
මේ ලෝකේ සිද්ධවෙන බොහොමයක් දේවල් එකක් නිසා තවත් එකක් වෙලා දිගෙන් දිගට වැල වගේ ඇදෙන දේවල්. හරියට අර පටිච්චසමුප්පාදය එහෙම නැත්තං හේතුඵලවාදය වගේ.
කතන්දර කීමත් ඒ වගේමයි.
ඔන්න
චූටි ටීචර් අර
සාම්පූර් කතන්දරේ ලිව්ව, ඒක දැකල
ඉන්දික උපශාන්ත කාරය
ඉරාක් කතන්දරේ ලිව්ව, ඒක හින්ද මං
ලැජ්ජ නැතුව ජාතක වුනු කතන්දරේ ලිව්ව, ඒක හින්ද තමයි මේ අද බුද්ධාගම පාඩමේ කතන්දරේ ලියන්න මග පෑදුනේ.
මෙතනින් කොහේට ඇදිල යයිද දන්නෙ නෑ. බලමු බලමු.
ඉස්සර අර අමාරිස් අයිය කිව්ව වගේ කොච්චර කොහේ ගියත් අන්තිමේදී තොටලඟට එන්න එපායැ.
ඉතිං ළමයිනේ, මෙන්න මේකයි අද මං කියන බුද්ධාගම පාඩමේ කතන්දරේ.
අර නන්ද හාමුදුරුවන්ගෙන් බැනුම්, ගැරහීම් ලැබීම කෙසේ වෙතත්, කතන්දර කුමාර හතේ පන්තිය පලමුවෙනියට පාස් වෙලා අටේ පන්තියට ගියා. හැබැයි,
පහේ පන්තියෙදි 87% ක් ලකුණු ගත්තු මගේ සාමාන්‍යය දැන් 75% ට විතර අඩුවෙලා. ඒකට මොකෝ? අපේ අධ්‍යාපන ක්‍රමය අනුව වැඩියෙන් වැදගත් පන්තියෙ පලවෙනියා වෙන එකනේ! මාත් හැපී, අපේ ගෙදරත් හැපී, නෑදෑයොත් හැපී.
හතේ පන්තියෙදි මට
ඉසිපතනය ට නම වැටුණු හැටි මගේ මතකයේ නොරැඳීම නිසා බුද්ධාගම උගන්නපු නන්ද හාමුදුරුවන්ගෙන් අපහාස විඳින්න වුනේ, මං පන්තියෙ
පොරක්ය කියන එක උන්නාන්සෙ දැනගෙන හිටියෙ නැති නිසයි. දන්වනං ඔය ප්‍රශ්ණෙ අහන්නෙ මගෙන් නෙමේ අර
සුලි දෙකේ බලි කටා කතන්දරේ හිටපු කොල්ලො දෙන්නගෙන් එකෙක්ගෙන්.
ඒකටත් එක්ක අපිට අටේ පන්තියෙදි බුද්ධාගම උගන්වන්න ආපු අබේසිංහ ටීචර්. අනේ අපූරු ටීචර්. එයා හොඳින් දැනගෙන හිටිය පන්තිය කරගෙන යන්න ඕනැ විදිය. කවදාක්වත් මගෙන් ඔය අනවශ්‍ය ප්‍රශ්ණ අහන්න ආවෙ නෑ.
පන්සිල් ගත්තාම, මල් පූජා කළාම පින් සිද්ධ වෙනව වගේ ගාථා කිව්වහමත් පින් සිද්ධ වෙනවනේ. අහල තියෙනවා නේ ඒ ගැන නේද?
ඉතිං, ඕක හින්ද වෙන්න ඇති අපිට ඒ දවස්වල ඉස්කෝලෙදි බුද්ධාගම විෂයයට ගාථා කට පාඩම් කරන්න කියන්නෙ.
ඔන්න දවසක් අබේසිංහ ටීචර් අපිට නියම කළා මොනව හරි ගාථා දෙකක් පාඩම් කරගෙන එන්න කියල. මං හිතන්නේ ධම්ම පදයෙ, යමක වග්ගයෙන් වෙන්න ඕනැ.
මට ඒ බව මතක් වුනේ, ඊලඟට බුද්ධාගම තිබුණු දවසෙ ටීචර් පන්තියට ඇවිල්ල පාඩම පටන් ගත්තු වෙලෙයි. මළ කෙලියයි නේද? අදත් පුටුව උඩ නගින්න වෙයිද කතන්දර කුමාරට?
ඒ කිසි අවුලක් වුනේ නෑ මෙදා.
ඔන්න අබේසිංහ ටීචර් කිව්ව පන්තියෙ ළමයි හැමෝගෙන්ම ගාථා පාඩම් ගන්නවයි කියල. පන්තියෙ හිටියනේ තිස් පස් දෙනෙක් විතර. එක්කෙනෙකුට ගාථා පහ කියන්න විනාඩි දෙකක් ගියොත් මේ විභාගෙට පැය එකයි කාලක් යනව.
අබේසිංහ ටීචර් හරිම නුවණක්කාරී. එයා කිව්ව මෙහෙම.
"හොඳයි කතන්දර කුමාර පිරිමි ළමයි ගෙන් ගාථා කට පාඩම් කරලද බලන්න. ගෑනු ළමයි එක්කෙනා එක්කෙනා එන්න මට ඇවිත් පාඩම දෙන්න."
ඉතිං මං පන්තියෙ ඉස්සරහ පුටුවක් තියං වාඩිවෙලා ඉන්නව නිකං මනමේ කුමාරය වගේ. කොල්ලො ටික පන්තියෙ වාඩිවෙලා ඉන්න අනුපිළිවෙලට එක එකා මා ගාවට ඇවිත් ගාථා කියනව.
මං බුද්ධාගම පොත අතේ තියන් කොල්ලො කියන ඒවා හරිද බලනවා.
පන්තියෙ කොල්ලො පාලොස් දෙනෙක් එක්ක ඔය වැඩේට මට පැය භාගෙකටත් වැඩිය ගියා. පීරියඩ් එක ඉවර වෙන්නත් ලඟයි.
අන්තිමේදී අබේසිංහ ටීචර් කිව්ව මට ඇවිත් එයාට පාඩම දෙන්න කියල.
මොනවද ඉතිං අහිංසක කුමාරය දිසාපාමොක් ඉස්සරහ ශිල්ප දක්වනව වගේ තමයි. පාලොස් පාරක් කොල්ලො ගාථා කියන හැටි අහං හිටපු, ඒ හැම පාරම අතේ තිබුණු පොත බලාගෙන හිතෙන් කියවපු කතන්දර කුමාරයට, ඕක හාඩ් ඩිස්ක් එකට rip කරගන්න එක මහ කජ්ජක් යැ.
මේ සේරම වැදගත් සහ නොවැදගත් සිදුවීම් සේරම සේව් කරගෙන දැන් නං හාඩ් ඩිස්ක් එක හොඳටම පිරිල. අදවත් රෑට අර
මතකය දියුණු කරන හැටි තියෙන පොත හොයාගෙන කියවන්න මතක තියාගන්න ඕනැ.
කතන්දරකාරයා