සුබ අලුත් අවුරුද්දක් වේවා!

සුබ අලුත් අවුරුද්දක් වේවා!

Wednesday, 29 February 2012

බඳින්ඩමයි ට්‍රයි කළේ - Whaaat?


මේ කතාව කියන්න ඕනෑ ටිකක් පරිස්සමින්.

ඒකට එක හේතුවක් මාව පුද්ගලිකව දන්න අය මේකේ සුලමුල හොයන්න පටන් ගනීවි. ඒකෙන් ගැලවෙන්නත් ඕනෑ.

අනික් හේතුව තමයි, ලියන්නා කෙසේ කීවත් කියවන්නා තමන්ට ඕනෑ දේ අවභෝධ කරගන්නා හින්දා, මට අවශ්‍ය කාරණාව හරියටම සන්නිවේදනය කරන්නත් අවශ්‍ය වීම.

ලව් ගැන, බූට් ගැන මං ගොඩක් කතන්දර ලියලා තියෙනවා. ඒ වැඩි හරියක් කයි-කතන්දර, මගේ හන්තානේ කඳු පාමුල හස්තද්වාර පොත අනුසාරයෙන් ලියපුවා. මගේ විතරක් නෙමෙයි ඔය කාගේ කාගේත් ලව් කේස්වල උඩින් නොපෙනුණත් යටින් තියෙන්නේ තමන්ගේ හිතට ගැලපෙන කෙනෙක්ව තමන්ටම කියලා අයිතිකර ගැනීමේ තන්හාවයි. ඩෙස්මන් මොරිස් ගේ යාළුවා හිටියා නං කියයි ඒක මිනිස් සත්ව ප්‍රජාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය මත ඇතිවෙන මෙව්ව එකක් කියලා.

මේ වෙලාවේදී මට මතක් වෙනවා චන්ත්‍ර අනගිරත්න ගේ කවි පන්තියක කොටස්.

දැක්කම වින්කින්
නැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටටම සින්කින්
වෙන් ලව් මේකින්
නෝ මෝ ජෝකින්
විලි යූ මැරි මී?
යූ බණ ටෝකින්

මංතුමා අවුරුදු හතරයි, මාස දෙකයි, දවස් තුනක් ගත කරපු පේරාදෙනියේ ඉංජිනේරු තිප්පොල කියන්නේ එක්තරා විදියක කාන්තාරයක් කියන්න පුළුවනි. මොකද මල් අඩුයි. එනිසා, මල් පාත්ති දැමීම, මල් කැඩීම වගේ දේවල් නිකං අපි හුඟ දෙනෙකුට භූතාර්ථ විතරයි. අපිට පස්සේ ඔතන ලැග්ග ගීතක, මධුරංග, චානක ලා ගේ අත්දැකීම් සමහර විට වෙනස් ඇති.

ඉතිං අළුතින් බැච් එකක් ආපුවාම ඕකේ ඉන්න කෙල්ලෝ කීප දෙනා පස්සේ කොල්ලෝ පෝලිමේ වහ වැටෙනවා. ඔය අතරේ, හොඳට හුරු බුහුටි, පෝර්ටබල් සයිස් දැරිවියක් හිටියොත් අර ඉටිපන්දම් එලියට ඇදිලා එන පළඟැටි සීන් එක බලාගන්න පුළුවන්.

කෙල්ලෝ ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ගොල්ලන්ට තියෙන්නේ නිකං ස්වයංවරයකදී වගේ තමන්ගේ චොයිස් එක පික් කරන්න විතරයි!

රූ ළමයා නම් මේ ගැන මොනවා කියයිද මන්දා ඒ ගැන?

ඔන්න අපේ කාලේ ඔය තිප්පොලේ හිටියා නිශා කියලා ගෑල්ළමයෙක්. මං දන්න කාලේ, මේ ඇත්තී තමන්ගේ අත ගන්න ආපු අයගෙන් තමන්ගේ හිත ගත්තු පොර ළමයෙකුට බහ දීලා මේ වෙනකොට යුගල වෙලයි හිටියේ.

නමුත් ඉතිං ඔය උලව් ලව් මල ඉලව් බොහොමයක දී වෙනවා වගේ වැඩි කල් නොගොහින් වැඩේ හබක් වුණාය කියමුකෝ.

ඕකේ ඉතිං ආයේ මතක තියාගන්න දෙයක් තිබුණේ නෑ. මේ වගේ සිද්ධි දස දහස් ගණනක් අතුතින් තවත් එක කේස් එකක් විතරයි නිශා සහ පවන් ගේ සංසිද්ධිය.

අපි ඔය තිප්පොලෙන් ගැළවිලා අවුරුදු දහයක් විතරම ගතවුණාට පස්සේ ඔන්න දවසක් මට හම්බ වුණා අපේ කාලේ තිප්පොලේ හිටිය පොරක් "ගොබ්ස්" කියලා. අපි දෙන්නා ඒ කාලේ අඳුණන්නේ නැතිවුනත් මෙදා පාර අඳුණා ගත්තට පස්සේ ඒ කාලේ විස්තර ගැන ගොබ්ස් සහ මං ඔන්න කතාවට වැටුණා.

කෝස් එක ගැන, වාත ලෙක්චරර්ස් ලා ගැන කතාවලින් පටන් ගත්තු අපේ කතාබහ අන්තිමේදී නතර වුනේ ලව් කේස් වලිනුයි.

"අපේ බැචෙකුත් සිරාවටම ට්‍රයි කළා නිශාට!" ගොබ්ස් කිව්වා.

"නිශා ට මං හිතන්නේ හත් අට දෙනෙක්ම ට්‍රයි කරලා තියෙනවානේ නේද?" ඒ මම.

"ඒ අනිත් උං වගේ නෙමෙයි අපේ බැචා නං, ඌ නං ට්‍රයි කළේ බඳින්නම හිතාගෙනයි. කොහෙද ඒකි අර පවන්කාරයා ට නේ කැමති වුනේ. අන්තිමේදී ඒකත් හබක් වුණා!"

ගොබ්ස් ගේ කතාවෙන් මං මුලින් ම අන්දුන්කුන්දුන් වුණා. ඇයි බොලේ, ඔය බඳින කතාව හිත යට තිබුණාට බඳින්න කියලා ඩික්ලෙයාර් කරළා යෑ කෙල්ලෙකුට ට්‍රයි කරන්නේ? එහෙම නං තිබුණා නේ කෙලින්ම මංගල යෝජනාවක් ගේන්න!

-කතන්දරකාරයා

ප/ලි:
හෙඩ් ඕවර් හීල්ස් වගේ ලව් තිබුණාට බැඳලා කාලාන්තරයක් ඉන්නවා කියන්නේ සීරීයස් වැඩක් නේ. දෙන්නෙක් සෙට් වෙලා කාලයක් ආස්සරේ කරන කොට තමයි තේරෙන්නේ වැඩේ ලීගල් කරලා අද්දං යන්න පුළුවනිද කියලා.

ඒ හින්දම, බඳින්නම කියලා කෙල්ලෙකුට ට්‍රයි කරන කොල්ලෙකුට කැමති වෙන එකත් කෙල්ලෙකුට ටිකක් භයානක වැඩක්. එහෙම නේද?

(image: http://blog.twomangoes.com/my-first-proposal-the-bollywood-factor/)

Monday, 27 February 2012

මොහිදීන් බෙග් ට මොකද වුනේ? - What happened to Mohideen Beig?


මොහිදීන් බෙග් ගැන සඳහනක් තිබුණු කතන්දරයක් මං ලිව්වා මේ බ්ලොග් එකේ මුල කාලෙදීම. ඒ තමා අර රේඩියෝ එකේ යන සින්දුවල වචන වැරදියට ඇහෙන කෂ්ටිය කරන වැරදි ගැන කතන්දරේ.

ඒ දවස්වලම වෙන්ඩ කතන්දර ලයිස්තුවට ඇතුලත් කර ගත්තට අද අවුරුදු දෙකකටත් පස්සේ තමයි මේ කතාව ලියන්න අවස්ථාවක් ආවේ!

ඔන්න මං එක දවසක් බස් එකක නැගිලා යනවා බොරුල්ලේ පැත්තේ ඉඳලා. මං හිතන්නේ මේක 154 ක් හෝ 193 ක් වෙන්න ඕනෑ. සුරංජිත් ට්‍රැවල්ස් වගේ ප්‍රයිවේ්ට් එකක්.

වෙලාව දහයට, එකොලහට ඇති. බස් එකේ දාලා තිබුණේ රේඩියෝ එක, එස්එල්බීසී වෙළඳ සේවය වගේ එකක්.

ඔන්න සින්දුවක් පටන් ගත්තා


ඔබ රා ගී මන කැළඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
ඔබ රා ගී මන කැළඹේදෝ
පිවිතුරු හදවත පෑරේදෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී


ඒ සින්දුව ඉවර වුණා. ඒ එක්කම මෙන්න ඊලඟ සින්දුව ආවා.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ


එතකොටයි මට මීටර් වුනේ එක දිගට මොහිදීන් බෙග් ගේ සින්දු දෙකක්ම ගියා නේද කියලා.

ඒක ඉවර වුනු ගමන් මෙන්න ඊලඟ සින්දුව ආවා.

මැණිකක් රකිනා නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමී
මොහොතක් පාසා නිල්මිණි කියනා
නාමය මතුරා කියමී


ඊලඟට දාපු සින්දුවත් මොහිදීන් බෙග් ගේ ම එකක්.

අන්තිමේදී මං බස් එකෙන් බැහැලා යන කොටත් මොහිදීන් බෙග් ගේ පැරණි රසාංගම විතරයි රේඩියෝ එකේ ප්‍රචාරය වුනේ.

මට වැරදිලා නෑ. මේ කැසට් එකක් නෙමේ. රේඩියෝ එකමයි. මොකද දෙතුන් සැරක්ම වෙලාව කිව්වා.

කාලෙකින් දවල් වෙලාවේ රේඩියෝ අහලා නොතිබුණු නිසා මං හිතුවේ මේ අළුතින් පටන් ගත්තු, එක එක ගායකයෝ ෆීචර් කරන වැඩ සටහනක්ය කියලයි.

පස්සේ ඔෆීසියට ගියාමයි වැඩේ දැනගත්තේ හරියටම.

මට මතක හැටියට එදාම උදේ ඇස් ඔපරේෂන් එකකට නිර්වින්දනය කරපු මොහිදීන් බෙග් ට ආපසු සිහිය ඇවිල්ලා නෑ.

අනේ පොර සිහිමුර්ඡාවෙන්ම මැරිලා!

මුස්ලිම් සිරිත අනුව එදාම හවස අවසන් කටයුතු.

ඉතිං ගුවන් විදුලි සංථාවේ අයට මොහිදීන් බෙග් ගැන උපහාර වැඩ සටහන් හදන්න වෙලාවක් නෑනේ. හවස අවසාන කටයුතුවලට කලින් මොහිදීන් බෙග් ගේ සේරම සින්දු ටික ප්‍රචාරය කරලා කරන උපහාරයක් කරන්නයි ඒ ගොල්ලෝ ක්‍රියාකරලා තියෙන්නේ!

මොහිදීන් බෙග් ගේ සින්දු නන්ස්ටොප් දාලා තියෙන්නේ ඒ නිසයි.

-කතන්දරකාරයා

ප/ලි:
මං මළාමත් එදාම අවසන් කටයුතු කරන්න පුළුවනි පැයකටත් අඩු කාලෙකින්. මොකද මං ලියපු සින්දු තාම එච්චර ගොඩක් සින්දු නෑනේ. අතේ ඇඟිලි ගානටයි තියෙන්නේ.

1. අම්මාට ද තාත්තාට ද – පවුලේ ගීතය

2. පොල් ගස තාල වර්ගයේ - යුධ විරෝධී ගීතය

3. ඉස්සර දවසක - පේරාදෙනියේ ගීතය

4. රෝස මලේ නුඹ නාඩන්නේ - සමරිසි ගීතය

(image: http://www.dailynews.lk/2010/11/03/art01.asp)

Sunday, 26 February 2012

ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!


තකට කත කියන්නේ මෙන්න මේ වගේ ජෝඩුවලට තමයි!

සඳුන් ගසේ සමන් වැලක් එතෙනවා වගේ කියලා කියන්නත් පුළුවන් දිවේ නොගෑවී.

ස්වීඩනයේ මානසික රෝගී සිරමැදිරියක ඉන්න මිනී මරලා මස් කාපු පොරක් තමයි ඉසාකින් ජොන්සන් කියන්නේ. එතනම රඳවා ගෙන ඉන්න මිෂේල් ගස්ටාෆ්සන් කියන්නේ මිනී මරලා ලේ බීපු ගෑණියෙක්.

මේ දෙන්නා ඔන්න විවාහ ගිවිස ගෙන!

ඉසාකින් ජොන්සන් ගේ විවාහ යෝජනාව මිෂේල් ගස්ටාෆ්සන් පිළිඅරගත්තාලු.

මේ බලන්නකෝ ප්‍රවෘත්තිය.


මෙන්න වැඩිපුර විස්තර මෙතනින්.

http://www.thesun.co.uk/sol/homepage/news/4100709/Killer-cannibal-and-Satan-worshipping-vampire-get-engaged.html

තාම දෙන්නට විවාහ වෙන්න නම් අවසර ලැබිලා නැති පාටයි.

මං මේ කල්පනා කරන්නේ හනිමූන් එක කොහොමට තියේවිද කියලා!

දෙන්නාගෙන් එක් කෙනෙක්වත් අනිත් එක්කෙනාට කලින් නිදා ගන්න එකක් නං නෑ. ඒ හින්දා වැඩේ නැගලා යායි.

-කතන්දරකාරයා

ප/ලි:
එකිනෙකා මරාගන්නා අඹු සැමියන්ට මේ දෙන්නා හොඳ ආදර්ශයක් සපයන්නත් ඉඩ තියෙනවා.

ප/ප/ලි
මේ ලිපිය කතන්දර දැනුම් සාගරේ තවත් ඉදිරිපත් කිරීමකි.

(image: http://igossip.com/gossip/Isakin_jonsson_and_michelle_gustafsson/2074386)

Friday, 24 February 2012

අල්ලපු ගෙදර ළමයින්ට චොකලට් ගෙනිච්චෙමි - Another lesson learnt!


චොකලට් කන්න කවුද අකමැති?

රත්නායක මහත්තයායි, රමණී නෝනයි ඇර මං දන්න හැමෝම වගේ චොකලට් කනවා. ඊට අමතරව තව කීප දෙනෙකුත් ඉන්නවා කෝටා එක ඉවරවෙලා හින්දා දැන් චොකලට් වගේ පැණිරහ ජාති වැඩිපුර නොකන. රත්නායක යුවල නං චොකලට් නොකන්නේ දිවේ වැරැද්දක් නිසා මිසක කෝටා ප්‍රශ්ණයක් හින්ද නං නෙමෙයි.

ඔය සීනි කෝටා එක ඉවරවෙලා ඉන්න අයට ඒක වෙලා තියෙන්නේ පැණිරහ ජාති කන්න ගියාම විචාරයකින් තොරව කාපු හින්දා වෙන්න පුළුවනි. කෑම බීම වගේ දේවල් වලදී හුඟක් වෙලාවට හෙණේට හිටින්නේ පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච විදිය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

අද කතන්දරේ මීට අවුරුදු දෙක තුනකට විතර කලින් වෙච්ච වැඩක්.

අපේ අල්ලපු ගෙදරක ඉන්න පොරක් එක දවසක් පාරේ යද්දී මං පොඩි කරදරේක වැටුණු වෙලාවේ මට පොඩි පහේ උදව්වක් කළා. පොර නොහිටින්න මං එදා අනාථ වෙනවා.

ඉතිං පහුවදා හවස් කරේ මං පොර ගේ ගෙවල් පැත්තේ ගොඩ වැදුණා. නිකං නෙමේ මේ මිත්‍රයාට පොඩි පහේ තෑග්ගක් අරගෙනයි!

මේ ගෙදර පොඩි ළමයි දෙන්නෙක් ඉන්න බව දන්න හින්දා මං හන්දියේ කඩෙන් චොකලට් ස්ලැබ් දෙකකුත් අරගෙනයි ගියේ.

මං ගෙට ගොඩ වදිනකොටම පොඩි ළමයි දෙන්නා ඉස්සරහට ආපු හින්දා මං කළේ අර චොකලට් ස්ලැබ් දෙක තිබුණු පොඩි කඩදාසි උරේ ලොකු ලමයාට දුන්නා මෙන්න බබාලාට පොඩි රහ බඩුවක් කියලා.

මේ ළමයි දෙන්නා මොකද දන්නවද කළේ?

අර කඩදාසි බෑග් එක පැත්තකට දැම්මා, චොකලට් දෙක ගත්තා, දවටන ජාති දෙකම ඉරලා බිම දැම්මා, කොණක ඉඳන් කාගෙන, කාගෙන යන්න පටන් ගත්තා!

ඇත්තම කියනවා නම් මං පොඩ්ඩක් විතර කම්පනයකට ලක්වුණා කියන්න පුළුවන් ඒ සිදුවීම දිගහැරුණු හැටි දැකලා.

මං බැලුවා ළමයින්ගේ තාත්තා දිහා. මොන, ඌ මොකුත් නොවුණා වගේ බලං ඉන්නවා!

අපේ කෙල්ලටයි, කොලු පැටියාටයි නං අපි පොඩි කාලේම ඉගැන්නුවේ කවුරුහරි චොකලට් බිස්කට් වගේ දෙයක් ගෙනත් අතට දුන්නොත් (එහෙම දෙන්නේ ආදරේටනේ, ඒකට වරදක් කියන් බෑ!) කෙලින්ම ඒවා කෑමෙන් පස්සේ කන්න ෆ්‍රිජ් එකට දාන්න කියලයි.

ඒ විදියට පස්සේ කනකොටත් හැමෝම එක්ක බෙදාගෙන කන්න කියලායි අපි ඉගැන්නුවේ.

මං මේ අපි හොඳයි, උන්න නරකයි කියනවා නෙමේ. මට ඇත්තටම ආපු ලොකුම ප්‍රශ්ණය තමයි මේ පොඩි ළමයි ග්‍රැම් 150ක, 200ක විතර ඒ චොකලට් ස්ලැබ් එක ගානේ කාලා අසනීප වෙයිද කියලයි.

චොකලට් දෙක කාගෙන කාගෙන ගිය එක විතරක් නෙමේ මට ඇතිවුණු ෂොක් එකට හේතුව වුනේ. අර චොකලට් දවටන ඉරලා එතනම බිම දැම්ම එකත් මට පුදුමයක් වුණා. ඊටත් වැඩිය පුදුමය වුනේ ඒක හොඳට දැකපු අපේ මිත්‍රයා ඒ බව වගකට ගන්නේ නැතුව ඔහේ හිටිය එකයි.

මෙහෙමයි, අපිට බෑ අනුන්ගේ ළමයි හදන්න. ඒ ළමයින් ගේ දෙමව්පියන්ව හදන්න නං කොහෝමටත් බෑ. මං හිතාගත්තේ මෙච්චරයි. ආයේ නං කොහේ යනකොට චොකලට් ගෙනිච්චත් ළමයින් ගේ අතට නං දෙන්නේ නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
පොඩි ළමයින්ට මිස ලොකු ළමයින්ට චොකලට් ගෙන යාමේ දී ඔය නීතිය අදාල නැති බව කරුණාවෙන් සලකන්න. නැත්තං බුදු අම්මෝ, වැලාගේ දිනේ දී, ඇනිවසරියේ දී, උපන්දිනේදී කොහොමද ලකුණු ගන්නේ?

(image: http://www.island.lk/2008/02/14/business3.html)

Wednesday, 22 February 2012

පොඩිරාජා ගේ වෙඩින් ඇනිවසරිය - Podi Raja's Wedding Anniversary


පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.

රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!

පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.

ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.

පොඩිරාජා ගේ වෙඩිම දවසේ, ඒ කියන්නේ පිටරට සංචාරය නිම කරලා ගෙදර එන්න කලින් දවසේ හාමිනේට කතා කළ වෙලේ දැන ගත්තා, අපේ සීයා කෙනෙක් අවසන් ගමන් ගිය බව.

ඉතිං මං ගෙදර ආපු ගමන් පහුවදා කළේ සීයා ගේ අවමගුලට යන එකයි. ඊට පහුවදා පොඩිරාජා ගේ හෝං කමිං එකට ගියා. කෝකටත් අපි මනමාලයාගේ පාර්ශවයේ නේ!

ඔය සේරම කිව්වේ මේකටයි. විවිධ සිද්ධීන් ගොඩක්ම එක ලඟ වෙච්ච හින්දා, මට පොඩිරාජා ගේ වෙඩිමේ දවස හොඳට මතක හිටියා.

පොඩිරාජායි අපියි තව දුරටත් අසල්වැසියෝ නොවුනත් මං ඉතිං කළේ, මතක් වෙන පරිදි පොඩි රාජා ගේ වෙඩිං ඇනිවසරියට සුභ පතලා එක්කෝ ඊයක් දාන එක. එහෙම නැත්තං කෝල් එකක් දෙන එක.

ඔහොම ගිහින් ඔන්න එක දවසක පරණ සිද්ධි ගැන කතා කර කර ඉන්න වෙලාවක මට මතක් වුණා ඒ අවුරුද්දේ නේද පොඩිරාජා ගේ දහවෙනි වෙඩින් ඇනිවසරිය කියලා.

මේක අමතක වෙන්න ඉඩ නොදී ෆෝන් එකේ පොඩි රිමයින්ඩරයක් හෙම දාගෙන ඉඳලා, මං හරියටම එදා වැඩ ඇරිලා ඇවිත් රාත්‍රියේ පොඩිරාජා ට කෝල් එකක් දුන්නා.

"ආ! පොඩිරාජා කොහොමද, මං මේ කතන්දර කතා කරන්නේ!"

"ආ! කතන්දර කොහොමද?"

"හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!"

"ආ! කතන්දර මෙන්න අපේ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා. මෙන්න කතා කරන්න."

පොර ෆෝන් එක මහරාජාට දුන්නා. මං අංකල් එක්ක කතා කළාට පස්සේ ඇන්ටිට ඕනැ වුණා කතන්දර හාමිනේ එක්ක කතා කරන්න.

කෝල් එක එතනම ඉවර වුණා!

පස්සේ තමයි මට තේරුණේ, පොඩිරාජා මා එක්ක කතා කරනවා තියා මගේ සුභ පැතුමට ස්තුති කළේවත් නෑ නේද කියලා.
මං හිතා ගත්තා ආයේ පොර මට කෝල් කරන කං, මං නං ඌට කෝල් කරන්නේවත්, ඊ-මේල් දාලා සුභ පතන්නේවත් නෑ කියලා.

දැන් අවුරුදු දෙක තුනක් ගියා. ඌ මට කතා කළේත් නෑ, මං ඌට කතා කළේත් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මං හිතන්නේ එදා වෙන්න ඇත්තේ මේකයි.

පොඩිරාජාට දහවෙනි වෙඩිං ඇනිවසරිය මතක්වෙන්න ඇත්තේ මහ රෑ මං කෝල් කරපු වෙලාවෙයි. මගේ සුභ පැතුමට ස්තුති කළොත් ඒක පොර ගේ වයිෆරේට ඇහිලා වැඩේ දරුණු වෙන්න ඉඩ තියෙන නිසා පොර මාව මග අරින්න ඇති!

මට නං පොඩිරාජා ගේ ඇනිවසරිය විතරක් නෙමේ හාමිනේගෙයි මගෙයි ඇනිවසරියත් හොඳට මතකයි.

දුමින්ද ගේ යුග දිවිය කතන්දරේත් බලන්න ඔය ගමන්ම.

(image: http://www.anniversarygift.org/wedding-anniversary-clip-art/)

Monday, 20 February 2012

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රාමනාදන් ශාලාවේ මහා කළබගෑනියක් - Campus Rumpus @ Ramanathan Hall, Peradeniya University


පේරාදෙනිය යුනිවසිටියේ එක කෙලවරක වගේ තමයි රාමනාදන් නේවාසිකාගාරය තියෙන්නේ. ඒක මුලින්ම හදලා තියෙන්නේ කොල්ලන් ට ඉන්නයි. ඒක නේ පිරිමි නමක් තියෙන්නේ.

මුල් කාලේ කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ගෑනු නම් තියෙන සංඝමිත්තා එකෙයි, හිල්ඩා ඔබේසේකර එකෙයි විතරයි ලු.

පස්සේ විශ්ව විද්‍යාලයේ කෙල්ලෝ ප්‍රතිශතය වැඩිවෙන කොට රාමනාදන් ශාලාවට කෙල්ලෝ දාලා තියෙනවා.

මේ වගේම දැන් කෙල්ලෝ ඉන්න මුලින් කොල්ලෝ හිටපු හෝල් එකක් තමයි විජේවර්ධන එක. ඒකත් පිරිමි නමක් නේ.

ඒකෙන් නං කොල්ලන්ව අයින් කරන්න හේතුව පිටිපස්සේ තියෙන රේල් පාරේ කෝච්චියක ගිය සිරිමා බණ්ඩාරනායකට පේන්න කොල්ලෝ පෝලිමට පුක එලියේ දාගෙන හිටිය නිසාය කියලා කතාවක් තියෙනවා. නමුත් ඇත්තටම ඒකට හේතුව ආමි යුනිට් එකකුයි, යුනිවසිටි කොල්ලෝයි අතර වෙච්ච මහා රණ්ඩුවක් ලු! (මේ කියන්නේ පරම්පරාවකට ඉස්සර කාලේ. ඒ හින්දා දෙපැත්තටම වැඩි ඩැමේජ් එකක් වෙලා නෑ.)

කොහොම හරි මේ රාමනාදන් ශාලාව, එහෙම නැත්තං නාදන් එක පේරාදෙනියේ තියෙන ලොකුම නේවාසිකාගාර ශාලාවක්. කාමර නං කීයක් තියෙනවාද මන්දා? ඉස්සර නං මට ඕකේ රූම් නම්බර් එකක් හොඳට මතක තිබුණා, විසිටර් කෝල්ස් යවන්න.

ඒ විසිටර් කෝල්ස් කරපු සුළු කාලේට ඉස්සරත් මං ඕනෑ තරම් ගිහින් තියෙනවා රාමනාදන් එකට රෑට කන්න. නාදන් එකේ කැෆටේරියා එකේ තියෙන ඉඳිආප්ප, ගෝදම්බ රොටි විතරක් නෙමේ බත් පවා අපි හිටපු මාකස් ප්‍රනාන්දු, අක්බාර් වගේ ඒවට වැඩිය සෑහෙන්න හොඳයි.

ඒ මදිවට බත් ගත්තොත් අඩුව දෙන්නේ සල්ලි නොගෙනයි.

ඒ වර්ගයේ නොමිලේ අඩුවක් ගහන්න ගිහින් අපේ පොරකට හොද්දා කියලා කාඩ් එකක් වැදුනේ ඔය වගේ අක්බාර් එකේ ඉඳලා සංඝමිත්තා එකට ගිය ගමනකදියි.

ඒ මොනවා වුනත්, ඔතනට ගියාම අතේ සල්ලි තියෙනවා නම් අපේ කොල්ලෝ ඉඳිආප්ප දුසිං දෙකකට විතර වගකියන්න අමතක කරන්නේ නෑ. ඒත් සමහරුන්ට නං එහෙම කාලත් නිකං නගර සභා බිල්ඩිමට කූඹියෙක් ගියා වගේලු දැනෙන්නේ.

ඒ කාලේ අපිට ආරංචි වුණා රාමනාදන් හෝල් එකේ තිබුණු මහා කළබගෑනියක් ගැන. මෙතන නේවාසිකව හිටිය කෙල්ලෝ කණ්ඩායමක් ගිහින් කැෆටේරියාව කරගෙන ගිය මුදළාලි ට මහා වලියක් දාලා.

කෙල්ලන් ගේ ඉල්ලීමට මුදළාලි හොඳටම සැලුණා ය කියලයි ආරංචිය.

මෙන්න මේකයි ඔය අසාධාරණ රාමනාදන් මුදලාලිට විරුද්ධව කෙල්ලන්ගේ වලිය.

"ඉඳිආප්ප ගන්න කොට අඩුම වශයෙන් ඉඳිආප්ප පහක් ම ගන්න ඕනැය කියලා මුදළාලි දාලා තියෙන නීතිය හරිම අසාධාරණයි."

"අපිට ඉඳිආප්ප තුනක් ගන්න ඉඩ දියව්!"

"අසාධාරණ මුදළාලි භංගවේවා!"

-කතන්දරකාරයා

ප/ලි:
දැන් කොහොමද මන්දා තත්වේ? චතු, පිසාච, රත්ගම, හාවි වගේ කෙනෙක් ලිව්වොත් තමයි.

(image: http://www.kalusuduapi.com/2011/12/january-7th-death-of-free-education.html)

Sunday, 19 February 2012

මොකක්ද මේ හස්තද්වාරය කියන්නේ? What the heck is "Hasthadwaraya"?


මං කතන්දර බ්ලොග් එකේ කතන්දර මැද්දේ ඉඳලා හිටලා කවියක් දෙකක් දැම්මා මුල් දවස්වල ඉඳලාම.

ඒත් ඉතිං, අපේ සමහරු ඉන්නවා නේ කවි නොතේරෙන. අන්න ඒ අයගේ පහන් සංවේගය පිණිස මං පස්සේ පටන් ගත්තා රනින් කමෙන්ට්‍රියක් එක්කම කවි දාන්න අර දෙව්ලොව ගිය ගමන කවි-කතන්දරයත් එක්ක.

ඊට පස්සේ 2010 සාහිත්‍ය මාසය අල්ලලා කවි රස හඳුණන ඔබා-මා ට පවා එපා වෙන විදියට කයි-කතන්දර තොගයක් ම පලකළා.

ඒ කාලේ ඉඳලා දාපු ගොඩක් කයි-කතන්දරවල අගින් මෙන්න මෙහෙම පලවුණා පොඩි අකුරෙන්.

"පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ මුල්වරට පලවිය. පසුව හස්තද්වාරයෙන් නිකුත් කෙරුණු හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී."

මේ "හස්තද්වාරය" කියන්නේ මංතුමා මගේ පාවිච්චිය සඳහා නිර්මාණය කරගත්තු අළුත් වචනයක්. ඒ හින්දාම මේක අපේ සමහර පාඨකයින්ට මීටර් වුනේ නෑ.

ඒ අයගේ දැනගැනීම පිණිස "හස්තද්වාරය" වචනය නිර්වචනය කරන්නයි මේ ලියන්නේ.

අපි පොඩි කාලේ පොතක් මුද්‍රණය කරළා එලි දක්වනවාට කියන්නේ මුද්‍රණද්වාරයෙන් දොරට වඩිනවාය කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ පොත මුද්‍රණාලයේ දී ප්‍රින්ට් කරලා, බයින්ඩ් කරලා, එක සයිස් එකට කපාල, මිටි බැඳලා, දොරෙන් එහෙම නැත්තං ද්වාරයෙන් එලියට අරගන්න අවස්ථාවයි.

මං ඉස්කෝලේ යන කාලේ අවුරුදු දාසයේ ඉඳලාම වගේ කවි ලිව්වා. කෙටිකතාත් ලිව්වා.

පස්සේ ඒවා ලියපු කටුවැඩ කොලවල එකතු කරගෙන ඇක්සයිස් පොත්වල පොත් විදියට සැකසුවා. අත් අකුරෙන්. එහෙම තමයි මංතුමා පොත් පලකළේ.

දැන් ඉතිං මේ පොත්වලට කියන්න බෑනේ මුද්‍රණද්වාරයෙන් එලිදැක්වුවාය කියලා. ඉතිං මං ඒ වෙනුවට නමක් හදාගත්තා "හස්තද්වාරයෙන්" එලිදැක්වුවා කියලා.

දැන් මෙන්න ඒ හස්තද්වාර පොත් ලයිස්තුව.

පොතේ නමවර්ගයකාල වකවානුව
පියෙකුගේ කතාවක්කෙටිකතා   උසස් පෙල සමය
සිහින සිතුවිලිකවිඋසස් පෙල සමය
සය දිනක සටහන්කවිඋසස් පෙල සමය
ගී පදමාලා 25කවිඋසස් පෙල සමය
ගමනකෙටිකතාඋසස් පෙල සමය
නිසංසලා රනුකනවකතාවගන්ධබ්බ සමය
වාසනා සහ සැබෑවුණු සිහිනය  කවිගන්ධබ්බ සමය
හන්තානේ කඳු පාමුලකවිපේරාදෙනිය දෙවන වසර
මායාවෝකවිපේරාදෙනිය සිව්වන වසර
විරැකියාවේ විලාපයකවිනිදහස් සමය

-කතන්දරකාරයා

ප/ලි:
ඔය පොත් මුද්‍රණද්වාරයෙන් පල නොකිරීමෙන් මං සිංහල සාහිත්‍යයට කළ සේවාව නං මිළ කළ නොහැකියි!

(image: http://webmasterbb.net/blog/webmaster/top-3-article-submission-websites/)

Friday, 17 February 2012

ලව් පලහිලව්වක අවසාන සිතුවිල්ලක් - Terminal thoughts


ලව් කියන ඒවා විවිධාකාරයි.

සමහර වෙලාවට මෙන්න මේ වගේ.

දැක්ක ගමන් හිත බැඳුණා,
වාසනාවේ දොර ඇරුණා,
දැන් මට තේරේ,
හා හා තේරේ
ආදරේ තේරේ
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා


ඒ කියන්නේ ලව් ඇට් ෆස්ට් සයිට්. නමුත් බොහොමයක් වෙලාවට මෙහෙමත් වෙනවා.

කවට කමට ඔබෙයි මගෙයි නම කියා
යහළු ළමයි විහිළු තහළු මට කියා
ඔබ ආදරේද ඇහැව්වා
මං දන්නේ නැතැයි කිව්වා

පාසල් යන කාලෙදී ඔබ හැංගිලා
බැලු හැටි මට මතකයි නෙත් හරවලා
ඔබත් බැලූ නිසයි දෙනෙත් හමුවුනේ
මිතුරන් හින්දයි පෙම් සිත් ඇතිවුනේ
ඔබ ආදරේද ඇහැව්වා
මං ආදරෙ යැයි කිව්වා


තවත් විවිධාකාර සංසිද්ධි නිසාත් ලව් පලහිලව් ඇතිවෙනවා.

මොනවා වුනත් සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා කියනවා වගේ ලව් පළහිලව් වුනත් ඒ නියාම ධර්මයට අහුවෙලා චක-බ්ලාස් වෙලා යනවා.

හැම ලව් එකක්ම තන්හාධික සිතුවිල්ලක් නේ. වෙනත් පුද්ගලයෙක්ව තමන්ටම අයිති කරගන්න එකයි ලව් එකේ අවසාන අරමුණ.

ඉතිං සමහර වෙලාවට ඒ ලව් එකට කෙලවෙලා ගියත් කොනක ඉතුරුවෙලා තියෙනවා අර කියපු තන්හාවේ කෑල්ලක්. අන්න ඒ කේස් එක නිසා තමයි මෙන්න මේ වගේ කවි ලියවෙන්නේ.

නිමාව

කෙදිනක හෝ මේ කුරිරු ලෝකයෙන්
සමුගෙන මා සදහට නිදනා කල
කොතැනක හෝ ඔබ සිටිනා තැනකින්
මා වෙත එනු මැන ප්‍රිය ලඳුනේ
මා සිප ගනු මැන ප්‍රිය ලඳුනේ

සුසිනිදු මුදු ඔබගේ තොල්පෙති සුව
සීතල මා දෙතොලට නොදැනේවී
මිය ගිය මා හද ඔබ වෙනුවෙන් පිපි
සෙනෙහස් මල ඔබ හට නොපෙනේවී

ඔබ හමුවෙන්නට ආ පෙර සවසක
ඔබට තිළිණ කල මල් පෙති සිහිකර
මිය ගිය මා දෑතේ මතුපිට
මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ
මිය ගිය අතීතය සිහිපත්වන්නට
මලක් තබනු මැන ප්‍රිය ලඳුනේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මුලදි ඔහොම වුනාට පස්සෙන් පහු ලියවෙන්නේ මෙන්න මෙහෙමයි.

ලින්ක් ටු කේන්ති කවිය - http://kathandara.blogspot.com.au/2010/07/blog-post_13.html


(image: http://www.facebook.com/no.love.x?sk=app_4949752878)

Wednesday, 15 February 2012

මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans


අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.

මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.

සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?

ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.

ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.

එදා ගමන ගැන පස්සේ වුනු කතාවකින් මං එක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඒක බෝංචි උයන එක ගැන ලොකු වැදගත් රහසක්.

සන්තියාගෝ ලා ගේ ගෙදර තිබුණු බෝංචි කරියේ බෝංචි කෑලි බාගෙට අමුවට තමයි තිබිලා තියෙන්නේ. කිරි, මිරිස්, ලුනු රහ හෙම නිකං ලාවට ලාවට වගේ වදින්න.

එළවළුවල මුළු ගුණම ඇඟට ගන්න නම්, ඒවා තැම්බෙන්නම උයන්නේ නැතුව නිකං ලාවට අමුවට හැපෙන ගානට උයන්න ඕනෑයි කියලයි ශරීරවර්ධනය ගැන හෙම හොඳට ගැන දන්න කියන සන්තියාගෝ ලා අපේ ඇන්ටි ට කියලා දීලා තිබුණේ.

බෝංචිවලට විතරක් නෙමේ, කැරට්, බීට්, පලාවර්ග වගේ බොහොමයක් එළවලුවලට මේ කතාව අදාලයි!

අර "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න!" කියනවා වාගේ එළෝළු උයන කොට බාගෙට ඉදෙන්න තමයි උයන්න ඕනෑ.

ඇන්ටිගෙන් මේ කතාව ඇහැව්වයි කියලා අපේ අම්මා නං එයා ගේ පාරම්පරික උයන ක්‍රමය වෙනස් කළේ නෑ. නමුත් මේ කතාව මගේ හිතේ ඇතුලේ තැන්පත්වෙලා තිබුණා මේ වෙන කොට ලියා පල කරපු පන්සීය පනහක් කතන්දර සහ තවත් පන්සීයක් විතර ලියන්න තියෙන කතන්දරත් එක්ක.

දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර කාලේ ගෙවිලා ගිහින් මංතුමා ඒ-ලෙවල් කරලා, පේරාදෙනියේ රස්තියාදු වෙලා, බොසී ලා යටතේ මැවිසුරුකම් කරලා, තායිලන්තයේ මහන වෙලා ඉඳලා, කසාද බැඳලා යනාදී සියළුම කරණං ගහලාත් තව අවුරුදු කීපයක් ගතවුණාට පස්සේ ඔන්න මට නොමිලේම වගේ ලැබුණා උයන පිහන කටයුතු ගැන පොඩි උනන්දුවක් ඇති කරගන්න චාන්ස් එකක්.

මං මුලින් උයන්න ඉගෙන ගත්තේ බත්, පරිප්පු වගේ සරල දේවල්.

පස්සෙන් පහු මං ටික ටික එක්ස්පරිමන්ට් කර කර පුරුදු වුණා අනිත් එළවලු වර්ගත්, මස් වගේ දේවලුත් උයන්න.

බෝන්චි උයන එක රෙසිපියක් මං කලින් දැම්මානේ, ඒක නං හැබැයි හාමිනේ ගේ එකක්.

මේ වගේ තවත් මං ඉගෙන ගත්තු බෝංචි හදන ක්‍රමයක් තමයි තායිලන්තේ තියෙන ග්‍රීන් කරි එක. මේ කරිය හදන එකේ තියෙන ජොලිම වැඩේ තමයි කඩෙන් පැකට් එකක් අරගෙන කෙලින්ම හොද්ද ඒදන්න පුළුවන් හරියට අර ඇන්ටි ටින් එකක් දානවා වගේ.

දෙතුන් දවසක් උයලා, හාමිනේ එක්ක ටේස්ට් කරලා වැඩේ හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ, මං මේ තායි ග්‍රීන් කරි පැකට් එකක් දවසක් අරං ගියා අපේ අම්මයි තාත්තයි බලන්න ගිය දවසක එහේ.

එදා මගේ ප්ලෑන් එක වුනේ අම්මටයි තාත්තටයි මගේ අතින්ම උයලා කන්න දෙන්න. (අන්න බලන්න අපේ කාලේ හැදුණු රත්තරං කෑලි වගේ පුතා ලා ගේ හොඳ වැඩ!)

ඔන්න ඉතිං, බත් ඉව්වා, පරිප්පු උයලා තෙම්පරාදු කළා. කුකුල් මස් කරි එකකුත් හැදුවා. ඒ එක්කම මේ කියපු තායි ග්‍රීන් කරියත් හැදුවා බෝන්චිවලින්.

දැන් ඔන්න මේසේ සූදානම්. දෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා!

අපේ ගෙදර පොර ළමයා තාත්තා නේ. පොර තමයි ඉස්සෙල්ලාම කන්නේ. තාත්තා ආවා, බෙදා ගත්තා බත් පොඩ්ඩකුයි, හොදි මාලුපිණියි, පොඩ්ඩ පොඩ්ඩ අනලා කන්න පටන් ගත්තා.

"මේ බෝංචි මාලුව හරියට ඉදිලා නෑ, අමුයි!" එක බෝංචි කෑල්ලක් හපපු තාත්තා කීවේ එච්චරයි.

බෙදාගත්තු බෝංචි ටික එහෙමම පිඟානේ පැත්තකට ඉතුරු කරළා අනිත් දේවල් එක්ක බෙදා ගත්තු බත් වලින් ටිකක් කාපු තාත්තා පිඟන් කොටේ එතන තියලා කුස්සියේ සින්ක් එකෙන් අත හෝදාගෙන යන්න ගියා.

තාත්තා කාලා ඉතුරු කරපු පිඟානේ කරපිංචා කොළ ටිකකුයි බත් කටවල් දෙක තුනකුයි එක්ක මගේ තායි ග්‍රීන් කරි බෝන්චි ටික දිලිසි දිලිසී තිබුණා.

අම්මා සුපුරුදු පරිදි කළේ තාත්තා ගේ බත් කොටේ ඉතුරු වෙලා තිබුණු දේවල්වලට තව බත් හැන්දකුත් දාලා, මස් හොඳි ටිකකුත් දාලා, කලවම් කරලා ගෙදර ඉන්න බූලා ගේ පිඟානට දාලා පිලිකන්නෙන් තියපු එකයි.

මං නං එදා තායි ග්‍රීන් කරි එක එක්ක රහ කර කර බත් කෑවා.

හවස් වරුවේ ගෙදර පිටිපස්සට පැත්තට ඇස් යොමු වෙච්ච වෙලාවේ තමයි දැක්කේ අපේ බූලා බල්ලා කරලා තිබුණු අළුගුත්තේරු වැඩේ!

ඌ පිඟානේ තිබුණු අම්මා කලවම් කරලා දාපු බත් ඇටයක් ඉතුරු නොකර, කරපිංචා කොලත් එක්කම කාලා තිබුණා.

පිඟානේ දිලිසි දිලිසී ඉතුරු වෙලා තිබුණේ, මගේ තායි ග්‍රීන් කරි එකේ බාගෙට තැම්බුණු බෝන්චි කෑලි ටික විතරයි.

-කතන්දරකාරයා

ප/ලි:
තායි ග්‍රීන් කරි රෙසිපිය පසු දිනක සිතුවම් සහිතව පල කෙරෙනු ඇත.

ප/ප/ලි:
බෝංචි ඇට ගැන මං ලියපු කතන්දරය මතකද?
http://kathandara.blogspot.com.au/2010/09/blog-post_24.html

Monday, 13 February 2012

බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!

හැම තිස්සෙම ලංකාවට කෙලවන්න බලන් ඉන්න බැංකි මූන් ගොයියා දන්නවා නේද?

අර පොඩි ළමයින්ට මංචී බිස්කට් දෙන්නේ, අන්න එයා ගැන තමයි මේ කියන්නේ.

මෙන්න බැංකී මූන් ගේ නවතම කුමන්ත්‍රණය හෙලිවෙලා!

පොර මේ සෙට් වෙන්නේ අර බටහිර කුමන්ත්‍රණවාදී සමරිසි කෑලි ලංකාව වගේ රටවල්වලත් වැඩි දියුණු කරන්නයි. මෙයා දැනටම මේ වැඩ සටහන පටන් අරං තියෙන්නේ අප්‍රිකාවෙන්.

මෙන්න බලන්න බොරු නම් මේ ප්‍රවෘත්තිය.


කුමන්ත්‍රණයේ වැඩි විස්තර මෙතනින් බලන්න.
http://allafrica.com/stories/201201290023.html

ගේ-ලෙස්බියන් සමරිසි අයගේ අයිතිවාසිකම් අනිවාර්යෙන්ම රකින්න ඕනෑය කියලා බැංකි-මූන් අප්‍රිකානු නායකයින් ට තරවටුවක් කරලා වගේ!

පොර ඊලඟට එයි ලංකාව වගේ අපේ කලාපයේ රටවල්වලටත් උපදෙස් දෙන්න.

හැබැයි අප්‍රිකාවේ නායකයෝ නං ඔය පිටතින් එන විවේචන වලට මෙච්චර කලක් නං බයවෙලා නැති පාටයි. උන්ට නැට්ටටම තදවෙනවා ලු මේ වගේ අප්‍රිකානු සංස්කෘතියට පිටස්තර දෙයක් වෙන ගේ-ලෙස්බියන් සමරිසි අයිතීන් ගැන විවේචන ඇහෙන කොට.

ඕනෑම සමරිසි සම්බන්ධයක එක සහකරුවෙක් ගැහැණිය ගේ භූමිකාවයි, අනෙත් සහකරුවා පිරිමියාගේ භූමිකාවයි කරන බව අහලා ඇතිනේ.

උදාහරණයක් විදියට එලන් ඩිජෙනරස් සහ පෝෂියා ඩීරෝසී විවාහයේ එලන් තමයි මිනිහා. එල්ටන් ජෝන් සහ ඩේවිඩ් ෆර්නිෂ් ගේ විවාහයේ එල්ටන් තමයි ගෑණි.

අපේ ව්‍යවස්ථාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑණියෙක් කරන්නයි බැරි බව හිටපු ජනාධිපති ජේආරුත් කිව්වනේ.

ඒ කියන්නේ ඔය ගේ-ලෙස්බියන් සමරිසි වැඩ ලංකාවටත් ගැලපෙන්නේ නෑ!

බැංකි මූන්, කරුණාකර ඔහේ ගේ මේ ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය අකුලාගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි.

අදාල වෙනත් ලිපි කීපයක් මෙන්න.
1.සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
http://kathandara.blogspot.com.au/2011/08/homosexuality-is-natural-tendency-dr.html

2. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
http://kathandara.blogspot.com.au/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

(images: http://www.thesuperficial.com/ellen_portia_de_rossi_getting-05-2008
http://www.profindsearch.com/news/2005/12/21/PFS1351.htm)

Sunday, 12 February 2012

කකුල්, ආදරය, භාෂා ප්‍රයෝග සහ උපමා - Love and Legs (Sunday special extra story)


අම්මපා මොකක්ද මේ ඉංගිරිසියෙන් ගත්තාම ආදරයයි කකුලයි අතර තියෙන අමුතුම අමුතු සම්බන්ධය?

කෙල්ලෙක් කොල්ලෙක් හමුවුණු මොහොතේ මහා ආදරයක් ඇති වීමට කියන්නේ ෆෙල් ඉන් ලව් හෙඩ් ඕවර් හීල්ස් කියලයි.

කෙල්ල කොල්ලාව හරි, කොල්ලා කෙල්ලව හරි අතහැරලා සම්බන්ධය නතර කළාම ඒකට කියන්නේ බූට් එක දුන්නා කියලයි.

ඒවගේ ඒවා භාෂා ප්‍රයෝග. මේ පල්ලෙහා තියෙන කවියෙත් වෙනත් ආකාරයක පොඩි ප්‍රයෝගයක් තියෙනවා. කියවලා බැළුවොත් පෙනෙයි මොකක්ද කියලා.

වෙනස

අදත්
එදා වගේම
සේරම දේවල් තියෙනවා
අහස පොළොව
සඳ ඉර
ඔබ මම

ඒත්
එදා තිබුණු මොකක්දෝ
අද අඩුයි වගෙයි

ඒකද මේ පාළුව?


(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න වෙනත් ආකාරයක කවියක්.

ටවුන් එක රන් කරන් හිටපු නොන්ඩි සෝමේ හෙවත් ටයිගර් හදිසියේ අප අතරින් වියෝ වුණා. ඒ දුකට ලියවුණු ශෝක ප්‍රකාශයක තිබුණු කවියක් මේක.

මට මතක විදියට මේ කවිය ලිව්වේ සමාජ සමයං කාටුන් එක, පොඩි එකාගේ ලියුම වගේ ආතල් වැඩ ගොඩක් කළ ඇස්. තෙන්නකෝන්.

මුළු රට ගිල්වලා රෑ මෙන් අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ මරහුගේ මුකේ
ටයිගර් සුමිතුරාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය ඔබ අපගේ බජාරෙකේ


(iamge: http://en.wikipedia.org/wiki/File:Head_over_heels_ver1.jpg)

Friday, 10 February 2012

යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට අවවාද කීපයක්


මුල් කාලේ කතන්දරවල මං ගිය විස්ස විජ්ජාලේ ගැන කියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන යෙදුමයි. පස්සෙන් පහු, පේරාදෙනිය ගැන කතන්දර කීපයක් වගේම කයි-කතන්දර බර ගනක් පල කෙරුවා.

මේ වෙනකොට නං ඉතිං මංතුමා මෙරට, නොරට යුනිවසිටි බර ගාණක අම්බානකුත් ටිකක් විතර චාටර් වෙච්ච පොරක් බව කතන්දර බ්ලොග් එක නිතිපතා කියෝන බහුතරයක් අය දන්නවා නේ.

දැන් නං මං ඔය "කැම්පස්-රම්පස්" වලින් අයින්වෙලා, දෙයියන් ගේ පිහිටෙන්, මගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ඉන්නේ ආණ්ඩුවට කඹුරලායි. ඒත් ඉතිං මට හිතුණා අද යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උපදෙස් කීපයක් දීලා දාන්න ඕනෑ කියලා.

ඕනැ නම් පිළිපැදපල්ලා, එපා නම්, ඒත් පිළිපැදපල්ලා!

1. ඉගෙන ගන්නා දෙයට ඇල්මක් ඇති කරගන්න

තරඟෙන් දිනලා ජොලි මූඩ් එකෙන් යුනිවසිටියට ගියාට වැඩි කල් යන්න කලින් ඉගෙන ගන්නා දේවල් එපා වෙන්න ඉඩ තියෙනවා.

මේක කීප විදියකට සිද්ධ වෙන්න පුළුවන්.

අ. මං දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා සමහර වෙලාවට අපි ඔහේ රැල්ලට ගහගෙන ගිහින් පස්සේ අපිට ලැබෙන හොඳම දේ තමයි අන්තිමට ඉගෙන ගන්නේ. ඒක අපි කැමතිම දේ නොවෙන්න පුළුවනි.

ආ. ට්රෙන්ඩ් එකට, රැල්ලට, අරයා මෙයා කියපු නිසා, වැරදි වැටහීමෙන් මෙන්න මේ කෝස් එක තමයි මං කරන්න ඕනෑ කියලා තමන් පතාගෙන හිටපු කෝස් එක කරන්න පටන් ගත්තට පස්සෙන් පහු වුනත් වැඩේ එපා වෙන්න ඉඩ තියෙනවා.

ඇ. ඒ විතරක් නෙමේ, රැල්ලට නොගිහින් තමන්ගේ ම ස්ව-කැමැත්තෙන් පටන් ගත්න දෙයක් ගැන වුනත් පස්සේ කළකිරීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.

විවිධ හේතු නිසා ආපහු හැරෙන්න බැරි තත්වයක නං ඉන්නේ, මගේ උපදෙස තමයි තමන් ඉගෙන ගන්න දෙයට ආසාවක් ඇති කරගන්න කියන එක. මේක කොම්ප්‍රමයිස් එකක් තමයි. නමුත් ප්‍රායෝගික එකක්.

තමන් අකමැත්තෙන් කරන දෙයකට කැමැත්තක් ඇතිකර ගැනීම කියන්නේ හරියට පොලීසියෙන් අල්ලලා බැන්දෙව්ව අය පවා පස්සේ හොඳට ආදරෙන් පවුල් කනවා වගේ සීන් එකක්.

මුලදී මොනවා වුනත් හොඳට කළොත්, ඒ මුල් උපාධියෙන් පස්සේ පුළුවන් තමන්ට කැමති කැමති පරිදි ඉගෙන ගන්න උත්සාහයක් දෙන්න.


2. එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ කරන්න, විනෝද වෙන්න, නමුත් සීමාව පන්නන්න එපා!

යුනිවසිටි කාලේ ජීවිතයේ හොඳම කාලයක්. මේ කාලේ නොදාන පාටි කවදා දාන්නද? කරන්න පුළුවන් දේවල් ආයේ කවදා කරන්නද? හැබැයි මොන දෙයක් වුණත් කරන්න ඕනෑ, අනුන්ට කරදරයක් නොවෙන සීමාවේ ඉඳගෙන.

මං කියන්නේ අකමැති දේවල් කරන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් දේවල් නොකර ඉන්න එපා කියලයි. අපේ කාලේ මට මතකයි, වෙනත් යුනිවසිටිවලින් බැච් ට්‍රිප් එනවා හන්තාන නගින්න. නමුත් අපේ කාලේ පේරාදෙනියේ අවුරුදු හතරක් ඉඳලා අවුට් චෙච්ච උන් ඕනෑ තරම් ඇති ජීවිතේට ගලහා පාරෙන් උඩට නොගිය.

මං විශ්ව විද්‍යාලයේ දී ස්පෝර්ට්ස් හැර අන් සියළුම බාහිර වැඩ කටයුතු කළා. ස්පෝර්ට්ස් කරන්න නං ඉතිං උනන්දුව විතරක් තිබිලා මදිනේ හැකියාවත් ඕනෑ. මං දැකපු වැදගත්ම දෙයක් තමයි, ස්පෝර්ට්ස් කරන උං, තමන්ගේ ස්ටඩීස් ටිකත් තිතට කළ බව!

මෙතන සීමාව පන්නන්න එපා කියන්නේ තමන් ගේ කබරයා තමන්ම අදින්න පුළුවන් සීමාවක් තියාගන්න කියන එකයි. ඒක අනුන්ට අදින්න වුණොත් ඒක තමන්ගේ පරාජයක්!


3. ලෙක්චර්ස්වලට, ටියුට්වලට, ලැබ්වලටසහභාගී වෙන්න

ෆර්ස්ට් ඉයර් එකේ දී කොහොම වුනත්, සාමාන්‍යයෙන් සෙකන්ඩ් ඉයර් එකේදී අමතක වෙලා යනවා ලෙක්චර්ස් කියලා ජාතියක් තියෙනවාද කියලා. මේක වැඩි පුරම වෙන්නේ කොල්ලන්ටයි. ඔය කියන දවස්වල මං ලියපු කෙටි කවියක් මෙන්න.

දේශන

කළු ද?
සුදු ද?


මේක ලොකුම ප්‍රශ්ණයක්. මංතුමා නං පස්සේ වැරැද්ද නිවරැදි කර ගත්තා. ඒත් අපේ කාලේ සමහර පොරවල් හිටියා ෆර්ස්ට් ඉයර් එකෙන් පස්සේ ලැබ්වලට, ඩිසයින්වලට මිස වැරදිලාවත් ලෙක්චර්ස් නොගිය.


4. මිතුරු ජාල හදා ගන්න, හැබැයි, කල්ලිවාදය අත හරින්න

මේක ටිකක් විස්තර කරන්න අමාරු මාතෘකාවක්. අවුරුදු තුනක් හතරක් එක තැනක කල් මරන්න බෑ, හොඳ යාළුවෝ ටිකක් නැත්තං. ඒ ඇතිකරගන්නා යාළු කං සමහරවිට ජීවිත කාලය පුරාම වැදගත් වෙනවා.

නමුත්, කල්ලිවාදය නම් හලාහල විස වාගේ අත අරින්න ඕනෑ.

අපේ මුළු රටටම කෙලවෙලා තියෙන්නේ මේ කල්ලිවාදය නිසයි. තමන්ගේ වැරදි තමන්ටම විවේචනය කරගන්න පුළුවන් තත්වයක් ඇති කරගන්නයි අවශ්‍ය. තමන්ගේ නොවේ තමන්ගේ කල්ලියේ ඉන්න උන්ගේ වැරදිත් පේන්නේ නෑ සමහරුන්ට. (මේක විස්තර කරන්න නං, කතන්දර කීපයක් ලියන්න වෙනවා වගේ!)


දැනට අවවාද එච්චචරයි! පසුව හමුවෙමු.

සතුට හා දුක මුසු සති අන්තයක් මේ උදා වෙන්නේ. බලන්න ඒකෙත් හැටි!

-කතන්දරකාරයා

ප/ලි:
මං කලින් මේ වගේ පෙම් කරන්න දුන්නු උපදෙසක් වැඩ කළ බවට පසුගිය දිනවල කියවුණා. මෙතන බලන්න.
http://tikakhinawenna.blogspot.com.au/2011/07/blog-post_14.html
අප දුන් උපදෙසක් වැරදුනේ නැත!

(image: http://www.ezyadmissions.com/australian-national-university/)

Wednesday, 8 February 2012

යුනිවසිටි යෑම සහ "යුනිවසිටි යෑම" - Get a life!


මං ඒ ලෙවල් පාස් වෙලා යුනිවසිටි යන්න සෙට් වෙන කාලේ පේරාදෙනිය ද, කටුබැද්ද ද කියලා තීරණය ගත්තු හැටි ගැන ලියපු කතන්දරේ හරය අපේ පාඨකයින්ගෙන් කීප දෙනෙකු නිවරදව වටහා ගෙන තිබුණේ නෑ.

ඒක නං ඉතිං මගේ වරද! අසන්නා කෙසේ තේරුම් ගත්තත් කියන්නා පැහැදිලිව කිව යුතුයි කියලා කියනවානේ.

ඒ ස්ටෝරි එකට තරමක් හෝ සමාන්තර බවක් තියෙන තවත් කතන්දරයක් මතක් වුණු නිසයි මේ ලියන්නේ.

ඔන්න මං කලක් සේවය කළ එක්තරා විශ්ව විද්‍යාලයක හිටියා දක්‍ෂ කෙල්ලෙක්. එයා විශේෂවේදී උපාධිය කරළා, ෆර්ස්ට් ක්ලාස් එකකින් පාස් වුණා. මාස කීපෙකට පස්සේ තිබුණු ඉන්ටර්වීව් එකකින් ඔන්න මේ දැරිවිය තේරුණා කථිකාචාර්ය තනතුරකට.

ඔහොම අවුරුද්දක් හමාරක් විතර ගෙවුණාට පස්සේ මේ තරුණියට අවස්ථාව ලැබුණා පස්තාච්චි උපාධියක් සඳහා ඉගෙන ගන්න පිටරටකට යන්න. එහේ විශ්ව විද්‍යාලයේම නවතින්න පහසුකමුත් ලැබුණාය කියලා ඔන්න මටත් කිව්වා.

"ඒක හොඳයි! ඔන්න දැන් තමයි සුරේඛා ඉස්සෙල්ලාම විශ්ව විද්‍යාලයකට යන්නේ" මං කිව්වා.

"ආ, ඔය කියන්නේ පේරාදෙනිය තමයි ලංකාවේ එකම එක විශ්ව විද්‍යාලේ කියලා නේද?" සුරේඛා තමන්ට මං කියපු දේ නොතේරුණු බව පෙන්නුවා.

ඉතිං මට සිද්ධ වුණා මගේ අදහස පැහැදිළි කරන්න.

"මං කිව්වේ එහෙම එකක් නෙමේ සුරේඛා. දැන් බලන්න, ඔයා පොඩි කාලේ ඉඳලාම වගේ ඉස්කෝලේ යන කොට උදේ නැගිටලා, ඇඳ පැළඳගෙන ඇවිත් කොළඹ බස් එකේ නැගිලා ඉස්කෝලේ ගියා. හවසට ඒ බස් එකේම අනිත් පැත්තට නැගලා ගෙදර ගියා."

"ඉස්කෝලෙන් අවුට් වෙලා එතනින් විශ්ව විද්‍යාලෙට ආවාම ඔයා කළේ අර කලින් විදියටම කොළඹ බස් එකේ නැගලා ආපු එකයි. හැබැයි බස් එක කොළඹට යන්න කලින් බැහැලා කැම්පස් එකට ආවා. ඒක තමයි එකම වෙනස. හවසට ඒ බස් එකේම නැගලා ගෙදර ගියා."

"ඒ කියන්නේ ඉස්කෝලෙන් යුනිවසිටියට ආවා කියලා වැඩි වෙනසක් සිද්ධ වුනේ නෑ!"

"නමුත් දැන් ඔයා මේ පස්තාච්චි උපාධිය ගන්න ගියාම ඒ සේරම වෙනස් වෙනවා. බස් ටයිම් ටේබල්වලින් සීමා නොවී විශ්ව විද්‍යාල ජීවිතය විඳින්න ඔයාට ලැබෙනවා. සෑබෑ විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹෙනවාය කියලා මං කිව්වේ අන්න ඒ නිසයි!"

ඒක තමයි මං සුරේඛාට දුන්නු ප්‍රථම සහ එකම දේශණය.

ඒ කිව්වත් වගේ අපේ සුරේඛා කොච්චර හොඳට සැබෑ විශ්ව විද්‍යාල ජීවිතය ගත කළා ද කියනවා නම්, මාස්ටර්, පීඑච්ඩී විතරක් නෙමේ තමන්ගේ අනාගත සහකාරයාවත් හොයා ගත්තා ඒ විශ්ව විද්‍යාලයෙන් ම!

මට ඔය පරණ කතන්දරේ මතක් වුනේ මේ ඊයේ පෙරේදා දවසක අපේ අහල පහල අඳුණන ඇන්ටි කෙනෙක් හමුවුණු වෙලාවෙයි.

ඇන්ටි ගේ දුවට යන්න ඕනෑ වෙලා තියෙන්නේ, ගෙදර ඉඳන් දුර පලාතක තියෙන විශ්ව විද්‍යාලයකට යි. දුර නිසා එහේ ගිහින් පදිංචි වෙන්නත් වෙනවා. ඇන්ටිට ටිකක් දුකයි වගේ මේ වැඩේට.

මං ඇන්ටිට කිව්වේ මේකයි.

"ඇන්ටි, දැන් බලන්න ඔයා පොඩි කාලේ ගෙදර ඉඳන් 120 ක නැගලා ඉස්කෝලේ ගියා, හවස ආපහු 120 ක නැගලා ගෙදර ආවා. යුනිවසිටි යන කාලේ උදේට 255 ක නැගලා ගියා, හවසටත් 255 ක ම නැගලා ගෙදර ආවා."

"ඒ වගේයෑ, අඩු තරමින් දුවවත් යුනිවසිටි ජීවිතයක් ගත කරයි නේද?"

මං හිතන්නේ ඇන්ටි ට තේරුණා මං කියපු දේ.

යුනිවසිටි යෑමේ සහ "යුනිවසිටි යෑමේ" වෙනස ඔන්න ඕකයි!

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ඉතිං ගෙදරින් පිට ගිහින් බත් කන්න ගියාම තමයි දුක තේරෙන්නේ!
http://kathandara.blogspot.com.au/2011/11/four-noble-truths-open-source-concept.html

!!!

(image: http://www.amazingonly.com/amazing/university-of-peradeniya-greenery-photography/)

Monday, 6 February 2012

හිටපු මිතුරා ගේ අන්දරය - Story of an ex-friend


පසුගිය දවසක මට බ්ලොග් ලෝකයේ මිතුරියකගෙන් ලැබුණු ඊ-මේලයක මෙන්න මෙහෙම තිබුණා.

       හිතවත් කතන්දර

ඔබ අඳුණන අයෙකු මට ඊයේ අහම්බෙන් මුණ ගැසුණා. අප ඔබ ගැන ද කතා කළා. ඒත් ඒ කතාවෙන් ඔහු ඔබේ මිතුරෙක්ද, තරහ කාරයෙක්ද කියානම් මට හිතාගන්නට බැරිවුණා!

මීට
බ්ලොග් ලෝකයේ මිතුරිය

ඉතිං, කවුද, කින්ද, මන්ද කියල නමක් ගමක් සඳහන් කරන්නේ නැතුව මං අඳුණන කෙනෙක් හමුවුණාය කියලා ඔහොම කිව්වාම මං කොහොමද ඒ කවුද කියලා හිතාගන්නේ?

මං ගැන පෞද්ගලික විස්තර දන්නවා නම්, මගේ මේ කතන්දර බ්ලොග් එක ගැනත් දන්නවා නම්, මා ගැන කතා කළා නම්, ඉතිං මේ කියන පොර මගේ යාළුවෙකු වෙන්න ඕනෑ තමයි.

ඒත් මගේ වැරදි කතා කරළා හෝ මට බැණලා හෝ තියෙන බවක් පේන්න තියෙනවා. ඒක නේ, මේ කියන පුද්ගලයා මගේ යාළුවෙකු නෙමේ තරහකාරයෙක් වගේ කියලා හිතිලා තියෙන්නේ. ඔව්, එහෙම බැලුවාම යාළුවෙකු වෙන්න බෑ නේන්නම්!

එහෙනම් මේ මගේ :හිටපු මිතුරෙක්: වෙන්න ඕනෑ!

මට එහෙම හිතුනේ ඇයි දන්නවාද? මගේ එක්තරා කවියට බර යාළුවෙක් ඉන්නවා පොර සමහර උන් ගැන අපි එක්ක කියන්නේ මගේ "හිටපු මිතුරෙක්" කියන හැඳින්වීම එක්කයි. පොර ලියන කවිවල, ලිපිවල පවා සමහරු ගැන ලියන්නේ "මගේ හිටපු මිතුරෙකු වෙන" කියන විශේෂණ පද එක්කයි.

මගේ මේ කියන යාළුවා මගේ කතන්දර බ්ලොග් එකේ සිංහල භාෂාව හැසිරවීම, යොදන සිංහල වචන, ව්‍යාකරණ භාවිතා නොකිරීම ගැන නොසෑහෙන තරමට මට උපදෙස් දෙන්න හදලා තියෙනවා. "මනුස්සයෝ, ඔහේ ගේ මේ ලිවීමේ හැකියාව සහ මේ වැඩේට ගත කරන කාලය මීට වඩා හොඳ ලිවීමේ කටයුත්තකට ගතකරන්න!" කියලායි පොර නිතරම මට කියන්නේ.

එකත් එකටම මගේ මිතුරිය ඊ-මේලයෙන් සඳහන් කලේ මේ යාළුවා ගැනය කියලා මට හිතුණා.

පස්සේ ආරංචි වුණු විදියට මගේ අනුමානය ටක්කෙටම හරි!

මේ කතාවේ අනිත් අතීත කෑල්ල මේකයි.

ගිය අවුරුද්දේ කතන්දර බ්ලොග් එකේ ගිය මටාටා ටිටා කතන්දරය කියවපු මගේ මේ යාළුවා මට මෙන්න මේ කවිය ලියලා එව්වා ඊ-මේලයකින්.

මේක පරණ සිංහල කවියක්.

       සුරාවේ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන මිතුරෝ මිසක්
නොබොන සුදණන් කෙසේ හඳුනත් ?

මං මොකද දන්නවද කළේ. ඒ එවපු කවිය මෙන්න මේ විදියට කරෙක්ට් කරලා යැව්වා හැරෙන ඊ-මේල් තැපෑලෙන් ආපහු යැව්වා.

       සුරාවේ රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන මිතුරන් මිසක්
නොබොන සුදණෝ කෙසේ හඳුනත් ?

ඒ මං යවපු ග්‍රැමර් කරෙක්ෂන් එක හින්දා ද මන්දා කලින් මිතුරා පස්සේ හිටපු මිතුරා වෙලා ඊටත් පස්සේ අද වෙනකොට මිතුරෙක් ද තරහකාරයෙක් ද කියලා හිතාගන්න අමාරුවෙලා තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
හිටපු මිතුරා මට ඔය හමුවීම වාර්තා කළේ මෙන්න මෙහෙමයි.

       කතන්දර,

මට ඔහේ ගේ බ්ලොග් එකේ පාඨකයෙක් මුණ ගැහුණා මේ ලඟදී කොළඹ තිබුණු සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී. ඒ ඇත්තී රාජ්‍ය සේවයේ ඉතා ලොකු නිලයක් දරණ කෙනෙක්.

දැන් ඉතිං කතන්දරට පුළුවන් ලියන්න තවත් කතාවක්, හොඳ උගත් ඉහල මට්ටමේ රාජ්‍ය නිලධාරිනියොත් කතන්දර බ්ලොග් එක කියවනවාය කියලා.

එහෙනං හිටපු මිතුරාණෙනි, මෙන්න ඒ ඉල්ලීම ඉටු කළා! (හිටපු මිතුරා කිව්වට කිසි තරහක් නෑ, මේ ඊයෙත් ෆෝන් කළා)

(image: http://www.coloring-pictures.net/drawings/Simpsons/Bart-and-his-friend-Milhouse.php)

Sunday, 5 February 2012

තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles


පහුගිය සිකුරාදා මං පල කළ ලව් එෆෙයාර් එකේ තුන්වැන්නා කියන පෝස්ට් එකට චන්දි දාලා තිබුණු කමෙන්ට් එකේ සඳහනක් තිබුණා දයාරත්න රණතුංග ගේ සුප්‍රසිද්ධ ලව් ට්‍රෑංගල් සින්දුව ගැන.

ඒ ගැන හිතන කොට මට තව සින්දු කීපයක්ම මතක් වුණා. අද මේ ලියන්නේ ඒ සින්දුවල පදමාලා දාන්නයි, මං බලපු යූ ටියුබ් ක්ලිප්වලට ලින්ක්ස් දෙන්නයි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් හින්දා වෙන වැඩි කතන්දරයක් නෑ!

1. මෙන්න පළමුවන ත්‍රිකෝණ ප්‍රේම ගීතය. මේක තමයි ඔරිජිනල් එක!

සමකෝණී ත්‍රිකෝණයකි - දයාරත්න රණතුංග
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි //
දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි //

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

සමච්ඡේදනය කරලා දෙන්නට බැහැ පෙම බෙදලා //
අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා //

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා //
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

මෙන්න යූ ටියුබ් ක්ලිප් එකක්.


2. මේ දෙවන සින්දුවෙනුත් කියවෙන්නේ තුන් කොන් ආදරයක් ගැනයි. එකම මලයි, බඹරු දෙන්නයි.

රන් කෙන්දෙන් බැඳ - නන්දා මාලිනී
පද රචනය -

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි
රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි

කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ කළුවර ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි

කණාටු සුළඟේ දුහුළු මලකි අද වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ

මෙන්න යූ ටියුබ් ලින්ක් එකක්. බලාගෙන යන කොට බච්චන් ලා, ඛාන්ලාත් සිංහල සින්දුවල පසුබිම් රංගන දෙනවනේ!




3. මෙන්න මට මතක් වුණු තුන්වෙනි සින්දුව.

වරදක් කළත් හිතකින් නොවේ - සනත් නන්දසිරි
පද රචනය - ප්‍රණීත් අභයසුන්දර

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ //
වෙනසක් නොවි මගෙ හිස් අතින් පිසළන්නේ කොයි කඳුළුදෝ

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදෝ

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක. හැබැයි මේකේ සනත් නන්දසිරි ගේ කටහඬ ටිකක් අප්සෙට්, නිකං කක්කි බර වෙලා වගෙයි සින්දුව කියන්නේ.



4. අන්තිමට මෙන්න ගුණදාස කපුගේ ගේ ක්ලැසික් එකක්.

ඔබ පෙම් කරනා - ගුණදාස කපුගේ
පද රචනය -

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරෙයි කියනා විලසින්
පෙර දවසක මා පෙම් කරනා සඳ මට ද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මට ද ආදරෙයි කියා තිබේ

සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය මටද ආදරෙයි කියා තිබේ

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී මටද ආදරෙයි කියා තිබේ

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



මේ ඉරිදා නිදහස් සුවයෙන් මේ සින්දු රස විඳින්න. ඊයේ නිදහස අදත් තියෙනවා නේද?

-කතන්දරකාරයා

ප/ලි:
තව ලව් ට්‍රෑන්ගල් සින්දු දන්නවා නං මතක් කරලා යන්න ප්ලීස්.

ප/ලි/ලි:
හරී ගේ ප්‍රශ්ණයට දැමූ උත්තරය
තුන් දෙනෙක් සම්බන්ධ නිසයි ත්‍රිකෝණයක් වෙන්නේ. විවිධ ප්‍රබේධ තියෙන්න පුළුවන්.

දයාරත්න ගේ සමකෝණී සින්දුවේත් කෙල්ලෝ දෙන්නා බයි-සෙක්ෂුවල් වෙලා දෙන්නා අතර ලෙස්බියන් සම්බන්ධයක් නොතිබුණොත් ත්‍රිකෝණයේ තුන්වන පාදය හැදෙන්නේ නෑ නේද?

එහෙම බැලුවොත් දයාරත්න ගේ සින්දුව ජ්‍යාමිතිකව වැරදියි. තුන්වන පාදය ගැණ නොකියවෙන නිසා!

Saturday, 4 February 2012

ආණ්ඩු විරෝධී බ්ලොග් ලියන්නන්ට අනතුරු හැඟවීමයි - ගුගල්කාරයෝ බ්ලොගර් පාවිච්චිකරන ආණ්ඩු විරෝධී බ්ලොගර්ස් ලා ව ආණ්ඩු මට්ටු කරන්නට සැරසෙති - Anti-Government bloggers be aware!


හොද වැඩේ!

ආණ්ඩු විරෝධී ලිපි ලියලා පල කරන්න ගුගල් ලා ගේ බ්ලොගර් සර්විස් එක පාවිච්චි කරන බ්ලොගර්ස් ලා ට කෙලවෙන්නයි යන්නේ.

අන්න ගූගල්කාරයෝ ආණ්ඩු විරෝධී බ්ලොග් ලිපි වාරණයක් දාන්න යනවා!

ආණ්ඩු විරෝධී ලිපිය ලියවෙන රටේ නීතියෙන් යම් බ්ලොග් එකක ලිපි තහනම් කළොත්, ඒ නීති පිළිපදිමින් ඒ රටේ ඉන්න උන්ට ඒ ලිපි නොපෙනෙන්න සෙට් කරන්නයි ගූගල් ලා හදන්නේ.

ට්විටර්කාරයෝ ඕක දැනටම කරනවා කියන්නේ.

මෙන්න මං බලපු නිව්ස්පේපර් කෑල්ල.



මෙතන තියෙනවා මුළු විස්තරයම.

http://www.dailymail.co.uk/sciencetech/article-2095328/Google-joins-Twitter-censorship-storm-Site-block-blog-posts-line-requests-repressive-governments.html

අර මාටින් නීමොලර් කිව්වා වගේ මට නං ඕක ප්‍රශ්ණයක් නෑ!

-කතන්දරකාරයා

ප/ලි
ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් වගේ අය හිටිය නං මේකේ ප්‍රායෝගිකත්වය අපිට බලා ගන්න තිබුණා!

ප/ප/ලි
මේ කතන්දරකාරයා ගේ සමාජමාමක, බ්ලොග්මාමක පෝස්ටුවකි. මේ වර්ගයේ තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තුවන්න.


(image: http://code.google.com/apis/blogger/)

Friday, 3 February 2012

ලව් එෆෙයාර් එකේ තුන්වැන්නා - The story of the third person


ඉස්සර තිබුණු වට්ටෝරුගත සිංහල වාණිජ චිත්‍රපටිවල කෙල්ලයි කොල්ලයි ගේ ලව් සීන් එකට අමතරව කොල්ලගේ සපෝටර් ගේ යි, කෙල්ලගේ සපෝටර් ගේ යි වෙනම ස්ටෝරියකුත් තියෙනවා.

ඒ කියන්නේ කොල්ලට විජේ අයියා සහ කෙල්ලට ගීතා ආන්ටි ඉන්න කොට කොල්ලගේ සපෝටර්ට ඉන්න ෆ්‍රෙඩී සිල්වාකාරයා, කෙල්ලගේ සපෝටර්ට ඉන්න අංශය එක්ක සෙට් වෙනවා.

කොටින්ම සමහර මූවීස්වල සපෝටර් ජෝඩුවේ ලව් සෝංග් කියනවත් එක්ක.

බොහොමයක් ප්‍රායෝගික කතාවල කෙල්ලට විතරයි මේ විදියට සපෝටර් කෙනෙක් ඕනෑ වෙන්නේ. ඒ ගෙදරට හොරෙන් කොල්ලා මුණ ගැහෙන්න යන කොට කියන බොරුවලට මැච් වෙන්නයි, තනි-නොතනියට යන්නයි. සමහරු මේ සපෝටර් ට තුන්වැන්නා කියලා කියනවා.

මගේ බ්ලොග් එකේ මුල් කාලයේ කතන්දරයක් ලියලා එවපු මනෝ එයාව හඳුන්වාගෙන තිබුණේ තුන්වැන්නී කියලයි.

ඒක වැරදියි! ඇත්තටම මනෝ ලියපු මුල් කතන්දරවල එයා සපෝටර් කෙනෙක්. තුන්වැන්නෙක් නෙමේ!

මගේ ඩෙෆිනිෂන් එක අනුව නම් තුන්වැන්නා (තුන්වැන්නී) කියන්න ඕනෑ දෙන්නෙක් අතර ලව් එකක්, ලව් ත්‍රිකෝණයක් කරන්න හදන පුද්ගලයාටයි.

ඒ කියන්නේ ලව් ස්ටෝරි එකේ කෙල්ල ගැන උනන්දුවක් තියෙන වෙන කොල්ලෙකුට හෝ කොල්ලා ගැන උනන්දුවක් තියෙන වෙන කෙල්ලෙකුට හෝ තමයි තුන්වැන්නා කියන්න පුළුවනි.
පැහැදිලියි නේද?

සමරිසි ආදර සම්බන්ධයක් නම් මේ තුන්වැන්නා/තුන්වැන්නී සීන් එක ඒ වගේ පැහැදිලිව විස්තර කරන එක මීට වඩා පොඩ්ඩක් විතර සංඛීර්ණයි.

ඒ කොයි හැටි වෙතත්, සමහර අවස්ථාවලදී හිතලා මතලා නොකලාට අපි දන්නේ නැතුවම තුන්වැන්නෝ වෙලා.

මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ දී ලියපු කෙටි කවි දෙකක්.

තුන්වැන්නෙකු ගේ කතාවක්

සිතුවමුත්
මා කුමාරයා යැයි
මගෙත් ඇයගෙත් පෙම් කතාවේ

මා ය අද
දුෂ්ඨයා සතුරා
ඇගෙත් ඔහුගෙත් පෙම් කතාවේ!


මෙන්න තව එකක්.

තුන්වැන්නෙකු ගේ ප්‍රකාශය

මට අහිමිවු සුව විඳිනා ඔබ ගැන
අහිතක් නැත මා සිත තුල කිසි කල
තනිවුණු අසරණ මා ගැන ඇතිවුණ
ආත්මානුකම්පාවක් මිස


-කතන්දරකාරයා

ප/ලි:
සමහර ලව්කතාවල තුන්වැන්නෙක් ඉන්න බව දන්නේ තුන්වැන්නා ම පමණයි! හික්ස්!!

(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)


(image: http://www.films.lk/)

Wednesday, 1 February 2012

හැම තිස්සෙම xxx වගේ අවංක මෝඩයෙක් වෙනවාද? නැත්තම් xx xxx වගේ අවස්ථානුකූලව කපටියෙක් වෙනවාද? - Is it worth being honest always?


මංතුමා නං හැම තිස්සෙම බලන්නේ අවංකව වැඩ කටයුතු කරන්නයි. හැබැයි අවංකව වැඩ කිරීමයි, අවංකව කතා කිරීමයි දෙකක් ය කියලා හිතෙන කේස් එකක් මේ ලඟදි දවසක සිදුවුණා.

මෙන්න ඒ සීන් එක.

ඔන්න අපේ යාළුවෙක් ඕගනයිස් කළා පොඩි පහේ විනෝද චාරිකාවක්. පික්නික් එකක් කියන්නත් පුළුවන්. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර සිංහල අවුරුදු නිවාඩුව කාලේ. කට්ටිය බත්, කිරිබත්, හොඳි මාළු පිණි, කැවිලි පෙවිලි හදාගෙන ගිහින් දවස් තුන්කාලක් විතර පොඩ්ඩක් විනෝද වෙලා, විශේෂයෙන්ම ඉස්කෝලේ නිවාඩු කාලේ පොඩි අයට සෙල්ලං කරන්න ඉඩ සලසලා දෙන්නයි මේකේ ප්‍රධාන අරමුණ වුනේ.

අපේ යාළුවා, සුමී කියමුකෝ, තමන් ගේ යාළුවන්ටයි, යාළුවන් ගේ යාළුවන්ටයි කතා කරලා තිබුණු නිසා අන්තිමේදී මෙතනට එදා පවුල් විස්සක් විතර එකතු වුණා.

මේ බොහෝ දෙනෙක් මං දන්න කියන අය. රත්නායක මහත්තයලාත් හිටියා ඒ අතර. ඒ එක්කම එදාම මුලින් මුණ ගැසුණු අයත් හිටියා පවුල් හය හතක්.

පික්නික් එක ඉවර වෙන වෙලාව වෙනකොට ඒ හැම දෙනා එක්කම කතා බහ කරළා අඳුණාගන්න ඉඩ ලැබුණා.

ඉතිං ඔහොම ටික දවසක් ගියාය කියමුකෝ.

ඔන්න එක්තරා හාවා හඳ දැකපු දවසක මං අල්ලපු ගමේ තියෙන අපේ පන්සලට ගිය වෙලේ අර පික්නික් එකේ දී මුලින්ම මුණ ගැහුණු එක පොරකුත් එතන හිටියා තව මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක කතා බහ කර කර.

සිල් දානෙ දෙන්නයි මං එදා පන්සල් ගිහින් හිටියේ. තව ටිකක් වෙලා තිබුණු හින්ද මාත් ගියා කෂ්ටිය කතා කරමින් හිටපු පැත්තට.

මුලින්ම මගේ පරණ පුරුදු යාළුවෙක් එක්ක ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්තා. පුතාගේ ශිෂ්‍යත්ව විභාගෙ කොහොමද? දුවගේ සාමාන්‍ය පෙළ විභාගෙ කොහොමද යනාදී වශයෙන්.

ඊලඟට ඔළුව හැරුණේ පික්නික් එකේ දී මුණ ගැහුණු පොර පැත්තටයි.

"ආ කොහොමද, මතකද මාව. එදා සුමී ගේ පික්නික් එකේ දී හම්බ වුණා නේද?" ඒ මම.

"මතකයි, මතකයි, කොහොමද තොරතුරු?" ඒ පොර.

ඔන්න ඔය වෙලාවෙදී තමයි මං අනවශ්‍ය පරිදි අවංක වුනේ.

"එදා කතා කළාට මට ඔහේ ගේ නම නං දැන් මතක නෑ මං කිව්වා. මගේ නම කතන්දර, මොකක්ද ඔයා ගේ නම කිව්වේ?" මං ඒ ඇහැව්වේ අවංකවමයි.

පොර මොකක්ද දන්නවද කළේ?

මගේ ඒ ප්‍රශ්ණේ ඇහුණේ නෑ වගේ ලඟ හිටපු වෙන එකෙක් එක්ක කතාවට පැටළුණා.

සමහර විට පොරට මදි කමක් වගේ වෙන්න ඇති මං පොර ගේ නම මතක නෑ කියලා ආපහු නම ඇහැව්වාම.

ඔය පන්සල් කේස් එකෙන් පස්සෙන් පහු එක දවසක කෝච්චියේ දී ත් මං පොරව දැකලා හිනා වෙන්න වගේ ගියත් මෙන්න බොලේ මූ මාව නොදැක්කා වගේ අහක බලා ගත්තා.

අනේ මට මොකද?

සමහර විට මං එදා පන්සලේදී නම අමතක කතාව නොකියා කතා කර කර ඉඳලා පස්සේ සුමීගෙන් නම අහගත්ත නං මේක වෙන්නේ නෑ.

ඒ මොනවා වුණත් මං තාමත් පොර ගේ නම දන්නේ නෑ. දැන් නං ඉතිං දැන ගන්න වැඩි ඕනෑ කමකුත් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මේක රමණී නෝනා ගේ හොඳ පාඩම් ඉගැන්වීමේ සිද්ධියට වඩා වෙනස් අවස්ථාවක්. මේ පොර මට දිනපතා වගේ හම්බ වෙන පොරක් නම් මාත් පස්සෙන් ගිහින් යාප්පුවෙන් යාප්පුවෙන් යාළු වෙන්න හදන්නත් ඉඩ තිබුණා.

මොකද මං කවදත් හොඳ වෙන්න උත්සාහ කරන පොරක් නේ!