Monday, 30 September 2013

තාත්තලා කියවන කුණුහරුප නොහොත් sex පොත් - Books with photos of semi-naked women


"මොනවාද ළමයෝ අර ඔයා ගේ තාත්තා කියවන පොත්? ඇඳුම් නැති ගෑණුන් ගේ පින්තුර තියෙන ඒවා!"

ඒ මගේ මිතුරෙකු වෙන සුසන්ත සුරන්ජිත් ගේ අම්මා ඔහුගෙන් ඇසූ පැණයකි.

සුසන්ත සුරන්ජිත් යනු හයවෙනි වසරේ දී ආනන්දෙට ඇතුලත් වීමේ තරග විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත පිළිබඳව රචනාවක් ලියූ අසරණ සිසුවා ය.

අම්මා පෙර කී ප්‍රශ්නය ඇසූ දා සුසන්ත ගේ පියා කියවමින් සිට ඇත්තේ උඩින් පලකර ඇති පොත්වලින් එකකි.

මේ පොත් ලියා ඇත්තේ ජේම්ස් හැඩ්ලි චේස් නම් ඉංගිරිසි ලේඛකයා විසිනි. ජේම්ස් හැඩ්ලි චේස් යනු ඇත්තටම අන්වර්ථ නමකි. සරල ඉංගිරිසියෙන් මූලිකව මිනීමැරුම්, සොරකම් යනාදී අපරාධ මුල් කොටගෙන ලියන ලද මේ ආකාරයේ පොත් අනූවක් පමණ පලවී ඇතැයි කියවේ.

සුසන්ත සුරන්ජිත් ගේ අම්මා පිටකවර දැක රැවටුනද, ජේම්ස් හැඩ්ලි චේස් පොත් කාම කතා නොවේ. සුසන්ත සුරන්ජිත් ගේ පියා කියවමින් සිටි නවතම මුද්‍රණවලට කලින්, එනම් මගේ තාත්තා මේ පොත් කියවූ කාලයේ, ඒවා පල වී තිබුණේ පහත පෙනෙන පිටකවර සහිතවය. තාත්තා මේ පොත් කියවූයේ අර ටින්-ටින් කාටූන් පොත්වල හිමිකරු වූ රොජර් නම් තාත්තා සමග එකම පාසලේ සේවය කළ ගුරුවරයා ගෙන් ණයට ඉල්ලා ගෙනය.



ඉංගිරිසි ප්‍රබන්ධ සාහිත්‍යයේ ජේම්ස් හැඩ්ලි චේස් පොත් කොයි තරම් පහලින් තිබුණේ වුවද මා අදත් මේ පොත්වලට ප්‍ර්‍රිය කරමි. ආසා කරමි. ඒ වෙන කිසි කරුණක් නිසා නොව මා ඉංගිරිසි පොත් කියවීම පටන් ගත්තේ මේ හැඩ්ලි චේස් පොත් වලින් වීම නිසා ය.

කාමප්‍රබෝධය ඇතිකරවන අඩ නිරුවත් කාන්තා රූ රැගත් මේ ජේම්ස් හැඩ්ලි චේස් පොත් මරදානේ සහ කොටුවේ දුම්රිය ස්ථාන ඇතුලේ පිහිටුවා තිබුණු පොත්හල් දෙකේම ප්‍රදර්ශනය කර ඇති අයුරු මා උසස් පෙල හදාරණ කාලයේ සිටම දැක තිබුණි. එනමුදු මා ඒ දිනවල කිසි විටෙකත් ඒ පොත් තබා කිසිදු ඉංගිරිසි පොතක් කියවීමට නොසිතුවෙමි.

පසු කලෙක පේරාදෙනියේ මහා පුස්තකාලයෙන් ඇති පදම් නවකතා සහ කෙටිකතා පොත් කියෙව්වද ඒ සියල්ල සිංහල පොත් විය.

පේරාදෙනියෙන් චුත වීමෙන් පසු දුර බැහැර පලාතක මාස හයක් පමණ ගත කළ මට නැවතත් නිවසේ මාස කිහිපයක් ගත කිරීමට වාසනාව උදාවිය.

මා ගම්සභා පුස්තකාලයෙන් ජේම්ස් හැඩ්ලි චේස් පොතක රසය මුල්වරට විඳගත්තේ ඒ කාලයේ ය.

පසුව මරදානේ ගාමිණී හෝල් (නටඹුම) අසල ඇති පරණ පොත් කඩවලින් ද මුදල් ගෙවා ජේම්ස් හැඩ්ලි චේස් පොත් කියෙව්වෙමි. මේවන විට සුසන්ත සුරන්ජිත් නම් මේ පොත් කියවා සෑහෙන කලක් ගත වී තිබුණි.

පසු කලෙක ඉංගිරිසි සාහිත්‍යයේ දෙකේ තුනේ කැලෑසිවලට පාස් වෙන්නට මට ඉඩ ලැබුණේ ඒ ආකාරයට ජේම්ස් හැඩ්ලි චේස් ගේ හෝඩි පොත කියවූ නිසාය.

"අඹ යහළුවෝ" පොත හෝ "මඩොල්දුව" පොත හෝ කියවා සිංහල පොත් කියවන්නට වරම් ලබන ළමුන් ඉන්නා ලෝකයක, "ඩ්‍රැකියුලාගේ මනාලියෝ" පොත කියවූ සුසන්ත සුරන්ජිත් ද "මුළු හදින් මම ඇයට පෙම් කොට" පොත කියවු මා ද දෙදෙනා ම පසු කලෙක ඉංගිරිසි පොත් කියවන්නට පටන් ගත්තේ ජේම්ස් හැඩ්ලි චේස් නිසා වීම එක්තරා ආකරයකට පුදුමයට කරුණක් නොවේ!

-කතන්දරකාරයා

ප/ලි
මා සහ සුසන්ත සුරන්ජිත් පමණක් නොව ජේම්ස් හැඩ්ලි චේස් පොත් කියවා ඉංගිරිසි පොත් කියවන්නට පුරුදු වුණු අය අතර ප්‍රසිද්ධ පුද්ගලයෝ ද සිටින බවත්, එසේම ඩීමන් ආනන්ද ගේ පොත් නිසා සිංහල පොත් කියවීමට පුරුදු වූවන් අතර ද ප්‍රසිද්ධ පුද්ගලයින් සිටින බවත් ඊයේ (29/09/2013) ලක්බීම මංජුසාව අතිරේකයේ පල වී තිබුණි.

(images: From Google search)

Sunday, 29 September 2013

කොන්දේ අමාරුවක් හැදිල තියෙනවද? - Back pain is the worst pain ever!


මං හිතන්නේ මේ ලෝකේ තියෙන නරකම අමාරුවක් තමයි මේ කොන්දේ අමරුව කියන්නේ.

මේක හැදෙන්න, තැනක්, නොතැනක්, වෙලාවක්, අවේලාවල්, වයසක්, දවසක්, අරකක්, මේකක් නෑ.

හැදුණොත් හැදුණා!

අද ඉරිදා මං උදේම නැගිටලා පොඩි ඇක්සයිස් පාරක් දැම්මා. සතියකට පාරක්වත් ඔය වගේ ඇක්සයිස් එකක් කරන එක හොඳයි.

සතියේ දවස්වල නං දවල් කැම වෙලාවේ පොඩ්ඩක් ඔෆීසිය අවට සිරි නරඹමින් ඇවිදගෙන යනවා පැය භාගයක් විතර.

නමුත් මේ සති අන්තයේ කරන්න පුළුවන් ඇක්සයිස් වැඩත් ඉතා වැදගත් නිසා සති දෙක තුනක් තිස්සේ ප්ලෑන් කරලා ඔන්න යාන්තම් අද ඒක කළා!

ඊට පස්සේ ඇඟ හෝදලා, ෂෝටක් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන, උදේට කාලා ගෙදරින් එලියට බැස්සා.

වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් තියෙනවා ඒවා කරන්නය කියලා හාමිනේ ඇජෙන්ඩා හදලා තිබුණේ දැන් සති ගණනාවක ඉඳලයි.

දිගටම කල් ඇර ඇර හිටියට අද නම් මග හරින්න විදියක් තිබුණේ නෑ.

ඔන්න මල් ගස් වගේකට දියර පොහොර වගයක් දාලා, වත්තේ වල් පැළ මැරෙන්න බේත් වගයක් ගහලා හෙම ඇජෙන්ඩා එකේ වැඩ එකඑ ක ඉවර කරන්න පටන් ගත්තා.

ඒ අතරේ පොඩි ප්‍රවාහන වැඩකුත් යෙදුණු නිසා ටිකක් අත ඉක්මන් කරපු ගමන් මෙන්න බොලේ එකපාරටම කොන්ද දිගේ විදුලියක් ගමන් කළ වගේ දැනුණා.

ඒ ආපු වේදනාව එවෙලේ ඉඳලා තාම එහෙමමයි.

කොන්දේ අමාරුවක් හැදුණාම:
ඉඳ ගත්තත් කොන්ද රිදෙනවා.
හිට ගත්තත් කොන්ද රිදෙනවා.
නිදා ගත්තත් කොන්ද රිදෙනවා.
ඇවිද්දත් කොන්ද රිදෙනවා.
හිටගෙන හිටියත් කොන්ද රිදෙනවා.
කාර් එකක් ඩ්‍රයිව් කළත් කොන්ද රිදෙනවා.
ඩ්‍රයිව් නොකර වාඩිවෙලා ගියත් කොන්ද රිදෙනවා.
ඒ හින්දා දිව ඇදගෙන විකාගෙන, පුටු වගේකයි, මේසෙකයි තීන්ත ගාන්න තිබුණා ඒකත් කරලා දැම්මා!

දැන් නං ඉතිං දිව්‍යලෝක සැප දැනෙනවා.

නාලා, වේදනා නාශකයක්වත් බීලා නිදාගන්න ඕනෑ කියලා හිතුනත් එතකොටම මතක් වුණා බ්ලොග් එක. කලින් ලියන්න සැලසුම් කරපු ඒවා පැත්තකට දාලා ඔන්න ඔහේ කොන්දේ අමාරුව ගැන ලියනවා ය කියලා හිතුවා!

බුදු අම්මෝ, හෙට සඳුදා නේද? වැඩට යන්නත් තියෙනවා.

ඔය අව්-අස්සේ තමයි දැක්කේ කතන්දර බ්ලොග් එකේ මේ දක්වා පලකරලා තියෙන කතන්දර ගණන 900+ නේද කියලා.

සාහිත්‍ය මාසේ පොත්-කතන්දර අතරේ හිරවෙලා හිටිය නිසා ඒ මංසලකුණ දන්නෙම නැතුව මග හැරිලා ගිහිල්ලා.

කමක් නෑ! තව මාස කීපෙකින් එනවානේ දාහේ සංවත්සරය. එදාට දෙඤ්ඤං ජම්බු!

-කතන්දරකාරයා

ඇ/ප/ලි:
ආහ්, ඌහ්! පොඩි වෙලාවකට අමතක වෙලා තිබුණු කොන්දේ අමාරුව ඔන්න ආපහු ආවා!


(image: http://healthyblackmen.org/2012/06/03/treating-chronic-pain/)

Saturday, 28 September 2013

සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel


ලංකාවේ සංස්කෘතික කටයුතු බාර ඇමතිලා කියන්නේ සිය දිවි හිමියෙන් සංස්කෘතිය රැකගන්න ඇප කැප වෙලා ඉන්න කෂ්ටියක් බව අමුතුවෙන් නොකීවාට මුළු රටම දන්නා කාරණයක් නේ?

මට තේරෙන විදියට නම් රටේ සංස්කෘතිය කියන්නේ, රටේ ජීවත්වෙන විවිධාකාර ජන කොටස්වල ජීවිතය පදනම්වෙලා තියෙන සමාජ රටා, ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, කලා කටයුතු යනාදී සියළුම දේ සම්බන්ධ ඉතාමත් පුළුල් විෂයකටයි.

නමුත් සාමාන්‍යයෙන් සංස්කෘතික කටයුතු කියන්නේ නම් ඔන්න ඔය ලේඛන කලාව, නර්තනය, සංගීතය, ජාතික උත්සව වගේ ටැන්ජිබල් දේවල්වලට යි.

හුඟක් ඉස්සර කාලෙක සංස්කෘතික ඇමතිවෙලා ඉඳලා තියෙනවා සේමගේ සයිමන් කුලතිලක කියලා පොරක්. දවසක් අමරදේව මාස්ටර්ව මේ ඇමතිට හඳුන්වලා දුන්නාම පොර කියනවා ලු, "ඉතිං සින්දු කිය කියම ඉඳලා වැඩක් නෑ නේද? ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද" කියලා!

පස්සේ කාලෙක චන්දිරික්කා නම් රැජිනක් රාජ්ජේ කරන කාලේ සංස්කෘතික කටයුතු ඇමති වුණේ ලක්‍ෂ්මන් ජයකොඩි කියලා අංකල් කෙනෙක්. (මගේ අංකල් කෙනෙක් නොවේ, චන්දිරික්කා ගේ අංකල් කෙනෙක්!). ජයකොඩි ගේ සැකන්ඩ්-ඉන්-කොමාන්ඩ්, ඒ කියන්නේ උප ඇමති, විදියට පත් වුනේ අලංකාරගේ වික්ටර් සුරවීර මන්තිරිවරයායි.

සුරවීර දේශපාලනයට එන්න කලින් විද්‍යෝදය ජයවර්දෙනපුර විශ්ව විද්‍යාලයේ සිංහල පිළිබඳ මහැදුරෙක්. ඒ වගේම ඔහු ලේඛකයෙක්.

පොර පොත් පනහක් හැටක් ලියලා තිබුණාට ඒවායින් අතිබහුතරය සාහිත්‍යය ගැන විවිධාකාර පොත්. මං කියෝලා තියෙන්නේ සුරවීර ලියපු පෑදි දියට බොර දිය කියන ටිකතා පොතයි, අත්ත බිදෙන් පය බුරුලෙන් සහ හෙයියම්මාරුව කියන නවකතා පොත් දෙක විතරයි.

හෙයියම්මාරුව කියන්නේ කියවන්න වටින පොතක්. ඒකේ අමුතු භාෂා ව්‍යවහාරක් තියෙන්නේ, කතා කරන වචන ඇහෙන විදියටම තමයි ලියලා තියෙන්නේ. සිංහල කථිකාචාර්යවරයෙකු කළ අත්හදා බැලීමක් වෙන්න ඇති, අර අටවක පුත්තු නවකතාවේ ලියනගේ අමරකීර්ති කළා වගේ!

හෙයියම්මාරුව පොත මං කියෙව්වේ හතරේ පන්තියේ දී යි. මේකේ කතාවේ තරමක් "ඇඩල්ට්ස් ඔන්ලි" කතා තිබුණට මට ඒවා ප්‍රශ්ණයක් වුනේ නෑ. ඒ වෙන කොට මං "ගණිකාව" කියන වචනේ තේරුම ගෙන් අහන්න ගිහින් පාඩමක් ඉගෙන ගෙන තිබුණු හින්දා, "ගබ්සා කරනවා" වගේ දේවල්වල තේරුම මං කාගෙන්වත් අහන්න ගියෙත් නෑ.

මං හෙයියම්මාරුව හතරේ පන්තියේ දී කියෙව්වා ය කියලා මට හොඳටම මතක එක කාරණයක් හින්දයි.

ඔන්න ඒ වසරේ අපේ පන්තිය බාරව හිටපු මැගිලින් ටීචර් අපිට කිව්වා කෙටි කතාවක් ලියන්න කියලා.

කෙටිකතාවක් කියන්නේ කෙටි-කතන්දරයක් ය කියන එක තමයි ඒ දවස්වල අපේ අදහස වුණේ!

ඒ කියන්නේ අර හාවායි ඉබ්බායි රේස් දුවපු කතාව, කපයුටා සහ කේජු කෑල්ල කතාව, සුබලයා ගේ පින කතාව වගේ ඒවා.

මැගිලින් ටීචර් දුන්නු පැවරුම ගැන අහපු වෙලාවේ කෙලින්ම මගේ හිතට ආවේ ඒ වෙනකොට ආච්චිලා ගේ ගෙදර පොත් අල්මාරියේ තිබිලා මං කියවලා තිබුණු සුරවීර ගේ හෙයියම්මාරුව පොතයි.

හෙයියම්මාරුව කතාවේ ඉන්න දුප්පත් කොලු ගැටයා (ගුණපාල කියමු) පාසලේ ගුරුවරයා අහපු ප්‍රශ්නයකට නිවරදි පිළිතුර දෙනවා. ඒකට ත්‍යාගයක් විදියට ගුරුවරයා කරන්නේ පැන්සලක්, ජිල් බෝලයක් සහ ටොෆියක් මේසඋ උඩ තියලා ගුණපාලට එයින් එකක් තෝරා ගන්න කියන එකයි.

ටොෆියට, ජිල් බෝලෙට හිත ගියත්, තමන් ගේ දුප්පත්කම නිසාම ගුණපාල තෝරා ගන්නේ පැන්සලයි. ඒ බව හොඳින් දන්නා ගුරුවරයා තෑගි තුනම ගුණපාලටම දෙනවා.

ඉතිං මැගිලින් ටීචර් ගේ පැවරුම අනුව මං ලියපු කෙටිකතාවක් සෑහෙන්න ඔය වගේ තමයි. හැබැයි වෙනස්කම් කිහිපයකුත් තිබුණා.

1. කොල්ලා ගේ නම ගුණපාල නොවෙයි, නිමල්.
2. ගුරුවරයා ගේ නමත් වෙනස්
3. තෑගි විකල්ප විදියට නිමල්ට ලැබෙන්නේ පෑනක්, චොකලට් එකක් සහ රබර් බෝලයක්.

ඒ කරුණු තුන හින්දා මට ප්ලේජරිසම්වලට චෝදනා ආවොත් පිළිතුරු දෙන්න පුළුවනි.

අපේ පන්තියේ හිටපු නාලන්ද පියතිලක ලියලා තිබුණේ වෙසක් කුඩුවක් පිච්චෙන කේස් එකක් ගැන කෙටිකතාවක්.

මට අද හිතෙනවා, ඒක ජී.බී. සේනානායක ගේ ප්‍රසිද්ධ කෙටි කතාවේ කොප්පයක් ද කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන තවත් පොත්-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2010/06/13/fea05.asp)


Friday, 27 September 2013

දයාසිරි ජයසේකර ගොයියා ලංකාවේ මීලඟ ජනාධිපතිකමට සුදුසු ද හොයන ක්‍රමය - The Peter Principle


අපේ ගම් පැත්තේ ඉඳලා තියෙනවා ඇස්. කේ. කේ. සුරියආරච්චි කියලා මනුස්සයෙක්.

පොර කොල්ලා කාලේම වගේ දේශපාලනයට බැහැලා මුලින්ම පලාතේ ගම් සභාවේ මැම්බර් කෙනෙක් වුණා ලු. පස්සේ පාර්ලිමේන්තුවට සිරිලංකා එකෙන් ඉල්ලලා පලාතේ මන්තිරි වුණා ලු. පස්සේ උප ඇමති කෙනෙක් විදියට ප්‍රමෝෂන් එකක් ලැබුණා ලු. මං හිතන්නේ කර්මාන්ත උප ඇමතිකම ද කොහෙද කෙරුවේ.

අන්තිමේ දී මේ පුද්ගලයා නතර වුණේ සිරිලංකා එකේ මහ ලේකම් වෙලායි!

රණසිංහ ප්‍රේමදාස කියන්නේත් ළමා සමාජයෙන් පටන් අරගෙන, අමධ්‍යප ව්‍යාපාරය, කම්කරු සංගමය, නගර සභාව හරහා පාර්ලිමේන්තුව ඇවිත්, උප ඇමති, අගමැති සහ ඊලඟට ජනාධිපති වුණු පොරක්.

ඔය වගේ පොඩි තැන්වලින් පටන් අරගෙන තම තමන් ගේ දක්‍ෂතා හින්දා ම උඩට ම නැගපු අය ගැන කේස් ස්ටඩීස් රාශියක් ම තියෙනවා ලිට්රේචර්වල.

ඕක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි.

ඔන්න මුලින්ම අපි කරන්න පටන්ගන්න වැඩේ, අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම නිසා ඉතා හොඳින් කරනවා. කොටින්ම ඒ තනතුර නිසා අපි බබලනවාට වැඩිය අපි නිසා ඒ තනතුර බබලනවා. ඒ නිසාම අපිට ඊලඟ ඉහල තනතුරට උසස් වීමක් ලැබෙනවා.

එතනත් අපි අපිට බාර වැඩේ, අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම නිසා හොඳින් කරනවා. ඉතිං එතනිනුත් අපිට තවත් පඩි වැඩි, වගකීම් වැඩි තත්වයෙන් ඉහල තනතුරකට උසස්වීමක් ලැබෙනවා.

ඔන්න ඔහොම අපි උසස්වීම් එකක් පස්සේ එකක් ලබා ගෙන ඉහලට ගියත් කවදා හරි ඔන්න එක තැනක අපි හිර වෙනවා.

ඒ කියන්නේ අපි එදාට ඉන්න ඒ තැනින් ඉහලට අපිට උසස්වීමක් ලැබෙන්නේ නෑ කියන එකයි. මුලින් උසස්වීම් ලැබෙන එක විස්තර කරන්න යොදා ගත්තු තර්කයේ විලෝමය මෙතනට ආදේශ කරන්න පුළුවනි.

ඒ අනුව අපිට මීට වඩා උසස්වීමක් නොලැබෙනවාය කියන්නේ අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම මේ තනතුරේ දී හොඳින් කැපිලා පේන්නේ නෑ කියන එකයි.

වෙනත් වචනවලින් කියනවා නම් ඒ කියන්නේ අපි මේ දැන් ඉන්න තනතුරේ අසාර්ථකයි. අපේ දක්‍ෂතාවය, හැකියාව, උනන්දුව සහ කැපවීම මේ ඉන්නා තනතුරේ හැටියට මදි! අපේ උසස්වීම් මෙතනින් හමාරයි!

මෙන්න මේකට තමයි පීටර් නියමය කියන්නේ.

ඉතා සරලව කියනවා නම් පීටර් නියමය මෙන්න මෙහෙමයි.

ඔබ ඔබේ රැකියාවේ අදක්‍ෂයෙක් වෙනතුරු ඔබට උසස්වීම් ලැබෙනු ඇත.

අර මුලින් කියපු ඇස්. කේ. කේ. සුරියආරච්චිට මොකද දන්නවද වුනේ?

පොර සිරිලංකා එකෙන් කඩාගෙන අනුර බණ්ඩාරණායකයි, මෛත්‍රීපාල සේනානායකයි එක්ක යුඇම්පීයට ගියා. එතන වාතවෙලා, වාතවෙලා, ආපහු සිරිලංකා එකටම ආවා.

ඒ ඇවිත් පොර මුලින්ම පටන් දේශාපාලය පටන් ගත්තු ගම් සභා වෙනුවට ඒ වෙනකොට තිබුණු ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී කෙනෙක් වුණා.

අර කාලෙකට ඉස්සර සිරිලංකා එකේ මහ ලේකම් වෙලා හිටපු පොර අන්තිමේ දී එතනයි නතර වුණේ!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් දයාසිරි ජයසේකර ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

පොර ඔය අළුත් ජොබ් එකේ දක්‍ෂතා පෙන්නුවොත් ඔතනින් උඩට යයි.

ඊලඟට තියෙන්නේ ජනාධිපතිවෙන එකනේ.

පොර ඔතනින් උඩට නොගියොත් අපේ පීටරයියාට අනුව එයින් අදහස් වෙන්නේ අළුත් ජොබ් එකේ අදක්‍ෂයෙක් කියන එකයි.

ටයිම් විල් ටෙල්!

(image: http://www.souvenirpress.co.uk/tag/dr-laurence-j-peter-raymond-hull/)

Thursday, 26 September 2013

කසාද වයිෆ් ගෙදර නැති වෙලාවට මහත්තුරු කන බොන හැටි - Secret men's business!



බ්ලොග් ලියන, කියවන අයගෙන් වැඩි පිරිසක් කසාද බැඳපු පිරිමි කියලයි මට තේරිලා තියෙන්නේ. මං මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා මගේ ඒ සහෝදර පිරිස දන්නවා.

එතකොට බැඳපු කාන්තා පක්‍ෂය? ඒ අයටත් මං මේ කියන්න යන කේස් එක ගැන තරමක හෝ අවබොධයක් ඇති.

මේ කියන්න යන්නේ, තමන් ගේ කසාද වයිෆ් පැය දෙක තුනකටවත් නිවසෙන් පිට ගියොත්, ඒ කාල සීමාවට දවසේ දිවා ආහාර වේලාව හෝ රාත්‍රී කැම වේලාව යෙදුනොත්, ගෙදර තනිවෙන කසාද මිනිහා කන්නේ බොන්නේ කොහොමද, මොනවාද කියන දැවැන්ත ප්‍රශ්නය ගැනයි!

මේ වැඩේ මට කලින් දෙතුන් වතාවක් වෙලා තියෙනවා.

මුල් වතාවේ මං ලිව්වා ඒ කාපු පරිප්පුව ගැන.

දෙවෙනි වතාවේ ලිව්වේ රමණී නෝනා මට කළ උදව් උපකාර ගැනයි.

තුන්වෙනි වතාවේ ලිව්වා ස්ටර් ෆ්‍රයි හැදීම ගැන.

දැන් මෙන්න හතරවෙනි වතාව.

පහුගිය දවසක මංතුමා දවල් වරුවේ ගෙදර හිටියා. හාමිනේ වැඩට ගිහින්. ළමයි ඉස්කෝලේ. මං හිතාගෙන හිටියේ කලින් උයපු කෑම ජාති මොනවා හරි ෆ්‍රිජ් කට්ටේ අහුමුළුවල ඉතුරු වෙලා ඇතිය කියලයි.

බඩගිනි වෙලා මා ගිය කල කුස්සියට
තිබුණේ නැතිය කිසිවක් එහි මට කන්ට
මොකදෝ කරන්නේ කියලා හිතුණි මට
ක්‍ෂණිකව හදා ගත්තෙමි කෑමක් රසට!

වැඩි ටෝක්ස් බෝක්ස් නැතුව ෆොටෝවලින් ම දෙඤ්ඤංකෝ කතා වස්තුව.



අන්න එහෙමයි වුනේ!

පින්තුරු කතන්දරේ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මං විස්තර කරලා දෙන්නම් මේ රෙසිපි එක පියවරෙන් පියවරට.

දැන් ඔය කිව්වේ දවල්ට කාපු කෑම ගැනනේ. මෙන්න බීම ගැන පින්තූර කතන්දරේ.



චියර්ස්!

-කතන්දරකාරයා

(image: http://www.thefiftyfactor.com/2012_10_01_archive.html)

Wednesday, 25 September 2013

ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?


සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට විවිධාකාරයේ නවකතා පල කෙරුණා. මා හිතන විදියට ඒවායින් වඩාත් ම සාර්ථක වුනේ "අපි නොදන්න ලේඛකයා" ලියපු සමනල විප්ලවය කියන නවකතාවයි.

සමනල විප්ලවයේ ඒ සාර්ථකත්වයට මුලිකම හේතුව ඒ දේශපාලන නවකතාවේ අන්තර්ගතයේ තිබුණු ආකර්ශනය බව අවිවාදාත්මකයි.

ඒ එක්කම තවත් වැදගත් හේතුවක් වුනේ, ලේඛකයා මේ නවකතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරපු නවතම ආකාරය මගින්, සාමාන්‍ය අච්චුවේ රේඛීය කතාවක් කොටස් වශයෙන් කාල පරතරයක් එක්ක කියවන විට පාඨකයාට දැනෙන වෙහෙස සහ දුරස්තබව සමතික්‍රමණය වීමයි.

මේ ලඟදී මං ෆේස් බුක් එකේ දැක්කා ජනක රත්නායක විත්‍ර ඇඳලා කොටස් වශයෙන් පලකරපු එක්තරා චිත්‍රකතාවක රචකයා වුණු චානුක වත්තේගම මෙහෙම කියලා තිබුණා.
මා ජනක රත්නායකට කතාවක් ලියන කාලයේ ඔහු හැමදාමත් කීවේ "මල්ලි කුතුහලය දැනෙන තැනකින් සතියේ කතාව ඉවර කරන්න" කියාය.
සාමාන්‍ය අච්චුවේ කතාවක් සතිපතා කොටස් වශයෙන් පල කරන්න ලියන එක අමාරු වැඩක්. කතාව පලවෙන්නේ මාසික සඟරාවක වුණොත් ඒ වැඩේ තවත් අමාරු එකක් වෙනවා.

අද සාහිත්‍ය මාසයේ පොත්-කතන්දරයෙන් මං කියන්න යන්නේ ඒ ආකාරයට මාසික සඟරාවක මුලින් පලවෙලා පස්සේ පොතක් විදියට මුද්‍රණය වුණු නවකතාවක් ගැනයි.


ජගත් ජේ. එදිරිසිංහ අප නෙත් ඉදිරියේ මවන තාරකා විජිතයේ රුසිරු

සතියේ දිනවල උදෑසනම අපි අවදිවෙමු. දරුවන් පාසලට යවමු. ලක ලැහැත්ති වී සේවයට යමු. ඩොලර් කිහිපයක් සඳහා දිවා කාලය කඹුරමු. සවස් වී නිවසට එමු. කා බී මෝඩයාගේ පෙට්ටිය ඉදිරියේ කාලය ගතකොට හෙට දවසේ ද මේ කර්තව්‍යයේ ම නිරතවන්නට ඇති බව මෙනෙහි කර දුක්මුසු සිතින් නින්දට වදිමු.

අප සති අන්තය ගත කරන අයුරුද මෙලෙසම පුර්ව නිගමනය කෙරී ඇත. අපටම කඩේ යාම, ගෙදර දොර පිරිසිදු කිරීම, වත්ත පිටියේ වැඩ, දරුවන් ට ටැක්සි සේවා සැපයීම ඒ සති අග නිති පිළිවෙත වේ.

අපේ ජීවිත කතා නවකතාවලට වස්තුබීජ නොමසපයන්නේ මේ ඒකාකාරීබව නිසාය. නවකතා ලියවෙන්නේ අසාමාන්‍ය ජීවිත ගතකරන, අසාමාන්‍ය මිනිසුන්ගේ, අසාමාන්‍ය ජීවන අත්දැකීම් පසුබිම් කරගෙන බව පැහැදිලිය.

ජගත් ජේ. එදිරිසිංහ ගේ සිව්වන මුද්‍රිත නවකතාව (2010) වන "තාරකා විජිතය" එවැනි අසාමාන්‍ය අන්තර්ගතයක් රැගත් නවකතාවකි.

නවකතාකරුවෙකු, කවියෙකු, සඟරා සංස්කාරකවරයෙකු, කවියෙකු, සහ තිරනාටක රචකයෙකු ලෙස සිංහල සාහිත්‍යයට නොමද සේවයක් සපයන ජගත් ජේ. එදිරිසිංහ ගේ මුල් නවකතා යුගල වන ”අසුර අඩවිය” සහ "ගිම්හාන සුලඟ" මෙන්ම "තාරකා විජිතය" කෘතියද මුලින් ම ලියවුනේ ද සන්නස නම් වූ සඟරාවේ මාසිකව කොටස් වශයෙන් පලකරන්නට ය.

කොටස් වශයෙන් පලකෙරෙන නවකතාවක් රචනා කරන ලේඛකයා එහිදී අභියෝග කීපයකට මුහුණ දෙයි. සෑම වාරිකයක් ම ප්‍රමාණයෙන් සීමාසහිත විය යුතු නමුත් ඒ සෑම වාරිකයකම නවකතාවේ ප්‍රමාණාත්මකව සෑහෙන කොටසක් අඩංගුවිය යුතුය. වාරිකය අවසාන විය යුත්තේ ඊලඟ කොටස ද නොවරදවා බැලීමට පාඨක සිත තුල අවශ්‍යතාවයක් ජනිත කරවමිනි.

මේ කරුණු සමග ගැටෙමින් නවකතාවක් රචනා කිරීමේදී රචකයාට එහි අන්තර්ගතයේ මෙන්ම ආක්‍යතියේ ද ගුණාත්මකභාවය ගැන යම් යම් කේවල් කිරීම් කරන්නට සිදුවෙන බව මගේ විශ්වාසයයි. අද සිංහල ටෙලිනාටකයට වී ඇති ව්‍යවසනයෙන් මේ කරුණ හොඳින් පැහැදිලි වෙන බව අපි දනිමු.

තම මුල් නවකතා යුගලය වූ "අසුර අඩවිය" සහ "ගිම්හාන සුලඟ" කෘති රචනයේ දී ජගත් ජේ. එදිරිසිංහ මේ අභියෝගය සාර්ථකව ජයගත්තේ ය. ඕස්ටේ්‍රලියානු සිංහල ප්‍රජාවේ උප ප්‍රධාන අංශ වන, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන භූමිකා සඳහා උපයෝගී කර ගනිමින් ඔවුන් ගේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරමින්, මනා සමාජීය විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ප්‍රභල අන්තර්ගතයක්, සාර්ථක ආකෘතියක් මගින් ව්‍යක්තව ජගත් ජේ. එදිරිසිංහ එදා අපට ඉදිරිපත් කළ බව මගේ මතයයි.

එසේ නමුදු, "තාරකා විජිතය" නවකතාව රචනයේ දී ඒ තිරසාර පදනම බිඳ ගනිමින් රචකයා තම හැකියාවේ යම් පසු බැසීමක් පෙන්නුම් කර ඇත්දෝයි මා සිත තුල කුකුසක් ඇතිවන බව කිව යුතුය. එය කෙතරම් සාධාරණ විවේචනයක්දැයි මදක් සොයා බලමු.

"තාරකා විජිතය" නවකතාවේ කතා වස්තුව සැකෙවින් මෙසේය.

පවුල් දිවියට වඩා තම ආචාර්ය උපාධියේ පර්යේෂණ මුල්කොට සලකන දිලීප ගේ බිරිඳ ලෙස ඕස්ටේ්‍රලියාවේ පස්වසරක් ගතකර සැමියා ගේ අණ කිරීම මත ලංකාවේ නිවාඩුවකට යන නිෂාදි එහිදී ජනප්‍රිය නළුවෙකු වන අනුරාධ හා ලිංගිකව හැසිරී පසුව ඔහු හා පෙමෙන් බැඳේ. රිය අනතුරක් නිසා ඔවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධය රට තුල ප්‍රසිද්ධියට පත්වේ. ලංකාවට පැමිණෙන දිලීප ඇගේ නොකමැත්ත නොසලකා නිෂාදිව නැවත මෙල්බර්න් රැගෙන යයි. එහිදී නිෂාදි අනුරාධ නිසා ගැබ්ගෙන ඇති බව දැනගත් පසුව ද දිලීප ඇය අතහැර නොදමන්නට තීරණය කරයි. එය නොතකා දිලීප හැර යන නිෂාදි පසුව තමන් රඟන සිනමා පටයක් තිරගත කිරීමට ඕස්ටේ්‍රලියාව එන අනුරාධ සමග නැවත එක්වේ. ඒ අනුරාධව මරා දමා තමා ද මිය යාමට දිලීප කරන සැලසුම ඔහුගේ දුර්වල සිත නිසා ව්‍යවර්ථ වීමෙන් අනතුරුවය.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ "තාරකා විජිතය" නවකතාවේ ඉහත කී අන්තර්ගතය වනාහී සෑබෑවීමට අතිශයින්ම අඩු සම්භාවිතාවයන් සහිත සංසිද්ධීන් කිහිපයක සමපාතවීමක් ලෙසින් පමණක් සාධාරණීකරණය කළ හැක්කක් බවයි. තනිව ලංකාවට ගොස් සිටියදී විනෝද ගමනක් යන නිෂාදී ට අනුරාධ නම් නළුවා හමුවීම, ඔවුන් වචන කිහිපයක් පමණක් කතාබහ කරන දෙවන දිනයේම ලිංගිකව එක්වීම, එක් ලිංගික එක්වීමකින් පමණක් කාන්තාවක් ගැබ් ගැනීම, ඔවුන් එක්ව මෝටර් රථයක යන ප්‍රථම අවස්ථාවේදීම එය අනතුරකට ලක්වීම මේ ආකාරයෙන් සමපාත වී ඇති අසම්භාවී සිද්ධීන් කිහිපයකි.

එපමණකුදු නොව, "තාරකා විජිතය" නවකතාවේ විශ්වාසනීත්වය බිඳෙන තවත් අතාත්වික කරුණු කිහිපයක් ද වේ. ජනප්‍රිය නළුවෙකු වූ අන්සතු තරුණ බිරිඳකට උන්මත්තකව මෙන් ආදරෙන් බැඳීම, පූර්ණකාලීන ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් නැතුවා සේ හැසිරීම, තරුණ සැමියෙකු අනාචාරයේ හැසිර අවජාතක දරුවෙකු ද කුස තුල දරා සිටින තම බිරිඳ ගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම් ද නොසලකා ඇය ම පැතීම, උගත් තරුණියක් වසර පහක් පැරණි විවාහයක බැඳී සිටින මිනිසෙකු පැතීම ඒ අතර වේ.

තාත්විකත්වය සොයන විචාරකයෙකු ලෙස මා එලෙස දුටුවද මේ අසාමාන්‍ය සිද්ධීන් සහ තරමක් අතාත්වික ලෙස පෙනෙන හැසිරීම් මාලාවම ජගත් ජේ එදිරිසිංහ ගේ "තාරකා විජිතය" නවකතාව ලාංකික සිංහල නවකතා පාඨකයින් ගේ බහුතරයක ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවෙන්නට හේතුවිය හැකි බව ද මට පෙනේ. වෙනත් වචන වලින් කියතොත් ”තාරකා විජිතය” නවකතාවේ අන්තර්ගතය තුල ජයග්‍රාහීත්වයේ සූත්‍රය ගැබ්ව ඇත.

ඒ සමගම පෙනීයන තවත් කරුණක් වන්නේ "තාරකා විජිතය" නවකතාව කෙලින්ම ජනප්‍රිය වට්ටෝරුවේ සිනමා පටයක් කරන්නට හොඳින් ඉඩකඩ තිබෙන බවයි. සුදුම සුදු සේ සහ කළුම කළු සේ බැළු බැල්මට පෙනෙන චරිත, ලෝකාන්තයේ දී සිදුවෙන අහඹු හමුවීම්, නුවර එලියේ දර්ශන, මෝටර් රථ අනතුරු, ගුවන් තොටුපොලේ කෙරෙන සමුගැනීම් සහ මුණ ගැසීම් මෙන්ම මාරාන්තික මෝටර් රථ පැදවීම් ද මෙහිදී සිත් ඇද ගන්නා දර්ශන මවනු ඇත.

කරුණු එසේ වුව ද, මේ ජනප්‍රිය කතාව අති සරලව ඉදිරිපත් කරන්නට ජගත් ජේ. එදිරිසිංහ නවකතාකරුවා තුල සිටින ව්‍යක්ත ලේඛකයා ඉඩ නොදීම සතුටට කරුණකි. අද ලංකාවේ දුසිම් ගණනින් ප්‍රකාශයට පත්වෙන ”මිල්ස් සහ බූන්” වර්ගයේ අති සරල නවකතාවල මෙන් නොව ”තාරකා විජිතය” නවකතාව පුරාම භාවාත්මක මෙන්ම භාවපූර්ණ දෙබස් සහ ස්වයංභාෂණ මගින් එහි අඩංගු අසාමාන්‍ය චරිතවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් දෙස යම් දුරකට විශ්ලේෂණාත්මකව බැලීමක් සිදුවී ඇති බව කිව යුතුය. එහෙත් එමගින් ආවාර්ය උපාධි ශිෂ්‍ය දිලීප ගේ සංඛීර්ණ චරිතය මුළුමනින් සාකච්ඡා නොවීම කණගාටුවට කරුණකි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මගේ නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව අඩු තක්සේරුවක් ලැබුනද ජගත් ජේ. එදිරිසිංහගේ "තාරකා විජිතය" නවකතාව සිංහල නවකතා කියවන්නන් ගේ පොදු රසාස්වාදය ඉහල නංවන කෘතියක් බවට සැකයක් නැති බවයි.


ජගත් එදිරිසිංහ ගේ අනෙක් පොත් ගැන ලියවුණු පොත්-කතන්දර.
1. ඉස්කෝලෙ කාලේ
2. අදිසි
3. අසුර අඩවිය

-කතන්දරකාරයා


Tuesday, 24 September 2013

මෙඩිකල් ෆැකල්ටියේ ශිෂ්‍යාව මානසික රෝගියාගෙන් ඇසූ පැණය - Ah, these medical faculty chicks, don't we love them all?


ඔන්න දැන් ටික කාලකෙට කලින් මට සිද්ධ වුනා හොස්පිටිතාලෙක සතියක් දෙකක් තපින්න.

වරදවා වටහා ගන්න එපා, ඒක මගේ උවමනාවකට වෙච්ච දෙයක් නොවෙයි. නමුත් එහෙම නොකර ඉන්න මට හැකියාවක් තිබුණෙත් නෑ.

ඔන්න මට ටිකක් සනීප වේගෙන එනකොට, නහයෙන්, බෙල්ලෙන් දාපු බට ගලෝලා, එහෙන් මෙහෙන් හයි කරපු වයර් ගලෝලා දැඩි සත්කාර ඒකකයේ හිටපු මාව දැම්මා වෙන වාට්ටුවකට.

මේකේ එක කාමරයක ඇඳන් හතර ගානේ තියෙනවා. එක ඇඳක හිටියා අංකල් කෙනෙක්.

මේ කියන හොස්පිටිතාලේ ශික්ෂණ රෝහලක්. ඒ කියන්නේ විශ්ව විද්‍යාලේ වෛද්‍ය පීටර් ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මෙතන නිරතුරු ගැවසෙනවා.

ඔන්න මේ වගේ ශිෂ්‍යාවෝ දෙන්නෙක් ආවා මං හිටපු කමරේට. ඒ දැක්කා විතරයි අර අංකල් කට ඇද කරගත්තා.

පස්සේ මං දැනගත්තු විදියට මේ අංකල් ගේ කේස් එක හරිම ඉන්ටරෙස්ටින් එකක් හින්දා වෛද්‍ය පීටර් ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ වැල නොකැඩී ඇවිත් ප්‍රශ්ණ අහනවා, පරීක්‍ෂා කරනවා එක විකාරයයි ලු. ඉතිං අංකල් ට මේ වැඩේ එපා ම වෙලා.

එදා මේ කියන ශිෂ්‍යාවෝ දෙන්නා මා ලඟටත් ඇවිත් විවිධ ප්‍රශ්න ඇහැව්වා. මං නං ඒවට උත්තර දුන්නේ කැමැත්තෙන්මයි. මොකද, මොනවා කළත් ශිෂ්‍යයින්ට උදව්කරන එක අපේ යුතුකමක් නිසා.

හැබැයි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන රීපීට් රෙකෝඩින් කරන්න ගියා නං ඒ අංකල්ට වගේ මටත් එපා වෙන්න ඉඩ තිබුණා.

ඔය සිද්ධිය මතක් වුනේ මේ ගිය සුමානේ අහපු කතන්දරයක් ලියන්න ඕනෑ කියලා හිතුණු වෙලාවෙයි.

මේකයි ඒ කතාව.

ඔන්න මීට අවුරුදු බර ගාණකට කලින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්තු ශිෂ්‍ය කණ්ඩායමක් මේ වාගේ රෝගීන් පරීක්‍ෂාවකට එක්කෝ පේරාදෙනියේ ශික්‍ෂණ රෝහලට එහෙමත් නැත්තං මහනුවර රෝහලට ගිහින් තියෙනවා.

එදා මේ කණ්ඩායම රෝගීන් ලඟට ගිහින් තියෙන්නේ ඒ කාලේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකුත් එක්කයි.

මේ ගොල්ලෝ එදා පරීක්‍ෂා කරලා තියෙන රෝගියා මානසික ආබාධයක් තියෙන ලෙඩෙක්.

ඉතිං මහාචාර්යවරයා රෝග තත්වය සැකෙවින් පැහැදිලි කරලා ශිෂ්‍යයින්ට කියලා තියෙනවා රෝගියාගෙන් ප්‍රශ්න අහන්න කියලා.

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ඇහිල්ල කරන්නේ ලෙඩා ගේ රෝගී තත්වය ගැන අදහසක් ගන්නයි. දැන් ඉතිං කොල්ලෝ කෙල්ලෝ විවිධ ප්‍රශ්න අහනවා ලු.
නම මොකක්ද?
කොහෙද ගම?
වයස කීයද?
අද දවස කවදාද?
ඊයේ රෑට මොනවාද කෑවේ?
ලංකාවේ රජතුමා කවුද?
රෑට නින්ද යනවාද?
ඔය වගේ ප්‍රශ්න.

ඉතිං ලෙඩාත් ඕවට උත්තර දෙනවාලු.

මේ ශිෂ්‍යයින් අතර හිටපු එක්තරා ශිෂ්‍යාවක් අහලා තියෙනවා මෙන්න මෙහෙම.

"ඔයා කසාද බැඳලාද?"

ඒ ප්‍රශ්නය ඇහුණා විතරයි මේ ලෙඩාට ආවා ලු හොඳම හිනාවක්!

"මෙන්න මේ නෝනාට විතරයි මගේ ප්‍රශ්නේ තේරුණේ!" පොර ඉතාමත් සන්තෝසෙන් කිව්වා ලු.

ලෙඩා ගේ රෝග නිධානය අන්න එහෙමයි හෙලිවුනේ!

-කතන්දරකාරයා

(image: http://www.kidderminstermedicalsociety.co.uk/new_page_60.htm)

Monday, 23 September 2013

නිකං දුන්නත් මේ පොත නං නොදකින් - රෝහණ විජේවීර ප්‍රෝඩාව : Dont buy this book


මං මේ වෙනකොට කතන්දර බ්ලොග් එකේ පොත්-කතන්දර දහපාළහක් ම පලකරලා තිබුණාට ඒ එකක්වත් පොතක නරකක් කියපු ඒවා නම් නොවෙයි.

හැමදේට ම පළමුවෙනි පාරක් තියෙනවානේ. අද ඒ දවසයි.

මෙන්න මගේ අවවාදය මුලින් ම.

ඔය උඩින් කවරේ දාලා තියෙන ඔරුවල බන්දු ගේ නමින් දයාවංශ ජයකොඩි සමාගම පළකරපු පොත, ඒකේ නම විතරක් දැකලා නම්, මිළ දී ගන්න නම් එපා.

මේක මාර රැවටිල්ලක්!

පොත් ලයිස්තුවකින් මං මේ පොත ගැන දැක්කා. නම දැක්ක ගමන් කියවන්න ඕනෑ කියලා හිතුණා. මට එකක් ඕනෑ ය කිව්වා. සල්ලි දීලා ගත්තා. මං අහුවුණා!

මං මේ පොත ගන්න ඕනෑය කිලා හිතපු හේතු මෙන්න මේවායි.

1. මේ පොත ලියපු ඔරුවල බන්දු ගේ වෙනත් පොත් මං කියෝලා තියෙනවා. විශේෂයෙන් පොර එක්දාස් නමසිය හැටගනංවල මුල හරියේ රුසියාවේ ඉගෙන ගන්න ගිය කාලේ වුණු සිදුවීම්වල වාර්තා සහිත නවකතා. ඒ එක්කම පස්සේ කාලෙක, මං හිතන්නේ හැත්තෑව දශකයේ වෙන්න ඕනෑ, පස්තාච්චි කුපාඩි වැඩක් කරන්න ආපහු රුසියාව ගිහින් රුසියාවේ නිලධාරීන් ගේ කරදරවලට ලක්වෙලා ආපහු ඇවිත් ලියපු සෝවියට් සිර මැදිරියේ සිට කියන පොතත් මට හොඳට මතකයි. මේවා නවකතාවලට වඩා නිකම්ම වාර්තාමය සටහන් වුනත් නොදන්නා රටක නොදන්නා දේවල් ගැන ඒක පාර්ශවික හෝ විස්තරයක් දැනගන්න එකේ වරදක් නෑ. ගන්න දෙයක් තියෙනවා.

2. රෝහණ විජේවීර කියලා කූප්‍රසිද්ධ වුණු, නන්දසිරි විජේවීරත් ඔය ඔරුවල බන්දු ගේ කාලේම තමයි රුසියාවේ මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ගිහින් තියෙන්නේ.

3. අනික මේ දෙන්නාම දැන් මැරිලා මිය පරලොව ගිහින්. හැමදාම නෑ, හැම තැනම නෑ!

ඉතිං ඔය කරුණු නිසා මට හිතුණා ලේඛක ඔරුවල බන්දු තම සමකාලීන විජේවීර විප්ලවවාදියා ගැන ලියපු දේ කියවන්න ම ඕනෑ ය කියලා.

මං පොත අරගෙන කියවන්න පටන් ගත්තා.

සාමාන්‍ය ඔරුවල බන්දු ගේ වාර්තාමය ශෛලියෙන් ම තමයි පොත ලිවිලා තියෙන්නේ. මුල් හරිය ටිකක් උනන්දුවෙන් කියෙව්වා. පොර කොල්ලා කාලේ රුසියාවේ යනවා. විජේවීරත් හමුවෙනවා. හැටේ දශකයේ රුසියාව ගැන සුපුරුදු විස්තර තියෙනවා. කොහොමින් කොහොමින් හරි පොත අවසානය දක්වාම කියෙව්වා.

දැන් මෙන්න මේ පොත මිලට නොගත යුතු වීමට හේතු.

1. මේ පොතේ නම රෝහණ විජේවීර වුණාට කතාවේ ප්‍රධාන චරිතය විමල් නොහොත් ඔරුවල බන්දුයි.

2. පොතේ අන්තර්ගතයෙන් 95% ක් ම තියෙන්නේ තියෙන්නේ මේ විමල් චරිතයේ කතාවයි. ඔහු ගේ විස්තරයි. කොටින්ම රුසියාවේ, යුරෝපයේ විමල් ආ ගිය තැන්, කළ කී දේ, ලංකාවේ නාලන්දේ විමල් ඉගැන්වූ කාලය ගැන විස්තර, විමල් ලියූ කවි, ගී යනාදිය ගැන මේ පොතේ සවිස්තරාත්මකව සඳහන් වෙනවා. විජේවීර ගේ නමත් අතරින් පතර, එහෙන් මෙහෙන්, පොඩ්ඩක් විතර සඳහන් වෙනවා.

3. ඒ කියන විමල් ගේ විස්තරවල බහුතරයත් අමුතු ඒවා, අළුත් ඒවා නොවෙයි. ඔරුවල බන්දු කලින් ලියපු පස් අවුරුද්ද, බීරියෝසා, වානේ වගේ පොත්වල තිබුණු දේවල්මයි. මං හින්නේ කෙලින්ම කට් ඇන්ඩ් පේස්ට්!

4. ඒ මදිවාට, එකම කවි පන්ති කිහිපය විවිධ තැන්වල දෙතුන් වර දාලා තියෙනවා. හරියට ඩිමෙන්ෂියාව ගැන අත් පොතක් වගේ.

5. කතාවේ අග හරියේ කාල වකවානු අම්බානක අවුල්. ඓතිහාසික කතාවක් වුණාට, මේ පොතේ ටයිම් ලයින් එක ගැන නම් කියලා වැඩක් නෑ!

6. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ! විජේවීර රුසියාවේ ඉඳලා තමන්ගේ ඩිග්‍රිය ඉවර කරන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා මෙහේ නවතිනවා. ඔරුවල බන්දු එහේ වැඩ ඉවර කරලා, යුරෝපයේ රස්තියාදු ගහලා පස්සේ ලංකාවට ඇවිත් මෙහේ ජීවත්වෙනවා. කොහොම හරි කතාවේ අන්තිම වෙනකොට තේරෙන විදියට මේ දෙන්නා අවුරුදු විස්සක් ම එකට ලංකාවේ හිටියාට එකිනෙකා මුණ ගැහිලා තියෙන්නේ දෙතුන් පාරක් විතරයි. කොටින්ම හැත්තෑ එකේ කැරැල්ල ගැන, විජේවීර ගේ සිර ජීවිත කාලය ගැන, මට මතක හැටියට මේ පොතේ එක වචනයක්වත් නෑ.

පොත කියවලා ඉවර වුනාම මට දැනුනේ, අයියෝ අනේ අපරාදේ මගේ චූටි සුපියල් තුන්සිය කියලයි!

සල්ලි කෙසේ වෙතත් ඇතිවෙන ඉච්ඡාභංගත්වය සහ කේන්තිය ගැන නං කියලා වැඩක් නෑ.

ඒ හින්දයි මං කිව්වේ "නිකං දුන්නත් මේ පොත නං නොදකින්!" කියලා.

හැබැයි, ඔරුවල ඔන්දුගේ වෙනත් පොත් කියවලා නැති අයට මේ පොත නිකං හම්බ වුනොත් නං නොගෙන ඉන්න එපා.

ලූනු බිකත් බඩට නේ!

-කතන්දරකාරයා

මෙය සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන තවත් පොත්-කතන්දරයකි.


Sunday, 22 September 2013

ඡන්දෙන් පැරදුණු අයට කෑමෙන් පසු කන්න සුවිශේෂී අතුරුපසක් - Easy to make dessert to wash your election blues away



දැන් ඉතිං අපේ අයියලා සමහරු ඡන්දේ දිනලා හෝ ගාලා සතුටෙන් ඇති. අනිත් කෂ්ටිය නම් අම්බානකට පැරදිලා දුකෙන් පුං පිට කර කර ඇති.

අපේ අම්මා කියලා තියෙනවා ඉස්සර කාලේ යුඇම්පී එක ඡන්දෙන් පැරදුණාම, සිරි ලංකාකාරයෝ කරන්නේ යුඇම්පී අය ගේ ගෙවල්වලට කිතුල් අතු දානවාලු. මොකද අලියෝ කිතුල් කොල කන්න ආසා නිසා.

හැත්තෑ හතේ මුළු රටම වගේ යූඇම්පීකාරයෝ දිනපු පාරනම් හොඳ හොඳ කෑම කන්න දුන්නානේ සිරිලංකාකාරයින්ට!

මට හිතුණා ඊට වැඩිය හොඳයි කියලා පැරදුණු අයට අද ඉරිදා දවල්ට බත් කාලා කන්න රහම රහ අතුරුපසක් හදන හැටි කියලා දෙන එක.

මේ අතුරුපස අම්බානක රහ වුණත් හදන්න හරිම ලේසියි.

දැන් සති දෙකකට කලින් මාත් කෑවා දුක හින්දා ම!

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය
1. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්.
2. අයිස් ක්‍රීම්
3. චොකලට් බිස්කට් එකක්
4. පිහියක්
5. දීසියක්


සාදා ගන්නා ක්‍රමය

කෙසෙල් ගෙඩිය කුඩා පෙතිවලට කපා ගෙන දීසියට දමන්න. කෝලිකුට්ටු, ඇඹුල් යනාදියට වඩා ආනමාළු, ඇම්බුං වඩාත් හොඳයි.


එයට උඩින් අයිස් ක්‍රීම් දමන්න. වැනිලා අයිස්ක්‍රීම් නම් වඩාත් හොඳයි. අන් රස ද ප්‍රශ්නයක් නැත.


චොකලට් බිස්කට් එක කුඩා කුඩු ප්‍රමාණයට කුඩුකර උඩින් ඉසින්න. මා බිස්කට්ටුව කුඩු කර ගන්නේ, කඩදාසි බැගයක් ඇතුලට එය දමා පිහි මිටකින් තැලීමෙනි.


දැන් හැන්දකින් ටිකෙන් ටික කමින් රස විඳින්න.

පැරදුණු දුකට කන්න විතරක් නොවෙයි, දිනපු සතුට සමරන්න කන්නත් මේක ඉතා හොඳ අතුරුපස ජාතියක්!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් සරල රෙසිපියක්. කුළුබඩු රස සහිත ස්පයිසි බිත්තරයක් තම්බා ගන්නා හැටි.
http://kathandara.blogspot.com/2012/04/how-to-make-spicy-boiled-egg.html


(image: http://depositphotos.com/3360008/stock-illustration-Winners-and-losers.html)

Saturday, 21 September 2013

ජුකී තරුණිය හෙවත් සුරඟන කුමරිය ගේ වාසනාව - September book review series continues...



"මිල්ස් ඇන්ඩ් බූන්" කියලා ඉංගිරිසි නවකතා පොත් වර්ගයක් තියෙනවා. පත්තර කඩදාසිවල ලාබෙට ප්‍රින්ට් කරලා වර්ණවත් කවරයක් එක්ක එන මේ පොත් හැම එකක ම වගේ තියෙන්නේ සරල ආදර කතන්දර කියලයි කියවෙන්නේ. අර කොල්ල පෝසත් කෙල්ල දුප්පත්, කොල්ල දුප්පත් කෙල්ල පෝසත් යනාදී විවිධ වර්ගවලට අයිති පෙම් කතන්දර, දන්නවනේ? අන්න ඒ වගේ එව්වා!

මං සෑහෙන කාලෙකට කලින් මේ ජාතියේ "මිල්ස් ඇන්ඩ් බූන්" පොතකින් පිටු කිහිපයක් කියෝලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොත් ලියවෙන්නේ, මාකට් වෙන්නේ කාන්තා වෙළඳ පොල අරමුණු කරගෙනයි.

මේ ජාතියේ කතා වලට සිංහලෙන් "මල් කතා" කියල කියන්න පුළුවනි. මෙතනදී මල් කියන්නේ ගෑල්ළමයි සම්බන්ධ නිසයි, අර මල් පාත්තිය, මල් කඩනවා යනාදී යෙදුම්වල එනවා වගේ.

මං දන්න තරමින් ලංකාවේ "මල් කතා" විශාල ප්‍රමාණයක් මුද්‍රණය වෙනවා. මං එකක්වත් කියවලා නැති වුණත් සුජීව ප්‍රසන්න ආරච්චි සහ චන්දි කොඩිකාර ලියපු නවකතා මේ ගොඩට අයිතියි කියලයි කියවෙන්නේ.

"චාතුර්යා" කියන සෙට් එකෙන් නම් පොත් හතරක් ද කොහෙද මං කියෝලා තියෙනවා. ඒකත් මල් කතාවක්. මල් ම මල්. ටෙලියකුත් ආව නේද?

මල් කතාවලට මාකට් එක හොඳයි කියලා දැනගෙනද කොහෙද සමන් දිසානායක කියන ලේඛකයාත් මල් කතාවක් ලියන්න උත්සාහ කරලා තියෙනවා.

මෙන්න ඒ "සුරඟන කුමරිය" කියන නවකතාව ගැන කෙරුණු විචාරයක් සාහිත්‍ය මාසය වෙනුවෙන් අද පලවෙන පොත්-කතන්දරය විදියට.


"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත්  අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැකය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.


-කතන්දරකාරයා

ප/ලි:
අවුරුදු තුනකට විතර කලින් මං කරපු "පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ද? දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ද?" නවකතා වර්ගීකරණය ගැන සමීක්‍ෂණයේ ප්‍රථිපල ගැන විස්තර මෙතනින්.
http://kathandara.blogspot.com/2010/06/blog-post_01.html


Friday, 20 September 2013

සායි බබා ගේ අහවල් අවයවය සහ පිං පඬුරුවල බලේ - The easiest and cheapest way to get away with traffic offences


මේ පෙරේදා ද කොහෙද කතරගම දෙයියා ගේ බර්ත් ඩේ එක දවසේ පොරගේ අවතාරයක් බලන්න කෂ්ටිය හෝ ගාලා සෙට් වුනාට, පාටියට දෙයියා ආවේ නෑ. පුජා භාණ්ඩ, පඬුරු ටික ඒජන්ට් ලා දම්මලා ගත්තා විතරයි. ඒත් මං කියන්නේ නෑ කතරගම ගොයියා හොරෙක් ය කියලා.

ඇත්ත හොරු සෙට් එක තමයි කතරගමයියාව අපේ මෝඩ අයියලාට කිලෝ ගාණට විකුණනාගෙන කන කපටි නැකත්කාරයෝ, ආචාරියෝ සහ කපුවෝ.

හැබැයි පහුගිය දවස්වල මිය ගිය සායි බබා කියන ඉන්දියන්කාරයා නම් පට්ට හොරෙක්. (වයසින් වැඩිමහල් කෙනෙක් හින්දා මං බබයියා කියන්නම්).

සායි බබයියා ගේ රත්තරන් බඩු හොර වැඩ, අළු එක්ක, දිලීර එක්ක කරන මැජික් ගැන ඕනෑ තරම් විස්තර ලියවිලා, වීඩියෝගත වෙලා තියෙන නිසා මං ඒ ගැන අමුතුවෙන් ලියන්න යන්නේ නෑ.

සායි බබයියා ගැන කාලෙකට ඉස්සර පැතිරලා තිබුණු කතාවක් තමයි, එක දවසක් සායි බබයියි, තව කෂ්ටියකුයි ගමනක් යන කොට පැට්‍රෝල් නැතුව වාහනේ නතර වුණු වෙලේ, පොර වතුර ගෙනිච්ච කෑන් එකට ඇගිල්ල දාලා කරකෝලා ඒ වතුර කෑන් එක පැට්‍රෝල්වලට හැරෙව්වාය කියන එක.

ලංකාවේ හිටිය අංක එකේ උපහාසාත්මක ලේඛකයෙක් වෙන සිසිර කුමාර මාණික්කආරච්චි සායි බබයියා ගේ මේ විකාර ගැන හොඳ සරදම් ලිපියක් ලියලා තිබුණා. මේ ලිපිය මං කියෙව්වේ මාණික්කාරච්චි ගේ පොතක තිබිලයි.

මං හිතන්නේ මේ ලිපිය ලියපු කාලේ ඔපෙක් සංවිධානයෙන් බොර තෙල් නිෂ්පාදනය සීමා කරලා තෙල් මිල ඉහල ගිය කාලයක්.

සායි බබයිය ගේ කලින් කියපු පෙට්‍රෝල් මැවුම ගැන කියලා මාණික්කආරච්චි සායි බබයියාගෙන් ඉල්ලනවා "අනේ බබෝ, අපිට අනුකම්පා කරලා ලංකාවට එන්න, ඇවිල්ලා එක්කෝ ඔයා ගේ ඇඟිල්ල හරි නැත්නම් අහවල් අවයවය හරි බේරේ වැවට දාලා හොල්ලලා මුළු බේරේ වැවම පෙට්‍රෝල් බවට පත් කරන්න!" කියලා.

මේ කතාව මට මතක් වුනේ පහුගිය අඟහරුවාදා (17 සැප්තැම්බර්) මං ලියපු "දානයේ ආනිසංස" කියන පොත්-කතන්දරේ පිවිසුම ලෙස මං ලියපු පරණ කතන්දරයක කොටසක් ගැන සිංහල බ්ලොග් පාඨකයෙක් වෙන සමරසේකර දාලා තියෙන කමෙන්ට් එක හින්දයි.

මෙන්න ඒ පිවිසුමේ මං ලියපු වාක්‍යය.
පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.
මෙන්න සමරසේකර ගේ කමෙන්ටුව.
මට ඔබේ මතයට එකඟ වෙන්න බැහැ. බස් එකේදී උනත් නුවර ඉඳල කොළඹට යනකොට ගැටඹේ බෝධියට පඬුරක් දමන්න හා ආසනයෙන් නැගිට බෝධියට වඳින්න මා පැකිලෙන්නේ නැහැ.

දැන් දින කීපයකට පෙරදී මා යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් කාර් එකකින් නුවරින් හැටන්, බලන්ගොඩ, හපුතලේ හරහා නුවරඑලිය පාරෙන් ආපහු නුවරට එන ගමනක් ගියා. කාර් එක ඉල්ලා ගත්තේ සවස බැවින් මට ලයිට් පරික්ෂා කරන්න බැරිඋනා. බැලින්නම් පත්තු වෙන්නේ හෙඩ් ලයිට් දෙක විතරයි. පිටිපස්සේ ලයිට් බ්රේක් ලයිට් මොකුත්ම නැහැ. ගමන නොයාත් බැහැ. මග දිගටම ට්‍රැෆික් පොලිස් ඉන්න නිසා දඩ කොළ ෂුවර්මයි. මම බොහොම අමාරුවෙන් ගැටඹේට ගිහිල්ල පඬුරක් දමල ආරක්ෂාව පතල ගමන ගියා. එන කල්ම කිසිම පොලිස් පරීක්ෂාවක් උනේ නැහැ. තැන් දෙකකදීම මට ඉස්සරහින් හිටි වාහනය නැවැත්තුවා.

මිට පෙර වතාවකදීත් මගේ ෆොක්ස්වාගන් කාර් එකේ වැලිමඩට ටන කොටත් ගියේ ගැටඹේට පඩුරක් දමල පෙරාදෙණියේ ඉඳල මම ගිහින් තියෙන්නේ බැටරි කරන්ට් එකෙන් කියලා දැන ගත්තේ ගෙදර ගියාමයි. ඒක හදා ගන්න බණ්ඩාරවෙලට ගියත් වැඩක් උනේ නැහැ. මම හිතුවේ නංගිගේ කාර් එක ඉල්ලගෙන ආපසු එනවා කියල. ඒ උනත් එයාට මගේ ගැටලුව තේරුනේ නැහැ. සවස පහේ ඉඳල මම සහ පවුලේ අය ආපහු නුවර එන්න පටන් ගත්තා. එන්ජිම නවත්වන්නේ නැතිව හෝන් ගහන්නේ නැතිව පාකින් ලයිට් වල පිහිටෙන් නුවරටම ආව. එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි. එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල.

මම කියන්න හදන්නේ මුලින්ම භක්තිය සහ ශ්‍රද්ධාව වගා කර ගන්න කෙනාට පිහිට ලැබෙනවා නියතයි.
ඔන්න නුවර පලාතේ ඉන්න, ගැටඹේ හරහා වාහන පදවන අයට හොඳ චාන්ස් එකක්. තමන් ගේ පාරේ යාමට සුදුසු තත්වයක නැති වාහනය පාරේ යනෙන අන් අය ගේ ආරක්‍ෂාව ගැන නොතකා පදවමින් දඩ කොළවලින් ද බේරෙන්න දැන් ක්‍රමයක් තියෙනවා.

ගැටඹෙට පඬුරක් දාන එක විතරයි තියෙන්නේ...!!!

මගදී පොලිසියෙන් නවත්වලා දඩ කොළයක් හෙම දෙන්න ගියොත් ඒ අයට පොඩ්ඩක් මතක් කරන්න පිං පඬුරු ඩේටාබේස් එක චෙක් කරන්න කියලා එච්චරයි.

ඒ එක්කම වාහනයේ ඕල්ටර්නේටර් එක කැඩිලා නං ඒක හදන්න මහන්සි වෙන්න ඕනෑ නෑ.

ගැටඹෙට දාන එක පඬුරකින් කිලෝ මීටර් සියක් වුණත් යන්න පුළුවනි. මාතරම යනවා නං පඬුරු දෙකක් දාන්න.

-කතන්දරකාරයා

ප/ලි:
පස්සෙයි මතක් වුනේ, පඬුරු විතරක් මදි ශ්‍රද්ධාවත් ඕනෑ. ග්‍රෑම් දෙසිය පනහක් කීයද මන්දා දැන් ඒවා!

(image: http://www.graffitiwithpunctuation.net/2012/10/06/shaun-micallefs-mad-as-hell-dvd-giveaway/)

Thursday, 19 September 2013

ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"


අන්න මන්දනාත් රටින් ගිහිල්ලා. අහන්න දෙයක්යැ? ලසන්ත ගිය පාරේ යන්න කවුද කැමති, නේද?

සුදු වෑන් ගැන, ජාවාරම්කාර දේශපාලුවන් ගැන, මරා දැමෙන පත්තරකාරයින් ගැන, ඇස් කන් ඇරගෙන ජීවත්වෙන අයට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

නමුත් ඒ කියපු දේවල් ගැන ලියවුණු නවකතා නම් මං කියවලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයින් එකක් තමයි හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" කියන නවකතාව.

හේමාල් ජයවික්‍රම පේරාදෙනියේ ඉගෙන ගත්තු ඉංජෙක්. පොර නැගී එන ගායකයෙක්. කවි, කෙටිකතාත් ලියනවා. දැන් මේ ලඟදී ඉඳලා අංකුර නවකතාකාරයෙක්.

මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන පොත්-කතන්දර සීරීස් එකේ අද එපිසෝඩ් එක විදියට හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" නවකතාව ගැන පොඩි විචාරයක්.


සාහිත්‍යමය නිර්මාණයන් හි බොහෝ දුරට අඩංගු වන්නේ රචකයාගේ ප්‍රථමික හෝ ද්විතීය අත්දැකීම් වේ. තමන් ගේ අත්දැකීම්වලට වඩා මුළුමින්ම පරිබාහිර පසුබිමක් හෝ වස්තුබීජ හෝ පදනම් කරගෙන නිර්මාණකරනයේ යෙදෙන්නෝ ද සිටිති. හේමාල් ජයවික්‍රමට තම "මනුලී" ප්‍රබන්ධය සඳහා මූලික වස්තු බීජ සපයා ඇත්තේ, දරුවන් මුදලට විකිණීම, පාතාල ලෝකයේ අවි ජාවාරම් සහ මෙහෙනි සස්න යන, මා සිතන අයුරින්, ඔහුට කෙලින්ම අත්දැකීම් නොමැති කාරණා කිහිපයකි.

මෙවැනි ප්‍රබන්ධයක් රචනාකරන නවකතාකරුවා ට, තම නිර්මාණය සැබෑ ලෝකයට පරිබාහිරව තිබෙන සංසිද්ධීන් මාලාවක් පමණක් වීමේ අනතුරෙන් මුදවාගෙන යතාර්ථයට හැකිතාක් දුරට සමීප කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේ. එසේ නොවුණු විට, එනම් නිර්මානය යතාර්ථයෙන් දුරස් වූ විට, පාඨක චිත්ත සන්තානය තුල නිර්මාණය පිළිබඳව ඇතිවන්නේ අවිශ්වාසයකි.

මේ අවශ්‍යතාවය හොඳින් හඳුණාගෙන, ඒ සමගම, ඒ සඳහා නිර්මාණකරුවෙකු ට උපයෝගී කරගැනීමට ඇති විධිධ ක්‍රම මැනවින් ග්‍රහණය කරගෙන ඇති හේමාල් ජයවික්‍රම, තම නිර්මාණයේ දී එහි කතා වස්තුවට පරිසරය වී ඇති ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජමය සංසිද්ධීන් හැකි සෑම තැනම අවශ්‍යය පරිදි සාර්ථකව යොදාගෙන ඇති බව පෙනේ.

කූප්‍රකට සුදු වෑන් වලින් ගමන් බිමන් යමින් සාක්ෂි සපයන්නන් එක්කෝ අනවශ්‍ය පරිදි බියගන්වා හෝ නැතිනම් සටකපටකම් මගින් රවටා හෝ විවිධ ආර්ථික වාසි ලබා ගන්නා පොලිස් නිළධාරීන්, අමානුශික ළදරු ජාවාරමක් මෙහෙයවන දේශපාලඥයින්, පක්ෂග්‍රාහීව, හිතවත්කම් මත පදනම්ව සහ ඊටත් වඩා තුන්වන සහ පස්වන සිල්පද කඩමින් ක්‍රියාත්මක වෙන දේශපාලකයින් සහ ඔවුන් විසින් නිදහස් කරගන්නා ලබන පොලිස් නිළධාරීන් මේ ප්‍රබන්ධයේ එන චරිත කිහිපයකි. ඔවුන් වටා ගොඩ නැගෙන සංසිද්ධීන් මගින් මේ ප්‍රබන්ධය නවකතාකරුවා ඉතා අගනා අයුරින් තාත්වීයකරණය කර ඇත.

"මනුලී" නවකතාවේ එන පුවත්පත් කලාවේදිනිය ගේ ඝාතනය මා සිත සසල කළේ ය. අප දන්නා පරිදි පසුගිය දශක දෙකක පමණ කාලය ඇතුලත ලංකාවේ පුවත්පත් කලාවේදීන් විසි දෙනෙක් පමණ ඝාතනය කර තිබේ. මීට අමතරව, පසුගිය වසර පහක පමණ කාලය තුල පැහැරගෙන ගොස් වද හිංසන වලට ලක් කරන ලද පුවත්පත් කලාවේදීන් සංඛ්‍යාව ද පනහ ඉක්මවයි. මින් බොහෝ දෙනෙකුට තම ජීවිත ආරක්ෂාපව පතා රටින් පැන යාමට සිදුවී ඇත.

ලංකාව පසුබිම් කොට ගෙන රචනා කෙරෙන ප්‍රබන්ධයක් තාත්වීයකරණය කිරීමට අද උපයෝගී කරගත හැකි මෙයට වඩා වෙනත් තත්කාලීන සත්‍යයක් තවත් නොමැති තරම් ය.

මා දකින ආකාරයට, හේමාල් ජයවික්‍රම ලියූ "මනුලී" නවකතාව, රචකයෙකුගේ ප්‍රථම නිර්මාණයකට වඩා ඉතා ඉහලින් පවතින්නකි. මේ ප්‍රබන්ධය ගොඩ නගා ඇති ආකාරය, චරිත නිර්මාණය, දෙබස් සහ භාෂා රටාව ගැන සලකන විට ඉස්මතු වී පෙනෙන්නේ නවකතාකරුවා ගේ පරිනතභාවය සහ කුසලතාවයි. මෙම කෘතියේ පසුවදනේ ද සඳහන්වෙන පරිදි, දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය නිර්මාණ ඇසුරින් හේමාල් ජයවික්‍රම ලබා ඇති පරිචය ”මනුලී” නවකතාවෙන් හොඳින් විදහා දැක්වේ යැයි මම සිතමි.


මෙය මාසික සඟරාවක (2011) පළවුණු ලිපියකි.

කතෘ ප්‍රකාශනයක් වන මනුලී නවකතාව සරසවි, ලේක් හවුස් සහ ගොඩගේ පොත්හල්වල විකිණීමට ඇති බව සැළයි.

-කතන්දරකාරයා

Wednesday, 18 September 2013

ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fair


මට මතකයි මට අවුරුදු දහයක් විතර කාලේ අපේ මුළු පවුලම ගියා මගුල් ගෙදරක කැස්බෑව පැත්තේ. අපේ අම්මාගේ පැත්තේ ඥති ගෙදරක දුවෙක් බඳින වෙඩිමේ හෝම් කමින් එකද කොහෙද?

පවුලේ වැඩක් නිසා අපි උදේම එහේ ගියා. ඒ ගෙදර ඉස්තෝප්පු කාමරේ තිබිලා මට හම්බ වුණා පොතක්. මේක ළමයින් සඳහාම ලියපු නවකතාවක්. පොඩි ළමයි කීප දෙනෙක් කැලේ ගිහින් අතරමංවෙන කතාවක් තමයි තිබුණේ. මට දැන් හිතෙන විදියට මේ පොත තමයි දොන් පීටර් පියනම ලියපු "වනගත ළමෝ".

ඉතිං ඒ පොත හම්බු වුණු මොහොතේ ඉඳලාම මං කෙරුවේ පොත කියොපු එකයි. නමුත් කියවලා ඉවර කරන්න කලින් අපිට මනාල යුවල එක්ක හෝම් කමින් ගමන යන්න සිදුවුණා.

බාගෙට කියෝපු පොත දාලා මං ඒ ගෙදරින් පිටත් වුණේ පුදුම දුකකින්.

ආයේ ඒ ගෙදරට යන්නවත්, ඒ පොතේ ඉතුරු හරිය කියවන්නවත් මට තාම බැරිවුණා. ඉතිං, ඒ දුක සදකාලිකයි.

සාහිත්‍යය කන්න ද? පොත් ලියලා මෝටර් කාර් එකක්වත් ගන්න පුළුවන් ද? කියලා ඇහැව්වේ ඉස්සර හිටපු ජනාධිපතියෙක් වෙන ජේ.ආර් ලොක්කායි.

ඒ ප්‍රකාශයෙන් පොර ගේ පුකත්වය එළිදරව් වුණාය කියලා නිසැකවම කියන්න පුළුවනි.

පොඩි කාලේ ඉඳලාම අතට අහුවෙච්චි පොත් කියෝලා, කියෝලා, ගංසබා පුස්තකාලෙත් අහවර කරලා ඇට්ටකුණා වෙච්ච මං වගේ එවුන්ට පොත් කිව්වොත් බත්වත් ඕනෑ නෑ.

නමුත් පොත් කියවන්නේ ම නැති අයත් ඉන්නවා.

ලෝකේ විවිධත්වයක් තියෙන්නත් එපායැ.

සැප්තැම්බර් මාසේ සාහිත්‍යය මාසය කියලා නම් කරලා සාහිත්‍ය උත්සව හෙම පටන් අරගෙන තියෙන්නේ මං දන්න තරමින් පනස් ගණංවල අග හරියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් පිහිටෙව්වායින් පස්සෙයි.

නමුත් තාමත් ලංකාවේ ජනගහනයේ හැටියට පොත් කියවන පිරිස අඩුයි. මිලට ගන්න පිරිස ඊටත් අඩුයි. ඒ නිසා පොත් ලියවෙන්නේත් ඉතා අඩුවෙන්. ප්‍රකාශයට පත්වෙන පොතක මුද්‍රණය වෙන පිටපත් ගානත් ඉතාම අඩුයි.

අපිට තව ගොඩක් දියුණු වෙන්න ඉඩකඩ තියෙනවා ඒ අතින්. ඒ කියන්නේ "දෙයාරීස් ප්ලෙන්ටි ඔෆ් රූම් ෆෝ ඉම්පෲමන්ට්"!

සාහිත්‍ය මාසයේ විවිධ සාහිත්‍ය තෑගි උත්සව පැවැත්වෙන මේ දවස්වල නැගලා යන තවත් දෙයක් තමයි මේ සිංහලනේ පොත් ප්‍රදර්ශනය කියන ඉංගිරිසියෙන් බුක් ෆෙයා කියන ඉවෙන්ට් එක.

මේකේ නම දාලා තියෙන්නේ මං කතන්දරවලට නම් දානවා වගෙයි. ඒ කියන්නේ සිංහල නමයි, ඉංගිරිසි නමයි එකිනෙක අනුපූරණය වෙනවා මිස එකක් අනිකෙන් විස්තර වෙන්නේ නෑ. සිංහල සහ ඉංගිරිසි නම් දෙකම එකට එකතුකරලා ගත්තාමයි සම්පූර්ණ තේරුම එන්නේ!
පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ බලන්නයි, නරඹන්නයි.
බුක් ෆෙයා එකක් තියෙන්නේ පොත් මිලට ගන්නයි.
ඉතිං ඔතනට යන අයට එක්කෝ ඔයින් කැමති එකක් කරන්න පුළුවන්, නැත්තං දෙකම වුනත් කරන්න පුළුවන්.

තමන්ගේ මැට්ටම්, තම්මැට්ටම්!

මං ගියපාර ඔය ප්‍රදර්ශනයට තුන් හතර පාරක්ම ගියා. එක පාරක් නං ගියේ දයාවංශ උන්නැහේ මුණ ගැහෙන්නයි.
ඒ හැම සැරේම උස්සාගෙන එන්න පුළුවන් තරමේ පොත් ගත්තා.
ඒ අතරේ කන බොන දේවලුත් හැකි අයුරින් කෙරුවා.
පොත් එළිදැක්වීමේ උත්සයකින් පොඩ්ඩක් නැරඹුවා.
පොත්කාරයින් කීප දෙනෙක් කතා කරනවා අහගෙන හිටියා. ෆොටෝ කිපයක් ගත්තා.
ඒ කියන්නේ ප්‍රදර්ශනයත් නැරඹුවා, පොලෙන් බඩුත් ගත්තා.

මං දැක්කා පාසල් ළමයි පෝලිම් ගැහිලා යනවා, එනවා. සමහර තැන්වලට යන්න හිතෙන්නේ නැති තරමට සෙනග හිටියා. මේ පාරත් එහෙම ලු.

මං හිතන්නේ මේ පොත් ප්‍රදර්ශනය සහ පොත් පොල ඉතාම හොඳ අදහසක්. අඩු වශයෙන් ඒ ගැන ඇතිවෙන ප්‍රචාරය, කතාබහ වුනත් වැදගත්. මේ ගැන අහන දකින කෙනෙක් එක පොතක් හරි කියවන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා.

මං ගිය පාර ගත්තු පොත්වලින් තාම තුන හතරයි කියෙව්වේ. නමුත් ඊට පස්සේත් ඉඩ ලැබුණු හැම පාරම පොත් අරගත්තා. ඒ සමහර පොත් කියෙව්වා. ඒ එක්කම හිතවතුන්ගෙනුත් පොත් ලැබුණා. ඒවාත් කියෙව්වා.

නොකියවපු පොත් ගෙදර තියෙනවාය කියා අළුතින් පොත් අරගන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ.

මොකද පොත් කියන්නේ නරක් වෙන දේවල් නොවෙයි. අපේ ආච්චිගේ ශත හැත්තෑ දෙකේ සීනි වගේ, එහෙමත් නැත්තං අපේ ගෙදර කුස්සියේ කබඩ් එකක තියෙන සමහර දේවල් වගේ, පොත් නරක් වෙන්නේ නෑ.

ඇත්තටම සමහර පොත් පරණ වෙන්න වෙන්න තවත් හොඳ වෙනවා.

ඉතිං අර "වනගත ළමෝ" කියන ළමා නවකතා පොත ගැන කියනවා නම් තාමත් අවසානය කියවන්න නොලැබුණාට මං හිතන්නේ ඒ පොත ආශ්‍රයෙන් සෝමා මාමා හදපු, රේනුකා නැන්දා නිපදවපු ටෙලිය නං මං බැලුවා. ඒ දෙන්නා ඊලඟට හැදුවේත් සුමිත්‍රා රාහුබද්ද ගේ ඉටි පහන් කියන පොත ආශ්‍රයෙන් ටෙලියක්.

ඊට පස්සේ සෝමා මාමා පොත් අත හැරියා වගෙයි පෙණුනේ.

දැන් නං මාත් කියවන්න කැමති පොතක් තමයි බැංකු පොත. බින්දු වැඩිවෙන තරමට හොඳයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ "තෝට් ඩම්ප්" එක හරි හැටි මොරනකං ඉන්නේත් නැතුව අමුවෙන් ම එලියට දාන්න හිතුනේ මාතලන් සහ වෙනි යන දෙදෙනා ලියූ ලිපි කියවීමෙන් පසුවයි.

තෑන්ක්ස් ගයිස්!

(image: http://www.ceylontoday.lk/)

Tuesday, 17 September 2013

දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!


පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.

මට කොහේදෝ දැක්කා කවුද ලියලා තියෙනවා අපේ සමහරු පන්සල් ගිහින් වැඳලා පින් පෙට්ටියට රුපියලක් දාලා පාරට ආපු ගමන් රැපියල් විස්සක් දීලා ලොතරැයියක් ගන්නවාය කියලා ඒ කරපු පින එදාම රෑට පල දීලා කෝටි දෙකක් දිනාගන්න ලැබුණොත් කියලා!

ඔය කතා දෙක මං ලිව්වේ මේ සාහිත්‍ය මාසයේ අද පොත්-කතන්දරය ලෙස මං ඉදිරිපත් කරන විචාරයට මුල පිරීමක් විදියටයි.

දැන් මෙන්න කියවන්න අද පොත්-කතන්දරේ.


දානයේ ආනිසංස (දීමේ බල මහිමය)
ඩී.බී. කුරුප්පු ගේ කෘතිය පිළිබඳව කෙටි සටහනකි

මීට දශයකටත් වඩා ඉහත දිනයකදී සිනමා පටයක් නැරඹීම සඳහා අපට ටිකට් පත් දෙකක් ලැබුණි. ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන කෙවින් ස්පේසී පාසල් ගුරුවරයෙකු ලෙස රඟපෑ, ”පේ-ඉට්-ෆෝවර්ඩ්” නම් වූ එහි කතාව ගොඩ නැගී තිබුනේ එතෙක් මා අසා නොතිබුණු අපූරු සිද්ධාන්තයක් පදනම් කර ගෙනය.

අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ගෙන් අපට විවිධාකාරයේ උදව් උපකාර ලැබේ. එවැනි සමහර උදව් උපකාර අපට අතීතයේ දී නොලැබුනේ නම් සමහර විට අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වී වඩාත් දුක්බර වන්නටද ඉඩ තිබුණි. අප සමාජයේ මෙවැනි උදව් උපකාර සම්බන්ධයෙන් පිළිගත් මතය වන්නේ එසේ අපට උදව් කළ අයට හැකි සෑම විටකම ප්‍රතිඋපකාර කළ යුතු බවයි. එසේ නොකර සිටීම කෙලෙහි ගුණ නොදන්නා කමක් ලෙස සැලකේ.

"පේ-ඉට්-ෆෝවර්ඩ්" චිත්‍රපටියෙන් ඉස්මතු කර පෙන්වූ ඉහත ප්‍රතිඋපකාර කිරීමට වෛකල්පික මතය නම් යමෙකුගෙන් උදව්වක් උපකාරයක් ගත් අප කළ යුත්තේ, එවැනි උදව්වක් උපකාරයක් වෙනත් අයට ද කිිරීම බවයි. එයින් සැමට උදව් උපකාර කරන ගුණෝත්තරව ප්‍රසාරණය වන සුවිශාල ජාලයක් ඇතිවේ. මුළු සමාජය ම එකිනෙකාට උදව්කරන්නා වූ එකක් බවට පත් වේ.

අප බොහෝදෙනකු ගේ සිතේ ඇති එක්තරා කණගාටුවක් නම් අපේ දෙමව්පියන් එදා අප කුඩා කල අපට කළ උදව් උපකාරවලට කෙසේ නම් ප්‍රතිඋපකාර කරන්න ද, එසේත් නැත්නම්, දෙමව්පියන්ට ඇති ඒ ණය කෙලෙස ගෙවන්නද යන්නයි. "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමාපටය නැරඹීමෙන් පසුව මට වැටහුනේ අපට අපේ දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි හොඳම කළගුණ සැලකීම නම් අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීම බවයි!

අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝවර්ඩ්" ද යන්න කෙසේ වෙතත්, වෙනත් අයෙකුට අඩුතරමේ වචනයකින් හෝ සිනාවකින් හෝ උදව්වක් උපකාරයක් කළ හැකි නම් එය ඉතා වටිනා මානුශීය ක්‍ර්‍රියාවක් බව ආගමික පසුබිමක් නොමැති කෙනෙකුට වුවද එකඟ විය හැකි කරුණකි. කෘතහස්ත ලේඛක ඩී.බී. කුරුප්පු විසින් රචිත දානයේ ආනිසංස (දීමේ බල මහිමය), මේ බව මනාව සාධනය කර පෙන්වන්නකි.

උවැසියක් බුදුන්ට ආහාර පූජා කරන කංචුකයකින් මේ කෘතිය සැරසී තිබුණද, එහි අන්තර්ගතයේ සුවිශේෂීව බුද්ධාගමට පමණක් වෙන් වූ සිද්ධාන්තයක් අඩංගු නොවන බව කිවයුතු ම ය.

දානය හෙවත් දීම පිළිබඳව සහ ඒ හා අදාල විවිධ මාතෘකා යටතේ ලියවී එකට ඈඳුණු කුඩා පරිච්ඡේද විසි පහකින් සමන්විත මේ කෘතිය සඳහා ඩී.බී. කුරුප්පු මුලිකව පාදක කරගෙන ඇත්තේ ඇමරිකන් ජාතික අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතියයි. එසේ වතුදු මේ කෘතියේ එන විවිධ කරුණු සනාථ කිරීම සඳහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල දී තමා ලබා ඇති අත්දැකීම් සහ විවිධ අදහස්, ඔහු ගේ අනෙකුත් කෘති සහ ලිපිවල අප කියවා ඇති සුවිශේෂී ආකාරයටම ඩී.බී. උපයෝගී කොට ගෙන ඇති හෙයින් මෙය හුදු පරිවර්තනයකට වඩා බෙහෙවින්ම ස්වායත්ත වූ කෘතියක් ලෙස සැලකිය යුතුය.

දානය හෙවත් දීම යනුවෙන් සැමවිටම අදහස් වන්නේ යම් කිසි භෞතික වස්තුවක් පරිත්‍යාග කීරීම ම නොවේ. එසේම දීම යනු පින් තකා කෙරෙන කටයුත්තක් විය යුතුම නැත. මේ සරල කරුණු කිහිපය අවබෝධ කර ගත් විට දානය යන්න අපේ එදිනෙදා ජීවිතයට කෙතරම් ලේසියෙන් සම්බන්ධකරගත හැකිද යන්නත්, එයින් පුද්ගලිකව අපටත්, පොදුවේ අප වෙසෙන සමාජයටත් කොයි ආකාරයේ ධනාත්මක බලපෑමක් කළ හැකිද යන්නත් මනාව පැහැදිලි වෙයි.

වරෙක සිතට හාස්‍යය ගෙන දෙන, වරෙක සිත සසල කරවන, වරෙක සිත හැඟුම් බර කරවන විවිධ උදාහරණ සහිතව, පහසුවෙන් කියවිය හැකි ඩී.බී. කුරුප්පු ගේ සරල සුමට භාෂා ශෛලියෙන් ලියවී අනාකූලව ගලා යන මේ වැදගත් කෘතිය කියවීමෙන් අප සැම දෙනෙකුටම පාහේ අළුතින් හිතන්නට යමක් ලැබෙන බව ඉඳුරාම කිව හැකිය.

මේ පොත කියවන තැනැත්තෙක් එයින් යමක් උකහා ගත්තොත් ඉන් පසු කළ යුත්තේ එය සම්පාදනය කළ ඩී.බී. කුරුප්පු ට ස්තුතිවන්න වීමට වඩා, ඒ තමා අවබෝධකරගත් කාරණය තව අයෙකුටත් වටහා ගැනීමට ඉඩ ලබාදීම පිණිස පොත තවත් පිරිසක් අතර සංසරණය කිරීම බව අවසාන වශයෙන් පවසමි.

පෙර කී "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමා පටය නැරඹීමෙන් අනතුරුව "පිය සමර" නමින් කවි පන්තියක් ලියා මා කලේ ද, අද මෙම කෙටි සටහන ලිවීම තුලින් මා සිදු කරන්නේද එවැනි ම වූ ක්‍රියාවන් ය.


මෙම ග්‍රන්ථයේ රචක ඩී.බී. කුරුප්පු පරිවර්තනය කළ මැංචෝසන් චාරිකා කෘතිය ගැන මගේ ලිපිය කියවලා තියෙනවා නේද?

-කතන්දරකාරයා

ප/ලි:
1. පෙර කී "පිය සමර" කවි පන්තිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html

2. අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතිය පිළිබඳ විස්තර සහ පළමුවෙනි පරිච්ඡේදය මෙතනින් කියවන්න.
http://thepowerofgiving.org/home

3. පේ-ඉට්-ෆෝවර්ඩ් සිනමා පටය පිළිබඳ විස්තර
http://www.imdb.com/title/tt0223897/

Monday, 16 September 2013

ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?


මා සේවය කළ එක්තරා ආයතනයක සුරුබුහුටි රූමත් ගෑල්ළමයෙකු සේවය කළා ය. ස්වර්ණ වර්ණයෙන් ද, මේඝ සේ වූ කේෂාවෙන් ද, චන්ද්‍රයා සේ වූ නලළින් ද, හංසයින් වන් ළමැදින් ද, මුතුවන් දත් දෙපලින් ද, හක් ගෙඩියක් බඳු වූ බෙල්ලෙන් ද යුතු වූ ඇය පැරණි ගීතයක එන උපමා සමූහයක් අපට සිහිපත් කළ ලලනාවකි.

ඇයට ඒ සේවා ස්ථානයේ සම වයසේ පිරිස අතර පටබැඳී තිබුණු නාමය "ටින්-ටින්" නම් විය.

මෙහි දී "ටින්-ටින්" යනුවෙන් අදහස් වුයේ අප හුඟ දෙනෙක් හොඳින් දන්නා අඳුණන කාටූන් චරිතයක් වූ "ටින් ටින්" නම් බෙල්ජියම් ජාතික පුවත්පත් වාර්තාකරු නොවේ. මේ කියන ගෑල්ළමයා ටින්-ටින් ගේ හැඩරුව ඇති ටොම් බෝයියෙක් නොව සුරූපී ලලනාරත්නයකි.

එසේ නම් ඇයට "ටින්-ටින්" ඇයි නම් පට බැඳී තිබුණේ ඇයි?

ඒ අන් කිසි කරුණක් නිසා නොව ඇගේ පිරිපුන් සිරුරට නිය පිටින් තට්ටු කළහොත් එයින් "ටින්, ටින්" වැනි නාදයක් නැගේ යැයි කැත් සිත් ඇති පිරිමින් කර තිබූ උපකල්පනයක් නිසාය.

එහෙත් ඒ කිසිම අයෙකු ඒ "ටින්, ටින්" නාදය අසා තිබුණේ යැයි මම නොසිතමි.

ඒ කාරණය එසේ නමුත්, මා මේ සැරසෙන්නේ නම් මා දෙවනුව සඳහන් කල "ටින් ටින්" නමැති කාටූන් චරිතය ගැන ලියන්නටයි.

චිත්‍රකතාවලට සාමානයෙන් ප්‍රිය කරන්නේ කුඩා දරුවෝ ය. එහෙත් අපේ නිවසේ "ටින් ටින්" පොත් ප්‍රිය කලේ අපේ තාත්තා ය. හැටේ දශකයේ පලවුණු ඊවිනින් ඔබ්සර්වර් හෝ එවැනි පුවත්පතක ටින් ටින් ඇන්ඩ් සෙවන් ක්‍රිස්ටල් බෝල්ස් නමැති කතාව කොටස් වශයෙන් පළ වූ බවත්, තමා කෙසේ හෝ නොවරදවා ඒ කතාව මුල සිට අවසානයටම පුස්තකාලයෙන් කියවූ බවත් තාත්තා අප සමග පවසා ඇත.

තාත්තා මුලින්ම අපේ ගෙදරට ගෙන ආවේ ඒ ඊවිනින් ඔබ්සර්වර් පත්‍රයේ පල වූ ටින් ටින් කතාවේ කොටස් කපා පරණ සී.ආර්. පොතක ඇලවූ පොතකි. ඒ පොත අයිති වූයේ තාත්තා සමග එකම පාසලේ සේවය කළ රොජර් නමැති ගුරුවරයාට ය.

සෙවන් ක්‍රිස්ටල් බෝල්ස් කතාව බලා රොජර් ටින් ටින් ලෝලියෙක් වී තිබුණි. එය තාත්තා ගේ (ද, එනයින් අපේ ද) යහපතට හේතු විය. ඒ මක්නිසාද යත් ඉන්පසු රොජර් ලංකාවට ආනයනය කර තිබුණු ටින් ටින් පොත් සෑහෙන සංඛ්‍යාවක් මිළට ගත් නිසාය.

රොජර් මිළට ගත් "ටින් ටින්" පොත, ඔහු කියවා අවසාන වූ විට ඔහුගෙන් ඉල්ලා ගන්නා තාත්තා එය සති අන්තයේ නිවසට ගෙන එයි.

තාත්තා පොත් කියවන්නේ ඇඳේ දිගාවීය. මුලින් තමන්ම පොත රසවිඳින තාත්තා ඉන් පසුව තම දරු තිදෙනා වටකරගෙන අප වෙනුවෙන් එය කියවයි.

මේ කාලයේ මගේ වයස අවුරුදු දහයක්, දොළහක් පමණ විය. "ටින් ටින්" පොත්වල තිබුණේ ඉතා සරල ඉංගිරිසියක් වුවද ඉන් බහුතරයක් මට හෝ මල්ලිලා දෙදෙනාට නොතේරේ.

අප කළ යුතුව තිබුණේ, තාත්තා ඉංගිරිසියෙන් චිත්‍රකතාවේ කොටු තුල තිබූ දෙබස් සහ අනෙකුත් ඬැකි කියවූ විට, "ඒ කියන්නේ තාත්තේ?" කියා විමසීමයි.

එවිට, "ඒ කියන්නේ......" කියා තාත්තා ඒ විස්තරය අපට පහදා දෙයි.

යම් කිසි ලෙසකින් ඒ කියන්නේ තාත්තේ යැයි අප තිදෙනාගෙන් කිසිවෙකු හෝ නොවිමසුව හොත්, ඒ කොටස අපට වැටහුණේ යැයි සිතන තාත්තා, සිංහල විස්තරයක් කියා නොදී දිගටම පොත කියවාගෙන යයි.

එනිසා එලෙස ඒ කියන්නේ තාත්තේ යැයි හූ මිටි තබන්නාක් මෙන් පැවසීම අනිවාර්යෙන්ම කළ යුූතු කාර්යයක් විය. අවාසනාවට මෙන් එම කර්තව්‍යය සැමදා පැවරුණේ මටයි. මල්ලිලා දෙන්නා කපටි ලෙස නිහඬව ම සිටියහ.

ටින් ටින් අපේ වීරයා විය. ඊටත් වඩා අපි කැප්ටන් හැඩොක්ට ප්‍රිය කළෙමු. හැඩොක් විස්කි බොන දර්ශනවල කොටු දමා නොතිබුණි. ඔහුගේ "බ්‍රිස්ටරින් බානකල්ස්" වැනි යෙදුම් අදද අපේ මතකයේ ඇත.

තොම්සන් සහ තොම්ප්සන් ද, ප්‍රොෆෙසර් කැල්කියුලස් ද, නෙස්ටර් ද එකසේ අප සිත් ගත්තේය. ඇයි ස්නෝවි? ඌ ද පොරකි!

මගේ මල්ලී ගේ වීරයෙකු වූයේ ජෙනරල් ඇල්කසාර් නමැත්තා ය. ඒ ජෙනරල් සතුවූ පිහියා විදීමේ දක්‍ෂකම නිසාවෙනි.

සෙවන් ක්‍රිස්ටල් බෝල්ස්, රෙඩ් රැකෑම්ස් ටේ‍රෂර්, ටින් ටින් ඉන් ටිබෙට්, ඩෙස්ටිනේෂන් මූන්, එක්ස්ප්ලෝරර්ස් ඔෆ් මූන් වැනි පොත් කිහිපයක්ම කියවා හමර කළ පසු ඊලඟට අපට ලැබුණේ ගොල්ඩන් ක්‍රැබ්ස් නමැති පොතයි. ඒ කතාවේ මුල හරියේ දී ටින් ටින් සහ කැප්ටන් හැඩොක් එකිනෙකා නොහඳුනන්නා සේ හැසිරීම අපට පුදුමයක් විය.

මේ කතාව අප ඒවන විට කියවා තිබූ ටින් ටින් කතාවලට පෙර සැකසුණු කතාවක් බවත්, මේ දෙදෙනා මුලින්ම හමුවන්නේ මේ ආකාරයෙන් බවත් අපට වැටහුණේ ඉන් පසුවයි.

ඒ ආකාරයට රොජර් ගේ පිහිටෙන් ටින් ටින් පොත් කියවූ මුල් කාලයට වසර විස්සකට පමණ පසු ටින් ටින් ඉන් ලෑන්ඩ් ඔෆ් ද සෝවියට්ස් නැමති ටින් ටින් ගේ මුල්ම වික්‍රමය කියවන්නට මට ඉඩ ලැබුණි. ඒ පොතේ චිත්‍ර පසු කළෙක නිමවුණු පොත්වල චිත්‍ර හා සසඳන විට ඉතා ප්‍රාඨමික මට්ටමේ ඒවා විය.

ඊටත් ටික කාලයකට පසු අසන්නට ලැබුණේ ටින් ටින් නම් වූ චරිතය සමරිසි චරිතයක් බවයි!

ඇත්තටම මේ කතාවල සිටි සියළුම ප්‍රධාන චරිත අවිවාහකයෝ වූහ. ගැහැණු චරිතයකට කියා තිබුණේ බියන්කා කැස්ටාෆියොරේ නම් වූ ගායිකාව පමණි. ඇය කෙරෙහි කැප්ටන් හැඩොක් දැක්වූ අප්‍රියතාවය ගැන සලකන විට හැඩොක් ද සමරිසියෙක් බව හැඟේ.

නෙස්ටර් ගැන ද, තොම්සන්-තොම්ප්සන් ඩබල ගැන ද කිව හැක්කේ ඒ ආකාරයේම කතාවකි.

වැඩි විස්තර මෙතනින්:
http://www.businessinsider.com/2009/1/tintin-revealed-to-be-gay?IR=T

-කතන්දරකාරයා

ප/ලි:
ටින් ටින් අනුසාරයෙන් සිංහල චිත්‍රකතාවක් ද නිර්මාණය විය. වී ඇත. පුවත්පතක පලවූ මෙහි කොටස් කපා ඇලවූ විශ්ල පොතකින් සෑහෙන ප්‍රමාණයක් මා කුඩා කල කියවූයෙමි. එය රචනා කරමින් චිත්‍ර ඇඳ තිබුණේ කිංස්ලි වැනි නමක් තිබුණු චිත්‍ර ශිල්පියෙකි.

ඒ සිංහල චිත්‍රකතාවෙන් මගේ මතකයේ ඇත්තේ "හෙණ ගහපං, ගනං බලාපං!" නමින් කැප්ටන් හැඩොක් දිවුරන වාක්‍ය කණ්ඩය පමණි.


(image: http://www.patheos.com/blogs/scriptorium/2011/12/tintin-top-ten/)

Sunday, 15 September 2013

පාන් නොකා, පාන් ජොකා හැර වෙනත් පාන් කේස් තිබේද? - In praise of poor man's staple food


පාන් යනු අතීතයේ සිටම පැවතෙන සුමිහිරි ආහාරයක් බව එක්දාස් නමසිය හයේ ඉපදුණු මගේ සීයා පසුව ගුරුවරයෙක් ලෙස සේවය කළ කාලයේ සිදුවූ පාන් ජොකා කේස් එකෙන් පෙනුණි.

ජානගතව ඇති නිසා විය හැකි පරිදි, පාන් කෑමට මම ද ප්‍රිය කරමි. මින් වසර තුනකටත් වඩා පෙර දිනයක පාන් ගෙඩියක් ම කෑ කතන්දරය මා ලිව්වේ ද එනිසා ය.

අද මා සැරසෙන්නේ පාන් කෑම පිළිබඳ මගේ මතකයන් කීපයක් පෙළ ගැස්සීමටයි.

මෙය තනිකරම පුද්ගලික සටහනකි. සමහරුන්ට ගෝචර නොවිය හැක. (ඉතිං මට පාන් යැ?)

පරිසරයෙන් සාමාන්‍ය ගමක් වුවද, කොළඹ කොඩි ගහ ළඟ සිට සැතපුම් පාලහක පමණ දුරින් පිහිටි අප වාසය කළ නිවස පිහිටි ප්‍රදේශයේ පාන් සහ අනෙකුත් කඩයප්පන් විකුණන කඩ බහුලව තිබුණි. කුඩා කල සිට කඩේ ගිය නිසා මට හොඳින් මතක ඇති පරිදි අපේ නිවසේ සිට ගුරු පාර දිගේ බස් යන මහ පාරට පැමිණි විට විනාඩි පහක් ඇතුළත පාන් විකුණන කඩ තුන හතරකට යා හැකි විය. (මුල් යුගයේ කතන්දරයක සඳහන් වුණු සුදාල ගේ කඩේ මෙයින් එකකි).

ඉතින් උදෑසන පාන් කෑම කුඩා වයසේ සිටම මට හුරු පුරුදු විය.

පාන් වනාහී බඩගිනි ඇති නම් නිකම්ම ගුලිකර ගිලිය හැකි අගනා ආහාරයකි. නමුත්, සැලසුම්කර පාන් කන්නේ නම් තවත් යමක් සමග පාන් කෑම අපේ සාමාන්‍ය සිරිතයි.

පාන් කෑම පිළිබඳ මගේ මුල්ම මතකය ඇත්තේ මා පළමුවැනි ශ්‍රේණියේ සිටි කාලයේ අවුරුදු නිවාඩුවෙන් පසු මුලින්ම පාසල් ගිය දිනය හා සම්බන්ධව ය.

ඒ වසරේ අවුරුදු නිවාඩුවට අපි සියලු දෙනා අම්මා ගේ ගමට ගියෙමු. නිවාඩුව අවසානයේ ආපසු ආවේ පාසල් ගුරුවරයෙක් වූ තාත්තා සහ පාසල් යා යුතු වූ මා පමණි. මල්ලිලා දෙන්නා සමග අම්මා තවත් සතියක් පමණ ගමේ ගත කරන්නට නියමිත විය.

පාසල පටන් ගන්නා දිනයේ තාත්තා සුපුරුදු පරිදි උදේ රැයින් නිවසින් පිටවිය. ඔහු උදේ ආහාරය සඳහා ගෝනි පඩංගු රසෙන් යුතු බනිසක් කෑම ප්‍රිය කළ අයෙකි.

අසල කඩේකින් තැටි පාන් ගෙඩියක් ගෙනා ආච්චී, එයින් කොටසක් කපා මට කන්නට දුන්නේ පොල් පැණි සමග ය. මේ පොල් පැණි අවුරුද්දට කැවුම් හදන්නට ගෙනැවිත් ඉතුරු වූ ඒවා විය යුතුයි.

අම්මා නම් අපට පාන් කන්නට දුන්නේ, විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, සීනි සමග ය. ඒ සීනි වනාහී සැමවිටම නිවසේ තිබෙන ද්‍රව්‍යයක් නිසාම පමණක් නොව මාත් මල්ලිලාත් සීනි සමග පාන් කෑම ඉතා ප්‍රිය නිසාය.

අම්මා නම් පාන් කෑවේ පෙරදා රාත්‍රියේ කෑමෙන් පසු ඉතුරු වූ හොදි වර්ගයක් සමගයි. හොදි සමග උදේ ආහාරයට පාන් කෑම කුඩා අපට එකල අපුල දෙයකි.

විටින් විට අම්මා කොහෙන්දෝ සොයා ගත් රෙසිපියකට අනුව ජෑම් සෑදුවාය. ඒ එක්කෝ වට්ටක්කා ජෑම් ය නැතිනම් තක්කාලි ලාභ කාලෙට තක්කාලි ජෑම් ය.

ඒවා ද නරක නැත. ඒත් මා නම් කැමතිම ජෑම් වර්ගය වූයේ දිවුල් ජෑම් ය. නමුත් දිවුල් ජෑම් වනාහී ගෙදර සෑදිය හැකි දෙයක් නොවුණි. ඒවා මුදල් ගෙවා කඩෙන් මිලට ගත යුතු විය.

වට්ටක්කා වේවා තක්කාලි වේවා දිවුල් වේවා ඕනෑම ජෑම් වර්ගයක එකට එකක් සීනි තියෙන නිසා, ජෑම් සමග කෑවත්, සීනි සමග කෑවත් ලැබෙන පෝෂණය ඉතා සමාන බව අමුතුවෙන් කිව යුතු නැත.

බටර් තැවරූ පාන් පෙතිවල සීනි විසුරවා කෑම ද අප එකල ඉතා ප්‍රිය කළ දෙයකි. ශීතකරණ තබා විදුලිබලයවත් නොමැති වුණු අපේ නිවසට බටර් ගෙනැවිත් කල් තබා ගත නොහැකි විය. එකල බටර් ගෙනා විට ඒවා තැබුවේ සුවිශේෂී බටර් දිසියක වතුර මැද්දේ ය. මාජරින් යනුවෙන් වෙළඳ භාණ්ඩයක් එකල තිබුණා වෙන්නට ඇත. මට මතක හැටියට අපේ තාත්තා මාජරීන් ගැන කිව්වේ ඒවා නිකම්ම නිකං පොල්තෙල් ගුලි කියායි.

මා පහේ පන්තියේ සිටි කාලේ දී පමණ දිනක් කොළඹ පාමංකඩ කුලී නිවසක එකල පදිංචිව සිටි අපේ ආච්චී කෙනෙකු ගේ නිවසට ගොස් රැයක් ගත කළෙමි. එංගලන්තයේ සිට පැමිණි අංකල් තම ළමා කාලය ගැන කයිවාරු ගැහුවේ මේ නිවසේ සිටය.

පසුවදා උදෑසන ආහාරය සඳහා කුමන කෑමක් මට අවශ්‍යදැයි ඇසූ ආච්චී ඒ සඳහා මට විකල්ප කිහිපයක් ම ලබා දුන්නීය.

1. පාන් පෙතිවල බිත්තර සහ ගම්බිරිස් තවරා
2. පාන් පෙතිවල ජෑම් තවරා
3. පාන් පෙතිවල බටර් ගා සීනි විසුරවා

මා තෝරා ගත්තේ තුන්වෙනි විකල්පයයි.

මින් ටික දිනකට පසු දවසක ස්ට්‍රෝබෙරී ජෑම් තැවරූ පාන් කන්නට ගොස් මා ඇදගෙන නෑ ආකාරය ද මෙහිදී මගේ සිහියට එයි.

තවත් වසර කිහිපයකට පසු පේරාදෙණියේ සිව් වසරක සිර දඩුවමක් නියමව දුක් විඳි කාලයේ දී නම් උදේට පාන් කැම හැර කිසිදු විකල්පයක් අපට නොතිබුණි. ඒ පාන් වනාහී ලාබ ම කෑම වර්ගය වූ නිසාය.

වසර හතරක කාලය පුරාම මා පේරාදෙණියේ දී උදේට කෑවේ පරිප්පු හොදි සමග පාන් බාගයකි. ප්ලේන් ටී එකකින් ආහාරය පරිපූර්ණ විය!

නමුත් පාන් කෑමෙන් හොඳම පාන් කෑම වනාහී කිරට උයන ලද තලපත් මාළු සමග පාන් කෑම බව පේරාදෙණියෙන් චුත වී බොසියක් යටතේ සේවය කරන කාලයේ මා වටහා ගත්තෙමි.

නමුත් ඒ ආකාරයට කිරි මාළු සමග පාන් කෑම හැමදාම, හැම තැනම කළ හැකි දෙයක් නොවේ.

උදාහරණයක් ලෙස අද ඉරිදා උදෑසන මා කෑවේ මාජරින් තැවරූ පාන් පෙත්තක් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් එකට තබා සාදාගත් සැන්විචයකි. මේ ක්‍රමය මා ඉගෙන ගත්තේ පේරාදෙණියේ ඉගෙන ගන්නා කාලයේ ලැබූ දිගු නිවාඩුවක දී පුහුණුවක් සඳහා ගොඩනැගිලි ඉඳිකිරීම් වැඩ බිමක සේවය කරන අතරතුර එහි නේවාසික ඉංජිනේරුවා ගෙනි.

පාන් කෑමෙන් පසු ඇතිවූ මගේ පාන් පිළිබඳ මතක සටහන් එපරිදි වේ.

ඔබ සැමට අදින් ඇරඹෙන සතිය ජොළියෙන් පිරි එකක් වේවා යැයි පතමි!

-කතන්දරකාරයා

ප/ලි:
පොත් ප්‍රදර්ශනය ජයට ඇරඹුනු බව සැලයි. ගියවර නම් තුන් දවසක්ම ගොස් රත්තියාදු ගැසුවෙමි. මෙවට එහි යෑමට නොවෙනු ඇත. ගියවර මිළට ගත් පොත්වලින් ද තවමත් කියවා ඇත්තේ දෙක තුනක් පමණි.

අළුත් පොත් කතන්දරයක් හෙට (16 සඳුදා) බලාපොරොත්තු වෙන්න!


(image: A cartoon by Darshana Karunathilake)

Saturday, 14 September 2013

ජේ.වී.පී. කාලේ ඕස්ට්‍රේලියාවට පැන්න ජෙප්පෙක්, පොලිස්කාරයෙක්, පිම්පියෙක්, කෙල්ලෙක් (සහ කොල්ලෙක්) ගේ කතාවක් - Asura Adaviya by Jagath J Edirisinghe


දැන් කාලෙක ඉඳලා ලංකාවෙන් මිනිස්සු බෝට්ටුවල නැගිලා ඕස්ට්‍රේලියාවට පලා යනවා සරණාගතයින් විදියට. මේ අයගෙන් බහුතරයක් දෙමළ මිනිස්සු.

තමන් ගේ ජීවිතය උගස් කරලා එහෙම අවදානම් ගමනක් යන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ?

දැන් අවුරුදු විසි ගාණකට කලින් ජේවීපී කලබල කාලේ මේ වගේ ඕස්ට්‍රේලියාවට සරණාගතයින් විදියට ගිහින් තියෙන්නේ බහුතරයක් සිංහල මිනිස්සු. ඒ අය ගිහින් තියෙන්නේ අද යන අය වගේ ජීවිතය පරදුවට තියලා බෝට්ටුවල නැගිලා නොවෙයි. බොහෝ විට ප්ලේන් එකේමයි.

ඒ විදියට සරණාගයින් ලෙස ඕස්ට්‍රේලියාව පැන්න චරිත කීපයක් වටා ගෙතුණු නවකතාවක් මට කියවන්න ලැබුණා මීට අවුරුදු හයකට විතර කලින්.

මෙන්න ඒ ගැන සඟරාවක පළවුණු විචාරයක් මං සාහිත්‍ය මාසය වෙනුවෙන් පළකරන පොත්-කතන්දරයක් විදියට.


ජීවිතය ගීතයක් යැයි සමහරු කියති. නමුත් වඩාත් පුළුල් ලෙස අර්ථ දැක්වුවහොත් ජීවිතය මහා සංගීත සංධ්වනියක් හෝ ගීතමය ඔපෙරාවක් යැයි පැවසීම වඩා උචිත වෙනු ඇතැයි මම සිතමි. මේ සංගීත සංධ්වනියේ, අනිවාර්්‍යයෙන් ම පියකරු මෙන්ම බියකරු සංගීත අනුඛණ්ඩ ද, සිතට සතුට දනවන මෙන්ම හදවත දුකට පත් කරවන සංගීත අනුඛණ්ඩ ද, දෙතොලට හසරැල් නංවන මෙන්ම නෙතඟට කඳුලැලි නංවන සංගීත අනුඛණ්ඩ ද, අඩු වැඩි ආකාරයෙන් අඩංගු වී ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන, පුවත්පත් කලාවේදියෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියෙකු ද වන ජගත් ජේ එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව ඉහත සඳහන් ආකාරයේ ජීවිතය පිළිබඳ ගැයෙන සංගීතමය සංධ්වනියක් මෙන් යැයි මට සිතේ. සමහරවිට මෙහි වැඩි වශයෙන් දුක්බර සංගීත අනුඛණ්ඩ අඩංගු වෙනවා විය හැක. එහෙත් මෙම නවකතාව හුදෙක් ම දුක සහ පරාජය දනවන්නක් නොවේ. නවකතාව අවසාන වෙන්නේ පාඨකයා තුළ බලාපොරෙත්තු, අධිෂ්ඨානය සහ සැනසුමක් ද ඉතුරු කරමිනි.

අසුර අඩවිය ගෙතී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට විවිධ හේතු නිසා ඕස්ට්‍රේලියාවට පැමිණ අනේකවිධ කරදර බාධක මැද ජීවිතය ගෙවන පස් දෙනෙකු වටායි. මින් එක් අයෙක් වන සුරංග, නිරපරාදේ පහර දීමකට ලක් වී, දිගු කලක් තිස්සේ රෝහලේ සිහි විරහිතව සිටී. ඔහුගේ මිතුරා වූ සුසන්තත්, ඉහත පහර දීමට මූලික හේතුව වූ කුමාරිත් අතර ඇතිවන, එක්තරා ආකාරයක දුරස්තර වූ පෙම් කතාව අසුර අඩවියේ ප්‍රධාන පුවතයි. පහර දීම සිදුකළ හේමන්ත නමැති මැරයාත්, මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන තරමක වැඩිහිටියෙකු වන වීරසේකරත් මෙහි අනෙකුත් චරිත වේ. කතාව අවසාන වන්නේ සුරංග ගේ මරණයත්, හේමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට පත්වීමත්, කුමාරි ආගමන දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමට ලක්වීමත් සමගය.

මේ නවකතාවේ සුවිශේෂ වැදගත්කම නම් එහි ප්‍රධාන කතා පුවතට යටින් විහිදෙන ගැඹුරු සමාජමය දෘෂ්ටියයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු දෙකක් පමණක් විස්තර කර ගැනීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

අප බොහෝ දෙනෙකුට ක්‍රමයෙන් අමතක වී යන්නාවූ, එසේත් නැත්නම් අද පවතින විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මත අමතක කර දැමීමට උත්සාහ කරන්නාවූ, එක් දෙයක් වන්නේ 1987/89 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති භීම සමයයි. තමන් ගේ මතවාදයන් ට වෙනස් වූ මත දරන පිරිස් නුරුස්සීමේ ක්‍රියාවලියේ අන්තයටම යමින් 1986 දෙසැම්බරයේ කොළඹ සරසවියේ දයා පතිරණ මරා දැමීමෙන් ඇරඹුණ ම්ලේච්ඡ සටන, සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චි, විජය කුමාරණතුංග, තී්‍රමා විතාන යනාදී ඝාතන හරහා තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ කරමින් ඇදී ගියේය. ඒ දිනවල ශී්‍ර ලංකාවේ වෙඩි තැබීම්, වධකාගාර සහ ටයර් සෑයේ ආදාහනය යනාදිය සාමාන්‍ය දේවල් බවට පත්විය.

අසුර අඩවිය නවකතාවේ චරිත දෙකක් වන සුරංග සහ වීරසේකර දෙදෙනා ඒ නිෂ්ඵල විනාශකාරී සටනේ විරුද්ධවාදී කඳවුරු දෙකේ ඉත්තන් දෙදෙනෙකු ලෙස ක්‍රියාන්විතව සිට ඉන් කෙසේ හෝ බේරී පලාවිත් ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් ලෙස එකම වහලක් යට ඉඳිමට සිදුවීම හැදින්විය හැක්කේ පරණ සිංහල යෙදුමක් වන දෛවයේ සරදමක් ලෙසින් පමණි. මේ කතාව අවසානයේ සුරංග මැර පහර කා දුක් විඳ මිය යනමුත් වීරසේකර ගේ ප්‍රශ්න ක්‍රමයෙන් නිරාකරණය වී ජීවිතය යහපත්වීම තුළින් කතුවරයා යම් කිසි දෙයක් ව්‍යංගාර්ථයෙන් අදහස් කළේ යැයි මම නොසිතමි. කෙසේ වෙතත් මෙහිදී වීරසේකර තමන්ගේ අතීතය පිළිබඳ කරන පාපෝච්චාරණ මා පෙර කී භීම සමය පිළිබඳව අපේ මතකය අළුත් කරවයි. එය මෙම නවකතාවේ එන ඉතා වැදගත් අංගයක් ලෙස මම සලකමි. 

නමුත් සුරංගව ඔහුගේ අධිමූර්ච්ඡාව තුලම මරා දැමීම තුළින් කතුවරයා සුරංගගේ පාපෝච්චාරණ දැන ගැනීමට පාඨකයාට තිබූ ඉඩකඩ අහුරා ඇති බව පෙනේ. සුළු ධනේශ්වර විප්ලවකාරයෙකු වූ සුරංග සිය අධිමූර්ච්ඡාව තුළදී ද රොමෑන්ටික් සිහින දැකීමේ කිසි වරදක් නොතිබුන ද අඩු වශයෙන් ඔහු ගේ මරණාසන්න මොහොතේ දී හෝ ඒ සිහින අතරට පසුගිය භීම සමය පිළිබඳ ඔහුගේ පාර්ශවයේ අත්දැකීම් කිහිපයක් ඇතුළත් කළ හැකිව තිබුණා යැයි මට හැඟේ.

අප බොහෝ දෙනෙකු නොදන්නා, සමහර විට උනන්දුවක් ද නොදක්වන, මා මෙහිදී සඳහන් කිරීමට අදහස් කරන දෙවන කරුණ නම්, විවිධ හේතූන් මත සරණාගතයන් ලෙසින් හෝ නැතිනම් වෙනත් නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජන කොටසේ ජීවන අරගලයයි. මුලින් සඳහන් කළ පරිදි වීරසේකර සහ සුරංග යුද්ධයෙන් පණ ගලවාගෙන සරණාගතයන් ලෙසින් මෙහි පැමිණි දෙදෙනෙකි. මීට අමතරව, කුමාරි සහ හේමන්තත් තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් සොයා සංචාරකයින් ලෙසින් පැමිණ අනවසරයෙන් මෙහි ජීවත් වන්නන් වේ. ඔවුන් ගේ අතීතය දුක්බර ය. වර්තමානය ව්‍යාකූල ය. අනාගතය අවිනිශ්චිත ය.

පසුගිය දිනවලත් විශාල තරුණයින් පිරිසක් යුද්ධයෙන් මිදී ඕස්ට්‍රේලියාවට පලා ගිය බව අපි අසා ඇත්තෙමු. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකරන්නට අපි තැතක් නොදැරුවෙමු. සහෝදර ජන කොටසක් වශයෙන් අප මේ සරණාගත පිරිස් ගැන දක්වන ඒ නොසැලකිල්ල අසුර අඩවිය නවකතාව තුළින් ප්‍රබලව ප්‍රශ්න කරන බව මට පෙනේ.

අසුර අඩවිය කෘතිය තුළින් නවකතාකරුවා අපේ බුද්ධි මණ්ඩලය තුළ ඇතිකරන තවත් කතිකාවතක් නම් සමාජයේ දුරාචාර යැයි සැලකෙන වේශ්‍යා සහ පිම්පි වෘත්තීන්, කප්පම් ගැනීම, රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළු දාමරික කම් යනාදිය සමාජ ක්‍රියාවලි මගින් ඇතිවන අනිසි ප්‍රතිඵලයන් ම නොවේද යන්නයි.

අසුර අඩවිය රචනා කිරීමේ දී, නවකතාකරුවා විසින් කාව්‍යමය භාෂා විලාසයක්, සරල වදන් වැලක් සහ නිරායාසයෙන් ගලායන ප්‍රකාශන ආකෘතියක් විශිෂ්ට ලෙස උපයෝගී කොට ගෙන තිබේ. මේ අනුව බලන කළ, ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව එක හුස්මට කියවාගෙන යා හැක්කක් ලෙස විස්තර කළ හැකිය.


මෙන්න ජගත් ලියූ තවත් පොත් දෙකක්.

1. පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics
http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

2. ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
http://kathandara.blogspot.com.au/2013/07/kathandara-nostalgia.html

පොර තවත් පොත් පහ හයක් ලියලා තියෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
හෙට ඉරිදා මගේ ම කතන්දරයකින් ද, යළි සඳුදා පොත්-කතන්දරයකින් ද හමුවෙමු!

Friday, 13 September 2013

ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා! - Dont judge a book by its cover!


සුසන්ත සුරන්ජිත් සහ මා මරදානේ ආනන්ද විද්‍යාලයේ දහයේ පන්තියට ඇතුලත් වූයේ එකට ය. එදා අපත් සමග අඩු වශයෙන් සිසුන් හැත්තෑ පස් දෙනෙක් පමණ පිරිසක් විදුහලට බඳවා ගත්තේ යැයි සිතමි.

අපේ පන්තිවල, නාත්තණ්ඩියේ සිට තෙලිජ්ජවිල දක්වා ද, පස්සර සිට කටුගස්තොට දක්වා ද විවිධ පාසල්වලින් පැමිණි සිසුහු වූහ. සුසන්ත එහි පැමිණ සිටියේ මීගමුව ප්‍රදේශයේ පාසලකිනි. මා ඊට පෙර වසරේ උගත්තේ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම විද්‍යාලයේ ය.

රටේ නොයෙකුත් පලාත්වල පිහිටි පාසල්වල ඒ දක්වා ඉගෙන ගත් අප මෙලෙස කොළඹ පාසලක ඉගෙනුම ලබන්නට පටන් ගත්තේ ඊට පෙර වසර අවසානයේ පැවති ආණ්ඩුවේ විභාගයෙන් අප ලද උසස් ප්‍රතිඵලවල ආනිසංශයෙන් බව කිව යුතුය.

පසුව මා සුසන්ත සූන්ජිත්ගෙන් දැන ගත් පරිදි, මේ සාර්ථක වී තිබුණේ ඔහු ගේ පියා සුරංජිත්ව ආනන්ද විද්‍යාලයට ඇතුලත් කිරීමට දැරූ දෙවන උත්සාහයයි.

දෙවන වාරයේ දී මෙන් නොව, මුල් වාරයේ දී ආනන්දයට ඇතුළත්වීමේ අයැදුම් පත ඉදිරිපත් කළ පසු සුසන්ත සූරංජිත්ට පාසලෙන් පැවැත්වූ පරීක්‍ෂණ විභාගයකට මුහුණ දෙන්නට සිදුවී ඇත.

ඒ විභාගයෙන් සුසන්ත සුරන්ජිත් සමත් නොවුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සුසන්ත මුහුණ දුන් ඒ විභාගයේ එක් කොටසක් ලෙස නියමිතව තිබී ඇත්තේ සිංහල වාක්‍ය රචනාවක් ලිවීමයි. ඒ සඳහා මා කියවා ඇති හොඳම පොත යන්න මාතෘකාව ලෙස යෙදී තිබී ඇත.

මා මිතුරු සුසන්ත සුරන්ජිත් ඉතා පහසුවෙන් එම රචනාව ලියා නිම කළේය.

විභාගයෙන් පසු නිවෙස කරා යාමට මරදාන දුම්රිය පොළට සිය පියා සමග පා නගන ගමන් ප්‍රශ්ණ පත්‍රය ගැන කතා බහ කරමින් සුසන්ත මේ රචනාව ගැන සිය පියා දැනුවත් කළේය.

"ඉතිං, පුතා මොන පොත ගැනද ලිව්වේ?" තාත්තා විමසීය.

"මම ලිව්වෙ තාත්තෙ "ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ" පොත ගැනයි!" සුසන්ත පිළිතුරු දුනි.

සිය පියා තම හිසේ අත ගසා ගත්තේ ඇයි දැයි එවේලේ පුතාට තේරුණේ නැත.

අනිවාර්යෙන් ම එම ප්‍රශ්ණ පත්‍රය සෑදු ගුරුවරයා මෙන්ම පිළිතුරු පරීක්ෂණය කළ ගුරුවරුන් ද අපේක්ෂා කරන්නට ඇත්තේ විභාගයට පෙනී සිටින සිසුන් එක්කෝ මාර්ටින් වික්‍රමසිංහ ගේ "මඩොල්දුව" ගැන හෝ නැත්නම් ටී.බී ඉලංගරත්න ගේ "අඹ යහළුවෝ" ගැන හෝ අඩු තරමේ ටී.බී ඉලංගරත්න ගේ "විලම්බීත" ගැන හෝ රචනා ලියාවි කියා විය යුතුයි.

සුසන්ත සුරන්ජිත් එදා උගත් පාඩමෙන් වැඩක් වී නොතිබුණි. ඒ දෙවනවර වදුහලට ඇතුලත් කර ගැනීමේදී, මා කලින් සඳහන් කළාක් මෙන් අළුතින් පරීක්‍ෂණ නොපැවැත්වුණු හෙයින් වාක්‍ය රචනා ලිවීමක් සිදු නොවුණු හෙයිණි.

එදා සුසන්ත ලියූ "ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ" රචනය කියවා ඔහු අසමත් කළ ගුරුවරයා නොදැන කළ වරද වූයේ සුප්‍රකට ඉංගිරිසි කියමනක් වන "Don't judge a book by its cover!" යන්න අමතක කිරීමයි.

ආනන්දයේ උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව පසුව කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ උගත් ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ රසිකයා අද වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

උපාධි ප්‍රදානෝත්සව දිනයන්හි දී නම් ඔහු තවමත් ඩ්‍රැකියුලා මෙන් ඇඳුමෙන් සැරසෙන බව නිසැකය.

-කතන්දරකාරයා

ප/ලි:
සුසන්ත මෙන් ආනන්දයේ එකී විභාගයට පහේ පන්තියේ සිසුවෙකු ලෙස මා එදා මුහුණ දුන්නේ නම් වාක්‍ය රචනාව ලියවෙන්නට ඉඩ තිබුණේ ගුණදාස ලියනගේ ගේ "මුළු හදින් මම ඇයට පෙම්කොට" නමැති නවකතාව ගැනයි!

(image: http://www.ugo.com/movies/sexy-vampires-draculas-brides)

Thursday, 12 September 2013

ගෙම්බෙකුට අයිති පොඩි කුමාරිහාමි ගෙම්බෙක් ගේ අයිතිකාරයෙක් වෙන ගාමිණී සමරකෝන් ගේ පොතක් ගැන විචාරයක් ලියයි! - Its all frog business


පොඩි කුමාරිහාමී බ්ලොග් එක ලියන ප්‍රවීනා පළිපාන ගැන නොදන්න අය ඉන්නවා ද මන්දා?

මේ කියන පොඩි කුමාරිහාමි පසුගිය දිනයක ඇගේ "ගෙඹි කුමාරයා" එක්ක විවාහ වුණු බවයි එයා ගේ බ්ලොග් එක කියවන අපි හැමෝටම තේරුණේ.

ගෙම්බෝ ගැන කතා කරන කොට අනිවාර්යෙන්ම මතක් වෙන නමක් තමයි "ගාමිණී ගේ විජිතය" ලියන ගාමිණී විජිත් සමරකෝන් කියන බ්ලොග්කාරයා. ගාමිණී කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි, තමන්ගේ නමින් පඳුරු මැඩියෙක් (ඔව්, ඒ කියන්නේ ගෙම්බෙක් තමයි) නම් කිරීමෙන් උපහාර ලබපු කීපදෙනාගෙන් එක් කෙනෙක්.

ඒ "සමරකෝන් ගෙම්බා (Pseudophilautus samarakoon)" ගැන විස්තරේ මෙතනින් බලන්න.
http://gaminievijith.blogspot.com/2013/03/37.html

ගාමිණී මං දන්න තරමින් වනාන්තර ගැන පොත් දෙක තුනක්ම ලියලා තියෙනවා.

ඉන් එකක් තමයි "යාල නැගෙනහිර අහිමි වනමං" කියන පොත.

මෙන්න ඒ පොත ගැන පොඩි කුමාරිහාමි ලියපු විචාරය හෙවත් පොත්-කතන්දරය.


ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" (පොඩ්ඩිගේ මුල්ම ග්‍රන්ථ විචාරය)

වනාන්තරය කියන කොටම හිතට එන්නේ නිශ්ශබ්දතාවයයි. ඒ නිශ්ශබ්දතාවයට ඇහුම්කන් දුන්නොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න හැකියි.

හිස එක එල්ලේ ඔසවා අඳුර තුළින් දඩයක්කරුවෙකු ඒවිදැයි බලමින් අවදානමට සූදානම් වීම, හිතට පමණක් නොව ගතටත් දැනෙනා බිය, නිහඬව කරන කුරුමානම් ඇල්ලීම, උගුරු දඬු ඉරා ගනිමින්, ලේ වගුරුවමින්, ජීවත්වීම සඳහා කරන සටන් වගේ ගොඩාක් දේවල්.

වනාන්තරය තුළ තියෙන්නේ ගුප්ත මායාකාරී, හිත ඇදගන්නා ගතියක්.

ඒ වගේම උදේට ගස් අතුරින් අඳුර මකමින් ගලා එන හිරු රැස් පොකුරු, උදෑසන සීතලින් තෙත්වුණු මල් කැකුළු, දේදුන්නෙන් ආවා වැනි සමනල රෑන්, උස් කන් ඔසොවා බලා හිඳිනා මුව පැටව්, සුළඟේ ගීතයට නටනා නිල් මොනරු වගේ හිත සතුටින් පුරවන දේවලුත් වනාන්තරයේ අනන්තවත් තියෙනවා.

පොඩි කාලේ ආර්.එල්. ස්පිටල්ගේ Wild White Boy (සුදු වැද්දා ) සහ Where the White Sambhur Roams (සුදු ගෝනා) කතා දෙක නර්තනයෙන් ඉදිරිපත් කරලා පෙන්නුවේ අම්මා.

සුදු වැද්දා, කිඹුල්ලු සතුන්ගේ මස් කන්නේ නැහැයි කියලා හිතාගෙන වතුරට බැස්ස හැටි, රනී කොහෙන්දෝ හොයාගත් මල් හිසේ දවටගෙන සුදු වැද්දා එක්ක දීග යන හැටි, වැදි පවුලේ කෙනෙක් සුදු වැද්දා උයපු කෑම කාලාකැලේට ගිහින් ඇවිත් "අපරාදේ හොඳ කෑම ටික අපතේ ගියා!" කියමින් දුක් උණු හැටි තාමත් හිතේ ඇඳිලා තියෙන්නේ ඒ කතාව තුළ ජීවත් වුණු හන්දා වෙන්ට ඇති.

ඒ මතකයට යළිත් පණ ලැබුණේ ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" පොත තුළින්.

ගාමිණි විජිත් සමරකෝන් මුලින්ම මා දැනගත්තේ බ්ලොග් රචකයකු ලෙසින්. ඔහු වනජීවී සංරක්ෂණ නිලධාරියකු වගේම වන ජීවීන්ට,වනයට ආදරේ කරන්නෙකු බවත්, තමන් ලද අත්දැකීම් අප හා බෙදාගැනීමට තරම නිහතමානී සොඳුරු මිනිසෙකු බවත් දැන ගත්තේ ඔහුගේ "යාල නැගෙනහිර අහිමි වන මං" පොත කියවීමෙන් පසුව.

මුලින්ම ඔහු කොළඹ කොටුවෙන් මඩකලපුව බලා දිවෙන තැපැල් දුම්රියට නගින්නේ අපවත් රැගෙනයි. එතැන් සිට ඔහු යන හැම තැනකම අපව ගෙන යා හැකි සරල, සුගම භාෂා විලාසයක් ඔහු සතුයි. එකම රටේ වුවත්, දෙමළ හා මුස්ලිම් ජනයා වාසය කරනා පෙදෙස් හා සංස්කෘතික ලක්ෂණ ඔහු විස්තර කරන්නේ අතීතයේ එක් දිනෙක සැවොම එක්ව ජීවත්වූ අපූරුවත් එදා සහ අද අතර වෙනස සිහිවීමෙන්, සිත් තුළ දුකකුත් ඇති කරමින්.

මේ ග්‍රන්ථයේ විශේෂ ලක්‍ෂණයක් හැටියට මා දකින්නේ ගම් වැසියන් ගැන විස්තර කිරීමේදී ගාමිණී සමරකෝන් දක්වන කරුණාවයි.

ගම්වැසියනට මූණ දීමට සිදුවන ගැහැටවලට හොඳම උදාහරණය තමයි දැවැන්ත වල් අලියකගේ පහර කෑමට අසුවී මියයන, අසරණ මහලු කාන්තාව.

"මීටර දෙතුන් සීයක් ඉදිරියට ගිය අපට මදක් දුරින් දැවැන්ත දිවුල් ගසක් දකින්නට ලැබිණි. ඉදිරියේ සිටියකුගේ සංඥාව අනුව නැවතී සැලකිල්ලෙන් බැලු අපට දිවුල්ගස යට පොහොර මල්ලක් සහ රෙදි කඩමාලු පොදියක් තිබෙනු පෙනිණි. පිරිස නවතා, දෙතුන් දෙනෙකුසමග දිවුල් ගස යටට සෙමින් ළඟාවු මා දුටුවේ මගේ රාජකාරි ජීවිතයේදී දුටු අවාසනාවන්තම දසුනයි." (පිටුව 41)

ඒ වගේම වන ජීවීන් ගැන වුවත් ඔහු තුළ ඇත්තේ එබඳුම කරුණාවක්.

ගම්වැසියන්ගේ කඨෝර ජීවිතය වගේම වනජීවින් ජීවත්වීම සඳහා කරන අරගලයත් මේ පොතන් මොනවට පිළිඹිබු වෙනවා.

"මහත් වූ හඬක් නගමින් ජීප් රිය එන දිශාවක් නොදුටු කැලය තුළ සිටි ඇතින්න, පැටවාද පෙරටු කොටගෙන දුවයන්නට ඇත්තේ ඉන් ගැලවීගන්නට ය. පාරට දුව ආ ඇතින්න ජීප් රිය දැක්කේ අහම්බෙනි. පැටවාට එළඹිය හැකි අනතුරක් සේ හඳුනාගත් ජීප් රිය වළකාගන්නට ඇතින්න නිබයව ඊට පහර දුන්නා ය. පහර දෙන්න්ට දුව එද්දී හෝ ආපසු දුවයද්දී, ඇතින්න කිසිදු හඬක් නොනැගුවා ය." (පිටුව 73)

හිත සසල කරනා ලෙසින් කල තවත් සටහනක් නම් අත් හරිනා ලද පතලක සිටි ඇතින්නක් හා ඇගේ පැටවා ද ගොඩට ගන්නා අයුරුත් මව් ඇතින්නගේ හැසිරීමත් ය. රචකයා එය අහවර කරන්නේ මෙලෙසිනි.

"ගොඩට පැමිණි ඇතින්න පළමුව පැටවා ඉවරකර බැලුවා ය. අනතුරුව මුදුව කකුලෙන් පැටවා තල්ලු කළ ඇය ඊට ද ප්රුතිචාරයක් නොවූයෙන් සෙමින් ඔය දෙසත පියවර මැන්නා ය. පැටවකු බිහිවන මොහොතේ සිට මව් ඇතින්නක සහ පැටවා අතර ඇතිවන්නේ ලයාන්විතවූ දැඩි බැඳීමකි. එම බැඳියාව බිඳ දැමිය හැක්කේ මරණයට පමණි." (පිටුව 77)

තවත් මා අගය කල කරුණක් නම් සෑම පරිච්ඡේදයක දී ම එක් වන ජීවියෙකුගේ විස්තර පාඨකයා ඉදිරියේ තබන අපූරු ආකාරයයි.

කථාවෙන් විස්තර කර ඇති ප්‍රදේශයේ සංචාරය කර නැති මා වැනි අයට මීට වඩා විස්තර සහිත සිතියම් අඩංගු උනා නම් කියලා කතාව කියවාගෙන යද්දි සිතුණු වාර එමටයි. ඒත් එය කථාවේ රසයට කොහෙත්ම බාධාවක් නෙමෙයි.

පොත කියවීමෙන් අනතුරුව මගේ සිතට කරුණු දෙකක් නැගුණා.

ඉන් එකක් මේ අසරණ ගම්වැසියන් මෙන්ම වන ජීවින්ටද කළහැකි සියල්ල කෙරෙනවාද යන්නය.

දෙවැන්න නම් මිනිසා, වන සතුන් සමග වනය සාමයෙන් බෙදා හදා ගත යුතු බවයි.

එමෙන්ම අවසානයේ ඉතිරි වූයේ, හිතේ සතුටකුත් එක්ක හීනියට ඉතිරි කරලා ගිය ශෝකයක්.

"යාල නැගෙනහිර අහිමි වනමං" කෘතිය ශ්‍රී ලාංකික හැම දෙනෙක් විසින් අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක් ලෙස නිර්භයව හඳුන්වන්න පුළුවනි.

ශ්‍රී ලංකාවේ පොතකට සම්මාන පිරිනමන්නේ කොහොමද කියලා මා දන්නේ නැහැ. ඒත් මේ පොත නම් එවැනි සම්මානයකට සුදුසු බව මගේ හැඟීමයි.

අවසානයට කියන්නට තියෙන්නේ ගාමිණී විජිත් සමරකෝන් නැමැති රචකයාට අපේ ජනතා සම්මානය මින් පිරිනැමෙන බවයි.


තමන් ලියපු මේ ග්‍රන්ථ විචාරය මගේ පොත්-කතන්දරයක් විදියට පලකරන්න එවපු ප්‍රවීනා පළිපාන ට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි:
මීට කලින් කතන්දර බ්ලොග් එකේ තමන් ලියන කතන්දර පලකරන්න කියලා ගෑල්ළමයි මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ ගැන විස්තර (සහ කතන්දර කීපයක්) මෙන්න.

1. කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්
2. මෙන්න මී මැස්සිය ගේ බ්ලොග් එකේ ලිපිනය
3. තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දරකාරයාට ලිපියක් ඇවිත්!
4. තුන්වැන්නී - කතන්දර කාරයාට ලියා එවූ කතන්දරය - ලෙඩුන් බැලීම
5. තුන්වැන්නී ට තමන් ගේ ම බ්ලොග් එකක්.....!!!
6. චූටි ටීචර් කෙනෙක් එවූ චූටි කතන්දර කීපයක්- I
7. චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය
8. චූටි ටීචර් ලියා එවන චූටි කතන්දර - 3
9. ගුරු සේවයේ තවත් රස කතන්දර - චූටි ටීචර් ලියයි
10. යෝවද තම්පව රෝමනු ජේසූ - චූටි ටිචර් ලියයි