Wednesday, 30 January 2013

සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබිය - Sinhala Buddhist Taliban Saudi Arabia


මං මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 ජූලි මාසයේදී යි.

එදා ඉඳන්ම වගේ මං කළ දෙයක් තමයි බ්ලොග් ගැනත් මගේ බ්ලොග් එක ගැනත් මට හමුවන දන්න, නොදන්න හැම දෙනාටම ඉඩ ලැබෙන පරිදි කියලා දෙන එක.

මේ සඳහා මං "බිස්නස් කාඩ්" එකකුත් ගැහැව්වා. මට මතකයි 2009 දෙසැම්බර්වල තිබුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පළමු රැස්වීමට ඇවිත් මං මගේ කාඩ් බෙදපු හැටි.

හැබැයි, බ්ලොග් ලියන අයට විතරක් කාඩ් බෙදලා තේරුමක් නෑ. අපි කියවන්න උනන්දුවක් ඇති, පරිඝණක භාවිතා කරන සියළු දෙනාම අතර බ්ලොග් ගැන ප්‍රචාරය කරන්න ඕනෑ.

මට මතකයි සිහි සටහන් ලියපු චානුක වත්තේගම මේ ගැන හිතලා සති කිහිපයක් පුරා බ්ලොග් ගැනත්, සිංහල බ්ලොග් අවකාශයේ තියෙන විවිධ බ්ලොග් ලිපි ගැන උදාහරණත් එක්ක ලිපි පෙලක් ලිව්වා ඉරිදා ලක්බිම පත්තරේට. ඒ ලිපි පෙල කියවලා සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් ගැන දැනගත්තා.

කොහොම හරි මං මුලින් ගහපු බිස්නස් කාඩ් 250 අවුරුද්දක් එකහමාරකින් විතර ඉවර වුණා. ඊට පස්සේ මං කාඩ් 500 ක් මුද්‍රණය කළා. ඒකේ අන්තිම සීයක් විතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.

මං හිතන්නේ මගේ බිස්නස් කාඩ් එක ලැබුණු කීප දෙනෙක් හරි ඒ නිසා කතන්දර බ්ලොග් එක කියවන්නත්, ඒකේ තියෙන බ්ලොග් ලයිස්තු හරහා අනිකුත් බ්ලොග් කියවන්නත් පටන් අරගෙන ඒක දැන් ජයටම කරගෙන යනවා.

දැන් සාර්ථක හතරවෙනි අවුරුද්දේ බ්ලොග් ලියමින් හිටයත් මං තාම බ්ලොග් එක ප්‍රචාරය කරන වැඩ පිළිවෙල නවත්වලා නෑ!

මේ සේරම කිව්වේ මෙන්න මේකටයි.

මං 2008 අවුරුද්දේ විතර ඉඳලා දන්න ලිහිණි හෙවත් සංජීවිකා මනෝහරී ත් බ්ලොග් එකක් ලියනවා.

ලිහිණි කියන්නේ කිවිඳියක්, ගීත රචිකාවයික්, ලේඛිකාවක් බව මං ඊටත් කලින් ඉඳලා දැනගෙන හිටියා බූන්දිය හරහා. බස් රේඩියෝවේ වැඩ සටහනේදීත් මං තෝරපු සින්දු අතරට ලිහිණි ලියූ, කුමාරි මුණසිංහ ගායනා කළ සිහින කළාලේ සින්දුව ඇතුළත් කළා මට මතකයි. ලිහිණි ලියපු "නිරුවත් සිතුවිලි" කියන තීරු ලිපියේ කොටසුත් මං කියවලා තිබුණා.

ඒත් මං මේ ඊයේ-පෙරේදා වෙනකං දැන ගෙන හිටියේ නෑ, ලිහිණි, "ලිහිණිසර" නමින් බ්ලොග් එකක් ලියන බව.

මෙන්න ලිහිණිසර ලිපිනය: http://lihinisara.blogspot.com/

ලිහිණිසරේ මං මුලින්ම කියෙව්වේ ලිහිණි තමන් ඉගෙන ගත්තු එක්තරා විශ්ව විද්‍යාලයකට මේ ළඟදී දවසක ගිහින් අත්විඳපු සිදුවීමක් ගැන කතාවක්.

http://lihinisara.blogspot.com/2013/01/blog-post_8791.html

අපි ආපහු ගල් යුගයට යනවාද කියලයි මට ඒක කියොපු වෙලාවේ හිතුනේ.

පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද පියතිලකගේ සිංහල බෞද්ධ තලේබාන් අවවාදය මීට දශක කිහිපයකට කලින් ලැබිලා තිබුණත්, මේ කියන විශ්ව විද්‍යාලයේ කුමරි බඹසර හොයන කේස් එකක් ගැන අහලා තිබුණත්, ත්‍රී-ක්වාටර් කලිසම් ගැන සිංහල බෞද්ධ තලේබාන් නීතිය මං දැනගත්තේ ලිහිණි ගේ කතාවෙනුයි.

අනේ කාලේ, වනේ වාසේ...!!!

මට මතක් වුනේ මේ ඊයේද කොහෙද බ්ලොග් ලිපියක හරි කමෙන්ටුවක හරි කියෝපු වැකියක්.

"අපි මේ යන්නේ සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබියක් කරා ය!"

-කතන්දරකාරයා


(image: http://idaspoetics.com.au/2012/07/who-is-the-wind-or-are-you-the-wind/)

Monday, 28 January 2013

හේට් චේන් ඊ-මේල් එකට හලාල් උත්තරයක්! - A Halal reply to a hate mail


චේන් ඊ-මේල් ගැන ඔහේලාට අමුතුවෙන් ටියුෂන් ඕනෑ නෑනේ. අළුතින් ඊ-මේල් බිස්නස් එකට බැස්ස එක්කෝ පොඩි පහේ පිස්සුවක් නැතිනම් පොඩි මෝඩකමක් තියෙන යාළුවෙක් ඉන්න ඕනෑම කෙනෙක් මේ චේන් ඊ-මේල් ගැන දන්නවා.

මෙන්න චේන් ඊ-මේල් විවිධ වර්ග.

1. සමහර ඒවා, අලිබබා, බූබබා සහ සායිබබාලා ගැනයි. ඒ ඊ-මේක් එකක් දහ දෙනෙකුට යැව්වොත් ගොවිසෙතක් ඇදෙනවා. විසි දෙනෙකුට යැව්වොත් ශනිදා වාසනාව! යැව්වේ නැත්තං එක්කෝ හාට් ඇටෑක්, නැත්තං අඩු ගානේ හර්නියා එකක් එනවා.

2. තවත් වර්ගයකින් කියවෙන්නේ මොබයිල් ෆෝන් නිකං දෙනවා. ඊ-මේල් එක දහ දෙනෙකුට යැව්වොත් එරික්සන් T20 එකක් ගෙදරටම එවනවා කියලයි. (එරික්සන් T20 කියන්නේ දැන් අවුරුදු දහයකටත් කලින් තිබුණු මොබයිල් ෆෝන් එකක්.)

3. අනිත් වර්ගය ඊට වඩා දරුණුයි. පොඩි ළමයෙක් ලියුකේමියාවෙන් මැරෙන්නම යනවා. අපි ඊ-මේල් එක යවන යවන ගාණට බිල් ගේට්ස් ශත දෙකක ගානේ ළමයාගේ බේත්වලට දෙනවා.

4. ඒ සේරටම වඩා දරුණුම කේස් එක තමයි මේක. සැවෝයි එකේ තිබිලා ඉන්ජක්ෂන් කට්ටක් ඇනුණා, ඒකේ එඩ්ස්. දෙහිවල ඒටීඑම් එකක ළඟදී කාඩ් එකේ පින් එක හොරකම් කළා. කාට කාටත් දැනුම් දෙන්න.

ඔය මුල් වර්ගයේ ඊ-මේල් ලැබුණාම මං කරන්නේ කෙලින්ම ඩිලීට් කරලා දාන එකයි. ඒ මවුස් ක්ලික් එකට යන කාලයත් ශ්‍රමයත් පවා පාඩුවක්!

දෙවෙනි වර්ගයේ ඊ-මේල්වලට මං උත්තරයක් යවනවා ලයිස්තුවේ ඉන්න හැමෝටමත් ලැබෙන විදියට. මං ලියන්නේ ඔයාට ඒ මොබයිල් එක ලැබුණු දාට ෆොටෝ එකක් එක්ක අපිට දන්වන්න. එතකොට අපිත් හැමෝටම ඊ-මේල් එක යවන්නම් කියලායි!

අවසාන වර්ග දෙකේ ඊ-මේල්වලට මං දාන උත්තරයට මං http://www.hoax-slayer.com/ සයිට් එකේ අනිවාර්යෙන්ම තියෙන මේ කියන පණිවිඩයේ ඔරිජිනල් වර්ෂන් එකට ලින්ක් එකක් එක්කයි උත්තර දාන්නේ. ආයේ මේ වගේ ගොං වැඩ කරන්න එපාය කියලා කාරුණික ඉල්ලීමකුත් එක්ක.

නමුත් සමහරු ඉන්නවා ඔය අවවාද ශත පහකට ගනං ගන්නේ නැතුව දිගින් දිගටම ලණුව කමින් චේන් ඊ-මේල් වල පුරුක් වෙන.

මෝඩ කමට බේත් නෑ කියනවානේ!

මං දන්න මේ ජාතියේ එක පොරක් චේන් ඊ-මේල් ෆෝවර්ඩ් කරන්නේ එව්වේ කවුද, මේල් එකේ තියෙන්නේ මොකක්ද කියලාවත් නොබලායි.

දැන් මේ ලඟදී ඉඳලා අළුත් වර්ගයක චේන් ඊ-මේල් එන්න පටන් අරං.

මේවා හලාල් ගැන දැනුවත් කිරීම්!

ඔන්න මේ ගිය සතියේ විතර ආවා චේන් ඊ-මේල් එකක්. කවුද කියලා මං වැඩිය දන්නේ නැති එකෙකුගෙන්.

චේන් ඊ-මේල් එකේ තිබුණේ එක වැකියයි. ඊ-මේල් එකේ හෙඩර් එකත් ඒකමයි.

"ප්ලීස් පාස් දිස් මැසේජ් ටු ඕල් සිංහල පීපල් යූ නෝ" (ඔබ දන්නා සියළු සිංහලයින්ට මේ පණිවිඩය යවන්න).

ඇටෑච්මන්ට් එකේ තමයි මේ බහුජන හිතාය, බහුජන සුඛාය පණිවිඩය තිබුණේ. ඒ පණිවිඩය කියවලා මං ඔක්කාරය නවත්තා ගත්තේ බොහොම අමාරුවෙන්.

ඊලඟට මට තිබුණා තීරණයක් ගන්න.

මේ චේන් ඊ-මේල් එක ගාර්බේජ් බින් එකට ආලා ඊට පස්සේ නිකං ඉන්නවාද?

නැතිනං උත්තරයක් යවනවාද?

මං තීරණය කළා උත්තරයක් යවන්න.

"ඩියර් අවවලා,

කයින්ඩ්ලි ෆයින්ඩ් සම්වන් එල්ස් ටු පාස් ඔන් දැට් හේට් මේල් යූ හෑව් සෙන්ට් මී.

අයි ජස්ට් හැඩ් වන් ලුක් ඇට් ද ඇටෑච්මන්ට් ඇන්ඩ් ඉට් ඊස් නොට් ඊවන් ගුඩ් ඉනෆ් ෆෝ මයි ගාර්බේජ් බින්.

පර්හැප්ස් යූ ඩිඩ් නොට් ඕතර් දැට් ඩර්ටි ඩොකියුමන්ට් අයි ඩෝන්ට් තින්ක් යූ ෂුඩ් හැව් සෙන්ට් ඉට් ටු මී ඇට් ඕල්.

ඇපොලොජීස් විල් බී ඇක්සෙප්ටඩ්.

-කකා"

දවස් දෙකකට විතර පස්සේ මෑන්ගෙන් ලිපියක් ආවා. ගමකට තදවෙලා, මට බැනලා.

තමන්ගේ වරද පිළිඅරගෙන සමාව ගන්නවාට වඩා කොච්චර ලේසිද අනුන්ට බණින එක නේද?

-කතන්දරකාරයා


(image: http://www.dreamstime.com/royalty-free-stock-images-email-address-symbol-chain-image13254389)

Saturday, 26 January 2013

ගැලිය, එලියකන්ද සහ සත්ව හිංසනය - A shocking video


පොඩි කාලේ අපේ ගෙවල්වල බල්ලෝ, පූසෝ හිටියා, හැබැයි ඒ එක සතෙක්වත් දම්වැල්, ලණුවලින් බැඳලා, කූඩුවල දාලා හිටියේ නෑ. උන් ඔහේ නිදහසේ හිටියා. බල්ලෝ ගෙයින් පිට. පූසෝනම් ඇතුලෙත් පිටත් දෙකේම.

මං පූසෝ, බල්ලෝ වගේ සත්තුන්ට අකමැත්තක් නෑ. ඒ මොනවා වුනත් ඒ දවස්වල ම මං හිතාගත්තු දෙයක් තමයි කවදාවත් මගේ ගෙදරක සත්තු ඇති කරන්නේ නෑ කියන එක.

තාමත් අපේ ගෙදර සත්තු නෑ. රෝස බබාවත්, පුතු පැටියාවත් බලු පැටව්, පූස් පැටව් ඉල්ලලා කරදර කළෙත් නෑ කවදාවත්.

මං හිතන්නේ සතෙකුව බැඳගෙන, හිරකරගෙන ඉන්න එක මහාම අපරාධයක්.

මේ වීඩියෝ එක බලන්න. හරිම දුකක් මේ අලි පැටියා විඳින්නේ.



එක අතකට, එලියකන්ද, බටලන්ද තිබුණු මේ රටේ මේවත් වැඩද?

ඉස්සර කාලේ කියෝපු පරිවර්තන පොත්වල තිබුණු "ගැලිය" කියන හිර ගෙවල් මට සිහිවුණා. අර හිරකාරයින්ව දම්වැල්වලින් බැඳලා තියෙන්නේ!

මේ වීඩියෝව සහිත ලිපියක් BOONDI "Live" ඊ-මේල් ලයිස්තුවට එවීම ගැන රජිනි ජයසිංහට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න රාජිනි ජයසිංහ ගෙන් ලැබුණු ඊ-මේලය.

---------- Forwarded message ----------
From: rajini jayasinghe
Date: 2013/1/26
Subject: [BOONDI " L i v e "] මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු Please share this email
To: boondi-live@googlegroups.com

මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු

අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. රඳවාගෙන සිටින අලියෙකුට වූවද එහා මෙහා යාමට තරමක විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ සිටින ගංගා නමැති අලි පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ. කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

කරුණාකර මේ වීඩිඕව බලන්න http://www.youtube.com/watch?v=xdw98qGC6-M ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම ලිපිනයට යවන්න.

විහාරාධිපති
ගංගාරාම විහාරය
කොළඹ


(image: http://www.rottentomatoes.com/quiz/nightriders-how-well-do-you-know-the-simpsons-quiz-1/)

Thursday, 24 January 2013

මෙන්න කියවන්න වෙන්ඩ සින්දුවක් - A song in the making


පොසිටිව් තින්කින් කියන එක දන්නවද?

ඒක විස්තර කරන්නේ මෙහෙමයි.

ඔන්න පොරක් ඉන්නවා රුපියලක් තමන් ලඟ තියෙන. පොර හිතනවා "තව රැපියල් නවසිය අනූනමයයි මට ඕනෑ, මේක රැපියල් දාහක් කරගන්න!" කියලා.

ඒ වගේ තමයි මාත්.

වචන පේලි කීපයක් ලියාගෙන හිතනවා "ආ, මේකට තව තනුවකුයි, සංගීතයයි, කටහඬකුයි විතරයි ඕනෑ, සින්දුවක් වෙන්න" කියලා.

මෙන්න ඒ ආකාරයේ වෙන්ඩ සින්දුවක්.

ලසොව

ඉකි බිඳුම අමතකයි තනි රැක්ක පෙර කලේ
සෝ සුසුම අමතකයි හද ගිලෙයි සීතලේ

මහා පතරංග සුව නොපැතුවෙමි
ඔබේ මුදු සෙවනැල්ල
ලැබෙන එක් නිමේශය සහනයකි
හඬා වැටුනද සදා කළුවරේ
සිතේ නැගි ගිනි දැල්ල
නිවෙන දින තවම හුදු සිහිනයකි

ඔබේ ලොව මගේ ලොව දෙලොවකිය
සදා අප යා කරන දේදුන්න
හිරු සමග අවරටම ගියාදෝ?
එදා අප නොම දුටුව සඳ එළිය
විය සිදුර තුලින් රස විඳින්නට
මොහොතකට රැයේ ඉඩ ලැබේදෝ?


-කතන්දරකාරයා

මෙන්න තවත් වෙන්ඩ සින්දුවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post.html

(image: MyOwn)

Tuesday, 22 January 2013

එක සුනඛයෙකු හොඳටෝම සෑහේ! - One dog is more than sufficient!


දිනය 2012 දෙසැම්බර් මස නම හත්වෙනි සිකුරාදා ය.

ඔෆීසියේ පුටුවක් රත්කරමින්, වාර්තා, ඊ-මේල් සහ සංඛ්‍යා ලේඛන අතර හිරවී සිටින මගේ ජංගම දුරඛතනයට ඇමතුමක් ලැබුණි. ඒ මගේ අම්මාගෙනි.

"පුතේ කළබල වෙන්න එපා. ඊයේ සමන්ත මෝටර් සයිකලෙන් වැටිලා. ඉස්පිරිතාලෙලු!"

"ආ! කවුද කිව්වේ?"

"රුවන්තිකා කෝල් කරලා කිව්වා."

"ඉතිං හුඟක් තුවාලයි ලු ද?"

"දනහිස ලඟ තුවාලයි, ඒත් අමාරුවක් නෑ කියලයි රුවන්තිකා කිව්වේ. මං සමන්තගේ මොබයිල් එකට කෝල් කරන්න බැලුවා. ගන්නම බෑ. ඔයාත් ට්‍රයි කරලා බලන්න."

සමන්ත යනු මගේ බාල සොහොයුරා ය. රුවන්තිකා යනු ඔහුගේ බිරිඳයි.

"ඉස්පිරිතාලේ හින්දා මොබයිල් එක ඕෆ් කරලා ඇති. මං කෝල් කරලා බලන්නම්."

මම වහා මල්ලීගේ ජංගම දුරඛතනයට ඇමතුම් කළෙමි. දෙතුන් විටක් උත්සාහ කළ පසු ඔහු හා කතා කිරීමට හැකිවිය.

"ආ, අයියේ?" ඔහුගේ කට හඬ ඇසෙයි.

"තමුසේ මොකක්ද මේ කරගත්තේ?"

"සයිකලෙන් වැටුන ඕයි! දණහිස තුවාල වෙලයි තියෙන්නේ. තුවාලේ නං ලොකු නෑ. නමුත් ලිගමන්ට් ඉරිලා හින්දා රිදෙනවා, ඇවිදින්න බෑ."

"මොකක්ද වුනේ?

"ඊයේ හවස මෝට සයිකලයේ යනකොට ඉස්සරහට බල්ලෙක් පැන්නා ඕයි. මං වැටුණා!"

සයිකලේ ඩැමේජ් දැයි මම නොඅසමි. එය මෙවෙලේ එතරම් වැදගත් කරුණක් නොවේ.

මගේ සිත අතීතයට ඇදී යයි.

උසස් පෙල අවසානයේ එලැඹුණ ගන්ධබ්බ සමයේදී මම මගේ අංකල් කෙනෙකුගේ හොණ්ඩා 125 මෝටර් සයිකලය පදවන්නට ඉගෙන ගතිමි. ඒ එක් දිනක රත්වුණු සයිලන්සරයට මගේ කකුල පිලිස්සුණු බවද මට මතකය.

ඉන්පසු මා මෝටර් සයිකලයක් පදවා ඇත්තේ එකෝම එක වරකි. ඒ මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර පහකට පමණ පසු දිනයක අරවින්දන් අපේ නිවසට පැමිණි දිනයක දී ය.

මා කිසිදිනක මුදල් එකතු කරගෙන මෝටර් සයිකලයක් ගන්නට පෙරුම් නොපිරුවෙමි. ඒ අර "ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්, නෑ, නෑ, නෑ, නෑ, නෑ!" කතන්දරයේ කියූ ආකාරයේ ඛේදවාචක වැනි කරුණු නිසා විය යුතුය. සමහර රෝහල් වාට්ටු ඒ දිනවල හැඳින්වූයේ හොණ්ඩා වාට්ටු යනුවෙන් යැයි මම අසා තිබුණෙමි.

මා අවසානයේ ගත්තේ රතු කොරොල්ලා කාර් එකකි.

රැකියාවට ගොස් ටික කලකින්ම මෝටර් සයිකලයක් ගත් සමන්ත මල්ලී නම් අද පවා දරු පවුල නැතිව කෙටි ගමන් බිමන් යද්දී තවමත් එය භාවිතා කරයි.

මෝටර් සයිකලයක් යනු රෝද දෙකකින් පමණක් පොළෙව මත රුඳෙන අසමතුලිත වාහනයකි. එය සමතුලිත කරගෙන පැදවීමට මනා සංයමයක් සහ පලපුරුද්දක් අවශ්‍යවේ.

රෝද හතරක් මත දිවෙන සමතුලිත වාහනයක් වන මෝටර් රථයක් වුවද අප කොයි තරම් සංයමයකින් යුතුව, මාර්ග නීති ගරු කරමින් ධාවනය කළද, එක් අණුවනයෙකු ගේ වැරදි ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල විය හැකි බව මම පසුගිය දිනයක කතන්දරයකින් පැවසූවෙමි.

ඉදින් මෝටර් සයිකලයක් ගැන කවර කතාද?

මල්ලීට සිදුවුණු මේ අකරතැබ්බයෙන් අපට වැටහෙන පරිදි, මෝටර් සයිකලයක් අසමතුලිත කර, එය පදවන්නා පොළොව මතට හෙලා, ඔහුගේ කකුලක් කඩා දැමීමට අවශ්‍ය වන්නේ එකම එක සුනඛයෙකු පමණකි!

මෙය මෝටර් සයිකල් සඳහා පමණක් නොව තාත්වික සහ අතථ්‍ය ලෝකවල බොහෝ අවස්ථාවලට පොදු වූ සාධකයකි.

-කතන්දරකාරයා

ප/ලි:
රෝහලේ දින දෙකක් ගත කළ මල්ලී ඉරිදා සිට නිවසේය.

වම් කකුලේ වැඩි හරියක් වසා විහිදුණු ප්ලාස්ටරයක් බහා ලූ කකුලද සමග ඔහු ඇඳ මත සිටිණු දැක මට ඇති වුනේ කණගාටුවකි.

ඔහුට මේ ලෙස පුරා මාස දෙකක්ම සිටින්නට සිදුවෙන බව අසා ඒ කණගාටුව තවත් වැඩිවිය.

බල්ලෙකු ගේ බලය!

(image: http://mongolmule.blogspot.com.au/p/mules.html)

Sunday, 20 January 2013

නේද? නේද? Questions, questions!


මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.

නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.

ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.

ඔය ගැන කියන කොටම මතක් වුනේ ඔන්න එක දවසක් මං යාළුවෙකු ගේ ගෙදර පාටි එකකට ගිහින් ඉන්න වෙලාවේ, මං තරමක් අඳුණන ගෑල්ළමයෙක් මාව දැකලා "නේද? නේද?" කියන්න පටන් ගත්තා.

මං මුලින්ම හිතුවේ එයා "ඥාව්, ඥාව්" කියනවා කියලයි.

පස්සේ තමයි තේරුනේ සීන් කෝන් එක.

මගේ කවියක් පත්තරේක පලවෙලා.

මෙන්න ඒ කවිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට!

නේද?

ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
සිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?

ඔබ සුනිල් කෙම්බිමය වියලි කාන්තාරයේ
සුවෙන් සැතපී ඉන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සෙවන අඩු වේද?
නැහැ නේද?

ඔබ නිමල් සඳ වතය පාළු ආකාසයේ
හද අඳුර දුරලන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා සඳ එලිය රළු වේද?
නැහැ නේද?

ඔබේ ලොව මගේ ලොව එකක් නොව දෙලොවක්ය
එපා ඔබ දුක් වෙන්න
එපා මට දුක් දෙන්න
අද මෙන්ම සිනාසෙමු හෙට දිනද
හා! නේද?


-කතන්දරකාරයා

(image: http://venturebeat.com/2012/10/02/why-you-should-never-ever-use-a-question-mark-on-twitter-or-linkedin-infographic/)

Friday, 18 January 2013

දොරකඩ මාරාව නොහොත් දෙවියනි තෝ කොහිද? Where art thou buddy?


ඔය මාතෘකාවට මං දාල තියෙන්නේ වසන්ත ඔබේසේකර ගේ චිත්‍රපටියක නමක්. සනත් සහ සබීතා හිටියාය කියලයි මට මතක තිබුනේ. මතකය හරි! වැරදි!

ඒ මූවි එකේ කතාව සාමාන්‍යයෙන් වසන්ත ඔබේසේකර ගේ හැම චිත්‍රපටයක් ගැනම කියනවා වාගේ සත්‍ය කතාවක් මත පදනම් වුණු එකක් කියලයි මං අහලා තියෙන්නේ.

දොරකඩ මාරාව පටන් ගන්නේම වාහන අනතුරකින්. ඒකෙන් වාහනයේ ගිය යුවල මැරෙනවා. ඒ දෙන්නගේ මැරෙන්න කලින් කතාව තමයි චිත්‍රපටියේ තිබුණේ.

මේ ලඟදී මට අහන්න ලැබුණා ඒ වගේම කේස් එකක්. හැබැයි ඊටත් වඩා දුක හිතෙන කතාවක්.

තනි වාහන අනතුරක්. වාහනය පැදවූ සැමියා බේරුණා. හැබැයි ඉස්සරහා සීට් එකේ හිටිය බිරිඳ මිය ගියා.

බිරිඳ කියලා කිව්වාම කතාවෙන් බාගයයි කියවෙන්නේ. ඇත්තටම ඇය දරු දෙදෙනෙකුගේ මවක්. දරු දෙදෙනා මිතුරෙකුගේ නිවසේ නවත්වා දෙමව්පියෝ දෙදෙනා වාහනයෙන් යන අතරතුරයි මේ මාරාන්තික අනතුර සිදුවෙලා තියෙන්නේ.

දුක වැඩිවෙන තවත් කරුණු තියෙනවා. ඒක තමයි ඊට සතියකට පමණ පෙර මේ සැමියා සේවය කළ ව්‍යාපාරය බංකෙලොත් වී සැමියා ගේ රැකියාව අහිමිවීම.

මේ අනතුර සිදුවෙන වෙලාවේ දෙන්නා යමින් සිටියේ එක්තරා මිත්‍යාදෘෂ්ඨික වැඩකටයි. ඒ වෙනත් රැකියාවක් ඉක්මණින් ම ලැබෙන්නට දෙවියන්ට බාරයක් වීමටයි.

රැකියාව අහිමි වීම වැනි ව්‍යවසනයක් වුණාම ඇතිවෙන කණගාටුව නිසා සිත දුබල වෙනවා. එතකොට තමයි මේ වගේ දේවල් පවා කරන්න පෙළඹෙන්නේ.

ඇත්තම ඇත්ත කතාව කෙසේ වෙතත්, මට ආරංචි වුණු විදියට නම්, එදා ඒ තරම් දරුණු වර්ෂාවක් පැවති වෙලාවේ ඒ ගැනද නොතකා ඔය දුර ගමන යන්නට සැලසුම් කර ඇත්තේ මියගිය බිරිඳයි.

එය ඇගේ ඉරණමද? නැතිනම් දේව නියමයද?

දරුවන් දෙදෙනාට දැන් පියා විතරයි. එය ඔවුන්ගේ ඉරණමද? නැතිනම් දේව නියමයද?

තවත් පැරණි චිත්‍රපටියක නමක් වෙනස් කරමින් මට කියන්නට ඇත්තේ මෙපමණයි.

දෙවියනි තෝ කොහිද?

-කතන්දරකාරයා


(image: http://www.films.lk/FilmDetails.php?id=1647)

Wednesday, 16 January 2013

ඔබ නිදන්න, ඔබ නිදන්න සුවෙන් සැතපිලා! - Don't fall asleep, please.


පස්ස පැත්තට එලිය වැටෙන කල් හිතේ හැටියට නිදා ගන්න එක තරම් ජොලි වැඩක් තවත් තියෙනවාද මේ ලෝකේ? අපි හුඟ දෙනෙක් සති අන්තය එනකං බලාගෙන ඉන්නේ ඒ වෙනුවෙන්!

වැඩට යන දවස්වල උදේ හයාමාරට විතර ඇහැරෙන එක හින්දා තමයි දවසම කාලකණ්ණි වෙන්නේ. ඒත් මං දන්නවා අපේ සමහර පොරවල් ඉන්නවා උදේ හයට නැගිටලා බ්ලොග් බලන්න එන.

මීට අමතරව මට පහුගිය කාලේ සෙනසුරාදා සහ ඉරිදාත් උදෙන්ම ඇහැරෙන්න වුණා. යන්තං ඉරිදා වගකීමෙන් නම් නිදහස් වුණත් සෙනසුරාදා වැඩේ නං තව සතියකින් ආයෙත් පටන් ගන්න බව මතක් වෙනකොටත් බුදු අම්මෝ! කියවෙනවා.

දැන් ඔය මනුස්ස පරාණ නිදා ගන්න විවිධ ඉරියව් තියෙනවා නේද?

සමහරු දිග ඇදිලා නිදියනවා, සමහරු වකුටු වෙලා නිදියනවා. සමහරු නිදියන්නේ මුණින් අතට, තවත් සමහරු අත් ඉස්සහට දාගෙන නැවිලා නිදියනවා.

ඔය නිදා ගන්න ඉරියව්ව අනුව පුළුවනි ලු චරිතය ගැන කියන්න!

මෙහෙම කියන්නේ මේ ගැන නිදාගන්න ඉරියව් ගැන රිසර්ච් කරපු රොබර්ට් පිප්ස් කියන එංගලන්තේ පොරක්.

මේකේ කියවෙන විදියට ඔය වකුටු වෙලා නිදා ගන්න ඈයෝ අවංක, හිතාල මතලා වැඩ කරන අයලු.

කෙලින් අතට දිග ඇරිලා නිදා ගන්නේ ටිකක් මුරංඩු උදවියයි කියලායි පිප්ස් කාරයා කියන්නේ.

මුනිං අතට නිදා ගන්න ඈයොයි, අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අයයි තමයි අනිත් දෙගොල්ල.

මුනිං අතට නිදාගන්න එක මට හිතෙන හැටියට නං හොඳ වැඩක් නොවෙයි. පිප්ස් කියන්නේ මේ විදියට නිදාගන්න අයට තමන්ගේ ජීවිතය ගැන පාලනයක් නැතිය කියලයි.

අත් ඉස්සරහට දාගෙන නිදාගන්න අය අභියෝග බාරගන්න කැමති අයලු.

මෙන්න ඒ ගැන පත්තරේක ගිය පොඩි ප්‍රවෘත්තියක්.

වැඩි විස්තර මෙන්න මෙතනින්.
http://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/9617122/What-does-your-sleeping-position-say-about-you.html

ඔහේලා නිදා ගන්නේ මොන ඉරියව්වෙන්ද?

-කතන්දරකාරයා

ප/ලි:
අපේ දුටුගැමුණු පොර වෙන්න කලින් පොඩි කොල්ලා කාලේ වකුටුවෙලා නිදා ගත්තු කතන්දරේ අහල තියෙනවා නේද?

මෙන්න ඒ ගැන කැම්පස් කාලේ කතාවක්!
http://kathandara.blogspot.com/2009/12/3.html


(images: http://www.dailymail.co.uk/sciencetech/article-2219448/Your-sleeping-secrets-How-personality-traits-revealed-bodys-position-bed.html & http://geology.com/world/sri-lanka-satellite-image.shtml)

Monday, 14 January 2013

එක්තරා ඇදුරෙකු ගේ අපූරු සමාජ සමීක්‍ෂණය - Observations and Conclusions: The professorial way


මා මේ කියන්නට යන්නේ මීට වසර දහයකට පමණ පෙර කාලයක වූ සිඳුවීමක විස්තරයයි.

එකල මා විසූ පෙදෙසේ සිටි මැවිසුරන් පිරිසක් එක්ව සංගමයක් පිහිටුවා ගෙන තිබුණි. ලිඛිත අරමුණු කෙලෙස වුවද සංගමයේ එක් ප්‍රායෝගීක කර්තව්‍යයක් වූයේ වසරකට දෙතුන් වරක් එක්ව කා බී විනෝද වීමයි.

මේ වැඩ පිළිවෙලේ කොටසක් ලෙස එක්තරා ජනවාරියක ක්‍රිකට් තරගයක් සහ මැවිසුරු පවුල්වල අය සඳහා දිවා ආහාර සහිත ඉවෙන්ටුවක් සංවිධානය වී තිබුණි.

මට අපේ ඇදුරා හමුවූයේ මේ දිනයේදී ය.

අප ඇදුරා එසේ මෙසේ එකෙක් නොවේ. ඔහු වනාහී සමාජ සමීක්‍ෂණයේ කෙළ පැමිණියෙකි. එදා මේ මැවිසුරු සංගමයේ ඉවෙන්ටුවට ඔහු පැමිණ සිටියේත් තමන් ඒ දිනවල කරගෙන යනු ලැබුවා වූ එක්තරා සමාජ සමීක්‍ෂණයකට අවශ්‍ය දත්ත සහ කරුණු කාරණා රැස්කරගැනීමේ අරමුණ ඇතුවයි.

එක්කෝ ක්‍රිකට් තරගයේ මා සහභාගී වූ පිළ පන්දුවට පහර දෙන කාලයේදී හෝ නැතිනම් අප දිවා ආහාරය ගන්නා අවස්ථවේදී ඇදුරා මා සමග කතාවට වැටුණේය.

"හලෝ කොහොමද? මොකක්ද නම? මං ගුණදාස ගුරුගේ. කොයි යුනිවසිටියේ ද මැවිසුරුකම ඉගෙන ගත්තේ?" ප්‍රශ්න වැලක් සමග ඇදුරා කතාව ඇරඹීය. මේ ඔහුගේ සමාජ සමීක්‍ෂණයේ මා ගිනිපිග් වෙන මොහොතයි.

අපේ වයසේ ලංකාවේ අයෙකු සාමාන්‍යයෙන් මැවිසුරෙකු වන ක්‍රම කිහිපයකි.

එක්කෝ ඔහු හෝ ඇය පේරාදෙනියේ උගත්තෙකු විය යුතුය. නැතිනම් කට්ටෙකු විය යුතුය. ඒසේත් නැතිනම් රුස්සෙකු, එනම් රෂියාවේ ශිෂ්‍යත්වයක් ලැබ එහි ගොස් උගෙන යළි ලංකාවට පැමිණියෙකු, විය යුතුයි. ඇදුරා ගේ අවසන් පැණයට නිමිත්ත එය විය.

"මගේ නම කතන්දරකාරයා. පේරාදෙනියෙයි ඉගෙන ගත්තේ" මම කීවෙමි.

"ආ, ඇත්තද? ඉතිං කොහොමද ගියේ නැද්ද ඒ පැත්තේ ලඟදී?"

"මට නං යන්න බැරිවුණා ටික කාලෙකින්. දන්න අඳුණන කීප දෙනෙක්ම ඒ පැත්තේ ඉන්නවා" මම පිළිතුරු බැන්දෙමි.

"මං නං ලඟදී ඒ පැත්තේ ගියා ඇදුරා කීවේය. අපේ නෑදෑයෝත් ඉන්නවා විශ්ව විද්‍යාලය අවට හරියේ."

"ආ, ඇත්තද?"

"අපි හිටියේ නෑ ගෙදරක. එහේ ඉඳලා විශ්ව විද්‍යාලයේ සිරි නරඹන්න ගියේ ඉංජිනියරිං ෆැකල්ටිය හරහායි."

"ආ, ඇත්තද?"

"ඉංජිනියරිං ෆැකල්ටිය හරහා යද්දී මං හොඳ නිරීක්‍ෂණයක් කළා!"

"මොකක්ද, ඒ?"

"එතන ඉන්න දෙමළ ළමයි සේරම හවස ලයිබ්‍රියට යනවා. සිංහල කොල්ලෝ කෙල්ලෝ එක්ක ලවර්ස් ලේන් යනවා."

මට අපේ ඇදුරා ගේ කතාව ගැන ඇතිවූයේ අපුලකි, පිළිකුළකි, ලජ්ජාවකි.

පළමුවෙන්ම අපේ සමාජ සමීක්‍ෂකයා මේ නිරීක්‍ෂණයක් ලෙස පවසන්නේ හුදෙක් නිරීක්‍ෂණයක්ම පමණක් නොවේ. ඔහුගේ ප්‍රකාශයේ නිගමනද ඇතුලත් වේ.

දෙවනුව ඔහු කළ පරිදි එක් නිරීක්‍ෂණයක් මුලු ප්‍රජාවකටම සාධාරණීකරණය කර සමස්ත සිසු ගහණය ගැන ප්‍රකාශයක් කිරීම වනාහී සංඛ්‍යානය ගණිකා වෘත්තියේ යෙදවීමකි.

දැන් අපි අපේ ඇදුරා කළ නිරීක්‍ෂණය ගැන සිතා බලමු.

ඇදුරා තම ඇදුරු බිරිඳ සමග පැනිදෙනියෙන් ගොඩවී ඉංජිනේරු පීඨය හරහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිරි නරඹන්නට ඇවිද යයි. ඉංජිනේරු පීඨයේදී ඔහු නිරික්‍ෂණය කරන්නේ සිසුන් පිරිසක් පුස්තකාලය දෙසට යන ආකාරයත්, තවත් පිරිමි සිසුන් කිහිප දෙනෙකු හෝ තම පෙම්වතියන් සමග විශ්ව විද්‍යලායේ උද්‍යාන පෙදෙසට යන බවකි.

සිසුන් ගේ කතාබව ඔහු සවනට වැටෙන නිසා, පුස්තකාලයට යමින් සිටින සිසුන් දෙමළ සිසුන් බවත්, පෙම්වතියන් සමග යන පිරිමි සිසුන් සිංහල බවත් අපේ ඇදුරා හඳුණා ගනී.

දැන් මේ කෙටි සරල නිරීක්‍ෂණය මත පදනම්ව අපේ ඇදුරා ඒ මා පෙර කී නිගමනයට එළැඹෙයි.

එනම්:
ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් සවසට පාඩම් වැඩ සඳහා පුස්තකාලයට යන අතර සිංහල සිසුවෝ පෙම් කෙළිති!

මම ඉතා සංයමයෙන් ඇදුරා ඇමතුවෙමි.

"එහෙම කියන්න බෑ නේද ඩොක්ටර් ගුරුගේ? එකක් ඔය කියන්නේ හරියටම එදා හවස එක මොහොතක එතන හිටිය පිරිස ගැන විතරයි නේද? ඉංජිනියරිං ෆැකල්ටියේ සිසුන්ගෙන් එදා ඩොක්ටර් ගුරුගේ දැක්කේ නැති බහුතරයක් අනිත් සිසුන් එදා කොහෙද හිටියේ? පුස්තකාලයේද, ලවර්ස් ලේන් එකේද, නැති නම් වෙන තැන් වලද?

අනික ලවර්ස් ලේන් යන්නත් කෙල්ලෙක් ඕනෑනේ? මං දන්න හැටියට ඉංජිනියරිං ෆැකල්ටි එකේ මේ කාලේ 80% පමණ ඉන්නේ කොල්ලෝ. ඉතුරු 20% කෙල්ලන්ගෙනුත් බහුතරයක්ම වගේ සිංහල. ඉතිං දෙමල කොල්ලෙකුට සාමාන්‍යයෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන චාන්ස් එක හරිම අඩුයි. සිංහල කොල්ලන්ටත් ඊට දෙවෙනි නෑ.

මගේ බැච් එකේ කොල්ලෝ දෙසිය ගාණකින් ලවර්ස් ලේන් ගිහිල්ලා තියෙන කොල්ලෝ ඔන්නම් දහ දෙනෙක් ඇති!"

"හ්ම්, එහෙමද? ඒකත් ඇත්ත තමයි!" ඇදුරා මා හා එකඟ වූ බවක් පෙන්වීය.

ගුරුගේ ගොයියා තමන් ගේ අනෙකුත් සමාජ සමීක්‍ෂණවත් නිවරද ක්‍රමවේදයකට අනුව කරනු ඇතැයි මම අපේක්‍ෂා කරමි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය ලියන මොහොතේ මගේ සිතට නැගුණු ප්‍රශ්නයක් නම් සමාජ සමීක්‍ෂණ ඇදුරු ගුරුගේ ඉහත නිරීක්‍ෂණය සහ අවිද්‍යාත්මක නිගමනය මා සමග පැවසුවේ හිතාමතාම මා පරීක්‍ෂණයකට ලක් කරන අරමුණින්ද යන්නයි.

(image: http://informationr.net/tdw/publ/papers/slovak02.html)

Saturday, 12 January 2013

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash


අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.

ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!

ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.

අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.

මෙන්න සරෝජිනී ගේ කවිය:

       Indian Weavers

Weavers, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

මෙන්න මහගම සේකර ගේ ගී පද:

       සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ
සීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.



මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.

මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.

මෙන්න ඒ පදමාලාව.

       උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දෑවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි

එමගට මා විසි කරන්න



දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)

සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

       Flower

Pluck this little flower and take it, delay not!
I fear lest it droop and drop into the dust.
I may not find a place in thy garland,
but honour it with a touch of
pain from thy hand and pluck it.
I fear lest the day end before I am aware,
and the time of offering go by.
Though its colour be not deep and its smell be faint,
use this flower in thy service and pluck it while there is time.

පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?

මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.

මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.

අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.

       Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon.

Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek.

මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.

මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.

       I don't want to be a part of the necklace of the beautiful girl,
I don't want to woo the lady love,
I don't want to be spread over dead bodies,
I don't want to act snob, after someone offers me to the Gods

Just pluck me Gardner and throw me on the road,
which is taken by the brave soldiers to give away their lives for the Motherland !

පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.

-කතන්දරකාරයා

(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)

Thursday, 10 January 2013

ලෝක විනාශය නොවුනේ රාවණා ගේ සුරය නිසාද? - End of the world no show secret revealed!


මහා සම්මත සිංහලයේ මහාධිරාජයෙකු ලෙස මේ මහා මුළු ධරණිතලයම පමණක් නොව මන්දාකිණි ක්‍ෂීරපඨයම පාලනය කළ, අපේ මහා රාවණාධිරාජයා ගේ ගගන හමුදාවේ සෙනෙවියෙකු වූ කතන්ද්‍රකාර් නම් මගේ පරම්පරාවේ මී මුත්තෙකුට අයිතිව තිබී කාලයාගේ ඇවෑමෙන් මට හිමිවූ මහා සුර රාජයෙකු ගැන ලියවුණු කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි.

නැති නම් මෙන්න ඒ කතන්දරයට සබැඳිය:
http://kathandara.blogspot.com/2012/07/return-of-ravana-great-date-revealed.html


(මහා සුර රාජයා පැළද සිටින කතන්ද්‍රකාර් සෙනෙවියා: ගේ ඡායාරූපයක් - අනුග්‍රහය Area-7 පුස්තකාලය)

පසුගිය දෙසැම්බර් මස 21 දින සිදුවීමට නියමිතව තිබූ ලෝක විනාශය සිදු නොවුනේ ඒ සුර රාජයාගේ ආනුභාවය නිසා බව දැන් සැක සහිතව ඔප්පු වී ඇත.

දෙසැම්බර් 21 දින නිවාඩු පාඩුවේ සිටිමින්, ඡායාරූපකරණයේ යෙදෙමින් කල්ගත කළ මට පසු දින දැක ගන්නට ලැබුණේ ඒ මහානුබල සම්පන්න සුර රාජයා කිසියම් ආකාරයක විපරීතයකට භාජනය වී ඇති අන්දමයි.



කොටින්ම විශාල බලයක් සහිත පහරකට ලක්වූවාක් මෙන් එය තැලී එක් අගකින් කොටසක් කැඩී ගොස් තිබුණි. එදා ඔරායොන් බෙල්ටයේ විවිධ ග්‍රහවස්තුවලින් හාරා පෘථීවිතලයට ගෙනෙන ලද රාවේණියම් නම් ලෝහයෙන් තැනුණු ඒ සූර රාජයා මෙලෙස කැඩෙතැයි කෙලෙස නම් විශ්වාස කරන්නද? ඒ සඳහා කෙතරම් බලයක් අවශ්‍ය වේද?

අපේ පරම්පරා වංශකතාව ලියා තිබෙන කතන්ද්‍රකාර් පරම්පරා පුස්තකම් ග්‍රන්ථයේ එක් කොටසක වක්‍රාකාරයෙන් ඉඟිකර තිබුණු පරිදි සිදු වී ඇත්තේ මෙයයි.

දෙසැම්බර් 21 දින මේ සමස්ත පෘථිවිතලයම සුන්නද්දූලි කරන්නට තරම් බලගතු ශක්ති ප්‍රභවයක් අපේ ලෝකය කරා එල්ල වුණි. ඒ ශක්තියට කෙලින්ම නොබියව මුහුණ දී පෘථිවිය මහා විනාශයෙන් බේරා ගෙන ඇත්තේ මේ කතන්ද්‍රකාර් සෙනෙවියා ගේ සුර රාජයායි!

රාවේනියම් ලෝහයේ අධික ප්‍රභලතාවය නිසාම ලෝකය විනාශ කළ හැකි තරම් ශක්තිමත් ප්‍රහාරයට ලක් වූවද, සුර රාජයා ගේ කැඩී ඇත්තේ ඉතා සුළු කොටසක් පමණි.

එසේ වෙතත්, සුර රාජයා ගේ අභ්‍යන්තරයේ තිබුණා යැයි සැලකිය හැකි න්‍යෂ්ඨික අවි රහස් කේත ඇතුලත් පත්ඉරු විනාශයට පත් වී ඇති බව පෙනේ.



අවසාන වශයෙන් අද මා ඔබට හෙළි කරන මේ රහස් කිසිවක් කිසිදු ඇමරිකානුවෙකුට ලබා නොදෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

මේ රහස් ඔවුන් දැන ගත්හොත් මට ද අපේ මීවනපලානේ ජයරත්නයන් ට අයත් වූ ඉරණම ම හිමිවන්නට ඉඩ ඇත. එතුමා දෙවන වරට අතුරුදහන් වී දැන් මාස කිහිපයක්ම ගත වී ඇත.

මීවනපලානේ ජයරත්නයන් විසින් රචනා කරමින් තිබුණු වර්ගපූර්ණිකාව බ්ලොගය ද දැන් පාළුවට ගොස් තිබේ!

-කතන්දරකාරයා


(image: http://thehindimusic.com/fun/very-funny-indian-jokes/)

Tuesday, 8 January 2013

කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how!


අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.

උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.

ඒත්,
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?

එහෙම නැත්තම්,
කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?

මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.

ප්‍රතිඥා

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැළි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුලින් මා හඩන්නම්

යොදුන් ගණනක් ගතින් වෙන්වී
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබේ ගී පදයකට මා හද
සැලෙන රිද්මය මුසු කරන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩ දෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැත් කර
අනාගතයක් මවමු අප හෙට


සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
පද රචනයඃ රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.

[There is an error in embedding code]

සින්දුව අහලා බලන්න.
http://www.youtube.com/watch?v=wmI6rlyv7tw

-කතන්දරකාරයා

(image: http://blog.wearebuild.com/2009/03/hand-dryers-from-around-the-world/)

Sunday, 6 January 2013

අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!


කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?

1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)

2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)

මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.

මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.

මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.



දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් කියන මේ සින්දුව කියන්නේ හේමන්ත් කුමාර් කියන ගායකයා මේක 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක තිබුණු සින්දුවක්.

අහලා තියෙනවා නේද මේ ටියුන් එක?

ඔව් ඒක තමයි අමරදේව (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" නමැති සින්දුව.

මෙන්න අමරදේව ලා ගේ රෙන්ඩිෂන් එක.



මුලින්ම මට හිතුනේ "අයියෝ! අමරදේව අංකලුත් කොප්පේ ගහලා තියෙනවා නේද? ඉඳලා වැඩක් නෑ!" කියලයි.

නමුත් පස්සේ කල්පනා කළාම ඒකේ වැඩි අවුලක් නෑ.

මොකද ඔය "පටු අදහස් නම් පවුරෙන්" කියන පදවැලේ අදහසත් මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික කවියෙකු වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියකිනුයි.

මෙන්න තාගෝර් ගේ මුල් බෙංගලි කවියේ ඉංගිරිසි පරිවර්තනය.

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action-
Into that heaven of freedom, my Father, let my country awake

මෙන්න මහගම සේකර ගේ අනුවර්තන පදමාලාව.

පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යගයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

හුහ්, අමරෙ ලා, මහගම ලා ට විතරද පුළුවන් හින්දි සින්දු කොපි කරන්න? මාත් පටන් ගන්න ඕනෑ ඔය වැඩේ!

http://kathandara.blogspot.com/2012/06/hindi-movies-and-songs.html

-කතන්දරකාරයා

ප/ලි:
ඩෝල්ටන් අල්විස් ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, මහගම සේකර ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත් දෙකමත් මේ ආකාරයටම ඉන්දියානු කවිවල අදහස අරගෙන ලියපු ඒවා.

"සන්නාලියනේ" සින්දුවේ අදහස ආවේ කොහෙන්ද කියලා නම් හුඟ දෙනෙක් දන්නවා. ඒක සරෝජිනි නායිඩූ ගේ "වීවර්ස්" කියන කවියේ අනුවාදයක්. වීවර්ස් කියන්නේ ඇඳුම් මහන සන්නාලියන්ට නොවෙයි රෙදි වියන අයටය කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

හැබැයි අර "උඩඟු ලියන්" සින්දුවේ මුල් කවිය ගැන නම් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ.

හුඟ දෙනෙක් හිතන්නේ මේකත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් ඩෝල්ටන් අල්විස් ලිව්වාය කියලයි. කොටින්ම සුනිල් ආරියරත්න පවා (http://www.silumina.lk/punkalasa/20090830/_art.asp?fn=ar09083011) එහෙමයි හිතන්නේ.

නමුත් ඇත්ත ඊට වඩා වෙනස් බව මගේත් ගුරුවරයෙක් වෙන සංගීතයට ලැදි පුද්ගලයෙක් හොයා ගෙන තියෙනවා.

ඒ විස්තරය ලබන සතියේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

(image: http://roflrazzi.cheezburger.com/totallylookslike)

Friday, 4 January 2013

දැන් හොඳට කතා කරන්න ඇහැකිද? - Speaking in Cobolenese!


යටගිය දවස බඹදත් රජකාලේ තිබුණු මේන් ෆ්‍රේම් සහ මිනි කොම්පීටර් සිස්ටම් බෙහොමයක රන් වුණු පේ-රෝල් එක, ජෙනරල් ලෙජර් එක වගේ ඇප්ලිකේෂන් බහුතරයක් කෝඩ් කරලා තිබුණේ කෝබෝල් (COBOL) කියන ලැන්ග්වේජ් එකෙනුයි.

COBOL කියන්නේ Common Business Oriented Language කියන එකයි. ඒක නිකං කිසි ආතල් එකක් නැති නිකම්ම නිකං ප්‍රොසීඩියරල් ලැන්ග්වේජ් එකක් කියලයි මට නං පෙනුනේ.

අර එකදාස් නවසිය අනූ ගණංවල අග හරියේ මිලේනියම් බග් එක හෙවත් Y2K බග් එක ගැන ඇතිවුණු හා හෝව වෙලාවේ මේ කෝබෝල් ලැන්ග්වේජ් එක දන්න අයට මාර ඉල්ලුමක් ආවා. ඒ අර පරණ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සේරම බග් එකට ඩී-බග් කරන්න වුණු නිසයි.

මේ කතන්දරේ වුනේ ඊට ටික කාලෙකට කලින්.

අපේ ඔෆීසියේ පේ-රෝල රන් කෙරුවේ පරණ මිනි කොම්පියුටරේක. මේකේ සිස්ටම් ඇඩ්මින් පරණ කොබෝල්කාරයෙක්. පොර NIBM එකේ ද කොහෙදයි ඉගෙන ගෙන තිබුණේ.

ඔතන ඩෙපියුටි සිස්ටම් ඇඩ්මින් හිටපු පුද්ගලිකාව (ඒ කියන්නේ පුද්ගලයා කියන වචනේ ස්ත්‍රී ලිංග පදයයි) සංජනාටත් ඕනෑ වුණා මේ කෝබෝල් ඉගෙන ගන්න.

කෝබෝල් පන්ති තිබුණේ දිවා කාලේ නිසා අපේ ඩෙපියුටි ඇඩ්මින් නෝනා කාලයක් වැඩට ආවේ අවාරෙට පොල් වැටෙනවා වාගෙයි මාසයක් විතර. උදේට පන්තියට ගිහින් හවස එහෙමම ගෙදර යනවා. හැබැයි ගෙදර ගිහින් කෝබෝල් වත්තෙ ගස්වලින් කඩන්නයැ. ඉතිං සමහර දාට ඔෆිස් එනවා හවස ප්‍රෝග්‍රෑම් කෑලි රන් කරන්න.

ඔහොම ආපු දවසක හවස ඔෆීස් බස් එකේ ගෙදර යද්දී සංජනාට මුණ ගැහුණා පර්සනල් ඩිපාට්මන් එකේ ප්‍රියන්ති.

"ආනේ සංජනා, ඔයාව දැක්කේ සෑහෙන කාලෙකින්!"

"ඔව් අනේ, මං මේ දවස්වල උදේ වරුවේ ක්ලාස් එකකට යනවා. අද දවසල් වෙලා ආවේත් ඒකෙම හදිසි වැඩකට තමයි."

"මොකක්ද මෙයා ක්ලාස් එක?"

"මං මේ කෝබෝල් කියලා අළුත් ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නවා."

"ආ, ඇත්තද? ඉතිං ඒ ලැන්ග්වේජ් එක අල්ල ගන්න ලේසිද? දැන් හොඳට කතා කරන්න හෙම පුළුවනිද?"

ප්‍රියන්තිට හිතිලා තියෙන්නේ කෝබෝල් කියන්නේ නිකං ටැමිල්, ජර්මන්, රෂියන්, ලංකේන්ඩියා වගේ භාෂාවක් කියලයි.

භාෂාවක් කියන්නේ අදහසල් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයකට නේ. එහෙම බැලුවොත් ඉතිං, බේසික් ෆෝට්‍රාන්, ජාලිය විතරක් නෙමෙයි කෝබෝල් වුණත් ප්‍රියන්තිගේ ජාතියේ භාෂාවක් තමයි.

මං නං දන්න කෝබෝල් එකක් නෑ.

දන්න භාෂාවකින් මෙන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.

public class Blogging {


public static void main(String args[]) {

for(int k = 1; k < 1001; k = k+1) {
    System.out.print("Kathandara # " + k );
    System.out.print("\n");
    }
  }
}


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ලංකේන්ඩියා භාෂාව ගැන කතන්දර:
1. http://kathandara.blogspot.com/2009/11/lankendia.html

2. http://kathandara.blogspot.com/2010/04/lankendia-ii.html

මෙන්න ජාලිය ලැන්ග්වේජ් එක ගැන කතන්දරේ:
http://kathandara.blogspot.com/2009/10/blog-post_20.html


(image: http://www.language-exchanges.org/)

Wednesday, 2 January 2013

මං වාරණයට අකමැතියි නංගියේ - I hate censorship


මා කුඩා කල වාලම්පූරි නම් වූ සිංහල චිත්‍රපටයක් තිරගත වුණි. මෙය අධක්‍ෂණය කරන ලද්දේ බර්මින් ලයිලි ෆර්නැන්ඩූ වැනි නමක් ඇති, ඉන් පසුවද සිංහල චිත්‍රපට කිහිපයක්ම බිහිකළ අධ්‍යක්‍ෂකවරයෙකි.

මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ ය.

මේ කාලය වන විට දේශපාලන පටලැවිලි නිසා අද සමහර විටෙක මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු යැයි හැඳින්වෙන ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුවෙන් විජය කුමාරතුංග හා සම්බන්ධ සියළුම දේ ගැන වාරණයක් පැනවී තිබුණි.

මෙනිසා,
• වාලම්පූරි චිත්‍රපටියේ කටවුට්වල හිටියේ ගීතා ඇන්ටි පමණකි.
• කිසිදු ප්‍රචාරක දැන්වීමක විජේ කොල්ලා ගේ නම හෝ කටහඬ හෝ ඇතුළත් නොවිණි.
• රේඩියෝ ප්‍රචාරක දැන්වීම්වලදී විජේ කොල්ලා වෙනුවට වෙන අංකල් කෙනෙකුගේ කටහඬ යොදා ගන්නවා සමහර විටෙක ඇසුණි.
• කොටින් ම මෙය මළ විකාරයක් විය.

මට ද මේ චිත්‍රපටය නරඹන්නට බැරිවිය.

විජය නමැති අංකුර දේශපාලඥයා සමග ඇති කෝන්තරයේ වාඩුව ගැනීමට විජය නමැති නළුවාට වාරණයක් පනවන්නේ ඇයිද යන්න එක් ප්‍රශ්නයකි.

ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් වූයේ උසාවි තීන්දුවක් හෝ නොමැතිව දේශපාලයෙකු සඳහා වුවද එසේ තහණමක් පනවන්නේ කෙළෙසකද යන්නයි.

මේ සියල්ල කෙරුණේ සාමාන්‍ය නීතිය යටතේ නොව හදිසි නීතිය යටතේ ය.

එක් තර්කයකට අනුව හදිසි නීතියද නීතියකි. ඒ නිසා, ඒ මත පදනම්ව පණවන ලද සියළු බාධක, බන්ධන, තහනම් යනාදිය ඒඅනුව නීතිමය වේ. නීති විරෝධී නැත.

ඒ කෙසේ වෙතත් මට මෙකී වාරණය සම්බන්ධයෙන් ඇතිවූයේ මහා විරෝධයකි. පිළිකුළකි.

පසු කළෙක අප විශ්ව විද්‍යාලයේ සිටි සමයේ එක් ශිෂ්‍ය ප්‍රශ්ණයක් පැන නැගි කල්හි විශ්ව විද්‍යාල සම්බන්ධ සියළු පුවත් වාරණයට ලක්විය.

පුවත් වාරණය සඳහා නිසි බලධාරියෙක් පත් කොට තිබුණි. මා තේරුම් ගත් ආකාරයට, ආණ්ඩුවේ නොවන සියළු පුවත්පත් කතෘවරුන් විසින් තම පසුවදා පුවත්පත් අන්තර්ගතය අද දින මේ නිසි බලධාරියා ගේ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

නිසි බලධාරියා තම රජයේ අවශ්‍යතාවය අනුව ඇතැම් පුවත් වාර්තා මුළුමණින්ම කපා දැම්මේය. සමහර ඒවාගේ කොටස් කපා දැම්මේය. සමහර වාර්තා ප්‍රශ්නයක් නැති නම් එළෙසම තියෙන්නට ඉඩ ඇරියේය.

සමහර පුවත්පත් මේ ආකාරයෙන් වාරණයට ලංවූ කොටස් ඉවත් කර පුවත පළ කළ අතර තවත් සමහර කතෘවරු බලධාරියා විසින් කපා දමන ලදී යන වැකිය සමග පුවත්පතේ හිස් තැන් තැබූවෝය. (මෙය බ්ලොග් පොස්ටයකට තබන කමෙන්ටුවක අන්තර්ගතය ඉවත් කර සැකිල්ල ඉතුරු කරනවා හා සමානය).

අද ලංකාවේ සිදුවන්නේ මෙය නොවේ. පුවත්පත් වාරණය සිදුවන්නේ ඊට වඩා ඉහල මට්ටමකිනි. වෙනත් ආකාරයකට කියනවා නම් ප්‍රධාන මාධ්‍යවල අනවශ්‍ය පුවත් පල නොවේ. ඒ අතර ලංකා ඊ නිවුස්, සහ ලංකා නිවුස් වෙබ් වැනි මාධ්‍ය සහමුලින්ම තහනම් කර ඇත. ඒවා කියවිය හැකිවන්නේ ප්‍රොක්සි සර්වර් හරහා පමණකි. නැතිනම් ෆේස් බුක් හරහා සම්බන්ධ වීමෙනි.

මේ සියළු කරුණු කියුවේ වාරණය සම්බන්ධයෙන් මගේ ඇති බලවත් නොකමැත්ත, විරෝධය ප්‍රකාශ කිරීමටයි.

වාරණය යනු තම අදහස් ප්‍රකාශ කිරීමේ අපට ඇති මූලික අයිතිය උදුරා ගැනීමක් ලෙස මම සළකමි.

මගේ කතන්දර බ්ලොගයේ සියළුම අයගේ ප්‍රතිචාරවලට ඉඩ සලසා දීමේත්, ලැබෙන ප්‍රතිචාර වාරණය නොකිරීමේත් ප්‍රතිපත්තියක් එදා සිට අද දක්වාම මා අනුගමනය කරන්නේ එනිසා ය.

1. මට පුද්ගලිකව අවලාද කරන, සරදම් කරන, බණින, මඩ ගසන කිසිදු කමෙන්ටුවක් මා තවමත් වාරණය කර නැත.

2. වෙබ් බොට්ලා විසින් තබනවා යැයි සැක සිතෙන, විවිධ වෙබ් අඩවිවලට සබැඳි දී ඇති කමෙන්ටු මට රාශියක් ලැබේ. මේවා බ්ලොගර් විසින්ම ස්පෑම් ලෙස වර්ගීකරණය කෙරේ.

3. සම්මත කුණුහරුප හෙවත් අසැබි වචන වලින් සමන්විත වූ කමෙන්ටු කීපයක් පමණක් මේ දක්වා කපා දමා ඇත්තෙමි.

4. තුන්වැනි පාර්ශවයන්ට නොයෙකුත් උපහාස රැගත් ප්‍රතිචාර මගේ අඩවියේ දැමීමට සමහර නිර්නාමික පුද්ගලයින් පසුගිය දිනවල සිට කටයුතු කරමින් සිටිති. මේවා සියල්ල ඉහත අංක 3 සීමාවට යටත්ව පලකිරීමට මම මේ දක්වා කටයුතු කළෙමි. එසේ වුවද, ඒ තුන්වන පාර්ශවයක් විසින් මගෙන් ඉල්ලීමක් කළහොත් එවැනි කමෙන්ටුද ඉවත් කිරීමට මම සලකා බලමි. උපහාසය සහ සරදමින් අපහාසය වෙන්කර සැලකිය යුතුයි.

මෙය කතන්දරයක් නොව, "කතන්ද්‍රකාර් චින්තනම්" හි තවත් කොටසක් සේ සලකන්න.

-කතන්දරකාරයා


(image: http://www.films.lk/ArtistDetails.php?id=11)