Friday 31 May 2013

කමින් කලර් ගුඩ්! - තත්වය හොඳ අතට : Marching on...


මෙන්න අද කතන්දරය.

දිග කාලයක් එක තැනක රැකියාව කරන කොට කාලෙන් කාලෙට නොයෙකුත් කළමනාකරණ වැඩසටහන්වලට යන්න වෙනවා නේ. මං ඔය වගේ ගිය තැනකදී ලැබුණු හොඳ අත්දැකීමක් කලින් කතාවක කිව්වා මතකයි. මෙන්න ඒක: මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black

ඉතිං ඔය වගේ මං සහභාගී වුණු තවත් වැඩසටහනකදී අපිට මේ අභ්‍යාසය ලැබුණා.

       ඔබේ අතීතයට සිතෙන් යන්න. මේ රැකියාවට ආ දිනයට. මුලින්ම රැකියවක් කරන්න පටන් ගත් දිනයට. විශ්ව විද්‍යාලයට ගිය දිනයට. පාසල් කාලයට.

මේ එක් එක් තැන්වලදී ඔබ යම් යම් තීරණ ගත්තා ඔබට මතක ඇති. ඒ තීරණ ගන්න ඇත්තේ ඒ සමගම තිබුණු වෙනත් විකල්ප අමතක කරලා තමන් ඒ දිනයේ කැමති දෙය තෝරා ගනිමිනුයි. (උදාහරණය: මැත්ස් කරලා උසස් පෙල සමත් වුණු පසු පේරාදෙනියේ යනවා ද, මොරටුවේ යනවා ද වගේ තීරණ)

දැන් හිතන්න, ඔබ එදා ගත්තු තීරණය වෙනුවට වෙනත් විකල්ප තීරණයක් ගත්තාය කියලා.

දැන් හිතන්න එය එහෙම වුණා නම් ඔබ අද කොතැන ඉන්න තිබුණාද කියලා. වෘත්තීමය වශයෙන් සහ පුද්ගලිකව.

මේ සිතීමේ අභ්‍යාසය කලේ අපිව මනෝ ලෝකයකට අරන් ගිහින් දුක්බරිත කරවන්න නොවෙයි.

නමුත් කාලෙන් කාළෙට අපේ ජීවිත දිහා මේ වගේ හැරිලා බලන එක ඉතාම වැදගත් දෙයක් බව මට එදා තේරුණා.

ඔය කතාව කිව්වේ මෙන්න මේ නිසයි.

පහුගිය අප්‍රියෙල් මාසේ බාගයක්ම ගෙදර නොසිටි නිසා කතන්දර බ්ලොග් එකට තරමක කුඩම්මා ගේ සැලකිල්ලකුයි ලැබුණේ.

මැයි මාසේ මුල ගෙදර ආවත් ඔෆීසියේ වැඩ ගොඩ නිසා ගෙදර එන එකත් හැමදාම වගේ ප්‍රමාද වුණා. බ්ලොග් කරන්න කලින් දේවකාරියයි, රාජකාරියයි දෙකම කොරලා ඉවර වෙන්න එපායැ. ඉතිං හිතේ දුකෙන් වුනත් ඔහේ බලං ඉන්නයි සිද්ධ වුනේ.

හැබැයි අද මට පෙනුණු විදියට ඔන්න දැන් තත්වය හොඳ අතට පත්වෙමින් තියෙනවා. මං නොවරදවා දවසක් ඇර දවසක් කතන්දරයක් ලියලා පල කෙරුවා. බ්ලොග් එකට පැමිණෙන පාඨක පිරිස වෙනදා තත්වයටම ඇවිත් (ස්තුතියි සැමටම).

මෙන්න පොඩි බ්ලොගර් ග්‍රැෆික්ස් කීපයක්.




මේ එක්කම මං තීරණය කළා මගේ කතන්දර ප්‍රතිපත්තිවලත් පොඩි පොඩි වෙනස් කම් කීපයක් කරන්න.

මට පහුගිය කාලේ පෙනුණු දෙයක් තමයි මගේ කතන්දරවලට කමෙන්ට් කරන අය එක්ක තියෙන කෝන්තර පිරිමහ ගන්න සමහරු නිර්ණාමිකව මගේ බ්ලොග් එක පාවිච්චි කරනවාය කියන එක.

වාරණයට මං විරුද්ධයි. ඒ බව මං පැහැදිලිවම කියලා තියෙනවා.

මං මැතක් වෙනතුරු වාරණය කළේ කුණුහරුප කමෙන්ටු සහ තුන්වෙනි පාර්ශවයන්ට අපහාසාත්මක කමෙන්ටු විතරයි. උපහාසය රැගත් කමෙන්ටු එහෙමම තියෙන්න ඇරියේ ඒවායින් යම් "ෆීඩ්බැක්" එකක් ලැබෙනවා නේද කියලා හිතලයි.

ඊට පස්සේ පොඩි වෝනින් එකක් දීලා තුන්වෙනි පාර්ශවයන්ට කෙරුණු සමහර උපහාසාත්මක කමෙන්ටු පල නොකර ඇරියා.

ඒ බව දන්නෝ, එනම් ඒ කමෙන්ටු දාපු ඇනෝලා, දනිති. නොදන්නෝ, එනම් ඒ කමෙන්ටු මගින් උපහාසයට ලක් කෙරුණු අය, නොදනිති.

දැන් මගේ අදහස මේ තත්වය වෝනින් නොමැතිව ම ඉදිරියට අරගෙන යන්නයි.

දැන් මෙන්න පොඩි ප්‍රශ්නයක්.

ජීවිතේ ආපස්සට ගිහිල්ලා අපි ගත්තු යම්කිසි තීරණයක් වෙනස් කරන්න පුළුවනි නම්, ඒ මොනවාගේ තීරණයක් ද? ඇයි එහෙම කරන්නේ? එහෙම කළොත් මොනවද වෙනස් වෙන්න පුලුවන්?

සැමටම ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කෙලින්ම සහ වක්‍රව විවිධාකාරයෙන් මට ප්‍රතිචාර ලබා දුන් සියළු දෙනාටම ස්තුතියි.

Wednesday 29 May 2013

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love


මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.

මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.

කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!

හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.

ඔය අතරේ මස් කරියකුත් හදා ගත්තනම් වැඩේ සම්පුර්ණයි.

ෆ්‍රයිඩ් රයිස් කියන්නේ කතන්දර හාමිනේ ගේ ප්‍රියතම කෑමක් හදන්න වගේම කන්න. ළමයිනුත් හරිම කැමතියි.

නමුත් එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ!

මංතුමා ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති නැත. නිකං එලෝලු කැලියි, බතුයි විතරයි නේ. මං කන්න කැමති ඊට වඩා සංකීර්ණ උයන්න අමාරු කෑම ජාති.

සාමාන්‍යයෙන් සතියේ දවස්වල හාමිනේ පහමාර විතර වෙනකොට ගෙදර. එයැයි ගේ වැඩපොලේ ඉඳලා ගෙදරට කිලෝමීටර් අටක් විතරයි තියෙන්නේ.

ඒකටත් එක්ක මංතුමා ගෙදරට ලඟාවෙන කොට සාමාන්‍යයෙන් හතහමාර විතර වෙනවා. මොකද මට ඔෆීසියේ ඉඳලා ගෙදර එන්නම පැය එකහමාරක් විතර යනවා, ඒකයි.

ඒ හේතුව හින්දා අපේ රාත්‍රී ආහාරය බොහෝ වෙලාවට ඉතිං හාමිනේ ගේ සුරතින් තමයි සැකසෙන්නේ.

මේ අවුරුද්දේ මුල ඉඳලා නම් සතියට දවසක් විතර මංතුමා කලින් ගෙදර එනවා. ඒ වගේ දවස්වලට තමයි අර ස්ටර් ෆ්‍රයි, පරිප්පු, බොම්බිලි කරෝල, බීන්ස් විත් පීනට්ස්, පොල් රොටී වගේ වික්‍රමාන්විත මෙහෙවුම් ක්‍රියාත්මක වෙන්නේ.

ඔන්න එක දවසක් මට ඔෆීසියේ ලොකු වැඩ ගොඩක් යෙදිලා හවස ගෙදර යන එක ප්‍රමාද වුණා. ඒ ගැන කියන්න මං ගෙදරට කතා කරන කොටත් හාමිනේ ගෙදර ඇවිල්ලා නෑ.

"මාත් අද යනකොට හත විතර වෙයි!" හාමිනේ කිව්වා, මොබයිල් එකට මං කතා කළාම.

කොහොම හරි මං එදා ගෙදර යන කොට නමයත් පහුවෙලා. මං එන්න පරක්කු වෙන හින්දා හාමිනේට කන්න කියලයි මං කියලා තිබුනේ.

මංතුමා ගෙදර ආවේ හොඳටම බඩගින්නේ. හාමිනේ පේන්න හිටියේ නෑ, බාත් රූම් එකේ ද කොහෙද. මං ගෙට හොඩ වුණු ගමන්ම බෑග් එක කාමරෙන් තිබ්බා, කුස්සියට ගියා, අත හෝද ගත්තා.

මෙන්න කුස්සියේ මේසේ උඩ දිලිසි දිලිසී තියෙනවා පලංගානකින් බාගයක් ෆ්‍රයිඩ් රයිස්. ඒ එක්කම පරිප්පුවක් උයලා, ඊයේ උයපු කුකුල්මස් වගයක් රත් කරලා තිබුණා.

මට තේරුණා හාමිනේ ගෙදර එන්න පරක්කු වෙච්ච හින්දා ෆ්‍රයිඩ් රයිස් හදලා බව. ඉතිං මං කෙරුවේ පිඟානකට ඒ ෆ්‍රයිඩ් රයිස් ටිකයි, පරිප්පුයි මසුයි බෙදාගෙන කොටාබාන්න පටන් ගත්තු එකයි.

ඔන්න ටික වෙලාවකින් හාමිනේ කෑම කාමරේට ආවා.

"ආ ඔයා ෆ්‍රයිඩ් රයිස් ටික ද කන්නේ? මං ඔයා ෆ්‍රයිඩ් රයිස් කන්න අකමැති නිසා ඒවා හදන්න කලින් සුදු බත් ඉතුරු කරලා, අන්න සැලඩ් එකකුත් හැදුවා" හාමිනේ කිව්වා "එහෙනං මං ඒ බත් ටික කන්නම්."

"ආ, ඔයා තාම කෑවේ නැද්ද?" මං ඇහැව්වා.

"නෑ, මං ඔයා එනකම් කියලා හිටියා. ඒක නෙමේ ඇයි ඔයා අද ෆ්‍රයිඩ් රයිස් කන්නේ?"

"නෑ, මං හිතුවේ ඔයා අද පරක්කු වෙලා ආපු හින්දා ෆ්‍රයිඩ් රයිස් උයන්න ඇති කියලා, ඉතිං මං ෆ්‍රයිඩ් රයිස් කන්න බෑ කියලා ඔයාට තවත් කරදරයක් වෙන එක හරි නෑනේ!"

ඔන්න ඔහොමයි වුනේ!

මේ කතන්දරේ ඇතුලේ වැදගත් කරුණු කීපයක්ම තියෙනවා. ඒවා ගැන මං අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මොනවා වුනත් අපේ පවුල් ජීවිතේ මං ලබපු හොඳම අත්දැකීමක් තමයි ඒක.

-කතන්දරකාරයා

ප/ලි:
ඊයේ (මැයි 28) ට යෙදෙනු කතන්දර හාමිනේ ගේ සහ කතන්දරකාරයා ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ලියා පලකරන ලදී!

මෙන්න පරණ ඇනිවසරි කතන්දර.

1. පදම් වීම - Ageing
2. කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය


(image: http://yumyumformytumtum.com/2010/07/11/yummy-claypot-just-another-joo-chiat-eatery/)

Monday 27 May 2013

පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd


මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.

පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.

අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.

ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.

කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.

මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.

සීයා මෙය දැක ඇත.

එදා දානයේ කටයුතු අවසාන වී භික්ෂූන් වහන්සේලා නික්ම ගිය පසු අපේ ගිහි දානයේ කටයුතු ආරම්භ විය. මෙහිදී අපේ සීයා මා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ ආගමික කටයුතු සිදුවෙද්දී පන්සිල් නොගෙන සිටීමෙන් මා මහා පාපකර්මයක් සිදුකළාක් මෙන් හඟවමිනි. පින්, පව් සහ පන්සිල් පිළිබඳ මා එදා නැගූ තර්ක ඔහු කනකට ගත්තේ නැත.

වයස අවුරුදු හැත්තෑව ද ඉක්මවා සිටියෙකුගේ බැණ වැදීමක් අවුරුදු දහ අටක් වයසැති තරුණයෙකු සලිත කරවන්නක් නොවේ. එසේම දිගින් දිගටම මෙවැනි දෙයක් ගැන කතා කිරීම වයස අවුරුදු හැත්තෑවක අයෙකුට ද සරි නොවේ.

එසේ වුවද, අපේ සීයා මගේ පංචශීල ප්‍රතිපත්තියට එරෙහිව කතාව දිගු වේලාවක් යනතුරුම නැවැත්තුවේ නැත. ඒ දොඩමළු කමේ රහස මට පසුව එළිවිය.

එදා දානය හමාර වී හාමුදුරුවරු ආපසු වැඩම කළ විගස තම කාමරයට ගිය සීයා, නිරතුරු තම ඇඳ යට තිබෙන පොල් අරක්කු බෝතලයෙන් ”කාලක්-ක්‍රියා” කර ඇත. මෙහිදී ඔහුගේ සහයට සිටියේ, දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට නිවසට පැමිණ සිටි තම මස්සිනා ය.

මේ බෝතල් පාටිය අපේ දානේ ගෙදරට පමණක් සුවිශේෂී සංසිද්ධියක් නොවේ. බොහොමයක් සාංගීක දානේ ගෙවල් වල ගිහියන්ට කරන සංග්‍රහයට රහමෙර ද ඇතුළත් ය. වෙසක් දන්සැල් දෙන අතර තුරේ මෙන්ම පොසොන් එකට මිහින්තලාවේ හෝ සීසන් එකට සමනොළ කන්දේ යන අතරතුරේ ද බෝතල් සීල් කැඩෙන බව නොරහසකි.

තව ස්වල්ප වේලාවකින් තමන් විසින් සිල් බිඳීමට නියමිත බව හොඳ හැටි දැන සිටියද, එදා පින්කමේ දී සුරාමේරය මජ්ජපමා සීලය සමාදන් වීම අපේ සීයා ට ප්‍රශ්නයක් නොවීය.

නමුත් ඔහුට පර ප්‍රශ්නයක් වී තිවුණේ මා පන්සිල් නොගෙන සිටීමයි.

මද පමණින් රහමෙර පාවිච්චි කර සිත් සතොසින් දහවල් කෑම ගත් සීයා, අවශ්‍ය වූයේ නම් සවස් වරුවේ නැවතත් පන්සිල් ගැනීමට ද, රාත්‍රී ආහාරයට පෙර නැවතත් පොල් අරක්කු බෝතලය ඇඳ යටින් එළියට ගෙන "කාලක්-ක්‍රියා" කිරීමට ද නොපැකිලෙනු ඇත.

අත් බැඳ සිල් නොගත්ත ද, මා සිල් රැකි බව අපේ සීයා ට නොවැටහුණි. ඒ වන විට වසර පනහකටත් වඩා කාලයක් රහමෙර ඇසුරු කර තිබූ සීයා ගේ මොළේ මගේ තර්ක වටහා ගැනීමට අවශ්‍ය නියුරෝන සෛල ඉතුරු වී නොතිබෙන්නට ද ඇත.

සීයා මට කුමන වලියක් දැම්මද, මා එදා එකොළොස් වෙනි ශ්‍රේණියේ දී පන්සිල් ගත්තායින් පසු අද වෙනතුරුමත් නැවත පන්සිල් ගෙන නැත.

මා මේ කතන්දරයේ මුල් කොටසේ ලියුවා සේ, එදා සිට අද දක්වා කැඩුණු සිල් පද කැඩුනි. රැකුණු සිල් පද රැකුණි.

සැවොම පන්සිල් ගන්නා වෙලේ මා අත් බැඳ ගෙන සිටිනු දකින සමහරු මගෙන් ඒ ගැන විමසන හැම විටකම මා කියන්නේ අවශ්‍ය නම් මට ඔවුන්ට පන්සිල් දීමට ද හැකි බවය.

-කතන්දරකාරයා

ප/ලි:
බුදු දහම පිළිපැදීම යනු නොපෙනෙන, නොවැටහෙන දේ දේව වචනයක් ලෙස ඇදහීම නොවේ. ඒ සැමෙකක්ම ප්‍රශ්න කිරීමයි. චිචාර බුද්ධියෙන් විමසීමයි.

මා ඉගෙන ගෙන ඇත්තේ එලෙසය.

බුදු දහම ගැන කතා කිරීම ආනන්තර්ය පාප කරමයක්, අපහාසයක් ලෙස සලකා, එසේ කරන අය හා ආරවුල් ඇති කරගන්නා කණ්ඩායමක් අද බිහිවෙමින් පවතී.

මේ අන්තවාදය බුදු දහමට නිගා දෙන්නකි. බුදු දහමට සැබෑ අපහාසය ඒ අන්තවාදයයි.


ප/ප/ලි:
එදා දෙකක් අනුමත වී මට එලෙස වලියක් ඇද්දේ වුවද සීයා ට මගේ ජාන ස්වල්පයක් හෝ ගොස් තිබෙන බවට මෙන්න මේ කතන්දරය සාක්‍ෂි සපයයි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html


(image: http://megaanswers.com/why-do-crabs-walk-sideways/)

Sunday 26 May 2013

ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes


පෙරේදා නුවරදී සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය නිසා ෆේස් බුකිය උණුසුම් වුණා.

කොටින්ම වෙනදාට කතන්දරයකට ලින්ක් එකක් පමණක් දා නිහඬ වෙන මාත් කීප වරක්ම ස්ටේටස් අප්ඩේට් කර, උත්තර ප්‍රති උත්තර සපයා සෑහෙ කාලයක් නාස්ති කර ගත්තා.

මෙන්න මා දැමූ කෑලි කීපයක්.


ගව ඝාතනය වැරදි නං ගොනෙක් තමන්ව ම ඝාතනය කර ගැනීමට තැත් කිරීම හරි වෙන්නේ කොහොමද?


හරක් මස් අනුභවයට විරුද්ධව ඇතමුන් ගෙන යන සටනට අපේ කිසිම සම්බන්ධයක් නැති බව සියළු ලංකාවාසීන් ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

මීට

සමස්ත ලංකා කුකුල් මස් සපයන්නන් ගේ සංගමය, 77, බ්රොයිලර් පාර, කෙකරගම



ප්‍රශ්නය: මාළුන්, කුකුළන් හෝ ඌරන් කෙරෙහි නොමැති ආදරයක් හරකුන් කෙරේ පහලවන්නේ ඇයි?

පිළිතුර: ජාති ආලය ගැන අසා නැද්ද?



මදුරුවන්, පොඩි මදුරු පැටවුන් සහ පිළවුන් පවා අමු අමුවේ මරා දමන ඝාතන රැල්ලට එරෙහිව ගිණි තබාගෙන මිය යාමට කැමති අයෙකුට ඇබෑර්තුවක් ඇත.


පෙට්‍රල් මිල පහත හෙලනු! ජාතික ප්‍රශ්න විසඳීමට අත හිත දෙනු!


ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ



හරක් වෙනුවෙන් දිවි පුදන අය මිනිසුන් මරණ විට පුදන්නේ අහවල් එකද?


අවසානයේ මෙසේද කියූවෙමි.

අද මා මෙහි පල කළ මගේ අදහස් පිළිබඳව ඇතමුන් අවලාද නගා ඇත.

මගේ ස්ථාවරය මෙයයි.

අණුවනයෙක් තම පණ නසා ගන්ණට තැත් කර තිබේ. මොකෙක් වුනත් ඒ මිනිසෙකි.

මගේ උත්සාහය මෙවැනි අපරාද ඉදිරියේදීවත් වැලැක්වීමටයි. මට නම් හරකෙකුට වඩා මෝඩයෙකු වුණත් මිනිසෙකු ගේ ජීවිතය වටි. නීතිය අනුවද එසේමය.

මේ බව නොතේරෙන අය ගැන මම අනුකම්පා කරමි.



මෙන්න චානුක වත්තේගම ගේ කෑල්ලක්.

ගව ඝාතනය වහාම තහනම් කරනු! (නැත්නම් ජානිපෙට හෙළ උරුමයට ඡන්දෙ දෙන්න එකෙක් ඉතුරු වෙන්නෙ නැහැ!)


චානුක ගේ ම තව එකක්.

තමන්ගේ ඥාතිවර්ගයා ඝාතනයට එරෙහිව, සහෝදර ප්‍රේමයෙන් යුක්තව සිරුරට ගිනි තබා ගත් ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ට අපේ උපහාරය.

සියළු ගවයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!

ලක්වැසි සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!



ඔබ දුටු හොඳ කෑලි තිබේ නම් පහත කමෙන්ටු තීරයේ සඳහන් කරන්න.

-කතන්දරකාරයා

ප/ලි

අප මේ ගැන කතා කලේ වෙන කිසි හේතුවක් නොවේ. මෙවැනි අමණ වැඩ වලින් මනස උසස් යැයි (මන+උස්=මිනිස්) සම්මත මනුශ්‍ය වර්ගයා ගලවා ගත යුතු යැයි සිතාය.

සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි අද බාල වැඩ ප්‍රතික්‍ෂේප කරන බව දැනගත් විට මෙවැනි අයට සිහිය සැපත් වීමට තරමක හෝ ඉඩ කඩක් තිබේ.


(image: http://www.sports-logos-screensavers.com/ChicagoBulls.html)

Friday 24 May 2013

මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore!


අද වෙසක් පෝ දින වෙනුවෙන් මා මින් වසර තුනකට පමණ පෙර ලියන ලද ලිපියක සංස්කරණය කරන ලද කොටසක් පල කෙරේ.
බසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
උදෙන් සිල් ගනිමු හවසට බියර් බොමු
කටෙන් දිවෙන් නොම ගෑවෙන බොරු කියමු!


කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලය සැලකෙන්නේ බෞද්ධ පාසලක් හැටියට ය.

මෙයට හේතුව නම් ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන් ගේ අනුදැනුම ද ඇතිව මිෂනාරිවරුන් පවත්වාගෙන යමින් තිබූ කතෝලික හා කි‍්‍රස්තියානි ආගමික විද්‍යාලයන් ට විකල්පයක් ලෙස ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් යනාදී පාසල් සමූහය බෞද්ධ පවුල්වල සිසුන් ට ආගමික පසුබිම ද සහිතව හොඳ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබූ හෙයිනි.

ලංකාවේ ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ආගම එක් විෂයයක් ලෙස සැලකේ. මා මුලින් උගත් උගත් කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ සහ ගලහිටියාව මැදි විදුහලේ මේ සඳහා තිබුණේ එක් තේරීමක්, එනම් බුද්ධාගම, පමණකි.

නිසැකවම, ආගම විෂයය යනු, චිත‍්‍ර, නැටුම් සහ සංගීතය ලෙස විකල්ප තුනක් තිබූ සෞන්දර්ය විෂයය හෝ කෘෂිකර්මය, වඩුවැඩ, ලෝහ වැඩ, මැටි වැඩ, පේෂකර්මය යනාදී විකල්ප රාශියක් තිබූ ප‍්‍රාග් වෘත්තීය විෂයය වැන්නක් සේ නොසැලකුනු බව පැහැදිලිය.

එසේ විකල්ප තිබුණේ වුවද, පරම්පරානුගත බුද්ධාගම්කාරයින් වූ අප තෝරාගන්නේ බුද්ධාගම බවට කිසිදු සැකයක් නැත.

එසේ වුවද, තුන්වන ශ්‍රේණියේ දී අප ආගම විෂයයක් ලෙස පාසැලේ දී ඉගෙනීම ඇරඹු සමයේ මගේ පන්තියේ සිටි එකම කතෝලික සිසුවා නම්, අන් විකල්ප විෂයයන් තිබුණා නම්, එවැනි විකල්පයක් තෝරා ගැනීමට ඉඩ තිබුණි. විකල්ප නොතිබුණු කල ඔහු ට ද සිදුවුණේ බහුතරය හා එක්ව බුද්ධාගම ඉගෙන ගැනීමයි.

අපේ නිවෙස් වලට නුදුරින් ම කතෝලික පාසලක් තිබුණේ බස් රථ දෙකකින් යා යුතු වූ බොල්ලතේ බව ද කිව යුතුය. මගේ පියා සේවය කළේ මේ පාසලේ ය. ඔහු පාන්දර 5:45 ට නිවසින් පිටත් වෙයි.

හොඳින් කල්පනා කර බලන කළ මා මිතුරු කතෝලික සිසුවාට විකල්ප කිහිපයක් ම තිබුණි.

එනම්,

1. එක්කෝ හැතැප්ම දෙකේ නීතියෙන් බුරුලක් ගත හැකිනම් බොල්ලතේ කතෝලික පාසලට ඇතුළත් වීම
හෝ නැත්නම්
2. සිය පවුල ද සමග බොල්ලතේ පදිංචියට යෑම
හෝ නැත්නම්
3. ගමේ පාසලේ බුද්ධාගම ඉගෙන ගැනීමය!

කෙසේ වුවද ඔහු ගමේ පාසලේ ම රැඳෙමින් බුද්ධාගම උගත්තේය. විභාග ද සමත් විය. උදෑසන පන්සිල් ගනිද්දී ද සවස ”යෝවද තම්පව” කියද්දී ද නිහඬව සිටියහ. එපමණකි.

සෑම රජයේ පාසලකම මෙන්ම ආනන්දයේ ද උදෑසන පන්සිල් ගැනීම සිරිතයි. පස්මහල් උසස් පෙළ විද්‍යා ගොඩනැගිල්ල අසල මේ වතාවත වතාවත පැවැත්වුණේ ගුරුවර භික්‍ෂුවක ගේ මූලිකත්වයෙනි. එය ශබ්ද විකාශන පද්ධතිය මගින් මුළු පාසල පුරාම විසුරුවා හරින ලදී. පන්ති කාමර වලින් පිටත රැුස්වෙන සිසුවෝ පන්සිල් ගත්හ. සිංහලෙන් සහ ඉංගිරිසියෙන් පාසල් ප‍්‍රවෘත්ති වලට ද, සතියකට වරක් පමණ පැවැත්වුණු අනෙකුත් අනුශාසනා වලට ද සවන් දුන්හ.

මා එකොළොස් වන ශ්‍රේණියේ උගන්නා කාලයේ දිනක් එවැනි අනුශාසනාවක් කළ හාමුදුරුනමක් අප දිනපතාම පන්සිල් ගත යුත්තේ ඇයි දැයි පහදා දෙමින් කථා කළහ.

නමුත් අවාසනාවකට මෙන් මේ දේශනය අවසානයේ මට හොඳින් පැහැදිලි වූයේ දිනපතාම පන්සිල් ගැනීම නිෂ්ඵල කි‍්‍රයාවක් බවයි. එතෙක් පාසල් දිනවල පන්සිල් ගත් මම එතැන් සිට පන්සිල් නොගත්තෙමි.

මේ තීරණය ගැනීමට මූලික හේතුව වූ මගේ සිත තුළ ඉපිද සිත ජයගත් තර්කය වූයේ පන්සිල් යනු තමන් විසින් තමන්ටම දෙන පෞද්ගලික පොරොන්දුවක් නිසාත්, එහි නාමික අගයක් මිස අන් වැදගත්කමක් නැති නිසාත්, පන්සිල් ගැනීමෙන් හෝ පන්සිල් පිළිපැදීමෙන් හෙවත් පව් නොකර සිටීමෙන් අමුතුවෙන් ලැබෙන පිනක් නොමැති නිසාත් යන විවිධ කරුණු නිසා පන්සිල් ගැනීම අනවශ්‍ය කි‍්‍රයාවක් ය යන්නයි.

අවශ්‍ය වනුයේ පව් නොකර සිටීමයි. එයිනුත් ඉදිරියට ගොස් හැකි පමණ පුණ්‍ය කර්ම සිදුකිරීමයි. පන්සිල් නොගෙන සිටීමෙන් නොවෙන පවක්, අප පන්සිල් සමාදන් වී පසුව ඒ සිල් බිඳීමෙන් වෙතොත් එය පුදුමයක් නොවේ.

අනිත් අතර බිඳෙන බව දැන දැනම කුමට ඒ සිල් සමාදන් වන්නේද? හවස රහමෙර බොන්නෙකු උදයේ කුමකට නම් "සුරාමේරය මජ්ඣපමා" කියන්නේ ද?

එදා පටන් මම අනෙකුත් ළමුන් අත් ඔසවා බැඳගෙන පන්සිල් පද කියද්දී, අත් පහළම තබා පහසුවෙන් සිටිමින් මුනිවත රැක්කෙමි. නොදන්නා අයෙකු වූවා නම් මා අබෞද්ධ යයි සිතනු නොඅනුමාන ය.

එදා මා ඇරඹූ පිළිවෙත තවමත් අනුගමනය කරමි. එනම්, මා බොරු පොරොන්දු දෙන්නෙක් නොවී කල් යවමි.

එදා අවසාන දිනයට පන්සිල් ගත් දින සිට කැඩුණු සිල් පද කැඩී ඇත. රැකුණු සිල් පද රැකී ඇත.

-කතන්දරකාරයා

ප/ලි:
ඉරිදා ට බලාපොරොත්තු වෙන්න. මගේ පන්සිල් පිළිවෙතට අපේ සීයා වලියක් ඇද්ද හැටි ගැන කතන්දරය.









Wednesday 22 May 2013

අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands!


අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.

ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.

හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.

සහනාධාරයක් ලබා දී විදුලි බිල අඩු කරනු!

මගේ ඉල්ලීම් මෙන්න මේවායි.

1. විදුලි බල උත්පාදන වියදම අඩු කරනු!
2. විදුලි බලය බෙදා හැරීමේ වියදම අඩු කරනු!


මේ ඉල්ලීම් මා ඉදිරිපත් කරන්නේ ලංකා විදුලි බල මංඩලයේ ඉන්නා විදුලි මැවිසුරුවන්ට යි!

-කතන්දරකාරයා

ප/ලි:
බ්‍රහස්පතින්දා සිකුරාදා නැවත හමුවෙමු!

(image: http://megaman.wikia.com/wiki/Electric_Shock)

Monday 20 May 2013

හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!


බොන එක නරක වැඩක්. කතා දෙකක් නෑ.

ඕනැම බේබද්දෙක් එකඟවෙයි ඒකට.

පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා.

මං නං දන්නේ නෑ, හැබැයි සමහර විට අභිධර්මේ තියෙනවා ඇති පස්පව් මනින්න වේටඩ් ස්කේල් එකක් තියෙනවාද නැද්ද කියලා.

කොහොම වුණත්, සුරාමේරේ ගැන කියනවා නං මං හිතන්නේ කසිප්පු බීවාම තමයි වැඩිම පව් සිද්ධ වෙන්නේ. කටුස්සෝ, හිකනල්ලු වැටුණු ඒවා බිව්වොත් බෝනස් පව් ලැබෙනවාත් ඇති. අරක්කු, රා වලට පව මදක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා.

කාලෙකට කලින්, මට මතක විදියට ජීඇල් පප්පා මුදල් ඇමති කාලේ ද කොහෙද, අරක්කු මිල ඉහල දාලා, බියර් මිල අඩු කෙරුවා. මට ඒ දවස්වල හිතුනේ එහෙම කෙරුවේ බියර් බිව්වාම පව් සිද්ධවෙන්නේ අඩුවෙන් හින්දා වෙන්න ඇති කියලයි.

ඒ එක්කම කෂිප්පු, අරක්කු, රා, බියර්, ඔය මොන එක වුණත් පෝය දවසට බිව්වොත් පව් වැඩි වෙනවා.

බියර් ගැන කියනවා නං මට මතකයි අසේල බූවා විවිධ බියර් ජාති ගැන පෝස්ට් එකක් දාලා තිබුණා සිතුවම් සහිතව.

කාලෙකට ඉස්සර බින්දු බින්දු දාහතර කියන කතන්දරේ ලියපු විදියට මං බියර්වලට එච්චර කැමැත්තකින් නොවෙයි හිටියේ. තාමත් වැඩි වෙනසක් වුනේ නෑ.

හැබැයි පහුගිය දවසක ජර්මනියේ දවස් තුන හතරක් රස්තියාදු වෙන අතරේ මට තේරුනේ බියර් බොන්න කැමති අයට උපදින්න හොඳම රට ජර්මනිය කියලයි.

බියර් කියන්නේ ජර්මනියේ ජාතික බීම ද කොහෙද, හරියට ලංකාවේ තැඹිලි වගේ.

ඔක්තෝබර් ෆෙස්ට් කියලා බියර් ගැන මහා උත්සවයක් ජර්මනියේ තියෙනවා කියලා මං අහලා තියෙනවා. මං එහේ ගියේ අප්‍රියෙල්වල වුණත් හැබැයි බියර්වලින් අඩුවක් නං තිබුණේ නෑ. යන යන තැන බියර්. නිකං පාරවල් අයිනේ පොඩි පොඩි අයිල කඩවලිනුත් ගන්න පුළුවනි. එහේ දේශපාලුවෝ එකෙකුට පර්මිට් බර ගාණක් දෙනවා ඇති මහජන හිත සුව පිණිස බෙදලා දෙන්න.

ජර්මනියේ බියර් ගැන කියන්න තියෙන හොඳම දේ තමයි මිල.

සංචාරක හෝටලයක බාර් එකකින් මේ වගේ බියර් එකක් යුරෝ තුනකට ගන්න පුළුවනි. ඉතාලියේ නං යුරෝ පහක්වත් වෙනවා.



සුපර් මාකට්වල තියෙන්නේ එක්කෝ ලීටර් බාගේ, එහෙම නැත්තං ලීටරයේ බියර් කෑන්. ලීටර් බාගෙක කෑන් එකක් ශත 99 යි. ලීටරයේ එකක් යුරෝ එකයි ශත හැට නමයයි.


යූරෝ එකක් ලංකාවේ රුපියල්වලින් එකසිය හැටක් වුණාට යුරෝපාකරයේ අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල එක්ක සසඳලා බැලුවාම මේවා ඉතාමත් ලාබයි.

ඒ මිළ ගණං දැක්ක වෙලාවේ තමයි මට හිතුනේ ජර්මනියේ ඉපදුණොත් "සසර වසන තුරු - නිවන් දකින තුරු" හිතේ හැටියට බියර් බිබී ඉන්න පුළුවන් නේද කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ ගණිතමය විශ්ලේෂණය සමහරුන්ට තේරී නැතුවා දෝ හෝ සිතෙන නිසා මෙන්න එය වෙනත් වචනවලින්.

ඔබ දිනකට පස් පව් පහේම නිරත වුණා යැයි සිතන්න. (මෙන්න එයට තරමක් හෝ ආසන්න උදාහරණ අවස්ථාවක්. http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html)

පස් පව් පහම එක හා සමාන නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

      Ppp + Pad + Pks + Pmv + Psm
P = -------------------------------
                   5

මෙහි
Ppp = පානාතිපාතා පව
Pad = අදිනානදානා පව
Pks = කාමේසුමිච්ඡාචාරා පව
Pmv = මුසාවාදා පව
Psm = සුරාමේරය පව.


එසේ නොමැතිව පස් පවේ එක එක පවෙන් පව් සිදුවීම එකිනෙකට වෙනස් නම් මෙදින ඔබේ පස් පව් එකතුවේ සාමාන්‍ය අගය (P) මෙලෙස වේ.

      wpp * Ppp + wad * Pad + wks * Pks + wmv * Pmv + wsm * Psm
P = ----------------------------------------------------------------
                wpp + wad + wks + wmv + wsm

මෙහි
wpp = පානාතිපාතා පවේ බර
wad = අදිනානදානා පවේ බර
wks = කාමේසුමිච්ඡාචාරා පවේ බර
wmv = මුසාවාදා පවේ බර
wsm = සුරාමේරය පවේ බර

සහ

wpp > wad > wks > wmv > wsm

වේ.

Saturday 18 May 2013

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others


මේ කතන්දරේ මට මතක් වුනේ මං පෙරේදා දාපු "බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept" කියන සටහනට ආපු ප්‍රතිචාර සහ ඒ සටහනේ මං සඳහන් කරපු නිර්-ආගමිකයෝ බ්ලොග් එකේ රිටිගල ජයසේන ලියපු ලිපියට ඇවිත් තිබුණු ප්‍රතිචාර කියවද්දී යි.

මෙන්ම මුලින්ම මගේ කතන්දරේ.

මේ සිද්ධිය වුනේ මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටිය කාලේ. ඒ අවුරුද්දේ අපේ වාර්ෂික ප්‍රිය සම්භාෂණයට බෑන්ඩ් එකක් හොයා ගන්න අපිට ඕනෑ වුණා.

ඒ දවස්වල මහනුවර පැත්තේ ජනප්‍රිය බෑන්ඩ් එකක් ප්ලේ කළා නුවර වැවට උඩ පාරේ තියෙන හොටේල් සුයිස් එකේ. (බෑන්ඩ් එකේ නම නං දැන් අමතකයි. ඒක හීසොනයිට් ය කියලා යාළුවෙක් කියනවා).

අපිට ඕනෑ වුනේ මේ බෑන්ඩ් එක බුක් කරගන්නයි. ඉතිං, මායි ඔය බෑන්ඩ් එක තරමක් දන්න මගේ බැචෙකුයි සෙට් වුණා මේ ජොබ් එක කතා කරගන්න යන්න හොටේල් එකට.

ඔන්න අපි දෙන්නා බස් එකේ නුවරට ගිහින් වැව පාර දිගේ හොටේල් සුයිස් එක පැත්තට ඇවිද ගෙන යනවා. වේල්ස් පාක් එක ලඟින් හැරිලා කන්ද නැග ගෙන යන කොට දකුණු අත පැත්තේ තියෙනවානේ මල්වතු මහා විහාරය.

මං මේ පන්සලට ගිහින් නෑ. නමුත් මං දන්නා විදියට මේක නිකං පන්සලක් නොවෙයි. මේක තමයි සියම් නිකායේ මල්වතු පාර්ශවයේ හෙඩ් ක්වාටර්ස් එක. මෙතන තමයි නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස තියෙන්නේ. ඊට අමතරව මෙතන පිරිවෙනක් තියෙනවාද කොහෙද.

ඉතිං පන්සලේ විශාල ගොඩනැගිලි තියෙනවා. ඒවා පාරේ යනකොට පේනවා.

මේක දැකපු මා එක්ක ගිය මගේ බැචා කිව්වා මෙන්න මේ වගේ කතාවක්.

"යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"

දැන් මේක අපි කලින් අහලා නැති අමුතු කතාවක් නොවෙයි නේ.

සුනිල් ආරියරත්න මේ වගේ දේවල් ගැන ලියපු සින්දු කීපයක් ම අපි අහලා තියෙනවා නේ මන්දා නාලනී නැන්දා කියනවා.

ඒ වුණාට මට මේ කතාවේ පොඩි අවුලක් දැණුනා.

මොකක්ද කියලා එක පාරටම හිතාගන්න බැරි වුණත් තත්පර කීපෙකින් වැඩේ ක්ලික් වුණා.

මෙන්න මේකයි අවුල.

මා එක්ක මේ කතාව කියන මගේ බැචා බුද්ධාගමේ නොවෙයි!

පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගම විවේචනය කිරීමයි වෙනත් ආගමක කෙනෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීමයි අතරයි ලොකු වෙනසක් තියෙනවා.

ඒ වගේම පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගම විවේචනය කිරීමයි ඔහු හෝ ඇයම වෙනත් ආගමක වැඩ විවේචනය කිරීමයි අතරත් ලොකු වෙනසක් තියෙනවා.

මේ නියමයේ කොරොලරිය තමයි මෙන්න මේක.

ස්වයං විවේචනයක් කරන්න බැරි වුන්ට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නෑ.

රිටිගල ජයසේන ගේ ලිපියට සමහරු දාලා තියෙන ප්‍රතිචාරවලට මගේ උත්තරය ඒකයි.

මෙන්න මං ලියපු බුද්ධාගම සහ පන්සල්වලට සම්බන්ධ කතන්දර කිහිපයක්.

1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!

-කතන්දරකාරයා

ප/ලි:
මගේ ඒරොප්පේ කතන්දර නැවත සඳුදා සිට ඇරඹෙනු ඇත.


(image: http://www.nation.lk/2010/04/18/eyefea1.htm)

Thursday 16 May 2013

බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - "Me good you bad" concept


කල්ට් (cult) කියන වචනය සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක්කෝ සාමාන්‍ය ප්‍රවාහයේ ආගමක වෙනස් විදියට කටයුතු කරන පිරිස් හෝ නැත්තම් වෙනස්ම ඇදහිලි තියෙන සුළුතර ආගමික කොටස් හඳුන්වන්නයි.

ලංකාවේත් කාලෙන් කාලෙට බුද්ධාගමේ වගේම ක්‍රීස්තියානි ආගමේත් මේ වගේ කල්ට් මතුවෙනවා.

ඔය වගේ සමහර කල්ට්වලට බැඳෙන අය වැඩියෙන්ම උනන්දුවෙන්නේ ලෝකෝත්තර වශයෙන් රිටර්න්ස් ලැබෙන මෙගා පරිමානයේ පිං අතේ වැඩ කරන්නයි. ඒ විතරක් නොවෙයි, ඒ එක්කම ඒ අය බලනවා මේ වගේ වටිනා කියන පිං අතේ වැඩවලට තමන්ගේ යාළු මිත්‍රයින්වත් අල්ලා ගන්න. එහෙම කරන්නේ තමන්ට ලැබෙන්නට නියමිත මෙගා රිටර්න්ස් තමන්ගේ හිතවතුන්ටත් ලබා දෙන පරහිතකාමී චින්තනය නිසායි.

ඒ වගේම මේවගේ අය හිතනවා තමන් මෙගා පිංකංවල රිටන්ස් ලැබිලා දිව්‍යලෝකේ යන කොට ඒ වගේ පිං අතේ වැඩ නොකරන අනිත් හැමෝම කෙලින්ම නතර වෙන්නේ අපායේ තමයි කියලා.

කාලෙකට ඉස්සර මටත් ඊ-මේල් ගනුදෙනුවකට පැටලෙන්න වුනා මේ වගේ "අපි සුදනෝ - උන් දුදනෝ" වර්ගයේ නෝනා මහත්තැන් කෙනෙක් එක්ක.

මෙන්න ඒ කතන්දරේ [බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!] ට පාර.
http://kathandara.blogspot.com/2012/05/antidote-to-doubt-is-not-faith-but.html

මේ වගේ පිංවන්තියෙක් ගැන කතන්දරයක් මං අද උදේ පාන්දරම කියෙව්වා ලාංකික නිර්ආගමිකයෝ කියන බ්ලොග් එකේ තිබිලා. ලිපිය ලියලා තියෙන්නේ රිටිගල ජයසේන.

මෙන්න මෙතනින් බලන්න.
http://srilankanatheists.wordpress.com/2013/05/14/278/


-කතන්දරකාරයා

ප/ලි
මගේ වෙසක් පැතුම - මෝහන්ධකාරය දුරුවේවා!


Tuesday 14 May 2013

ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act


ඉතාලියේ දී දැක්ක කෝච්චි ගැනයි, පුංචි පුංචි කාර් ගැනයි ලියපු එකේ මේ අද කියන්න යන කතන්දර දෙක නොකිව්වොත් හොඳ නෑ කියලා හිතුණා.

පුංචි කාලේ හයේ පන්තියේදී ද කොහෙද සමාජ අධ්‍යයනය විෂයට පුරාණ ශිෂ්ඨාචාර ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා මතකයි රෝමය ගැන.

රෝමය ගොඩ නැගුවේ රොමියුලස් සහ රීමස් කියන සහෝදරයෝ දෙන්නාලු. ඒ දෙන්නගෙන් රොමියුලස් ගේ නම තමයි රෝමෙට දාලා තියෙන්නේ. ජනප්‍රවාදයේ හැටියට රොමියුලස් සහ රීමස් දෙන්නව පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදා ගෙන තියෙන්නේ වෘක දේනුවක්.

මට ඒ සමාජ අධ්‍යයනය පාඩම මතක් වුනේ රෝම නගරයේ ඇවිදින කොට දැක්ක මෙන්න මේ රූපේ දැක්කාමයි.

ඒක තමයි දැං රෝම නගර සභාවේ නිල ලාංඡනය.

තවත් මං පොඩි කාලේ අහල තිබුණු නමක් තමයි ජුලියස් සීසර්.


පොර රෝමයේ හිටපු අධිරාජයෙක්. පොරට පිහියෙන් ඇනලා මරලා දැම්මට පස්සේ රෝමයේ අධිරාජයා වෙලා තියෙන්නේ ඔගස්ටස්. ඔගස්ටස් කියන්නේ සීසර් ගේ බෑණා ලු.

රොමයේ තියෙන නටඹුන් ඔඩිටෝරියම් එකක් වෙන කොලෝසියම් එකේ ඉඳලා වතිකානුව පැත්තට තියෙන පාරේ යන කොට ඔය සීසර් සහ ඔගස්ටස් දෙන්නා ගේම ප්‍රතිමා හදලා තියෙනවා.

සීසර් ගේ ප්‍රතිමාව ලඟ පොටෝ අරගෙන ඉස්සරහට යන කොටම අපි දැක්කේ මේ ශතවර්ෂ විසි හතක් පරණ රෝම නගරයේ දී දකින්න ලැබෙයි කියලා අපි හීනෙන්වත් නොහිතන දර්ශනයක්.

මෙන්න ඒක.


මේක මැජික් එකක් නොවෙයි. එක්තරා ආකාරයක සර්කස් එකක්.

යට ඉන්න පොර අතෙන් අල්ලන් ඉන්න පොල්ල උඩයි අනිත් පොර වාඩි වෙලා ඉන්නේ. මට පෙනුණු විදියට පොල්ලේ උඩ පොඩි ලැලි කෑල්ලක් වගේ එකක් හයි කරලා සීට් එකක් හදලා තියෙනවා. ඒක කහ රෙද්දෙන් වැහිලා තියෙන්නේ. අර පැත්තකින් තියෙන්නේ උඩින් තිබුණු ජූලියස් සීසර් ගේ ප්‍රතිමාව. බිම තියෙන්නේ මේ සර්කස් ජෝඩුව බඩු ගෙනාපු බැක් පැක් එක වෙන්න ඕනෑ.

මං මේ ඩබල දිහා විනාඩි පහකටත් වැඩිය බලං හිටියා. අතේ තිබුණු නවගුණවැල ගැන්නා ඇරෙන්න දෙන්නාගෙන් එක්කෙනෙක්වත් හෙල්ලුනේ නෑ.

යුරෝ කාසියක් පාත්තරේට දාලා මං එතනින් පිටත් වුනේ මේ අරුම පුදුම දර්ශනය අමතක නොවෙන්න ෆොටෝ දෙක තුනකුත් අල්ලලා ඉවරවෙලායි.

-කතන්දරකාරයා

ප/ලි:
මාතලන් කියා ඇති ආකාරයට මෙය සර්කස් එකක් නොව මැජික් එකක් නොහොත් විජ්ජාවක් බව පෙනේ. (නමුත් ඔය පොල්ල උඩ සවිකර ඇති පොඩි සීට් එකේ ඉඳහෙන ඉන්නා පුද්ගලයා පොඩ්ඩක් හෝ හෙලවුනෝතින් ඔහු සමතුලිතතාවය බිඳී පහලට වැටෙන්නට ඉඩ ඇති බව පෙනේ. එනිසා මෙය යම් තරමක සර්කස් එකක් බවද කියව හැක.

මේ මැජික් එක නිරාවරණය කරන්නට බීට්ල් බේලි පහත සටහන එවා ඇත. ස්තුතියි බීටල්.


Sunday 12 May 2013

කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!


මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.

ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ කෝච්චි කතන්දරේට ඊයේ රෑ ඇවිත් තිබුණු කමෙන්ටු ටික අනුමත කරලා ඊට පස්සේ බ්ලොග් රීඩරයට ගියාම තමයි ඔය උඩින් දාලා තියෙන ස්ක්‍රීන් ඩම්ප් එක ඇස ගැටුනේ.

ගෑල්ළමයි දෙන්නෙක් ලියන බ්ලොග් දෙකක් එක ලඟින් පළවෙලා තිබුණා.

මගේ හිත ගියේ ඒ දෙන්නා තමන් ගේ පෝස්ට්වලට තෝරාගෙන තිබුණු පින්තූර දෙකේ තිබුණු සමානත්වයට සහ ඒ එක්කම ඒවායේ තිබුණු වෙනස්කම්වලටයි.

මෙන්න "මගේ නවකතා" බ්ලොග් එකේ "අඳුන් සිහින" කියලා නවකතාවක් කොටස් වශයෙන් ලියන කතුවරී ලියනගේ ගෑල්ළමයා තමන්ගේ අළුත්ම පෝස්ටුවට දාලා තියෙන ෆොටෝ එක.


මෙන්න "සොඳුරු සිත" ලියන වත්සලා aka සොසි තමන්ගේ අළුත්ම නිර්මාණය - "සිහිනයෙන් ඔබ්බට" කෙටිකතාවට තෝරාගෙන තියෙන රේඛා විත්‍රය එක.


දැන් මෙන්න මේ ෆොටෝ කෑලි එක ලඟින් දැක්කාම මට ඇතිවුණු ප්‍රශ්ණය ඔහෙලාටත්.

මේ දෙකෙන් මොකටද වැඩිය කැමති?

මෙන්න ඒ රූප දෙක නැවතත් එක පේලියට.


-කතන්දරකාරයා

ප/ලි:
ඒරොප්පේ කතා නැවතත් අනිද්දා සිට ඇරඹෙනු ඇත.

Friday 10 May 2013

ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe


කියලා වැඩක් නෑ! අන්න බඩු, ඒරොප්පේ කෝච්චි තමයි හලෝ කෝච්චි!

බොරු නං අර හැලපකාරයාගෙන් අහලා බලන්න.

මං පහුගිය අප්‍රියෙල් මාසේ අන්තිම සති දෙකේ විතර ඒරොප්පේ යට හරියේ ඉඳලා මැදක් විතර වෙනකං ගියා කෝච්චියෙන්.

ඒ කියන්නේ රෝමා වල ඉඳලා ෆිරැන්සිවලට, ආපහු රෝමෙට, පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින් ෆ්‍රෑන්ක්ෆර්ට්වලට. ෆ්‍රෑන්ක්ෆර්ට් ඉන්න අතරේ හයිඩල්බර්ග් වලට පොඩි ට්‍රිප් එකකුත් ගියා.

ඔය සේරම එකතු වුණාම සුළු පටු දුරක් නොවෙයි කිලෝමීටර් දෙදාහක් විතර. අපි මේ ගමන්වලට දවස් පහක් රටවල් තුනක් ඇතුලේ යන්න පුළුවන් ටිකට් අරගෙනයි ගියේ.

ඇත්තටම කියනවා නම් පොඩි කාලේ ඉඳලාම "කෝච්චිවල" ගිහින් තිබුණට, "කෝච්චිවල" ගියේ මේ ගමන්වලදී කියලා කියන්න පුළුවනි.

වෙලාවට ගමන, ගමන් ආසන, දුම්රිය වැසිකිලි, ආපනශාලා, ගමන් පහසුව විතරක් නොවෙයි ගමන් වේගය වගේ හැම අංගයක්ම සුපිරිම සුපිරියි.

පල්ලෙහා තියෙන ෆොටෝ කෑලිවලින් තරමක් පැහැදිලිවෙයි මේ මං කියපු දේවල්.

අපි ඉස්සෙල්ලාම ගියේ ඉතාලියේ රෝමා ඉඳලා ෆිරැන්සිවලට ගිහින් එන්නයි. මෙන්න අපි ගිය ට්‍රේන්ඉතාලියා කෝච්චිය. කොහොමද නිකං ඇන්ජින් කෑල්ලේ උජාරුව?


මෙන්න කෝච්චියේ සීට්. නිකං ගෙදර වගේ!


ඒ සේරටමත් වැඩිය සිරා කේස් එක තමයි මේක. කෝච්චිය ඇතුලේ හයි කරලා තියෙන ඩිස්ප්ලේවල වැටෙන කෝච්චියේ ස්පීඩ් එක!


මේ ටේ‍ර්න්ඉතාලියා කෝච්චිවලට පැයට කිලෝමීටර් දෙසිය පනහක උපරිම වේගයෙන් යන්න පුළුවනි. අපේ ෆිරැන්සි ගමනේ දී යි, වැනීසියා ගමනේ දී කිප සැරයක්ම පාර හොඳ තැන්වල ඩ්‍රැයිවර්කාරයා ලෑල්ලටම පාගලා 250 ගැහැව්වා.

හැබැයි මං ෆොටෝ අල්ලන් සෙට්වෙන කොටම ආපහු අඩුකරනවා, නිකං පොර මං දිහා බලං ඉන්නවා වගේ!

රෝමා සහ ෆිරැන්සි අතර කිලෝ මීටර් 250 ක දුර විනාඩි අනුවකින් විතර කවර් කරන්න පුළුවනි මේ ට්‍රේන්ඉතාලියා කෝච්චියකට.

ට්‍රේන්ඉතාලියා කෝච්චිවලට අමතරව අපි ස්විට්සර්ලන්ඩ් කෝච්චියකයි, ජර්මානු කෝච්චිවලයි ගියා.

ස්විට්සර්ලන්ඩ් කෝච්චිය නම් හිම කඳු අතරේ ගියේ එච්චර වේගෙකින් නොවෙයි.

ජර්මනියේ අයිස් (ICE: Inter-City Express) කෝච්චි නං පැයට කිලෝමීටර් 300 ක වේගෙකින් යනවාය කියලා අහලා තිබුණත් මේ කෝච්චි ඇතුලේ වේගය පෙන්වන ස්ක්‍රීන් නොතිබුණු නිසා ඒ ගැන නිච්චියටම කියන්න බෑ.

මෙන්න තව ෆොටෝ කෑලි දෙක තුනක්.

මෙන්න ඉතාලියේ දී දැක්ක තවත් අධිවේගී දුම්රියක්.


මේ තව එකක්. මේකේ තමයි අපි වැනීසියා ගියේ.


මෙන්න වැනීසියා කෝච්චියේ සීට්. කොහොමද නිකං ප්ලේන් එකක වගේ නේද?


මෙන්න ස්විට්සර්ලන්තයේ කෝච්චිය.


මෙන්න ජර්මනියේ අයිස් කෝච්චිය. මේක තමයි අර පැයට කිලෝමීටර් 300 ට යනවාය කියන්නේ.


හැබැයි එකක් මතක තියාගන්න.

මේ කොයිම කෝච්චියකවත් ෆුට්බෝඩ් එකේ යන්න නං බෑ. මේ ෆොටෝ එක ගත්තේ කෝච්චිය නවත්තලා තියෙන වෙලාවකයි!


-කතන්දරකාරයා

ප/ලි:
කෝච්චි කෙසේ වෙතත් ඒරොප්පේ රේල්වේ ස්ටේෂන්වල නං ලංකාවේ ඒවාට සමානකම් තියෙනවා.

මං දැකපු රෝමා, ෆැරැන්සි, වැනීසියා, සූරිච්, ෆ්‍රෑන්ක්ෆර්ට්, හයිඩල්බර්ග් ප්‍රධාන දුම්රිය ස්ථානවල මූලික ගොඩනැගිලි නම් හරියටම කොළඹ කොටුවේ නැත්තං මරදානේ ස්ටේෂන්වල සැකිල්ලට සමානයි.

පිටපලාත්වල ස්ටේෂන්වලත් නිකං කොම්පඤ්ඤවීදිය, ගල්කිස්ස වගේ ලුක් එකක් තමයි තියෙන්නේ බැලු බැල්මට!

Wednesday 8 May 2013

ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?


මේ කතන්දර බ්ලොග් එක 2011 දී කියවපු අයට මතක ඇති මං ලියපු රතු කොරොල්ලා කාර් එකේ කතන්දරේ.

ඒ අයටත්, ඒ දවස්වල බ්ලොග් නොකියවපු අයටත් මෙන්න ඒ කතන්දරේ මුල් කොටසට පාර.

http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html
(ඒ කතන්දරේ දිගටම කියවල අහවර වෙලා ආපහු එන්න හොඳේ?)

ඉතින් ඒ රතු කාරෙක විකුණලා සති තුනකින් විතර මං සෑහෙන්න කට්ටක් කාලා හොයා ගත්තා නිසාන් මාච් කියන පොඩි සයිස් එකේ කාර් කට්ටක්.

ආණ්ඩුවේ රස්සා කරන අපි වගේ අය පොඩි කාර් ගැන හිතන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි, පෙට්‍රල් කේස් එක නිසයි.

කොරොල්ලා එකේ ලීටරේකට කිලෝමීටර් දහයක් යන්න බැරි වුණාට, නිසාන් මාච් එකේ පාළහක් විතර ගියෑකි. ඒ කියන්නේ සියයට පණහක වාසියක් නේ.

නිසාන් මාර්ච් එක විකුණලා මං ගත්තේත් ඒ වගේම පොඩි මොඩල් එකක් වෙන ඩයිහට්සු ෂැරේඩ් එකක්.

මේ කියන කාලේ මරුටි සුසුකි වැඩිය මාකට් එකේ තිබුණේ නෑ.

දැන් නම් ඉතිං හැම තැනම මරුටි සුසුකි. ඒ එක්කම පොඩි පොඩි චීන කාර්.

ඒ වුණත් තාමත් පොඩි සයිස් කාර්වලට වැඩිය ලොකු සෙඩාන් තමයි ලංකාවේ වැඩි මට හිතෙන විදියට.

ඒකටත් එක්ක බලන්න ඕනෑ ඉතාලියේ අගනුවර වෙන රෝමයේ පාරකට බැහැලා. බලන බලන පැත්තේ පුංචි පුංචි ෆියට්, රෙනෝ වගේ කෑලි තමයි තියෙන්නේ!

මේකට එක හේතුවක් නං පෙට්‍රල් මිල වෙන්න ඕනෑ. මං දැකපු විදියට ඉතාලියේ පෙට්‍රල් මිල ලිටරයක් යූරෝ එකයි හැටක් විතර වෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් දෙකකටත් වැඩියි.

අනිත් හේතුව නං රෝමයේ පාරවල් පොඩි වීම වෙන්න ඕනෑ. සමහර තැන්වල පාරවල් වලින් කාර් දෙකක් නං මාරුවෙන්න බෑ. විශේෂයෙන්ම පැරණි රෝම නගරයේ තියෙන අතුරු පාරවල්වල.

මෙන්න මං දැකපු පුංචි පුංචි ඉතාලි කාර්වල ෆොටෝ දෙක තුනක්.




මෙන්න පොඩි කාර්වල තවත් වාසියක්. හරහට පාක් කරන්නත් පුළුවනි, ඉඩ තියෙන විදියට.


මේ පුංචි කාර් එක නම් මං දැක්කේ සුරීච්වල දී යි. මේක මං හිතන්නේ ඉලෙක්ට්‍රික් කාර් එකක්.


මොන ජාතියේ කාර් දැක්කත් මං මරුටියක් නං බේතකටවත් දැක්කේ නෑ.

-කතන්දරකාරයා

(image: http://bigmaninalittlecar.blogspot.com.au/2011_06_01_archive.html)

Monday 6 May 2013

ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany


ජර්මනියේ සිට ගෙදර බලා එන දවසේත් අන්තිම මොහොත දක්වා අපි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වීදි සංචාරයේ යෙදුණා.

ජර්මානුකාරයෙක්ව කනෙක්ට්-ෆෝ ගේම් එකකින් පරදවන්නට මට ඉඩ ලැබුණේ ඒ අතරතුරේ දී යි.

ආපසු එන ගුවන් යානය පිටත්වෙන්නේ රාත්‍රීයේයි. නමුත් අපි උදේම බෑග් පැක් කරලා, හෝටලයෙන් බිල් ගෙවලා, බෑග් ටික ස්ටෝරු කාමරයක තියලායි නගරය බලන්න පිටත් වුනේ.

ඉතිං අපිට තිබුනේ, නගරයෙන් ටැක්සියක් අරගෙන හෝටලයට ගොස් වහාම බෑග් ටික පටවාගෙන එයාපෝට් එකට යන එක විතරයි.

ජර්මනියේ බෙන්ස් වගේ කාර් තියෙනවා ටැක්සි විදියට. මොන බෙන්ස් වුනත් ඒවා සාමාන්‍ය සෙඩාන් නේ. අපේ බැග් ගෙනියන්න තියෙන නිසා අපි හෙව්වේ ලොකු සයිස් එකේ ටැක්සියක්.

ටැක්සි පේලියෙන් ටැක්සි තුන හතරක් මගහැරලා අපිට හොයාගන්න පුළුවන් වුනා හොඳ ස්ටේෂ් වැගන් එකක්.

මේකේ ටැක්සිකාරයා ඉන්දියන්කාරයෙක්.

නගරයේ සිට හෝටලය හරහා ගුවන්තොටුපොලට යන ගමනේ දී මං මේ ටැක්සිකාර ඉන්දියන්කාරයා එක්ක කතාවට වැටුණා.

පොර කොල්ලා කාලේ ජර්මනියට ඇවිත් මෙහි වාසය කරන කෙනෙක්. වාසගම රායි. ඔව් අර නිලියගේ නම තමයි. ඉන්දියාවේ පන්ජාබ්වලින් තමයි හැත්තෑවේ දශකයේ දී ජර්මනියට පැනලා තියෙන්නේ.

ඒ ආවේ ඉගෙන ගන්න කියලයි පොර මා එක්ක කිව්වේ.

අවුරුදු හතලිහක් ජර්මනියේ ඉඳලත් ඇයි මේ ටැක්සියක් එළවන්නේ කියලා නම් මං පොර ගෙන් ඇහැව්වේ නෑ.

මං නිකමට මෙහෙම ප්‍රාකශයක් කළා.

"දැන් යුරෝපයේ මෙච්චර කල් හිටි ඔබ භාෂා කීපයක්ම දන්නවා ඇති නේද? පංජාබි, හින්දි, ඉංගිරිසි, ජර්මන්..."

එතකොට පොර කිව්ව කතාව ඉතා වැදගත් එකක්.

"මං මෙහෙට එනකොට මට ඉංගිරිසි පුළුවන් හින්දි, පංජාබිවලටත් වඩා හොඳට. ඒ මං ඉගෙන ගත්තේ ඉංගිරිසියෙන් නිසායි. නමුත් දැන් අවුරුදු හතලිහට පස්සේ මට ඉංගිරිසි වැඩිය මතක නෑ. කතා කරන්නේ කළතුරකින්. දැන් ඉංගිරිසි මගේ තුන්වෙනි, හතරවෙනි භාෂාව බවට පත්වෙලා."

අනිවාර්යෙන් ම දශක හතරක් ජර්මනියේ ගෙවපු මේ මනුස්සයා ගේ ජර්මනියේ ඉපදී, හැදී වැඩුණු ළමයින් ගේ මුලික භාෂාව ජර්මානු වෙන්න ඕනෑ. ඉංගිරිසි ඉගෙන ගන්නවා ඇත්තේ දෙවෙනි භාෂාවක් විදියටයි.

සාමාන්‍යයෙන් යුරෝපයේ මිනිස්සු භාෂා තුන හතරක් ම දන්නා බවයි මා අසා තියෙන්නේ. බෙල්ජියමේ සිට පැමිණි ඕලන්ද ජාතිකයෙක් වෙන ආචාර්ය වෑන් ෆ්‍රෝසම් නමැති මගේ ඇදුරෙක් අප සමග කිව්වේ ඔහු ගේ ප්‍රදේශයේ කුඩා දරුවෙකුට පවා ඩච්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉංග්ලිෂ් ඇතුළුව භාෂා පහක් කතා කරන්න පුළුවන් ය කියලායි.

-කතන්දරකාරයා

ප/ලි

තුන්වෙනි භාෂාවක් ගැන කියනවා නම්,

මාත් මාස හයක් පමණ ස්ලීඩා ආයතනයෙන් දෙමල ඉගෙන ගෙන තියෙනවා, නමුත් භාවිතයක් නැති නිසා දියුණුවක් ලැබුනේ නෑ.

ප්‍රියන්ත වෙනිවැල් ද මේ ආකාරයෙන් දෙමල ඉගෙන ගෙන ඇති බව ඔහුගේ අළුත්ම කතන්දරයේ කියවෙනවා.

Saturday 4 May 2013

යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!


ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.

කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.

මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ඩෙරික් කියන පොලිස් රහස් පරීක්‍ෂකයා අපරාධ (බොහෝ විට මේවා මිනීමැරුම්) විසඳුවේ සම්මත ක්‍රමවලින් පරීක්‍ෂණ කරලා නොවෙයි.

කතාව බලන අපිට කිසි සේත්ම සැක නොසිතෙන පුද්ගලයින් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරලා එක පාරටම මිනීමරුවා එළිදරව් කරගන්නවා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙන්න.

වසර 1974 සිට 1998 දක්වා කාලය තුල ඩෙරික් එපිසෝඩ්ස් 280 ක් හැදුවාලු. ඒ තරම් ජනප්‍රිය සීරීස් එකක්.

මේ සීරීස් එකේ ඩෙරික් ගේ චරිතය රඟපාපු නළුවා ගැන අද මං කියෝපු මේ නිවුස් අයිටම් පත්තර කෑල්ල තමයි මේ.


වැඩි විස්තර මෙන්න.
http://www.bbc.co.uk/news/world-europe-22384143

පොර 2008 දී මිය ගිහින්. ඊට පස්සේ ටීවී කම්පැනිය කරලා තියෙන්නේ අර පරණ ඩෙරික් සීරීස් එකේ රිපීට් ටෙලිකාස්ට් දාන එකයි.

නමුත් මේ ගිය මාසේ හෙළිදරව් වෙලා මේ නළුවා, හොස්ට් ටැපර්ට් හිට්ලර් ගේ නාසි සහාය හමුදාවක සේවය කරපු එකෙක් ය කියලා.

නාසි හමුදාවලට විරුද්ධව තියෙන ලොකුම චෝදනාව තමයි යුධ අපරාධ.

යුධ අපරාධ කියන්නේ යුද්ධ කරන එක හෝ යුද්ධයේදී හතුරන් මරණ එක නොවෙයි. යුද්ධ කරන අතරේ දී සිවිල් වැසියන්, යටත් වුණු අය, යටත් වෙන්න එන අය, යුධ සිරකරුවන් යනාදී අයව මැරීමයි.
ඩෙරික් නළුවා තමන් ගේ ඒ අපකීර්තිමත් ඉතිහාසය හංගාගෙන ඉඳලා තියෙන්නේ ඒ නිසයි.

නමුත් කවදා හරි ඇත්ත එලිවෙනවා!

මං අර කලින් කතන්දරේක කිව්වා වගේ මරණ මංචකයකදීවත් කාට හරි ඇත්ත කියන හිතුණොත්?

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.


(image: http://www.guardian.co.uk/film/2009/mar/30/horst-tappert-obituary-derrick)

Thursday 2 May 2013

ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt


දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.

මේක මේ තුවක්කු වලින්, කඩුවලින් කරන් ද්වන්ධ සටනක් නොවෙයි. ඒත් පොඩි පහේ සටනක්.

ඔපරේෂන්වලට වඩා ස්ට්‍රැටජි වැදගත් වෙන සටනක්.

ඔය උඩින් ඡායාරූපයේ තියෙන්නේ ඒ ගෙම් එකට ගන්නා රාමුව සහ ඉත්තෝ ටිකයි. මේකේ නම "කනෙක්ට් ෆෝ".

නොදන්න අයට කියනවා නම් මේක සෙල්ලම් කරන්නේ මෙහෙමයි.

ක්‍රීඩකයෝ දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ පාට ඉත්තෝ එක බැගින් රාමුවේ උඩින් අවශ්‍ය කොලමට දානවා. එතකොට ඉත්තා ඒ කොලමේ යටම තැනට යනවා.

ගෙම් එක දිනන්න නම් දිගට, හරහට හෝ විකර්ණයට එක පේලියට තමන්ගේ ඉත්තෝ හතරක් හදන්න ඕනෑ.

වැඩි විස්තර මෙතනින්: http://en.wikipedia.org/wiki/Connect_four

බැලු බැල්මට සරල වුනාට කනෙක්ට් ෆෝ සෑහෙන්න හිතන්න ඕනෑ, දාම් වගේ ගේම් එකක්. තමන් එක පේලියට ඉත්තෝ හතරක් හදාගන්නවාට වඩා අමාරු ප්‍රතිවාදියා එහෙම හදාගෙන දිනන එක වලක්වන එකයි!

මේ කියන දවසේ තමයි ෆ්‍රෑන්ක්ෆර්ට්වල අළුත් සැම්සුන් ගැලක්සි ෆෝ මෙබයිල් ෆෝන් එක ලෝන්ච් කරන්නේ. ඒ හින්දා සැම්සුන්කාරයෝ සෙට් කරලා තිබුණා විශාල පරිමාවේ කනෙක්ට් ෆෝ ගේම් එකක් සෙයිල් වීදියේ සැම්සන් ෂොප් එක තියෙන ෂොපින් සෙන්ටර් එක ඉස්සරහා.

හාමිනේයි, ළමයිනුයි ෂොපින් කරන අතරතුරේ ඇවිදිමින් ඉන්න අල්ලපනල්ලේ මේ බව දැකපු මංතුමා කෙරුවේ කෙලින්ම සැම්සන් ෂොප් එකෙන් දාලා තිබුණු ජර්මන්කාරයා එක්ක ගේම ඉල්ලන එකයි.

මට කලින් මේ ජර්මන්කාරයා එක්ක ගේම ගහපු හැම එකාම පැරදුනා විනාඩියෙන් දෙකෙන්.

ඒව කොහෙද මං එක්ක!

මෙන්න මං දිනාපු තෑගි.

1. සැම්සුන් තොප්පියක්
2. පොඩි සයිස් එකේ කනෙක්ට් ෆෝ ගේම් එකක්
3. ලොකු සයිස් එකේ සැම්සුන් ලොලි-පොප් එකක්

මීට අමතරව සැම්සුන් ගැලක්සි ෆෝ ෆෝන් එකක් දිනාගන්න පුළුවන් තරගයකට ෆෝම් එකකුත් ලැබුණා.

ඇත්තටම කියනවා නම් පැරදුණු අයටත් ඔය තෑගි සෙට් එකම දෙනවා සැම්සුන් ලා.

ඒ මොනවා වුනත්, මං ගේම් එක දිනනවා මගේ පුත්‍ර රත්නය දැකපු එක නම් මිල නියම කරන්න බැරි දෙයක්.

සියළුම තාත්ත ලා මා හා එකඟ වෙනවා ඇති ඒ ගැන නම්!

-කතන්දරකාරයා

ප/ලි:
කනෙක්ට්-ෆෝ ගේම් එක ඔන්ලයින් සෙල්ලම් කරන්න පුළුවනි මෙතනින්.
http://www.gamesgames.com/game/Connect-Four.html


(image: href="http://en.wikipedia.org/wiki/Connect_four)