Tuesday 30 April 2013

දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling


රටවල් දෙක තුනක පොඩි පහේ සංචාරයක යෙදෙන්න හිතාගෙන ගෙදරින් පිටවුනේ අප්‍රියෙල් මාසේ දහතුන්වෙනිදා හවස.

එදා දවල්ට ගෙදර දී බත් කෑවට පස්සේ කන්ඩ ලැබුනෙම එක එක ජාතියේ කඩෙයි-අප්පම් විතරයි.

බත් ඇටයක් කියලා ඇහට දැක්කේ කොහෙදෝ රෙස්ටෝරන්ටුවක දී කතන්දරහාමිනේ සල්ලි-සල්ලි කියලා බලන්නේ නැතුව ඕඩර් කරපු රිසටෝ එක විතරයි. ඒත් ඒ බත් ඇටවල පෙනුම දැක්කාම ඒකෙන් රහ බලන්න වත් හිතුනේ නෑ.

මට උදේට බත් කෑම නං අරහං. ඒත් දවල්ට හෝ රෑට එක වේලක් හරි බත් නැත්තං නිකං දවස හරියට ගෙවුනේ නෑ වගේ දැනෙනවා.

නමුත් ඉතිං කඩෙන් කකා, හොටේල් ඇඳන්වල නිදියමින්, සූට් කේස් එකෙන් ජීවත් වෙද්දී අපිට කොයින්ද උණු බත්?

දවස් දහයක් ම පීට්සා සහ පැස්ටා වලින් ඇදලා අන්තිමේදී පහුගිය විසි හතරවෙනිදා ෆ්‍රෑන්ක්ෆර්ට්වල අපි නවතින්න ආපු හොටේල් එකේ රෙස්ටුරන්ට් එකේ දී ඔන්න බත් මිටක් කන්න ලැබුණා.

ජරමානු බාසාවෙන් තිබුණු මෙන්‍යු එකේ "තන්ඩූරි චිකන් විත් බාස්මතී රයිස් ඇන්ඩ් චික් පීස්" කියලා ඉංගිරිසි අකුරින් පොඩියට ලියලා තිබුණු එක දැක්කාම කටට කෙල ඉනුවා.

විනාඩි පාලහකට විතර පස්සේ මේසෙට ලැබුණු පිඟානත් හොඳ ගුඩ් ලුකින්.



දවස් එකොළහකින් බත් ඇටයක් කාපු හින්දද මන්දා රසත් නරකම නෑ. ඒත් මේක ජර්මානු ඩිෂ් එකක් බව නම් හොදටම දැනුනා.

උන්න හැටියට මළත් මදෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මං කලින් ලියපු "දුම්බීම සහ තුවක්කු" කතන්දරයට නිමිත්ත ලැබුණු දුම්බීමේ කොටුව දැක්කේ ජර්මනියේ හයිඩල්බර්ග් කිට්ටුව දුම්රිය පොලකදී.

පසුව ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපලේ දී අවුරුදු දහයකට විතර කලින් දවසක හොංකොංවල දී දැකපු ආකාරයේ දුම්බොන වීදුරු කාමර දැක්කා.




(image: http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=as1004111)

Saturday 27 April 2013

දුම්බීම සහ තුවක්කු - Smoking Guns


මෙය ද මා කලින් ලියූ "ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් දුටුවෙමි!" කතන්දරය සේම ඉතා කෙටි කතන්දරයකි.

එසේම මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ම සිහියට නැංවූවකි.

ඊයේ හවස් වරුවේ විදෙස් රටක දුම්රිය පොලක දී අප දුටුවේ දුම් බොන්නන් සඳහා වෙනමම ස්ථානයක් සකසා ඇති බවයි.

දුම් බොන අය එතැනට පැමිණ සිගරැට්ටු දල්වාගෙන මහා හදිසියකින් මෙන් විෂ දුම් පෙනහැළි තුලට ඇතුළු කර ගනිති. අනතුරුව එතැණින් පිටවී තමන් ගේ ගමන යති.

නමුත් ඒ ප්‍රදේශය අසලින් යන්නන්ට දුම්වලින් ගැළවීමක් නැත.

මෙහි මීට වඩා හොඳ ක්‍රියාත්මක කිරීමක් මා හොංකොං ගුවන් තොටේ දී දැක ඇත. එහි දුම් බොන සංවෘත කාමර සකසා තිබේ. අසලින් යන නොබොන්නන්ට වැඩි අවැඩක් සිදු නොවේ.

මේ දර්ශනයෙන් පසු අපේ පවුලේ සාමාජිකයින් සිව් දෙනා අතර දුම්බීම, මත්පැන් පානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ තුවක්කු සංස්කෘතිය ගැන සංවාදයක් ඇතිවිය.

එහිදී මගේ දොළොස් හැවිරිදි පුතා මෙසේ කීවේය.

"ඇයි, ඇමරිකාවට පුළුවන් නේ ඒ ස්මොකින් රූම්ස් වගේ වෙනම කාමර හදලා තුවක්කු තියෙන අයට ඒවා අරං ඇවිල්ලා එකිනෙකාට වෙඩි තියා ගන්න දෙන්න!"

-කතන්දරකාරයා

ප/ලි:
දුම්බීම ගැන මේ කතන්දරය ද කියවන්න.
http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html

මෙන්න තව එකක් - මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය.
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html



(image: http://www.originalbuzz.info/index.php/topics/topical/)

Tuesday 23 April 2013

ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories


රජයේ සේවකයෙකු වූ මගේ තාත්තාට ඒ දිනවල සිය පවුලම සමග දුම්රියෙන් දුර ගමන් යාම සඳහා වසරකට ප්‍රවේශ පත්‍ර, එනම් වොරන්ට්ස්, තුනක් ලැබුණි.

ආර්ථිකමය වශයෙන් එහි තිබූ වාසිය ඉතා අඩු වුවද, මේ වොරන්ට්ස් නිසා රජයේ සේවයේ නියුතු දෙමව්පියන් සිටි පවුල්වලට ලැබුණු සැබෑම වාසිය වූයේ තුන්වරක් කෙසේ වෙතත් වසරකට එක් වරක් හෝ දුම්රියෙන් දිග ගමණක් යෑමට අවස්ථාව ලැබීමයි.

එපමණක් නොවේ, ඒ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කොට ගෙන එවකට රජයට අයිති ගුවන් සේවාවක් වූ එයා සිලෝන් යානයකින් කොළඹ සහ කන්කසන්තුරේ අතර ගුවන් ගමනක් යෑමට ද පහසුකම තිබුණි.

මා මුලින්ම ගුවනින් ගියේ ඒ ආකාරයට ය.

කුඩා දරුවෙකු ලෙස මා එදා ගිය ඒ ගමන පිළිබඳ මගේ මතකයේ ඇති එක් කරුණක් නම්, ගුවන් යානයේ දී කන්නට අපට ලැබුණේ ඩෙල්ටා ටොෆී පමණක් බවයි.

නොබෝ දිනකින් ම එයා ලංකා සේවය අරඹන ලද බැවින් එයා සිලෝන් අවසන් ගමන ගියේය. වොරන්ට්ස් වලින් ගුවණින් යෑම ද ඒ සමගම අවසාන විය.

මට මේ අතීත කතාව සිහිවූනේ පසුගිය දා එතිහාඩ් ගුවන් යානයකින් අබුඩාබියේ සිට යුරෝපාකරයේ නගරයකට ගිය අතරතුරේ ශ්‍රී ලංකන් ගුවන් යානයක සේයාවක් ඇස ගැටුණු මොහොතේ දී ය.

ලංකාවෙන් පිටත සිටිනා විට දකින එවැනි දසුන් වල වෙනදාට වඩා අගයක් ඇති යැයි මට සිතුණි.

හැකි ආකාරයකින් ෆොටෝ එකක් ගත්තේ ද ඒ නිසාය.

-කතන්දරකාරයා

Friday 19 April 2013

සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද - KK's movie marathon


ඔන්න පත්තරකාරයෙක් යනවා පුහුණු වැඩසටහනකට බටහිර ජර්මනියට. ඒ වැඩසටහනට සහභාගීවෙන්න එන ඉන්දියන් ගෑණියෙක් එක්ක මේ පොර සෙට් වෙනවා.

සෙට් වෙනවාය කියන්නේ අහවල් එක කරනවා කියන එක නොවෙයි, නිකං ලාමක කේස් එකක්.

ඔය කතාව තියෙන්නේ සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද කියන නවකතාවේ. ඒක ලියුවේ ගුණදාස ලියනගේ නම් පුවත්පත්කලාවේදියා.

ගුණදාස ලියනගේ ගේ මං කැමතිම නවල් එක තමයි දෝන කමලාවතී.

ඒ වුනත් මට මේ සිත් සන්තොසින් ගුවනේ දී බැඳි හාද කියන නවකතාව සිහිවුනේ මේ ලඟදී දුරු රටකට ගුවන් ගමනක් ගිය නිසයි.

මේ ගමනේ දී මට අබුඩාබියේ ට්‍රාන්සිස්ට් එකක් තිබුණු වෙලේ ගත්තු ෆොටෝ එකක් මං කලින් පෝස්ට් එකේ දැම්මා.

මේ වාගේ දුර ගුවන් ගමන්වලදී මං සිත් සන්තොසින් හාද බැඳ ගන්නේ චිත්‍රපටි එක්කයි. සාමාන්‍ය දවස්වල මට මූවි එකක් බලන්න පැය දෙකක් ගත කරන්න කාලය හොයා ගන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

කලින් දවසක මං කළා වගේම මේ පාරත් මං මූවි මැරතන් එකක් දැම්මා.

මෙන්න මං බලපු විත්‍රපටි කිහිපය.

1. ස්කයි ෆෝල් - ජේමිස් බණ්ඩා
2. කැසිනෝ රොයාල් - ජේමිස් බණ්ඩා
3. ආබිටේ‍ර්ජ් (රිචර්ඩ් ගියර්)
4. ලයිෆ් ඔෆ් පයි

ඔය හතරම බලන්න වටින විත්‍රපටි. බීට්ල් බෙයිලි ගේ 2012 නැරඹිය යුතු චිත්‍රපටි ලයිස්තුවේ නම් තිබුණද මන්දා?

මීට අමතරව එටිහාඩ් ගුවන් සේවය සඳහා සකසා තිබුණු සුන්දර චන්දරේ කියන ටෙලි මූවි එකකුත් බැලුවා. ඒකත් නරකම නෑ, හොඳ රඟපෑම්. ඒත් කතාව මගින් ඉවරවුණා!

වැඩි විස්තර පසුවට.

-කතන්දරකාරයා

ප/ලි
සිත් සන්තොසින් ගුවචනේදී බැඳි හාද පොතේ තියෙන පොඩි අතුරු කතාවක්.

කතානායකයාට බටහිර ජරමනියේදී මුණ ගැහෙනවා ජරමන් යුවලක් බුදු දහම වැළඳගත්. ඔවුන් නිතර භාවනා කරන බව අසන කතානායකයා මට ආසයි බලන්න. පොඩ්ඩක් භාවනා කරලා පෙන්නන්න බැරි කියලා අහලා අම්බානක නානවා!


(image: http://www.oomyco.com/comics/2013-01-16-01-16-2013-Mile-High-Club.jpg)

Wednesday 17 April 2013

කතන්දරකාරයා අතුරු දහන් වේ! - Kathandarakaraya missing in action


කාරුණික නිවේදනයයි.

කතන්දරකාරයා දැන් දින කිහිපයක සිට ආගිය අතක් නැත.

මොහු පසුගිය ඉරිදා අබුඩාබි ගුවන් තොටුපලේ සිටි බව සැලවී ඇත.

අවසන් රට දකින විට ඇඳ සිටියේ නිල් පැහැති ටී ෂර්ටයක් සහ කළු කලිසමකි.



කතන්දර බ්ලොගය පාලුවට ගොස් ඇති බව ලංකා පුවත් සේවය වාර්තා කර ඇත.

ස්තුතියි.

Sunday 14 April 2013

රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!


සති දෙකක පොඩි නිවාඩුවක් අරගෙන පොඩි පහේ චාරිකාවක් යන්න සැලසුම් කරලා තිබුණත් බ්ලොග් එක පාලුවට යවන්න දුක හිතුණු හින්දා පොඩි කඩල-රටකජු පාරක් දාන්නයි මේ සැට් වෙන්නේ. මේක කයි-කතන්දරයක් කියලා කියන්නත් පුළුවනි.

මං ජීවිතේටම රා බීලා තියෙන්නේ එක දවසයි. ඒ කිතුල්ගල අර බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටියේ ලොකේෂන් එකේ දී යි. ඒ දවස්වල ඩේවිඩ් ලීන් ලා ත් රා ගහන්න ඇති එතනදී.

මං එදා ඉගෙන ගත්තු රා ගැන සින්දුවක නැවත ප්‍රචාරයක් මෙන්න.

(තාලයඃ මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රීපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි


මෙන්න රා ගැන මං පොඩි කාලේ අහල තියෙන කවියක්. ඒ දවස්වල ගමේ පොරවල් රා බීලා, වෙරි වෙලා, පොරත්වය ඔළුවට අරගෙන කෑ ගහමින් රණ්ඩුවලට පැටලිලා නිකං අතපය කඩා ගන්න හැටි ගැනයි මේ කවිය ලියවිලා තියෙන්නේ.

රා බී සත පහක
වෙරි වී පනම් හතරක
දොඩවා රුපියලක
අහෝ ගුටි කති පවුම් සීයක


බීමේ ආදිනව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

ඉස්සෙල්ලා යනවා එක ෂොට් එකක් දා ගන්න. ඒග ගත්තට පස්සේ තව එකක් ඕනෑ වෙනවා. ඊටත් පස්සේ තව එකක්. අන්තිමේ දී බීවේ මොනවද, කෑවේ මොනවද කියලත් අමතකයි.

මේ ගැන ඉංගිලිසියෙන් කියවෙන්නේ මෙහෙමයි.

එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක් (A man takes a drink)
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක් (The drink taken a drink)
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන් (The drink takes the man!)


මෙන්න අද මේ සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ අවසානයට මං රා බීම ගැන අහලා තියෙන හොඳම කවිය.

බාප්පයි මායි ගිය කළ රා බොන්න
පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
බාප්පා ඔහු ද මා දැයි පවසන්න
ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න


-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඉන්දියාවේ පාරක් අයිනේ කාන්තාවක් රා විකුණන ආකාරයයි.

(image: http://www.thehindu.com/news/cities/Hyderabad/newage-trappings-tank-toddy-times/article4585494.ece)

Friday 12 April 2013

කයි කතන්දරවල රහස - Sugar coating poetry


පසුගිය අවුරුදු තුනහමාරක කාලය ඇතුලත මං කතන්දර බ්ලොග් එකේ පොඩි පොඩි එක්ස්පරිමන්ට් කරලා තියෙනවා.

එයින් සාර්ථක ප්‍රතිපල ලැබුණු එක අත්හදා බැලීමක් තමයි මේ කයි කතන්දර කියන්නේ.

මෙන්න ඒ කයි-කතන්දර ගැන කතන්දරය!

සමහරු නොදන්නවා වෙන්න පුළුවනි, නමුත් මං මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 දීයි. ඒ මං ලියපු ගී පදමාලා දාන්නයි.

ඒ දවල්වල ඔය යුනිකෝඩ් ද අරවද මේවද නොතිබුණු නිසා මං කෙරුවේ කපුටා ෆොන්ට් එකෙන් කොටපු මගේ කවි ඉමේජ් විදියට බ්ලොග් එකට දාපු එකයි. ඒවාට වැටුණු කමෙන්ට්ස් කීපය වැටුනෙත් එක්කෝ තනිකර ඉංගිලිසියෙන්, නැතිනම් සිංගිලිසියෙන්!

ඒ බ්ලොග් එක වැඩි දෙනෙක් නොබැලුවාට, මට ඒකේ තිබුණු ගී පදමාල හය හතක්, ඇමෙරිකාවේ, ඉතාලියේ, ඕස්ටේ‍ර්ලියාවේ ඉන්න වෙන්ඩ ගායක-ගායිකාවන් දෙතුන් දෙනෙකුට අළෙවි කරගන්න ලැබුණා.

පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ

කියලා ඉස්සර හිටපු පණ්ඩිතයෙක් කියලා තියෙනවා. ඒ කියන්නේ කවියක රස විඳින්න දන්නා අය අඩුයි කියන එකයි.

මං හිතන්නේ කවි ලියන පිරිසට වඩා අඩුයි කවි කියවන පිරිස. රස විඳීම වෙනනම කේස් එකක්.

බ්ලොග්වල පලවෙන කවි කියවන පිරිසත්, ප්‍රතිචාර දක්වන පිරිසත් සාපේක්‍ෂව කොච්චර අඩුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

ඒ බව මං දැනගෙන හිටියා. ඒ නැතිවුණත් මං මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ කතන්දර මිස කවි දාන්න නොවේ නිසා, මුල් කාලේ අර "මං කවියෙකු වුණු හැටි", "පෙම් කවියක් ලියු වගයි" වගේ කතන්දර ලිව්වට මං ලියපු කවි මේ බ්ලොග් එකේ දාන්න ගියේ නෑ.

මං මුලින්ම කවියක් විතරක්ම දැම්මේ මෙන්න මේ කවි.
1. අවකලනය සහ අවනීතිය - A Level කාලේ ලියපු කවියක්
http://kathandara.blogspot.com/2010/03/level.html

2. දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම
http://kathandara.blogspot.com/2010/03/blog-post_17.html

හැබැයි ඒවා වැඩි පිරිසකට දිරෙව්වේ නෑ. පස්සේ මං කවිවලට රනින් කමෙන්ට්‍රි දෙන එක ටෙස්ට් කරලා බැලුවා.
1. කතන්දරකාරයා ගේ දෙව්ලොව ගමන
http://kathandara.blogspot.com/2010/03/akon-leaves-la-and-comes-to-sri-lanka.html

2. කටුබැද්දේ කුකුල් අන්දරය
http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

ඒ ප්‍රයත්න සාර්ථක වුණා!

නමුත් ඒ කවි පන්ති දෙකම සම්ප්‍රදායික සිව්පද ආරේ කවිකොල ලෙස ලියවුණු ඒවා.

භාවාත්මක නිසදැස් කවිවලට ඒ වගේ රනින් කමෙන්ට්‍රි දෙන්න අමාරුයි.

ඔන්න පය ප්‍රශ්නයට විසඳුමක් විදියට තමයි මං "කයි-කතන්දර" ලියන්න පටන් ගත්තේ.

සාහිත්‍ය මාසය සමරන්නය කියමින් මං 2011 සැප්තැම්බර් සහ 2012 සැප්තැම්බර් මාසවල කයි-කතන්දර විසි-තිස් ගාණක් පල කළා.

වැඩේ මට සාපේක්‍ෂව සාර්ථකයි.

කයි-කතන්දරවල ආකෘතිය සරලයි. කවියට පොඩි පසුබිමක් හදනවා කතන්දර කෑල්ලක්, පණ්ඩිත වාක්‍යයක් කියලා. ඊට පස්සේ කවිය දානවා. තැනේ හැටියට පසුකතාවකුත්, ප/ලි කෑල්ලකුත් දැම්මාම වැඩේ සම්පූර්ණයි.

කවි ඕනෑ අයට කවි කෑල්ල, කතන්දර ඕනෑ අයට කතන්දර කෑල්ල, ප/ලි ඕනෑ අයට ප/ලි කෑල්ල. කම්බිනේෂන් චොයිසස් තුනකුත් තියෙනවා.

හෙට ඉඳලා මං සති දෙකක විතර පොඩි නිවාඩුවක් ගන්නයි ඉන්නේ. නමුත් ඒ නිසා බ්ලොග් එක පාලුවට යන්න නොදී කයි-කතන්දර දෙක තුනක්වත් දාන්න ඕනෑය කියලා හිතෙනවා.

එහෙනම්,
එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තටම රනින් කමෙන්ට්‍රි නැතුවත් සිව්පද කවි අවුලක් නැතුව දාන්න පුළුවනි. මෙන්න උදාහරණ.

1. ඔබාමා චූන් එකෙන් ඔබ්බට
http://kathandara.blogspot.com/2012/11/page-from-my-january-2009-diary.html

2. මෙතේ බුදුන් දකිනා දින තවත් දුර
http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html


(image: http://www.flickriver.com/photos/christinhoepfner/3188630694/)

Wednesday 10 April 2013

මෝහනය වෙන්නේ මෝඩයෝ ද? Hypnosis and fools


කතුවරී ලියනගේ කියන අළුත් බ්ලොග්කාරිය ගේ "මගේ නවකතා" බ්ලොග් එකේ යන "අඳුන් සිහින" කතාවේ කොටස් කිහිපයක් කියෙව්වාට පස්සෙයි මේ කතන්දරේ ලියන්න හිතුනේ.

"අඳුන් සිහින" නවකතාවේ ප්‍රධාන චරිතය වෙන රිදීමා කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට පොඩ්ඩක් මතක අමතක ලෙඩක් තියෙනවා වගේ පේනවා. ඒකට බේතක් ගන්න එක්කරගෙන යන්නේ නැතුව රිදීමා ගේ යාළුවෝ කරන්නේ එයාව මෝහනය කරන්න සෙට් වෙන එකයි.

මෝහනය වුණාට පස්සේ අමතක මතකය මතක් වෙනවා වෙන්න ඕනෑ!

මිනිස්සුන්ව ගෑණුන්ව මේ වගේ මෝහනය කරලා නොයෙකුත් විකාර රංගනවල යොදවන වීඩියෝ එමට තියෙනවා යූ ටියබ් එකේ දැකලා ඇතිනේ?

මං ඉස්කෝලේ යන කාලේත් ඔය මෝහනය කරන සීන් එක නැගලා ග්‍රි කාලයක් තිබුණා. ඒ කාලේ මෝහන සංදර්ශන පවත්වන "ගුරු" ලා ත් හිටියා.

මාත් ඒ සංදර්ශනයකට ගිහින් තියෙනවා එක දවසක්.

මට මතක හැටියට මං දහයේ පන්තියේ විතර ඉන්න කාලේයි මේ. මේ කියන ෂෝ එක නිකං නොවෙයි, ටිකට් ගන්නත් තිබුණා රුපියල් පහක් ද කොහෙද එකක්.

එදා ඒ හෝල් එකේ සියක් හමාරක් පිරිස හිටියා ෂෝ එක බලන් ඇවිත්. අපි පුටු වල වාඩි වෙලා ඉන්න අතරේ මෝහන මාස්ටර් ඇවිත් පැය බාගෙක විතර දේශනයක් කෙරුවා මේකේ විෂය කරුණු ගැන.

ඊට පස්සේ තමයි අපි කවුරුත් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවෙන් හිටිය මැස් හිප්නෝසිස් ෂෝ එක පටන් ගත්තේ.

දැන් ඔන්න පොර මයික් එකේ කතා කර කර පේ්‍රක්‍ෂකයෝ අතරට ආවා. අපේ ඇස් බර වෙනවාලු, නිදිමට වගේ දැනෙවාලු, ඉබේම ඇස් පියවෙනවාලු. නින්ද යනවාලු. හැබැයි පස්සේ එයා එක, දෙක, තුන කිව්වාම නැගිටිනවාලු.

පොර ඔහොම කියන කොට මෙන්න හතර වටේම ඉන්න පොරවල් ඇස් පියා ගත්තා. මාත් ඉතිං නිකමට වගේ ඇස් වහ ගත්තා. දැන් ඉතිං කෂ්ටිය නිදි.

ඊ ලඟට පොර කිව්වා අපේ දකුණු අත සැහැල්ලුයි, නිකම්ම උඩට ඉස්සෙනවාය කියලා.

මං පොඩ්ඩක් ඇස් ඇරලා බැලින්නම් මෙන්න බොලේ මගේ වටේ ගිටපු ලොකු මහත මිනිස්සු ගෑණු අත් උස්සනවා.

ඊට පස්සේ මෝහන මාස්ටර් කට්ටියව නැගිට්ටෙව්වා. එතකොට තමයි මං දැක්කේ හෝල් එකෙන් බාගයක් විතරම නැගිට්ට බව. ඒ කියන්නේ අනිත් අය නිදි නෑ.

ඉතිං මාත් ඒ අය එක්ක ෂෝ එක බලන්න පටන් ගත්තා.

එදා වෙච්ච සේරම කේස් මට දැන් මතක නෑ. නමුත් මෝහනය වුණු කීප දෙනෙක්ව වේදිකාවට අරං ගිහින් ඔවුන්ට කියලා එක එක දේවල් කරවපු හැටි මට මතකයි. එවත් අයට ටික ටික කාලයේ පසු පස්සට ඇරලා පොඩි බබා ලා බවට පත් කළා. එක් කෙනෙක්ව මව් කුසේට දැම්මා වගෙත් මතකයි.

ඉතිං ඔය ෂෝ එක මතක් වුණු වෙලාවේ ඉඳලා මං කල්පනා කරන්නේ එදා එක පිරිසක් මාස්ටර් ගේ කතව අහං ඉඳලා මෝහනය වුනාට මංතුමා ඇතුළු අනිත් පිරිස අපූරුවට හිටියේ කොහොමද කියලයි.

මෝහන මාස්ටර් ගේ සිතට වඩා දුබල සිත් ඇති අය විතරද එයාගෙන් මෝහනය වෙන්නේ?

-කතන්දරකාරයා

(image: http://hackjammer.com/hypnotherapy-and-hypnosis-what-are-they/)

Monday 8 April 2013

ඇනෝනිමස් පුදුම ආතල් - Get a life mate!


වෙබ් එක වනාහී අරුම පුදුම තැනකි. මෙතනට ඇබ්බැහි වුනොත් ඉන් ගැලවීමක් නැත. මේ ගැන මා කලින් ලියු කතන්දරයක් මෙතනින් බලන්න.

බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous: http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

අපේ පුතා ගේ වයස තවමත් අවුරුදු දොළහක් නැත. ඒත් ඔහු පාසල නිමවී නිවසට එන්නේම කම්පියුටරය ගැන සිහින මවමිනි. මා නෝර්ටන් මාමා ගේ පිහිටෙන් විවිධ සම්බාධක පනවා නොතිබුණා නම් රාත්‍රියේ නින්දට යන තෙක්ම මයින්ක්‍රාෆ්ට් කරමින් ඉන්නට ඔහුට හැකිය.

කයිය ගැහැව්වාට මා ද මේ බ්ලොග් කෙරුවාව සඳහා දවසෙන් පැයක් දෙකක් වැය කරමි. ලිවීම විනෝදාංශයකි. සථත අභ්‍යාසයකි. ලිවීමෙන් මෙන්ම කියවීමෙන් ද මානසික සුවයක් ලැබේ. කොටින්ම කියනවා නම් ආතල් වැඩකි.

හැබැයි ඔය ආතල් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එයට හොඳම උදාහරණය සපයන්නේ මේ දිනවල මගේ කතන්දර බ්ලොගයට ඇබ්බැහි වී සිටිමින් ඇනෝනිමස් කමෙන්ටු හරහා විහිළු සපයන දෙදෙනෙකි.

මින් එක් අයෙක් එක හා සමාන සිංගිලිස් කමෙන්ටුවක් ඉංගිලිසි කැපිටල් අකුරෙන් සපයයි. සාමාන්‍යයෙන් සිංහල බ්ලොගයක ඉංගිලිසි අකුරෙන් ලියන ලද දෙයක් කියවීම අපහසු මෙන්ම තරමක් හෝ අප්‍රසන්න අත්දැකීමකි. කැපිටල් අකුරු නිසා ඒ අප්‍රසන්නත්වය දෙගුණ තෙගුන වේ.


මා සාමාන්‍යයෙන් එ කමෙන්ටුව දෙස බලනවා මිස කියවන්නේ නැත. කමෙන්ටු කියවන බොහෝ දෙනෙකුද එසේ යැයි සිතමි.

මට අද මේ කතන්දරය ලිවීමට සිතුනේ ඒ කැපිටල් ඇනෝනිමස් අංකල් නිසාම නොවේ.

මගේ කතන්දර සාමන්‍යයෙන් පලවෙන්නේ දිනක් හැර දිනක් උදෑසන හයටය. මේ දිනවල කතන්දර බ්ලොගයේ කමෙන්ටු පලවෙන්නේ මොඩරේෂන් කිරීමෙන් පසුවය. මට මේ සඳහා බොහෝ විට ඉඩ ලැබෙන්නේ හවස් යාමයේය. එලෙස කමෙන්ටු පලවීමට පෙර පැය දෙකෙන් දෙකට මෙහි පැමිණෙන තවත් ඇනෝනිමස් පාඨකයෙක් කරන්නේ දැන් පැය දෙකක් ගියා, හතරක් ගියා කිසිම කමෙන්ටුවක් නෑ, හරිම බංකොලොත් බ්ලොග් එකක් යනුවෙන් දිගින් දිගටම කමෙන්ට් කිරීමයි.



මේ අතර තවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙක් කරන්නේ මේ අඩවියේම ලැග සිටිමින් පැයෙන් පැයට මෙන් කමෙන්ටු දමමින් සිට අවසානයේ, අද මගෙන් කමෙන්ටු හතයි, දහයයි, දාහතයි යනුවෙන් තවත් කමෙන්ටු විටින් විට එක් කිරීමයි.



මේ අවසානයට සඳහන් පුද්ගලයා ගේ හැසිරීම දැක මට ඇත්තටම ඇතිවූයේ ඔහු ගැන, ඔහුගේ රසාස්වාදය ගැන, ඔහුගේ කාලය ගැන, ඔහු ගේ දවස ගෙවෙන හැටි ගැන, ඔහු ගේ ජීවිතය ගැන ඉතා දුකකි.

මේ ලෝකයේ කරන්නට තව කොපමණ දේ තියෙනවාද? කියවන්නට පොත පත, වෙනත් බ්ලොග් අඩවි, අසන්නට ගීත, බලන්නට සිනමා සිත්තම්, රූපවාහිනී වැඩ සටහන්!

ඇයි කඩන්නට මල්?

ඒ කිසිවක් නොමැතිව පැය කිහිපයක් තුල විටින් විට මෙහි පැමිණෙමින්, කමෙන්ටු දමමින්, ඒවා පිළිබඳ සංඛ්‍යා ලේඛන සදමින් කාලය ගත කරන්නට ඔහු කවර තරමේ පවක් කර ඇත්ද?

මේ සේරම ලිව්වේ කතන්ද්‍රකාර් චින්තනම් හි තවත් ක්ලෝස් එකක් ඉදිරිපත් කරන්නයි.

මේ බ්ලොග් එක ලියන්නේ මෙය කියවන අය දිනකට විනාඩි පහක් පමණ කාලයක් උපරිමය ලෙස ඒ සඳහා වැය කරයි යන අදහස ඇතුවය.

යමෙක් ඊට වඩා වැඩි කාලයක් මේ එක කතන්දරයක් සඳහා යමෙකු වැය කරනවා නම් එය අපරාධයකි.

අපරාධයක කොටස්කරුවෙක් වෙන්නට මට අවශ්‍ය නැත.

ඇනෝ, ප්ලීස් ගෙට් අ ලයිෆ් මේට්!

ස්තුතියි.

-කතන්දරකාරයා


(image: http://getalife2000.tumblr.com/)

Sunday 7 April 2013

සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful


සිංහල බ්ලොග් ලෝකයේ විවිධ කෑම, බැම සාදා ගන්නා අන්දම ගැන විවිධාකාරයේ ලිපි පලවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතන්දර බ්ලොගයේ ද විටින් විට එවැනි කුකිං කතන්දර මා ලියා ප්‍රසිද්ධ කරන්නේ හස්බන්ඩලාට ඒවා උපයෝගී කර ගෙන තමන්ගේ වයිෆර් ලා ගෙන් ලකුණු කීපයක් ලබා ගැනීමට උදව් උපාකර වීමේ පරමාභිලාෂයෙනි. වෙන්ඩ හබීලාටත් ඒ කතන්දර මතු දිනයක ප්‍රයෝජනවත් වෙනවා ඇත.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය ඒ ආකරයේ සටහනක් නොවේ. නමුත්, මෙහි පහත සඳහන් ආකාරයට සාදාගන්නා ලද තට්ට ගෙඩිවලට ද කාන්තාවන් හෙඩ් ඕවර් හීල්ස් කැමති වෙනවාට කිසිදු සැකයක් නැත.

මෙන්න සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම.

උවමනා උපකරණ

1. ෂේවින් ක්‍රීම්
2. රේසරය



සාදා ගන්නා ක්‍රමය

1. පළමුව හිස් ගෙඩියේ ෂේවින් ක්‍රීම් හොඳින් ගා ගන්න.


2. ඉන් පසු රේසරය උපයෝගී කොට ගෙන උඩ සිට පහලටත් වම් පැත්තේ සිට දකුණු පැත්තටත් සෙමෙන් සෙමෙන් කපා ගන්න.


මෙන්න වැඩ අවසාන වෙමින් පවතින තට්ට ගෙඩිය.


මෙන්න අවසාන ප්‍රතිපලය. පිටුපස දසුන සහ පැති දසුන.


තට්ටය බූ ගෑමෙන් අනතුරුව ආෆ්ටර් ෂේව් වතුර හෝ ක්‍රීම් වර්ගයක් ගාන්නට අමතක කරන්න එපා.


මේ ආකාරයට සාදා ගන්නා ලද තට්ට ගෙඩි කොපමණ සෙක්සි ද යන්නට වයිෆර් ලා පමණක් නොව උපාසකම්මා ලා ද සාක්‍ෂි දරනු ඇත.

අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි!

-කතන්දරකාරයා

ප/ලි:
තට්ටෙන් සොමිය දීම පිළිබඳව වැඩි දුරටත් මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/07/blog-post.html

උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html


Friday 5 April 2013

මේරේ සුරා මහිලා පමා දශ්ඨානා : මත්පැන් බීමෙන් කාන්තාවන්ට පව් වැඩියෙන් සිදුවේ! - Booze is bad for babes, boo, hoo, boo, hoo!


මත්පැන් බීම හොඳ දෙයක් නොවේ. නමුත් මත්පැන් බීම ගැන කතා කිරීමේ ඇති වරදක් නැත. ඒ ගැන කතා කිරීමට බහුතරයක් තුල ඇත්තේ ද සාපේක්‍ෂව තරමක් හෝ වැඩි උනන්දුවක් බව මා පෙරේදා ලියා පල කළ "බීලා කනවාද, කාලා බොනවාද?" යන කතන්දරට ලැබුණු ප්‍රතිචාර නිසා මට සිතුණි.

ඒ හේතුව නිසාම මේ කතන්දරය ද ලිවීමට සිත්විය.

දැනට කාලයකට පෙර දවසක මම මිරිස් කුඩු ග්‍රෑම් 250 පැකට්ටුවක් මිලයට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය අසල පිහිටි කඩ කෑල්ලකට ගොඩ වැදුනෙමි.

මෙතන මිරිස් කුඩු පමණක් නොව වෙනත් සැර බඩු ද විකිණීමට ඇත. ඒ සැර බඩු අනෙක් තැන්වල ඇති බඩුවලට වඩා හොඳ යැයි සිතන නිසා දෝ මෙතනින් බඩු ගන්නට පිරිස සෑහෙන්න එන යන බවක් පෙණුනි.

මා මේ කඩ කෑල්ලේ ඒ සැර බඩු සහිත සුවිශේෂී කෙලවර පසුකර යන විට එහි ප්‍රදර්ශනය කරතිබූ එක්තරා දැන්වීමක් මගේ නෙත ගැටුණි.

එහි සඳහන් වුයේ (අවුරුදු 18 ට අඩු අයට පමණක් නොව) කාන්තාවන්ට ද සැර බඩු නොවිකුණන බවයි. කාන්තාවන්ට මිළට ගත හැක්කේ මිරිස් කුඩු වැනි දේ පමණකි.

මෙයට හේතුව කුමක්දැයි සොය බැලූ විට මට ආරංචි වුනේ, අනාදිමත් කාලයක දී කෙටුම්පත් කර සම්මත කෙරුණු සුරාබදු පනතේ මේ වාරණය සඳහන්ව ඇති බවයි.

ඒ පනහේ දශකයේ තත්වයයි. අද එය වෙනස් විය යුතුයැයි සමහරු පවසති. ප්‍රජාවෙන් එක කොටසකට ඇති අයිතිය තවත් කොටසක නැති කිරීම මානව හිමිකම් කේස් එකක් මිස අන් කවරෙක්ද?
නමුත් මගේ අදහස වෙනස්ය.

මත්පැන් බීම නරක වැඩකි. පස් පවෙන් එකකි. පව් සිදුවේ. මේ සම්බන්ධයෙන් අප සැම හොඳින් දන්නා කාරණයක් නම් පෝය දිනවලට මත්පැන් මිලට ගැනීමෙන් වෙනදාට වඩා කිහිප ගුණයක් පව් සිදුවෙන බවයි. එදිනට බාර් වසා දමන්නේ ඒ නිසාය. කලින් දිනයක මිළට ගත් බඩු පෝය දින පරිහරණයේ වරදක් නැතුවා විය හැක.

මේ ආකාරයටම කාන්තාවන් මත්පැන් බීමෙන් සිදුවෙන පාපයේ ප්‍රමාණය පිරිමින් මත්පැන් බීමෙන් සිදුවෙන පාපයේ ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි.

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම තහනම් කර ඇත්තේ ඒ නිසාය.

අනික කාන්තාවන් ද පිරිමින් හා හරි හරියට මත්පැන් බොන්නට පටන් ගත්තොත් වෙනදා ගේන බාගේ වෙනුවට බෝතලයක්ම ඕනෑ වෙනවා පමණක් නොව, සයිමන් ලා කට් වෙන්නට දැමූ පසු දෙහි ටිකක් මිරිකා පොවන්නට විමල ලා කොහෙන් හොයන්නද?

-කතන්දරකාරයා

මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අනිත් වැදගත් කරුණ නම් මත්පැන් විකිණීමට බලපත්‍රයක් ලබා ගැනීමේදී ගැහැණු පිරිමි ප්‍රශ්ණයක් නොමැති බවයි. නමුත් කමලාවතී ගේ බාර් එකෙන් විමලාවතීට බඩු මිලට ගත නොහැක!


(image: http://sundaytimes.lk/020421/images/bcartoon.jpg)

Wednesday 3 April 2013

බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?


මේ කතන්දරය ලියන්න ආසන්නම හේතුව නම් ගිය සති අන්තයේ සිදුවීමක්. හැබැයි, ඒ කේස් එකේ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. ඒකෙන් මතු වුණු අදට වැදගත් ප්‍රශ්නය තමයි ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ.

"බීලා කනවාද, කාලා බොනවාද?"

බොන එකත් හොඳ නැහැ, වැඩිපුර කන එකත් හොඳ නෑ. නමුත් ඉතිං කන-බොන මිනිස්සු ඉන්න ලෝකයක් නේ තියෙන්නේ. ඒ හින්දා මේ කතාව තරමක් හෝ වැදගත් වේවිය කියලා මට හිතුණා.

අපේ ගොයියලා හුඟ දෙනෙක් බොන්න සෙට් වුනාම කිසිම චාරයක් නැතුව බීගෙන බීගෙන යනවා. අන්තිමේදී කන්න වෙලාව ආවම, කනවා නෙමෙයි නැගිට ගන්නවත් පන නෑ.

ඒ මදිවට කෑවා වුනත් මොනවා කනවාද කියලා සිහියක් පතක් නැතුවයි කන්නේ. අන්තමේදී අයිස් ක්‍රීම් කන්නේත් පිඟානට බෙදාගෙනයි සමහරු.

ඒ විතරක් යැ. ඇයි කබරයා?

බිබී ම ඉන්නේ නැතුව පොඩ්ඩක් උඩ පැනලා ආවනම් ඒ තත්වය වෙනස්.

කොහොම හරි මේකයි කතාව.

මං අර කාලයක් තායිලන්තේ තිප්පොලකට සෙට්වෙලා පස්තාච්චි අදින කාලේ අපේ නොයෙකුත් පාටි තිබුණා මාසෙකට පාරක් විතර. හැබැයි ඒවා බොන පාටි විතරයි. ඇත්තටම කියනවා නම් නාලා බිටන පාටි විතරයි.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

ඔන්න පාටිය දාටත් අපි වෙනදා වගේම හවස වොලිබෝල් ගහලා ඇවිල්ලා, ඇඟ පත හෝදා ගෙන හයහමාරට, හතට විතර රෑට කනවා.

පාටිය පටන් ගන්නේ රාත්‍රී හතහමාරටයි. ඒවා තියෙන්නේත් යුනිවසිටිය ඇතුලේම නිසා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

ඉතිං අපි පාටියට යන්නේ හොඳට කාලා බඩ කට පුරෝගෙන. එතනට ගිය වෙලේ ඉඳලා තමයි බඩේ ඉතුරු හරිය පුරවා ගන්නේ.

ඔය අස්සේ නැටුමත් පටන් ගන්නවා.

වැඩේ නැගලා යනවා. අර බීලා කන කොට තියෙන අප්සෙට් කේස් මොකක්වත් නෑ.

වැඩේ කියන්නේ පස්තාච්චි කුපාඩි එක අරගෙන ආපහු ලංකාවට මංගැච්චුවායින් පස්සේ කාලා බොන එක ආපහු නොපිට හැරුණා.

ඒ කාලේ අත්දැකීම් එක්ක අද කාලේ කේස් හිතෙන් සංසන්දනය වෙන කොට තමයි හිතෙන්නේ වඩාත් බීලා කෑම කන සහ කාලා බොන කියන නරක වැඩ දෙකෙන් වඩා හොඳ එක කාලා බොන එකය කියලා.

-කතන්දරකාරයා


(image: http://www.zdravosloven.com/portal/statii/lesser-evil-foods-154.html)

Monday 1 April 2013

බැඳපු අය ගේ විහිළුවක් - For married couples only


මේ මීට වසර කිහිපයකට පෙර කාලයක සිදුවීමකි.

ආසිරි සහ විශාකා යුවලගේ හොඳම මිතුරන් වුයේ සමරේ සහ රමණී යුවලයි.

සමරේ සහ රමණී යුවලට මේ කාලය වෙනවිට දරුවන් දෙදෙනකු සිටියහ. බාලම දියණියට යාන්තම් වසරකි. ආසිරි සහ විශාකා යුවලට සිටියේ එක් දියණියක් පමණි.

සෙනසුරාදා දිනයක් වූ එදින උදැසන ඇඳේ සිටම ආසිරි තම මිතුරු සමරේට දුරකතනයෙන් කතා කලේය.

"මචං, උදේම කතා කලේ පොඩි ආරංචියක් කියන්නයි."

"මොකක්ද මචං?"

"මචං, විශාකා ප්‍රෙග්නන්ට්."

"ආ, කන්ග්‍රැජුලේෂන්ස් මචං!"

"තැන්කියු, තැන්කියු. ඒක නෙමෙයි සමරේ පොඩි උදව්වක් ඕනෑ. විශාකාට ආශාවක් ඇවිත් අර රමණී හදන මාළු ඇඹුල් තියල් එක්ක ඉඳිආප්ප කන්න."

"ආ, ඒක සුලු දෙයක් නේ. මං රමණීට කියලා ලැහැත්ති කරලා හවස් වෙලා ඔය පැත්තේ අරගෙන එන්නම්කෝ."

"තෑන්කියු මචං. එහෙනම් මං තියන්නම්. අන්න විශාකා වමනේ දානවා ඇහෙනවා බාත් රූම් එකේ. මං යන්නම් ඒ පැත්තට."

"හොඳයි මචං, මං තව ටිකකින් කෝල් කරන්නම්."

ආසිරි උදේ පාන්දරින්ම කාටදෝ දුරකතනයෙන් කතා කරනවා නාන කාමරයේ සිටි විශාකාට ඇසුණි. ඇය මද වේලාවකින් නැවත නිදන කාමරයට ආවාය.

"කවුද ආසිරි කෝල් කලේ?"

"මේ සමරේ!"

"ඇයි මොකද මේ උදෙන්ම?"

"පොඩි ගුඩ් නිවුස් එකක්. රමණී ප්‍රෙග්නන්ට් ලු."

"මොනවා, තාම බබාට අවුරුද්දක්වත් ගියේ නෑ නේ. මං නං හිතුවේ ඒ ගොල්ලෝ ළමයි දෙන්නෙකුට වැඩිය හදන එකක් නෑ කියලයි."

"කවුද දන්නේ ඉතිං?"

"ඉතිං මොනවද සමරේ කිව්වේ?"

"රමණීට අර ඔයා හදන ගැටපොලොස් මාළුව එක්ක ඉඳි ආප්ප කන්න ආශාවක් ඇති වෙලාලු. දන්නවනේ මේ කාලෙට."

"ආ, ඒක සුළු දෙයක් නේ. මං දැන්මම හදන්නම්. අපි රෑට සමරේලාට කෑමට කතා කරමු එහෙනං. ඔයා කෝල් එකක් දීලා ඉඳිආප්ප ඕඩර් කරන්න."

තව පැයකින් පමණ රමණීගෙන් විශාකාට දුරකතන පණිවිඩයක් ලැබුණි.

"කන්ග්‍රැජුලේෂන්ස් විශාකා!"

"කන්ග්‍රැජුලේෂන්ස් රමණී!"

ඉන් පසුව ඇති වූයේ අන්දරේ ගේ බිහිරි බිරිඳ ට, රජතුමා ගේ බිහිරි බිසොව හමුවූ දා සිහිගන්වන කතාබහකි.

කෙසේ වෙතත් මේවන විට පොලොස් ලිපේය. සමරේ මාළු ගේනනට ගොසිනි. ඉඳිආප්ප ඇණවුම් කර අවසානය.

එදා අප්‍රියෙල් පළමුවෙනිදා රාත්‍රියට රමණී සහ සමරේ යුවල ද, විශාකා සහ ආසිරි යුවල ද මාළු ඇළුල් තියල් සහ ගැටපොලොස් මාළුව සමග ඉඳිආප්ප රස වින්දාහ.

-කතන්දරකාරයා

ප/ලි:
සියලුදෙනාටම විනෝදාත්මක අප්‍රියෙල් පලමුවෙනිදාවක් වේවා!