ආකාරයේ විවාහක ශිෂ්‍යයෙක්. වයිෆරේ ලංකාවේ දාලා තමයි පොර මෙහේ ඇවිත් හිටියේ, මොකද ඒ වෙන කොට ඒ දෙන්නා ගේ බබා තාම අත දරුවෙක් හින්දා.

ඔය කියන කාලේ අපි හයදෙනෙක් සෙට්වෙලා, තායි කුක් කෙනෙක් ලවා උයවාගෙන කන්න පොඩි චමරියක් දාගෙන තමයි හිටියේ. අපේ විජේකෝනුත් ඒ චමරියටම සෙට් වුනා.

ඒ නිසා ඒ දවස්වල තිබුණු පොඩි පොඩි පාටිවලදී එකට බියර් එකක් වගේ බොන්නත්, නොමිලේ ලැබුණොත් විස්කි බොන්නත් අපි සෙට් වෙනවා.

තවත් කාලයක් යනකොට විජේකෝන් ගේ වයිෆ් ලංකාවේ ඉඳලා ආවා විජේකෝන් එක්ක සති කීපයක් ගතකරලා යන්න.

මේ කාලේ දවසක් අපි කෂ්ටිය කතා වුණා, ඔය කැම්පස් එකේ ඉස්සරහා තියෙන පපා ෂොප් නමින් හැඳින්වුණු පොඩි අයිල කඩේට ගිහින් බියර් එකක් බොන්න.

ඉතිං අපේ එකෙක් විජේකෝන්ටත් කතා කළා, "යමු, අසංක බියර් එකක් බොන්න" කියලා.

විජේකෝන් බැලුවා තම ප්‍රියාදර බිරිඳ දිහා, නිකං, "සොඳුර මට අවසර දෙන්න ප්ලීස්!" වගේ බැල්මකින්.

තත්පර කීපයක් බැරෑරුම් විදියට කල්පනා කරපු විජේකෝන් ගේ බිරිඳ සචී කට ඇරියා.

"හොඳයි, ඔයා අර ඇසයින්මන්ට් කරලා ඉවර නං යන්න පුළුවනි!"

අපි තනිකඩ කොල්ලෝ ටික මං හිතන්නේ බොහොම අමාරුවෙන් තමයි හිනාව නවත්තාගෙන හිටියේ ඒ කතාව ඇහිලා.

"ඕගොල්ලෝ යන්න මචංලා, මං වෙන දවසක සෙට්වෙන්නම්!" විජේකෝන් අසරණ විදියට කීවා.

අන්න, එදා තමයි මට තේරුණේ "යකෝ! බඳින එක කෙසේ වෙතත් බැඳලා ජීවත්වෙන එක නම් ලේසි පාසු වැඩක් නොවේ" කියලා!

-කතන්දරකාරයා


(image: http://www.someecards.com/usercards/viewcard/MjAxMy0xNzJlZTY1MTAwMmRkNzAy)

Friday 4 April 2014

පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව ඔළුවේ කැක්කුමක් සමතික්‍රමණය කළෙමි! - Man, am I the man, man?


හිසරදය, ඉරුවාරුදාව, ඔළුවේ කැක්කුම කියන නම් වලිනුත් සමහර වෙලාවට හැඳින්වෙන ඔය "හෙඩේක්" කියන සංසිද්ධිය තියෙනවා නේද?

ඕක අපි මේ ලෝකෙට බිහිවෙලා ජීවත් වෙනවා කියන එක දන්න කියන දවස්වල ඉඳලා අපිට විටින් විට කරදර, කෙනෙහිලි, හිරිහැර කරපු ලෙඩක් නේ. මං හිතන්නේ අපේ ජීවිතවල අවසානය දක්වාමත් හෙඩේක් කියන එව්වා අප අතර හැර නොයන පාටක් තමයි තියෙන්නේ.

දවස් දෙකකට හෝ තුනකට පාරක් කතන්දරයක් ලියලා මේ බ්ලොග් එකේ පළකරපු මට ඒ බ්ලොග්කාරිය ඊයේත් බැරිවෙලා, අදත් තව පොඩ්ඩෙන් බැරිවෙන්න ගියේ ඔය කියන හෙඩේක් එකක් හින්දයි.

වරද්දලා වටහා ගන්න එපා, මෙතන "බ්ලොග්කාරිය" කියන්නේ කියන්නේ බ්ලොග් ලියන ගෑල්ළමයෙක් කියන එක නොවෙයි. මං බ්ලොග්කාරිය කියලා කියන්නේ බ්ලොග් ලිවීමේ කර්තව්‍යයටයි.

අපි අහලා තියෙන විදියට, දේවකාරියට වඩා ලොකුයි රාජකාරිය!

නමුත් රාජකාරියට වඩා ලොකුයි බ්ලොග්කාරිය!!

කොහොම වුණත් ඔය කොයි කාටත් වගේ බ්ලොග් ලියන අපිටත් ලෙඩ නිවාඩු නෑ!

ඒක නේ අර පැරසිටමෝල් කියන පෙති ජාතිය හදලා හදලා දීලා තියෙන්නේ!!!

සාමාන්‍යයෙන් හෙඩේක් එකක් හැදුණාම කරන්න තියෙන්නේ ගෑල්ළමයෙකුගෙන් ඔය ජාතියේ චූට්ටං පෙති දෙකක් ඉල්ලා ගෙන ගිලින එක විතරයි. කොහේ නොතිබුණත්, අර ගෑල්ළමයින් ගේ ඇඟේම කෑල්ලක් වෙලා තියෙන හෑන්ඩ් බෑග්වල නම් ඔය ජාතියේ පෙති කාඩ් එකක් සාමාන්‍යයෙන් තියෙනවා, තියෙනවාමයි නේ.

නමුත්, මගේ අවුල තියෙන්නේ හෙඩේක් හැදුණාම මංතුමා ඒ පැරසිටමෝල් බොන්න අකමැතියි. කොටින්ම, අකම-මැතියි.

ඊයේ මට හැදුණු හෙඩේක් එක පැය විසි හතරක් විතර විටින් විට තිබුණා. තාමත් ටික ටික තියෙනවා, තියෙනවා වගේ.

ඒත් මංතුමා නොවෙයි, ඔය පැරසිටමෝල් නං බිව්වේ!

කොහොම හරි ඉවසන් හිටියා.

අවසානයේ මං ජයග්‍රහණය කරන බවක් තමයි දැන් පේන්නේ. ඒ ගැන හොඳම සාක්‍ෂිය තමයි, මේ පෝස්ට් එක පළ කරන්නට හැකිවීම.

එහෙනං පෙති නැතුවම මං ගොඩ ගියා. ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ඉන්දියන්කාරයින් සමහරෙකුට හිසරදය හැදෙන්නට හේතුව ගැන පරණ කතන්දරයක්.
http://kathandara.blogspot.com/2012/08/sundae-ispashal-axetra.html

ප/ප/ලි:
මෙන්න හිසරදයට කියාපු බේතක්. හැබැයි ටිකක් අමාරුයි ඒ වෙලාවට ලබාගන්න එක.
http://kathandara.blogspot.com/2013/03/sex-sex-therapy-for-migrane.html


(image: http://ppcdn.500px.org/6495095/2a1c9534f3e39e16d03870c18f0f66d9f418d9ce/5.jpg)

Tuesday 1 April 2014

දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism!


ඉස්සර අපි පොඩි කාලේ නව වසරේ පාසල් යන්න අළුත් සපත්තු හෙම ගෙදරින් අරං අපිට දෙනවානම් අපිව කඩේ එක්කං යන අම්මාට තාත්තා කියන්නේ ඩී.අයි. සපත්තු අරන් දෙන්න කියලායි. මොකද හොඳ හම් සපත්තු කල් පවතිනවා ලු!

ඒත් අපි නං කැමති බාටා ගන්නයි. ඒ බාටා සපත්තු ගන්න කොට ඒ එක්ක වෛර්ණයෙන් මුද්‍රිත පාසල් කාලසටහනක් නොමිලේම ලැබෙන නිසයි. ඒ කාලසටහනේ "පළමුව බාටා දෙවනුව පාසලට" කියලා ලියලා, ඒක කාටූන් එකකින් විස්තරාත්මකව ඇඳලා තියෙනවාත් මට මතකයි.

ඔය "පළමුව බාටා දෙවනුව පාසලට" කියන වාක්‍යය තමයි බාටාකාරයෝ ඒ කාලේ උංගේ සේල්ස් ස්ලෝගන් එක විදියට දාගෙන තිබුණේ.

පස්සේ කාලෙක ලංකාවේ උදාවුණු භීම සමයේ එක දවසක මං දැක්කා මහරගම පාසලක සිසුන් වගයක් ඒ ඉස්කෝලේ බිල්ඩිමක පෝස්ටර අලෝනවා.

ඒවායේ තිබුණු එක සටන් පාඨයක් තමයි අර බාටාකාරයින්ගේ ස්ලෝගන් එකෙන් කොපි කරලා හදාගත්තු "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කියන එක.

එදා මේ පාසල් යන්න කලින් මව්බිම බේරා ගන්න ගියේ වෙන කාගෙන්වත් නොවෙයි. මූලිකවම, ඒ වෙනකොට ඇල්ටීටීඊ එක නිරායුධ කරන්න ගිහිල්ලා උන් එක්ක යුද්දෙක පැටලිලා හිටිය ඉන්දියානු සාම සාධක හමුදාවෙනුයි. හැබැයි සෑබෑ ප්‍රායෝගික සටන තිබුණේ ආ්ණඩුව කරපු යූඇම්පී එකේ උඩ ඉඳලා යට බිම්මට්ටම වෙනතුරු හිටපු අය එක්කයි. රජයේ සමහර සේවකයෝ එක්කයි. පස්සෙන් පහු, පොලිස්කාරයො ය සහ හමුදාකාරයෝ එක්කයි තමයි.

මට ඒ "පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම!" කතාව මතක් වුනේ මේ ලඟදී බ්ලොග් ලියන්න පටන් ගත්තු සී ජේ විදානේ ගේ මළදානේ බ්ලොගයේ පලවෙලා තිබුණු ගන්ධබ්බයකුගේ පෙළ මතක් කිරීම කියන සංවේදී නිර්මාණය කියවපු වෙලාවෙයි.

ඒ නිර්මාණය කියවපු නැති අයට මෙන්න නැවතත් පාර:
http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

විදානේ ගේ කතාවේ තිබුණා වගේම, එදා මං දැකපු ඒ මහරගම පෝස්ටර අලවපු ළමයි සෙට් එකක් පස්සේ දවසක ඒ පාසල ඉදිරියේම මරලා දාලා තිබුණා කියා මට ආරංචි වුණා!

මව්බිමට ඇති ආදරය ගණිකා වෘත්තියේ යොදවලා මිනිස්සුන්ව බළල් අත් කරගත්තු එකම වාරය ඒක නොවෙයි. මව්බිම වෙනුවෙන් කියලා ඈත අතීතයේ ඉඳලාම ලංකාවේ කී දෙනෙක් නම් මිය ගිහින් ඇද්ද විවිධ වර්ගවාදී යුද්ධවල ඉත්තන් බවට පත්වෙලා.

තියෙන මව්බිම විතරක් නොවෙයි, ඇයි "වෙන්ඩ මව්බිම" හෙවත් වෙන් කරළා හදා ගන්න ගිය මව්බිම? ඒ වෙනුවෙනුත් ලාංකිකයින් ලක්‍ෂ ගාණක් මිය ගියා!

මට නං හිතෙන්නේ මෙලෝ විචාරයක් නැතුව අන්ධ භක්තියෙන් මව්බිම වෙනුවෙන්ය කියලා නිකං ෆෝම් වෙන එක මහා මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං වැඩක්!

ඒවාට බහුතරයක් රැවටුණු කාලයක් තියෙන්න ඇති. නමුත් දැන් නම් ඒ බූරුවෝ විකුණලා දාන්න කාලේ හරි!

මාතෘ භූමිය ද, පීතෘ භූමිය ද, අරක ද, මේක ද කියලා මංමුලාවෙන්නේ නැතුව අපි හොයලා බලන්න ඕනෑ හරි දේ මොකක්ද කියලායි. අපි සහයෝගය දෙන්න ඕනෑ ඒ හරි දෙයටයි. මව්බිම පෙන්නලා අපිට විකුණන්න යන දේ බොහෝ විට නිවරදි දෙයින් සෑහෙන්න වෙනස් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි!

ඔය මව්බිම වෙනුවෙන් දිවි දෙන්න ඉන්න අපේ කෂ්ටියට තියෙන අනිත් ලෙඩේ තමයි සාමාන්‍යයෙන් තර්කානුකූලව හිතන විදිය අමතක වෙන එක.

මෙන්න උදාහරණ කීපයක්. මේවා මං අමුතුවෙන් කියන්න ඕනෑ දේවලුත් නොවෙයි. දැන් සාමාන්‍ය දැනුම!

යුද්ධය මුවාවෙන් ලංකාවේ අනියම් මිනීමැරුම් සිදුවුණා, ඒත් ඒ දකුණේ විතරයි.
ලංකාවේ වධකාගාර තිබුණා, ඒත් ඒ බටලන්දේ, එළියකන්දේ වගේ තැන්වල විතරයි.
ලංකාවේ මානව හිමිකම් කඩ කෙරෙනවා, ඒත් ඒ රතුපස්වල වගේ තැන්වල විතරයි.
ලංකාවේ මාධ්‍යවේදියෝ මිය යනවා, ඒත් ඒ කොළඹ විතරයි.

ඕවා ගැන හොයන්න කොමිසම් දාන්න කවුරු හරි හදනවා නම්, වහාම මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉදිරිපත් විය යුතුයි! හරි වැරැද්ද මොකක්ද, යුක්තිය මොකක්ද කියන ඒවා වැදගත් නෑ!

ඒ කෙසේ වෙතත් මෙන්න මගේ අළුත්ම ස්ලෝගන් එක.

පළමුව මව්බිම, දෙවෙනුව බ්ලොග් එක!

(මං හිතන්නේ මටත් ඒක ටැපලුණා වගේ).

-කතන්දරකාරයා

ප/ලි:
පළමුව මව්බිම, දෙවෙනුව ඉගෙනුම! වගේ ඒ දවස්වල වෙනත් දේශපාලන පත්තරේක ගිය ස්ලෝගන් එකකුත් මට දැන් මතක් වුණා.

වර්ගවාදී යුද්ධයට එක ඉත්තෙක් නොදෙනු! එක ශතයක් නොදෙනු!!

(image: http://02varvara.files.wordpress.com/2013/02/00-stalingrad-mother-motherland-calls-07-02-13.jpg?w=1200&h=800)