Saturday 31 December 2011

ඒ-ලෙවල් ෆේල් වුණු මල්ලී ගේ කයි-කතන්දරවල අවසානය : End of a chapter!


ඔන්න කැම්පස් ඉන්න අයියා තමන්ගේ මල්ලී ඒ ලෙවල් වලට පාඩම් කරන හැටි දැකලා දුක හිතිලා මුලින්ම කවියක් ලිව්වා.

ඊට පස්සේ දෙවෙනි කවියකුත් ලිව්වා මල්ලී විභාගේ ෆේල් වුණාට පස්සේ. ඒ කවියේ අන්තර්ගත වුණු අදහසට දේශපාලනිකව විරුද්ධ වුණු අයියා ගේ බැචාලා දෙන්නෙකුත් ඔන්න කවි දෙකක්ම ලියලා පල කළා.

එකක් අයියාගෙන් මල්ලීට අවවාද සහිතව. අනික මල්ලීගෙන් අයියාට, අයියාගේ මෝඩ කතා වල වරද පෙන්නලා! ඒ කවි නං දැන් මට මතක නෑ.

මේ චැප්ටර් එක අවසාන කරමින් මෙන්න අයියා මල්ලී ට ලියපු අවසාන කවිය.

මල්ලී ට පිලිතුරු

මල්ලියේ
සත්‍යය යැයි දෙකක් ලොව නැත
දුක දුකමය
සැප සැපමය
වෙනස් කරන්නට බැහැ එය

උඹෙ අයියා
වැලි කතරක සිරවීලා
කෝස්වර්ක් ගිනිමැල මැද
දියහොදි ගල්බත් ගිලිමින්
දුක් විඳිනා බව ඇත්තයි

උඹෙ අයියා එක්ක ඉන්න
දහසක් වූ අනෙක් අයත්
වෙන ලෝකෙක නෙමේ ඉන්නේ
එකම ඉරක
එකම සඳක
සෙවනැලි යට

දුක කාටත් පොදු දෙයක් ය!

කම්මල් බිම ඉන්න අයත්
(අතලොස්සක පිරිසක් හැර)
ලෝකෙ ඉන්න ඉතුරු අයත්
දුක් විඳිනව
අයිය දනී
හොඳ හැටි එය

විභාගයෙන් අසමත් උඹ
දුකෙන් තැවෙන අතරතුරේ
උඹේ හිතේ දුක මකන්න
හිතාගෙනයි
ඒ විභාගෙ සමත් වෙච්ච
අයියා අද සිරගත වී
විඳිනා දුක් පැවසූයේ

සරසවි බිම හරි සොඳුරුය
සුරංගනා ලෝකයක්ය
සන්තෝසෙන් ඉන්න හැකිය
සිහින මවං මෙහේ ඇවිත්
බිඳුණු සිහින සුංබුං මැද
අතරමංවු උඹ දකින්න
උඹෙ අයියා කැමති නැතිය

දුක ඇති බව ඇත්තක් නම්
එය කියනා එක වැරදිද?
දුක හංගා බොරු ගොතලා
නුඹ රවටන එක හරි වෙද?

දෙවන වරත් උනන්දු වී
උත්සාහෙන් වැඩ කරපං
කම්මල් බිම දුක දැනගෙන
දුක් විඳින්න මෙහේ වරෙං


-කතන්දරකාරයා

ප/ලි:
මේ චැප්ටර් එක එතනින් ඉවරයි. හැබැයි කයි-කතන්දර නම් එතනින් ඉවර නෑ. සොරි ඩොට් කොම්!

ප/ප/ලි:
මේ කවි සේරම පලවුනේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

(image extracted from: http://youtu.be/YcGGYEM2gSA)

Friday 30 December 2011

මල්ලී උසස් පෙල විභාගේ ෆේල්! : Younger brother crashes A-Levels


කැම්පස් එකේ ඉගෙන ගන්න අයියා කෙනෙක් ඒ ලෙවල් විභාගේ කරන මල්ලී ට යවපු ලියුමක් ගැන මං දාපු කයි-කතන්දරේ මතකයි නේද?

ඉතිං ඔහොම ඔහොම ගිහින් මල්ලී විභාගේ කරලා, පස්සේ ප්‍රතිපල පිටවුණාම බැලින්නම් මෙන්න මූ විභාගේ ෆේල්. ඒ කියන්නේ කැම්පස් එක හතරමායිමක එන තත්වයක් නෑ ඒ ප්‍රතිපලවලින්.

ඒකෙන් වෙච්ච එකම ප්‍රයෝජනේ තමයි අයියාට තවත් කවියක් ලියන්න නිමිත්තක් ලැබීම.

මෙන්න එදා ලියපු ඒ කවිය!

පුංචි මල්ලියේ

වසර දෙකක් මහන්සී වී වැඩ කළාට විභාගයට
අසමත් වී දුකෙන් තැවෙන පුංචි මල්ලියේ
ඔය විභාගෙ පාස් වෙච්ච උඹේ එකම අයියණ්ඩී
දුක්වෙන හැටි නුඹ නොදනී පුංචි මල්ලියේ
දන්නව නං උඹ හිනැහෙයි පුංචි මල්ලියේ

ආංඩුවේ විභාගයෙන්
පාස් වෙලා දඬුමව ලෙස
කම්මල් බීම සිරගත වී දුක් විඳින්න සිදුවුණාය
කටුබැදදේ කටු ඇනේය
පේරදෙනිය මල් විමනකි
සිතුව නමුත් පතොක් පිරුණු වැලි කතරක හිරවුණාය
සීතල උදුවප් මාසෙක වසන්තයක් උදාවුනත්
සැමදාටම ජීවිතයට ගිම්හානය එළැඹුණාය
පළමු වසරෙ විභාගයත්
පෙර කරුමෙට සමත්වෙලා
තෙවසරකින් තව දුරටත් සිර දඬුවම දික් වුණාය

මෙහෙට එන්න තියෙන රුදුරු
තරගය හින්දා කවදත්
සරසවි බිම සුරපුරක්ය කියා සිතෙනවා
කම්මල් බිම වැලි කතරේ
කෝස්වර්ක් ගිනියම මැද
ඉන්නා විට අපාය දෝ සැක ඇති වෙනවා
දිය හොදි ගල් බත් ගිලින්න
පෝලිම්වල තෙරපෙද්දී
බණ පොත නොබැලුවට දුක්ක සත්‍ය හැඟෙනවා
ගෙදර යැම නිවන් මගයි
හොඳ හැටි වැටහී ඇතිමුත්
අබිනික්මන් කළ නොහැකිව බලා සිටිනවා

විභාගෙ අසමත් වුණාට
දුක් වෙන්නට දෙයක් නැතිය
අපායෙ දොරටුවය වැහුනෙ පුංචි මල්ලියේ
අයිය තරම් පූරුවෙ පව්
උඹ කරලා නැති හින්දා
සිනාවෙයන් සන්තෝසෙන් පුංචි මල්ලියේ
වාසනාව උඹ ගාවයි පුංචි මල්ලියේ!


-කතන්දරකාරයා

ප/ලි:
මේ කවියත් මං මුලින්ම පල කළේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ තමයි. පස්සේ මගේ හන්තානේ කඳු පාමුල කවි පොතට ඇතුලත් කළා.

වෙනදා වගේ නෙමේ මේ කවියට විරෝධය පලකරලා මගේ බැචාලා දෙන්නෙක්ම කවි ලියලා තිබුණා. ඒ දෙන්නාගේ විරෝධයට හේතුව වුණේ මං විශ්ව විද්‍යාලය ගැන වැරදි චිත්‍රයක් මවා පානවාය කියන එකයි.

සමහරවිට ඒකට හේතුව මේ දෙන්නා ගේ එවකට තිබුණු දේශපාලන අදහස් නිසා වෙන්න ඕනෑ.

ඒ කවි පන්ති දෙකෙන් එකක් අයියාගෙන් මල්ලීට. ඒකේ කියලා තිබුණේ මගේ මේ කවියට සහමුලින්ම විරුද්ධ අදහස්, ඒ කියන්නේ කැම්පස් එක අපූරු තැනක්, දුර්මුඛ නොවී කැම්පස් එන්න ට්‍රයි කරන්න කියලායි.

අනිත් කවිය මල්ලීගෙන් අයියාට. අයියාගේ ලිපියේ තියෙන මෝඩ අදහස්වල වැරදි පෙන්නලා.

මගේ දේශපාලන අදහස් වුනත් මේ බැචාලා දෙන්නාගේ දේශපාලනය අතින් මුලිකවම වෙනස් වූ ඒවා නෙමෙයි. ඒත් මට හිතෙන දේ ලියනවා මිසක් මං ප්‍රොපගැන්ඩා කරන එකෙක් නෙමේ.

ඉතිං මං කෙරුවේ තවත් කවියක් ලියලා ඊලඟ සතියේ කලා කවයේ බිත්ති පුවරුවේ පල කිරීමයි.

ඒ කවිය හෙට අනිද්දාට විතර දාන්නම්.

(image: http://gadflyzone.wordpress.com/2011/12/28/)

Wednesday 28 December 2011

ජොකා නිවරදිව ඇඳීමට තියොඩොලයිට්ටුවේ පිහිට - A Theodolite assisted method to correctly wear male underpants


කෙල්ලෝ ජංගි අඳිනවා වගේ නෙමේ කොල්ලෝ ජොකා අඳිනවා කියන්නේ පොඩි ආට් එකක් සහ සයන්ස් එකක් තියෙන ක්‍රියාවක්!

මොකද මූලිකව බැලුවොත් ජොකා අඳින්නේ ගොනා කානුවේ යන එක වලක්වා ගන්නනේ. දෙවෙනි හේතුව තමයි පරම්පරා කුට්ටම ආරක්‍ෂා කර ගන්න එක.

ඉතිං ඒ වැඩේ හරියට කෙරෙන්න නම් ඔය ජොකා ගේ හිල් දෙක අතරින් කකුල් දඬු දෙක දාලා ජොකා උඩට ඇද්දට පමණටම හරියන්නේ නෑ. ඉන් පෙර සහ ඉන් පසු නිවරදව කළ යුතු පොඩි පොඩි ඇජස්ට්මන්ට් තියෙනවා!

මේ කලාව සහ විද්‍යාව නිවරදිව ප්‍රගුණ කළ කෙනෙක් තමයි මගේ බැචා සහම්පති ජයසූරිය.

සහම්පතියා වුනත් ඒ ඇජස්ට්මන්ට්ස් සහිතව නිවරදිව ජොකා අඳින ක්‍රමවේදය හරියම විද්‍යාත්මකව සහ කලාත්මකව වැඩි දියුණු කරලා ගත්තේ පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලේ දී යි.

තවත් පැහැදිලිව කියනවා නම් මේ සඳහා සහම්පතිට ගුරු හුරුකම් සැපයුනේ අපේ පළමු වසරේ විෂයයක් වුනු සර්වෙයින් හෙවත් බිම් මිනුම් ශිල්පය ඉගෙන ගන්න අපි භාවිතා කරපු තියොඩොලයිට්ටුවෙනුයි.

දැන් නං කොහොමද දන්නේ නෑ, අපේ කාලේ දී නං පස්සෙන් පහු මිකැනිකල්, කෙමිකල්, ඉලෙක්ට්‍රිකල්, ට්‍රොනික්ස් තියා මොන මගුල කරන්න හිතේ තිබුණත් ෆර්ස්ට් ඉයර් එකේදී අනිවාර්යෙන්ම සර්වේයින් ඉගෙන ගන්න ඕනෑ.

සර්වේයින්වල මුලින්ම තිබුණේ දම්වැල් මිනුම හෙවත් චේන් සර්වේයින්. ඊලඟට ආවේ ලෙවලින්. එකෙනුත් පස්සේ තමයි අපි තියොඩොලයිට්ටුව පාවිච්චි කරන්න පටන් ගත්තේ. තියොඩොලයිට්ටුවයි, ට්‍රයිපොඩ් එකයි, අනිත් පොලු ටිකයි, පෙග්ස් ටිකයි සහ මිටියයි කර ගහගෙන ගිනි කාෂ්ඨක දවල් වරුවේ කැම්පස් එකේ හතර කොනේ කරක් ගහන එකත් ජොලි වැඩේ ඒ දවස්වල.

තියොඩොලයිට්ටුවක් පාවිච්චි කරන්න කලින් ඒක හරියට ලෙවල් කරගන්න ඕනෑ. අපේ කාලේ තිබුණු මිකැනිකල් තියොඩොලයිට්ටු හරියට ලෙවල් කරගන්න අනුගමනය කළ යුතු එක්තරා ක්‍රියා පටිපාටියක් තිබුණා.

ඒක 100%ක් නිවරදිව කියන්න මගේ මතකයේ නෑ. නමුත් මෙන්න අපිට කියා දීලා තිබුණු ක්‍රමවේදයේ තිබුණේ එක පැත්තක් ලෙවල් කරලා, අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරලා, ආපසු අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරනවා වගේ පියවර ගණනාවකින් කළ යුතු සංඛීර්ණ කතාවක්.

දැන් මෙන්න ඒ විද්‍යාත්මක ක්‍රමය අනුසාරයෙන් අපේ සහම්පතියා විසින් මූලිකව සකසා, අත්හදා බලා, ෆයින් ටියුනින් මගින් වැඩි දියුණු කර ඉදිරිපත් කරන ලද ජොකා ඇඳීමේ ක්‍රමවේදය.

පෙර සැකසුම්
  1. ඔබේ අදාල අවයව නිසි පරිදි නිව්ටන් ගේ දෙවන ගුරුත්වාකර්ෂණ නියමයට අදාලව තිබේදැයි බලන්න.
    (නොදන්නා අයගේ දැනගැනීම පිණිස ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් ගේ දෙවෙනි නියමය මෙසේය. ඕල් හැන්ගින් තින්ග්ස් මස්ට් බී වර්ටිකල් - All hanging things must be vertical)
  2. එසේ ඇතිනම් සාමාන්‍ය පරිදි ජොකා අඳින්න.
  3. එසේ නැතහොත් ඒවා අදාල නියමයට අනුව සකසා ගන්න. ඉන්පසු ජොකා අඳින්න.

පසු සැකසුම්
  1. ජොකා ඇඳි පසු තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  2. දැන් අංශක 90ක් හැරෙන්න.
  3. පෙර පරිදිම තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  4. වහාම අංශක 180ක් හැරෙන්න.
  5. තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  6. දැන් උපකරණ නිසි පරිදි සමතුලිතව තිබේ දැයි පිරික්සා බලන්න.
  7. එසේ නොමැති නම් ඉහත අංක 1 පියවරට යන්න.
  8. නිවරදිව සමතුලිත වී ඇති නම් පසු සැකසුම් අවසානයි. දැන් කලිසම අඳින්න.

මුලින් ජොකා ඇඳ පසුව ඊට උඩින් කලිසම ඇඳීමෙන් පසුවද ඉහත පසු සැකසුම් ක්‍රියාවලිය අනුගමනය කළ හැක.

අත්දුටුවයි! සත්තයි!!

-කතන්දරකාරයා

ප/ලි
එනි සිස්ටම් කැන් බී ටියුන්ඩ් (Any system can be tuned) කියලා කියනවානේ. ඇත්තම කියනවා නං මාත් මුල් "සහම්පති මෙතඩ්" එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා හැඩ වැඩ දාලායි මේ ලිව්වේ!

ප/ප/ලි
කාට හරි පුලුවන්ද මේකට විසියෝ වගේ එකකින් ෆ්ලෝ චාට් එකක් ඇඳලා එවන්න?

සිතුවම් නම් එපෝ!

Monday 26 December 2011

සුනාමියෙන් මියගිය අම්මෙක් වෙනුවෙන් ලියූවකි - Dedicated all lives lost in 2004 Tsunami


මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.

අද හත් වසරකට පසු ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.

සුනාමියෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා, සුගතියට පත්වේවා!

අම්මා

නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට එදා මෙන් අදත්
එලිය ගෙනෙනවාදෝ අම්මේ

රැජිනක් ලෙස මා කිරුළු පලන්දා
අපමන දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට ඇයිදෝ මන්දා

රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
අම්මේ කොතැනක හෝ සංසාරේ
ඔබේම දුව ලෙස යලි හමු වෙන්නම්


-කතන්දරකාරයා

ප/ලි
අම්මා ගැන ලියවුණු මේ ගීතය කෙදිනක හෝ දුවගේ හඬින් ගැයේවි.

(image: http://nanobaru.blogspot.com/)

Sunday 25 December 2011

ආත්මාර්ථකාමීව හොඳ ළමයෙක් වෙන්න හිතන්න නම් එපා! අනෙක් අය ගැනත් හිතලා නරක ළමයෙක් වෙන්න!! - Think about others and be a bad person!!!


ඔන්න එක තාත්තා කෙනෙක් පුංචි පුතෙකුට දීලා තියෙනවා පුංචි කෑලිවලට කපපු ලෝක සිතියමක් කෑලි හරියට තියලා හරිගස්සන්න. අර ජිග්සෝ කියන්නේ.

ඉතිං පුතා පැයක් විතර ට්‍රයි කරලා තියෙනවා, හැබැයි හදාගන්න බැරිවෙලා. මොකද මෙයා තාම පොඩි ළමයෙක් නේ, ලෝකේ ගැන හරි අවබෝධයක් නෑ.

අන්තිමේදී මේ කෑලි එහෙට විසි කරන කොට කොල්ලා දැකලා තියෙනවා, ලෝක සිතියම එහා පැත්තේ මිනිහෙක් ගේ පින්තුරයක් තියෙන බව.

ඉතිං මේ පුතා කරලා තියෙන්නේ තමන් දන්න මිනිස් රූපය හරියට කෑලි ගලපලා හදන එකයි.

තාත්තා ආපහු ඇවිත් බලන කොට පුතා ලෝක සිතියමේ ජිග් සෝ එක හදලා. තාත්තාට හරි සතුටුයි.

"පුතේ ඔයාට අමාරු වුනාද ලෝක සිතියම හදන්න?"

පුතා තාම පොඩි එකානේ බොරු කියන්න දන්නේ නෑ.

"මුලදී අමාරු වුනා තාත්තේ, පස්සේ මං දැක්කා අර අනිත් පැත්තේ තියෙන මිනිහා ගේ රූපේ. ඉතිං මං මිනිහාව හැදුවාම ලෝකේ ඉබේම හරියට හැදුණා!"

තාත්තාට දැන් තවත් සතුටුයි.

"ආන්න බලන්න පුතා, මිනිහා හැදුණාම මුලු ලෝකෙම හැදෙන හැටි. අපි එකිනෙක්කෙනා හොඳ වුණොත් මුළු ලෝකෙම හොඳම හොඳ තැනක් වෙනවා!"

තාත්තා කතාව අවසාන කළා.

නිමි?

අපෝ නෑ, නිමි නෑ!

දැන් බලමු මේකේ ප්‍රායෝගික තත්වය.

ලංකාවේ හැමෝම හොඳ වුනාය කියලා හිතන්න.

දැන් කවුරුත් වැරදි කරන්නේ නෑ. හොරකම්, අඬ දබර, මීනී මැරීම්, දුෂණ, චංචා, අල්ලස්, කුඩු, ගංජා, හොර මත්පැන්, ගණිකා නිවාස සේරම නැතිවෙනවා.

ඔන්න ඉස්සෙල්ලාම පොලීසියේ සෑහෙන දෙනෙකුට ජොබ් නැතිවෙනවා. නැත්තං ඒ ගොල්ලන්ව එලෝළු විකුණන්නවත් දාන්න වෙනවා.

කංසා වවලා, ඒවා ප්‍රවාහනය කරලා, බෙදා හැරලා කී දෙනෙක් ජීවත්වෙනවාද? ඒ හැමෝටම ජොබ් නැති වෙනවා!

ගණිකා නිවාසවල වැඩ කරන ගෑණුන්ට ජොබ් නැතිවෙලා ගෙදර නතරවෙන්න වෙනවා. පිම්පියෝත් බර ගාණක් රැකියා විරහිත වෙනවා. ඇයි එතකොට වීලර් එලවන අය?

ලංකාවේ දවසකට ගබ්සා දාස් ගාණක් කෙරෙනවා කියනවානේ. ඒ සේරම තැන්වල වැඩ කරන දොස්තරලා, ක්වැක්ස් ලා, නර්ස්ලා හැමෝටම ජොබ් නැති වෙනවා.

ඇයි එතකොට ලෝයර්ස් ලා, නඩුකාරයෝ, ජේලර්ලා. අනේ පවු, ඒ ගොල්ලන්ගේ බඩ ගෝස්තරේටත් කෙලින්ම පහර වදිනවා.

ස්වර්ණවාහීනී, සිරස වගේ තැන්වල වැඩකරන අයටත් හුලං තමයි!

ඇයි, බැලුම්ගල? ඒ වෙනුවට මුවන්පැලැස්ස, මොනරතැන්න, වජිරා, ලන්දේසි දූපත, හන්දියෙ ගෙදර, ගුවන් විදුලි රඟමඩල රිපීට් බ්‍රෝඩ්කාස්ට් දාන්න වෙනවා.

දැන් ඉතිං මේ අනුව අපේ දේශපාළුවෝ සහ නිලධාරීයොත් සේරම මිස්ටර් ක්ලීන් ලා වෙලානේ. ලංකාඊනිවුස්, ලංකානිවුස්වෙබ් වගේ ඒවා එක්කෝ වහලා දාන්න වෙනවා. නැත්තම් ඒ ගොල්ලන්ටත් වෙන්නේ නිකං පරණ කතන්දර ලියන්නයි.

කැරෝකි ක්ලබ්, නයිට් ක්ලබ්, පිටරට යුනිවසිටිවලට සිසුන් බඳවා ගන්නා තැන් වගේ සුළු පරිමානයේ බිස්නස්වලටත් පහර වදී නේද?

අනේ මන්දා, මේ සේරගෙන්ම වෙන්නේ රටේ ආර්ථිකය කඩන් වැටිලා රට ප්‍රපාතයට යන එකයි!

මෙහෙම බලාගෙන යනකොට අපි හොඳ ළමයි වෙන එක හරිම ආත්මාර්ථකාමී වැඩක් නේද?

පරාර්ථකාමී වෙන්න ළමයිනේ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙහෙම කිව්වට මාත් හැම තිස්සෙම හොඳ වෙන්න බලන පොරක්!

ප/ප/ලි
සැමට ජොලි ගුඩ් නත්තලක් වේවා!

http://acliltoclimb.blogspot.com/2010/03/capitals-of-world-online-quiz.html)

Friday 23 December 2011

අනිච්ඡාවත සංඛාරා! - A pre-defined ending


මේක බණ කතාවක් නෙමේ. අර අපි කවුරු කවුරුත් දන්න උලව් ලව් මල ඉලව් ගැන කයි-කතන්දරයක්!

අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නෑනේ, අනියත බව කියවෙන අනිච්ඡාවත සංඛාරා ගාථාව අපිට මතක්වෙන්නේ මෙලොව පවතින දෙයක් නැත්තටම නැතිවෙලා ගියාමයි. විශේෂයෙන්ම මරණ.

ඇතිවීම නැතිවීම සහ අනිත්‍යය ගැන කියනවා නම් මිනිස් සත්ව ජීවිත වගේම තවත් මේ ලෝක ධර්මයට අනුකූලව පවතින දෙයක් තමයි ආදර සම්බන්ධතා ඒ කියන්නේ ලව් සීන්.

ඕවාත් ඇතිවෙනවා, නැතිවෙනවා. ඒ තමා සාමාන්‍ය තත්වය. නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!

ඔය වගේ වෙලාවලට සමහරු මනෝ ගහනවා. සමහරු ඩිප ගහනවා. සමහරු සයිකෝ ගහනවා. තවත් සමහරු කවි ලියනවා.

මෙන්න මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු කවියක්.

අනිවාර්ය අවසානය

පැතුවාද සිත එක් දිනක
එක් වී සැමදා සිටින්නට
වැට්කොල් මලක ඇමිණි
නිල් කට්රොල් මලක් සේ?

හැඬුවාද සිත එක් දිනක
නොහැකිව තවත් ඉවසන්නට
සෙනෙහසේ පුෂ්පයන් පරවී
ලොව රුදුරු කතරක් වූ පසු?

පැතුවාද සිත එක් දිනක
එකම එක පැතුමක්
අනිත්‍ය ලොව එකම සැනසුම
ආදරයේ සුව දැනුනු දින?

හැඬුවාද හද එක් දිනක
පැතුම් සුන් වී ගොසින්
සුසුම් හිමිවුණු පසුව
කඳුළු දායාද කොට?


මේ කවියත් මුලින් ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පල කරලා (හරිම ලේසියි ඒ වැඩේ. මොකද, මං තමයි ඒ දවස්වල කලා කවයේ සංස්කාරක!) පස්සේ මගේ පස්වෙනි කාව්‍ය නිර්මාණ එකතුව වන "හන්තානේ කඳු පාමුල" පොතට ඇතුලත් කළා (ඒකත් හරිම ලේසි වැඩක්, මොකද ඔය පොත් සේරම පළ කළේ හස්තද්වාරයෙන් මිස මුද්‍රණද්වාරයෙන් නෙමෙයි!).

-කතන්දරකාරයා

ප/ලි:
අද බලන කොට තමයි තේරුනේ මේ කවියේ ප්‍රශ්ණාවලියක් මිස ඒ එකකටවත් විසඳුමක් නම් නැති බව! හරිම යතාර්ථවාදී නේද?

(image: http://psychcentral.com/blog/archives/2011/02/18/10-tips-to-mend-a-broken-heart/)

Thursday 22 December 2011

අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea


මේ අංකල් කාල් කියන්නේ කාලෝ ෆොන්සේකා සීයට ය කියල හිතන්න නම් එපා. එකක් මෙයා කාල්, කාලෝ නෙමේ. අනික මෙයා අංකල් කෙනෙක්.

අංකල් කාල් ගේ නම ඇත්තටම කාල් නෙමේ කළ්‍යාණරත්න. සමහරු ලේසියට කළ්‍යාණ කිව්වා. පස්සේ අංකල් ම කාල් කියලා නම හදාගත්තා. අර කටුබැද්දේ ප්‍රොෆෙක් හිටියේ ඇත්ත නම සමරසිංහ වගේ එකක් වුණාට සෑම් කියලා හඳුන්වන, අන්න ඒ වගේ තමයි කළ්‍යාණරත්න කාල් වුනේ.

අංකල් කාල් ගේ වැඩ නීට්. නිකං සුද්දා වගේ තමයි. අනික පොර තීරණ ගන්න බය නෑ. ඉතාමත් අවදානම් තීරණ ගන්නවා ඉතාමත්ම ක්‍ෂණිකව. වැඩේ කියන්නේ බය නැති මිනිහට යක්කුත් බයයි වගේ, අංකල්ට ලේසියෙන් වරදින්නේ නෑ.

මං කියන්න ගිය කතාවට එන්න කලින් අංකල් කාල් ගේ චරිතය අඳුණාගන්න පොඩි උදාහරණයක් කියන්නම්.

ඔන්න අංකල් එක දවසක් ගමණක් යනකොට දැකලා තියෙනවා පොඩි ඉඩං කෑල්ලක් තියෙනවා තීරුවක් වගේ. මේක දැක්ක ගමන්ම පොරට හිතිලා තියෙන්නේ ගෙයක් හදන්න නම් අපූරු තැන කියලායි.

ඒ මොහොතේම හොයලා අයිතිකාරයාව ඉඩම සල්ලිවලට ගන්න කතා කරලා. බැලින්නම් පර්චස් තිහක්. ගානත් සැරයි මේ පැත්තේ. අනික එච්චර ලොකු ඉඩමක් වැඩකුත් නෑ ගෙයක් හදන්න. හැබැයි අනික අයිතිකාරයා මුළු ඉඩම ම මිස පර්චස් දහයක කෑල්ලක් විකුණන්න කැමති වෙලා නෑ.

අංකල් කාල් ඉතිං එහෙම ලේසියෙන් අතාරින පොරක් නෙමේ. කිව්වොත් කෙරුවා. කිව්කේ-QK!

පොර කළේ කිසි බයක් නැතුව මුළු ඉඩමම ගන්න පොරොන්දු වෙලා අයිතිකාරයාට සෑහෙන ඇඩ්වාන්ස් එකකුත් දීලා ආවා. සති දෙකකින් ඉඩම ගත්තා. හැබැයි, ඒ වෙනකොට ඉඩම කෑලි තුනකට කඩලා, ඉතුරු කෑලි දෙක ගන්නත් දෙන්නෙක් සෙට් කර ගන්න අංකල් කාල් ට පුළුවන් වුණා.

අංකල් කාල් ගේ නිර්භීත වැඩ ගැන ඔය වගේ කතා ගොඩයි. ඒව පස්සට. මෙන්න දැන් තේ හදපු කතාව.

ලඟදි දවසක අංකල් කාල් ලෑ ගෙදර ඇවිත් තියෙනවා යාළුවෝ දහ දොලොස් දෙනෙක්. පොඩි රැස්වීමකට. අංකල් කාල් තමයි මේ ගමේ අන්න්‍යොධාර සංගමයේ භාණ්ඩාගාරික. ඉතිං මාසේ රැස්වීම් තියෙන්නේ අංකල් කාල් ලා ගේ ගෙදරයි.

රැස්වීම අවසානයේ ඔන්න තේ බොන වෙලාව ආවා. කට්ටිය බිස්කට් කෙසෙල් කකා ඉන්න අතරේ අංකල් කාල් තේ හදන්න පටන් ගත්තා.

කොමිටියේ කට්ටිය බහුතරයක් අංකල් කාල්ටත් වඩා නීති කාරයෝ. සමහරු තේ බොන්නේ. සමහරු කෝපි බොන්නේ. සමහරුන්ට කිරි එපා. සමහරු සීනි රහිත. සමහරු හැඳි බාගයයි. සමහරු හැන්දයි. අනෙත් අය සාමාන්‍ය ප්‍රමාණයට (ඒ කියන්නේ හැඳි දෙකයි!).

අංකල් කාල් මේ දහ දෙනා ගාවටම ගිහින් ඒ ඒ අයගේ අවශ්‍යතා අහගත්තා. නිකං නෙමේ ෆුල් ඩීටේල්ස් එක්ක.

"තේ ද, කෝපි ද?
කිරි එක්කද, කිරි නැතුවද?
සීනි කොහොමද?"

කුස්සියට ගියා. ටිකකින් ලොකු බන්දේසියක් අරං ආවා තේ කෝපි දාපු කෝප්ප පුරෝගෙන. එක එක්කෙනා ගාවට ගිහින් ආ ඔහේට මේ කෝප්පේ, ඔහේට මේ කෝප්පේ කිය කියා බෙදා ගෙන ගියා.

හැමෝම තේ, කෝපි බීලා සතුටින් විසිරී ගියා.

අංකල් ගේ වීර ක්‍රියාව දැකපු එදා එතන හිටපු අපේ සාමා නෝනා ට හරිම පුදුම හිතිලා. එයා ඕක මතක තියාගෙන ඉඳලා පස්සේ වෙලාවක අංකල් කාල් ගෙන් අහලා තියෙනවා.

මෙන්න අංකල් කාල් ගේ ක්‍රමවේදය අංකල් ගේ වචනවලින් ම.

"මෙහෙමයි සාමා. ඔතන තේ, කෝපි, කිරි එක්ක, කිරි නැතුව, සීනි නැතුව, සීනි හැඳි බාගේ, හැන්දේ, දෙකේ වගේ ඔප්ෂන්ස් එක්ක කම්බිනේෂන්ස් දාසයක් තියෙනවා. නමුත් අපේ බහුතරය බොන්නේ කිරි තේ. මට මතක තියාගන්න තියෙන්නේ කෝපි බොන දෙතුන් දෙනාවයි, කිරි නැති තේ බොන දෙතුන් දෙනාවයි විතරයි. ඕක සිම්පල් වැඩක්."

"එතකොට අංකල් සීනි හැඳි බාගේ, එකේ, දෙකේ කතා?"

"කවුද සාමා ඕවා ගැන වොරි වෙන්නේ? මං කරන්නේ හැම තේ එකකටම සීනි හැන්දක් දානවා. කෝපි වලට සාමාන්‍යයෙන් එකාමාරක් දානවා."

"එතකොට?"

"මොකුත් වෙනසක් නෑ. ඔය සීනි එක එක ගාන ඉල්ලුවාට ඔය කවුරුත් තේ එක බොනකොට ඒකේ සීනි කොච්චරක් තියෙනවාද කියලා හිතන්නේ නෑ!"

-කතන්දරකාරයා

ප/ලි:
හොඳ වෙලාවට අංකල් ගේ සමිතියේ කවුරුවත් නෑ අර අපේ සමහර මල්කාරයින් වගේ වැඩි සීනි ප්ලේන් ටී අවශ්‍ය අය!

(image: http://www.toxel.com/inspiration/2009/11/10/14-cool-tea-and-coffee-mugs/)

Tuesday 20 December 2011

කකා ට ඇස්වහද, කටවහද, සිත්වහද? Poor Kathandarakaraya bed-ridden


දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි 2,000 විතර තියෙනවාය කියලයි සංඛ්‍යාලේඛන පෙන්නන්නේ. පාසල් යන, කැම්පස් ඉන්න අය විතරක් නෙමේ පැන්ෂන් ගත්තු අයත් තම තම හැකි පමණින් මේ බ්ලොග් කර්වත්‍යයේ නියලිලා ඉන්නවා.

මං උසස් පෙළ කරපු ඉස්කෝලේ තිබුණු විසි තිස් ගානක් සංගම්වල වැඩ විවේවනය කරන්න සංගමයක් හදන්න යෝජනා කරපු "විවේචන ජිනසේන" ගුරුවරයා කොල්ලන් ගේ සරදමට අහුවුනත්, ඔය විවේචනය නැත්තම් විචාරය කියන එක මේ වගේ තැන්වලට අත්‍යවශ්‍යම දෙයක්. කතන්දර බ්ලොග් එකේත් වෙන වැරදි හදාගන්නේ ඒ වගේ කෙරෙන විවේචන වලින් තමයි.

උදාහරණයකට වගේ ඉස්සර අම්බානකට "නාසිසිස්ටික් පොරක්" වුණු මංතුමා දැන් බලන්නකෝ නිකං "ඩවුන්-ටු-අර්ත්" ක්‍ෂුද්‍ර ජීවියෙක් වගේ ඉන්න විදිහ විතරක්!

ඒකේ මුළු ප්‍රසංශාව යන්නේ අපේ ඇනෝවාලටයි.

බ්ලොග් ගැන විවේචනය කරන්නම වගේ වෙන්වුණු බ්ලොග් පවා සිංහල බ්ලොග් අවකාශයේ බිහිවුණා. ඒ මුල් අවදියේ තිබුණු සමහර බ්ලොග් දැන් නිහඬවෙලා. සමහර ඒවා ලත් තැනම ලොප් වුණා!

කාලයක් හොඳින් ක්‍රියාත්මකව තිබිලා, ටික කාලයක් තරමක් නිහඬව ඉදලා, දැන් මේ ලඟදී ඉඳලා පිට පිට ලිපි දාන මේ වගේ විවේචක බ්ලොග් එකක් තමයි ඇනෝනිමස් ආතල්.

ඇනෝනිමස් ආතල් එකට ලියන අයගේ ලිපිවල බ්ලොග්වල අන්තර්ගතය ගැන සරදම් වගේම බ්ලොග්කාරයින් ගේ චරිත ගැන මඩ ගැසීම් සිදුවුණා. මේ වගේ ලිපි දෙකතුනක් යන අතරේ මොන පාරුවේ පුවක් කේස් එකකටද මන්දා සමහරු හිතන්න පටන් ගත්තා මේ ලිපි ලියන්නේ කතන්දරකාරයාය කියලා.

මාරයාට මඩ ගෝණියක් ගැසූ පොරමඩලාව නමැති ලිපියේ වැඩසටහනක් මෙහෙයවන්නාට කතන්දරකාරයා චරිතය යොදා ගැනීමත් මේකට එක හේතුවක් වගෙයි පෙණුනේ.

මේ පහුගිය සතියේ ඇනෝනිමස් බ්ලොගයේ ගිය පෝස්ට් එකකින් 2011 සිංහල බ්ලොග් කක්කා සම්මාන උළෙල ගැන විස්තරයක් ලියවිලා තිබුණා. මේ ලිපියට අනුව, වසරේ හොඳම ජොකා පෝස්ටය සඳහා සම්මානය සහ වසරේ හොඳම බ්ලොගය සඳහා වූ 2011 කක්කා සම්මානය හිමිවෙලා තිබුණේ මංතුමාටයි.

මේක කියවපු කීප දෙනෙකුත් ඇනෝනිමස් ආතල් ලියන්නේ කතන්දරකාරයාය කියලා ආයේමත් වරදවා වටහා ගෙන තිබුණා.

එක්කෝ ඒ වරද හරිගස්සන්න, එහෙම නැත්තම් ඒකට තවත් පෝර දාන්න හිතාගෙනද කොහෙද ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඊලඟට පලවුනේ මාව මුරුංගා අත්තේ තියන ආකාරයේ ලිපියක්.

කතන්දරකාරයා ගේ භූමිකාව කියන මේ පෝස්ට් එකේ මාතෘකාව වගේම ඇතුලේ ලින්ක්ස් දාලා තිබුණේත් කතන්දර ස්ටයිල් එක සිහිපත් කරවමිනුයි. ඒකේ මං ගැන කරලා තිබුණු වර්ණනා දැක්කම, මට මං ගැනම පොඩි පහේ ඔරිජිනල් නාසිසිස්ටික් හැඟීමකුත් ඇතිවුණා, කොටින්ම.

ඔය කියන ලිපිය පලවුනේ සෙනසුරාදා.

ඕක කියවලා නින්දට එදා ගිය මට, පහුවදා, ඒ කියන්නේ ඉරිදා, උදේ ඇඳෙන් නැගිටගන්න බැරිවුණා. අමාරුවෙන් නැගිටලා, ශරීරකෘත්‍යයන් සිදුකරළා ආපහු ගිහින් ඇඳට වැටුණා.

මුළු ඉරිදා දවසම නාස්තිවෙලා ගියා. ලියලා තිබුණු "සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා" පෝස්ට් එක පලකරන්නවත් පණ තිබුනේ නෑ.

කීප දෙනෙක්ම කිව්වේ මේකට හේතුව ඇනෝනිමස් ආතල් ලිපිය බලපු පාඨකයින් ගේ "ඇස්වහ-කටවහ" හින්දා තමයි මට මේ නස්පැත්තිය වුනේ කියලයි.

"ඇස්වහ" කියන්නේ යම් දෙයක සුන්දරත්වය ඇසින් දැකීම නිසා සිදුවෙනවාය කියන වස්වැදීම් වලටයි.

"කටවහ" කියන්නේ ලා ඒ ගැන කතාකිරීම නිසා සිදුවන වස් වැදීම් වලටයි.

නමුත් ඉතිං, සයිබර් අවකාශයට "ඇස්වහ-කටවහ" කියන සංකල්ප ඒ ආකාරයට ගැලපෙන්නේ නැති නිසා මේ තත්වය විස්තර කරන්න වඩාත් යෝග්‍ය වචනය "සිත්වහ" කියලයි මට හිතෙන්නේ.

ඉතිං මේ "සිත්වහ" කියන අළුත් වචනය සිංහල භාෂාවට එකතුවීම ඇරුණාම තවත් හොඳ දෙයක් වුණා මේ අකරතැබ්බය නිසා.

ඒක තමයි අසනීපව සිටි මට හාමිනේ හදපු චීන ක්‍රමයේ ලෙඩ කෑම, ඇඳටම ලැබීම. මේ තියෙන්නේ ඒකේ ෆොටෝ එකක්. කන්ජි ක්‍රමයට බෙරිබත් සහ එලවලු.


දැන් නං ඉතිං ටික ටික සනීපයි.

-කතන්දරකාරයා

ප/ලි:
මට අසනීප වුනේ ටිටාටා මටා සිද්ධියක් නිසාය කියලා කටකතාවක් කීප දෙනෙක් මේ බ්ලොග් එක හරහා පතුරවන බව පේනවා.

ඒ කට කතාවල කිසිම අසත්‍යයක් නැති බව කරුණාවෙන් සලකන්න.

(image: http://www.micheleyounglive.com/masks2.htm)

Monday 19 December 2011

උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි? :: Alcoholic Anonymous


මං කාලෙකට කලින් කතන්දරයකට දාපු මටාටා ටිටා කියන මාතෘකාව සමහර අයට තේරුණේ නෑ. ඒ සමහර විට ඒ ගොල්ලෝ ටිටාටා මටා නිසා වෙන්න ඇති!

ඒ කොහොම වෙතත් සුරාව, රහමෙර, මත්පැන් කියන වචන සෙට් එකෙන් හැඳින්වෙන ඇල්කොහොල් කියන්නේ නම් වැඩිපුර ආශ්‍රයට හොඳ බඩුවක් නං නෙවෙයි. අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ.

අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන්නේ සුරාමේරය මද පමණින් විතරක් පාවිච්චි කරන්න ඕනෑ එකක් කියලනේ! (බුදු අම්මෝ, දැන් මෙතන අර එදා දතේ පන්සලේ කතාව වගේ සීන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා).

සමහරු බොන්න ගියාම පිස්සෝ වගේ බොනවා. පොඩ්ඩක් සිප් කර කර, රටකජු ඇටයක් හප හප වැඩේ ඇන්ජෝයි කිරීමක් නෑ. කට කපලා දා ගත්තා, දීලා ඇද්දා නිකං මස්ත බාල්දුවෙලා යන්නම. හරියට අපායට හෙණ ගහනවා වාගේ.

අනිත් එක බොන වෙලාව.

සමහර බොනපාට්ලා මේ අපි වගේ කෑමට පෙර, කෑමට පසු, යාළුවෙක් සෙට් වුණාම, සිකුරාදාට, වීක් එන්ඩ් එකට, අහවල් එකේ සංවත්සරේට, අහවල් එක සමරන්න, දුකට, සතුටට වගේ හේතු කාරණා සෙට් වෙනකං ඉන්නේ නෑ. සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා, සති අන්තයේ සෙනසුරාදා සිට ඉරිදා දක්වා, දවසේ උදේ දහයේ සිට පාන්දර දෙක දක්වා, හිටගෙන, ඉඳගෙන, නිදාගෙන, කන්න කලින්, කෑවට පස්සේ, ඩෙසර්ට් එකට වගේ කිසිම චාරයක් නැතුව බොනවා!

මෙහෙම චාරයක් නැතුව බොන අය නිසා විඳවන්නේ ළමයි, බිරිඳ, දෙමව්පියෝ, නෑයෝ, යාළුවෝ වගේ අය තමයි.

නමුත් ඉතිං බීමට ඇබ්බැහි වෙන එකත් එක්තරා ආකාරයක ලෙඩක් බවත් අමතක කරන්න හොඳ නෑ. ඇබ්බැහි වුණාට පස්සේ ගැලවෙන්න අමාරුයි. ඒකෙන් ගලවා ගන්න හිතටත්, ගතටත් දෙකටම බේත් කරන්න අවශ්‍යයි.

මං දන්න ජෝඩුවක් හිටියා, සැමියා මුලින් ටික ටික දාන්න පටන් අරන් අන්තිමේදී අමු බේබද්දෙක් ගේ ගානට ආවා. බිරිඳ තමයි ඉතින් විඳෙව්වේ.

මෙන්න ඒ ජෝඩුව ගැන දුක හිතුණු වෙලාවක මා අතින් ලියවුණු කවියක්.

විවාහකයෝ

සුරා විතෙන් බමනා රත් පැහැ නෙත්
ඇතිවය සැමදා ඔබ හමුවන්නේ
නිදි නොලබන රැය කඳුළු ගඟේ
දියවී නිමවන්නේ
මල් පඳුරක විස කටුවකි ඔබ මට
හිමියනි!

පරාජිතව විඳිනා දුක් ගින්දර
නිවා දමන්නයි සුරා සොයන්නේ
විඳි කරදර සැම අමතක කරලා
ඔබගෙනි සැනසෙන්නේ
කටු පඳුරක මල් කැකුලකි ඔබ මට
සොඳුරියේ!


මේ සිද්ධියේ අන්තිම සීන් එක නං හරිම කණගාටුදායකයි. දැන්නම් සැමියා බොන්නේ නෑ. මොකද ඒ තරමටම අසාධ්‍ය තත්වයකයි ඉන්නේ. බිරිඳ තමයි ඉතිං තාමත් විඳවන්නේ. ඉස්සර නං බීලා වැටුණාම විතරයි දෙහි පොවලා සාත්තු කරන්න ඕනෑ. දැන් 24/7 ඒ ජොබ් එක තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
කසාඳ බැඳලා අවුරුදු දහයක් ගෙවිලා
දරුවෙකු ලැබිලා නැත ගෙය කළඑළි වීලා
ඒ ගැන හිතලද මන්දා රෝහණ බීලා
උඹ විගහට පැනලා වෙදකම් කරපං චන්ද්‍රා

(විවාහකයෝ කවිය පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://ocaoimh.ie/2004/09/17/drunk-woooaaaahhh/)

Friday 16 December 2011

අම්මා බුදු වේවා! හැබැයි කාගේ අම්මාද කියලා නං අහන්න එපා? - My mother's the best!


නන්දා නැන්දා ගේ මෙන්න මේ සින්දුව අහලා තියෙනවා නේද?

"නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නොනා නොනා නේන්න නෝනා.."

සොරි, සොරි, තැටි වාදන යන්ත්‍රයේ පොඩි ප්‍රමාද දෝශයක් වුනේ. සමාවෙන්න. මෙන්න නිවරදි ගීතය.

"මට මව් පදවිය ලැබුණු දිනේදී
ඔබේ අගේ මට දැනුණා,
අම්මේ.. ඔබේ.. අගේ.. මට දැනුණා!"

කෙල්ලෝ අම්මලා වුණාට පස්සේ තමයි තමන්ගේ අම්මලා ගේ අගේ දැනෙන්නේ කියලයි මේ සින්දුවෙන් ඇත්තටම කියවෙන්නේ.

අම්මලා වැඩිපුර ආදරේ පුතාලට හින්දා ද කොහෙද කොල්ලෝ නම් අම්මලා ගේ අගේ පොඩි කාලේ ඉඳලාම දන්නවා.

හූ! හූ!! කෙල්ලනේ.., හූ, හූ!!!

ඉතිං ඔන්න මං දන්න එක්තරා ඇන්ටි කෙනෙක් හිටියා. මේ ඇන්ටි කවි ලියන්න සෑහෙන උනන්දුවක් තියෙන කෙනෙක්.

සාමාන්‍යයෙන් ඉතිං පරණ තාලේ සිව්පද කවි ලියන අය අම්මා ගැන, රට ගැන, වෙසක් පෝය ගැන, යුද්දේ ගැන කවි පන්තියක් දෙකක් අනිවා ඩෙෆා ලියනවානේ.

මේ ඇන්ටිත් ලිව්වා කවි පන්තියක් අම්මා ගැන.

මේ ඇන්ටි ලියන ජාතියේ කවි ලියන්න ලේසියෙන් නම් බෑ. මේ කියන කවි පන්තියේ සේරම කවිවල සේරම පද ඉවසාන වුනේ අම්මේ කියලයි. අන්තිම කවියේ අන්තිම පදේ වුනේ මතු දවසක බුදු වෙන්නකො මගෙ අම්මේ කියලයි. ඒ කෑල්ලම තමයි දැම්මේ කවි පන්තියේ නමටත්.

මේ කවි පන්තියේ පද ටික නම් මට හරියටම මතක නෑ. නමුත් හිතාගන්න අමාරුත් නෑ. නිකං මෙන්න මේ වගේ.

දස මාසයක් කුසේ තියන් අම්මේ
ඔබ මා වෙනුවන් දුක් වින්දා අම්මේ
ලේ කිරි කරලා ආදරයෙන් අම්මේ
ඔබ මා ඇති දැඩි කෙරුවා අම්මේ

උදේ කවා පොවා අන්දා මට අම්මේ
පාසල වෙත මා යැවුවා ඔබ අම්මේ
පාසල නිමවී ගෙදරට එනතුරු අම්මේ
ඔබ මග බලාන හිටියා මගෙ අම්මේ

රසවත් ආහර උයලා ඔබ අම්මේ
මට සැමදා ඔබ කන්න දුන්නා අම්මේ
මා වෙනුවෙන් සැමදා වෙහෙසුනු අම්මේ
මතු දවසක බුදුවෙන්නකො ඔබ අම්මේ

ෂෝක් නේද?

ඉතිං කොහොම හරි ඇන්ටිට මේ කවිය ගැන හරිම සතුටුයි. සතුටු හිතෙන එක අහන්නත් දෙයක් යෑ? තමන්ගේ අම්මා ගැන කවියක් ලියන එක කොච්චර උතුම් වැඩක්ද? අනික නිකම්ම නිකං නිසඳැසක් නෙමේ, සිව්පද කවි එලිසමය එක්ක!

කොච්චර මේ ගැන ඇන්ටිට සතුටුද කියනවා නම් ඇන්ටි මොකද දන්නවද කළේ?

ඇන්ටිගේ ම දුවට කියලා මේ කවිය සින්දුවක් විදියට පාසලේ විවිධ ප්‍රසංගේ දී ගායනා කෙරෙව්වා!

කොහොමද ඇන්ටිගේ ටිකිරි මොලේ?

-කතන්දරකාරයා

ප/ලි:
ඕක අහලා ඇන්ටි ගේ ටිකිරි මොලේ ගැන හොඳටම පැහැදුණු මං හිතා ගත්තා මාත් දවසක මගේ තාත්තා ගැන තාත්තා බුදුවේවා වගේ සින්දුවක් ලියලා අපේ පුතා ට කියලා ගායනා කරවනවා කියලා.

ඒ දවස්වල අපේ පුතු පැටියා ගේ වයස යාන්තම් හයයි. ඉතිං වැඩේට ටිකක් කල් ඉන්න වුණා. මොකද විවිධ ප්‍රසංගයේ තනියම සින්දුවක් කියනවා කියන එක ලේසි වැඩක් නෙමේ නේ.

නමුත් අවාසනාව කියන්නේ ඒ අදහසම මං දන්න කියන වෙන අංකල් කෙනෙකුටත් ඇවිල්ලා. පොර කවි පන්තියක් ලියලා තමන්ගේ පුතාට කියලා කියෙව්වා ඊලඟ අවුරුද්දේ.

අපරාදේ මගේ මතු බුදුවෙන නියත විවරණ චාන්ස් එක මිස් වුණා!

(image: http://hels89.wordpress.com/2011/05/23/wild-swans/)

Thursday 15 December 2011

සුභලාලක තිස්ස උගත් පාඩම් නොදන්නා අද කාලේ රජවරු


මං මේ කියන්න යන්නේ හතරේ පන්තියේ සිංහල පොතේ තිබුණු යසලාලක තිස්ස රජා සහ ගේට් මුඩ්ලියර් සුභ ගේ කතාව නෙමේ.

මේක දශක ගණනාවකට කලින් සයිමන් නවගත්තේගම ලියා නිෂ්පාදනය කළ අද ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ නව නිෂ්පාදනයක් ලෙසින් රඟ දැක්වෙන මං 2010 දී නැරඹූ සුභ සහ යස වේදිකා නාට්‍යයේ එන කතාවේ මගේ වර්ෂන් එකකුයි.

යසලාලක තිස්ස රජ සැප විඳිමින් (ඒ කියන්නේ බ්ල්ක් ලේබල් ජොනී වෝකර්, ෂිවාස් රීගල් වගේ ඒවායෙන් අනුමත වෙමින්) ඉන්න කාලේ ගමේ පොරක් ඇවිත් මාලිගාවේ සෙකුරිටි වැඩකට සෙට් වෙනවා. පොර ගේ නම සුභ. වැඩේ කියන්නේ සුභ හැඩරුවෙන් යස වගේමයි, කෂ්ටිය රුවටෙන තරමටම.

යස රජා මුලින් හිතන්නේ පොර ගේ තාත්තා ඔය පසල් දනව්වල සැරිසරන කොට පොඩ්ඩක් ආස්සරේ කරපු කොන්කුබයින් කෙනෙක් ගේ පුතෙක් ය සුභ කියන්නේ කියලා.

හැබැයි සුභ කියන්නේ ඊට වෙනස් කතාවක්. සුභ ගේ තාත්තා කොල්ල කාලේ රජ මාලිගාවේ වැඩ කළා ලු!

මේ කතාබහෙන් පස්සේ සුභ සහ යස දෙන්නා හොඳටම පෑල් වෙනවා. කොටින්ම පොඩි චේන්ජ් එකකට වගේ ඇඳුම් මාරු කරගෙන සුභ රජ්ජුරුවන් ගේ පාට් එකත්, යස සෙක්කා ගේ පාට් එකත් ඇක්ට් කරනවා.

මෙහෙම වෙලාවකදී පොඩි ටැපලීමක් වගේ එකක් වෙලා යස ලාලක තිස්ස මිය ගියාම සුභ ලාලක තිස්ස කාරයා ඉබේම රජ වෙනවා!

යසලාලකයා රජකමේ ඉන්න කාලේ පොර ගෙනිච්චේ දුර්දාන්ත පාලනයක්. රට වැසියෝ බදු බරින් මිරිකිලා දුක් විඳිමින් හිටියේ. ඇත්තටම කියනවා නම් රටේ කැරැල්ලකුත් තිබුණා. සයිමන් නවගත්තේගම ගේ කතාවේ හැටියට මේ කැරුල්ලේ නායකයා තමයි සුභ. බදුබර අඩු කරගන්න එක තමයි කැරැල්ලේ එක අරමුණක්!

ඔන්න ඉතිං අළුත් රජා සුභ ලාලක තිස්ස වැඩට බැස්සා. පොරට මුලින්ම ඕනෑ වුණා ජල බදු අයින් කරලා ගොවියෝ දරිද්‍රතාවෙන් මුදවා ගන්න.

අපි කවුරුත් දන්නවා වාගේ විපක්‍ෂයේ ඉන්න කොට රට කරවන එක කජු කනවා වගේ වැඩක් නේ! රජකම ලැබුණාම තමයි ඒකේ රඟේ තේරෙන්නේ.

ඉතිං ඒකම තමයි සුභ ලාලක තිස්සටත් වුණේ!

ජල බදු අහෝසි කිරීම කළ යුතු ආකාරය ගැන අමාත්‍ය මණ්ඩලය උපදෙස් දුන්නේ මෙහෙමයි.
  • අය බදු අයකරන්නේ රාජ්‍ය සේවය සැපයීමටයි.
  • එක් එක් වැවේ, ජලාශයේ, ඇලේ, ඇනිකට් එකේ බද්දෙන් යැපෙන පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා තියෙනවා. මේ ආයතනවලට ඒ ආදායම ලැබිය යුතුයි කියලා තඹපත්, තුඩපත්, සන්නස්, ආඥාවලින් ගැසට් කරලයි තියෙන්නේ.
  • මුලින්ම මේ ඩේටාබේස් එක ඇනලයිස් කරලා ඒ ආදායම් බෙදීයන විදිය ගැන රිපෝට් එකක් ගන්න ඕනෑ. මේ වැඩේට අවුරුදු ගාණක් යනවා.
  • අය බදු අහෝසි කළාම මේ පන්සල්, පිරිවෙන්, ආරෝග්‍යශාලා, අංගම් මඩු සහ වෙනත් පොදු සේවා ආයතනවලට ඔපරෙටින් ග්‍රාන්ට්ස් නැතිවෙලා ගිහින් ඒවා පවත්වාගෙන යන්න, වැඩකරන අයට පඩි ගෙවන්න, සේවා සපයන්න, නඩත්තු කරන්න බැරිවෙලා මේවා වහලා දාන්න වෙනවා. මේ තත්වය වලක්වා ගන්න නම් ඒ ආයතනවලට විකල්ප ආදායම් මාර්ග සැකසිය යුතුයි.
  • ඒ කටයුතු සොයා බලා, සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගණනාවක් යනවා.
  • ඔන්න ඕකයි තත්වය.
අන්තිමට සුභ ලාලක තිස්සටත් වුනේ බ්ලැක් ලේබල් ෂොට් එකක් දාගෙන ප්‍රශ්ණ අමතක කරලා දාන්නයි.

මේ කතාවෙන් අපට උගත හැකි පාඩම් බොහෝයි.
  1. අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන එන දේවල් පටස් ගාලා වෙනස් කරන්න බැහැ.
  2. වෙනසක් කරන්න කලින් පවතින ක්‍රමයේ සියළු මුහුණත් හොඳින් අධ්‍යනය කරලා කරන්න පුළුවන් වෙනස් කම් තීරණය කළ යුතුයි.
  3. අදාල සියළු පාර්ශවයන් ගේ අදහස් සොයා බැලිය යුතුයි. ඒ සෑම අදහසක්ම නිසි ලෙස සැලකිල්ලට ගත යුතුයි.
  4. යෝජිත නව ක්‍රියා පටිපාටිය ක්‍ර්‍රියාත්මක කිරීම සඳහාත් සැලසුමක් පිළියෙල කළ යුතුයි.
  5. මේ සියල්ලටම අවුරුදු ගණනාවක් ගත වෙන්නට ඉඩ තියෙනවා. නමුත් සියළු පාර්ශවයන් ගේ මත සලකන්නේ නැතුව ඉක්මනින් කොරන්නට ගියාම වෙනවා වගේ යෝජිත වෙනස ලත් තැනම ලොප් වීමට ඇති ඉඩකඩනම් ඉතා අඩු බව කියන්න පුළුවනි!
දැන් හිතන්න මේ එළවළු පෙට්ටි කිරීමේ වැඩ සටහන ගැන නැවතත්.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ හිතවත් කැනේඩියානු පීඑච්ඩී ඇනෝවා දැන් හිතනවා ඇති, සුභ ලාලක තිස්ස කියලා රජෙක් ලංකාවේ ඉඳලා නෑ, කතන්දරකාරයාට මෙදා පොටෙත් වැරදිලා කියලා!

(image: http://www.lankaenews.com/English/news.php?id=4790)

Tuesday 13 December 2011

පතෝල සහ බණ්ඩක්කා නොහොත් සෙල්ලන්ද කොල්ලො? - Vegetable salads and fruit salads


මං තුනේ පන්තියේ ඉන්න කාලේ වගේ මට තෑග්ගකට ලැබුණා පාට කරන චිත්‍ර පොතක්. ඒ එක්කම දිය සායම් පෙට්ටියකුත් තිබුණා.

මේ පොතේ පාට කිරීම සඳහා දී තිබුණු එක ලයින් ඩ්‍රෝවින්ස් එකකින් නිරූපනය වුනේ එළවළු වට්ටියක් හිස උඩ තබාගත් කාන්තාවක් නොහොත් වට්ටි අම්මා කෙනෙක්.

"හරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
උදයෙම ගෙනෙයි වම්බටු තුඹ බණ්ඩක්කා"

ඒ වට්ටි අම්මා ගේ චිත්‍රය යටින් තිබුණු කවි පද දෙක.

අපේ ගමෙත් හිටියා වට්ටි අම්මා කෙනෙක්. එයා කළේ ගමේ ගෙවල්වල ඇවිදලා පලතුරු, ගැටපොලොස්, කොස්, තැඹිලි වගේ දේවල් එකතු කරගෙන බස් එකේ තොටලඟ ට අරගෙන ගිහින් විකුණන එකයි.

මේ ආකාරයේ වෙළදාම් කරන කීප දෙනෙක්ම අපේ ගමේ හිටිය නිසා ඒ දවස්වල අපේ පාරේ බස් එක උදේ ස්කූල් සර්විස් එකෙන් පස්සේ කෙලින්ම පිටකොටුවට ගියා.

ඒ එළවළු, පලතුරු, ප්‍රවාහනය කෙරුණේ බොහෝ විට බටපතුරු වලින් සැදූ වට්ටි, පෙට්ටි, කුඩා සහ සමහර විට ගෝනිවලිනුයි.

අපේ ගම්පැත්තේ තිබුණු ගැටපොලොස්, ඇඹරැල්ලා වගේ නෙමේ, වියලි කලාපයේ දඹුල්ල පැත්තේ වගේම තෙත් කලාපයේ නුවරඑලියේ වගේ පලාත්වලත් විශාල වශයෙන් එළවළු වවනවා. මේවා සේරම අදාල තොග වෙළඳපොලවල් සඳහා ගේන්නේ ගෝනිවල දාලා ලොරිවල පටවලා හැතැප්ම ගාණක් දුරගෙවලයි.

මේ ප්‍රවාහනයේදී එලවළු පලතුරු තැලෙනවා, පස්සේ ඒවා නරක්වෙලා, කුණු වෙලා අපතේ යනවා කියන එක අපි කවුරුත් දන්න දෙයක්.

මීට අවුරුදු පහළොවකට විතර කලින් රූපවාහිනියේ පෙන්නපු ජැපනීස් ඩොකියුමෙන්ටරි එකක ගියා ලීක්ස් වවන ගොවියෙක් තම පලදාව වෙළඳපොලට එවන්න සකසන විදිය. නුවරඑලියේ ඉඳලා ලීක්ස් ගෙන හැටි දැකලා තියෙන අපිට ඒ ජැපනීස් පැකින් දැක්කාම පිස්සු හැදෙනවා!

ඔය පිටෝටුවේ විකුණන ඇපල් පෙට්ටි කරලා තියෙන විදිය ගැන නිකමට හිතලා බලන්න.

මෙච්චර පැහැදිලි ප්‍රතිලාභ තියෙන වෙනසක් ක්‍රියාත්මක කරන්න අපිට බැරි ඇයි?

ඒකට හේතුව එදා සුභ ලාලක තිස්ස රජා නම් ඉගෙන ගත්තා. ඒ කතාව අනිද්දාට දාන්නම්.

කතන්දරකාරයා ලංකාවේ රජවුණොත් ඔය ගෝනියෙන් පෙට්ටියට වෙනස්කම කරන්නේ මෙන්න මෙහෙමයි.

මේවායින් සමහර මූලික දේවල් මේ වෙනකොට ලංකාවේ කරලා තියෙනවා. හැබැයි නොකෙරුණු දේ බොහෝය කියලායි පේන්නේ!

1. එළවළු සහ පලතුරු ප්‍රවාහනයේ දී කෙලින්ම සිදුවන නාස්තිය සහ පසුව බලපාන ෂෙල්ෆ්-ලයිෆ් හි අඩුවීම ගැන සම්පූර්ණ සමීක්‍ෂණයක් කරලා ඒකේ ප්‍රථිපල මහජනයා අතර ප්‍රසිද්ධ කරන්න ඕනෑ. මේ සඳහා අවුරුද්දක් විතර ගතවේවි.

2. ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව වැනි ඇසුරුම් භාවිතා කරලා මේ ප්‍රවාහනය සිදු කළොත් තියෙන ආර්ථික ප්‍රථිලාභ ජාතික මට්ටමෙන් මෙන්ම තොග වෙළෙන්දා ගේ, ප්‍රවාහන ආයතනවල සහ ගොවියා ගේ මට්ටමින් ඇස්තමේන්තු කරන්නත් ඕනෑ. මේ ප්‍රථිපලත් මහජනයා අතර ප්‍රසිද්ධ කරනවා. මේ වැඩවලටත් සෑහෙන කාලයක් යාවි. හැබැයි කලින් සමීක්‍ෂණය එක්ක සමගාමීව මේ මොඩලින් වැඩේ කරන්න පුළුවනි.

3. දැන් එලවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ සැලසුමක් හදන්න ඕනෑ. මේ සඳහා සියළු ගොවීන්ගෙන්, ප්‍රවාහකයින්ගෙන්, තොග මුදලාලිලා ගෙන් සහ ඒ ඒ පාර්ශව නියෝජනය කරන සංගම්වලින් ලිඛිතව මෙන්ම වාචිකවත් අදහස් විමසනවා. මේ සඳහා විවිධ පලාත්වල සමීක්‍ෂණ, සභාවාර, සම්මුඛ සාකච්ඡා තියන්න ඕනෑ. මේ වැඩේටත් මාස හයක්වත් ගන්න ඕනෑ. ඊටත් වැඩි කාලයක් අරගෙන වැඩි වැඩියෙන් අදහස් උදහස් සම්මාදම් කරගන්න පුළුවන් තරමට හොඳයි. මං හිතන්නේ වෙලා නැත්තෙත් ඒකයි.

4. දැන් ජාතික ප්‍රතිපත්තියේ මුල් කෙටුම්පත ප්‍රකාශ කරනවා. මේකට අදහස් දැක්වූ හැම කෙනාගේම හැම අදහසකටම පිලිතුරු මේ ප්‍රතිපත්තියේ තියෙන්න ඕනෑ. ඔවුන්ගේ අදහස් යෝජනා පැමිණිලි එකක් පාසා සැලකිල්ලට ගත්තේ කොහොමද කියලා ඒ අයට පුද්ගලිකව දැනවීම ඉතා වැදගත්. ඊලඟට මහජනතාවට සහ සංවිධානවලට මේ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත ගැන තමන්ගේ අදහස් නැවත දක්වන්න මාස දෙකතුනක කාලයක් දෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රතිපත්තියේ අවසන් පිටපත සකසනවා.

5. මේ අතරතුරම මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් කෙටුම්පත් කරන්නත් ඕනෑ. මේ සැලසුමට ඇතුලත්වෙන්න ඕනෑ සමහර දේවල් මෙන්න.
  • ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව පෙට්ටි නිෂ්පාදනය, සැපයුම, භාවිතය සහ නැවත පාවිච්චිය සඳහා යෙදවීම
  • ඒ සඳහා යන මුලික පිරිවැය සහ පුනරාවර්තන පිරිවැය සැපයෙන ආකාරය.
  • සැලසුම සහමුලින්ම ක්‍රියාත්මක කිරීමට යන කාල පරාසය. මේ සඳහා වසර දෙකක් පමණ යන්නත් ඉඩ තියෙනවා.
  • ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව පෙට්ටි හදන්න අළුතින් කර්මාන්තශාලා පිහිටුවන්නත් කල් ඕනෑ නේ!
  • මුලින්ම පයිලට් එකක් හෙවත් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ කියන්නේ තෝරාගත් එක එළවළුවක් හෝ පලතුරක් සඳහා තෝරාගත් ගොවි ප්‍රදේශයක සිට වෙළඳ පොල දක්වා මාස හයක පමණ අත්හදා බැලීමක් කිරීමයි. ඒ පයිලට් එකේ අත්දැකීම් මත පසු කාලීනව සැලසුම පුනරීක්‍ෂණය කරන්නත් අවශ්‍යයයි.
  • ඊ ලඟට මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග් ධනය සහ පුනරාවර්තික වියදම් සැපයෙන ආකාරය.
  • ප්‍රතිපත්තිය ක්‍රියාත්කම කිරීමේ කාල පරාසය.
  • මුලින්ම එකතුවෙන අයට ලැබෙන ප්‍රතිලාභ.
  • ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල.
  • සහන කාලයක් - මේ සඳහා වසරක් පමණ සෑහේ.
  • ඇසුරුම් පෙට්ටි නිපදවීම වගේම නැවත පාවිච්චි කරන්න නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාත්මක පහසුකම් සකසන්නත් අවශ්‍යයයි.
  • කොටින්ම මේ ඇසුරුම් පෙට්ටිවල ඩිසයින්, ස්ටැක් කරන විදිය ගැන පවා සැලසුම් කළ යුතුයි.
  • ඊලඟට අපි මේ සඳහා දැන් පාවිච්චි කරන ගෝනි වලට මොනවද කරන්නේ. ඒ ගෝනි හා සම්බන්ධව වැඩ කරන අය, වෙළද සමාගම් ගැනත් මේ සැළසුමට ඇතුලත් වෙන්න ඕනෑ!
දැන් පේනවා නේද මේ වැඩේට අවුරුදු තුනක් විතර යන බව. කොටින්ම ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ දවසේ සිට මුළුමණින්ම ක්‍රියාවට නැගීම දක්වා අඩු තරමින් අවුරුදු දෙකක්වත් යන්න ඉඩ තියෙනවා.

ඒකට කමක් නෑ. මොකද අපි මේ වෙනස් කරන්න බලන්නේ අවුරුදු සිය ගාණක් තිබුණු වැඩ කරන විදිය. අනික සේරටම වැඩිය වටිනවනේ ප්‍රජාතන්ත්‍රවාදය. මිනිසුන්ට බලාපන තීරණ ගන්න කලින් ඒ මිනිසුන්ගේ අදහස් විමසලා ඒ ගැන නිසි පියවර ගන්නේ නැතිනම් මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති වැඩේ?

අපි දන්න දෙයක් තමයි මිනිස්සු සාමන්‍යයෙන් වෙනස් වෙන්න අකමැති බව. ඒ විතරක් නෙමේ මෙතන අපි කතා කරන්නේ මුළු සප්ලයි චේන් එකකම ක්‍රියාදාමය වෙනස් කිරීම ගැනයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ වගේ ලොකු වෙනසක් "බයි ෆෝස්" විලාසයෙන් කරන්න හදන අය ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි.

"සෙල්ලන් ද කොල්ලෝ?"

(image: වැප් නිශාන්ත ගේ බ්ලොගයෙනි. http://wapnishantha.blogspot.com/2011/12/blog-post_13.html)

Monday 12 December 2011

පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව - Curb Your Enthusiasm


බීටීන් ද බුෂ් හෙවත් පඳුර වටේ තලන්නේ නැතුව කෙලින්ම කතාවට එන්නම් කෝ පොල්ලෙන් ඔළුවට ගහනවා වගේ.

ඔන්න මට දවසක් අවශ්‍ය වුණා ෆාමසියකින් බේත් වගයක් ගන්න. උදේ ගෙදරින් පිටත්වෙන කොට හාමිනේ තුණ්ඩුව අතට දීලා මතක් කළා.

අපේ වැඩපොල අහලක පාමසියක් නෑ. ආපහු ගෙදර එන අතරමග බොරැල්ල වගේ තැන්වල වාත වෙන එකත් තේරුමක් නෑ හැන්දෑ ජාමේ. ඉතිං ගෙදර ලඟට එනකම්ම තුණ්ඩුව මගේ උඩ සාක්කුවේ.

හොඳ වෙලාවට මට මතක් වුණා පොඩි පාමසි කෑල්ලක් තිබුණා නේද කෝට්ටේ පාරට හරෝපු ගමන්ම වගේ කියලා.

ඔන්න මං පාමසි කඩේට ගොඩ වුණා. මං ඉස්සරහින් හිටියේ වයසක සීයා කෙනෙක්. පැහුණු රුවුල දවස් දෙක තුනකින් කපලා නෑ. ලොකු කළු කන්ණාඩි දෙකක් දාගෙන. ඒකේ එක අණ්ඩක් ඉස්සරහ කෑල්ලෙන් ගැලවෙන්න ඇවිත් තුවාලවලට දාන හොස්පිටල් ග්‍රේඩ් ප්ලාස්ටර්වලින් අලෝලායි තිබුණේ.

මේ සීයා ඇවිත් හිටියේ ප්‍රෙෂර් පෙති ගන්නයි.

සතියකට ඕනෑ ප්‍රෙෂර් පෙති ටික මුදළාලි කොල්ලා කවරෙක දාලා සීයා අතට දීලා ගණන කිව්වා.

අනේ සීයා ගේ අතේ එච්චර සල්ලි නෑ!

එහෙනං මට දවස් තුනකට විතරක් පෙති දෙන්න සීයා ඉල්ලුවා.

ඉතිං සීයාට පිටි පස්සෙන් ඉඳලා මේ කතාව ඇහුණු අතේ ටිකක් විතරවත් සල්ලි තියෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ මං සීයාට කිව්වා මෙහෙම.

"පෙති සේරම ගන්න අංකල්, මං ඉතුරු සල්ලි ටික දෙන්නම්!"

සීයා මොකද දන්නවද කළේ?

පොර මං දිහාවට හැරිලා මට මෙහෙම කිව්වා.

"ඩෝන්ට් වොරි, අයිල් ගෙට් ද රෙස්ට් ඔෆ් ද ටැබ්ලට්ස් ඉන් අ ෆීව් ඩේස් ටයිම්. තෑන්ක් යූ!"

මං ඉතිං කට වහගෙන මගේ බේත් බෝතලේ අරගෙන ගෙදර ගියා.

හිතාගන්න පුළුවනි නේද, මං සිංහලෙන් කියපු කතාවට සීයා ඉංගිරිසියෙන් උත්තර දුන්නේ ඇයි කියලා?

වැඩේ කියන්නේ මට ඔයිට කලින් දවසක කාලෝ ෆොන්සේකාත් ඔය වගේම වැඩක් කළා නේ. ඒ හරියටම ඔය පාරේම ඔතනට තව ටිකක් පිටකෝට්ටේ පැත්තට වෙන්න බස් එකක යන වෙලාවකදීයි.

කලින් කියවල නැති අය ඒ කතාවත් කියවන්න මෙන්න ආයේත් ලින්ක් එක.
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

-කතන්දරකාරයා

ප/ලි:
කාලෝ ෆොන්සේකා සීයා මේ දවස්වල මොනවා කරනවද මන්දා?

කිසි ආරංචියක් නෑ කාලෙකින්.

පොර පිසියලොජිකාරයෙක් නිසා අනිවා ඩෙෆා ලොකු තැන්වල අපර් ලිම්බ් ශක්තිමත් කරනවා ඇති මයෙ හිතේ?

(image: http://sketchetta.wordpress.com/2010/10/23/old-man-with-broken-glasses/)

Sunday 11 December 2011

බුඩ්ඩි පරීක්‍ෂණය - Check your IQ


මට මතකයි මං පහේ පන්තියේ ඉන්න කාලේ අපිට තිබුණා ආණ්ඩුවේ විභාගයක්. එකෙන් පාස් වුණාම තමයි ටවුමේ තියෙන ලොකු ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්නේ.

ඒ විභාගෙට තියෙන්නේ සිංහල, ගණිතය සහ "බුඩ්ඩි පරීක්‍ෂණය" කියලා අපේ පන්තිය භාර මුණසිංහ ටිචර් කිව්වා.

අපි හුඟ දෙනෙකුට තේරුණේ නෑ මේ "බුඩ්ඩි පරීක්‍ෂණේ" කියන්නේ මොකක්ද කියලා. ටීචර් කලේ පන්තියේ පාවිච්චිට පොතක් ගෙනාපු එකයි.

මේක රෝනියෝ කරපු පොතක්. ඒකේ තිබුණු ප්‍රශ්ණ මෙහෙමයි. ඔන්න එක එක විදියේ කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා පේලියට ඇඳලා හතරක්. ඒවා ඇතුලේ තවත් කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඊලඟට එන්නේ මොන වගේ රූපයක්ද කියලා පහලින් දීලා තියෙන රූප හතරෙන් තෝරන්න කියන එකයි.

ටිකක් දවස් ගියාම මට මේ "බුඩ්ඩි පරීක්‍ෂණය" ටිකක් විතර මීටර් වෙන්න ගත්තා.

අන්තිමේදී මට ආණ්ඩුවේ විභාගේ දී "බුඩ්ඩි පරීක්‍ෂණයට" ලකුණු 88 ක් ලැබුණා. සිංහලවලට 86 යි, ගණිතයට 87 යි ලැබුණු නිසා ඇවරේජ් එක 87% ක් වුණු ඒ විභාගේ තමයි මං ජීවිතේට කරලා තියෙන හොඳම විභාගේ.

උසස් පෙල වෙන කොට විෂයයන් හතරට (ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) ඒක 69% ට බැස්සා!

දැන් මෙන්න වෙනස් ආකාරයක බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක්. මේ වගේ ඒවා ඉස්සර කීපයක්ම පල කෙරුවා අපේ බීට්ල් කොලුවා. තාමත් ඒවායේ සමහර ප්‍රශ්ණවලට උත්තර ලැබිලා නැද්ද කොහෙද?

මෙන්න බීට්ල් ගේ පෝස්ට් එකේ ගිය ප්‍රශ්ණයකට සමාන මාත් කැමතිම ප්‍රශ්ණයක්.

මරණ දණ්ඩණය නියම වුණු සිරකාරයෝ තුන් දෙනෙකුට රජ්ජුරුවෝ දුන්නා පණ බේරා ගන්න වරයක්.

මුං තුන් දෙනාව එකෙක් පිටුපස්සේ එකෙක් පෝලිමට තියලා රතු තොප්පි තුනයි, නිල් තොප්පි දෙකයි තියෙන පෙට්ටියකින් තොප්පිය බැගින් අරං මුගේ ඔළුවලට දැම්මා.

පස්සෙම ඉන්න එකා ඉස්සරහා ඉන්න උන් දෙන්නා ගේම තොප්පිවල පාට පේනවා. මැද්දේ ඉන්න එකාට පේන්නේ ඉස්සරහම ඉන්න එකාව විතරයි. ඉස්සරහම ඉන්න එකාට අනිත් උන් දෙන්නාවම පේන්නේ නෑ.

තමන් ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට හරියට කිව්වොත් රජ්ජුරුවෝ වහාම නිදහස දෙන්න පොරොන්දු වෙනවා.

පස්සෙම ඉන්න එකා කියනවා පොරට බෑ කියලා.

ඊළඟට මැද්දේ ඉන්න එකාත් කියනවා පොරටත් බෑ කියලා.

ඉස්සරහාම ඉන්න පොර තමන්ගේ හිසේ තියෙන තොප්පියේ පාට හරියටම කියලා මරණයෙන් බේරෙනවා!

ඒ පාට මොකක්ද? හොයපු විදිය විස්තර කරන්න.

දැන් මෙන්න මං පොඩි කාලේ අහපු තවත් බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක්.

එකෝමත් එක කාලෙක හිටපු වෙළෙන්දෙක් මිය යන කොට ඔහුට වස්තුව ලෙස ඉතුරු වී තිබුණේ අශ්වයින් රංචුවක් විතරයි.

මරණ මංචකයේදී ඔහු තම අන්තිම කැමති පත්‍රය ලියන්න පටන් ගත්තා.

මගේ වස්තුවෙන් හරි අඩක් ලොකු පුතාට දෙන්න. තුනෙන් එකක් දෙවෙනියාට දෙන්න. නමයෙන් එකක් බාලයාට දෙන්න.. .. ..

අනේ, ඒ මොහොතේ දී ම ඔහු මිය ගියා.

තාත්තා ගේ මළගම අවසාන වී අශ්වයෝ බෙදාගන්න ගිය පුත්තුන්ට මුහුණ දෙන්න වුනේ බරපතල ප්‍රශ්ණයකටයි. මොකද, තාත්තා ගේ අශ්ව ස්තාලයේ හිටියේ අශ්වයින් දා හත් දෙනෙක් විතරයි.

අශ්වයින් නොමරා මේ ප්‍රශ්ණය විසඳාගන්නේ කොහොමදැයි ඔවුන් කල්පනා කරමින් සිටින විට ඒ ගමට පැමිණි සංචාරක වෙළෙන්දෙක් එය විසඳා දුන්නා.

වෙළෙන්දා පුතුන් අතර අශ්වයෝ බෙදා දුන්නේ කොහොමද?

මතක තියාගන්න, මේක බුඩ්ඩි පරීක්‍ෂණ ප්‍රශ්ණයක් මිස ගණිතය ප්‍රශ්ණයක් නෙමේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉරිදා හවස 08:00 වනතුරු ඔබේ පිළිතුරු සහිත කමෙන්ට් පළ නොකෙරේ.

(image: http://www.hotblood.com.au/)

Friday 9 December 2011

පේරා පොරවල් සහ කට්ටෝ - Deciding between Peradeniya and Katubedda


දෙතුන් පාරක්ම එහෙන් මෙහෙන් ටච් කරපු කතන්දරයක් ටිකක් විස්තරාත්මකව කියන්නයි මේ යන්නේ.

මුලින්ම මං අර සිවකුමාර් ගේ ප්‍රශ්නය ගැන ලියද්දී තමයි පේරා පොරවල් සහ කට්ටෝ කියලා මට ලියවිලා තිබුනේ. ඒ හිතලා ලියලා නෙමේ නිරායාසයෙන් ම ලියවුණු කෑල්ලක්. ඒකට හේතුව මංතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු පොරක් වීම බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

ඔතන කට්ටෝ කියන්නේ කටුබැද්දේ (ඔෆිෂියලි කියනවා නම් මොරටුව විශ්ව විද්‍යාලයේ) ඉගෙන ගත්තු පොරවල්වලටයි.

අපේ කාලේ උසස් පෙලට මැත්ස් කරලා වැරදිලා හරි හොඳට පාස් වෙච්ච කොයි එකාටත් එක දවසක බැරෑරුම් තීරණයක් ගන්න වුනා. ඒක තමයි ඉංජිනියරින් ඩිග්‍රියට ඉගෙන ගන්නවානම් ඇතුළත් වෙන්න අයැදුම් කරන්නේ පේරාදෙනියට ද, කටුබැද්දට ද කියන එක. ඒ කියන්නේ මනාප ලයිස්තුවේ උඩින් ම දාන්නේ ඔය තැන් දෙකෙන් මොකක්ද කියන එක තීරණය කිරීම. (දැන් නං මං හිතන්නේ රුහුණ සහ තව තිප්පොලකුත් තියෙනවද කොහෙද!)

ඒ දිනවල අපේ පවුල පදිංචි වෙලා හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ගම් පළාතේ වුනත් කොළඹ ඉස්කෝලෙකින් උසස් පෙළ කරපු මට ඔය තීරණය ගන්න එක ලේසි වැඩක් වුනේ නෑ.

කටුබැද්ද ද? පේරාදෙනිය ද?
පේරාදෙනිය ද? කටුබැද්ද ද?

නමුත් එකක් කියන්න ඕනෑ. මං තාත්තේ මට සමාවෙන්න ලිපියේ ලිව්වා වගේ, මගේ දෙමව්පියන් නම් මට තීරණය ගන්න ඉඩ හැරියා මිස කිසිම බලපෑමක් කරන්න ආවේ නෑ.

අපේ ඉස්කෝලෙන් උසස් පෙළ මැත්ස් කරලා පාස් වෙච්ච වුන් අහන අහන එකා යන්න ඉන්නේ කටුබැද්දේ. අන්තිමේදී ඒ අවුරුද්දේ තිස් තුන් දෙනෙක් විතර කොල්ලෝ ගියේත් කටුබැද්දටම තමයි!

පේරාදෙනියේ ස්ටාෆ් එක ළමයින් ට හොඳ නෑ මේ ගැන දන්න කියන මගේ යාළුවෙක් මට අවවාදයක් දුන්නා.

අපේ නෑදෑයෝත් ඉන්නවා කටුබැද්දට අල්ලපු ගමේ. ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ දිනපතා යන්න දුර වැඩි නම් එහේ නතර වෙන්නත් පුළුවනි. එහෙම වුණොත් දෙමව්පියන්ට වියදමත් අඩුවෙයි.

කොටින්ම, පේරාදෙනියට යනවා කියන්නේ උඩුගම් බලා පීනීමක්, වචනයේ අර්ථපරිසමාප්තාර්ථයෙන් ම!

නමුත්, හන්තාන කඳුවැටිය, මහවැලි නදිය, මල් පිපුණු තුරු ලතා, ආදරවන්තයින් ගේ මාවත වගේ නවකතා, කෙටිකතා, සින්දු, චිත්‍රපටි වලින් කියවලා, අහලා, දැකලා තිබුණු දේවල් කොහෙම අමතක කරන්නද?

ටැක්නිකල් හන්දිය, ජේම්ස් ජෝර්ජ් හෝල් එක, බොල්ගොඩ වගුර ගැන නවකතා ලියවිලා තිබුණෙ නෑ ඒ කාලේ. දැනුත් තියෙනවද මන්දා ඒවා නම්!

ඉතිං මං පසුබට නොවී ඒ තීරණය ගත්තා.

මාස දෙක තුනකට පස්සේ පේරාදෙනියේ ගිහින් බැලින්නම් අපේ ඉස්කෝලෙන් හෝ ගාලා තුන් දෙනෙක් ඇවිත් හිටියා!

අද මේ තීරණය ගන්න කොල්ලෝ කුරුට්ටන්ට නම් අපේ කාලේ වගේ නෙමේ ආදුරුසෙට ගන්න තවත් පිරිසක් ඉන්නවා.

මෙන්න කටුබැද්ද ඉංජිනියරිං යන අය සඳහා: ආශ්චර්යමත් අනාගතයක් ගැන සිතන්න!




මෙන්න පේරාදෙනිය ඉංජිනියරිං යන අය සඳහා: මොනවා කියන්නද, දුක තමයි චමින්ද!




-කතන්දරකාරයා

ප/ලි:
තම තම නැණ පමණින් දැන ගත යුතු!

ප/ලි:
අවසාන ඡායාරූපය එකතු කරන ලද්දේ 2012 අප්‍රියෙල් 8 දිනය.

(images - various web sources)

Thursday 8 December 2011

පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents


පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!

හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?

හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.

ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.

මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!

මුලින්ම ගුටි දීලා මසාජ් කරන උපකරණයක්.


තායිවානයේ හදපු ඩිජිටල් අත් ඔර්ලෝසුවක්.


තවත් පොඩී පහේ චීන සුකුරුත්තමක්. මෙක වාද්‍ය භාණ්ඩයක්. සින්දු ප්‍රස්ථාරත් දීලා තියෙනවා.


ලෝ ප්‍රකට තායිවානයේ අන්නසි කේක්.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා චීන තේ!


තව ලස්සන පැකට් එකක දාපු ලව් ලොසින්ජර්ස් පොදියක් තිබුණා. ඒවා නම් ෆොටෝ ගන්න කලින්ම ඉවර වුණා!

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වා වගේ, මෙන්න නියම තෑගි. මේවා නම් තායිවාන් ඒවා නෙමේ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු ඒවා.


මේවා නං සෑහෙන කාලයක් මෙහෙමම තියේවි. මොකද දන්නවද? කලින් පාර මේ වගේ ගෙනාපු තෑගි ටිකත් ඔය එහෙමම තියෙන්නේ.


මං ඉතිං මද පමණින් මටටා ටිටා නේ, අවුරුද්දකට දෙකකට විතර බඩු හෑව්!

අවුරුදු දෙකකට කලින් 2009 දී ගෙනාපු භාණ්ඩවලින් අන්තිම එක ඔන්න මේ ගිය සතියේයි ඉවර වුනේ.



-කතන්දරකාරයා

ප/ලි:
හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි. නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.

ගිහින් එඤ්ඤං!

ප/ප/ලි
හැම හාමිනේම මෙහෙම නැත. මේ කතන්දරේ මතකද?
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
?

Tuesday 6 December 2011

හොඳ හොඳ චීන කෑම මෙන්න බලලා කෙල ගිලින්න - Photos from Mrs Kathandara's trip to Taipei


සැප්තැම්බරයේ වෙච්ච "කලේ පැන් නැති සීන් එක" නිසා පරිප්පු විතරක් නෙමේ, "ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස්" සහ "බීෆ් කතන්දර ස්ටයිල්" හදන හැටි ගැනත් සිතුවම් සහිත කතන්දර දාන්න ලැබුණා.

පස්සෙන් පහු බොම්බිලි කරවල උයන්න ගිහින් නම් වැඩේ මුළුමණින්ම චා වුණානේ.

නොවැම්බරයේ දී රමණී රත්නායක ගේ කෑම සංග්‍රහය ලැබුවේ 'කලේ පැන් නැත!' ට ලඟින් යන කේස් එකක් වුණු නිසයි.

ඒක තමයි අපේ ඊ-මේල් කවිකාරි ලා, ජනූ ලා ට වගේ කතන්දර හාමිනේත් කොණ්ඩේ බැඳපු කෂ්ටිය ඉන්න දිහාට පොඩි පහේ ට්‍රිප් එකක් සෙට් වීම.

මේක මහ චීනෙට නං නෙමේ, පොඩි එකට, අර තායිවාන් කියන්නේ. අන්න ඒ කියන දීපංකරේට.

අද පෝස්ට් එක වෙන්වෙන්නේ හාමිනේ රස විඳපු චීන කෑම වල ඡායාරූප සඳහායි.

මේ ගමනේ දී හාමිනේ සහ පිරිවර විසින් සම්මන්ත්‍රණය තිබුණු තරු පහේ හෝටලයෙන් ද, සම්ප්‍රදායානුකූල චීන යම්-චා රෙස්ටෝරන්ට්වලින් ද, අයිල කඩවලින්ද ආදී මෙකී නොකී හැම තැනකින්ම කෑම බීම අරගෙන තියෙනවා.

මෙන්න තරු පහේ හෝටලයේ කෑම.


මාළු කූරියාහතු සහ ඌරු මස්



<----චිකන්      මාළු බත්^

<----බීෆ් සහ බ්රොකොලි

මෙන්න යම්-චා කෑම.


<--- ඩම්ප්ලින්ස්     කන්කූන් ^

<--- Tofu

මේ තියෙන්නේ කන්ජි කඩේ කෑම ටික.




ස්පයිසි-Tofu

බෙල්ලෝ

හතු වර්ගයක්^          හාල් කැඳ--->


චිකන්

බීෆ්

<---බෝංචි

මේක නම් අයිල කඩයක්.

අයිල කඩෙන් මැංගෝ අයිස් ක්‍රීම් එකක්.

තායිපෙයි නගරයේ එක තැනක තිබුණු චීන හොට්-එයාර් බැලූන් කඩයක තමන්ට අවශ්‍ය දේවල් බැලුමේ ලියා ඒක අහසට අවන්න පුළුවන්. මේ එතන දී ගත් දර්ශන පෙලක්.

ළමා ලපටින්ට විභාග ජය ඉහල ලකුණු සහ කතන්දරට ජය පැතූ බැලූනය තායිවානයේ අහසට මුදා හැරුණා!



-කතන්දරකාරයා

ප/ලි:
තායිවානයේ දින හයක සංචාරයෙන් පසු ආපසු නිවසට පැමිණි කතන්දර හාමිනේගෙන් මට ලැබුණු තෑගි ගැන මීලඟ පෝස්ට් එකෙන් කියන්නම්.