Thursday 30 January 2014

ලංකාව චීනයේ යටත් විජිතයක් වුනොත් හිතේ හැටියට බොන්න පුළුවන් වෙයිද? - Oh, these Chinese!


දැන් ඉතිං ලංකාවේ හැම ලොකු ප්‍රොජෙක්ට් එකම පාහේ කෙරෙන්නේ චීන කොම්පැනිවලින් නේ.

මේකෙන් කිරිමැටි කන ලංකා කිඹුලන්ට හොඳ කාලෙකුත්, අසරණ ගැරඩියන්ට, තලගොයින්ට නරක කාලෙකුයි උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය.

චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරි වුණොත් ලංකාව චීනෙට සින්න වෙන්නත් ඉඩ තියෙනවා.

ණය අරගෙන ඒකේ හිලව්වට නොවුණත්, අර ඉස්සර කෝට්ටේ යුගයේදීත් චීන හමුදාවක් ඇවිල්ලා ලංකාවේ රජවෙලා හිටිය අලගක්කෝණාර් කෙනෙක්ව ද කොහෙද අල්ලං ගියා කියලා කියනවානේ!

අන්න එදාට, ඉස්සර කාලෙක ඉන්දියන් පීස් කීපින් ෆෝස් එක ලංකාවේ හිටිය කාලේ වගේ, අපිට පුළුවන් ආයෙත් දේශප්‍රේමියෝ වෙන්න. හැබැයි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළා වගේ චීන බඩු වර්ජනය කරන එක නං ලේසි වෙන එකක් නෑ අද අවුරුදු විසි පහකට පස්සේ!

ඒ මොනවා වුණත්, ලංකාව චීනේ කොටසක් වුණොත් වෙන්න පුළුවන් සේරම නරක දේ අතරේ පොඩි පොඩි අමුතු දේවලුත් වෙන්න ඉඩ තියෙනවා.

මේ බව මට තේරුම් ගියේ ඊයේ පෙරේදා දවසක පත්තර කෑල්ලක් ඇහැ ගැටුණු වෙලාවෙදියි.

මෙන්න ඒ පත්තරේ තිබුණු නිව්ස් අයිටම් එක.


මෙන්න ඒ ගැන විස්තර තියෙන චීන නිවුස් අඩවියක්.

http://www.ecns.cn/2014/01-27/98832.shtml

මේ නිවුස් අයිටම් එකේ කියවෙන විදියට එක චීන කොම්පැනියක බොස් කරලා තියෙන්නේ වසර අවසාන පාටියේ දී සේවකයෝ මත්පැන් බොන ගානට අනුලෝමව සමානුපාතික වෙන්න වාර්ෂික පාරිතෝෂික දිමනා දෙන එකයි.

සැර බීම ෂොට් එකකට Yuan 500 ක් බෝනස් දුන්නාලු. වයින් වීදුරුවක් හරි බියර් කුප්පියක් හරි බිව්වොත් බෝනස් දීලා තියෙන්නේ කලින් ගානෙන් පහෙන් එකයි!

හැබැයි ගෑණුන්ට බෝනස් දීලා තියෙන්නේ පිරිමින්ට වඩා දෙගුණයක් ඉහල ස්කේල් එකකින්.

සමහරු වැඩිපුර බෝනස් ගන්න ගිහින් කබරයා පවා ඇද්දයි කියලයි කියවෙන්නේ!

යටත් විජිතයක් වෙන කල්ම ඉන්න ඕනෑ නෑ! කොහොමද ඒ චීනා ලංකාවෙත් ෆැක්ටරියක් දැම්මොත්?

-කතන්දරකාරයා

ප/ලි:
මගේ නව වසරේ අධිෂ්ඨානය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යන බව සතුටින් දැනුම් දෙමි.

(image: https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1536492_10151884912647934_87443770_n.jpg)

Tuesday 28 January 2014

වයසට යෑම නොහොත් අද අද එයි මරු පින් කර ගන්නේ! - Donkey to Camel transformation


ළමා කාලේ ඉඳලා කොලු කාලෙට එළැඹීම හෙවත් කොල්ලා ලොකුවීම ගැනත්, එතැන් සිට තරුණ වියට පිවිසීම ගැනත් මං කතන්දර දෙකක් ලිව්වා දැන් ටික දවසකට කලින්.

ඒ දෙකටම පදනම වුනේ මගේ ම අත්දැකීම්.

මේ සති අන්තයම අවිවේකයෙන් ගෙවිලා, ඒ මදිවාට අද සඳුදා ගත්තු අතිරේක නිවාඩුවත් ගෙවිලා ගියාට පස්සේ තමයි තේරුණේ, ජීවිතයේ පසු කාලීනව එළැඹෙන අදියර වෙන් කරලා හඳුණා ගන්නේ කොහොමද, ඒ එක් එක් අදියරකින් ඊලඟ එකට පැනීම නිසැකවම තේරුම් ගන්නේ කොහොමද කියලා.

කාල වේලාව කොච්චර හිඟ වුණත් ඒ අත්දැකීම ගැනත් පොඩි වචනයක් දෙකක් ලියලා දාන්න හිතුණා!

මං යුනිවසිටි එකෙන් අවුට් වෙලා මුලින් කරපු ජොබ් තුනේම පඩි ගෙව්වේ සල්ලි කොලවලින් ලියුම් කවරෙක දාලායි. මේකට කිව්වේ පඩි පැකට් එක කියලා.

මට වඩා ජීවිතය ගැන දැනුම තේරුම තිබුණු මගේ බැචාලා තුන් දෙනෙක් ඔය මං කරපු තුන්වෙනි ජොබ් එකට ගිය කාලේ අසල තිබුණු ලංකා බැංකුවේ ගිනුම් ආරම්භ කළ මට මතකයි.

මං හිනාවෙලා නිකං හිටියා.

මට තිබුණේ මං තුනේ පන්තියේදී විතර අපේ අම්මා ආරම්භ කරපු තැපැල් කන්තෝරු ඉතුරු කිරීමේ ගිනුම විතරයි. ඒකේ තිබුණු සල්ලිවලින් මං ඒ ලෙවල්ස් කරලා ගත කරපු ගන්ධබ්බ කාලේ මගුල් ගෙදරක යන්න කමිස කලිසම් මහන්න සල්ලි සේරම වගේ ඇද්දා. ඉතුරු වෙච්ච රුපියල් සීයක් ද කොහෙද එහෙමම තිබිලා දැන් ගල්වෙලා ඇති.

මාසේ විසි ගණංවල පඩි පැකට් එක හම්බ වුණාම මං ඒක උඩ කමිසේ සාක්කුවේ දාගන්නවා. ඊට පස්සේ ඒකෙන් අරගෙන වියදම් කරනවා. මාරු සල්ලි විතරක් පොකැට් එකේ දාගන්නවා. බෝඩිමට ගියාම පඩි පැකට් එක මේසේ උඩට දාලා තියලා පහුවදා උදේ වැඩට එනකොට අඳින කමිසේ සාක්කුවට දාගන්නවා.

බෝඩිමට, කෑමට, චිත්‍රපටි බලන්න, ගෙදර යන කොට මොනවා හරි ගෙනියන්න, මල්ලිලාට දෙන්න හෙම පඩි පැකට් එකේ කොල ටික දියවෙලා ගිහින් කීයක් හරි ඉතුරු වුණොත් ඒක ඊලඟ මාසේ පඩි පැකට් එකට දා ගන්නවා.

ඉතුරුවක් කියල කරලා තිබුණේ එකතු කරපු රුපියල් පහේ කාසි ටික විතරයි. ඒකෙන් වුණු ප්‍රයෝජනය ගැනත් මං කලින් කතන්දරයක කිව්වා.

තවත් අවුරුදු දෙක තුනක් විතර ගියාම බැංකු ගිණුමත් අරඹලා පඩිය ඒකට යන්න දැම්මා, ඒත් වුණු ඉතුරුවක් නම් නෑ. ඒ කරපු ජොබ් එක නං කොහොමටත් වගතුවක් නැති එකක්, සියයට හයක් තියා දහයක් ලැබුණත්!

කොටින්ම කසාද බඳින්නත් ආපදා ණයකට අයැදුම් කරන්නයි අන්තිමේදී වුණේ. නමුත් හොඳ වෙලාවට ණයකාරයෙක් නොවී බේරුණා!

මං හිතන්නේ ජීවිතයේ ඒ ජොලි කාලයෙන් ඊලඟ අවධියට පැනීම පෙන්නුම් කරන හොඳම සාධකය තමයි, සල්ලි ඉතුරු කරන්න, ගෙයක් දොරක් හදන්න සිතුවිලි පහල වෙන එක.

මං හිතන්නේ මං ඒ අවස්ථාව පහු කෙරුවේ මගේ තිස්වෙනි උපන් දිනය දා කියලයි. මොකද මගේ උපන් දිනයට මං හාමිනේට කීවේ ඒ දවස්වල ගම්පහ සතොසේ විකුණන්න තිබුණු මග් එකක් අරන් දෙන්න කියලයි.

මෙන්න ඒ මගේ එකේ ගහලා තිබුණු වැකිය.

I am 30 today. I think I should be a millionaire by now!

දැන් ඉතිං ඒ කූඩු හදන වඩු කුරුළු අවධියෙනුත් මගේ ජීවිතයේ තවත් අවධියකට පිම්මක් පණින කාලේ වගේ.

දරු පැටව් ටික ටික ලොකු වෙන කොට තමයි හිතෙන්නේ ඒ අයගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ නේද කියලා.

ඒ එක්කම, කවදාක හරි මේ කරන ජොබ් කිරීම නවත්තලා, ආයෙත් අර ඒ ලෙවල් කරලා කැම්පස් යන්න කලින් හිටිය ජොලි කාලේ වගේ කිසිම වගකීමක් හිතට ගන්නේ නැතුව ඉන්න, තාමත් හරි හැටි හිතේ හැටියට කරන්න බැරිවුණු රට වටේ, ලෝකෙ වටේ ගමන් යන්න, හිතුණු හිතුණු දේවල් කරන්න, යහමින් සල්ලි ටිකක් හොයා ගන්න ඕනෑ නේද කියලාත් හිතෙනවා.

තව අවුරුදු දහයකින් පහලොවකින් කලවයස එළැඹෙන කල්ම ඉන්න ඕනෑ නෑ ඒකට. දැන් සිටම සැලසුම් කරලා, ඒ සැලසුම් ටික ටික හෝ ක්‍රියාත්මක කරන්න පුළුවනි.

අද අද එයි මරු පින් කර ගන්නේ!

ඔන්න ඕක ගැන වෙහෙසෙන්න තමයි දවස් තුනේ දීර්ඝ සති අන්තයෙන් ලොකුම කොටස ගතවුනේ.

ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න නැවතත් අද දවසේ උගත් පාඩම.

අද අද එයි මරු පින් කර ගන්නේ!

Sunday 26 January 2014

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment


මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?

අමතක අයට සහ නොකියවූ අයට මෙන්න ඒ 2011 දෙසැම්බරයේ ලියන ලද කතන්දරයට පාර.
http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.

ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.

මේ "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" එක ගැන කියවෙන අපූරු වීඩියෝවක් මං මේ ලඟදී යූ ටියුබයේ තිබිලා බැලුවා.

මේ වීඩියෝව ඉදිරිපත් කරලා තියෙන්නේ යු ටියුබයේ ජනප්‍රිය චැනල් එකක් කරන ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන ජෙහාන්. ජෙහාන් යූටියුබ් රිවයින්ඩ් 2012 වීඩියෝවේත් හිටිය පොරක්.

මේ වීඩියෝවේ තියෙන්නේ පිරිමි අයට වැදගත්වෙන "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ එක ගැන විතරක් නොවෙයි.

කාන්තා පක්‍ෂයේ රහසක් වෙන "සීක්‍රට් බූබ්ස් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ ගැනත් මෙතන තියෙනවා.

අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.



-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් දාන්නේ බොහොම කාලෙකට පස්සේයි.

Friday 24 January 2014

ෆේස් බුක් එකේ වල්මත් වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක් - Listen you three bloggers lost in facebook!


මා මුලින්ම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 අප්‍රියෙල් 11 වෙනිදාය. ඒ කතන්දරකාරයා යන ආරූඩ නාමයෙන් නොව මගේ ඇත්ත නමිනි.

මුල් කාලයෙන් පසු යාවත්කාලීන නොවුණත් වසර නමයක් ගතවෙමින් පවතින අද ද මේ බ්ලොගය නිරුපද්‍රිතව ඇත.

මේ අනුව, මා මුල්ම සිංහල බ්ලොග්කරුවායැයි සමහරවිට කෙනෙකුට සිතෙන්නට හැක. එසේ වුවද, නොවූවද මම එලෙස නොකියමි. එයට හේතුව නම් මා එදා කලේ සිංහලෙන් බ්ලොග් ලිවීමක් නොව, සිංහල අකුරෙන් කවි නොහොත් ගී පදමාලා ලියා ඒවායින් රූප සාදා ඒවා පල කිරීම නිසාය.

එයින් වසර හතරකට පමණ පසු කාලයක දී, බූන්දි වැනි ඊ-මේල් කණ්ඩායම් මගින් සිංහල බ්ලොග් පිළිබඳව ඇසෙන්නට පටන් ගත් විට මගේ බ්ලොග් උනන්දුව නැවත ඇතිවී එවර අද අප දන්නා සිංහල යුනිකෝඩ් ආධාරයෙන් මේ කතන්දර බ්ලොගය ඇරඹූවෙමි. අද ද එලෙසම පවත්වාගෙන යමි.

දීර්ඝ කාලයක් තිස්සේ ලැබූ මගේ ඒ අත්දැකීම අනුව බ්ලොග් ලියන සහ නිරතුරු බ්ලොග් කියවන අපි සියළු දෙනාම පාහේ කුඩා කළ සිටම පොත් පත් කියවීමට සහ කවි, කතන්දර ලිවීමට ප්‍රිය කළ අය වෙමු.

අද වෙනත් තරමක් ආකාරයක පිස්සුවක් ලෙස අප මේ නටන්නේ ද එදා නැටූ පිස්සුවමය.

ලියන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ කියවීම එදාට වඩා පලබර වී ඇත.

එලෙසම කියවන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ ලිවීම එදාට වඩා පලබර වී ඇත.

ඉතින් අපි තවදුරටත් මඩවලේ නටන ඌරු පැටවුන් මෙන්, එසේත් නැතිනම් මල්ගොමුවල සරන මී මැස්සන් මෙන් බ්ලොග්වල ඇලී ගැලී සිටිමු.

බ්ලොග් ලෝකය මෙන්ම අන්තරාදායී වුවද මට වැටහෙන හැටියට බ්ලොග් ලෝකය තරම් පලදායී නොවන තවත් මර උගුලක් නම් ෆේස් බුකියයි.

කතන්දර බ්ලොගයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මම නිතිපතා ඒ පැත්තේ ද යමි.

මෑතක දී මා එලෙස ෆේස් බුක් ලෝකයට ගිය ගමන් වලදී දුටු කණගාටුදායක කරුණක් නම්, කලකට පෙර අපේ බ්ලොග් ලෝකයේ වැඩ කිඩ පෙන්නූ කිහිප දෙනෙක්ම මේ වන විට ෆේස් බුකියේ හිරගත වී සිටින බවයි.

මෙයින් තිදෙනෙක් පිළිබඳවම මට ඇත්තටම තරමක් දුක හිතුණු නිසා (පුද්ගලිකව ඔවුන් ගැන නොව, ඔවුන් ගේ සම්මාදම සිංහල බ්ලොග් ලෝකයට අහිමිවීම ගැන) මේ සටහන ලියන්නට සිත්විය.

මෙන්න ඒ තිදෙනා
1. රියර් ගේට් ලියූ චාමී සෑම්
2. සයිබර් යාය අයිතිකරු බුද්ධි ප්‍රසාද්
3. සොඳුරු සිත ලියන වත්සලා

චාමී සෑම් ගේ නිර්මාණ මුලින්ම කියවූ දා මා ඒ ගැන වෙනම කතන්දරයක් ලියූවෙමි.

සයිබර් යාය යනු සම්මාන දිනූ බ්ලොග් අඩවියක් විය. ලිවීමට අමතරව බුද්ධි ප්‍රසාද් ගේ අනිත් දස්කම වූයේ චිත්‍ර ඇඳීමයි.

සොඳුරු සිත මා සිත් ගත්තේ කතන්දර මෙන්ම කාව්‍ය නිර්මාණයේ ද යෙදෙන හෙයිනි.

ඔවුන් අද ෆේස් බුකිය තම ප්‍රධාන විනෝදාංශය මෙන්ම නිර්මාණ මණ්ඩපය කරගෙන ඇත. එය ඔවුන් ගේ පුද්ගලික කැමැත්තයි.

ඒත් ඔවුන් බුකියේ පලකරන ඇතැම් දේ බ්ලොග්වලටද එක සේ ගැලපෙන බව මගේ අදහසයි.

නිර්මාණකරණයේ යෙදෙන්නන්ට ෆේස් බුකියට වඩා බ්ලොග් ලෝකය වැදගත් එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. සීමාසහිත මිතුරන් පිරිසක් අතරේ නොව අන්තර්ජාලයේ සිංහල කියවීමට දන්නා ලෝකවාසී සියළු දෙනාම අතර තම නිර්මාණයක් බෙදා ගැනීමට ලැබීම බ්ලොග් කරණයේ ඇති ප්‍රධානතම වාසියයි. ෆේස් බුකියට අප එක්කරන සටහන් මෙන් නොව බ්ලොග් ලිපි සදාකාලික ස්වරූපයකින් පවතී. ඒවා නැවත නැවත අළුත් කළ හැක, සම්බන්ධ කරගත හැක.

මේ සියලු දේ අමතක කර දමා අපේ බ්ලොග්කරුවෝ තිදෙනා ෆේස් බුකියේ කල් මැරීම මට නම් පේන්නේ මහා අපරාධයක් ලෙසිනි.

මේ ලිපිය මා ලියන්නට සිතුවේ, ඔවුන් තිදෙනාගේ අවධානය අපේ සුන්දර බ්ලොග් අවකාශය දෙස නැවතත් පෙර සේ යොමුකරවා ගැනීමටයි.

මේ ලියන මොහොතේ මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් මේ මා ලියන දේ ඔවුන් දකීවිද යන්නයි.

අද පලවෙන මේ කතන්දරය ගැන දැන්වීමක් ෆේස් බුකියේ දැමීමට මා ද හෙට බුකියට ගොඩ වදින්නට අදහස් කරමි. ඒ දැන්වීම ඔවුන් ගේ ඇස ගැටෙනු ඇතැයි යන්න මගේ එකම බලාපොරොත්තුවයි.

-කතන්දරකාරයා

(image: http://www.digitalfire.co.za/blog/insights-into-digital-influence/)

Wednesday 22 January 2014

සුදු ජාතික බෞද්ධ භික්‍ෂුව හිර ගෙදරට! - Monk and the prisoners


ඊයේ මේ කතන්දරේ කියන්න පටන් ගන්න කලින් හිතට ආපු පෙර කතාව ලියලා ඉවර වෙන කොට මේක ලියන්න වෙලාව ඉතුරු වුනේ නෑ. ඒක නිසා වෙනදා කතන්දර පලකරන දිනක් හැර දිනක් පිළිවෙල පොඩ්ඩක් අමතක කරලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න හිතුණා!

මේකත් "ලූ" කතන්දරයක්.

අපි දන්න සේරම බණ කතාත් ඉතිං "ලූ කතන්දර" නේ.

ඔන්න සුදු ජාතික බෞද්ධ භික්‍ෂුවක් ඉන්නවා ලු අජාන් බ්‍රහ්ම් කියලා. එංගලන්තේ ඉපිදිලා "ඔරිජිනල්" සියම් නිකායක මහණ වුණු කෙනෙක්. ඒ නිසා තායිලන්තේ වනවාසී භික්‍ෂුන් ගේ පිළිවෙත තමයි ලු ගෙනියන්නේ.

අජාන් බ්‍රහ්ම් හරි ප්‍රසිද්ධයි සරල බණ දේශනාවලට. මාත් පැය භාගයක විතර බණක් අහලා තියෙනවා ඇම්පීත්‍රී එකක් ලැබිලා.

අර ලංකාවේ ප්‍රසිද්ධ කේජී සාදු ගේත් ඇම්පීත්‍රී බණක් ලැබිලා ඒක නං විනාඩි පහකට වඩා අහන්න හිතුණේ නෑ. හිමාල වනයේ දී දේවතාවෙක් හමුවු කතන්දරේ ඇහුණු ගමන් ඕෆ් කරලා දැම්මා ඒක.

ඉති මේ අජාන් බ්‍රහ්ම් දවසක් ගියා ලු හිරගෙදරක භාවණා වැඩ සටහනක් මෙහෙයවන්න.

හිරකාරයෝ ශාලාවේ කපලා එකයි ලු.

සාමාන්‍යයෙන් මේ වගේ මෙඩිටේෂන් සෙෂන්ස් වල කෙරෙන්නේ මුලින්ම ඉතිං සරලව බුදු දහම ගැන විස්තරයක් කරලා, භාවනාවේ වැදගත් කම සහ විවිධ භාවනා ක්‍රම ගැණ විස්තරයක් කරන එකනේ භාවනාවට කලින්.

අජාන් බ්‍රහ්ම් අහලා තියෙනවා ඒ වැඩසටහනට සහභාගී වුණු සිරකරුවන්ගෙන් ඒ අය "මොකද ඒ වැඩසටහනට සහභාගීවෙන්න හිතුවේ? මොනවද මේ වැඩසටහන අවසානයේ බලාපොරොත්තු වෙන්නේ?" කියලා.

"හිත සන්සුන් කරගන්න! කරදර අමතක කරගන්න!" වගේ උත්තර ලැබිලා තියෙනවා.

එක හිරකාරයෙක් විතරක් කිව්වා ලු මෙහෙම.

"මට නං ඕනෑ, භාවනා කරලා හිත දියුණු කරගෙන, ධ්‍යාන වඩලා අහසින් යන බලයක් දියුණු කරගන්න!"

හොයලා බැලින්නම් හිරකාරයෝ භාවනාව ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එහෙම අහසින් යන්න හැකියාව අරගෙන මේ හිර ගෙදරින් පැනලා යන්න!

ඉතිං අජාන් බ්‍රහ්ම් එදා පැහැදිලි කරලා දෙන්න ඇතිනේ භාවනා නිවරදි කරුණු කාරණා. කොහොම හරි දෙවෙනි භාවනා පන්තියට ඊලඟ සතියේ ගිහිල්ලා බැලින්නම් ඇවිත් ඉඳලා තියෙන්නේ හිරකාරයෝ හතරදෙනයි ලු. අනිත් අය සත්‍යය අවබෝධ කරගෙන පළමුවෙනි පන්තියෙන් ම!

ඔය වගේම තවත් ජොලි කතන්දරයක් තමයි මේක.

එක හිරකාරයෙක් ඇහැව්වා ලු "ඉතිං කොහොමද භාවනා කරන භික්‍ෂුවකගේ ජීවිතය ගෙවෙන්නේ?" කියලා.

අජාන් බ්‍රහ්ම් විස්තර කරාලු:

"උදේ හතරට නැගිටිනවා. පැය දෙකක් භාවනා කරනවා. උදෑසන ආහාර ගන්නවා. ඉන් පසු තවත් දිගටම භාවනා කරනවා. තනිවම දවස ගෙවනවා. වෙන අය සමග කතා බහ කරන්නේ නෑ. දිනකට මේ ආකාරයට පැය දහ අටක් භාවනා කරනවා" යනාදී වශයෙන්.

ඒක අහං හිටපු හිරකාරයෝ කියලා තියෙන්නේ:

"අනේ සාදු, ඔච්චර දුක් විදින්නේ මොකටද, ඔයිට වැඩිය හොඳයි නේ හිරේ වැටුණා නම්!" කියලයි!

-කතන්දරකාරයා

ඊයේ කතන්දරේට මං දාලා තියෙන්නේ වැරදි සින්දුවක්. පස්සේ හරි ඝැස්සුවා. මෙන්න නිවරදි විඩියෝ එක ආයෙත්.



(image: http://en.wikipedia.org/wiki/File:Ajahn_Brahmavamso_Mahathera.jpg)

Tuesday 21 January 2014

පිස්සන් කොටුවට ගිය සාදු සහ හිරගෙදරට ගිය සාදු - All in a days work!


මේ එක කතන්දරයක් නොවෙයි, කතන්දර දෙකක්. ඒ කියන්නේ ඔය පිස්සන් කොටුවට ගිය සාදු නොවෙයි දෙවෙනියට තියෙන හිරේට ගිය කතන්දරේ ඉන්නේ.

මේ දෙකම "ඒවං මේ සුතං" කතන්දර.

මුලින්ම කියන්නම් පිස්සන් කොටුවට ගිය සාදු ගේ කතන්දරේ. මේක හුඟ දෙනෙක් අහලා තියෙන එකක් නිසා මෙන්න ඉතා කෙටියෙන්.

ඔන්න එක දවසක් හාමුදුරුනමක් ගියාලු පිස්සන් කොටුවට බණක් කියන්න.

මුලින්ම තියෙන්නේ පන්සිල් දෙන එකනේ.

ඔන්න දැන් සාදු නමස්කාරය කියන්න කියලා, ටිකක් වෙලා ඉඳලා තිසරණය කියන්න පටන් ගත්තලු.

බුද්ධං සරණං ගච්ඡාමී

සාමාන්‍යයෙන් නමස්කාරය කියන්නේ ඉතා හෙමින් වුණාට අපි පිස්සෝ හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ තිසරණය සහ පන්සිල් සද්දෙ දාලා කියන්න නේ.

නමුත් මෙතන පිස්සන්ගෙන් කිසිම සද්දයක් නෑ ලු.

හාමුදුරුවෝ කෝකටත් කියලා ආපහු කිව්වා ලු.

බුද්ධං සරණං ගච්ඡාමී

පිස්සෝ ඒත් නිහඬයි ලු.

හාමුදුරුවෝ හෙමිහිට කිව්වා ලු, "පින්වතුනි මා කියන තුන් සරණය ඔබත් කියන්න" කියලා.

"සාදු කියන්න, සාදු කියන්න" එක පිස්සෙක් කිව්වා ලු.

මේ ඉතිං පිස්සං කොටුවක් නේ. ඉතිං හාමුදුරුවෝ දෙවෙනි පදේ කිව්වාලු.

ධම්මං සරණං ගච්ඡාමී

පිස්සෝ ඒක කියන පාටක් නෑ.

එකෙක් අතින් සංඥාවක් දාලා කිව්වාලු "සාදු කියන්න, සාදු කියන්න, ඔහොම යං, ඔහොම යං!" කියලා.

ඉතිං මොනවා කරන්නද? හාමුදුරුවෝ තුන්වෙනි පදෙත් කිව්වා ලු.

සංඝං සරණං ගච්ඡාමී

ඔන්න ඒක කියලා ඉවර වෙනකොටම මුලු පිස්සන් කොටුවම යුනිසන් කෑ ගහලා කියන්න පටන් ගත්තලු මෙහෙම.

ඔබෙ රාගී මන කැළබෙයි දෝ
ක්ලේශයෙ ඕඝයෙ නෑවේදෝ
ඔබ රාගී මන කැළඹෙයි දෝ
පිරිසිදු හදවත පෑරේ දෝ
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී


බලාගෙන ගියාම මේ පිස්සෝ සේරම මොහිදීන් බෙග් ගේ හොඳ රසිකයෝ!



වෙසක් කාළෙට හෙම මේ සින්දුව කොච්චර අහලා තිබුණත්, ඔය උඩින් තියෙන වීඩියෝ එක බලනකොට නං ඇඬෙනවා. විනාඩි නමයක් තියෙනවා නම් "බලන්න"!

-කතන්දරකාරයා

ප/ලි
අද වෙලාව මදි හිරගෙදරට ගිය සාදු ගැන ලියන්න. ඒක හෙට!

(image: http://www.freewebs.com/monkmania10/themonkmuesum.htm)

Sunday 19 January 2014

මෙන්න තවත් (අ)සාර්ථක වෑයමක් - Robber poetry


මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.

අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.

ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.

ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.

මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.

එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.

ගස් තිබුණු පලියට කවි පල හට නොගන්නා බව මට එදා වැටහුණි.

කවි ලිවීමට හොඳ කෝෂ්ඨාගාරයක් මෙන්ම කවි සිතුවිලි ද උවමනා වේ.

මට ඔය දෙකම තිබුණේ නැත.

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ යන ප්‍රසිද්ධ කියමන ආශ්‍රයෙන් මා වයස දාසයයි මාස දෙකේදී කවියක් ලියූ බව මා පෙර දිනයක කීවෙමි.

ඒ කාලයේ මා කවි සටහන් කර තිබූ පරණ දින සටහන් පොත දිගටම පිරික්සීමේ දී මට තවත් එවැනි ප්‍රසිද්ධ අදහසක් අනුසාරයෙන් මා ලියූ කවියක් හමුවිය.

මෙන්න ඒ කවිය.

නෙලන්න බැරි මල්

කිසිවෙකු හට නෙලා ගන්න
බැරි ලෙස අතු අග්ගිස්සේ
ලඟවෙන්න බැරි ලෙසිනේ
දණක් එරෙන වගුරු බිමේ
වනලැහැබෙන් එයා ඉමේ
විසපිරි කටු ඇති පඳුරේ
සුවඳ හමන ලස්සන මල්
නෙලන්න බැරි පියකරු මල්
ඇයිද පිපෙන්නේ?

අඳුරුව තිබූ මගේ දිවිය
එළිය කරපු නිල්මිණ වෙත
මගෙ හදවත තිබු පාළුව
මකා දැමූ මිහිරිය වෙත
කිසි දිනයක හිමි නොවෙනා
මට අහිමිවූ වස්තුවකට
මටත් හොරෙන් ඇයි මගෙ සිත
ඇදිලා යන්නේ?


මේ නෙලන්න බැරි මල් කවිය මා ලියා ඇත්තේ පෙර කී තණ අග පිණි බිදු කවිය ලියා විනාඩි පාළහකට පසුව බව සටහන් පොත කියයි.

මා මේ අදහස සොරා ගත්තේ කරුණ්රත්න අබේසේකර රචනා කර, මිල්ටන් පෙරේරා ගැයූ ගීයක මුල් දෙපදයෙනි.

නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ


දැන් මෙන්න අද ඉරිදා ඔබේ රස වින්දනයට ඒ මිල්ටන් පෙරේරා ගැයූ ගීතයේ යූ ටියුබ් වීඩියෝව.



තාත්තා ගේ සින්දු පුතා කන හැටි අහන්න ඕනෑ නං මෙතනින් පුළුවනි.



-කතන්දරකාරයා

ප/ලි:
මා ලියූ මේ කවි සටහන් පොතෙන් මුල්වරට එළියට එන්නේ අද බවත් අදාල මූලාශ්‍ර සපයා ඇති බවත් කරුණාවෙන් සළකන්න.


(image: http://archives.dailynews.lk/2010/10/20/art02.asp)

Friday 17 January 2014

ටීනේජ් කාලේ කරපු තවත් ලාමක හොර වැඩ - What else can you do? You are just an inexperienced teenager!


ටීනේජ් කාලේ කියන්නේ ගැටවර වියේ කියන එකයි.

ටීනේජ් කිව්වාම ඒකේ හරියටම වයස් සීමාව, ඒ කියන්නේ තර්ටීන් (අවුරුදු 13) සිට නයින්ටීන් (අවුරුදු 19) දක්වා, ප්‍රමාණාත්මකව අඩංගු වෙනවා. නමුත් ගැටවර වියේ කිව්වාම ඔය කියන ගැටේ සයිස් එක ගැන හරියට ප්‍රමාණාත්මකව අදහසක් ගන්න අමාරුයි.

ගැටිස්සී කිව්වාම කේස් එක වෙනස් වගේ! සමහර විට ගැටිස්සියන්ට හිත යන කාලේ කොල්ලන්ට ගැටවරයෝ කියලා කියනවා ඇති.

ඒත් අර ගාමිණී ෆොන්සේකා හෙම රඟපාපු "ගැටවරයෝ" කියන ෆිල්ම් එක රූපවාහිනීයේ යනකොට ද කොහෙද බලද්දී මට පෙණුනේ ඒ ගැටවර නළුවෝ සෙට් එක නං ගැටවරයින්ගේ තාත්තලා වගේ වයසයි කියලයි.

මේ මොහොතේ මට මතක් වෙනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් හදපු "ගොළු හදවත" කියන චිත්‍රපටිය. ඒකත් මං බැලුවේ ටීවී එකෙන් ද කොහෙද. ඒකේ හිටිය ගැටවර, ගැටිස්සියන් ගේ වයස ගැනත් කතා කරලා වැඩක් නෑ. පස්සේ ආපු ටෙලියේ හිටපු සුදාරක ජයසේන සහ ගෑල්ළමයා නං ඕලෙවල් කෙසේ වෙතත් ඒ ලෙවල් වයසට හොඳට කාස්ට් කරලා තිබුණා!

ඒ අතුරු කතා කෙසේ වෙතත් මං එදා කියාගෙන ආපු විදියට මට ඔය ටීනේජ් කාලේ අවුරුදු දාසයේ දී විතර තමයි සීරියස්ලි කවි ලියන්න ආශාවක් ඇතිවුණේ.

ආශාවක් ඇති වුණාට ඉතිං කවියක් ලියන්න නිමිත්තක් තියෙන්න ඕනෑ නේ!

මුල කාලේ කෙල්ලෙක් බැලුවත් කවි දෙක තුනක්ම ලියනවා. ඒත් ඉතිං ඒවා හැමදාම වෙන වැඩ නොවෙයි.

ඉතිං එතකොට කරන්නේ අර පොසොන් කවිය වගේ නොයෙකුත් දේවල් ගැන හිතලා ඒවා කවිවලට පෙරලන්න ට්‍රයි කරනවා.

ජීවිතය තන අග පිණි බිඳුවක් කියන එක අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන කතාවක්.

මං මේ පල්ලෙහා තියෙන කවියෙන් ට්‍රයි කලේ ඒ අදහස මගේ කවි බසෙන් කියන්නයි.

මේක දාසයයි මාස දෙකේ දී ලියපු කවියක්.

ජීවිතයත් තුෂාරයකි

හිරු පායා එන මොහොතේ
තණ බිස්සේ තණපත් අග
ලස්සන මුතු කැට විලසින්
පිණි බිඳු දිලිසේ

හිරු පායා එළිවීලා
ලා හිරු රැස් පතිත වෙද්දි
මරණ බියෙන් ඒ පිණි බිඳු
අඬනව දුකසේ

පිණි බිඳු වැලපෙන අතරේ
ලා හිරු රැස් සැරවීලා
හිරු පායයි ඊට වඩා
ඉහලින් අහසේ

සැඩ හිරු රැස් වැටෙන විටදි
පරිසරයම උණුසුම්වෙයි
පිණි බිඳුවල ඇති ජීවය
ටික ටික වැනසේ

ජීවිතයත් තුෂාරයකි
පිණි බිඳුවකි තණපත් අග
මරණය නම් හිරු හමුවේ
ගැලවෙනු බැරිවේ!


-කතන්දරකාරයා

ප/ලි:
මෙතන තියෙන හොරකම තමයි මගේ නොවන අදහසක් අරගෙන ඒක කවියකින් ලිවීම.

මේක ලොකු හොරකමක් නොවෙයි, ඒකනේ ලාමක කියලා දැම්මේ! කොහොමටත් ඔය තණ අග පිණි බිඳු කතාව නොදන්න කෙනෙක් ඉන්නවායැ?

මේ කතන්දරේ බලන්න

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash
http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html


(image:http://simple.wikipedia.org/wiki/Surface_tension)

Wednesday 15 January 2014

සිටුවරයා සහ වයිෆර්ලා සිව් දෙනා ගැන බුදු සාදු කියා තිබෙන ජොලි ම ජොලි කතන්දරේ :: Rich man and his four wives - evam me sutam


ගිය සති අන්තයේ බණ පිංකමකට යන්න සිදුවුණා. කියපු වෙලාවට වඩා පැයක් විතර පරක්කු වෙලායි මං එතැනට ගියේ, මොකද එතකොට පන්සිල්, ගාථා කීම් සහ බණ වගේ දේවල් මග හැරලා "සෝෂල් ඉවෙන්ට්" එකට විතරක් සහභාගී වෙන්න පුළුවන් නිසා.

නමුත් වැඩේ ටිකක් පරක්කුවෙලා පටන් අරගෙන තිබුණු හින්දා බණ පදයකුත් කනේ වැටුණා නොදැනුවත්වම වගේ.

ඇස් වහං හිටියත්, කට වහගෙන හිටියත්, කණ වහන්න බෑ නොවැ. ඉතිං මාත් අහගෙන හිටියා.

මෙන්න එදා හාමුදුරුවෝ කියපු බණ කතන්දරේ.

මේ බණ කතාව කියලා තියෙන්නේ බුදු සාදු කියලා තමයි කියවුනේ. හැබැයි මට නං ඒක ෂුවර් නෑ වගේ!

බුදු සාදු ලා ගේ කාලේ ඉතිං රජවරු ගාවට ඉන්න ලොක්කෝ සිටුවරු නේ. මේ අය අද ඉන්න සිටුවරු වගේ බිස්නස් ඩීල්ස්වල අතරමැදියෝ වෙලා ගාණ කපාගෙන සල්ලි හොයපු අය නෙමෙයි, කෙලින්ම බයින් ඇන්ඩ් සෙලින්වලින් සල්ලි හොයපු අය.

අනිත් වෙනස්කම තමයි, අද සිටුවරුන්ට වගේ මේ අයටත් වයිෆ්ලා තුන් හතර දෙනෙක් හිටියාට, ඒවා කෙරිලා තියෙන්නේ අද වගේ හොර රහසේ නොවෙයි, කෙලින්ම එලිපිට.

කොටින්ම බුදු සාදුත් දැනගෙන ඉඳලා තියෙනවා මේ සීන් එක! හැබැයි මොකුත් කියලා නෑ වගේ ඒ ගැන වරදක්.

බුදු සාදු කියලා තියෙන මේ කතන්දරේ ප්‍රොටැගොනිස්ට් සිටුවරයා ට ඉඳලා තියෙනවා වයිෆ්ලාම හතර දෙනෙක්.

පොර හැබැයි මේ හතර දෙනාට සලකලා තියෙන්නේ එක හා සමානව නොවෙයි, වෙනස් ආකාරවලටයි.

එක වයිෆරේකට හොඳට සැලකුවා ලු. සැප දුන්නාලු.
දෙවෙනි වයිෆරේට එච්චරම නැති වුනත් තරමක් හොඳින් සලකලා තියෙනවා.
තුන්වෙනියට ලැබිලා තියෙන්නේ මද සැලකිලි විතරයි.
හතරවෙනි වයිෆරේට කිසිම සැලකිල්ලක් ලැබිලා නෑ!

ඔය කොයි සිටුවරයාටත් වෙනවා වගේ ඔන්න ඉතිං අපේ මෑන්ස්ගෙත් කාලේ ඉවර වෙලා මරණය අත ලඟට ආවාලු.

මරණ මංචකයේ ඉන්න ගමන් පොරට හිතුණාලු දැන් මේ යන ගමන තමන් එක්ක එකට යන්න වයිෆ් කෙනෙකුට අඬගහන්න.

ඔන්න අර හොඳට සලකපු වයිෆ්ට කතා කලා ලු.

ඒ වයිෆ් ගත් කටටම කියලා තියෙන්නේ "අනේ ඩාලිං, ඔයා යන්න මට නං බෑ!" කියලයි.

ඉතිං පොර දෙවෙනි වයිෆ්ට කතා කරලා.

"අනේ ඩාල්, මං ඔන්නං එන්නං ඔයා එක්ක මේ වත්තේ මායිම ලඟට වෙනකං විතරක්!" අර තරමක් හොඳින් සැලකුම් ලබපු වයිෆ් එහෙම කිව්වලු.

මද සැලකිලි ලබපු තුන්වෙනි වයිෆ් ගෙන් ඇහැව්වාම උන්දෑ කියලා තියෙන්නේ ඔන්නං සොහොන් පිටියට එන්නම් කියලා ලු.

දැන් ඉතිං මොකද කරන්නේ? සිටාණෝ ඇහැව්වා ලු අර තමන් කිසිම සැලකිල්ලක් නොකරපු හතරවෙනි වයිෆරේගෙන් තමන් එක්ක යන්න එනවාද කියලා.

"අයියෝ හබී, ඕකත් අහන්න දෙයක්ද? මං ඔයා එක්ක ඕනෑම තැනකට යන්න එනවා!" ඒ මනුස්සයා කිව්වාලු.

දැන් මොකක්ද අපිට මේ කතන්දරෙන් ගන්න තියෙන ආදර්ශය?

මට නං හිතුණේ, ඉන්නේ එක වයිෆරේ වුණත්, එයැයිට නොසලකා හරින එක තමයි පරලොව වෙනුවෙන් කරන්න තියෙන හොඳම වැඩේ කියලායි.

ඔහේලාට හිතෙන්නේ මොනවාද?

-කතන්දරකාරයා

ප/ලි:
බණ කතන්දරයේ ඉතිරි කොටස ලැබෙන ප්‍රතිචාර අනුව පසුව පළකරමි.

ප/ප/ලි:
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි.

මෙන්න එදා බණේ දී හාමුදුරුවෝ මේ කතාවේ තේරුම විග්‍රහ කරපු අන්දම.

මුල් බිරිඳ තමයි අපේ ශරීරය - කොච්චර සැප දුන්නත් අප යන කොට අප එක්ක එන්නේ නෑ.

දෙවෙනි බිරිඳ තමයි වස්තුව, ගෙවල් දොරවල්, ඉඩ කඩම්. අපි හොඳට සලකනවා නමුත් අපි යන කොට වත්තේ සීමාවෙන් එහාට අපි එක්ක එන්නේ නෑ.

තුන්වෙනි බිරිඳ තමයි නෑදෑ හිතවත්තු. අපෙන් තරමක් සැලකිලි ලැබුවත්, ඒ අය එන්නේ කතන්තට විතරයි.

හතරවෙනි බිරිඳ තමයි අපි කරන පින්. පින් කරන්න අපේ කිසිම සැලකිලක් නෑ. නමුත් අප පසුපස අපේ සෙවනැල්ල මෙන් එන්නේ අපි කරන පින් විතරයි.

මේ කතාවේ මූලාශ්‍රය ගැනත් මං හොයා බැලුවා. එදා බණ කියූ හාමුදුරුවෝ නම් කීවේ මේක බුදු සාදු කියපු කතාවක් කියලයි. නමුත් මට ඒක ෂුවර් නැති හින්දාත් (කොහොමටත් මේක මං අහපු කතාවක් හින්දාත්) තමයි මං මේ කතන්දරේ මාතෘකාවට ඒවං මේ සුතං කියලා දැම්මේ.

ඒ හාමුදූරුවන්ගෙන්ම අහන්න බැරිවුණත් මං වෙනත් හාමුදුරු කෙනෙකුගෙන් ඇහැව්වාම නං පිළිතුර ලැබුනේ මේක උපමා කතාවක් කියලයි.

ඊට කලින් මං අන්තර්ජාලයේ හොයා බැලුවාම මට පෙණුනේ මේ කතාව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සම්බන්ධතාවයන් ඇති තැන්වල පළවී ඇති බව.

මෙතන ප්‍රතිචාරයක අඩංගු සබැඳියක් තුලින් පේනවා මේ කතාව මහායාන බුද්ධාගමේ සූත්‍රයක (ද කොහෙද) දැක්වෙන බව.

මෙන්න ඒ ඒ තැන්වලට සබැඳි.

1. බුද්ධාගමට සම්බන්ධය
http://www.sinc.sunysb.edu/Clubs/buddhism/story/fourwives.html

2. ක්‍රිස්තියානි
http://www.kerysso.org/public/page131.htm

3. හින්දු
http://sites.tufts.edu/bhaktiyoga/entry/30

4. ඉස්ලාම්
http://www.islamcan.com/islamic-stories/the-merchant-with-four-wives.shtml#.UtfYy9IW1_A


(image: http://www.chinabuddhismencyclopedia.com/en/index.php?title=Dhamma_Day_(Asalha_Puja_Day))

Monday 13 January 2014

බ්ලොග් ලියන අය ළමයි කාලේ කළ දේවල් ලිවීම සහ ළමයි වගේ බ්ලොග් ලිවීම - Childish poems


මං මේ මුලින් කියන කතාව සිංහල බ්ලොග් ලෝකයේ වෙන සමහර වැඩ වලට සම්බන්ධ කරගන්න නම් එපා!

විටින් විට අපි කොයි කාටත් ළමා වියට යන්න හිතෙනවා. ඒ කාලේ වගේ පොඩි පොඩි දඟ වැඩ කරන්න හිතෙනවා. පල ඇති ගස්වලට ගල් ගහන්න හිතෙනවා. අපිට වඩා දක්‍ෂ අය ගැන, අපිට වඩා එක එක ගැජමැටික් තියෙන අය ගැන පොඩි ඉරිසියාවක් හිතෙනවා. දෙමව්පියෝ අපට වඩා අපේ නංගීට හෝ මල්ලීට ආදරෙයි කියා හිතෙනවා.

සමහර විට ලොකු වුණාට පස්සෙත් ඒ ළමා ගති ටික ටික එළියට එනවා.

ඒ මොනවා වුනත් ළමා කාලේ මං කරපු, අදත් මං හරිම කැමති එක දෙයක් තමයි කවි ලිවීම.

මං තුනේ පන්තියේ දී "මුහුදු වෙරළ" ගැන කවියක් ලියපු කතාව කලින් දවසක මං ලිව්වා. ඊලඟට මට මතක පහේ පන්තියේදී ලියපු සුළඟ කියන කවියයි.

එතැන ඉඳලා අවුරුදු දාසයේ දී මුල්ම පෙම් කවිය ලියන දවස වෙනකම් මං ලියපු කවි ගැන මට වැඩි මතකයන් නෑ. එහෙම වෙන්න හේතඔව තමයි කිසිම ලිඛිත සටහනක් නැතිවීම.

ඒ හින්දා තමයි මං මේ අවුරුදු පහලොවේ දී ලියපු මේ අද මං පලකරන කවිය මට උණහපුළුවාට උගේ පැටියා වටිනවා වගේම වටින්නේ.

මේ කවි හදන්න තටමන කාලේ අපි කවුරුත් කරන්නේ ඒ ඒ කාලයට අදාල මාතෘකා අරගෙන කවි ලියන්න බලෙන්ම හදන එකනේ. මොකද ලව් කරන කාලේ වගේ කවි සිතුවිලි ගලාගෙන එන්නේ නෑ නේ.

මේ කවිය මං ලියලා තියෙන්නේ ජූනි මාසේ දහ අට වෙනිදාවකයි.

හේතුව ඉතා පැහැදිලියි! ජූනි මාසේ = පොසොන්!!

පොසොන්

මරු පරදවා බුදු බව ලැබ ගත් සමිදා
දෙසු දම් ලකට ගෙන ආ හිමි මිහිදු එදා
අම්බස්තලය වෙත සපැමිණි පුන් පොහොදා
සමරමි, පොසොන් දින බැතියෙන් සිත පහදා

දඹදිව එදා රජකළ ධර්මාශෝක
පැහැදුණි බුදු දහම දැක පිරි ගුණ නේක
පතුරනු පිණිස එදහම එක් පෝ දිනක
මිහිඳු රහත් හිමි මෙලකට වැඩි සේක

සමිදුන් තතාගත සම්මා තිලෝගුරූ
බුදු හිමියන් දෙසූ දම් අම රස මියුරූ
සියළු සතුන්හට වැඩ සිදුවන අයුරූ
සිරිලක රැඳේ ඉර හඳ පවතිනා තුරූ


පහලොස් වියැති මගේ අත් අකුරින් මේ කවිය පිටපත් කර තිබූ මගේ සටහන් පොතේ පිටුවේ ඡායාරූපයක් මෙන්න.



බලන්න දැන් මගේ අත් අකුරු කොච්චර වෙනස් වෙලාද කියලා?



-කතන්දරකාරයා

ප/ලි:
අයියලාට පොසොන් සරුද?
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-poya-day.html


http://what-buddha-said.net/gallery/index.php/Dhamma-illustrations/Poson-mihintale)

Saturday 11 January 2014

ආලෝකයේ වේගය යනු කුමක්දැයි අත්දුටුවෙමි! - Just 355 more days to go!


අපේ බැචාලා පිරිසක් එක නිවාඩුවක ගියා තවත් බැචෙකුගේ ගෙදර. මට නං ඒ ගමන යන්න වුනේ නෑ.

ඔය වගේ ට්‍රිප් එකක් ගිහින් ආවාම ඉතිං මඩ කාඩ් කෝටියයි නේ.

ඒ දවස්වල කියවුණු ඒ වගේ එක කතාවක් තමයි, බැචා ගේ ගෙදරදී උදේට කන්න ඉඳිආප්ප දුන්නාම අපේ එකෙක් කොච්චර වේගයෙන් ඉඳිආප්ප කාගෙන කාගෙන ගියාද කියනවා නම් පිඟානේ ඉඳලා උගේ කටට නිකං සුදු පාට රේඛාවක් ඇදෙනවා විතරයි පෙනුණේ කියන එක. මූ ආලෝකයේ වේගයට සමාන වේගයකින් තමයි ඉඳිආප්ප ගහලා ඇරලා තියෙන්නේ.

ආලෝකයේ වේගයක් ගැන කියන්නේ ආලෝකය ගමන් කරන නිසානේ.

පොඩි කාලේ මට මතකයි කට්ට කළුවර රෑ කාලේ අපි තාත්තාගේ කෑලි හතරේ එවරෙඩි ටෝච් එක අරගෙන මිදුලට ගිහින් පත්තු කරනවා. එතකොට ටෝච් එලිය ඈතට විහිදෙනවා. ඔන්න එතකොට තමයි අපිට පෙනෙන්නේ ආලෝකය ගමන් කරන හැටි.

නමේ පන්තියේ දී විතර අබේසුන්දර නම් විද්‍යා ගුරුවරයා අපිට කියලා දුන්නා ආලෝකය ගමන් කරන්නේ සරල රේඛාවක බව. පොර විද්‍යාගාරයේ ජනේලවලට කළු තිර දාලා අපේ පන්තිවලට ඒ ගැන පරීක්‍ෂණ පවා කරලා පෙන්නුවා.

උසස් පෙල පන්තිවලදී භෞතික විද්‍යාවටත් ඒ සරල රේඛා තියරිය එලෙසම පාවිච්චි කළත් (මතකනේ උසස් පෙල අවුරුදු දෙකෙන් අවුරුදු එකහමාරක්ම ආලෝකය තමයි!), අපේ පිසික්ස් ගුරුවර මල්ලවාරච්චි අපිට කිව්වා ඇත්තටම ආලෝකය ගමන් කරන්නේ රේඩියලි කියලා, එහෙම නැත්තම් තරංග වගේ අරීයව විහිදෙනවා කියලා.

ඒ මොනවා ඉගෙන ගත්තත් ආලෝකයේ වේගය ගැන නම් නිවරදි අදහස මට ආවේ අද උදේ පාන්දර (ජනවාරි 11 සෙනසුරාදා) ඇහැරුණාමයි.

නව වසරේ දවස් දහයක්ම ගෙවිලා ගිහිල්ලා!

මට එකපාරටම හිතා ගන්න බැරිවුණා කොහොමද එහෙම වුණේ කියලා. එතකොටයි වැටහුනේ, ආලෝකයේ වේගය!

මං හිතන්නේ ආලෝකයේ වේගයත් එන්න එන්නම වැඩි වෙනවා කියලයි! අපේ පොඩි කාලෙට වඩා ඉක්මනින් දැන් දවස් ගෙවෙන්නේ ඒ නිසා විය යුතුයි.

පසුගිය දවස් දහයෙන් පහයක් ම ගෙදර හිටියා නිවාඩු පිට.

අඩු නැතුව නිදාගත්තා මිසක, හිතාගෙන හිටපු පොත් කියවීම්, අස්පස් කිරීම් එකක්වත් කරන්න ලැබුණේ නෑ. සිය පවුල එක්ක පොඩි විනෝද චාරිකාවක් යන්න කියාලා අදහසක් තිබුණත් ඒකත් අන්තිමේදී හබක් වුණා.

ඊළගට දවස් පහක් වැඩට ගියා.

මට දැන් අළුත් බොස් කෙනෙක් ඉන්නවා. ඇත්තටම එයා බොසියක්. ඒ එක්කම මට වඩා වයස වැඩියි. අඩු තරමේ අවුරුදු පහක්වත් වැඩි බවයි පෙනෙන්නේ.

නමුත් මං නව වසරේ කරපු එක අධිෂ්ඨානයක් තමයි බොසී මට වැඩිය දහයක් විතර වයසෙන් අඩුයි කියා මං හිතන බව එයාට හිතෙන්නට සැලැස්වීම!

නව වසරේ කරපු වැදගත්ම අධිෂ්ඨානය තමයි 2014 ජනවාරි මාසය පුරා ට්‍රයල් එකක් විදියට "මතට තිත" තියෙනවාය කියන එක.

මුල් දවස් තුන ආඩම්බරෙන් ගෙවා ගත්තා. කෑව, නෑවා, ටෙලියේ ක්‍රිකට් බැලුවා. බ්ලොග් කෙරුවාව කෙරුවා, කෑවා, නිදාගත්තා!

නමුත්, පසුගිය සෙනසුරාදා පිට පලාතක ඉන්න අවුරුදු හතරකින් නොදුටු මිතුරෙකු අපේ ගම් පළාතට ආව නිසා, පොරට රාත්‍රී කැමට අපේ ගෙදරට එන්න ආරාධනා කරලා අර නව වසරේ අධිෂ්ඨානය පොඩ්ඩක් විතර ලිහිල් කළා -මිතුරෙක් නිවසට ආපු දිනයක පමණක්- මද පමණින් දෂ්ඨ කරනවාය කියලා.

එදා ඉදලා ඊලඟ දවස් පහත් කල් ගෙව්වා ආඩම්බරෙන්. කොහෙමටත් වැඩට යන්නත් තිබුණානේ!

හොඳ වෙලාවට දෙයියෝ දුන්නා වගේ ඊයේ සිකුරාදා රාත්‍රියේ අපේ හොඳම හිතවත් පවුලක් අපේ නිවසට ආවා!

-කතන්දරකාරයා

ප/ලි:
නව වසරේ කරපු තවත් අධිෂ්ඨනයක් තමයි මේ දක්වා සතියයට දවස් තුනක් හතරක් කරපු ව්‍යායාමය සදහා ඇවිදීම ඊට වඩා ක්‍රමවත්ව කරනවාය කියන එක.

අන්න ඒ වැඩේ නම් නැගලා යනවා. ඔය උඩින් දාලා තියෙන්නේ මංතුමා දවසේ ව්‍යායාමයට සැරසිලා ඉන්න ෆොටෝ එකක්.

Thursday 9 January 2014

එක්තරා බ්ලොග්කාරයෙක් කැම්පස් විභාගයකින් ෆේල් වූ බව හෙලිදරව්වේ! - What a shame!


පහුගිය දා ඒ ලෙවල්ස් හෙවත් උසස් පෙළ විභාග ප්‍රතිපල ආපු වෙලේ ඒ විභාගෙන් ඉහලින්ම පාස් වුණු ළමයින් පස් දෙනාට විභාගේ නියම වීරයෝ ටික එකතුවෙලා තමන්ගේ පොකැට් එකෙන් තෑගි දෙන අවස්ථාව ගැන මං ලියපු කතන්දරේ මතකයි නේද?

ඔය උසස් පෙළ විභාගේ පාස් වෙලා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අමාරුකම හින්දම, ඒ චාන්ස් එක වැදුණු ගොඩක් දෙනා හිතනවා, එතැන ඉඳලා නිකං වැඩේ හරිම ලේසියි නිකං බයිසිකලයකින් පල්ලමක් බහිනවා වගේ ඇති ය කියලා.

නමුත් ඔය වැඩේ ඒ හිතන තරම් ලේසි නෑ!

කැම්පස් එකේදී විභාග ෆේල්වෙන, බැච් මිස්වෙන, අන්තිමේදී කෝස් එක දාලා යන අය අපමණයි.

අද මං හෙලිකරන්න යන්නේ ඔය විදියට විශ්ව විද්‍යාලයට ගිය අද මේ බ්ලොග් අවකාශයේ නිතරම පොර ටෝක් දෙන එක්තරා අළුගුත්තේරු බ්ලොග්කාරයෙක් කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ තිබුණු විභාගෙකින් ෆේල් වෙච්ච බවයි.

මේ ෆේල්වීම මේ වනතුරු බ්ලොග්කාරයා ගේ දෙමව්පියන්ට පවා රහසක්ව පැවති එකක්.

ඒත් මගෙන් එහෙම ගැලවෙන්න බෑ!

මූ ෆේල් වුනා මදිවට නිකං පතරංග ජාතකය වගේ දුක් කවියකුත් ලියලා ඒ ගැන.

ඒ කවියේ තියෙන සමහර තැන් නං මට තේරුණේ නෑ. නමුත් ෆේල් වෙන්න හේතුව නං යම් යම් වචන නිසා පැහැදිලියි.

කවියේ අන්තිම හරියේ තියෙන අධිෂ්ඨානයට තමයි මං වැඩියෙන්ම කැමති වුණේ!

මැද හරියත් නරකම නෑ!

මොනවා වුනත් මෙන්න ඒ කවිය.

සටහන්

උදේ අටට නැගිටීලා
නමයේ සිට වැඩ අරඹා
පොදු කාමර කෙලි පිටියේ,
නීරස දේශන හැරදා
තෝරා ගත් කීපයකට
ඔහේ ගියත් අවාරයේ,
මැයි එකොලහ කළුවර තෙක්

අවිනිශ්චිත අනාගතය
වසරක් මැද වැලපුණා ය
මාස තුනක් සීතල මැද
කඳුකරයක හිරවුණා ය
බෝයි කොටා විභාගයට
කණු තියලා හිනැහුණා ය
සීතල රෑ පොත් අතරේ
කාලය ගත කළ නොහැකිව
සිතත් හදත් දුක් වුණා ය
ණයට ගත්තු අකුරු අතර
නිදිමත ඇස් තනිවුණා ය

මාස සමග තරහ වෙලා
සති සමගින් යාළු වෙලා
ගට දමලා
දිරි වඩලා
වෙද මැදුරේ දින හතරක් වද විඳලා
අවසානය එලැඹුණේය
සිතේ දුකක් ඉතුරු වෙලා

හිරු අහසේ කැරකුණේය
කරුවල වී එළිවුණේය
අවසානයෙ
සිත රිදවූ හද බරවූ
අඳුරු මොහොත
ලොවට හොරෙන් එළැඹුණේය
පොල් බෑ දෙක හිනැහුණේය

දුකින් පිරුණු
අතීතයේ
කරදර අමතක වුණේය
ඉරෙන් හදෙන් එළියට බට
ලැජ්ජාවක් ඇතිවුණේය
ලෝකේ හැටි අස්ථීරය

වසර ගණං ගත කරලා
ඉගෙන ගන්න බැරිවුණු දේ
ඇණ කඩයෙන්
එළියට ආ මුල් වාරේ
අතුරු සැනින් වැටහීමත්
ලොකුම දෙයකි

අවසානය මෙය නොවේය

ආරම්භය මෙතැන් පටන්
අවසානය අනන්තයේ
ගව්වක් දුර වනන්තරේ
කළ යුතු දේ කළ හැකි නම්
මොන කරුණට
කල් මර මර ඉන්නේ දෝ
වලට තෙලට?

දුන්නොත් එහි පල ලැබෙතේ
නොදුන්නොතින්
නිසැකයෙන්ම විපාක දෙයි
දීම හොඳය, ඇඟට ගුණය
එපින් බලය
තමන්ටමය අනුමෝදන්
සාදු, සාදු!

මුල් දිනයෙම කණට වැටුණු
අතීසාර පොදු නියමය
සිහියට එයි

හැන්ඩියන්ට බඩු නැතේය
ක්‍රෑමුන් හට ක්ලාස් නැතිය


මොන පිස්සුද?

පළමුවැන්න අසත්‍ය බව
අත්දුටුවයි
ප්‍රත්‍යක්‍ෂයි

දෙවැන්න ගැන මොන කතාද?

රන් සේසත් පලක් නොවේ
රන් වියණින් පලක් නොවේ
තමන් හිසට තම අතමය
වෙන කිසිවක් පිහිට නොවේ

අද ඉඳලා
සුදු කොල මිටි ඉවර වේවි
පුස්තකාලෙ මහ කඩු පොත්
මේස පුටුත්
අඹ යහළුවො සේ පෙනේවි
කාලය ඔහෙ ගෙවී යාවි

පෙර දෙවැන්න අසත්‍යබව
ඔප්පු වේවි
අත්දැකුමෙන් ඔප්පුවේවි

සිද්ධිරස්තු!




-කතන්දරකාරයා

ප/ලි
මං හිතන්නේ මේක කවියක් නං, මේ මං ටයිප් කරලා තියෙන දිගම කවියයි!

(image: http://www.lonelyreload.com/2011/09/fail-class-student.html)

Tuesday 7 January 2014

අහිකුණ්ටික සාස්තරේ - Who wins the next presidential election? - Now that's the question to ask!


ඔය ලංකාවේ ඉන්න අහිකුණ්ටික කියන ජන කොටස ඔහේලා අපි වගේ නොවෙයි ඉතාමත් කිට්ටු ඉන්දියානු සම්භවයක් තියෙන අය. ඒ අය වැඩි දෙනෙක් කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශයේ භාවිතාවෙන තෙලිඟු මිශ්‍ර භාෂාවක්.

මේ මිනිස්සු එක තැන ඉන්නේ නැතිව තැන් තැන්වල ඇවිදිමින් ජීවත්වෙන ජිප්සීස් ලා ජාතියක්. යුරෝපය පුරා පැතිරිලා ඉන්න රෝමානි ජිප්සීස්ලාත් මේ වගේම ඉන්දියාවෙන් එහේට ගිය ජනකොටසක් ය කියලයි කියවෙන්නේ. ඒ අය ගිහිල්ලා තියෙන්නේ නං දැන් අවුරුදු දාහකටත් වඩා කලින් කාලෙකයි.

මට මතකයි අපි පොඩි කාලේ තිබුණා චිත්‍රකතාවක් අහිකුණ්ටික කෙල්ලෙක් සහ පුටු-පුටු දඩුකජ්ජක නැගිලා යනෙන සිංහල කොල්ලෙක් අතර ලව් එකක් ගැන. පස්සේ මේකෙන් චිත්‍රපටියකුත් හැදුණා මට මතක විදියට රවීන්ද්‍ර රන්දෙණිය අහිකුණ්ටික රැහේ මහ එකාට රඟපෑවේ. මාලිනී ෆොන්සේකා දුව ද කොහෙද. චිත්‍රපටියේ නම සත්වෙනි දවස.

අහිකුණ්ටිකයෝ රස්සාවල් විදියට කරන්නේ (පිරිමි) නයි සහ රිලව් නටවන එකයි, (ගෑණු) සාස්තර කියන එකයි. දැන් නං මං හිතන්නේ මේ අයගෙන් බොහෝ දෙනෙක් අහිකුණ්ටික චර්යාවන් අතහැරලා සාමාන්‍ය ජීවිතවලට හුරුවෙලායි ඉන්නේ.

ඒත් දන්න කියන ශිල්ප ශාස්ත්‍ර අහක දාන්න පුළුවනියැ. ඉතිං ඉඳලා හිටලා දුර පළාත්වල යනකොට තාමත් තමන්ගේ හුරු පුරුදු රැකියාවල යෙදෙන අහිකුණ්ටිකයෝ අපට හමුවෙනවා. අනිත් කාරණේ, උඩ ඉඳලා යටටම ඉන්න ලාංකිකයින් අතරත් එන්න එන්නම මේ ගුප්ත විශ්වාස, කේන්දර, සාස්තර වගේ දේවල්වලට තියෙන කැමැත්ත වැඩිවෙනවානේ. ඉතිං අහිකුණ්ටික සාස්තරවලටත් පොඩි ඉල්ලුමක් තියෙනවා.

ඔන්න අපි එදා අනුරාධපුරේ ගිහින් අටමස්ථාන නරඹමින් යන අතරේ මිරිසවැටිය ලඟට ආවා. අපි වාහනෙන් බහින්නත් කලින් මෙන්න සාත්තර කියන සේවය සපයන අහිකුණ්ටික ගෑල්ළමයෙක් එතැන. හරියට අර විත්‍රපටියේ හිටපු අගටන්නා වගේමයි!

මේ කෙල්ලගෙන් සාස්තර අහන්න කියලා බේරිල්ලක් නැති වුනත් යාන්තං අපි ගියේ චෛත්‍යය දිහාවට ගියා.

මිරිසවැටිය චෛත්‍යයේ නව රිද්ම සංස්කරණය නරඹලා තුටුවූ පහන් සිත් ඇතිව අපි ආපහු එනකොටම මෙන්න සාත්තරකාර කෙල්ල ආවා වාහනේ ලඟට.

"මාත්තියා, සාත්තරේ අහන්න, බලං හිටියා වගේ කියනවා. රුපියල් විස්සයි මාතියා". මේ මනුස්සයා කැඩිච්ච සිංහලෙන් මට කිව්වා.

"ඔන්න ඔහේ කීයක් හරි දීලා දාන්න අනේ!" හාමිනේ මට අණ දුන්නා.

මං රුපියල් දහයක් අතට අරගත්තා මේ මනුස්සයාට දෙන්න.

ඒත් එතකොට මට හිතුණා "නිකං පිනට රුපියල් දහයක් දෙන එකේ, පොඩි වින්දනයකුත් රිටන් එකට ලැබුණට මොකද?" කියලා.

අපේ සමහරු පන්සලේ පිං පෙට්ටියට සල්ලි දාලා එලියට බැස්ස ගමන් ශනිදා වාසනාව ගන්නේ, ඒ පිං බලෙන් ලොතරැයිය ඇදෙයි කියලා හිතලා!

ඉතිං මං අර රුපියල් දහය අහිකුණ්ටික සාස්තරකාරී ට දීලා කිව්වා "විස්සක සාස්තරයක් නොවෙයි, මට කියන්න දහයක බාගේ සාස්තරයක්!" කියලා.

සාස්තරකාරී මගේ අල්ලේ රේඛා පරීක්‍ෂා කරලා බලනවා වගේ පෙන්නලා කියවන්න පටන් ගත්තා.

"මාත්තයා හරීම වාසනාවන්තයි.
හොඳ ලස්සන නෝනා තමයි හම්බ වෙනවා.
යාන වාහන, රැකී රක්‍ෂා හොඳට හම්බ වෙනවා.
හොඳට දේපල ඉඩ කඩම් ගෙවල් දොරවල් ලැබෙනවා.
ඒ වගේම හොඳ වාෂනාවන්ත දරුවෝ හතර දෙනෙකුත් තමයි ඉන්නවා".

අන්න ඒ අන්තිම වාක්‍යය තමයි මට ඇල්ලුවේ නැත්තේ.

"ආන්න බොරුවක්" මං කිව්වා. "මට ඉන්නේ ළමයි දෙන්නයි නේ!"

අන්න එතනදී තමයි මං ඇණගත්තේ.

"මාත්තයාට මේ කෂාදේ ළමයි දෙන්නා තමයි, හැබැයි මාත්තයාගේ අතේ රේඛාවලින් පෙන්නුම් කරනවා මාත්තයාට කලින් කසාදේත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා" කියලා මේ වනචර ගෑණි කියපි ගත් කටටම!

"හා, හා, ඔය ඇති, මෙන්න මේකත් අරං යනවා යන්න" මං තව රුපියල් දහයක් දීලා අහිකුණ්ටික ගෑනිව එළවා ගත්තා.

එතැනින් කාර් එක ස්ටාර්ට් කරපු පාර අපි නතර වුනේ කෙලින්ම මිහින්තලේ!

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලයෙන් කියවෙන්නේ මේ දිනවල සාස්තරයක් අහනවානම් ඇසිය යුතුම ප්‍රශ්නයකි!

(image: http://www.last.fm/music/Gypsies)

Monday 6 January 2014

මිරිසවැටිය අසල සිටි අහිකුණ්ටික ගැහැණිය - Under construction


පොඩි කාලේ මට මතකයි අනුරාධපුරයේ අටමස්ථානවල පොටෝ එක්ක විස්තර ප්‍රින්ට් කරලා තියෙන ලොකු වෝල් පෝස්ටර් එකක් තිබුණා අපේ ආච්චිලා ගේ ගෙදර.

එතන තිබුණු රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වගේ අපි සාමාන්‍යයෙන් දන්නා ආකාරයේ චෛත්‍යවලට වඩා වෙනස් හැඩයක් තිබුණු චෛත්‍යයක් තමයි මිරිසවැටිය.

මං දෙකේ පන්තියේ දී ගිය අපේ පවුලේ විනෝද චාරිකාවේදී ඇස් දෙකින්ම දැක්කා මිරිසවැටිය චෛත්‍යයේ උඩ කැල්ල නැති බව. ඉතිං උඩ කෑල්ලයි, යට කෑල්ලයි දෙකම තියෙන දහසක් චෛත්‍ය අතරේ, මේ යට කැල්ල විතරක් තියෙන මිරිසවැටිය අසමසම (යුනික්) එකක් විදියට දීර්ඝ කාලයක් මගේ මතකයේ තිබුණා.

අනුරාධපුරේ තියෙන මොකක් දෝ චෛත්‍යයක් ගැන අපි පොඩි කාලේ අහල තිබුණු එක්තරා කතන්දරයක් මෙන්න මෙහෙමයි.

ඔය කියන චෛත්‍යය හදන්න නියෝග කරපු මහරජ දුටුගැමුණු මැරෙන්න යන කොටත් ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර්ට වැඩේ ඉවරකර ගන්න බැරිවුනාලු.

සමහරවිට කොන්ටිටි සර්වේයර්ස් ලා වර්ග අඩියකට යන මුදල වැරදි විදියට ගණනය කරලා තියෙන්න ඇති.

එහෙම නැත්තං සමහරවිට භාණ්ඩාගාරේ ඇලොකේෂන් එකට සද්ධාතිස්ස ගේ කට් එක, 20%, එකතු කරන්න අමතක වෙන්න ඇති. ඒ ක්‍රිස්තු පූර්ව දවස්වල තිබුණු රන් කහවනු අද දවසේ රත්තරං තරම් වටින්නේ නැති වුණත්, සල්ලි කවදත් සල්ලිම නේ. සද්ධාතිස්සලාත් සද්ධාතිස්සලාමයි.

රජවරු කවුරුත් කැමතියි තමන්ගේ ටිකට් කැපෙන්න කලින් නම තියෙන වැඩ දෙක තුනක් කරලා දාන්න. කොච්චර පොරක් වුණත් ඉතිං මහරජ දුටුගැමුණුත් රජෙක් නේ. ඉතිං බොහොම සෝකෙන් තමයි මරණ ඇඳේ ඉඳලා තියෙන්නේ යන්න කලින් චෛත්‍යයේ වැඩේ අහවරක් කරන්න බැරි වෙන එක ගැන.

මේ වෙනකොට සාලිය පුත් රුවන අර අශෝකමාලා කේස් එක හින්දා පවුලෙන් පන්නලා නිසා, රජ පවුලේ බාප්පා තමයි සැකන්ඩ් ඉන් කමාන්ඩ් සීන් එකේ ඉඳලා තියෙන්නේ. පොර කරලා කියන්නේ සුදු රෙදිවලින් චෛත්‍යයේ හදපු නැති තැන් වහලා, මැරෙන්න යන රජාව රවට්ටපු එකයි.

ඔය කතාව ඇත්තටම ගෙතිලා තියෙන්නේ රුවන්වැලිසෑය ගැනයි. නමුත් මං කාලයක් හිතාගෙන හිටියේ මේ කියන්නේ උඩකැල්ල නැති මිරිසවැටිය ගැන කියලායි.

මං හිතුවේ දුටුගැමුණු ට පස්සේ රජවුණු සද්ධාතිස්ස මිරිසවැටියේ කන්ස්ට්‍රක්ෂන් වැඩ එතැනින්ම නවත්තලා දාන්න ඇති, එයා සද්ධාතිස්ස කියන නම යන අළුත් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න ඇති කියලයි.

දෙකේ පන්තියේ දී අනුරාධපුරේ ගියාට පස්සේ මං මිරිසවැටිය අසලට ගියේ දැන් අවුරුදු හය හතකට විතර කලින් දවසකයි.

තිසාවැව පැත්තේ අපි නැවතිලා හිටපු තැන ඉඳන් සිතියමක් බලාගෙන එක එක ස්ථානේ කවර් කරගෙන ඇවිත් ඔන්න මිරිසවැටිය ලඟට ඇවිල්ලා වාහනේ පාක් කළා.

බැලින්නං අපි ඇවිල්ලා තියෙන්නේ නිකං රුවන්වැලි සෑය වගේ තැනකටයි. හැබැයි වටපිටාව වෙනස්.

එතකොට තමයි මතක්වුනේ මේ වෙනකොට මිරිසවැටිය චෛත්‍යයේ අර තිබුණු පෞරාණික, කෞතුක වටිනාකම නැති කරලා "පොෂ්" කරලා අරගෙන කියලා.

දැන් බලන කොට මේ මිරිසවැටිය රුවන්වැලි සෑයටත් වැඩිය ලොකුයි!

ඔන්න ඔතැනදී තමයි මට මේ අද කියන්න ප්ලෑන් කරපු කතන්දරේ කියවෙන අහිකුණ්ටික ගැහැණියව හමුවුනේ!

මේ කියන්නේ "පොෂ්" වුණු අහිකුණ්ටික ගෑණියෙක් ගැන නම් නොවෙයි. මෙයා මං දෙකේ පන්තියේ ඉන්න කාලේ හිටියා වගේම කෙනෙක්.

-කතන්දරකාරයා

ප/ලි
මටත් අර පඳුූරු තැලීමේ ලෙඩේ බෝවෙලා වෙන විස්තරයක් තමයි ලියවිලා තියෙන්නේ. ප්‍රස්තූත කතන්දරේ හෙට ලියන්නම්!


(image: http://upload.wikimedia.org/wikipedia/si/3/3f/Mirisawetiyaold1980.JPG)

Saturday 4 January 2014

මහාචාර්ය ලා තුන් දෙනා ගේ කතන්දරේ - What if this is not true?


මේ කතන්දරේ මං අහලා තියෙන ලූ වර්ගයේ කතන්දරයක් මිසක් කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙන නිසා නම් ගම් වෙනදාටත් වඩා වෙනස් කරලායි කියන්න වෙන්නේ. ඔරිජිනල් කතන්දරේට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙන්නත් ඉඩ තියෙනවා.

ඔන්න එකමත් එක රටක විශ්ව විද්‍යාලයක වැඩකරමින් හිටියා යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නාම මහාචාර්යවරුය කියමුකෝ.

එක යාළුවෙක් ගමේ විදියට ම ඉන්න කැමති ගමේ පොරක්. නම පද්මසිරි.

අනිත් යාළුවා නම් පොෂ් විදියට ඉන්න පොෂ් පොරක්. හැබැයි පොරත් ගමේ කොල්ලෙක් තමයි මුල් කාලේ. පස්සේ තමයි පොෂ් වුනේ. කොටින්ම පොර තමන්ගේ ජයසූරිය කියන නම ජේ කියලා පොෂ් කරගෙනයි හිටියේ.

ජේ ගේ වයිෆ් තමයි ශ්‍රියා. ඒ ඇත්තිත් විශ්ව විද්‍යාලයක තමයි වැඩ. මේ යාළුවෝ දෙන්නා හිටපු එකේ නොවෙයි, වෙනිං එකක.

මේ තුන්දෙනා ගේ හිතවත්කම තවත් වැඩිවෙන්න හේතුවක් තමයි පද්මසිරියි, ශ්‍රියායි එකම ගමේ අය වීම.

ඔන්න එක දවසක් මේ තුන්දෙනාට දන්නා කියන කෙනෙකු ගේ අවමංගල්‍යයකට සහභාගී වෙන්න සිදුවුණා ලු. මළගෙදර තිබුණාය කියන්නේ නගරයෙන් ටිකක් විතර දුෂ්කර ප්‍රදේශයකයි.

කොටින්ම ඒ ගෙදරට වාහනේක යන්න පුළුවන් කමක් තිබිලා නෑ. තුන්දෙනා එකතුවෙලා පද්මසිරි ගේ කාර් එකේ ගිහින් ගමේ කඩමංඩියේ නවත්වලා බැලුවාම මළගෙදරට යන්න තියෙන්නේ කුඹුරක් මැදින් ලු.

මේක දැකලා අපේ ජේ ට ටිකක් අප්සෙට් වගේ ලු.

"අයි ඩොන්ට් නෝ වෙදර් ශ්‍රියා කැන් හැන්ඩ්ල් දිස් මඩී ෆුට් පාත් විත් හර් ෂුස්!" ජේ කිව්වා ලු පද්මසිරිට "මේ බී ෂී විල් හැව් ටු ස්ටේ බැක් ඉන් ද කා".

පද්මසිරි ගත් කටටම මෙහෙමයි කිව්වාය කියන්නේ.

"අනේ අපේ සිරියාවතීට මේ නියර උඩින් යන එක මොකක්ද? ඉස්සර අපි ඉස්කොලේ ගියේ හැමදාම මේ වගේ කුඹුරු උඩින් නේ!"

"ඔන්නොහෙ සපත්තු දෙක අතිං අරං යං බං ශ්‍රියෝ. කුඹුරෙන් එගොඩ වෙන තැනදි වේල්ලෙන් කකුක් දෙකේ මඩ හෝදා ගන්න බැරුවයැ?"

ජේ ගේ කට වැහුණා ලු.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් ආචාර්ය-මහාචාර්ය කතන්දර:

1. ආචාර්ය පියරත්න සහ මහාචාර්ය ගුණරත්න - Dr. Piyarathna and Professor Gunarathna
http://kathandara.blogspot.com/2010/03/dr-piyarathna-and-professor-gunarathna.html

2. කාලෝ ට සීට් එක දුන්න දා
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

3. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed
http://kathandara.blogspot.com/2011/06/dr-vickramabahu-karunaratnes-identity.html

4. ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics
http://kathandara.blogspot.com/2012/09/phone-ethics.html


(image: http://peasantautonomy.org/mangalore-village-life-b.html)

Thursday 2 January 2014

ජයසේන ගේ අනතුරු හැඟවීම - Jaysena's warning


මා මුලින්ම බ්ලොගයක් ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ ය.

(මේ අනුව මංතුමා අප දන්නා බ්ලොග් ලෝකයේ සෑහෙන්න සීනියර් පොරකි. නමුත් මේ අද පලවෙන කතන්දරයේ අරමුණ එය පැවසීම නොවේ. ඇත්තටම මේ බව මා කතන්දර බ්ලොගය ඇරඹූ දා ම පවසා ඇත).

ගුගල් ලා ගේ බ්ලොස්පොට් සේවය උපයෝගී කරගෙන, එදා මා මගේ මුල්ම බ්ලොගය එලෙස ආරම්භ කලේ අද මෙන් කතන්දර ලියන්නට නොව මා ලියා තිබූ කවි සංකල්පනා පල කිරීමට ය.

මේ කවි බොහොමයක්ම පාහේ සාදා තිබුණේ සිංහල ගී ගැයෙන සාමාන්‍ය අච්චුව අනුව නිසා, මගේ කවි සංකල්පනා සිංහල ගායක ගායිකාවන්ගේ සහ සංගීතඥයින් ගේ අවධානයට යොමුකර ගීත බවට පත්කරවා ගැනීම ඒ බ්ලොගය ආරම්භ කිරීමේ දී මගේ එකම අරමුණ විය.

බ්ලොග් කරන්නට පටන් ගත්තද ඒ කාලෙයේ අද මෙන් සිංහල යුනිකෝඩ් හෝ සිංහල අකුරු ලේසියෙන් පෙන්වන බ්‍රව්සර් හෝ නොතිබුණි. මා දැන සිටි එකම සිංහල අකුරු ක්‍රමය වූයේ ඒ දිනවල දිවයින පුවත්පත නිමා වූ කපුටාඩොට්කොම් ෆොන්ට් එක පමණි.

ඉතින් මා කළේ, කපුටාඩොට්කොම් ෆොන්ට් එකෙන් ගී පදමාලා ලියා, ඒවා ඉමේජ්ස් බවට පත්කොට අනතුරුව පිකාසා සේවාව මගින් ඒ ඡායාරූප බ්ලොගයේ පලකිරීමයි.

එලෙස සෑදූ මගේ ගී පදමාලා බ්ලොගය පිළිබඳ අන් අයට දන්නවන්නට මා හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි. ඊ-මේල් යැවීමි. විවිධ වෙබ් සේවාවලට ඒ ගැන තොරතුරු යොමු කළෙමි.

ඒ සමගම මගේ පැරණි විසිටින් කාඩ් කිහිපයක් තිබී හමුවී ඒවායේ පසුපස බ්ලොග් අඩවියේ ලිපිනය ලියා හමුවෙන මිතුරන් අතර බෙදා හැරියෙමි.

මගෙන් එලෙස බ්ලොගය පිළිබඳ විස්තර ලැබුණු එක් මිත්‍රයෙක් වූයේ ජයසේනයි. එදින සවස නිවසට ගිය වහාම මගේ මේ අළුත් ඉන්ටර්නෙට් සයිට් එක කියවා බලන බවට ඔහු පොරොන්දු විය.

ඊලඟ සතියේ ජයසේන මුණ ගැසුණු විට ඔහු කතා කලේ තරමක් කල්පනාකාරීවය.

"මං ඔහේ ගේ ඉන්ටර්නෙට් සයිට් එක බැලුවා!" ඔහු කියා සිටියේය.

"ඒ කවි හොඳයි, හොඳ සින්දු හදන්නත් පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒත් ඔහොම ඒවා හැමෝටම පේන්න ඉන්ටර්නෙට් එකේ දැමීමේ ලොකු අවුලක් තියෙනවා නේද?" ජයසේන අවධාරණය කර අසා සිටියේය.

"ඒ මොකක්ද ජයසේන?"

"නැ මං කියන්නේ ඉතිං ඔහොම ඔය කවි දැම්මාම ඕනෑ කෙනෙකුට පුළුවනි නේ ඒවා හොරෙන් අරගෙන සින්දු කරලා කියන්න!"

මා සිනාව නවත්වා ගත්තේ ඉතා අපහසුවෙනි.

"ඉතිං ජයසේන, ඒකම නේන්නං මට ඕනෑ කරන්නේත්! කවුරු හරි හොරෙන් අරගෙන හරි ඒවා සින්දු විදියට කියනවා නං කොච්චර දෙයක්ද?"

ජයසේනට මගේ තර්කය තේරුණු බවක් එදා, 2005 අගෝස්තුවේ දී පමණ, මට නොපෙනුණි!

ඔහුගේ අනතුරු හැඟවීම මට නොතේරුණු බව නම් ඔහුට පෙනෙන්නට ඇත.

-කතන්දරකාරයා







(image: http://www.anorak.co.uk/323068/news/323068.html/)

Wednesday 1 January 2014

නව වසරේ පොෂ් ක්‍රමයට පොල් රොටී හදමු - HNY2U


මං දැන් මාස කීපයකට කලින් රොටී හදලා කාපු හැටි ගැන කතන්දරයක් ලියා පල කළා.

එදා මං හදපු රොටී ගැන ලැබුණු එක ප්‍රතිචාරයක් තමයි මොකද ඒ රොටී එක එක සයිස් කියන එක.

ඒ විතරක් නොවෙයි, කාලයක් තිස්සේ රොටි හදලා තියෙන මට තේරුණු දෙයක් තමයි සාමාන්‍ය ක්‍රමයට රොටී අතින් වඩලා, තුනී කරලා හදන කොට, ඒ රොටීවල ඝණකමත් එකිනෙකට වෙනස්වෙන බව සහ හරියට රවුමට, ලස්සනට රොටී ටික සේරම හදාගන්න අමාරුයි කියන එක.

ඒ හින්දා මේ නව වසර සඳහා මං අත්හදා බැලුවා ඒ සියළු දෝශ කෝප තත්වයන්ගෙන් තොරවූ නියර් පර්ෆෙක්ට් පොල් රොටී හදා ගන්නා ක්‍රමයක්.

මේක පොල් රොටී හදන පොෂ් ක්‍රමයක් කියලා කියන්න පුළුවනි.

මෙන්න ක්‍රමය.

වෙනදා විදියටම තිරිඟු පිටි, පොල් මිශ්‍ර කරලා වතුර සමග අනා ගන්න. අවශ්‍ය පරිදි ලුනු ස්වල්පයකුත් දාන්න අමතක කරන්න එපා.


මෙදා පාර එක ඝණකමට රොටී වඩා ගන්න මං පාවිච්චි කලේ රෝලිං පින් එකක්.


මෙන්න ටේ්‍රඩ් සීක්‍රට් එකක්. දෙතුන් පාරක් රොටිය තුනී කරලා නැවත නවලා ගුලි කරලා වඩා ගැනීමෙන් රොටියේ ක්‍රිස්පි ගතිය වැඩිවෙනවා. හරියට අර පේස්ට්‍රි හදනවා වාගේ.




රොටී එන ප්‍රමාණයට කපා ගන්න මං පාවිච්චි කළේ ගෙදර තිබුණු බෝව්ල් එකක්.






වෙනදා වගේම තාච්චියේ රොටී ටික පුච්චා ගත්තා.


දැන් බලන්න මේ රොටී එක ප්‍රමාණයට, ලස්සනට හැදිලා තියෙන හැටි.


ඔය අතරේ මං තවත් පොඩි වැඩක් කළා.

ඒක තමයි කතන්දරහාමිනේ වෙනුවෙන් ඉස්පැෂල් රොටියක් හදන එක.


මේ රොටිය පුච්චලා හොඳ ලස්සන පිඟානකට දාලා මේසෙන් තියන්නත් මං අමතක කළේ නෑ.


එහෙනං, ඉතිං මේ නව වසරේ පොෂ් වෙමු.
පොෂ් ක්‍රමයට පොල් රොටී හදා කමු.

සැමට සුභ නව වසරක් වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් අර හාට් එකේ ෂේප් එකට රොටිය හදන්න මං අච්චුව විදියට පාවිච්චි කෙරුවේ මොකක්ද කියලා කාට හරි ප්‍රශ්නයක් ඇති වුණාද?

එහෙම ප්‍රශ්නයක් ඇති වුණු අයට කියන්න තියෙන්නේ මෙච්චරයි.

ඒ ඒ හාට් ෂේප් එකේ අච්චුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති නං කොච්චර කබල රත්වෙලා තිබුණත් රොටිය පුච්චා ගන්න එක නං මේ කපේ කරගන්න වෙන්නේ නෑ!