Sunday, 30 June 2013

පිරිමින් ට පොදු ප්‍රශ්නයක් - A universal men's problem


ලෝකේ කොයි හතර දිග්බාගේ හිටියත් පිරිමින්ට පොදු එක්තරා ප්‍රශ්නයක් තියෙනවා.

මේක සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රශ්නයක්.

මං මේ කියන්නේ අර පත්තරවල තෙල් බේත් කාරයෝ දැන්වීම් දාලා පෙති, කරල්, ක්‍රීම් ජාති විකුණාගන්න බලන අප්‍රාණිකත්වය, නෂ්ටකාමය හෝ ක්‍ෂණික මෝචනය වගේ කේස් ගැන නොවෙයි.

මේක ඊට වඩා ජෙනරික් ප්‍රශ්නයක්.

මේ පොදු පිරිමි ප්‍රශ්නය තමයි පිරිමි තමන් ගේ සෞඛ්‍යය ගැන නිසි අවධානය යොමු නොකිරීම.

කඩේට ඇවිදලා යන කොට පොඩි මහන්සි ගතියක් එනවා. කෝච්චියට දුවන කොට පොඩ්ඩක් හති එනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී හාට් ඇටෑක් එකක් එනකං දන්නේ නෑ.

ටොයිලට් ගියාම ටිකක් වෙලා යනවා. ඒ හින්දා තේ එකක් නොවෙයි දෙකක්ම බීලා යනවා. නිතරම අජීර්ණ ගතියක් දැනෙනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී බවල් කැන්සර් එකක් එනකං දන්නේ නෑ.

ඒ විතරක් නොවෙයි.

චූ කරන්න ගියාම වෙනදාට වඩා වෙලාව යනවා. ඒ ගිහින් තව ටික වෙලාවකින් ආපහු යන්න ඕනෑ වගේ දැනෙනවා.

ඒත් ගාණකට නොගෙන ඉන්නවා. ගෙදර උන්දෑට කියන්නෙත් නෑ. දොස්තර කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. අන්තිමේදී ඒක ප්‍රොස්ටේට් කේස් එකක් වෙනකං දන්නේ නෑ.

ඔය වගේ තව නොයෙකුත් උදාහරණ දෙන්න පුළුවනි!

පිරිමි හොරයි තමන් ගේ ලෙඩ ගැන අනුං එක්ක කියන්න, කොටින්ම දොස්තර කෙනෙක් එක්කවත්. ඉතිං මුලදී හඳුනාගෙන ඉක්මනින්ම සුව කරගන්න පුළුවන් දේවල් අන්තිමේදී මහා ප්‍රශ්න වෙනවා.

ඔය සේරම මතක් වුණේ පොඩි කේස් දෙකක් හින්දයි.

එකක් දන්නා කියන හිතවතෙක් ගැන ලැබුණු ආරංචියක්. ඔහුට කාලෙක ඉඳලා ඇවිදින කොට මහන්සිය, ටිකක් හයියෙන් යන කොට හතිය වගේ දැනුනට ගාණකට ගන්නේ නැතුව ඉඳලා. පස්සේ බිරිඳගේ බවලත් (බලවත්) ඉල්ලීම පිට ගිහින් දොස්තර ළඟට ගිහින් බැලින්නම් හාට් කේස් එකක්. වැඩේ ඉස්පිරිතාලෙනුයි නතර වුණේ.

දෙවෙනි කේස් එක මට මේ ඊයේ වෙච්ච වැඩක්.

සයිබරයෙන් අඳුනා ගත්තු හිතවතෙකු ගේ ගෙවල් මාරු කරන වැඩේට උදව් කරන්න ගිහින් දණහිස වැදුණා ඇඳක විට්ටමේ. කේස් එක වුණේ උදේ එකොළහට විතර. එවෙලේ පොඩ්ඩක් විතර රිදුණත් ගණං ගන්නේ නැතුව හිටියා පොර සේ.

පස්සේ හවස් වෙන කොට දණහිස හොඳටෝම ඉදිමිලා අඩිය තියලා ඇවිදින්න බැරිවුණා. හාමිනේ ගේ උපදෙස් පිට අයිස් පැක් තියලා, පැය ගාණක් ඇඳට වෙලා ඉඳලා තමයි යන්තං වැඩේ ගොඩ ගියේ.

මේ හයිබ්‍රිඩ් ආදර්ශ පාඨය අහලා තියෙනවද?

පුංචි පැලේ ගස වෙන නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන්න වෙනකං ඉන්න එපා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අණ්ඩක් කැඩී දණහිස නැමීමට බැරි වියක තර්ප්පුවකින් ඉහලට පහලට යෑමේ ක්‍රමවේදය.

නගින කොට ඉස්සෙල්ලා හොඳ කකුල තියන්න. අනික පසුව ගන්න.
බහින කොට ඉස්සෙල්ලා කැඩුණු කකුල තියන්න, අනික පසුව ගන්න.


(image: http://en.wikipedia.org/wiki/File:International_Men%27s_Day_Symbol.png)

Friday, 28 June 2013

සීනි නැතුව තේ බොන්නම් - කෑම නැතුව හුලං කන්නම් : Only a Sri Lankan can do this?


පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.

මේ දවස් වෙන කොට ලංකාවේ පොඩි දුර්භික්‍ෂයක් වගේ එකක් ඇවිත් කෑම බීම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව, පිටරටින් බඩු ගෙන්වීම අන්තිමට සීමා කරලයි තිබිලා තියෙන්නේ.

මං කලින් කතන්දරේක කිව්වා වගේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති වුණාම සාමාන්‍යයෙන් නම් බඩු මිල වැඩිවෙනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය ද අරක ද මේකද දැම්මාම වෙන්නේ කළු කඩ බිහිවීමයි.

මේක වලක්වන්න ආණ්ඩුවට වෙනවා තියෙන සොච්චම සලාක ක්‍රමයට බෙදල දෙන්න හරියට යුද්දෙ කාලෙක කරනවා වගේ. ඒ එක්කම කළු කඩ මැඩලන්න වැඩ කරන්නත් වෙනවා.

මේ කාලේ තිබුණු හාල් පොලු ආදිය ගැන බ්ලොග් අවකාශයේ ලියවිලා තියෙනවානේ.

ඉතිං, රටේ සීනිත් හිඟයි, හාලුත් හිඟයි. යුඇම්පී කාරයෝ සත්‍යග්‍රහ ආදී නොයෙකුත් අරගල කරනවා.

ඉතිං, ආණ්ඩුවට සපෝර්ට් කරන්න හිතපු සිරිලංකාකාරයෝ ඔය කාලේ තිබුණු මැයි දින රැලියකදී කියලා තියෙන සටන් පාඨයක් තමයි මෙන්න මේක.

සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
මැතිණිය ඔබ කියනව නම්
පිදුරු වුණත් අපි කන්නම්

ඔතන මැතිණිය කියලා කියන්නේ චන්ද්‍රිකා ඇන්ටිගේත් අම්මාටයි. එයා තමයි ඒ කාලේ රටේ රජකම් කළ රැජිණ!

මට ඔය කේස් එක මතක් වුනේ අද පත්තරේක කියවපු පොඩි නිවුස් අයිටම් එකක් දැක්ක වෙලේයි.

මේකේ කියවෙන්නේ අපේ ලංකාවේ පොරක් ගැනයි.

මූ නම් ඇත්තටම හැත්තෑවේ දශකයේ මුල කාලේ උපන්න එකෙක් වෙන්න ඕනෑ.

පොර කන්නේ අවුරුද්දකට දහපාරයි ලු. සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ හුලං බීලා! ඒ එක්කම හිරු එලියේ, හුළඟේ ආධාරයෙන්.

මෙන්න පත්තර කෑල්ල.



වැඩි විස්තර මෙතනින්.
http://www.thesun.co.uk/sol/homepage/news/4986338/man-survives-for-five-years-on-nothing-but-fresh-air.html

මේක තමයි ලෝකේ ආහාර හිඟයට හොඳම පිළියම.

කර්බි ඩි ලැනරෝල් වගේ අය තවත් මේ ලෝකේට බිහි වේවා!

-කතන්දරකාරයා

Thursday, 27 June 2013

ජීවිතං අනියතං, මරණං නියතං - නෙල්සන් මැන්ඩෙලා සහ මරණය : Certainty!


නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි මේ කතන්දරය කියවන බොහෝ දෙනා දනිති. නොදන්නා අය සඳහා කෙටියෙන් කියනවා නම් ඔහු දකුණු අප්‍රිකාවේ නිදහස් සටනේ වීරයාය. වර්ණබේදවාදී සුදූ අධිරාජ්‍යවාදීන් ට විරුද්ධව නිදහස සඳහා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට නායකත්වය දුන් ඔහු ඒ හේතුව නිසා වසර විසි හතක් තිස්සේ හිරබත් කෑවේය.

පසුව හිරෙන් නිදහස් වී මැතිවරණය දිනා 1994 දී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති ලෙස පත්විය. අද වයස අවුරුදු 95 ක් වයැසැති ඔහු මේ දිනවල අසාධ්‍ය ලෙස අසනීපව රෝහලේ පසුවෙයි. දකුණු අප්‍රිකානුවන් පමනක් නොව අද ලොව වෙසෙන බොහෝ දෙනෙකු ඔහු ගැන දුක් වෙති. ඔහුට සුවය පතති.

අද ලෝකයේ සෑම ප්‍රධාන පුවත් පතකම, සඟරාවකම ඔහු ගැන සුවිශේෂී ලිපියක් සැකසී ඇත. සෑම ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකම ඔහු ගැන සුවිශේෂී වාර්තා වැඩසටහනක් සැකසී ඇත. පුවත්පත්, සඟරා, ඉලෙක්ට්‍රෝනික මාධ්‍යවේදීහූ දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා සිටිනා රෝහල සමීපයේ කඳවුරු බැඳගෙන සිටිති.

නෙල්සන් මැන්ඩෙලා මිය ගිය විගස පෙර කී අවමංගල ශෝක ප්‍රකාශ ලිපි පල කෙරෙනු ඇත. වාර්තා වැඩ සටහන් විකාශය කෙරෙනු ඇත. වාර්තාකරුවෝ එහි සිට සජීව විස්තර ප්‍රකාශ ගෙන එනු ඇත.

සිදුවෙන්නේ කවදාදැයි අප නොදන්නා නමුත්, නෙල්සන් මැන්ඩෙලා මතු යම් දවසක මිය යාන බව නම් අපි ඉඳුරාම දනිමු.

මරණය යනු අප හැමටම පොදු දෙයකි.

බුදු සාදු ද මිය ගියේය.
ජීසස්වද මරා දමන ලදී.

කේමදාස මිය ගියේය.
අමරදේව ද මිය යනු ඇත.

මෙලොව වසන අන් සියළු සත්වයන් මෙන්ම, කතන්දරකාරයා නම් චරිතයක් ආරූඩ කරගෙන මේ කතන්දර බ්ලොග් එකේ කතන්දර ලියන මා ද යම් දිනයක මිය යාමට නියමිතය.

එය අන් අය මට මතක් කර නොදුන්නත් මට ලේසියෙන් අමතක වෙන කාරණයක් නොවේ.

මා ද ඒ ගැන විටින් විට සිහිකොට ඇත්තෙමි.

1. වන් මෑන් ෂෝ - කතන්දර බ්ලොග් මැරතන් - ඇයි?
2. ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා
3. මැරෙන එකත් පණ යන වැඩක්

ඔය ටික ලිව්වේ දැක්කේ නැති අයට මට පහුගිය දවස්වල ලැබුණු ප්‍රතිචාර දෙකක් පෙන්නන්නයි.

මෙන්න පළමුවෙනි එක.


මෙන්න මගේ පිළිතුර.

   Anonymous June 12, 2013 at 4:10 PM

ඔබ හරියටම හරි, එය මතක් කල එක ගැන ස්තුතියි.

දැන් අවුරුදු හතකට කලින් මාව තව අවුරුදු දහයකට ගැරන්ටි කලා. තව තුනයි තියෙන්නේ ඒ කාලය ඉවර වෙන්න. හතරක් හිටියොත් ඒක බෝනස් එකක්!

ඊට කලින් කතන්දර ටික ලියලා ඉවරයක් කරන්න ඕනෑ.

මෙන්න ඒ වර්ගයේ දෙවෙනි ප්‍රතිචාරය සහ එයට මා දුන් පිළිතුරට පාර.

http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html?showComment=1371534894911#c7454310146936081471

මේ බණ පදේ අහලා තියෙනවා නේද?

ජීවීතං අනියතං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගත කරං!


ඔබ සැමට සැප සතුට, ජය සහ නිරෝගී සුවය පතමි!

නෙල්සන් මැන්ඩෙලා මෙන් දශක දහයක් ජීවත් වීමට ඔබ සැමට ඉඩ ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!

ඒත් හැබැයි කවුද ඒවා මොඩරේට් කරලා අනුමත කරන්නේ යන්න නම් මම නොදනිමි.


(image: https://en.wikipedia.org/wiki/File:Soviet_Union_stamp_1988_CPA_5971.jpg)

Tuesday, 25 June 2013

අයියලා ට පොසොන් සරුද? - What I did on poya day


ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.

"අවුරුදු සරු ද?", "නත්තල් සරු ද?" කියලා කන-බොන කේස් ගැන අහනවා මිස පොසොන් වගේ පෝය දවසක් ගැන එහෙමත් ප්‍රශ්න අහනවාය කියලා මං දැන ගත්තේ එදා තමයි.

වෙසක් ගැන නං ඉතිං සරුද කියලා තක්සේරු කරන්න පුළුවන් දන්සැල් ගැනවත් හිතලා.

සමහර විට ඒ ලියුම එවපු ගෑල්ළමයා අනුරාජපුරේ පැත්තේ අංශයක් වෙන්න ඕනෑ. ඒ පැත්තේ තමයි ඔය පොසොන් එකටත් දන්සැල් ගජරාමෙට දන්සැල් තිබුණේ ඒ කාලේ.

මේ කතාව ලියන්න ගත්තේ පොසොන් එක ගැන කියන්න නෙමෙයි, වෙසක් එක ගැන කියන්නයි.

ඉස්සර පේරාදෙනියේ ඉන්න කාලේ හැම පෝයකටම ගැටඹේ ගියා. ගමේ දී හැම පෝයකටම ගමේ පන්සලට ගියා. නමුත් දැන්නම් වෙසක් එකටයි, කටින පිංකම දවසෙයි ඇරුණාම අනිකුත් අවශේෂ පෝය දවස්වලට පන්සල් යැවෙන්නේ විශේෂ වැඩක් යෙදුණොත් විතරයි.

වයසට යනවා කියන්නේ ඕකට තමයි!

පහුගිය මාසේ යෙදුණු වෙසක් පෝයදාත් මංතුමා අපේ ගමේ පන්සලට ගියා. එකපාරක් නොවෙයි දෙපාරක්ම. උදේ ගියා අටසිල් ගන්න අයට ඇරලවලා, උපාසක දානේට අපි හදපු පපඩම් සහ සලාදේ දීලා එන්න.

හවස ගියා වෙසක් සිරි නරඹන්න.

මේ එදා ගත්තු ෆොටෝ කීපයක්. බලන්න අපේ ගමේ පන්සලේ වෙසක් සිරි!

මෙන්න චෛත්‍ය රාජයා වෙසක් සිරියෙන් දිලිසෙන අන්දම.


අටපට්ටම් කුඩු සහ බකට්.




මං හිතන්නේ මේ මානසවිල ද කොහෙද!


පාන් වැට


කැරකෙන කූඩුව


මේක තමයි මගේ හිත ගත්තේ. නෙළුම් මලෙන් උපන් බබා.






අන්තිමේ දී කඩලත් කෑවා!

-කතන්දරකාරයා

ප/ලි:
පන්සල් දෙපාරක් ගියත්, පහුගිය අවුරුදු කීපයේම කළා වගේ සපත්තු නොගලවාම ගෙදර ආපු එකත් හොඳ වාර්තාවක්.


(image: http://www.flickr.com/photos/tennysons/6317854643/)

Sunday, 23 June 2013

මල්ගෝවා නොහොත් කෝලිෆ්ලවර් -කාලා වරෙං! : I am going to challenge the Iron Chef


ලංකාවේ භාවිතා වෙන භාෂා තුනම [සිංහල, දෙමළ, ඉංගිලිසි] සම්බන්ධ වචනයක් දන්නවද?

ඒක තමයි ගෝවාගෙඩිය.

ගෝ - පලයං
වා - වරෙං
ගෙඩිය - විවිධ තේරුම් ඇත!

ගෝවා කියන්නේ ඉතිං එලෝළුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මල්ගෝවා කියන්නේත් එලෝළුවක්. නමුත් මේ දෙක අතර අර නෙළුම් අල සහ නෙළුම් මල් අතර වගේ සංජානේය සම්න්ධතාවයක් නෑ.

ගෝවා සහ මල් ගෝවා නිකං බාප්පා මහප්පලා ගේ පුත්තුන් ගේ පුත්තු වගේ ටිකක් දුරින් තමයි නෑ වෙන්නේ.

පහුගිය දවසක මට පොඩි චෑන්ස් එකක් ලැබුණා මල්ගෝවා උයන්න.

චෑන්ස් එකක් කියන්නේ හාමිනේට කලින් මට ගෙදර යන්න ලැබීමයි.

ඒ ගැන විස්තරේ තමයි අද කතන්දරේ.

මෙන්න මං ගත්තු මල්ගෝවා ගෙඩි බාගේ.



පොඩි පොඩි කෑලිවලට කපා ගත්තා. මේවායේ තියෙන මල් වගේ කෑලි විතරයි සාමාන්‍යයෙන් ගන්නේ.



මැද්දේ නටුව අයින් කරනවා. නමුත් ඒකත් නරකම නෑ. මං නං දැම්මේ නෑ.



ඊළඟට කළේ කහ, තුනපහ, මිරිස් කුඩු, කරපිංච, ලුණු, ලොකු ලූණු, සුදු ලූනූ යනාදිය දාලා මිශ්‍ර කරගන්නා එකයි.



ඊට පස්සේ සාස්පානක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙන කොට ඒකට කෙළින්ම දාලා උයන්න ගත්තා.



ටිකක් කවලම් කරන්න අමතක කරන්න එපා වෙලාවෙන් වෙලාවට.



මූඩියකින් වහන එකත් හොඳයි. මීට අමතරව මං වතුර පොඩ්ඩකුත් එකතු කෙරුවා.

ඊළඟට මං ඒකට කිරිපිටි හැඳි දෙකක් විතර දැම්මා. කලින් වතුර ටිකක් දාපු නිසා නිකංමයි දැම්මේ, වතුර හිඳිලා වගේ නම් කිරිපිටි ටික දියකරලා දාන්නත් තිබුණා. කිරිපිටි වෙනුවට පොල්කිරි ටිකක් දාන්නත් පුළුවනි.



මේ තියෙන්නේ ලිපෙන් බාලා භාජනයකට දාපුවාම පේන විධිය.



ඉස්සර ගුවන් විදුලියේ "ඉවුම්-පිහුම්" තීරයේ කියනවා වගේ: දැන් මෙය මේසයට යවන්න. මෙය ඔබේ බිරිඳ ප්‍රියකරන වෑංජනයක් වෙනු ඇත.

-කතන්දරකාරයා


(image: http://www.geocities.ws/oceanaria9/bios.html)

Friday, 21 June 2013

පොඩි මෙව්ව එකක් ගැන මෙව්ව එකක් - I think you are in love!


දැන් ඔය ගද්‍ය සහ පද්‍ය කියලා ජාති දෙකක් ගැන අහලා තියෙනවා නේද?

පද්‍ය කියන්නේ නං ඉතිං කවි කියන එකනේ. ගද්‍ය කියන්නේ සාමාන්‍ය ලියවිල්ලටයි.

සමහර විට ඔය ගද්‍ය පද්‍ය ජාති දෙක අතර වෙනස හරියටම කියන්න බෑ වගේ. සමහර සටහන් ගද්‍යට වඩා ප්ද්‍ය වගේ. සමහර ඒවා පද්‍යට වඩා ගද්‍ය වගේ. මේවට ගද්‍ය කියන්නත් බැහැ, පද්‍ය කියන්නත් බැහැ, ගද්‍ය-පද්‍ය කියන්නත් බැහැ, පද්‍ය-ගද්‍ය කියන්නත් බැහැ.

උඩ මාතෘකාවේ මං මෙව්වා එකක්කියලා ලිව්වේ ඒ නිසයි.

කාලෙකට ඉස්සර දවස ගානේ පරිහරණය කරපු පරණ සටහන් පොතක් හම්බ වුණා අහම්බෙන් වගේ පොත් ගොඩක් අදින අතරේදී.

මේ ඒ පොතේ තිබුණු මෙව්ව එකක්.

මෙව්ව එකක් කියන්නේ මේ සටහන ගද්‍යත් නොවෙයි, පද්‍යත් නොවෙයි හින්දයි.

මෙන්න ඒ සටහන.

බැලු බැලු හැම අතම ලස්සනද පෙනෙන්නේ?
බැස යන හිරු ගේ, නැග එන සඳු ගේ, අහස වැසූ තරු රෑනේ?
උදේට කුරුළු ගී හඬ ඇහෙනවද?
දින සති වෙනවා තේරෙන්නේ නැද්ද?
ඒත් සති අන්තය නම් අවුරුද්දතක් විතර දිගයි නේද?

නිකම් ඉන්න වෙලාවලදී ලස්සන සිහින ලෝකවලට සිත පා වෙලා යනවා නේද?
යලිත් තිගැස්සී පියවි ලොවට එනවා නේද?
නමුත් ඒ සිහින සිනා පස්සෙත් සිතේ තියෙනවා නේද?
මං හිතන්නේ ඔයා ආදරයක බැඳිලා!
I think you are in love!

එකක් පස්සේ එකක් ගී මුවගට එනවාද?
වෙනදා නොදැණුනු තේරුම් ඒවා යේ තියෙනවා නේද?
ජීවිතයට ගීතයක් කියා හිතෙනවාද?
නොදැනුවත්වම ඔබ කවියෙක් වෙලාද?
මං හිතන්නේ ඔයා ආදරයක බැඳිලා!
I think you are in love!


-කතන්දරකාරයා

ප/ලි:
මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!

(image: http://myfbcovers.com/facebook-cover/quotes-sayings/when-you-are-in-love)

Wednesday, 19 June 2013

රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire


පහුගිය අප්‍රියෙල් මාසයේ ඉතාලියේ මං ගතකල සතියක පමණ කාලයේ දී ලැබූ අත්දැකීම් කිහිපයක් ගැන කතන්දර පසුගිය දිනවල පලකළා මතකයි නේ?

ඒවා කියවපු නැති අයට මෙන්න නැවතත් අවස්ථාව.

1. ඉතාලියේ පුංචි පුංචි කාර්
2. ඒරොප්පේ කෝච්චිනේ හලෝ කෝච්චි
3. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල
4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක්
5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි

ඔය අන්තිමට තියෙන ඉතාලි පොලොන්රුව කතන්දරේ දී මං කිව්වා වගේ මීට ශතවර්ශ තිස් ගානකට කලින් තමයි රෝම පුරාණ ශිෂ්ඨාචාරය දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ.

ඊට පස්සේ රෝම අධිරාජ්‍යය බිහිවෙලා රෝමන්ස් ලා මුලු යුරෝපයම වගේ යටත් කරගෙන ඉඳලා තියෙනවා කාලයක් ස්පාඤ්ඤයේ සිට ආමේනියාව දක්වාත්, මිසරයේ සිට එංගලන්තය දක්වාත්.

සියවස් ගණනාවක් තම බල පරාක්‍රමය පතුරවා ගෙන හිටියත් රෝම අධිරාජ්‍යය පසු කාලයක අභාවයට ගිහින් තියෙනවා, විශේෂයෙන්ම සතුරු උවදුරු සහ වෙනත් විවිධ හේතු නිසා.

ඒ වෙනත් හේතුවක් ගැන මට හෝඩුවාවක් ආවේ ඔස්ටියා පුරාණ නගරයේ නටඹුන් අතර තිබිලා හොයා ගෙන දැන් එතන පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රතිමා ගොන්න දැක්කාමයි.

මෙන්න ඒවායින් කීපයක් (ඇස් වහගෙන බලන්න).



දැන් තේරුණා නේද?

රෝම අධිරාජ්‍යයේ පරිහානියට එක හේතුවක් වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන් ට ජොක්කු ගැන කිසිම අදහසක් තිබිලා නැති එකයි.

පරම්පරා කුට්ටම බේරා ගන්නේ නැතුව කොහොමද අධිරාජ්‍යයක් රැක ගන්නේ?

-කතන්දරකාරයා


(image: http://en.wikipedia.org/wiki/File:Roman_Empire_Trajan_117AD.png)

Monday, 17 June 2013

හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!


සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.

එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.

මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.

මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.

මා සිත් ගත් වැදගත්ම කතාව අජිත් ලියා තිබුණේ මේ ලිපියට ලැබී තිබුණු කමෙන්ටුවකට ප්‍රතිචාරයක් ලෙසයි.

එය මෙසේය.

   මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

   සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

   මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.


පාරේ මුත්‍රා කරන පිරිමියා වගේ ම තමයි කාර්යාලයේ පොදු කොමඩ් එකට හිටගෙන මුත්‍රා කරන පිරිමියාත්.

පැරා ගේ ඉහත කියමන අග සිට මුලට කියවන විට අපට පහත සඳහන් නිගමනයට බැසිය හැක.

පිරිමින් කොමඩ්වල හිටගෙන චූ කරනතාක් කල් රටේ සමාජවාදය බිහි කළ නොහැක. එසේම, රටේ සමාජවාදය බිහි කිරීමට නම් පිරිමින් කොමඩ්වල වාඩි වී චූ කළ යුතුය.

අපි කුඩා කල ගම්බද නිවාසවල තිබුණේ වල කක්කුස්සිය. ඒ වැසිකිලි සාමාන්‍යයෙන් පිහිටියේ නිසසේ සිට මද දුක් ඔබ්බෙනි. රාත්‍රි කාලයේ අංක දෙකේ කාර්යයේ යෙදීමට ටෝච් එකක් රුගෙන මෙහි යාම ඉතා ප්‍රියජනක කටයුත්තක් විය. එසේ වතුදු අංක එකේ කාර්යය, එනම් වූ දැමීම, සඳහා නම් එතරම් කරදර විය යුතව තිබුණේ නැත. අප බොහෝ දෙනෙකු කලේ නිවස පිටුපසට ගොස් සරම ඔසවා නිදහසේ හුලං පහර විඳිමින් කෝල් එකට උත්තර දීමයි.

පසු කලෙක වල කක්කුස්සි වෙනුවට ස්කොටින් පෑන් වර්ගයේ වතුර ගසා පිරිසිදු කළ යුතු වැසිකිළි ඉඳිවුණු අතර, ඒවා ඉඳිවුනේ, නිවසට යාබදවය. අංක දෙක සඳහා පෙර පරිදිම උක්කුටයෙන් ඉඳ ගත්තද, අංක එක නම් කවදත් කෙරුණේ පෙර පරිදි හිටගත්වනමය.

වල කක්කුස්සියේ සිට ස්කොටින් පෑන් වැසිකිලියට මාරුවීම එතරම් කජ්ජක් නොවේ. නමුත් එතැන සිට කොමෝඩයට පැනීම වනාහී ලොකු පිම්මකි.

පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මුලදී කාන්තා නේවාසිකාගාරව පැවතී පසුව කොල්ලන් සඳහා වෙන්වී තිබුණු හිල්ඩා ඔබේසේකර ශාලාවේ දී මා දුටුවේ එහි තිබුණු කොමඩ් වටා ගඩොලින් බැඳ ඒවා උක්කුටයෙන් වාඩි වී භාවිතා කිරීමට හැකිවෙන පරිදි සකසා ඇති බවකි.

මේ වැසිකිළියක අංක දෙක කර්තව්‍යය කිරීම සඳහා පඩියක් නැගිය යුතු වූ අතර මේ හේතුව නිසා එය හැඳින්වුනේ "ගස් බොග දැමීම" වශයෙනි. මා වසර දෙකක් පමණ වාසය කළ අක්බාර් ශාලාවේ ද, සියළු කොමෝඩ් ඉහත ආකාරයට ගඩොලින් බැඳ සකසා තිබුණි.

අංක දෙක සඳහා කොමොඩ් එකක වාඩි නොවන පිරිමින් කොයි ආකාරයකට වාඩී වී චූ කරන්නට ඉගෙන ගනී ද?

පැරා ගේ තියරියට අනුව, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සමාජවාදය ගැන සැබෑ උනන්දුවක් දැක්වූ අය අඩුවෙමින් ගියේ ඒ නිසා විය යුතුය.

හිටගෙන චූ කල හැක්කේ පිරිමි අපට පමණක් නොවේ. දැනට කැනඩාවේ වෙසෙන ඉංගිරිසි මහාචාර්යවරයෙකු මෙන්ම ලෝ පතල නවකතාකරුවෙකුද වෙන මයිකල් ඔන්ඩච්චි සිය "රනින් ඉන් ද ෆැමිලි" කෘතියේ සඳහන් කර තිබුණු පරිදි යුරේසියානු ගැහැණියක වූ ඔහු ගේ මව් පසින් මිත්තණිය පවා හිටගෙන චූ කිරීම කළ කාන්තාවකි. ඇය වරෙක කොළඹ කාන්තා විදුහලක සැනකෙලියක දී ද මේ කර්තව්‍යය කළ බව ඔහු ලියා තිබුණි.

පැරා, ඔහු ගේ ප්‍රතිචාරයේ පොදු කොමඩ් එක යනුවෙන් අදහස් කර ඇත්තේ කාන්තාවන් සහ පිරිමි දෙකොටසම භාවිතා කරන කොමඩ් වැසිකිළි බව පෙනේ.

මයිකල් ඔන්ඩච්චි ගේ ආච්චි ගේ වර්ගයේ අය හැරුණු කොට සියළුම කාන්තාවෝ කොමඩ් එකේ සිට් එක උඩ වාඩි වී කෝල් ආන්සර් කරති.

පිරිමි අප අංක දෙක කෙසේ කළා වුවද, කොමඩ් එකට හිටගෙන චූ කිරීම වැරදිය, නොදියුණුය යන්න පැරා ගේ චෝදනාවයි.

එයට හේතුව වන්නේ පිරිමියෙකු හිටගෙන චූ කරනා විට මුත්‍රා බිඳු අවට විසිරෙන්නට ඉඩ ඇති නිසා, වැසිකිලිය අපවිත්‍රවීමයි.

එය සාධාරණ චෝදනාවකි.

එසේ වුවද, සාමාන්‍යයෙන් ලෝකයේ සැම තැනකම පාහේ සිදුවන්නේ එයම බව, එනම්, පොදුවේ පිරිමින් චූ කරන්නේ හිටගෙන පමණක් බව, විවිධ නවකතා, ලිපි, සිට්කොම්, කාටූන් සහ අත්දැමීම් මත පදනම්ව මට කිව හැක.

මෙහිදී පිරිමින් විසින් කිරීමට අපේක්‍ෂා කරන්නේ කොමෝඩයේ වාඩි වීම නොව, චූ කිරීමට පෙර කොමෝඩයේ සීට් එක ඉහලට දැමීමයි. එවිට විසිරෙන චූ බින්දු වෙතොත් ඒවායෙන් සීට් එක බේරෙනු ඇත. කාන්තාවක් ඉන් පසු එහි පැමිණි විට හිඳ ගන්නේ සීට් එක පහතට දමා ඒ මත නිසා සිදුවිය හැකි අපිරිසිදු තත්වය අවම වේ.

මේ සම්බන්ධයෙන් කුඩා පිරිමි දරුවන්ට අවවාද පිණිස ලියවුණු කවියක් මෙලෙස වේ.

ඉෆ් යු ස්ප්‍රින්කල්, වයිල් යු ටින්කල්
ප්ලීස් බී නීට් ඇන්ඩ් වයිප් ද සීට්
(ප්ලීස් බී අ ස්වීටී ඇන්ඩ් වයිප් ද සීටී)


අවසාන වශයෙන් මට කිව ඇත්තේ මෙයයි.

කොමෝඩ් වැසිකිලියකට චූ කිරීමට යන පිරිමියෙකු එය වාඩි වී කරන දිනයක් කෙදිනකවත් උදා වේ යැයි මට සිතිය නොහැක.

අහෝ! සමාජවාදය ගොඩ නැගීම සිහිනයක් පමණකි!


-කතන්දරකාරයා


(images: http://mbeachbywordofmouth.wordpress.com/2011/08/07/etiquette-hint-1/ & http://www.someecards.com/usercards/viewcard/MjAxMi0zNDI0NmEyMjA4NjQzZTEy)

Saturday, 15 June 2013

කැලැන්ඩර් දාහතර, අවුරුදු විසි අට සහ මඩ පුවක් ගඳ - Regurgitation, oh, yum!


මේක අමුතුම කතන්දරකාරයක්!

දන්නවද අපි 2002 කැලැන්ඩරයක් පරිස්සම් කරලා අරං තියාගෙන හිටියා නම් මේ අවුරුද්දෙත් (2013) පාවිච්චි කරන්න තිබුණු බව?

දැන් පවතින කැලැන්ඩර ක්‍රමය අනුව අපිට ඕනෑ කැලැන්ඩර් දාහතරක් විතරයි. ඒ සෙට් එක හැම අවුරුදු විසි අටකටම පාරක් රීපීට් වෙනවා. සමහර කැලැන්ඩර් තුන්පාරක්, සමහර ඒවා දෙපාරක්, නමුත් සමහර ඒවා ඒ විසි අටේ චක්කරේ දී එකෝම එක පාරයි එන්නේ.

මේ 2013 අවුරුද්දේ කැලැන්ඩරේ පරිස්සම් කරලා තියාගත්තොත් ආපහු ඒක 2019 දී පාවිච්චි කරන්න පුළුවනි!

නමුත් ලංකාවේ සමහර දේවල් ගැන හිතන කොට නම් ඒ විදියට අවුරුදු ගණනාවක් යන්න ඕනෑ නෑ වගේ. ඒවා එක්කෝ ඊට වඩා කලින් රිපීට් වෙනවා. නැත්තං එකම තැන පල්වෙවී තියෙනවා.
බලන්න මේ අයිටම් එක!

       "රජය 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට හෝ එය ඉක්මවා යන බලය බෙදීමකට යාමට උත්සාහ කළහොත් ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වන බවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ ප්‍රධාන ක්‍රමෝපාය විශේෂඥවරයා වන පරිසර ඇමති චම්පික රණවක ඊයේ නිකුත් කළේය.

රජය තුළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විරුද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රබලව ඉස්මතු වී තිබේ. 1987දී ඉන්දීය බලපෑම මත ක්‍රියාත්මක කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988දී පළාත් සභා පිහිටුවන ලදී. එහෙත් ඉඩම්, පොලිස් බලතල වැනි පූර්ණ බලයක් තවමත් පළාත් සභාවලට ලබා දී නැත.

හෙළ උරුමය‍ට අමතරව ජාතික නිදහස් පෙරමුණද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නැඟීම ආරම්භ කර තිබේ. එම පක්ෂය හා සම්බන්ධ දේශහිතෛෂී ජාතික පෙරමුණ විසින් ජුලි 07දා ‍කොළඹදී සම්මන්ත්‍රණයක්ද සංවිධානය කර තිබේ.

රජය තුළ මේ වන විටත් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව බලවේග ඒකරාශී කිරීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බවද, ඇල්වතුර පවා නිවා බීමට පරිස්සම් වන බොහෝ ඇමතිවරු මේ පිළිබඳව නිහඬව පරීක්ෂාවෙන් සිටින බවද, දෙස් විදෙස් බලපෑම මත බලවත් වන පාර්ශ්වය අනුව ඔවුන්ගේ ස්ථාවරය තීරණය වීමට ඉඩ ඇති බවද සැළයි.
"

මේක කියවා ගෙන යනකොට හිතෙන්නේ මේ අද හෝ හෙට පත්තරේකින් ගත්තු නිවුස් එකක් කියලා නේද?

නමුත් ඇත්තටම මේ කතාව හරියටම අවුරුදු හතරක් පරණ එකක්.

මං වැරදිලා වගේ ගොඩවැදිලා මේක කියෙව්වේ බ්ලොග් එකේ පලවෙලා තියෙන පස්වෙනි ලිපියෙන්. දිනය 2009 ජුනි 30. මගේ බ්ලොග් එක පටන් ගන්න දවස් එකොළහකට කලින්.

මෙන්න සම්පූර්ණ ලිපියට පාර: http://www.w3lanka.com/2009/06/13.html

ඔය කියන 13 විරෝධී සම්මන්ත්‍රණය 2009 ජුලි හත් වෙනිදා තිබිලා තියෙනවා. මෙන්න ඒ ගැන විස්තරයක්: http://www.divaina.com/2009/07/10/news21.html

මේ නිවුස් අවුරුදු ගාණකට පස්සේ රීපීට් වෙන ජාතියේ ඒවා නොවෙයි. මේවා එක තැන පල්වෙවී තියෙන ඒවා!

තව අවුරුදු කීපෙකින් ඇවිත් බලන්න කෝ. මේ ගොල්ලෝ ඔය බයිලේම කිය කියා ඉඳීවි.

අපි නං කියන්නේ මෙන්න මේ බයිලාවයි.

අප විතරද එක තැන කැරකෙන්නේ
අප පසුකර ලෝකය දිව යන්නේ

ආජු තපර ලාහිලා!


-කතන්දරකාරයා

Thursday, 13 June 2013

රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica


රෝමයේ මං ගතකරපු සතියක විතර කාලය ඇතුලත ගිය හොඳම ගමණක් තමයි පොලොන්නරුව බලන්න ගිය එක!

උදේ ගියා, හවස් වෙන කොට ආපහුත් ආවා.

මේ බොරු නොවෙයි කියන්නේ. ඇත්තටම කියනවා නම් රෝමයේ ඉදලා පොලොන්නරුවට දුර කිලෝ මීටර් විසිපහක්වත් නැති තරම්.

මං මේ පොලොන්නරුව කියලා කියන්නේ ඊයේ මං කියපු ඉතාලියේ ඉසුරුමුණි පෙම් යුවල මට හමුවුණු ඔස්ටියා ඇන්ටිකා නටඹුන් නගරය ගැනයි.

රෝම රාජධානිය පටන් අරගෙන තියෙනවා කියන්නේ ක්‍රිස්තු පුර්ව අටවෙනි සියවසේ විතර. රෝමයේ ප්‍රධාන නැව් තොටුපොල සහ වෙළද වරාය විදියට තමයි රොමය හරහා මූදට ගලන ටයිබර් ගඟේ මෝය කට ලඟ ඔස්ටියා නගරය දියුණු වෙලා තියෙන්නේ. ඒ අදට සියවස් තිස් දෙකකට කලින්.

ක්‍රිස්තු වර්ෂ නමවෙනි සියවසේ විතර තමයි නගරය අත්හැරලා දාලා තියෙන්නේ. ගඟ පිටාර ගැලීම සහ රොන් මඩ තැන්පත් වීම නිසා ක්‍රිස්තු වර්ශ තුන්වෙනි සියවසේ හදපු ගොඩනැගිලි වල පවා නටඹුන් අද වෙනතුරු තියෙනවා.

මේවායින් හුඟ හරියක් දැන් අවුරුදු පනහ හැටකට විතර කලින් මතුකරගත්තු ඒවා. තාමත් ඒ ආකියෝලොජිකල් වැඩකටයුතු කෙරෙන බවත් පෙනුණා.

කාලයත් එක්ක කොච්චර පරිසරය විනාශ වෙනස් වෙනවාද කියන එකට හොඳම උදාහරණය තමයි, එදා නමවෙනි සියවසේ අතහැරලා දාපු ගඟේ මෝය කටේ තිබුණු වරාය නගරය අද තියෙන්නේ මූදට කිලෝ මීටර් දෙක තුනක් දුරින්. ගඟත් ගලන්නේ ඒ දවස්වල ගලපු පැත්තෙන් නොවෙයි.

මෙන්න ඔස්ටියා ඇන්ටිකා හි නටඹුන් දර්ශන කිහිපයක්.

මට නම් මේවා දැකලා මතක් වුනේ පොලොන්නරුවේ නටබුන් ම තමයි. මං හිතන්නේ ඒ මේ ගඩොල් නිසා වෙන්න ඇති.





මේ තියෙන්නේ එදා තිබුණු විශාලතම ටෙම්පල් එකක (දේවස්ථානයක) නටඹුන්. කොහොමද සයිස් එක? අපේ පොලොන්නරුව සිහිවෙනවා නේද?



ඒ දවස්වල මහා විශාල ගොඩනැගිලි සංඛීර්ණයකින් අද ඉතුරුවෙලා තියෙන්නේ මෙච්චරයි. මේ හරිය ඉතුරු වුනේ ගඟ පිටාර ගලලා රොන්මඩවලින් වැහිලා ශතවර්ෂ ගණනාවක් තිබුණු නිසා වෙන්න ඕනෑ.



මේ නගරයේ පාරවල් දෙකක් සහ ඒ දෙපස තිබුණු ගෙවල්වල නටඹුන්.


මෙන්න ලස්සන කැටයමක්. මේ වගේ ඒවා කීපයක්ම ඔස්ටියා ඇන්ටිකා මියුසියම් එකේ තියෙනවා.



ගොඩනැගිල්වල පොලොවත් සිදීවම්වලින් සරසලායි තිබිලා තියෙන්නේ. මේ සුදු කළු මාබල් චිත්‍රය මං හිතන්නේ තිබිලා තියෙන්නේ බොක්ෂින් ක්‍රීඩකයින් පුහුණු වුණු ජිම් එකකයි.



ඒ කාලේ මැරුණු මිනිස්සුන්ව වල දාලා තියෙන්නේ හොඳ කල්පවතින ගල් පෙට්ටිවල දාලා. මෙතනින් දුප්පත් මිනිහාගේ මීනී පෙට්ටියයි පෝසත් මිනිහා ගේ මීනී පෙට්ටියයි වෙන් කරලා අඳුණා ගන්න පුළුවනි ද?


පැරණි නගරයේ මහා විශාල රඟහලක් තිබිලා තියෙනවා. මේ ඒකේ නටඹුන්වල පින්තූර. ඉදිරිපස ඵෙනුම, ආසන සහ වේදිකාව, රඟහලේ උද්‍යානය.



මේ පිලිම ඒ දවස්වල රජකම් කරපු ගැමුණු ලා, පැරකුම් ලා, දේවදත්තලා කෂ්ටිය ගේ වෙන්න ඇති.



මේ නං සාමාන්‍ය ඔහේලා අපි වගේ අය. මං හිතන්නේ අර බූරුවා විකුණාගෙන එන්න ගිය තාත්තයි පුතයි.



මීලඟ පෝස්ට් එකෙන් කියවෙන්නේ පුරාණ රෝමයේ තිබුණු මහා බරපතල ගැටළුවක් ගැනයි.

-කතන්දරකාරයා


(image: http://commons.wikimedia.org/wiki/File:Polonnaruwa_02.jpg)