Sunday 31 January 2010

ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්


තමන්ගෙ නමට එන ලියුං තවමත් ගෙදය අය කඩල බලනව කියල පිළිගන්න අය ඉන්නවනං ඒ අය කරුණාකරල අත උස්සන්න!

අපි පොඩි කාලෙ නං අපිට බර්ත් ඩේ කාඩ් එකක් ආවත් ආවෙ තාත්ත හරි අම්ම හරි බාරේ මෙන්න මෙහෙම ඇඩ්රස් එක ලියලයි.

කතන්දර කුමාර
කතන්දර කුමාරගේ තාත්තා බාරේ
101, පරකන්දෙනිය
ඉඹුල්ගොඩ.

ඉංගිරිසියෙන් ලියනව නං ලියන්නෙ Care of එහෙම නැත්තං c/o කියලයි.

ඔය මොන විදියට ලිව්වත් තාත්ත හෝ අම්ම බාරේ ලියුමක ඇඩ්රස් ලියන එක තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සලකන කොට නං කිසිම තේරුමක් ඇති දෙයක් නෙමේ. ඒ ගොල්ලන්ට ඕනැ ගෙදර තියෙන තැන හොයා ගන්න හැටි විතරනෙ! ගමේ නම, පාරෙ නම, ගෙදර අංකය විතරක් තිබුනම හොඳටෝම ඇති.

හැබැයි ගෙදර අයට නං මේ බාරේ කියල ලියන එකෙන් තේරෙන්නෙ ලියුමට බාරකාරයෙක් ඉන්නව කියන එකයි. ඒකනෙ ඒ ගොල්ලො ලියුම කඩල බලන්නෙ!

ඔන්න අපි ටිකක් ලොකු උනාම වෙසක් කාඩ් යවන කාලෙ ආව. දැන් යාළුවො එවන කාඩ් වල අර බාරේ කෑල්ල නෑ. හැබැයි අපේ කාලෙ මේ වෙසක් කාඩ් බොහෝ විට පෝස්ට් කාඩ් වර්ගයක් නිසා ඒවයෙ කොහොමටත් කඩල බලන්න ඕනැ කමක් තිබුනෙ නෑ. මුළු අන්තර්ගතයම එලියෙනෙ තියෙන්නේ!

ඒ ලෙවල් විභාගෙ කරල ගෙදර ඉන්න "ගන්ධබ්බ කාලෙ" තමයි ඉස්සෙල්ලාම ඉස්කොලෙ යාළුවන් ගෙන් ගොඩක් ලියුම් එන්න පටන් ගත්තෙ. අපේ හොඳම මිතුරන් පස් හය දෙනෙකුගෙ ක්ලික් එකක් තිබුන. ඉතිං ඒ කාලෙ සිතයකට ලියුං තුන හතරක් එනව.

මගෙත් වැඩේ දවල් කාලෙ පොත් බලනව, රෑට ලියුම් ලියනව. ඒවත් මාගල් වගේ දිග ලියුං. ඒ දවස්වල ඔය අද කොල්ලො කුරුට්ටන්ට වගේ අපිට Land Phone, Mobile Phone, SMS, MSN, eMail, Facebook යනාදිය තිබුනෙ නෑනෙ.

මං ගෙදර හිටියොත් කෙලින්ම මගෙ නමට එන ලියුං ටික මං ගන්නව පියුං කාරය එනකං මග බලාගෙන ඉඳල. මං පුස්තකාලෙට ගිහින් හෙම හිටි දවසක තාත්ත ගෙදර හිටියොත් කාගෙ නම තිබුනත් එයා ලියුං කඩනවාමයි.

මේ විදියට තාත්ත අන්තිමට කැඩුව මගේ නමට ආපු ලියමන එවල තිබුනෙ ජයන්ත කියන මගේ හිතවතායි.

ජයන්තය ඒ වෙනකොටත් පොරක්. කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුද්දක් විතර.

රිසල්ට්ස් එනකං ගෙදර අපි ගතකළ ඒ අසහනකාරී කාලය ගැන මගේ ලියුමක තිබුණු ආඩපාලි වලට උත්තර විදියට ජයන්තය ඒ තාත්ත කාඩපු ලියුමෙ ලියල තිබුණ මෙන්න මෙහෙම.

"මචං, කතන්දරේ, උඹට තියෙන්නෙ හරිම ලෙඩක්. ඕකට කියන්නෙ අසහනය කියලයි. උඹට තියෙන්නෙ ඉක්මනටම බඩුවක් දාගන්න එකයි."

"හොඳ බඩුවක් දාගනිං!"

එදායිං පස්සෙ තාත්ත කවදාක්වත් මගේ ලියුං කැඩුවෙ නෑ!!!

කතන්දරකාරයා

ප/ලි: හා, දැන් ඔය අත් උස්සගෙන ඉන්න ළමයි අත් පාත දාන්නකෝ.

Thursday 28 January 2010

[කතන්දරකාරයා] - අනේ මල්ලී ධර්මිෂ්ඨ සමාජයක් නෙ තියෙන්නෙ!


කතන්දර බ්ලොග් එක පටන් ගත්තෙ දේශපාලන කතා ලියන්න නං නෙමේ. ඒත් ඉතිං හැම දේකම දේශපාලනයක් තියෙන එකේ කතන්දර කාරයා ගේ කතන්දර වලටත් ඕක කාන්දු වෙන එක අරුමයක් නෙමේ නේ.

ඒත් මැදහත් සිතින් කියවා බලන්න මේ කතන්දරයත්. මේක දේශපාලනයට සම්බන්ධ වුනාට ටිකක් වෙනස් එකක්. ඇත්තටම මගේ ඥාති සහෝදරයෙක් මට කියාපු කතාවක්.

ඔන්න 1977 මැතිවරණය ට විපක්‍ෂය විදියට මුහුණ දුන්නෙ යූ.ඇන්.පී එකයි. සමගි පෙරමුණ ලෙසින් අවුරුදු හතක් බලයේ හිටපු ශ්‍රී ලංකා නිදහස්, සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ සභාග ආණ්ඩුව ජනතාවගෙ අප්‍රසාදයට පත්වෙලයි තිබුනෙ.

ඇත්තටම කියනව නම් සමගි පෙරමුණ අසමගියෙන් විසිර ගිහිනුයි හිටියෙ අවසාන දවස් වෙන කොට.

විපක්‍ෂයෙ හිටපු යූ.ඇන්.පී යෙ තේමාව වුනේ ඔවුන් බලයට ඇවිත් ධර්මිෂ්ඨ සමාජයක් පිහිටවනව කියන එකයි. ඊට අමතරව ඔවුන් හැම පවුලකටම ධාන්‍ය රාත්තල් අටක් දෙනව, රැකියා නැති අයට ඩෝල් එකක් හෙවත් සුභ සාධක දීමනාවක් දෙනව ආදී වශයෙන් පොරොන්දු රාශියකුත් දුන්න.

මේ එකක් වත් කවදාකවත් ඉටු නොකල, සිදු නොවුණු දේවල් විදියටයි ඉතිහාසයෙ සඳහන් වෙලා තියෙන්නේ.

හිට්ලර් ගෙ ප්‍රවෘත්ති ඇමති ගොබෙල්ස් කියල තියෙනව ඕනෑම බොරුවක් නිතරම කිව්වහම ඒක සත්‍යයක් වශයෙන් ජනතාවගෙ සිත් සතන් තුල සටහන් වෙනව කියල. ජේ.ආර්. ගෙ මේ ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවනව කියන කතාවෙ අපේක්‍ෂිත ප්‍රථිඵලය වුනෙත් ඒකයි මට හිතෙන විදියට. මේ කතාව ඇහෙන ඕනෑම කෙනෙකුගේ හිතට වදින්නෙ, එහෙනම් දැන් තියෙන ආණ්ඩුව අධර්මිෂ්ඨ එකක් ය කියලයි. නිතර නිතර ඇහෙන කොට සිතට ඒ අදහස හොදටම කා වදිනව. අර මස්තිෂ්ක ශෝදනය හෙවත් බ්රේන් වොෂ් කරනවා වගේ.

ජේ.ආර්. මේ කතාව කොච්චර කිව්වද කියනව නම් මිනිහට නමකුත් පට බැඳුන "ධර්. මිස්ටර්””" කියල.

SLFP ආණ්ඩුව අන්තපරාජයකට පත් කරමින් යූ.ඇන්.පී ය දිනුව. ආණ්ඩුවක් පිහිටෙව්ව. ඒ එක්කම ධර්මිෂ්ඨ සමාජයක් කියල තැපැල් මුද්දරයක් නිකුත් කලා.

මට හිතෙන හැටියට JR කොරපු එකම ධර්මිෂ්ඨ කම එච්චරයි.

ඔය කියන මුද්දරේ තමයි අවුරුදු පහක් විතර යනකං තිබුණ ප්‍රධාන තැපැල් මුද්දරේ. ටිකක් කල් ගියාට පස්සෙ මිනිස්සු පටන් ගත්ත මේ මුද්දරේ උඩ යටිකුරු කරල ලියුම්වල අලවන්න.

ඉතිං මේකයි අද කතන්දරේ.

මට මේ කතාව කියපු අයිය ගෙ ගමේ ඉඳල තියෙනව තරමක මෝඩ පහේ, අර නෝංජල් කියල සාමාන්‍යයෙන් හැඳින්වෙන විදියේ මනුස්සයෙක්. මේ මිනිහ ගාව තිබුණලු තරමක් වටින පහේ අත් ඔර්ලෝසුවක්. දවසක් ගමේ හිටිය පොරක් මේ ඔර්ලෝසුව ඉල්ලගෙන මගුල් ගෙදරක යන්න තියෙනව ගිහින් ඇවිත් ආපහු දෙන්නම් කියල.

සතියකටත් වඩා ගතවුනා ඔරලෝසුව ආපහු ලැබුනෙ නෑ. අපේ මනුස්සය ගිහින් ඉල්ලුවම කියල තියෙනව"

"උඹට මොකද බං ඔරලෝසු? ඒක මං තියාගන්නම්" කියල. බලගත්තාර කමෙන් ඒ අසරණයගෙ ඔර්ලෝසුව අයිති කර ගත්ත.

ඉතිං මේ මනුස්සය ඇවිත් අපේ අයිය එක්ක මේ කතාව කියල අන්තිමේදි මෙහෙමත් කිව්වලු.

"අනේ මල්ලි මං හිතුවෙ නෑ, මිනිහ මේ වගෙ දෙයක් කරයි කියල. මං අහන්නෙ ඕව හොඳ වැඩද? අද ලංකාවෙ ධර්මිෂ්ඨ සමාජයක් නෙ තියෙන්නෙත්!"

පව් නේද?

ගොබෙල්ස් හරි!

කතන්දරකාරයා

Monday 25 January 2010

නොදන්න දෙමලේ - නැවත කියවීම


ඉස්සර මං පොඩි කාලෙ අම්ම මොකක් හරි ගෙදර වැඩකට උදව්වක් ඉල්ලුවහම අපි නෑහුනා වගේ ඉන්න කොට, දෙතුන් පාරකට පස්සෙ, අම්ම අපෙන් අහනවඃ

"සිංහල තෙරිය ඉල්ලෙ?" කියල.

මේකෙ තේරුම මයෙ හිතේ - සිංහල තේරෙන්නෙ නැද්ද කියන එකයි. ඒකනෙ දෙමළෙන් අහන්නෙත්!

පසුකාලෙක මං මේ කතාව කිව්ව මගෙ රූම් මෙට් වුනු මඩකලපුවෙ කොල්ලෙකුට. පොර කිව්ව දෙමල අය අතරෙත් මේ හා සමාන පුරුද්දක් තියෙනව කියල. දෙතුන් පාරක් කියල ඇහෙන්නෙ නැතුව හිටියහම අහනවළුඃ

"සිංහලෙන් කියන්න ඕනිද?" කියල.

ඒක අහන්නෙ සිංහලෙන්. ඇයි එච්චර වෙලා දෙමලෙන් කියපු දේ තේරිලා නෑනෙ!

සුද්දන්ට තේරෙන්නෙ නැති දේවල් Greek. සිංහල අපිට තේරෙන්නෙ නැති දේවල් දෙමල. කොහෙත්ම මීටරේට වැටෙන්නෙ නැති දේවල් අන්ඩර දෙමල. ඒ කියන්නෙ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙ කතා කරන දෙමල. ඒව, තමිල්නාඩුවෙ දෙමල අයටත් තෙරෙන්නෙ නැතුව ඇති!

"නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නසා ගත්න එපා" කියල කියමනක් තියෙනව. මේකෙ නිධාන කතාව නම් මං සහසුද්දෙන් දන්නෙ නෑ. ඒත් මේකෙන් අදහස් කරන්නෙ නම් තමන් ට නුහුරු නුපුරුදු දේවල් කරල පොර වෙන්න ගිහින් නිකං පීචං වෙන්න එපා කියන එකයි.

මේ කියමන මට මතක් වුනේ ලඟදී අරුණි ශපීරෝ ගේ බ්ලොග් අඩවියේ තිබුණු පෝස්ට් එකකට පාඨකයෙක් දාල තිබුණු කොමෙන්ටුවක් දැකලයි. අරුණිගෙ අදහස තේරුම් ගියේ නැති ළමයෙක් සිනා උපදවන වගන්තියක් ලියල තිබුණ.

මේක දැකල මට මතක් වුනේ අවුරුදු ගණනකට කලින් මගේ කණ වැටුණු දෙබසක්.

ඔන්න හොඳ පොරවල් දෙකක් හිටිය. අපි කියමු විජය සහ රනුක කියල. මුං දෙන්න හොඳ යාළුවො. හැබැයි විජේ කාරයට ඉක්මනිං තරහ යනව. මොකක් හරි එකකට රනුකය එක්ක කේන්ති ගිය විජේ මෙහෙම කියපි.

"අඩෝ. උඹ ආනන්දෙන් කැම්පස් ආව කියල උඹට තියෙනව ලොකු හීනමානයක්. අන්න ඒක නැතිකරගනිං මං උඹේ හොම්බ සමතලා කරන්න කලිං."

රනුකය කිව්වෙ මෙච්චරයි.

"මචං, මං ආනන්දෙ ඉගෙන ගත්ත කියල හරි, කැම්පස් ආව කියල හරි මට තියෙනවනං තියෙන්න ඕනැ හීනමානයක් යැ, අධිමානයක් මිස. හැබැයි උඹට නං මොකක් තියෙනවද මන්ද?"

මේක අහල අපිට හිනා මල පනින්න!

ප/ලිඃ
මේ කතාව දවස් දෙකකට කලින් දැම්ම ගෙඩිය පිටින්ම මේ බ්ලොග් එකේ. සතියක් තිස්සෙ අසනීප වෙලා හිටිය හින්ද හොඳට ලෙලි ඇරල, පෙති කපල, තම්බල, තුනපහ දාල, තෙම්පරාදු කරල කතන්දරේ ලියන්න එදා හිතුනෙ නෑ.

නමුත් අද හිතුන කතන්දරේ නැවත ලියන්න.

"සිංහල බ්ලොග්කරණ ඉතිහාසයේ කතන්දරකාරයා ගේ කාර්යභාරය" කියල කවුරු හරි පශ්චාත් උපාධියක් කරන කාලෙට මේ පොස්ට් දෙකම ප්‍රයෝජනයට ගත්තැහැකි – - ඒ උපාධි නිබන්ධනයේ "කතන්දරකාරයාගේ කතන්දර කීමේ රටාව" කියන පරිච්ඡේදය සඳහා.

ප/ප/ලිඃ
මේ එක්කම කියන්න ඕනැ, අද දවසේ ලියවෙන ඉතාම බුද්ධිමත් කතිකාවතක් සහිත ජාල සටහනක් තමයි අරුණි ශපීරෝ ගෙ බ්ලොග් එක. තවම කියවල නැත්තං ගිහිං බලන්න. හැබැයි නොදන්න දෙමලෙට ගිහිල්ල වරිගෙ නහගන්න නං එපා!

කතන්දරකාරයා

Saturday 23 January 2010

නොදන්න දෙමලේ


අසනීප බව තව අඩු නැත. කාන්සියට බ්ලොග් බලමින් සිටියදී, අරුණී ෂපිරෝ ගේ අඩවියේ තිබූ කමෙන්ට් එකක් දැක පරණ කතාවක් සිහිවිය.

මෙන්න ගෙඩිය පිටින්. අර්ථ දැක්වීම ඔහෙලාම කරගන්න.

මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේ සිසුන් දෙදෙනෙකු අතර වූ දෙබසකි.

විජේ: අඩෝ, රනුක, උඹ ආනන්දෙන් කැම්පස් ආවයි කියල උඹට තියෙන ඔය හීනමානෙ නැති කර ගනිං.

රනුක: මචං, මං ආනන්දෙ ඉගෙන ගත්ත කියල මට තියෙනව නං තියෙන්න ඕනැ හීනමානයක් යැ අධිමානයක් නෙ. මට නං ඔය දෙකම නෑ. උඹ ගැන නං මට මොකුත් කියන්න බෑ.

කතන්දරකාරයා

Thursday 21 January 2010

පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්


නිවාඩුවට ගමේ ගිහින් ඇවිල්ල තාමත් ඇඟ පත රිදෙනව. හෙම්බයි, කැස්සයි දෙකම. ඉතිං ලොකු ලොකු කතන්දරවලට යන්න කලින් 2010 කතන්දර බ්ලොග් එකට සරල ආරම්භයක් ලෙස හිතුන පොඩි පොඩි විහිළු කතා දෙක තුනක් ලියන්න.

නෑගම් ගිය දවසක කතන්දරකාරය ගේ නැන්ද කෙනෙක් තමයි මේ කතා කිව්වෙ. මේව එයාට කියල තියෙන්නෙ පාසලක උගන්වන යාළුවෙක් මයෙ හිතේ. ඇත්ත වෙන්න ඇති කියල හිතනවා.

මේවා එක අතකට මෝඩ පහේ ජෝක්ස්. ඒත්, මේ දිනවල බ්ලොග් අවකාශයේත්, ටී.වී. වලත්, පත්තරවලත් තියෙන දේශපාලන කන්දොස්කිරියාවෙන් ගැලවෙන්න හැකිනම් - මොකටද කොලිටි බලන්නේ?

1. පහ වසරේ බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයෙන්ඃ

ප්‍රශ්ණයඃ සිදුහත් "ගිහි ගෙය" හැර ගියේ ඇයි?
පිලිතුරඃ ගෙවල් කුලී ගෙවා ගැනීමට නොහැකි වූ නිසා.

2. එම ප්‍රශ්ණ පත්‍රයෙන්මඃ

ප්‍රශ්ණයඃ බුදු රජුන් පලමුවර "ලක්දිවට" වැඩම කළේ කුමක් සඳහාද?
පිලිතුරඃ ලී බඩු මිලට ගැනීම සඳහා

3. සිංහල ප්‍රශ්ණ පත්‍රයෙන්ඃ
ප්‍රශ්ණයඃ ට්‍රැක්ටරයක් කතා කරයි යන මාතෘකාව යටතේ රචනාවක් ලියන්න.
පිළිතුරඃ
ක්ලික්, ක්ලික්, කීස්, කීස්.
ට්ර්, ට්ර්, ට්ර්.
බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්.
බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, ට්ර්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රම්, ට්ර්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, ට්ර්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, ට්ර්, බ්‍රම්, ට්ර්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රෑම්, බ්‍රම්, බ්රම්, බ්‍රම්, බ්‍රෑම්, බ්‍රෑම්, ට්ර්, බ්‍රෑම්.

කතන්දරකාරයා

ප/ලි 1: "ට්‍රැක්ටරයක් කතා කරයි" රචනාවේ පොඩි අඩුපාඩු තියෙනවා. ඇත්තම එක ඔයිට පොඩ්ඩක් වෙනස්. සමාවෙන්න.

ප/ලි 2: කටුබැද්දේ ලක්දිව ෆර්නිෂින් යනු ඒ දිනවල ප්‍රසිද්ධ ලී බඩු සාප්පුවකි.

Tuesday 19 January 2010

හොලිඩේ එක ඉවරයි - කතන්දර බ්ලොග් එක ලඟදීම නැවත ඇරඹේ...!!!


කතන්දරකාරය උනත් ඉතිං මනුස්සයෙක් නෙ. කතන්දර කියලම කට රිදෙන නිසා පොඩි නිවාඩුවක් ගන්න හිතුණ.

පසුගිය මාසයක පමණ කාලෙදි කතන්දර කීම අඩපණ වුනේ ඒ හින්දයි.

නිවාඩු කාලෙදි - රට වටේ ඉන්න නෑදෑයො බලන්න ගියාට අමතරව තව පොඩි වැඩ දෙකක් කරගන්න පුළුවන් වුනා.

1. දෙසැම්බර් 19 දා තිබුණු SBU සුහද හමුවට සහභාගී විම.

එතෙනට ආපු අයට මතක ඇතිනෙ මගෙ T-shirt එක? නොගිය අය වුනත් දකින්න ඇතිනෙ photos?

2. රාජකීය විද්‍යාලයට ගිහින් "අසෙනිය කුසුම 2009" උත්සවයෙදි මට හිමිවුනු - "හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය" සඳහා වූ සම්මානය ලබා ගැනීම.

(මෙතෙන්දි නම් photos ගන්න බැරිවුනා.) මෙන්න සම්මානයේ photo එකක්.



තව දින දෙකකින් විතර ආයෙ කතන්දර "ජොබ් එක" පටන් ගන්නයි අදහස!

කතන්දරකාරයා

Friday 8 January 2010

අනේ මා සිටියා නම් !!!

මේ දිනවල රට වටේම නෑදෑ ගෙවල් වල යන නිසා බ්ලොග් කෙරුවාව ටිකක් අඩපණයි.

ඉතිං, මෙන්න මේ යූ ටියුබ් ලින්ක් එක දාන්න හිතුවා - කතන්දර පාඨකයින් ගේ පාළුව යන්නත් එක්ක.



අනේ මා සිටියා නම් !!!

කතන්දර පමාව ගැන සමාව ඉල්ලමි. හොඳ හොඳ කතා පසුවට.

කතන්දරකාරයා

Sunday 3 January 2010

ඇන්ටි ටින් එකක් දාලා පුතේ!


අද කතන්දරේ තියෙන අන්තර්ගතය නං සමහරුන්ට තෙරෙන එකක් නෑ කියල මට හිතෙනව. කොහොම වුනත් කියවල බලන්නකො.  

මතකනේ මං මීට කලින් ලියපු ඇන්ටි ගෙ කතන්දරේ. මේකත් ඇන්ටි කෙනෙක් ගැන කතාවක් නමුත් තරමක වෙනස් ඇන්ටි කෙනෙක්. ඒ මොකද කියනව නං හරි හමං නෑදෑ කමක් නෑ. 

එයාගෙ මනුස්සයට අපි මාමා කියන නිසා මෙයාට අපි ඇන්ටි කියනව.  

ඇන්ටි ල හිටියෙ අපේ ගෙවල් වලට කිට්ටුව. ඉඳල හිටල දවසක අපි එහෙ යනව. ඒවගෙම ඇන්ටිල ත් එනව අපේ ගෙදර. ඇන්ටි ල ට ඉන්නව පොඩි කොල්ලො දෙන්නෙක්. 

ඔන්න දවසක් හදිස්සියෙ ඇන්ටි යි පුතාලයි ආව අපේ ගෙදර වෙන ගමණක් යන ගනං ගොඩ වෙලා යන්න.  

අපේ ගෙදර අම්මි එදා උයල තිබුන පාස්ට වගයක්. ස්පැගටි බොලනීස්. 

"පුතාල කැමති ද පාස්ට කන්න?" අපේ ගෙදර අම්මි ඇහැව්ව.  

"අනේ මාත් හදල දෙනව අනේ. කොහෙද මේ ගොල්ලො කට හරියෙ තියන්නෙ නෑ. අපරාදෙ නිකාං අහක දානව." ඇන්ටි කිව්ව.  

කොහොමින් කොහොමින් හරි ඉතිං ඇන්ටිගෙ පුතාල දෙන්න අපේ ගෙදර අම්මි හදපු පාස්ට කන්න කැමති වුනා කියමුකො.  

දෙන්නම හරිම ආසාවෙන් ස්පැග්-බොල් කෑව. ඇත්තටම කියනව නම් දෙවන පාරටත් බෙදා ගෙන කෑව.  

ඇන්ටි ට හරිම පුදුමයි. ඒ වගෙම පොඩ්ඩක් විතර ලැජ්ජයි වගේ. මොකද, ඇන්ටි හදල දෙන පාස්ට නොකන ඇන්ටිගෙ පුතාල දෙන්න අපේ ගෙදර අම්මි හදපු පාස්ට කෑවනේ.  

"ඇත්තට අනේ මේ දෙන්න හරිම කැමැත්තෙන් කනව. ඔයා කොහොමද අනේ මේ පාස්ට හැදුවෙ?" 

අන්තිමේදි පරාජය පිළිගත්තු ඇන්ටි දැන් ලැහැත්ති රිසිපි එක අහගන්නයි.  

"මහ ලොකු දෙයක් කළේ නෑ අනේ මං, අපේ ගෙදර අම්මි කිව්ව, ස්පැගටි බොලනීස් සාමාන්‍ය විදියටයි හැදුවෙ. හැබැයි අද දැම්මෙ කඩෙන් ගෙනාපු සෝස් එකක්."  

"ආ! මං හිතුව හරි" ඇන්ටි මූනෙ හිනාවක් හදාගෙන එයාගෙ පුතාලට කිව්ව මෙන්න මෙහෙම. 

"ඇන්ටි ටින් එකක් දාල පුතේ! ඇන්ටි ටින් එකක් දාල!!"

කතන්දරකාරයා