Monday 30 August 2010

මොන්ටිසෝරි අම්මාට සීට් එක දන් දීම


බස්වල යන එන කොට අපිට නොයෙකුත් ආකාරයේ අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ද වෙනව. සමහර වෙලාවට අත්දැකීම් විතරක් නෙමේ, ඇයි කකුල් දැකීම් පවා ලැබෙනවනේ.

මට වෙලා තියෙන සංසිද්ධි නම් කියල නිමක් නෑ. කාලෝ ෆොන්සේකා ට සීට් එක දීම, චූටි ටීචර් ලා මුණ ගැසීම, බඩ දරු අම්මලා ගේ ආක්‍රමණය ඒවායින් කීපයක් විතරයි.

අද කියන්න යන්නේ තවත් ඒ වගේම මට වෙච්ච සන්තෑසියක් ගැණයි.

ඔන්න දවසක් මං බොරුල්ල ඉඳල කොට්ටාව පැත්තට බස් එකක එනව. මේ අර ටාටා, ලටෙක් වගේ හොඳ උස මහත හතර රියන් බස් මේ පාරේ දුවන්න පටන්ගන්න කලියෙන්. ෂූ ගාල සෙනග –-සැමන් ටින් දෙකක් වගේ. මං වාඩිවෙලා හිටියේ දොර ලඟමයි.

වෙලාව දොලහමාරට විතර ඇති. ඔන්න බස් එක එක තැනක නැවැත්තුව. දරුවෙක් වඩාගෙන අනිත් උරහිස්සෙන් බෑග් එකකුත් දාගත්තු ගෑනු කෙනෙක් නැග්ග බස් එකට.

මේ දෙන්නගේ පොඩි අප්සෙට් ගතියක් පෙනුණත්, කිසි කතාවක් නැතුව මං කෙලින්ම වාඩි වෙලා සීට් එක දීල එතනම පස්සෙන් අමාරුවෙන් හිටගත්ත බෙල්ල නමාගෙන.

අම්මයි, පුතයි වාඩි වුනාමයි වැඩේ තේරුණේ. වඩා ගෙන බස් එකට නැග්ගට මේ පුතා මොන්ටිසෝරි යන අවුරුදු පහක විතර දරුවෙක්. අම්මගෙ උරහිසේ තිබුනේ පුතා ගේ ස්කූල් බෑග් එකයි.

කොටින්ම පුතාව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවත් බෑ අම්මට. කොහොම ළමයව වඩාගෙන බස් එකට නැග්ගද මන්ද?

ඉතිං අම්ම හරි බරි ගැහිල වාඩිවෙලා තමන්ගේ පොඩි හෑන්ඩ් බෑග් එකෙන් ගත්තු යුවති ද පතිනි ද මොකක්ද මන්දා පත්තරයක් කියවන්න පටන් ගත්ත. පුතා අම්මට ඉස්සරහින් හිටගෙන ගමන ගියා.

එතකොට තමයි මට තේරුනේ, තමන් ගේ මොන්ටිසෝරි පෙර පාසල් යන පුතාව අමාරුවෙන් වඩාගෙන මේ අම්ම බස් එකට නගින්න ඇත්තෙ ඇයි කියල.

බස් එක ඉස්සරහට ඇදුණ. අම්ම පත්තරේ බලනව. පුතා පාරෙ කඩ ගණං කරනව. මං දාඩිය නිවාගන්න කටෙන් ෆූ, ෆූ ගාල පිඹිණව.
කිඹුලො කනව ඉවසතෑකි, කොහිල කටු ඇණෙනව ඉවසන්න බෑ කිව්වලු.

අන්තිමේදි මොකක්ද දන්නවද වුනේ?

ටික වෙලාවකින් අම්ම පුතාවත් ඉස්සර කරගෙන බස් එකෙන් බැස්ස. නිකමටවත් මට කතා කරල සීට් එක ආපහු දුන්නෙ හෙම නෑ. කවුදෝ ග්‍රහයෙක් ඒකට සෙට් වුණා.

බස් එක කොට්ටාව පැත්තට ඇදෙන වෙලේ බෙල්ල නවාගෙන හිටිය මට ජනේලෙන් පේනව අම්මවයි පුතාවයි.

බෑග් එකත් කරේ එල්ල ගත්තු පොඩි එකා හොඳට ඇවිදගෙන යනව. අම්ම පස්සෙන් යනව.

දුක් වෙන්න එපා පොඩි එකෝ, හෙටත් දෙපාරක් ම අම්ම ඔයාව වඩා ගනී හොඳේ?

-කතන්දරකාරයා

Sunday 29 August 2010

කවුද බොලේ මේ තාත්තම්මා!


මගේ බස් කතන්දර සීරීස් එකේ තවත් එක කතන්දරයක් විදියට මං පෙරේදා දාපු "බඩ දරු අම්මලා" කතන්දරේ එක්ක පල කරපු ෆොටෝ එකම තමයි ඔය උඩුබැලි අතට හරෝල දාල තියෙන්නේ.

මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් විජ්ජවක් නෙමේ.

ඒ ඇත්තටම ඉන්නේ දරවෙක් කුසේ දරා ගෙන ඉන්න මිනිහෙක්, වෙනත් වචන වලින් කියනවා නම්, බඩ දරු තාත්තා කෙනෙක්.

මෙයාගේ නම තෝමස් බීටී. උපතින් ගෑනු නමුත් පස්සේ පිරිමියෙක් වුනා. (අර ලංකාවෙත් බදුල්ල හොස්පිටල් එකේ හිටියා නේද දොස්තර කෙනෙක් සෙක්ස් චේන්ජ් එකක් කරපු?)

කොහොම හරි තෝමස් තමන්ගේ ගර්භාෂය අයින් කරලා නෑ. ඉතිං පස්සේ ගැබ්බර වෙලා දරුවෙක් ලැබුණා.

මෙන්න මේ යූ ටියුබ් ක්ලිප් එක බලන්නකෝ කෝටා ඉවර නැති අය.
http://www.youtube.com/watch?v=EYX7ACuTBTY

මෙන්න විකිපීඩියා ආර්ටිකල් එක පිරිමින්ට පිහිටන දරු ගැබ් ගැන.
http://en.wikipedia.org/wiki/Male_pregnancy

ඔය වීඩියෝ එඛෙනුත් අහන විදියට මෙයා තාත්තා කෙනෙක්ද, අම්මා කෙනෙකේද, නැත්තං ළමයාගේ තාත්තයි අම්මායි දෙන්නම තෝමස් ම ද?

ඒ මොනව වුනත් මං මෙයාට නමක් හැදුවා. ඒක තමයි තාත්තම්මා. ඒක අම්මත්තසා කියනවාට වැඩිය සද්දෙ හොඳයි. සවුන්ඩ්ස් නයිස්.

මගේ ප්‍රශ්ණේ මෙන්න මේකයි. තෝමස් බීටී බඩ උස්සගෙන බස් එකට නැග්ගොත් සීට් එක දෙන්න සූදානම් අය කවුද කියන එකයි.

සීට් එක දෙන අය අත උස්සන්න බලන්න!

කතන්දරකාරයා

ප/ලිඃ තවත් බස් කතන්දරයක් මීළඟට දාන්න ලියලයි තියෙන්නේ.

"ගර්හිත" Vs "ගර්භිත"උභතෝකෝටිකය විසඳා දුන් ඇටමැසිප්‍රදේශිකයා ට මගේ ස්තුතිය.

Thursday 26 August 2010

බඩ දරු අම්මලා


බඩ දරු අම්මලා කියන එක ගමේ බාසාවෙ තියෙන යෙදුමක්. මේ වෙන්ඩ අම්මලාට හුදු හෙලයෙන් කියන්නේ ගැබ්බර මව්වරුන් කියලයි.

ඔන්න පොඩි අතුරු කතාවක් මතක් වුනා. අනූව දශකයේ මුල් කාලයේ පටන් ගත්තා මව්වරුන් ගේ සංගමය කියල එකක්. ඒ 1988-89 භීෂණ කාලේ තමන්ගේ දූ දරුවන් අතුරුදහන් වුනු, මරා දමන ලද අම්මලා තමන් ගේ දරුවන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න පිහිටුවා ගත්තු ප්‍රජා සංවිධානයක්.

ටැබූ සර් ගේ ලිපියක සමාලෝචනය කරපු අමරකීර්ති ගුරුන්ණාන්සෙ ගෙ අටවක පුත්තු කියන නවකතා පොතේ ඒ මව්වරුන් ගේ සංගමය ගැන සෑහෙන්න විස්තර වෙනවා.

බඩ දරු අම්මලා ට ලිඛිත භාෂාවෙන් කියවෙන්නේ ගර්භණී මාතාවන් කියලයි. ඉස්සර ලංගම බස්වල එක සීට් එකක ගහලා තිබුණා මතකයි "ගර්භණී මාතාවන්ට වෙන්කර ඇත!" කියලා. මං ඔය වචනය ඉගෙන ගත්තේ ඒ දැන්වීම කියවලා වගෙයි මට මතක.

ඒ කොහොම වුනත්, ලංගම මගම කරලා, පෞද්ගලික බස් සේවා පටන්ගත්තු කාලෙ පාවිච්චි කරපු ලංගම බස් කන්ඩෙම් කරලා විකුණන්න ගත්තා. ඒ කන්ඩෙම් කරපු බස්වලට කිව්වේ ගර්භිත බස් කියලයි.

මොන හේතුවක් නිසා හරි මට අද පවා හිතෙන්නේ ගර්භිත කියන වචනයයි, ගර්භණී කියන වචනයයි දෙකම එකම තේරුම නේද කියලයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

ගර්භණී මව්වරුන්ට සීට් වෙන් කරන්නේ ඒ අයට බස් එකේ හිටගෙන යන්න අපිට වඩා අමාරු නිසානේ. මේ බව දන්න කවුරුවුනත්, බස් එකක යනකොට බඩ දරු අම්ම කෙනෙක් නැග්ගොත් නැගිටලා සීට් එක දෙනවා.

ඕකට බෝඩ් හගලා තියෙන්න ඕනැම නෑ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අර මව්වරුන් ගේ දිනය වගේ, එහෙම විශේෂත්වයක් කිරීම ඉතා හොඳයි.

ඔන්න දවසක් මායි මගේ යාළුවෝ හතර දෙනෙකුයි නැග්ගා අතුරුගිරියෙන් බොරැල්ලට එන බස් එකකට. මේක අර ඉස්සර තිබුණු ආසන 26මිට්ෂුබිෂි බස් එකක් පුද්ගලික බස් සේවයේ. ඉතිං අපි පස් දෙනා සුවසේ සීට්වල වාඩිවෙලා කයියයක් දාගෙන බොරැල්ලට එන්න සෙට් වුණා. අපි කට්ටියම මළ ගෙදරක, කප් ට්‍රිප් එකක්, යනවා මේ, මගේ මතකයේ හැටියට. වෙලාව යන්තම් උදේ ඔෆිස් වෙලාව පහුවුනා විතටයි.

ඔන්න බස් එක පෝරේ හරියෙ තිබුණු අර ෆිල්ම් හෝල් එක ලඟ නැවැත්තුවා. ගර්භණී මාතාවක් නැග්ගා බස් එකට. මගේ වම් පැත්තේ හිටපු යාළුවා නැගිටලා ඉඩ දුන්නා.

ඔහොම තව බස් හෝල්ට් දෙකක් විතර ගියා. මාත් නැගිටලා ඉඩ දුන්නා ඊලඟට බස් එකට නැග්ග බඩ දරු අම්මට.

කොහොම හරි බස් එක කිලෝ මීටර් තුන හතරකින් අරංගල හරියට එනකොට අපි පස්දෙනාම හිටගෙන.

පස්සෙ බැලින්නම් මොකක්ද දන්නවද කේස් එක. එදා කාසල් වීදියේ රෝහලේ ගර්භණී මව්වරුන් ගේ ක්ලිනික් එකක්.

කතන්දරකාරයා

ප/ලි
මේ ලඟදී දවසක මට ඇහුණා කෙල්ලෝ දෙන්නෙක් අතර කතා බහක්. එක කෙල්ලෙකුට කෝච්චියේ දී කවුදෝ මනුස්සයෙක් නැගිටලා සීට් එක දීලා. බඩ දරු අම්මා කෙනෙක් කියල හිතලා. බැලින්නම් මේ කෙල්ලට තියෙන්නේ දරු ගැබක් නෙමේ නිකම්ම නිකං බත් බඩක්!

මගේ කණ වැටුණු කතාබහෙන් තේරුණේ එයාගේ හිත හොඳටෝම රිදිලා ඒ වැරදි වැටහීම ගැන!

බැඳලවත් නැති කෙල්ලෙකු ගේ බඩේ දරුවෙක් ය කියල හිතන තරම් තවත් නරක අපහාසයක් තියෙනවද? ඇයි අනේ, ක්‍රම සහ විධි නොදන්න පොඩි ළමයයෙක් යෑ!

මෙන්න මං කලින් ලියපු බස් කතන්දර.

1, කාලෝ ට සීට් එක දුන්නු දා

2. ස්ථානෝචිත ප්‍රඥාව

Monday 23 August 2010

සීනි බෝතලේ


මං පොඩි කාලේ මට මතකයි අපේ ආච්චී සීනි බෝතලයක් කබඩ් එකකින් අරගෙන අපිට පෙන්නනවා "මෙන්න බලන්න ළමයිනේ ශත හැත්තැ දෙකේ සීනි රාත්තලක්!" කියලා.

ඒ විදියටම ආච්චී ලඟ ශත පාලහේ භූමිතෙල් බෝතලයකුත් තිබුණ මගෙ හිතේ.

අපේ ගෙවල්වල සමහර විට ගෙදර සීනි, ලුනු වගේ දේවල් බින්දුවක්වත් නැතුව යන වෙලාවල් තියෙනවා නේද? මාර කේස් එක තමයි මහ රෑක හෙම ගෙදර සීනි නැති බව තේරුණොත්. ඇයි වදේ, උදේ පාන්දරම අර ක්‍ෂණික එක්සයිස් එක කරන්නත් කලින් කඩේ යන්න වෙනවනේ.

අපේ ගෙදර නං ඕක වෙන්නේ නෑ. මොකද මං කතන්දර හාමිනේට උගන්නලා තියෙනවා හොඳ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් ක්‍රමයක්.

ඒක අපේ ආච්චිගෙන් මගේ අම්මාටත්, අම්මාගෙන් මටත් ආපු ෆූල් ප්‍රෘප් ක්‍රමයක්.

අපේ ගෙදර සීනි බෝතල් දෙකක් තියෙනවා. එකක් ලොකුයි, කිලෝ බාගයකටත් වැඩියෙන් අල්ලනවා. අනික පොඩියි, එක දවසකට බොන්න විතර ඇති. ඔන්න සීනි ගෙනාපු දවසට අපි කරන්නේ ඔය සීනි බෝතල් දෙකම පුරවන එකයි.

ලොකු එක එදිනෙදා පාවිච්චියට ගන්නවා. පොඩි එක අරං තියෙනවා කබඩ් එකකින්.

ලොකු බෝතලේ සීනි ඉවර වුණු දාට තමයි පොඩි එකට වැඩේ දෙන්නේ. පස්සේ සීනි ගේනකං ඒකෙන් යැපෙන්න පුළුවනි.

මේකට කියන්නේ 2-බින් ක්‍රමය කියලයි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වල. පොඩි බෝතලේ තමයි සේෆ්ටි ස්ටොක් එක. ඒ කියන්නේ සීනි බින්දුවක්වත් නැති නොවන බවට වග බලාගන්නා උපක්‍රමය.

නිවැරදිව කරනවා නං ඔය පොඩි බෝතලේ තියන්න ඕනෑ, ලොකු බෝතලේ සීනි ඉවර බව දැනගත් වෙලාවේ ඉඳලා කඩෙන් සීනි ගේනකං පාවිච්චිට අවශ්‍ය සීනි ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ ලීඩ් ටයිම් එකේ ඩිමාන්ඩ් එකයි.

ඔය ඉංගිරිසි වචන එක්ක ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් මං ඉගෙන ගත්තේ අවුරුදු විසි දෙකේදී විතර අර අහවල් තිප්පොලේ ඉන්න කාලේ.

හැබැයි අපේ ආච්චි නං ඕක ඉගෙන ගෙන තියෙන්නේ ඔය එක එක තිප්පොලවල් වල ගිහින් නෙමේ.

ආච්චි මට පෙන්නපු ශත හැත්තෑ දෙකේ සීනි බෝතලේ තමයි -ඒ කියපු හදිස්සියකට සීනි නැතිවුනොත් පාවිච්චියට ගන්න තියා ගත්තු සේෆ්ටි ස්ටොක් එක.

නමුත් වාසනාවට හෝ අවාසනාවට, සීනි රාත්තල එදා ශත හැත්තෑ දෙකේ ඉඳන් පහුකාලෙක විසි ගුණයක් විතර ගණං ගියත් ආච්චිට අර සේෆ්ටි ස්ටොක් එකට අත තියන්නවත් වෙලා නෑ.

එක අතකට අපරාදේ නේද?

කමක් නෑ, මේ කතන්දරේ හරි ලිව්වනේ ඒකෙ පිහිටෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
සීනි පන්සීයක් දැන් කීයද මන්දා?

Friday 20 August 2010

ගෙදර එක්ක තරහ වීම (ඔහෙලැයි-අපේ කාලේ කතාවක්)


කාලෙකට ඉස්සර මං ලිව්ව කතන්දරයක් ගෙදර එක්ක තරහ වුණා කියල මතකද?

කතන්දරෙන් කියවුනේ අපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ පන්තියෙ හිටපු යාළුවෙක් එයාගෙ අම්ම හරි තාත්ත හරි වගේ ගෙදර කෙනෙක් එක්ක තරහ වුණාම කරන අපූරු වැඩේ ගැණයි.

අද කතන්දරෙත්, ගෙදර එක්ක තරහවීමක් ගැනයි. හැබැයි මේ කතන්දරේ තියෙන එක වෙනසක් තමයි මේක අපේ කාලයේ කතන්දරයක් වීම.

ඉතිං කතන්දරේ පටන් ගන්නේ අපි ඒ ලෙවල්ස් කරපු කාලෙදී.

ඔන්න අර සුද්දට පාර කියල ටික කාලෙකට පස්සෙ ඒ ලෙවල්ස් කරල විසිරිලා ගියා. මම් තුමාට නං ඉතිං පහුකාලෙක අර කූප්‍රසිද්ධ තිප්පොලට සෙට් වෙනතුරුම ගන්ධබ්බ ජීවිතයකට සෙට් වෙන්නයි වුනේ.

නමුත් අපිට එහෙම වුනාට සමහරුන්ට හොඳ කැරියර් ඇඩ්වයිස් හම්බවෙනවනේ. අපේ පන්තියෙ හිටපු ගංගානාත් සූරියවසම් කියන පොර අපි හැමෝටම වඩා සූක්‍ෂ්ම විදියට වැඩ කරල, ඒ ලෙවල්ස් කරන්න කලියෙන්ම ඇප්ලයි කරලයි තිබුණෙ තාක්‍ෂණික ඩිප්ලෝමා කෝස් එකකට. විභාගෙ ඉවර වෙලා සතියෙන් දෙකෙන් පොර ඒ කෝස් එක පටන් ගත්ත.

අපි රිසල්ට්ස් එනකං බලං ඉන්නව. රිසල්ට්ස් එන්න කලින් මෙන්න බොලේ ඊලඟ අවුරුද්දේ විභාගෙටත් ඇප්ලයි කරන්න වුණා. මුල් විභාගෙ ප්‍රතිඵල ඇවිල්ල සේරම එකලාසයක් වෙනකොට අපි දෙවෙනි විභාගෙටත් ලියල ඉවරයි. පොයි පොත්වලටගිය ල්ලි!

ඒ අතර අපේ පොර ළමයා කෝස් එකේ සාර්ථක දෙවෙනි අවුරුද්දට පිය නැගුවා.

කොහොමින් කොහෙමින් හරි මං තාමත් දෙමව්පියන්ගෙන් යැපෙමින් ඉන්න කාලෙ ගංගානාත් සූරියවසම් ලංකාවෙ ලොකුම ප්‍රයිවේට් කොම්පැණියක වැඩට ගියා.

ගංගානාත්ල අපි දන්න කාලෙ ඉඳලම හිටියෙ ගෙවල් කුලියට. ගම නං කෑගල්ලෙ පැත්තෙ මගෙ හිතේ. පොරගේ තාත්තාගේ ජොබ් එක ලංකාවේ තැනින් තැනට මාරුවෙන එකක්. දැං ඉතිං, පුතත් හොඳ ජොබ් එකකට ගිය නිසා ඔන්න කට්ටිය ගෙයක් හදන්න පටන් ගත්ත.

අපේ පොර වැඩ කරපු කොම්පැණිය කොච්චර හොඳ එකක්ද කියනව නං ඒකෙන් නිවාස ණය ගන්න පුළුවන්. ඉතිං ගංගානාත් කාරයත් සෑහෙන්න ණයක් අරගෙන වැඩේට සම්මාදං වුණා.

ඒ වගේ ණයක් ගන්න තියෙන අනිවාර්ය කොන්දේසිය තමයි ඉඩමත්, ගෙයත් ණයකරුවාගේ නමට තිබීම. ඒකේ අවුලක් වුනේ නෑ. තාත්තා මුල්වෙලා වැඩේ කලත්, ඉඩම ගත්තේ ගංගානාත් ගේ නමටයි. සල්ලිත් වැඩි හරිය දැම්මෙ අපේ පොර නේ!

කොහොමටත් පවුලේ හිටියේ අයියයි නංගියි විතරයි. අයියා ඒ වෙනකොට ඈත පලාතක ජොබ් එකක්. නංගිට මගුලක් ජෝඩු වෙලයි හිටියේ.

දැං ඔන්න ටික කාලෙකින් කට්ටියම අළුත් ගෙදර පදිංචියට ගියා.

මේ වෙන කොට අපේ පොරක් හොඳ කෑල්ලක් එක්ක සෙට්වෙලා ප්‍රේම සාගරයේ පීන පීන දියඹුං ගහ ගහ තමයි හිටියේ. ඕක කණිං කොනෙං ආරංචි වුණාම මිස්ටර් සූරියවසම්ට, ඒ කියන්නේ අපේ පොරගේ තාත්තා ට මල පැන්නා.

"හුහ්, ඕකුන් එක්ක පුළුවන්ද අපිට පෑහෙන්න!"

කතාවෙ ඉතුරු හරිය කෙටියෙන් මෙහෙමයි.

ගෙදර විරෝධතාවය නොතකා අපේ පොර අර කෙල්ලව කසාද බැන්දා. මනමාලිව ගෙදරට ගේන්න බෑනේ. ඉතිං මොකද කරන්නේ ඇනෙක්සියක් කුලියට අරං පදිංචියට ගියා.

එදා ඉඳලා ඉතිං ලක්‍ෂ ගාණක නිවාස ණයේ වාරිකයයි, පොලියයි ගෙවනවා මෙහෙන්.

ඇනෙක්සියට කුලිය දාස් ගාණක් ගෙවනවා අනිත් පැත්තෙන්.

ඔන්න අපේ කාලයේ ගෙදර එක්ක තරහා වීම ගැන කතන්දරේ!

මේ කතන්දරේ, අපේ අම්මලාගේ කාලේ කතන්දරේට වැඩිය තියෙන අනිත් වෙනස තමයි, මේක කියවලා හිනාවෙනවා ද අඬනවා ද කියන එක හිතාගන්න බැරිවීම.

-කතන්දරකාරයා

ප/ලි

ළමයිනේ ගෙදර එක්ක තරහ වෙන්න හෙම එපා හොඳේ.

මං අපේ දූවටයි, පුතාටයි කියන්නෙත් ඔය ටිකම තමයි.

Wednesday 18 August 2010

කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය


අර වෛද්‍ය පීටර් කන්දරේ මං කිව්වනේ අපේ පොරවල් සමහරු කෙල්ලන්ට ඇඩ්‍රස් දීල වෙච්ච ජරමර කීපයක් ගැන. ඇයි එක් කුසේ උපන් පාලිත සහ ජානක දිසානායක අයියයි මල්ලියි දෙන්නගේ කතන්දරේ?

මේකත් ඒ වගේ කතන්දරයක්.

ඔන්න අපේ පොරවල් කීපයක් ගියා නුවර එලිය පැත්තේ පොඩි පහේ ට්‍රිප් එකක්. ඒ ගිහින් පැය ගානක් ටවුන් එකේ වාත වෙන අතරේ එකෙක් ඒ පැත්තේ කෙල්ලෙකුට ඇඩ්රස් එක දීල.

පොඩි වරදකට තිබුනේ මෙන්න මේකයි. පොර තමන් ගේ ඇඩ්රස් වෙනුවට වෙනිං එකෙකුගේ එකයි දීල තියෙන්නේ.

ඉතිං මං දවසක් මේ දෙවෙනි පොරව හම්බවෙන්න බෝඩිමට යනකොට පොර හිනාවෙවී ඉන්නව ලියුමක් බල බල. අර නුවර එලියේ දී හම්බ වෙච්ච කෙල්ල ලියුමක් එවල.

ඒ ලියුමේ තිබුණු සමහර දේවල් දැන් මතකයෙන් ගිලිහිලා ගිහින්. ඒත් මේ කවි ටික නං තාම මතකයි.

මිදුලේ ඔබේ අරලිය මල සිටවන්න
ඉන් එක මලක් නෙලලා දෝතට ගන්න
ඒ මල මිසක වෙන මල් ගැන නොසිතන්න
නංගී දුන්නු මේ ඔවදන පිළිගන්න

මග තොට දී හමුවූ විට සිනාවය
හදවත ගලව දෙන්නට මෙන් කතාවය
මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය


-කතන්දරකාරයා

ප/ලි
මේ කවි දෙක මට හොඳට මතක තියෙන්නේ ඉස්සර ඉඳලම අපි ආජු තපර ලාහිලා කියන සින්දුව කියද්දී, හැමෝටම අමතක ඒකේ තියෙන ඇත්ත කවි පද වෙනුවට මේවා කියන නිසයි.

ට්‍රයි කරලා බලන්න.

මහා මෙරක් උසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලැබෙන හින්දා
උදා ලහිරු ලෙසට පිපී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

මිදුලේ ඔබේ අරලිය මල සිටවන්න
ඉන් එක මලක් නෙලලා දෝතට ගන්න
ඒ මල මිසක වෙන මල් ගැන නොසිතන්න
නංගී දුන්නු මේ ඔවදන පිළිගන්න

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

මග තොට දී හමුවූ විට සිනාවය
හදවත ගලව දෙන්නට මෙන් කතාවය
මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

ඒ විතරක් නෙමේ මේ සින්දුව එක්ක මුළු සැළලිහිණි සන්දේශයම, ලෝ වැඩ සඟරාවම ගායනා කරන්න පුළුවන් මේ බලන්න.

සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොල ගිර නැගෙනහිර

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත්හට වෙන බව දුකට වෙදාණන්
සිත් ගණදුර දුරැලන දිණිදාණන්
සිත් සතොටින් නමදිම් මුණිදාණන්

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

ප/ප/ලි
කතන්දරේට වඩා මෙන්න බොලේ ප/ලි කෑල්ල දිග වෙලා.

Monday 16 August 2010

අයියා මල්ලී වාගේ අයියා මල්ලී...


අපේ පොරවල් කෙල්ලන්ට ඇඩ්‍රස් දුන්නු හැටි ගැන පොඩි කතන්දර කෑලි දෙකක් විතර ලියල දැම්ම බැලුව නේද?

ඒ ආකාරයේ මං දන්න හොඳම කතන්දරේ තමයි අද මේ කියන්න යන්නේ.

මගේ හොඳ හිතවතෙක් හිටිය කාදර් රියාස් කියල. පොරගේ අයිය ගේ නම කාදර් රසීක්. මුන් දෙන්නම මුස්ලිම් නම් තිබුණට සිංහලෙන් ඉගෙන ගත්තු, සිංහල කතාකරන, කොටින්ම සිංහල පොරවල්.

කොල්ලො කෂ්ටිය එක්ක එහෙ මෙහෙ ගිහින් කෙල්ලන්ට ලයින් දාන කොට අපේ රියාස් ට තිබුණු එකම ප්‍රශ්ණය තමයි මුලින්ම තමන්ගේ මුස්ලිම් නම කියන්න බැරි එක. කිව්වොත් වැඩේ පටන් ගන්න කලින්ම අල වෙයි කියල තියෙන බය හින්දයි.

ඉතිං පොර ඒ වෙනුවට හොඳ සරල උපක්‍රමයක් පාවිච්චි කළා. ඒක තමයි මෙන්න මේක.

පාලිත දිසානායක.

අපි සීරීපාදේ යනකොට හිටපු කාදර් රියාෂ් වෙනුවට ගිහින් එනකොට ඔය පාලිත දිසානායක අපි එක්ක එකතු වුනා මට මතකයි.

දවසක් අපි කෂ්ටියක් ඔය කතාව මතක් කර කර හිනාවෙවී ඉන්න කොට ඔතනට ආපු කාදර් රියාස් ගේ අයිය කාදර් රසීක් ගේ යාළුවෙකුට අපිට වැඩිය හිනා.

මොකක්ද දන්නවද කේස් එක. මල්ලී රියාස්ට තිබුණ ප්‍රශ්ණෙම තිබුණ රසීක් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්නේ සාලිය දිසානායක කියල ලු.

සාලිය දිසානායක - අයියා
පාලිත දිසානායක - මල්ලී

බලාගෙන ගියාම මුං දෙන්නා අන්වර්ථ නාමවලිනුත් එක කුස උපන් සහෝදරයෝ.. .!!!

-කතන්දරකාරයා

ප/ලි
සිංහල නම් තියෙන කී දෙනෙක් ඉන්නවද "එක්තරා හේතුවක්" හින්ද මුස්ලිම් නම් අරගෙන තියෙන?
එහෙම නේද?
දන්නවනේ නොකිව්වට!

Saturday 14 August 2010

වෛද්‍ය පීටර්


කතන්දරකාරය කාලෙකට ඉස්සර මහනුවර පැත්තේ "තිප්පොලක" ලැගල හිටියාය කියන සඳහන මේ වෙනකොට කතන්දර බර ගානක ලියවිලා තියෙනව. මේ තිප්පොලේම ඊට පසු කාලෙක ලැගල හිටපු දෙන්නෙක් තමයි අද බ්ලොග්කාරයෝ වෙන මකරා සහ බිඟුවා.

තවත් අය ඉන්න පුළුවන් මේ බ්ලොග් අවකාශයේ. ඉන්නව නං දන්වන්න කෝ.

අපේ තිප්පොල තිබුනේ ගඟක් අයිනේ එක පැත්තක. ගඟේ අනිත් පැත්තේ තවත් තිප්පොලවල් කීපයක් ම තිබුණ. ඇත්තටම එකම එක පොකුරු තිප්පොලක් කියල කියන්න පුළුවන් මේ සේරම.

අපේ තිප්පොලට වැටිල තිබුණු අන්වර්ථ නාමය තමයි "කම්මල" කියන එක. මෙතන තිබුණු තවත් එක්තරා තිප්පොලකට අපි හැමෝම කිව්වෙ "මස් කඩේ" කියලයි.

ඔය කාලෙ අපි වගේ කොල්ලන් ට, බල්ලන් ට, තියා කාටවත් මොබයිල් ෆෝන් තිබුණෙ නෑ. අන්තර්ජාලය තිබුනේ ආතර් සී ක්ලාක් ට විතරයි. ඉතිං සේරම වැඩ වුනේ අනාදිමත් කාලෙක ඉඳල පැවත එන ක්ලැසිකල් ටයිම් ටෙස්ටඩ් ක්‍රමවලටයි.

මං හිතන්නේ අද නං කොල්ලෙකුට කෙල්ලෙක් ඇහැ ගැහුණොත් මුලින්ම කරන්නේ මොබයිල් ෆෝන් එකේ අංකය දෙන එක වෙන්න ඕනැ. අපේ කාලේ කලේ පොඩි විසිටිං කාඩ් එකක් දීමයි. ඒකේ තියෙන්නේ නමයි, ලිපිනයයි.

එතැන ඉඳන් ඉතිං අවශ්‍ය නං ගණුදෙනු කරන්න පුළුවන් තැපැල් දෙපාර්තමේන්තුව හරහා.

හැබැයි පුදුමේ කියන්නේ, මෙතනදි සමහර පොරවල් දෙන්නේම බොරු නම්.

මේ හා බැඳුණු කතන්දර කීපයක්ම තියෙනව මෙන්න අද ඒවායින් එකක්, දෙකක්, තුනක්.

ඔන්න දවසක් කාන්තා පක්‍ෂයේ කෙනෙක් ඔය "මස් කඩේ" තිප්පොල පැත්තේ කාවද හොයනවාලු. අපි අඳුණන පිරිසක් ඉඳල එතැනට ඇවිල්ලත් අහල තියෙනව දන්නවද මේ කියන කොල්ලව කියල.

මොකක්ද දන්නවද නම?

වෛද්‍ය පීටර්!

පස්සෙ බැලින්නම් කේස් එක මේකයි. අර මං මුලින් කිව්ව මස් කඩේ කොල්ලෙක් තමයි මේකට සම්බන්ධ.

අපි "මස් කඩේ" කිව්වට ඒ තිප්පොලේ නියම නාමය තමයි වෛද්‍ය පීඨය. පොර මේ කාන්තාවට කියල තියෙනවා තමන් ඉන්නේ වෛද්‍ය පීඨයේ බව. ඒ මනුස්සයා හිතලා තියෙන්නේ මුගේ නම තමයි මේ "වෛද්‍ය පීටර්" කියන්නේ කියලයි. ඇයි අර වෛද්‍යසේකර, වෛද්‍යරත්න වගේ නං තියෙන අය හිටියනේ කලින් පරම්පරාවල.

* * *

ඒක නං කෙනෙකුට වුණු වැරදීමක් නේ. මේ දෙවෙනි කතන්දරේ නං ඇත්තටම කරපු එකක්.

අපේ පොරවල් කීපදෙනෙක් ගියා ටිකක් දුර පලාතක යාළුවෙකුගේ ගෙදර. ඒ සති අන්තයේ ඒ පලාතේ පන්සලේ පොසොන් පෙරහැරක්.

ඉතිං මේ පෙරහැර බලන්න තෙරපි, තෙරපී ඉඳිද්දී, එක පොරකට ඔන්න පොඩි ලයින් එකක් වැඩ කළා. ඒ කෙලි පැටික්කි එක්ක කතා කරලා විසිටිං කාඩ් එකකුත් දීලයි පොර එදා ආපහු ආවේ.

මෙන්න ටික දවසකට පස්සේ එනවා ලියුමක් අපේ බෝඩිමට. හැබැයි අපි දන්න කියන අඳුණන එකෙකුට නං නෙමේ. මේ ලියුම ඇඩ්ඩ්‍රස් කරලා තියෙන්නේ "මිහිඳු ප්‍රේමකුමාර" කියලයි.

පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. අපේ මෑන්ට හදිස්සියට ඒ කෙල්ලට දෙන්න බොරු නමක් හිතාගන්න බැරි වෙලා. ඒ පාර "මිහිඳු පෙරහැර" දැක්කහම එකපාරට "මිහිඳු ප්‍රේමකුමාර" කියල හිතට ඇවිත්.

අපේ ඒ බොරු මිහිඳු මට දැන් මාස දෙක තුනකට කලිනුත් හම්බ වුනා.

* * *

වෛද්‍ය පීටර් ලා ගැන තුන්වෙනි කතන්දරයත් මේ එක්කම වන් ගෝ දාන්න කියලයි මං ඉන්තේරුවෙන්ම හිතන් හිටියෙ.

ඒත් ඔන්න ඔහේ අනිද්දම දානව කියල හිතුන! හරියටම උදේ 8:00 ට. දන්නවනේ, මං හරි වෙලාවට වැඩ කරන පොරක්!

-කතන්දරකාරයා

ප/ලි
කවුදෝ "සිකෝ" කෙනෙක් කුණුහරුප වගයක් ලියල තිබුණ නිසා මං - පෙරේදා ඉඳලා කමෙන්ට් මොඩරේට් කරන්න දාලයි තියෙන්නේ. තරහ වෙන්න එපා.

Thursday 12 August 2010

අපි වෙලාවට වැඩ, හරිය?


වෙලාවට වැඩ කරන එක ලංකාවේ අයට හුරු පුරුදු දෙයක් නෙමේ.

මං හිතන්නේ පියවර මැනලා වෙලාව බලපු කාලේ ඉඳලා දැන් වෙබ් සරවරයක් හරහා ක්‍ෂණයකින් යාවත්කාලීන වෙන ඩිජිටල් ඔරලෝසුවලින් වෙලාව බලන්න අපි දියුණු වෙලා තිබුණත් අපේ ඇඟ ඇතුලේ තියෙන ඔරලෝසුව නං තාමත් වැඩ කරන්නේ අපේ මී මුත්තලා ඉන්දියාවේ ඉඳලා මෙහෙට පාත් වුණු කාලේ තිබුණු ක්‍රමයටමයි.

උදේ අටට කියන්නේ එයිටිෂ්.

උදේ නමේට කියන්නේ නයිනිෂ්.

සඳුදා කවුරු හරි වැඩක් ඉක්මනට කරල දෙන්නං කියන්නේ සිකුරාදාට විතර කරන්න පටන් ගන්නං කියන එකයි.

කොටින්ම වෙලාවට වැඩ කරන අය තාමත් හඳුන්වන්නේ සුද්ද වගෙයි, හරි වෙලාවට වැඩ කියලනේ.

හැබැයි මං නං ඔන්න හරි වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒකෙ රහස මෙන්න මේකයි.

අපේ ගෙදර බිත්තිවලයි, අත්වලයි, කාර්වලයි තියෙන හැම ඔරලෝසුවක්ම විනාඩි දහයක් වැඩියෙන් සෙට් කරලායි තියෙන්නේ. උදේ හතට නැගිටින්න මං සෙට් කරලනේ තියෙන්නේ. ඒක ඇත්තටම වදින්නේ හයයි පනහටයි.

කොහොමද ටිකිරි මොලේ?

ඉතිං, ඔය වැඩිපුර විනාඩි දහය තියෙන නිසා පුළුවනි බය නැතුව අර ප්‍රධාන කර්තව්‍යය කරල හොඳට ඇඟ පත හෝදගෙන ලැහැත්තිවෙලා වැඩට යන්න.

ලඟදි නියම වැඩක් වුනා. ඔන්න කතන්දර හාමිනේයි මායි ගියා යාළුවෙකු ගේ ගෙදර ඩිනර් එකකට. ආපහු එන්න වෙලාව ඒ ගොල්ලන්ගේ බිත්ති ඔරලෝසුවේ බැලින්නම් රෑ දොලහයි.

අපි මෙන්න බොලේ අපේ යාළුවා කියනවා මෙහෙම.

"ආ, ගනං ගන්න එපා. අපි ඒකෙ පොඩ්ඩක් වැඩියෙන් වෙලාව තියලා තියෙන්නේ."

බැලින්නම්, නිකං නෙමේ විනාඩි විස්සක්ම වැඩියෙන් වෙලාව සෙට් කරලා පොර.

අපේ යාළුවෝ අපිටම හොඳට මැච් වෙන අය.

-කතන්දරකාරයා
ප/ලි:
දැං කාලයක් තිස්සේ මං මේ කතන්දර හරියට උදේ අටට පෝස්ට් කරනවා දකින්න ඇති නේද? කොහොමද මගේ ටයිම් මැනේජ්මන්ට්?

Tuesday 10 August 2010

ෆූ සද්දි විසිද්දි යකා - මන්තර ගුරුකම්!


අර රොබට් නොක්ස් ලංකාව ගැන ලියපු, ඩේවිඩ් කරුණාරත්න, "එදා හෙලදිව" කියල පරිවර්තනය කරපු, පොතේ තියෙනව නේද ඉස්සර කාලෙ හොරකම් වගෙ වැරදි කරපු අයට විරුද්ධව තියෙන නඩු හබ වලදි තමන් කියන දේ හරි කියල දිවුරල පෙන්වන්න මිනිස්සු උතුරණ තෙල් වලට අත දානව කියල?

අතේ දිය පට්ට ආවෙ නැත්තං අර කියල තියෙන්නේ ඇත්තක්ලු. දිය පට්ට ආවොත් ඒ බොරුකාරයෙක් කියල අහුවෙනව.

කිසි පදනමක් නැති මහ මෝඩ වැඩක් කියල නේද හිතෙන්නේ. ඇත්තටම ලංකාවේ මිනිස්සු ඔච්චර මෝඩද ඈ?

අනිත් අතට හැබැයි ඉතිං ඔය කියන කතාව ඇත්තක් නොවෙන්නත් පුළුවන්. රොබට් නොක්ස් කාරය මිලි බෑන්ඩ්ල ගේ ලියම් ෆොක්ස්ල ගේ මුතුන් මිත්තෙක් නේ.

සමහර විට බැන්කී මූන් ගේත් ඥාතියෙක් ද දන්නේ නෑ!

ඒ මොනව උනත් මොනව හරි තෙලෙන් බඳින්න තෙම්පරාදු කරන්න ට්‍රයි කරල තියෙන අය දන්නව ඇති, රත් වෙච්ච තෙල් බින්දුවක් හරි ඇඟට වැටුනහම වෙන සන්තෑසිය.

හොඳ කබර හමක් තියෙන අයට කෙසේ වෙතත් අපි වාගේ සුසිනිදු ඡර්ම කළ්‍යාණයක් තියෙන අයට නං ඉතිං බඩු තමයි. ඔය බ්ලිස්ටර්ස් නැත්තං දිය පට්ටා වලින් ගැලවෙන්න බෑ.

ඉස්සර මං ගෙදර ඉන්න කාලෙ, අපේ අම්ම නං කරන්නේ තෙල්වලට පිච්චුනු ගමන්ම මොකක්දෝ මන්තරයක් කියල ඒකට පිඹින එකයි.

ඔය මන්තරේ, මට ඇහෙන්නේ මෙන්න මේ විදියටයි.

"ෆූ සද්දි විසිද්දි යකා!"

මන්තරේ දිගටම කියාගෙන යන ගමං අතට පිඹින්න ඕනැ.

අම්මට මේ මන්තරේ කියල දීල තියෙන්නේ අම්මගේ අම්මා, මගේ ආච්චී. ආච්චීට ඒක දීල තියෙන්නේ එයාගේ තාත්තා.

එයා වෙද මහත්තයෙක්. පරම්පරාවෙන් පැවත එන වෛද්‍ය ශාස්ත්‍රයක තමයි නිරත වෙලා තියෙන්නේ.

ඔය මන්තරත් ඒ පරම්පරානුගත දේවල්. මං හිතන විදියට සීතාවක රාජසිංහ කාලේ ඉන්දියාවෙන් ආපු බමුණන් ගේ ගුරුකම්. අහල තියෙනවනේ අර අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් ගැන. අපේ ආච්චිලා ගේ වාසගමත් ඔය පෙරුම කියන වර්ගයේ එකක්.

ආච්චීට එයාගේ තාත්තගෙන් ලැබුන මන්තරය ආච්චිගෙන් අපේ අම්මාට ලැබුනට අම්මා නම් ඒක ම ට දුන්නේ නෑ.

අම්මා කියන්නේ ඕවාට හිනාවෙන අයට ඒක දුන්නාට වැඩ කරන්නේ නෑ කියලයි.

ඒ කතාව ඇත්ත වෙන්න ඇති.

මොකද මගේ ඇඟිල්ලක් දවසක උණු තෙල්වලට පිච්චුණු වෙලාවක මං ෆූ සද්දි විසිද්දි යකා කියල දහ දොලොස් පාරක් විතර කිය කිය පිම්බාට කොහෙද ආවනේ දිය පට්ටයක්.

-කතන්දරකාරයා
ප/ලි:
දන්න දන්න මන්තර තියෙනවනං ලියල යන්න.

Sunday 8 August 2010

බයිලා සහ වාද බයිලා


මේ ලඟදි දවසක මං ගියා ජාතික රූපවාහිනියේ පොඩි වැඩකට උදේ රැයින්ම. මුලින්ම සෙට් වුනේ උදේට කන්නයි. කෑව කියන්නේ, දීල ඇද්ද පාන් බාගෙකුයි, මාළු හොදි එකකුයි නිකං උස්මුරුත්තාවට එනකං.

ඊට පස්සෙ ටිකක් ඔතන කැරකි කැරකි ඉන්න කොට මෙතනට යන එන විවිධ ග්‍රහයෝ ඇස ගැටුණා. ඔන්න බන්ධුල ගුණවර්ධන ආව එයාගේ ඔන්ටරාජ් එක එක්ක. විජේරත්න වරකගොඩයි, චිත්‍රයි, ජයනාතුයි ඇවිල්ල ගියා.

තවත් ටිකකින් ඔතනට ආව දැකල පුරුදු මූණු ටිකක්. බැලින්නම් මේ වාද බයිලා කණ්ඩායමනේ. ඒ ගොල්ලොත් ඇවිත් රෙකෝඩින් එකකට.

ඔය වැඩසටහන කලින් ගියේ ටී.එන්.එල්. එකෙයි මට මතක හැටියට. ඒ දවස්වල හිටිය අයගෙන් දැන් නැත්තෙ අර තොටලඟ කුසුමපාල විතරයිද කොහෙද.

පස්සෙ මං යූ ටියුබ් එකේවත් බැලුව තියෙනවද කියල මේ වාද බයිලා රෙකෝඩින් හෙම. තිබුනෙ නං එකම එකයි. දන්නවනේ අර "අනර්ඝ" කෙල්ලෙකුට "රමේෂ් අයිය දැම්මෙ නැද්ද රී-ලෝඩ් එක?" කියන බයිලා කෑල්ල.

බයිල කියන එකයි, බයිල ගහන එකයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක් නේ. අපේ හුඟ දෙනෙක් වගේ මාත් වැඩියෙන් දන්නේ නං බයිල ගහන්නයි.

ඒ මොනව වුනත් මේ අව් අස්සෙ මට මතක් වුනා අපි පුංචි කාලෙ කියපු බයිලා.

මෙන්න ඒවයින් කීපයක්. මේව බහුතරය පොලිටිකලි ඉන්කරෙක්ට් ඒව බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

"රේල් පාරෙ මං යන කොට කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලුවාම දෙමලි බනිනවා"

"රේල් පාරෙ මං යන කොට දිග දිග කම්බී
උඹලෑ තාත්තට මං කියන්නෙ පු* දිග තම්බී"

"උඹලෑ තාත්තයි අපෙ තාත්තයි එලාර යුද්දේ
උඹලෑ තාත්තගෙ සරම කැඩුන සබාව මැද්දේ"

ලංකාවෙ බයිල චක්‍රවර්ති කියන්නෙ වොලී බැස්ටියන් ට ලු නේ. හැබැයි ඉස්සර හිටිය ගායකයෙක් වෙන එම්.එස්. ප්‍රනාන්දුත් බයිල චැම්පියන් කෙනෙක් කියලයි කියන්නේ.

ඔන්න මං එක දවසක් එම්.එස් ව රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකින් ඉන්ටර්වීව් කරනව අහං හිටියා. මේක ටෝක් බැක් කාලෙට කලින්. ඒ දවස්වල ශ්‍රාවකයින්ට ගායකයාගෙන් ප්‍රශ්ණ අහන්න නම් පෝස්ට් කාඩ් එකක් ප්‍රශ්ණය ලියලා එවන්න ඕනැ නියමිත දිනයට කලින්.

ඔන්න එදා ඇවිල්ල තිබුණු එක ප්‍රශ්ණයක්.

"එම්.එස්. අයියේ, ඔබ හිටිවන බයිලා කියන්න ශූරයෙක් බව අපි දන්නවා. අපි වෙනුවෙන් කරුණාකර හිටිවන බයිලාවක් කියන්න."

මෙන්න එම්.එස්.

"මං ලැහැත්ති වෙලා නං නෙමේ ආවෙ හිටිවන බයිලා කියන්න. හොඳයි ඉතිං මේ ඉල්ලීම අහක නොදා මං එක බයිලාවක් කියන්නම් කෝ."

"හිතාලා නොවේ මල්ලී ආවෙ කියන්න
ගොතාලා එකක් දෙන්නම් එය අරගන්න
ගොතාලා එකක් දෙන්නම් එය අරගන්න
හිතාලා නොවේ මල්ලී ආවෙ කියන්න!"

එක් බයිල කිවිල්ලකට වැඩිය බයිල ගැහිල්ලක් කියලයි මට නං හිතුනේ.

-කතන්දරකාරයා

Friday 6 August 2010

ලකී පොරවල් සහ අන්ලකී පොරවල්


වාසනාව, අවාසනාව කියන දේවල් එක එක ක්‍රමයට අර්ථ දක්වන්න පුළුවනි. අද මට මතක් වුනා මීට අවුරුදු බර ගාණකට කලින් කියවපු මරු අදහසක්.

මිනිස්සු ගොඩක් රැස්වෙලා ඉන්න තැනක් ගැන හිතන්න. මෙතන වාසනාවන්තයෝ ඉන්නවා. ඒ වගේම අවාසනාවන්තයෝත් ඉන්නවා. හොඳයි, එතන ඉන්න අවාසනාවන්තම මිනිහා හොයා ගන්න අපිට අවශ්‍යයි හිතමු. කොහොමද මේක කරන්නේ?

ඉස්සර පොඩි කාලේ අපේ සීයලා ගේ ගෙදර නිවාඩුවට ගිහින් ඉන්න කොට සීයයි, ආච්චියි එකතුකරල තිබුණ රසවාහිනී සඟරා බලපු හැටි ගැන මං ලිව්ව මතකයි නේද, අර විමල් ගේ යුධ බිමේ අත්දැකීම් පෝස්ට් එකේ?

ඔය සඟරා දාල තිබුණු පෙට්ටගමේම තිබිල මං කියෙව්ව මතකයි මෛත්‍රී මූර්ති කියල ලේඛකයෙක් (හාමුදුරුනමක් ද මන්ද? නෝට් ටු සෙල්ෆ්-පොර යන වචනය භාවිතයෙන් වලකින්න!) ලියපු පොතක්.

මේ පොතේ තිබුණු එක ලිපියක ඔය වගේ පිරිසක් අතරින් අන්තිම අවසනාවන්තය තෝරා ගන්න යෝජනා කරල තිබුණු ක්‍රමය මෙන්න මෙහෙමයි.

පොඩි ගල් කැටයක් ගන්න (එහි බර m යැයි සිතමු).

එය උඩට විසි කරන්න. (තිරසට a කෝණයකින් සහ u ආරම්භක ප්‍රවේගයකින් යැයි සිතමු).

දැන් ඔය ගල් කැටේ උඩ ගිහින් ආපහු බිමට ඇවිත් කාගේ හරි ඇඟේ වදිනවානේ වේගෙන්. තුවාල වෙන්නත් ඉඩ තියෙනවා බොහෝ දුරට.

අනිවාර්්‍යයෙන්ම, ගල් කැටේ ඇඟේ වදින එකා තමයි ඔතන ඉන්න අවාසනාවන්තම පොර. ඔන්න එයාට ඒ ගල් කැටේ හිමි වෙනවා සුවනියර් එකක් වගේ තියාගන්න.

දැන් මෛත්‍රී මූර්ති අපට ඉදිරිපත් කරන දාර්ශණික ප්‍රශ්ණය මේකයි.

මෙතනදි ඔය ගල් කැටේ වෙනුවට ඒ බරම (m) ඇති නිල් මැණික් කැටයක් අරගෙන, ඒ කෝණයෙන්ම (a), ඒ ප්‍රවේගයෙන්ම (u) උඩට විසි කළොත් මොකද වෙන්නේ. ගුරුත්වාකර්ෂණයයි, වායු ප්‍රතිරෝධයයි වෙනස් නොවී පවතිනවා.

ඉතිං මෙතෙන්දී, ඒ මැණික් කැටේ පහලට වැටිලා ඇඟේ වදින එකා තමයි එතන ඉන්න වාසනාවන්තම පොර එහෙම නේද?

ඒ කියන්නේ ගලේ වර්ගය වෙනස් වුණු ගමන් අවාසනාවන්තයා වාසනාවන්තයෙක් වෙනවා!

ඔය උඩින් තියෙන එක වගේ සමහර ෆොටෝ, ඒ සම්බන්ධ වීඩියෝ, ඒ පිළිබඳ ආරංචි දකින්න, අහන්න ලැබුණු අපි හැමෝම මහා අවාසනාවන්තයෝය කියලයි මට හිතෙන්නේ.

ඒ එක්කම, මේ වගේ දෙයක් වෙලත් නිකං කිඹුහුමක් ගියාම වගේ ලේන්සුවෙන් පිහදාගෙන මෙගා ටෙලි එකේ බබා ට අනේ මේ මොකද වුනේ කියල වොරි වෙවී ඉන්න පුළුවන් අය?

අන්න නියම වාසනාවන්තයෝ!

-කතන්දරකාරයා

ප/ලි:
ඒ ලෙවල් වලට මැත්ස් කරන අය ඉන්නවනං ඔය ගලේ ප්‍රක්‍ෂේපිත පරාසය උපරිමවන්නේ ප්‍රක්‍ෂේපන කෝණය අංශක 45 වන විට බව සාධනය කරන්න. (සැ.යු. ඔබ කැමති ගලක් තෝරාගත හැක).

Wednesday 4 August 2010

අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක්.. .!!!


ඉස්සර හිටිය ඇල්.ඇම්. පෙරේරා කියන සිංහල චිත්‍රපට අධ්‍යක්‍ෂක හතරේ ඉලක්කම ගැන පිස්සු වැටුණු පොරක්. මෑන්ස් හදපු සේරම චිත්‍රපට හතර සම්බන්ධ ඒවා. හතර පෙරලිය, හතර මහ නිධානය, හතර අරක, හතර මේක යනාදී වශයෙන්.

හැබැයි මේ ළඟදී රී-මේක් එකක් කරපු හතර දෙනාම සූරයෝ පොර ගේ නෙමේ. හතර දෙනෙක් සෙන්පතියෝ කියන්නේත් ජයන්ත චන්ද්‍රසිරි ගේ ටෙලියක් නේ.

මොනවා උනත් හතර කියන එක විදියක අංකයක්. චතුරාර්්‍ය සත්‍යයෙන් පටන් ගත්තහම, පාප මිත්‍රයෝ හතර දෙනා, කල්‍යාණ මිත්‍රයෝ හතර දෙනා, හතර මහා අපාය වගේ හතර සම්බන්ධ නොයෙකුත් දේවල් බුද්ධාගමටත් සම්බන්ධයි.

එක බණ කතාවක තියෙන විදියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා පුද්ගලයින් හතර වර්ගයක් ගැන මෙන්න මෙහෙම.

1. තමන් දන්න බව දන්න උදවිය
2. තමන් දන්න බව නොදන්න උදවිය
3. තමන් නොදන්න බව දන්න උදවිය
4. තමන් නොදන්න බව නොදන්න උදවිය

මං මේ හදන්නේ බණ කියන්න නෙමේ. හැබැයි තමන් නොදන්න බව දැනගෙන ඉන්න එක හොඳයි දන්න බව නොදැන ඉන්න එකට වැඩිය.

අපේ සමහර අයියලා නං හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ සේරම දන්නවා කියලනේ. මේ අය තමයි නොදන්න බව නොදන්නා කොටස.

අද ප්‍රස්තූත කතන්දරේ මෙන්න මෙහෙමයි. මං හිතන්නේ මේක නස්රුදින් සම්බන්ධ කතන්දරයක්.

ඔන්න දවසක් නස්රුදින් ට ආරාධනයක් ලැබුණා දේශණයක් කරන්න. පොර කොහොමටත් එක විදියක පොරක් නේ. මට බෑ කියල වැඩේ ප්‍රතික්‍ෂේප කලා. නමුත් අන්තිමේදී කොහොම හරි වැඩේ බාරගන්න වුනා.

පොර කතාව පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කවුද දන්නේ මේ යෝධයා මොනවා කියන්න යනවද කියලා. ඉතිං හැමෝම "නෑ" කිව්වා.

"තමුසෙලා වගේ කිසිම දෙයක් නොදන්න මැට්ටෝ ටිකක් එක්ක මට කතාවක් නෑ!" කියලා නස්රුදින් මාරුවුණා.

නමුත් ආයෙමත් පොරට සිද්ධ වුණා රී-ෂෙඩියුල් කරපු දේශණය පවත්වන්න එකඟ වෙන්න.

එදාත් පොර කලේ මයික් එක අතට ගත්තු ගමන් අර ප්‍රශ්ණෙම අහපු එකයි.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කවුරුවත් දන්නෙ කොහොමද මූ මොනව කියන්න යනවද කියලා. හැබැයි ඒ බව කිව්වොත් එදා වෙච්ච දේම වෙන බව දන්න හින්දා මුළු ඕඩියන්ස් එකම එක හඬින් කිව්වා "ඔව්, අපි දන්නවා!" කියලා.

"හා, තමුසෙලා මං කතාකරන්න යන දේවල් දැනටම දන්නවා නං ආයේ මං ඒවා කියන්න ඕනැ නෑනේ?" කියල කියපු නස්රුදින් එදාත් වැඩෙන් කර ඇරියා.

ඔන්න ඉතිං තුන්වෙනි දවසත් ආවා.

අම්මපා මේ නස්රුදින්ටම දේශණවලට කතාකරන්නේ ඇයි, වෙන මිනිස්සු නැද්ද මන්දා නේද? මං හිතන්නේ නස්රුදින් හොඳ කතන්දරකාරයෙක් හින්දා වෙන්න ඇති.

කොහොම හරි එදාත් නස්රුදින් අර ප්‍රශ්ණය ඇහැව්වා.

"මං කතා කරන්න යන්නේ මොනවද කියල ඔහේලා දන්නවාද?"

කලින් කතාවෙලා හිටිය විදියට ඕඩියන්ස් එකේ සමහරු "ඔව්, දන්නවා!" කිව්වා, අනිත් අය "නෑ, දන්නේ නෑ!" කිව්වා.

නස්රුදින් මොකක්ද දන්නවද කලේ?

"එහෙනං ඔය දන්න ඈයෝ, නොදන්න කෂ්ටියට කියල දෙන්නකෝ, මේං මං ගියා!" කියල ෂේප් වුණා.

-කතන්දරකාරයා
ප/ලි:

මට මේ කතාව මතක් වුනේ අර කලින් දාපු මෙලෝ රහක් නෑ කියන පොස්ට් එකේ මං කැළණි පාලම වේදිකා නාට්‍යය ගැන සඳහනක් කරන වෙලෙයි. ඒ කතාව දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවා ඇතිනේ. දන්න අය නොදන්න අයට කියල දුන්නහම කතන්දරකාරයා ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා.

මේ ලඟදී සම්පත් බණ්ඩාර එවල මං පල කරපු කතන්දරේ පටන් අරගෙන තිබුණෙ ඔය විදියටයි.

රියල් කතන්දරයකින් පසුව හමුවෙමු.

Monday 2 August 2010

කඳුළු කතන්දර - මිසිස් දාබරේ


මිසිස් දාබරේ මං මුලින් ම දකින කාලෙ එයා අවුරුදු හැටක විතර මැදි වියේ කාන්තාවක්.

අපේ ඥාති යුවලක් කුලියට පදිංචි වී සිටි ඇනෙක්සියේ හිමිකාරිය වූයේ මිසිස් දාබරේ. ඉතිං මං ඉඳල හිටල එහේ ගිය වෙලාවලට දාබරේ නෝනව දකිනව. සිංහලට වඩා ඉංගිරිසිය හුරු, කතෝලික ආගම අදහන හොඳ කරුණාවන්ත මනුස්සයෙක්. මං ඒ ලෙවල්ස් ගොඩ දැම්ම බව අහල මට විෂ් කරල කාඩ් එකකුත් එව්ව.

ඇනක්සියෙ මහ ගෙදර මිසිස් දාබරේ හිටියෙ තනියම වගේ. ඇත්තටම ගෙදර හිටියෙ එයා ඇරුණහම හිටියෙ අවුරුදු පහලොවක විතර පොඩි කොල්ලෙක් විතරයි. සකලබුජං කේස් එකක්. ඒ කියන්නෙ බාල වයස්කාරයෙක්. ඒ කාලෙ ඒ පිළිබඳ නීති එච්චර තද නෑ. කවුරුත් ගනං ගන්නෙත් නෑ.

මිසිස් දාබරේ ගෙ එකම පුතා ඇමරිකාවෙයි කියල අපේ ඥාතියා කිව්ව. මිස්ට දාබරේ කෙනෙක් හිටියෙ නෑ. ඇත්තටම කියනවා නම් මිසිස් දාබරේ වැන්දඹුවක්. මිස්ට දාබරේ මැරිල ඒ වෙනකොට අවුරුදු ගාණක් වෙලා.

මිසිස් දාබරේ වැන්දඹුවක් වුනු, ඒ කියන්නෙ මිස්ට දාබරේ අවසන් ගමන් ගිය එක මං අහල තියෙන නරකම කතාවක්. සෑහෙන්න දුක හිතෙන, ඒ වගේම මුළු ලෝකය ගැනම කලකිරීමක් ඇතිවෙන කතාවක්.

මිසිස් දාබරේ ගෙන අපේ ඥාති යුවල දැන ගෙන, ඒ ගොල්ලොලන්ගෙන් මං දැනගත් විදියට කතාව මේකයි.

දාබරේ ජෝඩුවයි, පුතයි, තවත් පවුල් කීපයක් එක්ක කට්ටියක් එක්ක කොළඹ ඉඳලා ත්‍රිකුණාමලය පැත්තේ විනෝද සංචාරක් ගියා. මේ අතරේ තමයි යාපනේ පොලිටිකල් ප්‍රශ්ණයක් නිසා ලංකාවේ අනිත් පලාත්වල දෙමල කලබල පටන්ගත්තේ. ඉතිං ඔන්න සේරම අකුලගෙන ආපහු කොළඹ එන්න පටන් ගත්තා.

මේ කියන කාලේ ඔය පැත්තේ පාරවල් වගේම වාහන වුනත් අද වගේ හොඳ නෑනේ.

ඉතිං, අවාසනාවට වගේ දාබරේලාගේ කාර් එක කැඩුණා. ඕක වෙලා තියෙන්නේ පදවිය හරියේ. රටේ තත්වයක් හොඳ නැති නිසා, කට්ටියම කතාවුණා කරන්න තියෙන හොඳම වැඩේ තමයි කාන්තා පක්‍ෂයයි, ළමයින්වයි හොඳ වාහනවල කොළඹට එවලා, මිස්ට දාබරේයි තව දෙන්නෙකුයි විතර නතරවෙලා වාහනේ හදාගෙන පස්සේ ගෙදර එන එක කියලා.

මිසිස් දාබරෙයි, අතදරු පොඩි පුතයි ගෙදර ආවා. දවසක් ගියා. දෙකක් ගියා. මිස්ට දාබරේවත්, එයා එක්ක වාහනේ හදාගන්න නතරවුණු සිවලිංගම් කියන යාළුවවත්, ෆර්නෑන්ඩු කියන යාළුවවත් කවුරුවත්ම ආපහු ආවේ නෑ.

මං හිතන විදියට(*) වෙන්න ඇත්තෙ මෙන්න මෙහෙමයි.

ඔන්න කාරෙක අටවගෙන යාළුවො තුන්දෙනා කොළඹ පැත්තට ඩ්‍රයිව් කරං එනව.

හදිස්සියෙම පාර මැදට පැන්න පොළු මුගුරු ගත්තු දාමරික රංචුවක් කාරෙක නවත්තනව.

"අඩෝ! මේකෙ ඉන්නවද පර දෙමළු හෙම?" එක දාමරිකයෙක් දොර ඇරල අහනව.

"නෝ, නෝ, වී ආ ඕල් සිංහලීස්!" මිස්ට දාබරේ උත්තර දෙනව.

සිවලිංගම් කට අරින්නෙ නෑ.

මිස්ට දාබරේටත් සිංහල හොඳට බෑ. ඉංගිරිසියෙනුයි කතා කරන්නෙ.

"අඩෝ, තෝ පර දෙමලෙක් නේද? තෝ අපි ට බොරු කරන්න හදනව නේද?"

"නෑ, නෑ, මං සිංහලීස්!"

"එහෙනං කියපිය බලන්න බුදුන් වදින ගාථාව!"

මිස්ට දාබරේ කතෝලික බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ. ෆර්නෑන්ඩුත් එහෙමයි. අනික මේ දෙන්නම මහ කළු සිංහලයෝ. අර "කිං වලගම්බා" වගේ.

ඔය අව් අස්සෙ සිවලිංගම් දෙමල බව හොඳටම වැටහෙන්න ඇති.

"මෙන්න දෙමළු තුන්දෙනෙක් පැනල යනෝ.. ..!!!"

ඉතිං, මිස්ට දාබරේවත්, සිවලිංගම්වත්, ෆර්නෑන්ඩුවත් කවුරුවත්ම ආපහු ආවේ නෑ.

දාල පිච්චිලා ගිය කාර් එකක සැකිල්ල විතරක් පදවිය හරියෙ තිබිල හම්බවෙලා තියෙනව.

සමහර විට විශ්වාස කරන්න අමාරුයි වගේ නේද? මේක ඇත්ත කතාවක්. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අද ඊයෙ නෙමෙයි, 1958 ජාතිවාදී කලබල කාලෙයි.

අර සුනිල් ආරියරත්න උන්නැහේ හදපු, ගාමිණී ෆොන්සේකා නඩරාජා ට රඟපාපු "සරුංගලේ" කියන මූවි එකට පාදක වෙලා තිබුණෙ ඒ 1958 කෝලාහල කාලෙයි.

-කතන්දරකාරයා

(*)
ඔය කවුරුවත් නොදන්න දෙබස ලියන්න මං කරුණු හොයා ගත්තෙ වෙනත් මූලාශ්‍රවලින්.

කවුරු හරි කියවල තියෙනවද පී.එම්. ජයතිලක වගේ නමක් තියෙන කෙනෙක් ඔය 58 කළබල කාලය පාදක කරගෙන ලියපු නවකතා පොත?